පිංවත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිංබර උපත, සම්මා සම්බුද්ධත්වය, පිරිනිවීම මේ සෑම ධර්මතාවයක් ම සිද්ධවෙන්නේ ගහකොළ, පරිසරය ඇසුරු කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක අපිට අවවාද කරන්නේ රුක්ඛ මූලයක, ආරණ්‍යයක, ශූන්‍යාගාරයක වැඩසිටින්නය කියලා. පිංවත උපසම්පදා භික්ෂූන් වන අපිට බුදුරජාණන් වහන්සේ ගසක කොළයක් හෝ මලක් කැඩීම පවා විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. භික්ෂුවගේ මතකයට නැගෙනවා, භික්ෂුව ගතකළ වසරක සාමණේර කාලයේ දී වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සවස බුද්ධ වන්දනාවට වට්ටියක් පිරෙන්න මල් කඩපු අතීතය. මලින් මල රටාවකට තියලා ලස්සන මල් වට්ටි හදපු අතීතය. සාමණේර අවදියේ දී වට්ටියක රටාවකට මල් අතුරද්දි මා තුළ ඇති වූ සිහිනුවණ, මල් නොකඩන උපසම්පදා ජීවිතයේ දී සතර සතිපට්ඨාන ධර්මයන්ට පෝෂණීය අත්වැලක්මයි වුණේ. පිංවත සම්මා සම්බුද්ධ ශාසනයයි, පරිසරයයි කියන්නේ ගසට පොත්ත වගේ එකට බැඳුණ ධර්මතාවයක්. පිංවත පරිසරයේ ගහකොළ, සතා සිව්පාවා, ඇළ දොළ මේ කොහේ බැලුවත් අපිට අරමුණු වෙන්නේ සතර මහා ධාතුවෙන් හැදුණ රූපයක්මයි. පිංවත පරිසරය කියන්නේ විනාශ කළයුතු දෙයක් නොවේ. පරිසරය කියන්නේ හම්බකරන් කන දෙයකුත් නොවේ. පරිසරය කියන්නේ අවබෝධ කොටගත යුතු ධර්මතාවයක්. පිංවත සතර මහා ධාතුවෙන් හැදුණ පරිසරය අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි අවබෝධ කොටගත් පිංවතාමයි, සැබෑම පරිසරයේ ආරක්‍ෂකයා බවට පත්වෙන්නේ. එම උත්තම අවබෝධය ලැබූ බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක අපිට ගසක කොළයක්, මලක් කැඩීමත් තහනම් කරන්නේ, අනිත්‍ය වූ පරිසරයේ යථාර්ථය අවබෝධ ඥානයෙන් අවබෝධ කළ නිසාමයි.
පිංවත පිනෙන් උපන් ලස්සන සිත නිවෙන පරිසරයක්, අවලස්සන කරන්නේ පිංවත් මනුෂ්‍යයාගේ තෘෂ්ණාව විසින්මයි. පිංවත් මනුෂ්‍යයා කැලෑ විනාශ කළත්, පස් කඳු, කළුගල් කඳු, වැලි නිධි විනාශ කළත්, සරුසාර මහ පොළොවේ පස වස විස යොදා විනාශ කළත් මේ සෑම පාරිසරික විනාශයක ම මූල බීජය ඇති වෙන්නේ මනුෂ්‍යයාගේ ම ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් තුළයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විඳීම් කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ උත්තමයෙක්. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ උපසම්පදා භික්ෂු අපිට පනවන්නේ, ගසක කොළයක්, ගසක මලක්වත් කඩන්න එපාය කියලා. මහ පොළොවේ පස හාරන්න එපාය කියලා. පිංවත වර්තමානයේ රට තුළ සිදුවෙන අතොරක් නැති කාලගුණික විකෘතීන්, නිතර නිතර ඇතිවෙන ගංවතුර, නායයෑම්, වියරු සුළං පිංවත් මනුෂ්‍ය අපිට බල කරනවා, දුකට එකම හේතුව වෙන තෘෂ්ණාවේ පාලනයක් ඇතිකොට ගන්නය කියලා. අපි සමාජය තුළ ඔඩුදුවන තෘෂ්ණාවේ පාලනයක් ඇතිකොට නොගත්තොත්, රටක් හැටියට අපිට හැමදාමත් විකෘති අව්, වැසි, සුළං සමග ජීවත්වෙන්න සිද්ධවේවි. වියරු තෘෂ්ණාවේ ආදරණීය ඵලයවෙන ශෝක, පරිදේවයෝ අපේ ළඟ ම නෑයෝ වේවි. පිංවත කැලෑ පරිසරය අපිට මොනතරම් නම් ආදරණීය ද? පිරිසිදු වාතය, ජලය, සෙවණ, සිසිල, විවේකය, නිරෝගීභාවය, දැමුණු ඉන්ද්‍රියයන්, මේ සියල්ලෙන් ඔබ්බට ගිය ධාතු මනසිකාරය පිළිබඳ අවබෝධ ඥානය, පිංවත ආදරණීය කැලෑ පරිසරය දෙස සිහිනුවණින් බලද්දි, අපිට පෙනෙන්නේ සතර මහා ධාතුවෙන් හැදුණ රූපයන්මයි. මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවත්, කැලෑ පරිසරයේ බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට නුවණින් දකිනවා. කැලේ ගසක කොළයත්, ගසක පොත්තත්, භික්ෂුවගේ නියපොත්තත් අතර වෙනසක් නැහැ. සතර මහා ධාතුවේ නිර්මාණශීලීභාවයටත් පින උපකාරක ධර්මයන් සකස්කොට දෙනවා. පිංවත දෑස් පියාගෙන දකින්න ඔබේ ඔය මෝස්තරකරණය කරන ලද නියපොත්තත්, ගසක කොළයත්, පොත්තත් යන දෙකම කවදාහරි අයිති වෙන්නේ මහ පොළොවේ පසටයි කියලා. පිංවත අපේ ජීවිතත්, පරිසරයත් යන දෙක ම එකම අර්ථයක් වෙද්දි, ඇයි අපි මේ පරිසරයෙන් පළිගන්නේ? ඇයි අපි පරිසරය විකුණාගෙන කන්නේ? ඇයි අපි පරිසරය දූෂණයකොට දමන්නේ?
පිංවත කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ ඉඩෝරය නිසා, අපි තුළින් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලවෙලා යද්දි, පරිසරය පමණක් නොවේ අපි, අපේ ශරීරයත් විකුණාගෙන කන්න පෙළඹෙනවා. ශරීරය විකුණාගෙන කන තැන් හතු පිපෙන්නා සේ බිහිවෙන සමාජයක, පරිසරය විකුණාගෙන කෑම ගැන කිනම් කතාවක් ද? අඩනිරුවත්ව සිටීමට කැමති ලස්සන සුරූපී නෝනා කෙනෙක් මෙහෙම කියනවලු. මට ලස්සන, සුරූපී අනුන් වශී කරන ශරීරයක් ලැබිලා තියෙනවා. මේ ලස්සන ශරීරය මට ලැබුණේ මේක ඇඳුම්වලින් වසාගෙන ජීවත් වෙන්න නොවේ. මගේ රූපයේ ලස්සන ලෝකයාට පෙන්වන්න. මගේ හැඩරුව ලෝකයාට පෙන්වන්නය කියලා. පිංවත මේ නෝනා මහත්මිය ළඟ ලස්සන තිබුණත් ඇය ළඟ සම්මා දිට්ඨියේ අර්ථයන් නම් දශමයක්වත් ගෑවිලාවත් නැහැ. පිංවත මිථ්‍යාදෘෂ්ටිය කතා කරද්දි, කතා කරන වචනවලිනුත් ලස්සන බේරෙනවා. එම නිසා ම මෙම මිථ්‍යාදෘෂ්ටික කතාවලට සමාජය තුළ හොඳ වටිනාකමකුත් ලැබෙනවා. පිංවත ඔබට ලස්සන, සුරූපී, අනුන් වශීකරවන රූපයක් ලැබුණේ නිරුවතින් හෝ අඩනිරුවතින් එම රූපය ලෝකයාට පෙන්වන්න නොවේ. ඔබේ ම ලස්සන රූපය තුළින් ඔබත් කාමච්ඡන්දයන් වඩවාගෙන ඔබේ අඩනිරුවත් රූපය දකින, විඳින අනුන් තුළත් කාමච්ඡන්දයන් ඇතිකොටදීමට නොවේ. පිංවත ඔබට ලස්සන රූපයක් ලැබුණේ එම ලස්සන රූපයට පටිච්චසමුප්පන්න හේතුව වූ මෛත්‍රිය, සීලය, දානයේ වටිනාකම ලෝකයාට කියලා දෙන්න. පිංවත ඔබේ සුරූපී, ලස්සන රූපය තුළින් ලෝකයාට නිරුවත, අඩනිරුවත නොපෙන්වා, කරුණාකර ඔබේ සුරූපී රූපයට මෛත්‍රියයෙන්, සීලයෙන්, ත්‍යාගයෙන් කෘතවේදී වෙන්න. පිංවත් ඔබට ලස්සන රූපයක් ලැබෙන්න ඔබට පටිච්චසමුප්පන්නව උපකාර කළා වූ මෛත්‍රිය, සීලය, ත්‍යාගයේ සහ විසිතුරු, ප්‍රණීත, ලස්සනට කරන පිංකම්වල වටිනාකම සමාජගත කරන්න. පිංවත, පිංවතිය ඔබේ රූපය මොනතරම් ලස්සනයි, සුරූපියි, හැඩයි කියලා ඔබ රූපයේ කෙටි ආශ්වාදයක් ලැබුවත්, ඔය රූපය තුළ සැඟවුණ ජරා, ව්‍යාධි, මරණ, මුත්‍ර, සෙම්, සොටු, අශූචි, දහඩිය ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. මේ සියල්ලෝ ම ඔබගේ සුරූපී රූපයේ සදාදරණීය පෙම්වතුන්, පෙම්වතියන්මයි. නමුත් මේ සදාදරණීය පෙම්වතුන් සහ පෙම්වතියන් අවසානයේ ඔබට උරුමකොට දෙන්නේ ආදීනවයේ විරහ වේදනාවෝ පමණක්මයි. පිංවත දෙවියන්ට ගරු නොකරන එහෙත් තම සුරූපී රූපය දේවත්වයෙන් සලකන, රූපය සතුටින් ම වර්ණනා කරන පිංවතුන් සහ පිංවතියන් බොහෝම කරුණාවෙන් තේරුම් ගන්න ඕනේ, ඔබේ රූපයේ අනාගත ජරා, ව්‍යාධි, මරණයන් ඉදිරියේ දී ඔබට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවාය කියන කාරණය. පිංවත් ඔබ රෝස කුසුමක් ලෙස දකින රූපයේ හැඩය, වර්ණය, ප්‍රභාෂ්වරභාවය, රිද්මය, ලාලිත්‍යය වෙනස්වෙලා යද්දි, ඔබ දුකට පත්වෙනවා.
දැඩි සත්කාර ඒකකයක සේවය කරන දොස්තර මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, සමහරක් රෝගී පිංවතුන් තම නාසයට, මුඛයට, මුත්‍ර මාර්ගයට සවිකොට තිබෙන උපකරණ (බට) ගලවා දමන්න උත්සාහ ගන්නවාය කියලා. අඩ සිහියෙන් රෝගී සයනය මත දඟලනවාය කියලා. පිංවත රෝගී සයනය මත මේ අහිංසක රෝගීන් කරන කලබලය කුමක් ද? තමන් තරුණ වයසේ, මධ්‍යම වයසේ තමන් ලස්සනයි, සුරූපියි කියලා නිත්‍ය සංඥාවෙන් ගත්ත දේවත්වයේ රූපය දාලා යන්න කැමති නැහැ. නොදන්නාභාවය නිසා ම සංස්කාරයන්ට අභියෝග කරනවා. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ වූ රූපයක් දරාගෙන සිටි බුදුරජාණන් වහන්සේ තමන්ගේ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබළන රූපය ජරා, ව්‍යාධි, මරණ අභියෝගයන්ට ලක්වෙද්දි, එම සංස්කාර අභියෝගයන් ධර්මයේ උපේක්‍ෂාවෙන්මයි පිළිගන්තේ. ඇලෙන සහ ගැටෙන සිත් ඇති, තෘෂ්ණාවේ දාසභාවයෙන් නොමිදුණ අපි, රූපය ජරා, ව්‍යාධි, මරණ අභියෝගයන්ට ලක්වෙද්දි, රෝගී සයනයේ දී දඟ කරන්නේ, බට ගලවා ගැනීමට උත්සාහ කරන්නේ තම රූපය දාලා යන්න ඇති අකැමැත්ත නිසාමයි. අපි රූපයේ එල්ලී සිටිනවා, රූපයේ තැවරී සිටිනවා, රූපයේ බැසගෙන සිටිනවා. ධර්මානුකූල ශක්තිමත් මරණයකට, යළි පටිච්චසමුප්පන්න යහපත් උපතකට ඇති සියලු ඉඩකඩ අහිමිකොට ගන්නවා. තම රූපය කෙරෙහි ඇතිකොටගත් මම ලස්සනයි, සුරූපියි යැයි දැක්ක නිත්‍ය, සැප, සුභ සංඥාවෝ තරම් පාපමිත්‍රයෙක් තමන්ට නැති බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත සමාජය තුළ ජීවත්වෙන යම් පිංවතෙක් හෝ පිංවතියක් තමන්ගේ රූපය ගැන මහා ඉහළින් උදම් අනනවා නම්, තම රූපයේ සුරූපීභාවය, හැඩය, වර්ණය, රිද්මය, ලාලිත්‍යය බාහිර ලෝකයාට රස විඳීමට නිරුවත්වෙනවා නම්, අඩනිරුවත්වෙනවා නම්, නිරුවත හෝ අඩනිරුවත වර්ණනා කරනවා නම්, ඒ අදහස් දක්වන්නේ ඔහුගේ හෝ ඇයගේ දුකේ පාපමිත්‍රයා ම බව සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත අතීත මෛත්‍රියයේ, සීලයේ, දානයේ, මලින්, සුවඳින්, විසිතුරුභාවයෙන් කරන ලද පිංකම්වල ඵලයෙන් ඔබට සුරූපී රූපයක් ලැබුණේ, රූපය අනිත්‍යයි කියන අවබෝධය ලබා ගැනීමටයි. රූපයේ අනිත්‍යභාවය දැකීමෙන් ඔබ ලබන අයෝමය විදර්ශනාමය කුසලය කවදාකවත් අවසාන රෝගී සයනයේ දඟ කරලා ලබන මරණයකට නම් අවස්ථාව සලසලා දෙන්නේ නැහැ.
මෙය සටහන් තබන භික්ෂුවත් ලස්සනට ගොඩාක් කැමතියි. ඒ ලස්සන සමග ඇලෙන්න හෝ ගැටෙන්න නොවේ. ලස්සන තුළින් මෛත්‍රියයේ, සීලයේ, ත්‍යාගයේ සහ විසිතුරු පිංකම්වල මෙලොව සහ පරලොව ආශ්චර්යමත්භාවය මතුකොට දකින්න. පිංවත තමාගේ ම සුරූපී රූපය තමාට සූත්‍රගත ධර්මයක් වෙද්දි, අපි එම සූත්‍ර ධර්මය කියවලා බලන්නේ නැහැ. අපි කියවන්නේ තමා තුළම සැඟවී තිබෙන මායාකාරී විඤ්ඤාණය නමැති පාපමිත්‍රයා දිගහැර දෙන බොළඳ නවකතාවන්මයි. පිංවත මනුෂ්‍ය ධර්මයෝ අපි අමතක කළොත්, තිරිසන් ධර්මයෝ, ප්‍රේත ධර්මයෝ විඳීම් තුළින් අපි පටිච්චසමුප්පන්න නිවසට ගොඩ වෙනවා. එවිට අපි නිරුවත සහ අඩනිරුවත වර්ණනා කරන්නේ, ඉවකරන, ඉවකරන තැන මෙලෝ ලජ්ජාවක් නැතිව, කකුල උස්සා මුත්‍ර කරන, පුංචි බලු සුරතලුන් වගේමයි. පිංවත කරුණාකර පෙර පිනට ලස්සන, සුරූපී රූපයන් ලැබුණාය කියලා, සමාජයට වැරදි පූර්වාදර්ශ දෙන්න එපා. මේ අහිංසක, පිනැති අනාගත දරු පරපුර සදාචාරාත්මකව ආරක්‍ෂාකොට ගැනීමට ඔබලාගේ නොමනා හැසිරීම් සහ ප්‍රකාශයන් සමාජයට කොඩිවිනයක් ම වෙනවා. මෙහෙම සටහන් තැබුවා කියලා කරුණාකර භික්ෂුව සමග අමනාප සිත් ඇතිකොට ගන්න එපා. කරුණාවෙන්මයි මෙහෙම සටහන් තබන්නේ. භික්ෂුව අවංකව ම කැමති නැහැ වර්තමානයේ තම ලස්සන රූපයෙන් අතිශය මාන්නයට පත්වෙලා, අනාගතයේ රූපයේ ආදීනවයන් දිරවා ගැනීමට නොහැකිව, වයෝවෘද්ධ රෝගී සයනයේ සද්ධර්මයට අකීකරු මරණයක් ලබනවාට.
පිංවත පසුගිය දවසක තම කුලුඳුල් ආදරයෙන් විරහ වේදනාවන් ලැබුව තරුණ දරුවෙක් සියදිවි නසා ගන්න ගිහිල්ලා. තමාගේ ම අතීත අකුසල් සංස්කාරයන්ට ද්වේශයෙන් සහ පළිගැනීමෙන් අභියෝග කරන්න ගිය මේ දරුවා, තමාගේ දෙමාපියන් තුළ තිබූ පරීක්‍ෂාකාරී බව නිසා ම මරණීය අනතුරින් මිදිලා. භික්ෂුව එම පිංවත් තරුණ දරුවාගෙන් ඇසුවා, ඇයි ඔබ මෙච්චර උගත් දරුවෙක් වෙලත් දිවි නසා ගන්න ගියේ කියලා. එවිට එම තරුණ දරුවා කියනවා, ස්වාමීන් වහන්ස, කුලුඳුල් ආදරය විසින් මාව පිස්සු වැට්ටුවාය කියලා. ආයෙමත් නම් මම කාටවත් ම ආදරය කරන්නේ නම් නැහැය කියලා. පිංවත මේ සටහන කියවන ඔබත් ආදරයේ විරහ වේදනාවන් ඉදිරියේ නැවත කාටවත් ම ආදරය කරන්නේ නැහැය කියලා තීරණයක් අරගෙන තිබෙනවා ද? පිංවත සිහිනුවණින් සිතන්න, ආදරය නොවේ ඔබව පිස්සු වැට්ටුවේ. ආදරය කෙරෙහි ඔබ ඇතිකොටගත් අසීමිත තෘෂ්ණාවයි. පිංවත ඔබ ඇතිකොටගත් අසීමිත තෘෂ්ණාවේ වරදට ආදරයට දොස් කියන්න එපා. ආදරය ප්‍රතික්ෂේප කරන්නත් එපා. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ ආදරය, එදා වගේ ම අදත් අහිංසකයි.