පිංවත පංච නීවරණයන්ගෙන් වැසී ගිය ඔබේ සතිය සිහිය සප්ත බොජ්ඣංගයන්ගෙන් අවදිකොට ගන්න. පිංවත මේ ඔබේ ම සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම අසිහියෙන් පටිච්චසමුප්පන්නව තනාගත් සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම යළි යළිත් අසිහියෙන් ම ජීවත් කරවන සංස්කාර ලෝකයයි. අවිද්‍යාවේ මුදුන් මුලෙන් උනන සංස්කාර ඕජාවෝ, විඤ්ඤාණය වාජීකරණයකොට පංච උපාදානස්කන්ධ දුකට පණ දෙන සංස්කාර ලෝකයයි. පිංවත් ඔබ අවිද්‍යාව හඳුනාගත්තත්, පිංවත් ඔබ සංස්කාරයෝ හඳුනාගත්තත් තවමත් ඔබට පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සැඟවුණ අමුත්තෙක් පමණක්මයි. පිංවත මේ දවස්වල ඔබේ ගමේ අවුරුදු උත්සවවල සැඟවුණ අමුත්තා සෙවීම යැයි කියලා තරග ඉසව්වක් තිබෙනවා නේද? උදෑසන ම මෙම තරග ඉසව්ව ආරම්භ වුවත්, මෙම සැඟවුණ අමුත්තා උදේට, දහවලට, සවසට කාටවත් ම සොයාගන්න බැහැ. ඔය සැඟවුණ අමුත්තා සොයා ගන්නේ අවුරුදු උත්සවය අවසන් වන පැයේදියි. පිංවත විඤ්ඤාණය නමැති සැඟවුණ අමුත්තා ඔබ ඇසුරේ ම පටිච්චසමුප්පන්නව වැඩුණත්, උතුම් නිවන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, සතිය, සමාධිය කියන ලෞකික ධර්මතාවන් තුළ දී, විඤ්ඤාණය නමැති සැඟවුණ අමුත්තා අපිට හඳුනා ගන්න බැහැ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසන් අදියරේ සම්මා සමාධිය තුළින් මතුකොට ගන්නා සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි විදර්ශනා නුවණයි, අවසන් පැයේ දී ඥාන දර්ශනයන් තුළින් විඤ්ඤාණය නමැති සැඟවුණ අමුත්තා පිංවත් ඔබට විවෘත වෙන්නේ. පිංවත සළායතනයන්ගේ ඵස්සය ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. ඔබ ඒ දකින්නේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ නිරුවතයි.
පිංවත මීට වසර දෙදහස් හයසියයකට පෙරාතුව මේ ලෝක ධාතුවට උත්තරීතර, පුණ්‍යවන්ත, ප්‍රඥාවන්ත ශාස්තෘන් වහන්සේ නමක් පහළ වුණා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමැති එම උත්තරීතර ශාස්තෘන් වහන්සේගේ නික්ලේෂී මහා කරුණා ගුණය නිසා ම එදා පටන් වර්තමානය දක්වා ලක්ෂ ගණන් පිංවත් දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ප්‍රජාවක් නිවන් අවබෝධකොට ගත්තා. එදා මෙදාතුර ලක්ෂ ගණනක් ජනතාව කාම, රාග, පටිඝයෝ නිරෝධය කොට ගත්තා. අතිශය බියකරු සතර අපා දුකෙන් මිදී ගියා. සුගතිය දුගතිය වෙන් වශයෙන් හඳුනාගෙන සුගතිගාමී වුණා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, සතියෙන්, සමාධියෙන් ලෝකය පිනෙන්, වර්ණය, සැපය, බලයෙන් ලස්සන වුණා. පිංවත මිථ්‍යාදෘෂ්ටියේ දුක් කළු පැහැය මකා දමා සම්මා දිට්ඨියේ ආලෝකය ලබා ගත්තා. පිංවත ස්වාක්ඛාත වූ සද්ධර්මයේ රසය, අර්ථය මේ ලියන සටහන තුළිනුත් අපිට ලබා දුන්නා. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත වන මහා සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයෙන් වර්තමානයේ අපි සැවොම සැනසෙනවා. පිංවත තෘෂ්ණා පච්චයා උපාදානං කියන සත්පුරුෂ සාංසාරික උපාදානයන් ඔස්සේ පිනෙන් උපදින උත්තමයින්ට, ලෝක සත්ත්වයාට මොනතරම් නම් යහපතක් කරන්න පුළුවන් ද? පිංවත නරක, නපුරු, අසත්පුරුෂ මනුෂ්‍යයෝ ලෝකය ලෙයින්, කඳුළින් තෙත් කරද්දි, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාව මහා කරුණා ගුණයෙන් ම තෙත් කළා. පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ නැවතීමක්, නිමාවක්, අවසානයක් නැහැ. ඇලීම්, ගැටීම් පීලි දෙක දිගේ නොනවතින පටිච්චසමුප්පන්න ගමනක් ලෝකය යනවා. අපි හැමෝම නිවන් අවබෝධ කරගන්නෙත් නැහැ. අපි හැමෝම සතර අපායෙන් මිදෙන්නෙත් නැහැ. පිංවත තවදුරටත් ඔබ තෘෂ්ණාවට කැමති නම්, අවම වශයෙන් උපන් රටේ උත්තම පුරුෂයෙක් වෙන්න බලන්න. ලෞකික ප්‍රඥාවෙන්, මෛත්‍රියෙන්, නෙක්ඛම්මයෙන්, ශීලයෙන්, සතියෙන්, සමාධියෙන් හැමෝට ම වඩා අර්ථවත්ව සිටින උතුම් පුද්ගලයෙක් වෙන්න බලන්න. සමාජයට අවුල් වියවුල්, ගැටුම්, අසමගිය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කේලම්, දුශ්ශීලභාවයන් බෙදාදෙන හීන පුද්ගලයෙක් වෙන්න එපා. පිංවත ලෝකය නමැති අර්ථය තුළ අපිට තව දිනාගන්න දෙයක් නැහැ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස මේ සියල්ල ම අපි දිනාගෙනයි සිටින්නේ. අපිට ඉතිරිවෙලා තිබෙන්නේ සිහිනුවණින් ලෝකය අවබෝධ කරන්නයි. පිංවත දුක පරාජය කළොත්, තාවකාලිකව ලෞකික සැප දිනනවා. පිංවත අවබෝධයමයි උත්තරීතර වෙන්නේ. එතෙක් පිංවත් ඔබ සමාජයට උතුම් පූර්වාදර්ශී චරිතයක් වෙන්න.
පිංවත තරුණ මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම විවාහ වෙන්න බලාපොරොත්තු වුණේ ගුණයහපත් පුරුෂයෙක්ව. ඒත් මට විවාහ වෙන්න ලැබුණේ ගුණයහපත් මනුෂ්‍ය දෙවියෙක්ය කියලා. පිංවත දික්කසාද උත්සන්න වෙන සමාජයක, කාමයේ ආශ්වාදය, රූපයේ ආශ්වාදය, ආදරයේ සැබෑ අර්ථයන් යටකරගෙන නැගී සිටින සමාජයක, විවාහයට මනුෂ්‍ය දෙවියෙක්, දිව්‍යාංගනාවක් ලැබෙනවා කියන්නේ පෙර පිනේ ඵලයක්මයි. පිංවත ඔබට නොගැළපෙන, ආදරය නොහඳුනන, නරක, නපුරු, මාන්නාධික, චපල බිරිඳක් හෝ ස්වාමිපුරුෂයෙක් ඔබට ලැබෙන්නේ, එම බිරිඳ හෝ ස්වාමිපුරුෂයාගේ වරදක් නිසා නොවේ. ඒවා එම පිංවතුන්ලාගේ ජන්ම ගති ලක්ෂණ. යම් පිංවතෙක්, පිංවතියක් පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ දී කාමයේ වරදවා හැසිරීම, තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයාට කායිකව, මානසිකව හිංසා කිරීම, සමගියෙන් විවාහ ජීවිත ගතකරන අයට ඊර්ෂ්‍යා කිරීමෙන්, කේලම් කියා විවාහ ජීවිත බිඳවීමෙන් ඇතිකොටගත් අකුසල් හේතුවෙන් ඔබේ සහකරු ඔබට දෙවියෙක්, දිව්‍යාංගනාවක් නොවී යකෙක්, යක්ෂණියක් වෙන්න පුළුවන්. පිංවත රූපයේ සහ කාමයේ කෙටි ආශ්වාදය ඉදිරියේ ආදීනවය මහමෙරක් වගේමයි. තරුණ ධනවත් මහත්මයෙක් අවස්ථා තුනක දී කාන්තාවන් තුන් දෙනෙක් සමග භික්ෂුවට පිරිකර පූජා කරන්න පැමිණියා. භික්ෂුව එම තරුණ මහත්මයාගෙන් ඇසුවා, වරින්වර විවිධ කාන්තාවන් එක්කරගෙන එනවා, මේ අය කවු ද කියලා. එම මහත්මයා පැකිළීමකින් තොරව කියනවා, ඒ මගේ අනියම් සම්බන්ධතාවන්ය කියලා. භික්ෂුව එම තරුණ මහත්මයාගෙන් ඇසුවා අනුනගේ බිරින්දෑවරු පරිහරණය කරන්නේ, ඇයි ඔබ විවාහ වෙන්නේ නැත්තේ කියලා. එම තරුණ මහත්මයා කියනවා, විවාහවීමේ බලාපොරොත්තුවෙන් අවංකව ම තරුණියන් කිහිප දෙනෙක් ඇසුරු කළා. ඒ හැමෝම මගෙන් ගන්න තිබෙන ලාභසත්කාර සියල්ල ම අරගෙන මාව අමතක කළාය කියලා. පිංවත් මහත්තයෝ එම තරුණියන් ඔබට විරහ දුක් දුන්නේ ඔබේ ම පෙර කාමයේ වරදවා හැසිරීමේ අකුසල් නිසාමයි. පිංවත අතීත අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙත්දි එම තරුණ පිංවතා අනියම් සම්බන්ධතා තුළින් වර්තමානයේ ඇතිකොට ගන්නා අකුසල් හේතුවෙන්, තමා තමාගෙන් ම අකුසලයෙන් පළිගන්නවා.
පිංවත නීතියෙන් විවාහ නොවී එක ගෙදර පවුල් කන සංස්කෘතියකුත් දැන් දැන් සමාජය තුළ කලඑළි බහිනවා. බැඳීම්වලින් තොර නිදහස් පවුල් කෑම ලජ්ජා බිය දෙකින් තොරව සමාජගත වෙනවා. පිංවත සමලිංගික පවුල් කෑමත් දැන් දැන් සමාජයට ආගන්තුක නැහැ. පිංවත සත්ත්වයාගේ අකුසල් වැඩිවෙනකොට ශීලාචාර ධර්මයෝ සමාජයෙන් පසු බසිනවා. මනුෂ්‍යයෝ නිදහස සොයාගෙන යන්නේ කුසල් මාර්ගය තුළ නොවේ, අකුසල් මාර්ගය තුළයි. අවසානයේ පටිච්චසමුප්පන්නව අපිට නිදහස ලැබෙනවා. අපි නිදහස් වෙන්නේ මේ ලැබුවා වූ දුර්ලභ උතුම් මනුෂ්‍යත්වයෙන්. පිංවත ලෝකය ආශ්වාදයේ සතුටු සිනා මැද කඩිමුඩියේ සකස් වෙන්නේ අනාගත මෘග සංඥාව දිශාවට. ප්‍රමාදයක්, වරදක් නැහැ. අවිද්‍යාවේ පදයට ලෝකය නටනවා. දිව්‍ය ධර්මයෝ, මනුෂ්‍ය ධර්මයෝ දවසින් දවස බෙලහීන වෙනවා. අමනුෂ්‍ය ධර්මයෝ, තිරිසන් ධර්මයෝ නිදහසේ නාමයෙන් අත පැන් වත්කොට සමාජගත වෙනවා. භික්ෂුව තවමත් ලියනවා, ඉරිදා දිවයින තවමත් පළ කරනවා. ඔබ තවමත් කියවනවා. කුසල් සංස්කාරයෝ ඉබි ගමනින් යනවා. අකුසලයේ අජානීය අශ්වයන්ගේ කුර ගැටෙන වේග රිද්මයට, නිදහසේ නාමයෙන් ලෝකය දුර්ලභ උතුම් මනුෂ්‍යත්වයෙන් ඈතින් ඈතට යනවා. අනාගතයේ යම් දවසක් එනවා තිරිසන් ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් එක ම නිදහස භුක්ති විඳින. පිංවත භික්ෂුවට ප්‍රීතියක්, පස්සද්ධියක් දැනෙනවා, භික්ෂුව අප්රමාදී වුණාය කියලා. පිංවත් ඔබේ හෘදසාක්ෂියට තට්ටු කරලා අහන්න, පිංවත් ඔබටත් එම ප්‍රීතිය, පස්සද්ධිය දැනුනා ද කියලා. පිංවත අපි සියල්ලෝ ම දුර්ලභ මනුෂ්‍යයෝ වුවත්, අපි එකිනෙකාගේ සංස්කාරයෝ එකිනෙකට වෙනස්. පිංවත එකිනෙකට වෙනස් සංස්කාර ලෝකය ගැන සිතන්න යන්න එපා. එම සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. අනිත්‍ය වූ ඵස්සයක් යැයි ධම්මානුපස්සනාවට ඵස්සය දන් දෙන්න. පිංවත මැරෙන රූපය උපයෝගී කොටගෙන උපදින අවබෝධයට පණ දෙන්න. පිංවත හෙට ලෝකය අයිති ඔබට හෝ භික්ෂුවට නොවේ. හෙට ලෝකය අයිති සංස්කාර ප්‍රෝඩාවෙන් සහ ඇස්බැන්දුමෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මායාවටයි, මැජික් සංදර්ශකයාටයි. හෙට බිහිවෙන මෙම මැජික් සංදර්ශනකාරී ලෝකයේ, පිරිමි දෙදෙනෙක් හෝ කාන්තාවන් දෙදෙනෙක් මංගල පෝරුව මත නැගී කසාද බඳින මායාකාරී සංදර්ශන අසිරිය වැඩි ඈතක නොවේ. පිංවත ධර්මයේ උපේක්ෂාව ඇතිකොට ගන්න. මේ ඔබ දකින්නේ සංස්කාර ලෝකයයි. නිදහස්වීමෙන් තොරව විසඳුමක් නොමැති සංස්කාර ලෝකයයි. නිවැරදි කරන්න බැරි, නිවැරදි කළත් යළි කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයයි.
පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා, ශ්‍රාවිකාව ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවේ. උන්වහන්සේලා ජාතිවාදී, ආගම්වාදී ලෝකය දෙස බලන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ කැඩපතෙන්. පිංවත චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ කැඩපතින් ලෝකය දෙස, සමාජය දෙස බැලීමේ දී අපි දකින්නේ දුක යම් තැනක ද, දුකට එකම හේතුව තෘෂ්ණාව කියන කාරණයයි. පිංවත මේ ලෝක ධාතුවේ උත්තරීතර ම, දුර්ලභ ම දශපාරමී ධර්මයන් පිරීමෙන් පමණක් තමා විසින් මතුකොටගත හැකි එකම දහම, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝමයි. පිංවත මේ උතුම් දහම වරදින්න තැනක් නැහැ. මේ උතුම් දහම ප්‍රතිඵල නොදී යන්නේ නැහැ. මේ උතුම් දහම තුළ සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේ පටන් සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා ම අර්ථවත්ව බැසගෙනයි තිබෙන්නේ. පිංවත ළඟ බලන්න එපා, දුර බලන්න. පිංවත් ඔබ ළඟ බැලුවොත් ඔබට පෙනෙන්නේ සළායතනයෝ පිනවන කාමච්ඡන්දයෝ පමණක්මයි. පිංවත අපිට විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනය ඔස්සේ අවිද්‍යාව දිවා, රාත්‍රී උගන්වන්නේ ළඟ බලන්නයි. පිංවත් ඔබත් ළඟ බැලීමේ අවිද්‍යාවේ උපාධිය ඉහළින් සමත් අයෙක් ද? පිංවත සක්කාය දිට්ඨිය, මමත්වයේ දැඩිභාවය, ආත්මීය දෘෂ්ටිය අවිද්‍යා උපාධියේ කොඳු නාරටියයි. පිංවත අපි මේ යන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ අනාගතය අමතකකොට, වර්තමානය ගැන පමණක් සිතන ගමනක්. පිංවත ගිහි සහ පැවිදි අපි මෙහෙම තෘෂ්ණාව පසුපස අසිහියෙන් හඹාගෙන ගියොත්, සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවය වන චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට කුමක් වේවි ද? පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අත්තිවාරම, දුකට එකම හේතුව රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙරෙහි තෘෂ්ණාව කියන අර්ථය නේද? මනුෂ්‍ය ජීවිත තුළ තෘෂ්ණාව වැඩිවෙනකොට සම්මා සම්බුද්ධ ශාසනයේ අත්තිවාරමයි දෙදරන්නේ. මේ දෙදරන ශාසන අත්තිවාරම මත අපි ඉදිකරන ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ බිත්තිවල කල්පැවැත්මට, අර්ථවත්භාවයට කවුරුන් නම් සහතික දෙන්න ද? මේවා ඉරිතලායන, ගිලා බහින බිත්ති වෙන්න පුළුවන්.
පිංවත ලෝකය දෙස තෘෂ්ණාවෙන් බලන්න එපා. ඔබ ලෝකය දෙස තෘෂ්ණාවෙන් බැලුවොත් ඔබට පෙනෙන්නේ ආත්මීය දෘෂ්ටියෙන් බබලන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ වැරහැලි ගොඩමයි. පිංවත රූපය, ධනය, බලය, නිලය මේ සියල්ලෝ ම අනිත්‍ය වී යන සංස්කාර වැරහැලිමයි. පිංවත ලෝකය දෙස සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අර්ථයෙන් බලන්න. අවිවේකයෙන් වෙහෙසට පත් ඔබේ තෘෂ්ණාවට දැන්වත් විවේකයක් දෙන්න. පිංවත් ඔබ තෘෂ්ණාවට දැනෙන විවේකයක් දුන්නොත් පමණක්මයි, ලෝකය තුළ සැඟවිලා යන මනුෂ්‍යකම්, ගුණයහපත්කම්, යුතුකම්, කෘතවේදීකම් යළි අපිව සොයාගෙන එන්නේ.