පිංවත උතුම් සද්ධර්මය යැයි කියන්නේ ජීවිතයෙන් පලායන දහමක් නොවේ. ජීවිතය ජයගන්නා දහමක්. ජයත්, පරාජයත් යන දෙකම, අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි අවබෝධ කොටදෙන දහමක්. පිංවත ජීවිතය ජයගන්නා දහමක්, ජීවිතය අවබෝධ කොටගන්නා දහමක් සරණ ගිය අපි, ඇයි මේ අසරණව ජීවත් වෙන්නේ? පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝකයක් මැද්දේ, තෘෂ්ණාවේ ගිනි නිවන්න උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිසිල් ජලය අවශ්‍යම වෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සෑම බණ පදයකම මහා කරුණා ගුණය කැටිවෙලා තිබෙනවා. මහණෙනි, ඇස අනිත්‍යයි කියන මේ ධර්මය තුළ මොනතරම් නම් මහා කරුණා ගුණයක් කැටිවෙලා තිබෙනවා ද? මහණෙනි මේ ඇස අනිත්‍යයි, මේ ඇස අයිති ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ටමයි. කවදාහරි දවසක මේ ඇස පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙනවාමයි. අනේ කරුණාකරලා පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙන ඇසෙන්, වර්තමානයේ රූප දැකලා, එම දැක්ක රූපයන්ට ඇලිලා සහ ගැටිලා සිල්පද දුර්වල කොටගන්න එපා, අකුසල් වඩන්න එපා. එහෙම වුණොත් ඔය ඇස නිසා ඔබ පටිච්චසමුප්පන්නව අපාගත වේවි. පිංවත ඔය ඇස කියන්නේ මාරයාටයි. කරුණාකර සිල්පද ආරක්ෂා කොටගෙන, කුසල් මූලයන් වඩමින්, ඇසේ ඵස්සයෙන් සතුටු වෙන්න. පිංවත මේ අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි දැක්වූ මහා කරුණා ගුණයම නේද?
පිංවත ඔබ ඇසෙන් රූප දැකලා, දැක්ක රූපයන්ට ඇලිලා හෝ ගැටිලා සිල්පද දුර්වල කොටගන්නවා නම් හෝ ලෝභ, ද්වේශ, මෝහයෝ වඩනවා නම්, ඔබ ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයම නේද? පිංවත ගෙවීගිය ඊයේ දවසේ ඔබ සිල්පද කීයක් දුර්වලකොට ගත්තා ද? ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි කීයක් නම් ඊයේ දවසේ ඔබ තුළ ඇතිවුණා ද? පිංවත කරුණාකර හදවතින් බුදුරජාණන් වහන්සේ කමා කරගන්න. පිංවත අංගුලිමාලටත්, අම්බපාලියටත් බුදුරජාණන් වහන්සේ සමාව දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ ආශ්චර්යයමයි. පිංවත වර්තමාන සමාජය දෙස සිහිනුවණින් බලන්න. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අපිට එපා කියන පිරිස වේගයෙන් වැඩි වෙනවා නේද? අපිට ඕනේ මහා මාරගුණය යැයි කියන සටන් පාඨය මහා වේගයකින් සමාජගත වෙනවා නේද? අපි බොරු කියමු, අපි නම්බුකාරව සොරකම් කරමු, අපි කාමයේ වරදවා හැසිරෙමු, අපි මත් වතුර බොමු, අපි මිච්ඡා ආජීවයේ යෙදෙමු. හැබැයි අපි මළාට පසුව උපදින බව නොසිතමු. අපි ජැන්ඩියට ඇඳලා, කාලා, බීලා, විනෝද වෙලා සතුටු වෙමු, විනෝද වෙමු. වයසට යන බව, මැරෙන බව, මැරිලා යළි උපදින බව නොසිතමු. පිංවත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ප්‍රතික්ෂේප කොට වර්තමානයේ සරණ යන මහා මාරගුණයේ තරම පෙනෙනවා නේද? පිංවත කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට සිය කැමැත්තෙන්ම අපි සුගතියට පයින් ගසා, දුගතිය සතුටින් වැළඳ ගන්නවා. කුසල් ධර්මයන්ට පයින් ගසා අකුසල් ධර්මයෝ සතුටින් සිප වැළඳ ගන්නවා. පිංවත ලෝකය උඩු යටිකුරු වුණත්, එතැන උපදින්නේ ධර්මයක්මයි. සංස්කාර පච්චයා විඤ්ඤාණ, අපේ සම්මා හෝ මිච්ඡා දැනීම්වලට වගකිවයුත්තේ අතීත සංස්කාරයෝමයි. පිංවත වරදක් හෝ වරදකරුවෙක්ගෙන් තොර, හේතුඵල ධර්මයක් සමාජගත මහා මාර ගුණයන් සිත් සේ ප්‍රවර්ධනය කරනවා. පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය මත උපන් ලෝකය නිවැරදි කරන්න බැහැ. ලෝකයේ අර්ථය තෘෂ්ණාවයි, ලෝකයේ ජවය තෘෂ්ණාවයි, ලෝකයේ දුක තෘෂ්ණාවයි, ලෝකයේ සෙවණැල්ලත් තෘෂ්ණාවයි. පිංවත ලෝකයේ සෙවණැල්ලවත් ප්‍රාර්ථනා කරන්න එපා. සළායතනයෝ සිහිපත් වෙත්දි, අනිත්‍ය යැයි දකින්න. සළායතනයෝ හේතුවෙන් සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ සිහිපත් වෙත්දි, අනිත්‍ය යැයි දකින්න. මාර ධර්මයෝම උපයෝගි කොටගෙන මාරයාගේ ලෝකයෙන් නිවී යන්න. කරුණාකර අති වේගයෙන් සමාජගතවෙන මහා මාරගුණයන්ට නම් රැවටෙන්න එපා.
පිංවත තෘෂ්ණාව අඩු තැන දුක අඩු වෙනවා. තෘෂ්ණාව ප්‍රවර්ධනය කරමින් දුකට ආඩපළි නම් කියන්න එපා. හැබැයි ඉතින් තෘෂ්ණාව දෝරේ ගලායන නමුත්, දුක අඩු ජීවිත සමාජයේ දී අපිට හමුවෙනවා. ඊට හේතුව වෙන්නේ අතීත සහ වර්තමාන පිනේ බලවත් භාවයයි. මෙය සටහන් තබන භික්ෂුව පැවිදි වුණේ වයස අවුරුදු හතළිස් හතරේදි. භික්ෂුවගේ ගිහි ජීවිතයේ විවාහයක් වෙන්න සිතුවා නම්, රැකියාවක් නොකරන යහපත් ගෘහණියක් බලාපොරොත්තු වුණේ. එම අතීතයේ දියණියක් ප්‍රාර්ථනා කළා නම්, ඇය රැකියාවක් උදෙසා නොව, යහපත් ගෘහණියක් කරනවාය කියලයි චේතනාවන්, සිහින සකස් වුණේ. වර්තමාන සමාජයේ අභිමතාර්ථයන් සමග දකිත්දි, පිංවත් ඔබට සිතෙන්න පුළුවන්, අතීතයේ ගිහි මම, හණමිටි අදහස් දැරුවෙක්ය කියලා. පිංවත ඔබේ සිතුවිල්ලට ගොඩාක් ස්තුතියි. පිංවත භික්ෂුවගේ එම අතීත සිතුවිලි තුළ තිබිලා තිබෙන්නේ උතුම් ධර්මයක්. එම ධර්මය තමයි තෘෂ්ණාව අඩු තැන දුක අඩුය කියන ධර්මය. නමුත් එදා භික්ෂුව චතුරාර්ය සත්‍යය දැනගෙන සිටියේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අර්ථවත්ව දැනගෙන සිටියේ නැහැ. පිංවත අතීත ගිහි ජීවිතයේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ ගැන නොදන්න මට, තෘෂ්ණාවේ දුකට මුල්වෙන හේතු ධර්මයෝ කෙරෙහි දැනීම් සකස්කොට දී තිබෙන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයමයි. භික්ෂුව පටිච්චසමුප්පන්න පෙර ජීවිතයේ නැවතුන තැන, තෘෂ්ණාව දික්කසාද කිරීමට සද්ධර්මයේ නීති උපදෙස් ලබාගත් තැනක් වෙන්න පුළුවන්. පිංවත ලද දෙයින් සතුටු නොවී, අල්පේච්ඡ ජීවිතයෙන් සතුටු නොවී, මධ්‍යම ප්‍රතිපදාවෙන් සතුටු නොවී, අවිද්‍යාවෙන් අන්ධ සංස්කාර ලෝකය තුළ සැපයේ නාමයෙන් තෘෂ්ණාව පසුපස හඹා ගොස් තමන් අත්විඳින දුක ගැන කරුණු කියන සහ සැපය උදෙසා ආශිර්වාද කිරීම් බලාපොරොත්තුවෙන් පැමිණෙන පිංවතුන්ලාගේ ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා. පිංවත මේ දේවල් මොනතරම් සටහන් තැබුවත් සමාජය තේරුම් ගන්නේ නැහැ.
ගොරහැඩි පටිච්චසමුප්පන්න අවිද්‍යාවට විෂය වෙන්නේ අධර්මයෝ පමණක්මයි. පිංවත ඔබ දානය පූජා කළොත් ඔබට ලැබෙන්නේ වර්ණය, සැපය, බලය කියන ආනිශංස ධර්මයන් තුනයි. නමුත් පිංවත් ඔබ අවංකව සියලු සත්ත්වයෝ සුවපත් වේවා යැයි මොහොතක් මෛත්‍රිය වැඩුවොත්, ආනිශංස ධර්මයෝ එකොළහක් ජීවිතයට එකතුවෙනවා. නමුත් අපි කැමති මෛත්‍රිය ජීවිතයෙන් ඈත්කොට තබලා දානය පූජා කිරීමටයි. ආනිශංස එකොළහක් එපා කියලා, ආනිශංස තුනක් පසුපස හඹා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෛත්‍රියෙන් ලැබෙන ආනිශංස ධර්මයන්ට වඩා ඇසුරු සැණක් සතර සතිපට්ඨාන ධර්මයෝ වැඩීම මහත්ඵල මහානිශංසයි කියලා. පිංවත අතීත පටිච්චසමුප්පන්න භව ගමනේ මෛත්‍රිය වැඩීමට සහ අනිත්‍ය සංඥාව වඩා අපි දන් පූජා කිරීමයි පුහුණු කරලා තිබෙන්නේ. අපේම අතීත සාංසාරික පුරුදු වර්තමානයේදීත්, ලස්සන, විසිතුරු දවටනවල දැවටූ ගුණාත්මකභාවය අඩු සංස්කාරයන්ට අපිව යොමුකරනවා.
පිංවත අපි පිංකම් සිද්ධකොට ගනිද්දි, එම සම්මා වායාමයෝ උතුම් ලෞකික ප්‍රඥාවෙන් සහ ශීලයෙන් පෝෂණය කොටගන්න ඕනේ. ලෞකික ප්‍රඥාවෙන් සහ ශීලයෙන් පෝෂණය නොවූ අපේ පිංකම් අපිට සම්මා සතියක් සහ සම්මා සමාධියක් ඇතිකොට දෙන්නේ නැහැ. එවිට අපේ මිච්ඡා වායාමයෝ අපිට උපකාර වෙන්නේ මිච්ඡා සතියකට සහ පංච නීවරණ ධර්මයෝ උදෙසා පමණක්මයි. පිංවත දෙනෝදාහක් පිංවතුන් ගැවසෙන මහා සෑයක් අභියස පිංවත් පිරිසක් බුදුරජාණන් වහන්සේට ප්‍රණීත දානමය පූජාවක් සිද්ධ කරලා තිබෙනවා. ප්‍රණීත බුද්ධ පූජාව තැන්පත්කොට තිබූ පූජාසනය මත ලොකු සුදු යකඩ භාජනවල දැමූ ඌරු මස් ව්‍යංජනයක්, කුකුල් මස් ව්‍යංජනයක්, මාළු ව්‍යංජනයක්, බිත්තර ව්‍යංජනයක්, මේ ආදී වශයෙන් ප්රණීතව සකස් කළ මාංශ දානයක් පූජා කරලා. මේ නිර්ලෝභී මාංශ දානය දැකලා මහ සෑ සමිඳුන් වන්දනා කරන්න පැමිණි පිංවතුන් හුඟ දෙනෙක් ගැටෙන සිත් ඇතිකොටගෙන තිබෙනවා. එතනින් නොනැවතුණ මෙම ප්‍රණීත මාංශ දාන කණ්ඩායම, තම මාංශ දානය මුහුණු පොත්වලත් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මුහුණු පොත්වලින් ලැබුණු ප්‍රතිචාරත් දැඩි විවේචනාත්මක ප්රතිචාරමයි. පිංවත මෙම දානය ප්‍රණීත දානයන්ගේ ගණයට වැටුණත්, මෙම ප්‍රණීත දානය තුළ සම්මා දිට්ඨිය නැහැ. සම්මා සංකප්පයෝ නැහැ. ශීලය තුළින් ඇතිකොට ගන්නා වූ ඉන්ද්‍රීය සංවරභාවය නැහැ. මෙම දානය තුළ තිබෙන්නේ හුදු කාමච්ඡදයන් සහිත පංච නීවරණ ධර්මයෝ පමණක්මයි. නමුත් ප්‍රණීත දානයන්ට අදාළව පින මෙම පිංවතුන්ලාට ලැබෙනවා. නමුත් එතැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් නැහැ. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෙන් බැහැරව සිදුකරන මෙවැනි පිංකම්වලින් පෙරළා චෝදනාවට ලක්වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයයි, වැරදි නොකරන මහා සංඝරත්නයයි. පිංවත අපි සිදුකරන පිංකම් තුළින් අපිත් කුසලයෙන් ආරක්ෂා වෙලා, පිංකම දකින බාහිර පිංවතුන්ලාගේ කුසල් සිත් ද ආරක්ෂා කොටගෙන, සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාකොට ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ ප්‍රණීත දානමය පින උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයත්, මහා සංඝරත්නයත් විවේචනයට ලක්වෙනවා නම්, මේවා දැකලා අහිංසක ගිහි පිංවතුන් පව් පුරවා ගන්නවා නම්, එතැන උතුම් ශාසන අර්ථයන් නැහැ. පිංවත බුදුරජාණන් වහන්සේ අසදිස දානය වර්ණනා කළා. අසදිස දානය පූජා කළේ බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලාට. වර්තමානයේ අපි පසුවෙන්නේ බුදුරජාණන් වහන්සේ සහ මහ රහතන් වහන්සේලා පිරිනිවී ගිය අශ්රද්ධාව බහුල ලෝකයක. උතුම් සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන්ට අදාළව පිංකමක් සිදුකර ගන්නවත් අදක්ෂ සමාජයකයි අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක පිංවත් ඔබට ප්‍රණීත මාංශ දාන පූජාවක් සිදුකොට ගැනීමට අවශ්‍ය නම්, ලෝකයට අණබෙර ගහන්නේ නැතුව, ලෝකයාට ප්‍රදර්ශනය කිරීමේ මානසික ව්‍යාධීන්ගෙන් බැහැරව එම දානමය කටයුතු සිද්ධකොට ගන්න.
පිංවත සම්මා දිට්ඨිය දුර්වල, නෙක්ඛම්මය බින්දුවට වැටුණු, කාමයේ ආශ්වාදය උදෙසාම සිදුවෙන, සම්මා සම්බුද්ධ ශාසනය විවේචනයට ලක්වෙන මෙවැනි අශ්රද්ධාව තැවරුණු පිංකම් හෝ සිද්ධීන් සමාජය තුළ සිද්ධ වුණොත්, කරුණාකර සම්මා සම්බුද්ධ ශාසනයට චෝදනා කරන්න එපා. ගෞරවනීය සංඝ සමාජයට චෝදනා කරන්න එපා. මේවා තෘෂ්ණාවේ මානසික ව්‍යාධීන් සහිත ගිහි හෝ පැවිදි පිංවතුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම්. මෙම පෞද්ගලික විකාර වැඩවලට වගකියන්න සංඝ සමාජය බැඳිලා නැහැ. මෙවැනි මානසික ව්‍යාධීන් දැකලා ඔබට චෝදනා කරන්න අවශ්‍ය නම්, කරුණාකර වරදට අදාළ පුද්ගලයා සොයාගෙන, ඔහුට පෞද්ගලිකව චෝදනා කරන්න, නැතිනම් වරද පැහැදිලිකොට දෙන්න. පිංවත වර්තමානයේ දැන දැන වැරදි කරමින්, පෙනි පෙනී වැරදි කරමින් සම්මා සම්බුද්ධ ශාසනයට චෝදනා කිරීමේ මිථ්‍යාදෘෂ්ටියේ ක්‍රියාන්විතයන් ගොඩාක් සිද්ධ වෙනවා. කරුණාකර අශ්රද්ධාවට අවි දෙන්න එපා. අශ්‍රද්ධාවේ අවිවලින් ශ්රද්ධාවට පෙරළා පහරදේවි. පිංවත සංඝ සමාජයේ අපි සිදුකරන සෑම ක්‍රියාවක් තුළින්ම, අපි දේශනා කරන සෑම ධර්ම කරුණක් තුළින්ම, ශ්‍රද්ධාව ඇති පිංවතුන්ලාගේ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වෙන්න ඕනේ. අශ්‍රද්ධාවැති පිංවතුන්ලා ශ්රද්ධාවට ඔසවා තබන්න ඕනේ. යම් පිංවතෙකුගේ ශ්රද්ධාවට එක සිතුවිල්ලකින් හෝ හානියක් කිරීමට සංඝ සමාජයේ අපිට විනයානුකූලව අයිතියක් නැහැ.