කල්‍යාණ මිත්‍රයා යනු සම්මා සම්බුද්ධ ශාසනයයි

පිංවත අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගනී ද, එදාට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝකයට භාරදීලා, අපි ලෝකයෙන් නිදහස් වෙනවා. එදාටයි අපි තේරුම් ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අයිති ලෝකයටයි කියලා. පිංවත අදක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයෙන් බැහැර කරලා මිථ්‍යාදෘෂ්ටිකභාවයට පත්වෙනවා. පිංවත දක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතය කොටගෙන පිනෙන්, කුසලයෙන්, සුගතියෙන් සැනසෙනවා. පිංවත වඩාත් දක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ඇතිකොට ගන්නාවූ සම්මා සමාධි, සම්මා ඥානයන් තුළින් විමුක්තිය සාක්ෂාත් කොටගෙන, මේ සියලු ධර්මයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාව මතුකොටගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකය තුළ තබා ලෝකයෙන් නිදහස් වෙලා යනවා. පිංවත මේ ලෝක ධාතුවේ දුර්ලභ ම, උත්කෘෂ්ට ම දස පාරමී කුසල් ධර්මයන්ගේ ඵලයයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ. මේ දුර්ලභ ඵලය ලෝකය තුළ අර්ථවත් වෙන්න නම්, මේ උතුම් අර්ථය ලෝකය තුළ උපදින්න නම් බෝධිසත්ත්වයන් වහන්සේ නමක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධකොට ගන්න ඕනේ. පිංවත අපි මොනතරම් නම් පුණ්‍යවන්ත ද? පටිච්චසමුප්පන්නව අතීත ජීවිතයේ අපි නවත්වපු තැන් මොනතරම් නම් සද්ධර්මයට සමීප ද? තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ බැසගෙන තිබෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අපි හැමෝගේ ම වධකයා වුණත්, අපි දක්‍ෂවෙලා තිබෙනවා එම වධකයා සුගතියට අදාළව කීකරුකොට ගන්න. පිංවත කීකරුභාවයෙන් පමණක් සතුටු වෙන්න එපා. විඤ්ඤාණය නමැති වධකයාට අයිති ඔය සතුට සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් විනිවිද දකින්න. කුසලයට, සුගතියට සහ විදර්ශනා නුවණ දිශාවටත් කල්ගනිමින් හෝ බෙදිලා යාවි.

පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපි සමාජයට මොනතරම් නම් සද්ධර්මය දේශනා කළත්, පිංවත් පාසල් දරුවෝ ඉල්ලන්නේ තමන්ගේ පාසලට ඉංග්‍රීසි ගුරුවරයෙක්, ගණිත ගුරුවරයෙක්, ක්‍රීඩා ගුරුවරයෙක්. දෙපාවලට දමන්න සපත්තු දෙකක්, එල්ලාගෙන යන්න අලුත් පොත් බෑග් එකක්, අඩු මුදලට ප්‍රවාහන පහසුකමක්. පිංවත අපේ රටේ ගොවි ජනතාව ඉල්ලන්නේ ශ්‍රී සද්ධර්මය නොවේ, තම ගොවිතැනට අවශ්‍ය ජලය, පොහොර, බීජ, තම නිෂ්පාදනයට සාධාරණ මිලක්. පිංවත් රාජ්‍ය සහ පෞද්ගලික සේවක පිංවතුන් ඉල්ලන්නේ ශ්‍රී සද්ධර්මය නොවේ, ජීවත්වීමට සරිලන වැටුපක්. බදු බරේ සැහැල්ලුවක්. පිංවත් තරුණ තරුණියෝ වර්තමානයේ ඉල්ලන්නේ ශ්‍රී සද්ධර්මය නොවේ, කාමයේ සහ රූපයේ ආස්වාදයක්. පිංවත අපේ සමාජයේ දේශපාලනය ඉල්ලන්නේ ශ්‍රී සද්ධර්මය නොවේ, අපේ රටේ දේශපාලනය ඉල්ලන්නේ ධනය, බලය, නිලය කියන ආත්මාර්ථකාමී ලෞකික සැප ඕජාවන්මයි. පිංවත ප්‍රශ්නවලින් සහ ඉල්ලීම්වලින් පීඩිත අපේ සමාජය කවදා ද තේරුම් ගන්නේ, අපේ ප්‍රශ්න සහ ඉල්ලීම්වලට විසඳුම තිබෙන්නේ අපි තුළමයි කියලා. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට විසඳා ගන්න ප්‍රශ්න හෝ ඉල්ලන්න ඉල්ලීම් මුකුත් ම නැහැ. නමුත් අතීතයේ ගිහි ජීවිතය තුළ භික්ෂුවටත් ප්‍රශ්න සහ ඉල්ලීම් ඇතෙක් බරට තිබුණා. ඒ ජීවන ප්‍රශ්න මොනතරම් තීව්‍ර ද කියනවා නම්, ඇයි මම ඉපදුණේ කියන සිතුවිල්ල අනේක වාරයක් මාගේ ගිහි ජීවිතය තුළ ඇතිවෙලා තිබෙනවා. භික්ෂුව වර්තමානයේ දන්නවා භික්ෂුව ඉපදුණේ අවිද්‍යාව නිසාය කියලා. අවිද්‍යාවේ ජන්මගතිය ජාති, ජරා, ව්‍යාධි, ශෝක පරිදේවයෝය කියලා. පිංවත ගිහි ජීවිතයේ දී චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොදන්නා නිසා ම, අවිද්‍යාව සැඟවිලයි තිබුණේ. ප්‍රකට වුණේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක පරිදේවයෝ පමණක්මයි. ඒ නිසා ම දුකට හේතුව හැටියට දැක්කේ පුද්ගල සංඥාවක්මයි. චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය හේතුවෙන් දුකට හේතුව පුද්ගල සංඥාවන්ට බාර කරද්දී, පෙරළා සිත් සේ වැඩී තිබුණේ ද ජාති, ජරා, ව්‍යාධි, මරණයෝමයි.

පිංවත අපේ ඉල්ලීම් අපිට දිනා දෙන්නේ, අපේ ප්‍රශ්න අපිට විසඳලා දෙන්නේ රජයක් විසින් නොවේ, අපේ ම දස කුසල් සංස්කාරයි. පිංවත මෙය සටහන් තබන භික්ෂුව තමන්ගේ ප්‍රශ්න සහ ඉල්ලීම් දිනා ගත්තේ/ගන්නේ ලෞකික සැප ලබාදෙන එක ම ධර්මානුකූල මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්. මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි සම්මා සමාධියෙන් සම්මා ඥානයන් දක්වා මෙහෙයවන්න ඕනේ. එතැනදීයි අපි දකින්නේ, ඉල්ලීම් සහ ප්‍රශ්නවලට මුල්වෙන ඵස්සය සක්කාය දිට්ඨියේ ඉමිටේෂන් රන් ආභරණ පොරවාගත් කාඩ්බෝඩ් වීරයෙක්ය කියලා. පිංවත ලෝකයේ සත්‍යය ධර්මයන් තේරුම් ගන්න නම්, අපිට උතුම් සම්මා දිට්ඨිය තිබෙන්න ම ඕනේ. අපේ සම්මා දිට්ඨිය මිථ්‍යාදෘෂ්ටිය සමග අයාලේ ගියොත්, අපේ ඵස්සය බිහි කරන්නේ ඇලෙන සහ ගැටෙන දරුවෝමයි. පිංවත යුද්ධ කරලා, අරගල කරලා, උද්ඝෝෂණ කරලා ඉල්ලීම් දිනන්න, ප්‍රශ්න විසඳා ගන්න බැහැ. පිංවත යුද්ධ, අරගල, උද්ඝෝෂණ ඉදිරියේ එක් පාර්ශ්වයක් ජය ලබද්දී තවත් පාර්ශ්වයක් පරාජය ලබනවාමයි. පිංවත දීර්ඝ කාලයක පටන් සමාජගත අශ්‍රද්ධාව, දුශ්ශීලභාවය, ආත්මාර්ථකාමීභාවය හේතුවෙන් විසඳා ගන්න බැරි මහා අවුල් ජාලාවක් සමාජය තුළ නිර්මාණය වෙමින් පවතිනවා. පිංවත මෙච්චර කල් අපි සෙව්වේ, ඉලක්ක කළේ ජයග්‍රහණයක්. වරින්වර අපි ජයග්‍රහණයන් ලැබුවා. අපිට දැන් තේරෙනවා, ඒ සෑම ජයග්‍රහණයක් ම තාවකාලිකයි කියලා. ජයග්‍රහණය ඉදිරියේ සතුරනුත්, පරාජය ඉදිරියේ වෛරයත් යන අර්ථයන් දෙක ම සමාජය ලබනවාය කියන අර්ථය ගැන අපි සිතුවේ නැහැ. පිංවත අපි තාමත් යන්නේ කොයි පාරේ, අපි යන්නේ මෙතෙක් ගිය වැරදි පාරේමයි. පිංවත ජාතියක් හැටියට ලෞකික සැපය ලබාදෙන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්ට වටිනාකමක් ලබා නොදී, එම අර්ථයන් ජීවිතවල පිළිකන්නේ තබාගෙන, මිච්ඡා ධර්මයන් වන ආත්මාර්ථකාමීභාවය, බල ලෝභය, දුශ්ශීලභාවය ජීවිතවල ආලින්දයට ගැනීම නිසා ම, ඉදිරියේ දී පිංවතුන්ලා අසාර්ථක පිංවත් නායකයෙක් වෙනුවට, තවත් අසාර්ථක පිංවත් නායකයෙක් තෝරා ගැනීමේ මැතිවරණ මෙහෙයුමකට සූදානම් වෙනවා. පිංවත ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිටුපෑම නිසා ම අතීතයේත්, අනාගතයේදීත් අපි මැතිවරණ නාමයෙන් කරලා තිබෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගැනීම පමණක්මයි. රටේ වර්තමාන පිංවත් නායකතුමා සත්‍යවාදීව ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුළ රාජ්‍ය පාලනය සිදුකළා නම්, සත්‍යකින් ම රටට තවත් අලුත් නායකයෙක් සොයන්න අවශ්‍ය නැහැ. පිංවත අතීතයේ සිටි නමුත් වර්තමානයේ සිහිනයක් පමණක් වන සක්විති රජවරු, ලෝකය පාලනය කළේ ආජීව අට්ඨමක සීලය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්කොටගෙනයි. ඒ නිසා ම සක්විති රජවරු තමන්ගේ දෑස් පියවෙනතුරු ජනතාවගේ ආශීර්වාදයෙන්, සීලයේ ආනිශංස ධර්මයන්ගේ ආශීර්වාදයෙන් තම රාජ්‍යයන් පාලනය කළා.

පිංවත ලෝක විෂයන්ට අදාළව පොත් දහස් ගණනක් කියෙව්වත්, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් සිහිනුවණින් කියවා ජීවිතයට දරා නොගත්තොත්, අපේ දැනුම, බුද්ධිය, උගත්කම් අපි හැමෝගේ ම විනාශය පිණිස ම හේතු වෙන්න පුළුවන්. මිථ්‍යාදෘෂ්ටික උපදේශකයන් දස දහසක් ඇසුරු කරනවාට වඩා එක කල්‍යාණ මිත්‍රයෙක් අවංකව ඇසුරු කිරීමෙන් සමාජය යහපත් දිශාවට උඩු යටිකුරු කිරීමේ ශක්තිය තිබෙනවා. පිංවත කල්‍යාණ මිත්‍රයා යනු සම්මා සම්බුද්ධ ශාසනයමයි. කල්‍යාණ මිත්‍රයා යනු සද්ධර්මයේ ජීවමාන අර්ථයමයි. පිංවත ඒහිපස්සික දහමක් මළ දහමක් බවට පත්කොට ගැනීමේ පාපකර්මය අපි සියල්ලෝ ම ඉදිරියේ විපාකයට පැමිණ තිබෙනවා. පිංවත ඉදිරි මැතිවරණයන් අවසන් වෙන්නේ සමස්ත ජාතියට ම මහා අකුසල් කන්දක්, අකුසල් මහාමේරුවක් අයිතිකොට දීලා. පිංවත වර්තමානයේ අපේ අකුසල් මූලයෝමයි, අනාගතය අකුසලයෙන් සමාජය ගිනියම් කරන්නේ. පිංවත වර්තමානයේ කුසලය තුළ ශක්තිමත් වෙන්න. එවිට අනාගතය යම් පමණකට හෝ අපිට ආශීර්වාදයක් ම වේවි. පිංවත සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සීලයට සම්මා සංකප්පයන් ද එකතුවුණහම සීලයට පුදුමාකාර ශක්තියක් තිබෙන්නේ. සීලයට පුළුවන් සත්පුරුෂ ලෝකයා ආරක්ෂණය කරගන්න. සීලයට පුළුවන් අතීත අකුසල් හේතුවෙන් වර්තමානයේ විපාකයට පැමිණෙන අකුසල් අභියෝගයන්ට විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්න. පිංවත ලෝකයේ උත්කෘෂ්ට ම සීලය උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලයයි. සිල්පද දෙසිය විස්සක අයෝමය පිරිසිදුභාවය නිවැරදිව ජීවිතයට මුහුකොට ගත්තොත්, ලෝකය ඔහුට පරදිනවා. ඔහු සම්මා සමාධි, සම්මා ඥාන අභියෝගයන් ජයගෙන, සම්මා විමුක්තියෙන් සමස්ත ජරා, ව්‍යාධි, මරණ ලෝකයට ම සමුදෙනවා.

පිංවත අවිආයුධවලින් හෝ කපටි කෛරාටිකකම්වලින් ලෝකය දිනන්න බැහැ. අකුසලයෙන් ලෝකය දිනන්නට ගියොත්, මැරෙන්න පෙර මරණ ලකුණු අපිට අතොරක් නැතුව පීඩා කරනවා. පිංවත් බිරිඳක් භික්ෂුවට කියනවා, මහත්මයා රාත්‍රි නින්දේ දී හීනෙන් කෑගහනවා කියලා. තවත් මහත්මයෙකුට කළු පාට අමනුෂ්‍යයෝ පොලු අරගෙන තමන් පසුපස එළවනවා හීනෙන් පෙනෙනවලු. තවත් මහත්මයෙක් රාත්‍රියට නින්ද නොයන නිසා ම මත්වතුර බොනවලු. පිංවත වර්තමානයේ හුඟාක් පිංවතුන් මත්වතුර බොන්නේ සතුටට නොවේ, විපාකදෙන අකුසල් විපාකයන්ගේ දුකෙන් පලා යන්න. පිංවතුන් අකුසලයෙන් පළිගන්න මත්වතුරට කප්පම් දෙනවා. පිංවත බෙහෙත් පෙති අහුරක් කටේ හලාගෙන එළිවෙනකම් ගොරවන සංස්කාරයෝ කොතෙක් නම් සමාජය තුළ ජීවත් වෙනවා ද? පිංවත අපි ඉදිරියේ තිබෙන ඇස්බැන්දුම් සංස්කාර ලෝකය පූර්වාදර්ශයට ගන්න එපා. ලෝකයා වැඩිහරියක් කරන්නේ රඟපෑමක් එසේත් නැතිනම් බොරුවක්. පිංවත ඔබ, ඔබ ම වෙන්න. ඔබ අනුන් වෙන්න හදන්න එපා. අපි හැමෝගේ ම සංස්කාරයෝ විවිධයි. දෙදෙනෙකුට කවදාකවත් එක වගේ ම වෙන්න බැහැ. පිංවත සීලයේ ශක්තිය දුර්වල වී අපි ඉදිරියට පැමිණෙන අකුසල් අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය අපිට නැතිවෙනකොට, හරි හෝ වැරදි නොබලා ම අපි අනුන්ව අනුකරණය කරනවා. පිංවත ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය තිබෙන්නේ සීලය තුළයි. පිංවත ඔබේ ජීවිතය ඉදිරියට පැමිණෙන කුසල් හෝ අකුසල් අභියෝගයන් ඉදිරියේ පෙරළා ඔබ අකුසලය දිශාවට පලා යන්න එපා, සීලය සතුටින් ජීවිතයට පිළිගන්න.

පිංවත උපසම්පදා භික්ෂුවකට අදාළ ප්‍රාතිමෝක්‍ෂ සීලයේ සිල්පද දෙසිය විස්ස, සීලයේ ආනිශංස පහෙන් වැඩි කළොත් ඉලක්කම් හතරේ ගණනක් තමයි පිළිතුර හැටියට ලැබෙන්නේ. පිංවත අපි නිවැරදි වුණොත් උපසම්පදා ස්වාමීන් වහන්සේලා විසි දහසකගේ අයෝමය සීලයේ ආනිශංස ධර්මයෝ ජනප්‍රියභාවයෙන්, අභියෝගයන්ට මුහුණදීමේ ශක්තියෙන්, බවභෝග සම්පත් ආරක්‍ෂාවීමෙන් අපේ පිනෙන් උපන් පුණ්‍යවන්ත ජාතියට මොනතරම් නම් ශක්තියක් වේවි ද? මොනතරම් නම් ආශීර්වාදයක් වේවි ද? පිංවත සමාජගත දුක්ඛ දෝමනස්සයන්ට පිළිතුරු අපි ළඟ තිබෙනවා. ඒත් අවිද්‍යාව අපේ පිළිතුරු කාමයේ සහ රූපයේ ආස්වාදය තුළ සඟවලයි තිබෙන්නේ. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන ධර්මතාවය අපේ ම අකුසල් සංස්කාරයෝ සැලසුම්සහගතව අපිට දැනීම් සකස්කොට දෙනවා මරණීය අනතුරු ඉදිරියට යන්න. අපි අපේ ම අකුසල් හේතුවෙන් ලබන අවාසනාවන්ත මරණය මොනතරම් කුරිරු වුවත්, සාහසික වුවත් එය සැලසුම් කරන පටිච්චසමුප්පන්න මහ මොළකරුවා පාතාලය නොවේ. අපේ ම අතීත අකුසල් සංස්කාරයෝමයි පාතාලයටත් දැනීම් සකස්කොට දෙන්නේ අපේ ජීවිතයේ ඉරණම විසඳන්න. පිංවත වර්තමානයේ විපාකයට පැමිණෙන අකුසල් අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබේ ජීවිතයේ දොරටු කරුණාකර ආජීව අට්ඨමක සීලයට විවෘත කරන්න.

පිංවත කළු පැහැති දිග කලිසමක් සහ කළු පැහැති අත්දිග කමිසයකින් සැරසුණ තරුණ ගැහැනු දරුවෙක්, කළු පැහැති බෑගයක් කරේ එල්ලාගෙන, තම කළු පැහැති කෙස්රොද නිදහසේ කඩා දමලා මහ පාරේ ගමන් කරනවා භික්ෂුව දැක්කා. පිංවත් ඇය දකිද්දීම, භික්ෂුවට පෙනුණේ ගුප්ත, රාගික චරිතයක්. එහෙත් එම පිංවත් දියණියට ඇයගේ කළු වර්ණය ඇය සතුටින් පිළිගන්න මෝස්තරයක්. පිංවත අපේ මෝස්තරකරණයෙන් අපි, අපේ සැඟවුණ ඇතුළාන්තයයි ලෝකයට පෙන්වන්නේ. පිංවත සමාජගතවෙන පළියට අනුවණකමින් අනුනගේ මෝස්තර අනුකරණය කරන්න එපා. පිංවත අතොරක් නැතුව සමාජගතවෙන අඩනිරුවත් සහ රූපය ඉස්මතුකොට පෙන්වන මෝස්තරකරණයන් තුළින්, අලුතින් සමාජගතවෙන කඩා දැමූ කොණ්ඩ මෝස්තර තුළින්, ගුප්ත වර්ණ සහ හැසිරීම් තුළින් අපේ ඇතුළාන්තයේ රාග, ද්වේශ, මෝහයෝ සමාජයට දර්ශනය වෙන්න පුළුවන්. පිංවත් ඔබගේ ආස්වාදයට ඇත්ත ඔබට නොපෙනුනාට, සද්ධර්මයට ඔබව මැනවින් පෙනෙනවා.