පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුක හැටියට දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව තමා තුළින් නැති කළ යුතුයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන පිංවතාටයි, අර්ථවත් ආකාරයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොටගත් පිංවතාය කියලා කියන්නේ. ඉහත ශ්රද්ධාවැති පිංවතා මෙලොව සහ පරලොව දෙකම ජයගන්නවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත වර්තමානයේ සමාජගතවෙන අධික ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක් ඉදිරියේ ඔබ කේන්ති ගන්න, පළිගන්න, අනුනට චෝදනා කරමින් සිටින, දියව්, වරෙව් යැයි සටන් පාඨ කියන, දුකට අරක්කු, සිගරැට්, මත්ද්‍රව්‍ය ගන්න පිංවතෙක් නම්, ඔබ පන්සලේ ලොකුම දායක මහත්මයා වුවත්, අවංකවම ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අර්ථවත්ව ඇති කොටගෙන නැහැ. පිංවත කරුණාකර මැරෙනකොට දාලා යන, අනුනට අයිතිකොට තබා යන, කොළ සල්ලි ධනවතෙක්වීමට උත්සාහ නොකර, කරුණාකර මැරෙන මොහොතේ හිස් අතින් නොමැරී, මැරෙන මොහොතේ උතුම් තෙරුවන් කෙරෙහි සැබෑ ධනවත්භාවය හදවතින් දරාගෙන, ප්‍රීතියෙන්, පස්සද්ධියෙන් දෑස් පියාගෙන, මෙලොව පරලොව දෙකම ජයගන්න පිංවතෙක් වෙන්න.
පිංවත වර්තමානයේ අවිද්‍යාව හරිම බලසම්පන්නයි. පංච නීවරණ අවිවලින් අවිද්‍යාව දවසින් දවස බලවත් වෙනවා. අපේ ජීවිත වෙළා ගන්න අසීමිත ප්‍රශ්න ඉදිරියේ, විසඳුම් උදෙසා අපි පඬුරු ගැට ගහන්නේ තෘෂ්ණාවටමයි. තෘෂ්ණාව කෘතවේදීව අපිට ඇලීම් සහ ගැටීම්වලින් වෙච්ච භාර ඉටුකොට දෙනවා. අපි හැමෝම විසඳුම සඟවපු අවුලක් සමග ජීවත් වෙනවා. බලසම්පන්න අවිද්‍යාව අපිට උගන්වන්නේ එක්කෝ ඇලෙන්නට, එක්කෝ ගැටෙන්නට. ඇලෙන සහ ගැටෙන ලෝකය සංස්කාරයන්ගේ නිජබිමයි. තෘෂ්ණාව, නිජබිමේ කිරුළු දරණ රජ පෙළපතයි. පිංවත අවිද්‍යාව සමාජය පාලනය කරත්දි, විද්‍යාවට කැමති ඔබ බොහෝම සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. තාක්ෂණ මාරයා අවිද්‍යාවට අත දිගහැර වියදම් කරන ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. එකම මුහුණු පොතේ, එකම යූ ටියුබ් චැනලයේ කුණු කාමයනුත්, උතුම් සද්ධර්මයත් යන දෙකම හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කොට දෙන්න, අවිද්‍යාව බොහෝම සද්භාවයෙන් කටයුතු කරනවා. පිංවත බොරුව, සොරකම, අල්ලස, මනුෂ්‍ය හිංසනය, දුරාචාරය පිරිවරාගෙන මිච්ඡා ප්‍රීතියක් පසුපස හඹා යමින්, ණයට කෑම තප්පුලමින් වර්ණනා කරන රටක, අපගේ මිච්ඡා ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ අවිද්යාවම නේද? මෙවන් සමාජයක අපි කෙසේ නම් අර්ථවත්ව උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකොට ගන්න ද?
පිංවත තාක්ෂණ මාරයා අශ්‍රද්ධාවැති ජනතාව ප්රමෝදයට සහ කුතුහලයට පත්කරමින්, කට ඇරියොත් පරුෂ වචන, පිසුණ වචන, සම්පප්රලාපයන්ම නන්දොඩවන මිච්ඡා හාමුදුරුවරු බිහිකිරීමේ රැල්ලක් සමාජගත කරමින්, මිච්ඡා වාචාවෝ අකුසලයක් නොව, ආදායම් මාර්ගයක් බවට පත්කොට දී තිබෙන්නේ සමාජගත අන්ත අශ්රද්ධාවේම ගොරහැඬිභාවය නිසාම නේද? පිංවත සමාජගත අශ්රද්ධාව ඉහවහා යත්දි, සද්ධර්මය තවත් ව්‍යාපාරයක් බවට පත්කොට ගන්න පාඩම් කියලා දෙන සමාජයක, අපි මේ පියවර තබන්නේ සංස්කාර මාරයා මිථ්‍යාදෘෂ්ටියට සිවුරු පරිහරණය කරන්න පොළඹවන සමාජයක් දෙසටයි. පිංවත මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය උතුම් තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවයි. සල්ලි සොයන්න පිංවත් ජනතාවට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ පොම්ප කරන සමහරු, ලෝකයේ සැපයට අධිපති තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉදිරියේ ජාති අන්ධයෝ බවට පත්වෙලා නේද? පිංවත වර්තමානයේ සමාජගතවෙන අශ්‍රද්ධාවේ, ධර්ම විනය විකෘති කිරීමේ මිච්ඡා රැලි පසුපස ආශ්වාදයට වහ වැටී යන්න එපා. මේවාට සද්ධර්ම විරෝධී පිංවතුන් අත දිගහැර වියදම් කරනවා. ධර්ම විනයට පටහැනිව කටයුතු කරන ගිහි සහ පැවිදි පිංවතුන්ලාට දෝරේ ගලා ආධාර මුදල් එවන පුද්ගල ලැයිස්තුවල වැඩිපුරම ඉන්නේ තෙරුවන් සරණ නොහඳුනන පිංවතුන්ලායි. සමහරක් පිංවතුන්ලා ධර්මය විනය නොහඳුනන ගොඩනැඟිලි වන්දනා කරන පිංවතුන්ලායි. පිංවත මේවා ධර්ම විනය නොදැන කරන වැරදි වෙන්නත් පුළුවන්. දැන හෝ නොදැන සිදුකරන සද්ධර්ම විරෝධී ක්‍රියාවන්ට සුවපත් වේවා යැයි සිතමින්ම, සැබෑ චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජයට විවෘතකොට පෙන්වා දියයුතුව තිබෙනවා. සමාජය දශකුසල් ධර්මයන්ගෙන් අවදි කළ යුතුව තිබෙනවා.
පිංවත තෘෂ්ණාවෙන් මද කිපුණ මාර ධර්මයෝ හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒ නිසාම මාර ධර්මයෝ සමග කටයුතු කිරීමේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සම්මා සතියක් අපිට තිබෙන්නටම ඕනේ. පිංවත සම්මා සතිය ගිලිහුණ තැන, අපේ අවිය වෙන්නේ ආවේගශීලීභාවයයි. පිංවත සම්මා සතිය ගිලිහුණ තැනදි, අපි පහස ලබන්නේ පංච නීවරණ ධර්මයන්ගේ සෙවණේමයි. පිංවත සමාජගතවෙන සෑම උතුම් ධර්ම විනය විකෘති කරන සහ චතුරාර්ය සත්‍යය ධර්මයෝ හාස්‍යයට ලක්කරන සෑම ක්‍රියාවක්ම අවිද්‍යාවේ මුලෙන් පැනනගින මොටෙයියන් බව සිහිනුවණින් අපි තේරුම් ගන්න ඕනේ. සෑම ශාසන විරෝධී ක්‍රියාවක් පසුපසම, ළඟම ලේ ඥාතීත්වයක් තිබෙන බව අපි තේරුම් ගන්න ඕනේ. මේ ශාසන විකෘතීන් හුදෙකලාව සිදුවන දේවල් නොවේ. අවිද්‍යාවේ ශක්තිමත්භාවය වැඩිවෙනකොට අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන අකුසල් සංස්කාරයෝ පංච උපාදානස්කන්ධ ලෝකයේ මධ්‍යස්ථභාවය කෙලෙසා දමනවා. පිංවත අධර්මය ඉදිරියේ දී වගේම, ධර්මය ඉදිරියේදීත් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. උතුම් ධර්ම විනය විකෘති කරන සිද්ධීන් වැඩිවෙනකොට, උතුම් ධර්ම විනය ආරක්ෂා කරන, ධර්ම විනය වෙනුවෙන් පෙනී සිටින ස්වාමීන් වහන්සේලා කෙරෙහි, පිංවත් බෞද්ධ ජනතාවගේ ආකර්ෂණය, ගෞරවය වැඩි වෙන්න පුළුවන්. උතුම් ධර්ම විනය ආරක්ෂා කොටගන්නා ස්වාමීන් වහන්සේලාට ලැබෙන සිවුපසය සහ යහපත් ප්‍රතිචාර වැඩි වෙන්න පුළුවන්. මේ දිනවල මෙය සටහන් තබන භික්ෂුවටත් සමාජයෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර වැඩියි. ලැබෙන සිවුපසය වැඩියි. සමාජය දෙස බලත්දි අපිට පෙනෙනවා, පිංකම් සහ ධර්ම දේශනා සඳහා ආරාධනා අසීමිත ලෙස සිද්ධ කරනවා. පිංවත අවිද්‍යාවේ ඇසෙන් මේවා සුභවාදී යැයි පෙනුන ද, මේ සුභවාදී ප්‍රතිචාර තුළ මාර ධර්මයෝ සිත් සේ සැඟවී සිටින්න පුළුවන්. සංඝ සමාජයේ අපිට ලැබෙන ආරාධනා සහ සිවුපසය ඉදිරියේ අපි සතිමත් වෙන්න ඕනේ. පිංවත කිනම් අනතුරක් ඉදිරියේ දී වුව ද, සංඝ සමාජයේ එකම ආරක්ෂකයා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අංගයට නෙක්ඛම්ම සංකප්පය පනවන්නේ ගිහි පිංවතුන්ලා ශ්‍රද්ධාවෙන් පූජා කරන සිවුපසය, තෘෂ්ණාව අතහැරලා පිළිගැනීමටයි.
පිංවත් මහත්මයෙක් භික්ෂුවට යෝජනාවක් සිදුකළා. ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ ගිහි සම්බන්ධතාවයන් උපයෝගී කොටගෙන ආර්ථික වශයෙන් අසරණව සිටින අහිංසක ජනතාවට උපකාර කරන්නය කියලා. භික්ෂුව එම මහත්මයාට කාරුණිකව දැනුම් දුන්නේ, මහත්තයෝ එම කටයුත්ත කරන්න ඕනේ ජනතාව පත්කොට ගන්න රජය විසින්ය කියලා. එවිට එම මහත්මයා කියනවා, රජය ජනතාවට අවංක නැහැය කියලා. ගෞරවනීය පිංවත පවතින්නා වූ දේශපාලන අධිකාරිය ජනතාවට අවංක නැතිනම්, ජනතාව විසින් කළයුත්තේ සහ භික්ෂු සමාජය විසින් ජනතාවට ධර්මානුකූලව අනුශාසනා කළයුත්තේ ජනතාවට අවංක රජයක් පත්කර ගන්නය කියලයි. පිංවත පවතින සහ පැවතියා වූ රජයන් ජනතාවගේ සුබසාධන කටයුතු පැහැර හරිනවාය කියලා, සංඝ සමාජයේ අපි කරුණාව, මෛත්‍රියේ නාමයෙන් පීඩනයට පත්වී සිටින අහිංසක ජනතාවට නිවාස, ආහාර, රැකීරක්ෂා ආදී වූ ජනතාවගේ සුබසාධන කටයුතු ඉටුකරන්නට ගියොත්, බුදුරජාණන් වහන්සේ අපිට පැනවූ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයට කණකොකා හඬනවා නේද? සංඝ සමාජය සතු උත්තරීතර ගුණයන් වෙන සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන්ට මිථ්‍යාදෘෂ්ටියේ අකුණු වැදුණා වෙනවා නේද? පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය තුළ, ප්රාතිමෝක්ෂ ශීලය ආරක්ෂා කොටගත් අවසාන උපසම්පදා භික්ෂුව වැඩසිටින මොහොත දක්වා උතුම් ධර්ම විනය ආරක්ෂාකාරීව පවතිනවා. පිංවත ප්රාතිමෝක්ෂ ශීලය ආරක්ෂා කොටගෙන ජීවත්වෙන අවසාන භික්ෂුව අපවත්වෙන වෙලාවේ, උතුම් ධර්ම විනය ලෝකයෙන් අතුරුදන් වෙලා යාවි. පිංවත මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. මේ ලෝක ධාතුවේ දෙවැනි දුර්ලභම අර්ථය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. ගෞරවනීය පිංවත මේ උතුම් දුර්ලභ අර්ථයන් දෙක තවදුරටත් මේ ලෝක ධාතුව තුළ ආරක්ෂාකාරීව පවතින්න නම්, උතුම් සංඝ සමාජයේ ප්රාතිමෝක්ෂ ශීලයමයි මුල් වෙන්නේ.
ගෞරවනීය පිංවත සංඝ සමාජයේ අපි උතුම් ප්රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වලභාවයට පත්වුණොත්, සංඝ සමාජයේ අපි විතරක් නොවේ දුර්වල වෙන්නේ. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගෙන් දුර්වලවෙන සංඝ සමාජයේ අපිට, සිවුපසය පූජා කරන අහිංසක ගිහි පිංවතුන්ලාගේ පිනත් දුර්වල වෙලා යනවා. පිංවත සංඝ සමාජයේ අපි උතුම් ඝංඝ ගුණයන්ගෙන්, ගුණාත්මකභාවයට පත්වුණොත් පමණයි ගිහි පිංවතුන්ලා පූජා කරන සිවුපසයට පුණ්‍ය කෙතකින් ලැබෙන අස්වැන්න ලැබෙන්නේ. පිංවත මෙය සටහන් තබන භික්ෂුව නිරතුරුවම සිතනවා, පෝලිම් ගැහිලා සිවුපසය පූජා කරන අහිංසක ශ්රද්ධාවන්ත ගිහි පිංවතුන්ලාට භික්ෂුව පුණ්‍ය කෙතක් ද කියලා. අපි පුණ්‍ය කෙතක් වුණොත් පමණයි, සංඝ සමාජයේ අපිට සත්පුරුෂ දෙවියන්, බ්‍රහ්මයන් පවා වන්දනා කරන්නේ. පිංවත සංඝ සමාජයේ ගෞරවනීය අපි කෘෂිකර්ම ඇමැතිලා, නිවාස ඇමැතිලා, ජනතා සුබසාධන ඇමැතිලා වෙන්න ගියොත්, සංඝ සමාජයේ අපිත් සුපටිපන්න ආදී ගුණයන්ගෙන් පිරිහීමට පත්වෙලා, අපිට සිවුපසය පූජා කරන පිංවත් ගිහි ජනතාවගේ වර්ණය, සැපය, බලය පිරිහීමට පත්වෙනවා. සම්මා දිට්ඨිය නැති දේශපාලන පිංවතුන්ලා, තම තෘෂ්ණාධික බල උවමනාවන් උදෙසා සංඝ සමාජයට රාජ්‍ය අනුග්රහයන් සහ ලාභසත්කාර ලබා දෙද්දි, මේවාට ගොදුරුවෙන සංඝයා නමැති පුණ්‍ය කෙත, මාධ්‍ය විසින් ඔසවා තබන, උතුම් පැවිදි අර්ථයන් මළ, විඤ්ඤාණයේ මැජික්කරුවන්ම වෙනවා.
පිංවත මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් යැයි දැනගන්නට තිබෙනවා නේද? ඉන් අදහස් වෙන්නේ ජනතා කැමැත්ත ඉදිරියේ පරාජිත දේශපාලන පිංවතුන් ජයග්‍රහණය සොයනා වසරක් කියන අර්ථයයි. පිංවත අපිට අතීතය බොහෝම ඉක්මනින් අමතක වෙලා යනවා. ආශ්වාදය ඉදිරියේ මෙලෝ සිහියක් නැති අපි, ආදීනවයේ බරපතළභාවයන් දකින්නේ විනාශයක් සිදුවුණාට පසුවයි. පිංවත මේ මැතිවරණ වසරේ කුමන අන්තවාදී ක්‍රියාවක් සිදුවෙයි ද කියලා දන්නේ අපේ අතීත අකුසල් සංස්කාරයෝ පමණක්මයි. පසුගිය දවසක භික්ෂුව වේදිකාවක් මත ධර්ම දේශනාවක් පවත්වන්න සූදානම්වෙන මොහොතේ පිංවත් කාන්තාවක් වේදිකාවට ගොඩවී ලොකු බන්දේසියක කොතක් සේ හැදූ (සෑදූ) නෙළුම් මල් බන්දේසියක් භික්ෂුවට පූජා කළා. භික්ෂුව ධර්ම දේශනාව අවසන්කොට සංවිධායක මහත්වරුන්ගෙන් ඇසුවා, වේදිකාවට අවේලාවේ, අනවසරයෙන් ගොඩවී මල් බන්දේසිය පූජාකළ නෝනා මහත්මිය කවුද කියලා. ඇය කවුද කියල කියන්න කිසිවෙක් දැන සිටියේ නැහැ. පිංවත පන්සල්, පල්ලි, කෝවිල් ආශ්රිත සෙනඟ වැඩි පිංකම්වල දී, මේ මැතිවරණ වර්ෂයේ දී ගොඩාක් සිහිනුවණින් කටයුතු කරන්න. පිරිස ඉදිරියේ, 0 හොඳ නැහැ. විනාශයෙන් විමුක්තිය සොයන මාර ධර්මයෝ මලින් විසිතුරුව සරසන ලද ධර්ම මණ්ඩපය තුළත් සැඟවී සිටින්න පුළුවන්.