පිංවත අවිද්‍යාවේ මූල බීජයෙන් උපදින, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගෙන් තිරිහන්වෙන, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසා ම කැඩෙන, බිඳෙන, විසිරෙන අපේ ජීවිත, අපේ පාලනයෙන් මිදුණ ගමනක් යන්නේ. අපි කොච්චර සැපයෙන් සිටින්න කැමති වුණත්, දුක අපිට තුරුල් වෙන්නේ අකීකරු පෙම්වතෙක්, පෙම්වතියක් වගේමයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, පසුවදා දහවල් සාංඝික දානයක් පූජා කරන්න ගෙදර සියල්ල සූදානම්කොට තිබිය දී, රාත්‍රියේ ඇදහැලුන මහා වර්ෂාවෙන් අපේ නිවස ගංවතුරෙන් අඩි තුනක් ම යට වුණාය කියලා. පිංවත ඇයි අපේ නිවාස, දේපළ නිතර නිතර ගංවතුරෙන් යටවෙන්නේ? පිංවත හේතුවකින් තොරව ඵලයක් සකස් වෙන්න විදියක් නැහැ. නමුත් අවිද්‍යාව අපිට උගන්වලා තිබෙන්නේ ගංවතුර, ගංවතුර හැටියට ම දැකීමටයි. නියඟය, නියඟය හැටියට ම, වියරු සුළං, වියරු සුළං හැටියට ම දැකීමටයි. ඒ නොමනා දැකීම් තුළින් ඇලීම් සහ ගැටීම්වලට පණදීමටයි. භික්ෂුව වැඩසිටින කුටිය නිතර නිතර ගංවතුරෙන් යටවුණොත්, භික්ෂුව සිතන්නේ භික්ෂුව පෙර ජීවිතයේ පරිසරය විනාශ කරලා, කැලෑ කපලා තිබෙනවාය කියන කාරණයයි. පිංවත අපි නොමනා ආකාරයෙන් පරිසරය විනාශ කළොත්, කැලෑ කැපුවොත් නිතර නිතර ගංවතුර ගලන ප්‍රදේශවල අපි පටිච්චසමුප්පන්නව උපදින්න පුළුවන්. පිංවත සංස්කාර ලෝකයේ කොතනකවත් වරදක් නැහැ. සංස්කාර ලෝකය කෙරෙහි අපගේ නොදැනුවත්භාවයමයි වරද වෙන්නේ.
පිංවත නිතර නිතර ඇදහැලෙන වියරු වැසිවලට බණින්න එපා. මෙවැනි වියරු වැසි ධර්මානුකූලව ඇතිවෙන්නේ පරිසරයේ සතර මහා ධාතුව කිපීම නිසා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පිංවත බාහිර පරිසරයේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව නොමනා ආකාරයෙන් කිපෙන්නේ, පිංවත් මනුෂ්‍යයා විසින් සිදුකරනා නොමනා පාරිසරික විනාශයන් නිසාමයි. පිංවත නොමනා ආකාරයෙන් කැලෑ කපන, ගස් කපන මනුෂ්‍යයෝ වියළි කාන්තාර පරිසරවල පටිච්චසමුප්පන්නව උපදිනවා. වැලි නිධි, පස් නිධි, කළුගල් නිධි අසාධාරණ ලෙස මහ පොළොවෙන් උදුරාගත්ත මනුෂ්‍යයෝ හිම මිදෙන සීතල පරිසරවල පටිච්චසමුප්පන්නව උපදිනවා. ලස්සන පරිසරයට කුණු කසළ දමලා පරිසරයේ සුන්දරත්වය, පිරිසිදුභාවය උදුරා ගන්නා මනුෂ්‍යයෝ පටිච්චසමුප්පන්නව අපිළිවෙළින්, කුණු රොඩුවලින්, දුර්ගන්ධයන්ට මායිම් වූ නිවෙස්වල පටිච්චසමුප්පන්නව උපදින්න පුළුවන්. පිංවත පිනෙන් ලස්සන වූ පරිසරය විනාශකොට පිංවත් ඔබ උපයන සල්ලි කඳු, පරලොව ජීවිතය උදෙසා දුකේ ආයෝජනයක් ම වෙනවා. පිංවත පින හරිම ලස්සනයි. වර්ණය, සැපය, බලය පින තුළ පිරිලා තිබෙනවා. දෙවියන්, මනුෂ්‍යයන්, අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් ජීවත්වෙන පරිසරය නොමනා ආකාරයෙන් විනාශ කිරීම හරිම පවක්. එම පව දුර්වර්ණභාවය, දුක, අසරණභාවය උදෙසා පටිච්චසමුප්පන්න අපේ ආයෝජනයන් ම වෙනවා. පිංවත වර්තමානයේ පරිසරය විනාශකොට ලබන පුංචි සැපයකට, පටිච්චසමුප්පන්න අනාගත ලොකු සැපයක් අහිමිකොට ගන්න එපා.
සතර මහා ධාතුව කිපී වැසි වැටේ…
පිංවත බුදුරජාණන් වහන්සේ මනා ගමන් ඇති හෙයින්, සුගත නම් වන සේක යැයි, අපි බුද්ධානුස්සතිය වඩනවා. මනා ගමන් ඇති සෙයින් යැයි කියන්නේ දුක නිරෝධය කිරීමට උපකාරී වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සහ සම්මා ඥාන, සම්මා විමුක්තිය තුළ පූර්වාදර්ශීව ගමන් කරනවා කියන අර්ථයයි. පිංවත බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්මයි මේ දුකෙන් මිදෙන මනා ගමන් මඟ අවබෝධකොට ගත්තේ. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොණ අල්ලාගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින්, නිවන් මඟ වඩින සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් උත්තමයෝ ද ගුරු උපදේශ සහිතව මනා ගමන් ඇති උත්තමයෝමයි. පිංවත මේ සටහන කියවන ඔබ මනා ගමන් ඇති පිංවතෙක් ද? ඔබ දිනපතා අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී වාහනයක ගමන් කළත්, ඔබේ ජීවිතය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, අවිහිංසාවෙන් පෝෂණය වූ නෙක්ඛම්මය, සීලයෙන් පෝෂණය වූ ඉන්ද්‍රීය සංවරය, මාර්ගය කෙරෙහි සැකය බැහැර වූ සිහිය, පංච නීවරණ අවම වූ සමාධිමත්භාවය ඔබ තුළ දුර්වල නම්, ඔබ තාමත් මනා ගමන් මාර්ගයෙන් දුරස් වූ, නොමනා ගමන් මාර්ගය තුළයි ජීවත් වෙන්නේ. පිංවත උතුම් නිවන් මාර්ගයේ මඟ සහ නොමඟ හඳුනා ගන්න නම්, කල්‍යාණමිත්‍ර ආශ්රයමයි මුල් වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම මඟ සහ නොමඟ තෝරාබේරා ගන්න එක ම උපකාරක ධර්මය වෙනවා. පිංවත අවිද්‍යාව මෝරා, සංස්කාරයෝ අකුසලයෙන් විකෘති වී, සමාජය තුළ ඇලීම් සහ ගැටීම් වැඩිවෙනකොට, ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් අපි දේවත්වයෙන් දකින්නට පෙළඹෙනවා. පිංවත දෑස් හැර මහ පාර දිහා බලන්නකෝ. තම රූපය ඇඳුමෙන්, පැලඳුමෙන්, මෝස්තරකරණයෙන් විඳින අපූරුව. රූපය ඇසුරින් සකස් වෙන අනිත්‍ය වූ විඳීම් දිව්‍ය ඕජාවක් සේ අවිද්‍යා ගනඳුරේ රස විඳින අපූරුව. පිංවත රූප, වේදනාවෝ කෙරෙහි ඇලීම් සහ ගැටීම් වැඩිවුණ තැන උපේක්ෂාවට සිද්ධ වෙනවා, පරාජය භාරගෙන අපේ ජීවිතවලින් ඈත්වෙලා ඉන්න. උපේක්ෂාව අපේ ජීවිතවලින් ඈත්වෙලා යද්දි, මධ්‍යම ප්‍රතිපදාව සැප හෝ දුක විසින් ගිල ගන්නවා. පිංවත සද්ධර්මයේ සීමාමායිම් ඔස්සේ ලෝකය, දුකෙන් ඉවරයක් නැති, දුකේ නිමාවක් නොපෙනෙන අනන්තයක් කරා පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. අපි සතුටෙන්, විනෝදයෙන් කනවා, බොනවා, කාමයේ සහ රූපයේ ආශ්වාදයෙන් ජයපැන් බොනවා. ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ අපේ පටිච්චසමුප්පන්න අනාගත භව ගිණුම්වල ඉලක්කම් සිතුවිල්ලෙන්, සිතුවිල්ල ප්රවර්ධනයකොට දෙනවා.
පිංවත පිංබර පොසොන් පුර පසළොස්වක පොහොය සතියයි උදාවෙලා තිබෙන්නේ. මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සද්ධර්මයේ ලෙයින් උපන්, සිංහල බෞද්ධයාගේ උපන් දිනයයි, පොසොන් පුර පසළොස්වක පොහොය යැයි කියන්නේ. පිංවත මේ උදාවෙන සිංහල බෞද්ධ ජනතාවගේ උපන් දිනයටත් කේක් කපලා කාමච්ඡන්දයන් විඳින්න ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? පිංවත සල්ලි වැඩිවෙනකොට ආස්වාදයෝ වැඩියි. පිංවත සල්ලි හිඟවෙනකොට හූල්ලනවා වැඩියි. පිංවත සල්ලි වැඩි වුණත්, සල්ලි හිඟ වුණත් අවසාන ඉතිරිය වෙන්නේ ලෝභ, ද්වේශ, මෝහයෝමයි. පොසොන් පොහොය සිහිපත්වෙද්දි, උතුම් අරිහත් උත්තමයෙකුගේ මතකයයි අපේ සිහියට නැගෙන්න ඕනේ. ඒ මතකයත් සමග ම සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව වන ප්‍රඥාව, ඥාන දර්ශන, විමුක්තිය කෙරෙහි අපේ ඡන්දය ඇතිවෙන්න ඕනේ. සම්මා සම්බුද්ධ ශාසනයේ කොළ, අතු, රිකිලි, දලු විමංසාවෙන් දකින්න ඕනේ. පිංවත ලෝකය කවදත් වැරදිකරන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ම ලෝකයට බැණලා, චෝදනා කරලා තේරුමක් නැහැ. සංස්කාර හේතුවෙනුයි මනුෂ්‍යයාගේ දැනීම් සකස් වෙන්නේ. මනුෂ්‍ය ජීවිතවල අකුසල් සංස්කාරයෝ වැඩිවෙද්දි, මනුෂ්‍යයාගේ දැනීම් නොමඟ යනවා. පිංවත බුදුරජාණන් වහන්සේ මේ පිං බිමට වැඩම කළේ නැහැය, මිහිඳු මහෝත්තමයන් වහන්සේ මේ පිං බිමට වැඩම කළේ නැහැය කියන මිච්ඡා ධර්මයන් වර්තමානයේ සමාජගත කරනවා නේද? පිංවත මෙම නොමනා ධර්මයන්ට කලබල වෙන්න එපා. මෙවැනි මිච්ඡා අදහස් ප්‍රකාශ වෙන්නේ, එම මිච්ඡා අදහස් ප්‍රකාශ කරන පිංවතුන්ලා පෙර පටිච්චසමුප්පන්න ජීවිතවල අසත්පුරුෂ ආශ්‍රයන්, අසද්ධර්මයන් පුහුණුකොට ඇති නිසාමයි. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණං. අතීතයේ පුහුණු කළ මිථ්‍යාදෘෂ්ටික ධර්මයන් හේතුවෙන් වර්තමානයේ අසද්ධර්මයට අදාළ දැනීම්මයි සකස් වෙන්නේ. පිංවත අසද්ධර්මයන් හිස ඔසවන සමාජයක සද්ධර්මයට හිතැති ඔබ, ඔබේ පුණ්යවන්තභාවයමයි මතුකොට දැකිය යුත්තේ. මෙවන් මිථ්‍යාදෘෂ්ටික ලෝකයක් තුළ ඔබ සැබෑම දක්ෂයෙක්. ඔබ වැනි දක්ෂයින්ට අප්රමාදීභාවයේ වටිනාකම කියලා දෙන්නයි මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ, සංඝමිත්තා උත්තමාවියගේ මතකය තවමත් අපි තුළ නොමැකී ජීවත් වෙන්නේ.
පිංවත සද්ධර්මයේ අරටුව වෙන්නේ උතුම් ඥාන දර්ශනයන් තුළින් මතුකොට ගන්නා විමුක්තියයි. විමුක්තිය තුළ තිබෙන්නේ දුකෙන් නිදහස්වීමේ විදර්ශනාමය නික්ලේෂී ධර්මයේ උපේක්ෂාවයි. අකැමැති තැනදි ගැටෙන්නේත් නැති, කැමති තැනදි ඇලෙන්නේත් නැති, මේ දෙක මැද සකස්වෙන මධ්‍යස්ථ තෘෂ්ණාවේ උපේක්ෂාවට රැවටෙන්නේත් නැති තැන උපදින වේදනානුපස්සනාවේ අර්ථයත්, ධම්මානුපස්සනාවෙන් විනිවිද දකින සද්ධර්මයේ අරටුව පොසොන් උත්සව, පොසොන් පෙරහැර, පොසොන් දන්සල්, පොසොන් සීල ව්‍යාපාර තුළින් අපි මතුකොට ගන්න දක්ෂ වෙන්න ඕනේ. පිංවත මිහිඳු මහෝත්තමයන් වහන්සේ යැයි, සංඝමිත්තා උත්තමාවිය යැයි සිහිපත්වෙද්දිම අපි තුළ සතර සතිපට්ඨාන ධර්මයෝ ම වැඩෙන්න ඕනේ. එවිටයි අපි දක්ෂ වෙන්නේ එම නික්ලේශී උත්තමයින්ගේ පරමාදර්ශී ජීවිත තුළින් උතුම් සද්ධර්මය දකින්න. සද්ධර්මයේ ස්වාක්ඛාත ආදී වූ ගුණයන් ජීවමානව දකින්න. පිංවත ඔබ අවාසනාවන්ත නැහැ. සද්ධර්මයේ අර්ථයන් අතීතයේ වගේ ම වර්තමානයේත් ඔබේ පින නිසා ම නැවුම්ව තිබෙනවා. තවමත් නැවුම්ව තිබෙන උතුම් සද්ධර්මය ඉදිරියේ කරුණාකර පිංවත් ඔබ පරණ වෙන්න එපා. පංච නීවරණයන්ගෙන් පුස්කන පිංවත් බෞද්ධයෙක් වෙන්න එපා. පිංවත් ඔබ පොසොන් සඳ කිරණින් සෞම්‍ය වූ මේ පිංබර නිමේෂයේ දී පොසොන් පොහොය කියන අර්ථය තුළින් උත්තරීතර ධර්මය දකින්න. පිංවතුන්ලා මොහොතක් දෑස් පියාගෙන මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ, සංඝමිත්තා උත්තමාවියගේ තාරුණ්‍යයේ රූපයන් සිහියට නගාගෙන, එම රූපයන් මොහොතක් කායානුපස්සනාවෙන් දකින්න. දෙතිස් කුණපයක්, සතර මහා ධාතුවක්, අට්ඨික සංඥාවක්, මරණානුස්සතියක් හැටියට දකින්න. උන්වහන්සේලා පිරිනිවන් පෑමෙන් අනතුරුව එම ආධ්‍යාත්මික සතර මහා ධාතුව පූජනීය ධාතූන් වහන්සේලා ගොඩක්, අළු ගොඩක් බවට පත්වුණ හැටි නුවණින් දකින්න. පිංවත ධර්මාශෝක අධිරාජයාට දාව උපන් මහේශාඛ්‍ය, පුණ්‍යවන්ත සංස්කාරයෝත් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න.
පිංවත් ඔබ මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සහ සංඝමිත්තා උත්තමාවියගේ ආධ්‍යාත්මික රූපයන් තුළින් කායානුපස්සනාව මතුකොට ගැනීමේ දී ඔබ තුළ සකස්වුණ සෑම සිතුවිල්ලක් ම, චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. අනිත්‍ය වූ රූපයන් ඇසුරෙන් සකස්වෙන අනිත්‍ය වූ ඵස්සයට බැඳෙන්න එපා. අනිත්‍ය වූ ඵස්සය තෘෂ්ණාවට නොව චිත්තානුපස්සනාවට ආහාරයක් කොට දෙන්න. පිංවත මිහිඳු මහෝත්තමයන් වහන්සේ සහ සංඝමිත්තා උත්තමාවිය තුළින් කායානුපස්සනාව සහ චිත්තානුපස්සනාව මතුකොටගත් මේ මොහොතේ ඔබ තුළ සකස්වෙන උපේක්ෂාසහගතභාවය කරුණාකර වේදනානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. අනිත්‍ය වී යන උපේක්ෂාවට ඔබ බැඳුණොත් වේදනානුපස්සනාව ඔබට අහිමි වෙනවා. පිංවත මේ මොහොතේ මිහිඳු මහෝත්තමයන් වහන්සේ මුල්කොටගෙන ඔබ තුළ වැඩුණ කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව යන සියලුම ධර්මතාවයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් දකින්න. පිංවත පංච උපාදානස්කන්ධ ධර්මයෝ බාහිර වේවා, ආධ්‍යාත්මික වේවා වෙනස් වෙලා යනවා. ඒ නිසා ම අනිත්‍ය වූ රූපය ඇසුරෙන්, අනිත්‍ය වූ සතර මහා ධාතුව ඇසුරෙන් සකස්වෙන කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව අනිත්‍ය වූ ධර්මතාවයන් යැයි ධම්මානුපස්සනාවටමයි ඔබ පණ දෙන්න ඕනේ. එවිටයි ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගෙන් පණ ගැසෙන තෘෂ්ණාව මිය යන්නේ.
පිංවත මේ පිංබර පොසොන් සතියේ මහා සංඝරත්නය මොනතරම් ධර්මය දේශනා කළත්, පංච උපාදානස්කන්ධ මාරයා තෘෂ්ණාවෙන් මාරාවේශවෙලයි සිටින්නේ. කරුණාකර මහ පාරක ගියත්, උත්සවයකට, සාදයකට ගියත් හොඳ සිහිනුවණින් හැසිරෙන්න. විශේෂයෙන් ම කාන්තා පක්ෂයේ රූපයන් උපයෝගී කොටගෙන විඳීම් ඔස්සේ මාරයා පංච නීවරණයන් සිත් සේ වපුරවමින්, අකුසල් සංස්කාරයන්ට ගොදුරු සොයාදෙන කාමච්ඡන්ද මෙහෙයුමක් ආරම්භ කරලයි තිබෙන්නේ. මේ අතරට ඉදිරියේ දී ජනාධිපතිවරණ මාරාවේශයනුත් එකතුවුණහම මනුෂ්‍ය ජීවිත අකුසල් සංස්කාරයන්ගේ පාරාදීසයක් ම වෙන්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ධර්මයන්, සමාජගත තෘෂ්ණාවේ මාරාවේශයන් ඉදිරියේ වේගයෙන් පසුබැස යද්දි, ලජ්ජාව සහ භය නමැති උතුම් දේව ධර්මයන් ගැන කිනම් බලාපොරොත්තුවක් තබා ගන්න ද? පිංවත වචනයෙන් සංවර වෙන්න, හැසිරීමෙන් සංවර වෙන්න, ඇඳුමෙන්, පැලඳුමෙන් සංවර වෙන්න. එතැනයි බෞද්ධ ජීවිතයක පූජනීය අර්ථය තිබෙන්නේ.