පිංවත අපි කවදා ද චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ජීවිතය දකින්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයට පීඩා කරත්දි, සතුටින් භුක්තිවිඳින සැප වේදනාවෝ වෙනස් වෙලා යද්දි, අපි දුකට පත්වෙනවා. මේ දුකට හේතුව සියලු සංස්කාරයෝ නිත්‍ය යැයි දකින, තමාගේම තෘෂ්ණාව බව කවදා ද අපි දකින්නේ? පිංවත අපි පිංකම් සිද්ධ කරලා මෙලොව සහ පරලොව සැපයම සතුටින් ප්‍රාර්ථනා කරනවා. අපි කවදා ද මේ කුසල් සංස්කාරයෝත් අනිත්‍යයි කියලා දකින්නේ? හිස ගිනිගත්තෙක් එම ගින්න නිවා ගන්න යම් වෙහෙසක් ද ගන්නේ, භව තෘෂ්ණාව නිවා ගන්න ඊටත් වැඩි වෙහෙසක් ගන්න යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබිය දී, අපි කවදා ද අනාගත භවය සිහිපත්වෙත්දි අනිත්‍යයි කියලා දකින්නේ? පිංවත අතීත භව ගමනේ සක්විති රජ සැපයන් ලබලත් නොසෑහුණ අපි, කවදා ද සෑහීම කියන අර්ථය ජීවිතවලට එකතුකොට ගන්නේ? අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් අතුරුදන්කොට දමන්නට පටිච්චසමුප්පන්නව දුශ්ශීලභාවයේ අවි අතට ගත්ත අපි, කවදා ද ශිල්වත්භාවයේ තියුණු මුවහත වන ඉන්ද්‍රීය සංවරභාවයේ වටිනාකම දකින්නේ? පිංවත ජාති, ආගම්, කුල, පක්ෂ භේදයන්ගෙන් තවමත් බෙදී වෙන්වී සිටින අපි, අනේ කවදා ද එක අම්මාගේ දරුවන්ව සිටියාය කියන අතීත පටිච්චසමුප්පන්න අපේ භව ඥාතීත්වය දකින්නේ? පිංවත තෘෂ්ණාවේ කැත සහ කුණු වන ඇලීම් සහ ගැටීම්වලින් මිදී ජීවිතයට ඉඩ දෙන්න, ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න.
පිංවත දුකට එකම හේතුව වන තෘෂ්ණාව ජීවිතය තුළින් අවම වෙද්දි, ජීවිතය හරිම සැහැල්ලුයි. ජීවිතය හරිම ලස්සනයි. අපි තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කළොත්, ජීවිතය දුකෙන් නිදහස් වෙලාම යනවා. පිංවත එවිට අපි කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ සැබෑ අර්ථය තුළ, අපි නොකැඩෙන අවබෝධයක් බවටම පත්වෙනවා. පිංවත වර්තමානයේ අපි ජීවත්වෙන සමාජය සැහැල්ලුව, ලස්සන, නිදහස පණ අදින සමාජයක්. පිංවත දුකට එකම හේතුව තෘෂ්ණාවයි. වර්තමානයේ සමාජයට අවශ්‍ය ජාති, ආගම්, පක්ෂභේද නොවේ. අණපනත් රාජ්‍ය හමුදා තුළින් ජනතාව මර්දනය කිරීම නොවේ. ජාතියේ සම්පත් ජාත්‍යන්තරයට විකුණා දැමීම නොවේ. ලෝකයාගෙන් ණයට කාලා, බීලා, සහනාධාර දීලා ඡන්ද දිනීම නොවේ. සංඝ සමාජයේ අපිට වරප්‍රසාද ලබාදීලා අපේ ශීලය ඔබලා බදු ගැනීම නොවේ. පිංවත අපි සියල්ලෝම තෘෂ්ණාව ඉහවහා ගිය, සමාජයට දුකම බෙදන කප්පිත්තන්ගේ වරදින්, ලෝකය නමැති සාගරය ඉදිරියේ ගිලීයන නැවක ජීවත්වෙන, දවල් සිහින දකින ජාතියක්. අපිට කියලා අද ඉතිරි වෙලා තිබෙන්නේ ගිලීයන නැවක අසිහියෙන් ලබන අනුවණ සතුටක් සහ දුකක් පමණක්මයි. පිංවත සමාජගත මේ ප්‍රශ්නවලට විසඳුම් ගොඩක් නැහැ. එකම විසඳුම දුකට එකම හේතුව තෘෂ්ණාව කියන අර්ථය තුළ සැඟවිලා තිබෙනවා. පිංවත තෘෂ්ණාව සඟවලා දුක ජයගන්න බැහැ. මාර ධර්මයෝ සමාජයට පුහුණු කරලා තිබෙන්නේ හේතුව සඟවලා ඵලය ගැන කතා කරන්න. හේතුව සඟවලා ඵලය විකුණාගෙන කන්න. මෙම අධර්මයේ විකෘතීන් තුළ සම්මා සම්බුද්ධ ශාසනය නාමික දහමක් බවටයි අපි පත්කොටගෙන තිබෙන්නේ. පිංවත සමාජගත ධනය සහ බලය උදෙසාම ජීවිත පරිත්‍යාග කරන, තෘෂ්ණාවේ පක්ෂ සහ විපක්ෂ දේශපාලන මාරාවේශය සිහිනුවණින් හඳුනා ගන්න. පිංවත මාර ධර්මයෝ යම් තැනක ද, එතැන තිබෙන්නේ කාමච්ඡන්ද ආදී වූ පංච නීවරණ ධර්මයෝ පමණක්මයි. පිංවත් ඔබ සමාජගත බරපතළ දේශපාලන විකෘතීන්ට මුල අසීමිත බල තෘෂ්ණාව බව සිහිනුවණින් දැක, සති සම්බොජ්ඣංගය මුල්කොටගෙන අවදියෙන් සිටින්න. පිංවත ඔබ ආර්ථික වශයෙන් පරාජිත ජාතියක් වුවත්, ඔබ අධ්‍යාත්මික වශයෙන් පරාජිත ජාතියක් නොවේ. අසත්පුරුෂ ජාත්‍යන්තරයේ උවමනා එපාකම් මත, ආර්ථික වශයෙන් අපිට දේශීය අනන්‍යතාවයකින් නැඟී සිටීමට ඉඩ නොදී, ණයකාර වහලුන් බවට ජාතිය පත්කිරීමට උත්සාහ ගන්නේ, ජාතියේ අධ්‍යාත්මික පෞරුෂත්වය මරා දැමීමට බව අප්‍රමාදීව තේරුම් ගන්න.
පිංවත ඔබේ පුණ්‍යවන්ත මාතෘභූමිය තවමත් හිම මිදෙන රටක් නොවේ. කාන්තාර සහිත රටක් නොවේ. බරපතළ දේශගුණික, කාලගුණික විකෘතීන්ගෙන් ගහණ රටක් නොවේ. තවමත් කොළ පැහැ ශාක වියන් පරිසරයට සිසිල දෙන්නේ, තවමත් පරිසරයේ ලස්සන, ලස්සන මල් පිපෙන්නේ, සිහිල් දිය දහරා තවමත් ගංගා, ඇළ දොළවල ගලා යන්නේ, ලස්සන, ලස්සන පිනැති දරු පැටව් තවමත් මව්පිය සෙනෙහසින් උපදින්නේ පිංවත් ඔබේ පුණ්‍යවන්තභාවය නිසාමයි. පිංවත තවමත් පින නොපිරිහුණ ජාතියක අපේම අකුසල් මූලයෝ වන ලෝභ, ද්වේශ, මෝහයෝ පිනට අභියෝග කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාය කර්ම සහ වචී කර්මයන්ට වඩා මනෝ කර්මයෝ බලවත්ය කියලා. යහපත් මනෝ කර්මයන් යැයි කියන්නේ අලෝභ, අද්වේශ සහ අමෝහයන්ටයි. අයහපත් මනෝ කර්ම යැයි කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ අධර්මයන්ටයි. පිංවත වර්තමාන තෘෂ්ණාධික දේශපාලනය සමස්ත සමාජයටම ලෝභ, ද්වේශ, මෝහ අධර්මයෝ නොමිලේ උගන්වන උපකාරක පන්තියක් බවටම පත්වෙලා. පිංවත අධර්මයෝ සමාජගතවෙත්දි, පිංවත් ඔබ මෙත් සිතින් අවදි වෙන්න. කිනම් වරදක් හෝ කිනම් වරදකරුවෙක් ඉදිරියේ වුව ද, නොගැටී ප්‍රශ්නයට මුල් වූ හේතුඵල ධර්මයන්ම නුවණින් දකින්න. එවිටයි පිංවත් ඔබට හැකියාව ලැබෙන්නේ සමාජයට අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයෝ පූර්වාදර්ශීව උගන්වන උපකාරක පන්තියක් වෙන්න.
පිංවත උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ උතුම් ධර්ම විනයටයි. අපිට විනය බැහැර කරලා සම්මා සම්බුද්ධ ශාසනයක් ගැන කතා කරන්න බැහැ. සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාකොට ගන්න නම්, මේ උතුම් විනය ධර්මයෝ අපි ආරක්ෂාකොට ගන්න ඕනේ. ගෞරවනීය සංඝ සමාජයේ විනයගරුකභාවයමයි, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්කරවීමේ ජීව රුධිරය බවට පත්වෙන්නේ. පිංවත උතුම් ධර්ම විනයට මෙත් සිතින් වර්ණය, සැපය, බලය ප්‍රාර්ථනා කරන්න. ඊට මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. අතීතයේ කවදත් බලයට කෙළ හැළෙන තෘෂ්ණාධික අධාර්මිෂ්ඨ රජවරු නිසා ශාසන අර්ථයන් පිරිහීමට පත්වුණා. මේවා සිහිනුවණින් ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුතු සුන්දර හේතුඵල ධර්මයන්. පිංවත් රජවරු අධාර්මිෂ්ඨ වෙත්දි, ජනතා ආකර්ෂණය පිරිහීයත්දි, සංඝ සමාජයේ සහ ගිහි සමාජයේ අසමගිය සහ බෙදීම් ඇතිකිරීම උදෙසා දේශපාලනය විසින් සංඝයා මිච්ඡා ආජීවයන්ට යොමු කරනවා. ධර්ම විනය විකෘති කරන පැවිදි පක්ෂයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. උතුම් ධර්ම විනය අවිනයවාදී පැවිදි පක්ෂය උපයෝගි කොටගෙනම හාස්‍යයට ලක් කරනවා. පිංවත වර්තමානයේ සංඝ සමාජය නාමයෙන් කලඑළි බහින අලුත් අලුත් මෝස්තරයන් තිබෙනවා. ඉහත අලුත් මෝස්තරවලට දේශීය සහ විදේශීය ශාසන විරෝධී ජනතාව අත දිගහැරලා ආධාර කරනවා. කට පිරෙන්න ප්‍රශංසා කරනවා. සිත පිරෙන්න දිරිමත් කරනවා. පිංවත මේ සමාජගතවෙන අසම්මත ශාසන විකෘතීන් දැකලා ඔබ කලබල වෙන්න එපා. අධාර්මිෂ්ඨ රජවරු යටතේ, බලය පිරිහුණු රජවරු යටතේ මේ සමාගතවෙන විකෘතීන් අවම වෙන්නේ නැහැ. අධාර්මිෂ්ඨ රජවරු යටතේ විසිහතර පැයේම කෙලෙස් අනුභව කරන අකුසල් මාරයා හරිම වේගවත්ව, හරිම සක්‍රීයවයි වැඩෙන්නේ. පිංවත අකුසල් කෙලෙස් මාරයා යම් ජීවිතයක් ග්‍රහණයට ගනී ද, එම අසරණ පැවිදි හෝ ගිහි ජීවිතය ශීලයේ දුර්වලභාවයන් හේතුවෙන් සකස්වෙන ඉන්ද්‍රීය අසංවරභාවය නිසාම මිච්ඡා වාචාවන්ගේ කුණු කාණුවක්ම වෙනවා. මෙවැනි කටවල්වලින් පිටකරන වචනයක් පාසා දුශ්ශීලභාවයේ කුණු දුර්ගන්ධයමයි සමාජය දෙසට හමා යන්නේ. පිංවත පංච නීවරණයෝ කිරි මව් කොටගත් අවිද්‍යාව, සත්‍යය සහ ධර්ම විනය නොපෙනෙන අන්ධභාවයක්. පිංවත අවිද්‍යාවේ කිරි දරුවා වන තෘෂ්ණාව, ඔළුව අවුල් කරන මානසික රෝගයක් වෙනවා.
පිංවත සමාජගතවෙන අකුසල් මාරයා ඉදිරියේ, මාරයාට පාඩම් කියලා දෙන්න ඕනේ බොහෝම පරිස්සමින්. මාර දරුවන්ට පොඩ්ඩ වැරදුණොත් දෙපැත්තම මුවහත තිබෙන මාර දිව හෙවත් මිච්ඡා වාචාවෝ මාරයා සතර දිශාවටම පහරදෙන තියුණු අවිය වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව අතීතයේ භික්ෂුවට මුණගැසුණ සෑම මාර ධර්මයක්ම දමනය කළේ මාරයාගේ හිස අතගා ටොක්කක් ඇනීමෙන්මයි. හිස අතගෑමෙන් මාරයා මුළාවට පත්කිරීමත්, ටොක්ක ඇනීමෙන් මාරයා දමනයකොට ගැනීමටත් අපි දක්ෂවිය යුතුයි. පිංවත උතුම් ධර්ම විනය මේ නිමේෂයේදීත් ජීවමානව වැඩසිටිනවා. ප්රශ්නය වෙලා තිබෙන්නේ ජීවමාන ධර්ම විනය විකෘති කරන කණ්ඩායම්වල ප්‍රමාණය වැඩිවීමයි. පිංවත ධර්ම විනය විකෘති කරන ගිහි සහ පැවිදි පිංවතුන්ලාටත් සුවපත් වේවා යැයි කියලා, ඔබේ කුසල් ශක්තිය වර්ධනය කරගන්න. ඔබේ ශීලයේ ශක්තිය වැඩිකොට ගන්න. පිංවත පංච නීවරණයන්ගෙන් නොව සති සම්බොජ්ඣංගයෙන් ශාසන විකෘතීන් දෙස බලන්න පුහුණු වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධාතු, ධාතු වශයෙන් සත්ත්වයා බැඳී යනවාය කියලා. පිංවත මිථ්‍යාදෘෂ්ටියට, මිථ්‍යාදෘෂ්ටියම බැඳිලා යනවා. දුශ්ශීලභාවයට දුශ්ශීලභාවයම බැඳිලා යනවා. මේවා සුන්දර ධර්මානුකූල හේතුඵල ධර්මයෝ. සමාජය තුළ විවෘතව බබලන හේතුඵල ධර්මයෝ. පිංවත සුන්දර ධර්මයන් පියවි ඇසෙන් දැකලා ගැටෙන්න එපා. අකුසලයේ මාර ධර්මයෝ මිච්ඡා රාජ්‍ය පාලකතුමන්ලාගේ අනුග්‍රහයෙන් කලඑළි බහින්නේ සමාජය අකුසලයේ ඕජාවක් කරන්නමයි. පිංවත සමාජගතවෙන තෘෂ්ණාවේ මාරාවේශ වූ දේශපාලනයටත් එහි ඵලයන් හැටියට සමාජගතවෙන මිච්ඡා ගිහි සහ පැවිදි ශ්රාවකයන්ටත් විකල්පය ලෙස ජාති, ආගම් භේදයන්ගෙන් තොරව ශීලයට, විනයට, නීතියට ගරුකරන පිංවතුන් සමගියෙන් අත්වැල් බැඳගන්න. ශීලයට, විනයට, නීතියට කැමති පිංවතුන් ධාතු, ධාතු වශයෙන් එකතු වෙන්න. පිංවත සැබෑ විසඳුමට මාර්ගය තිබෙන්නේ ඔතැනයි.
පිංවත මෙය සටහන් තබන භික්ෂුවට මේ නිමේෂයේදීත් සිතෙන්නේ, භික්ෂුවට ඉහත කාරණාවන් ගැන සටහන් තබන්න සිද්ධවෙලා තිබෙන්නේ, තවමත් භික්ෂුව අපවත් නොවුණ නිසාම නේද කියලා. භික්ෂුව ඊයේ දවසේ අපවත් වුණා නම්, භික්ෂුව මේ ශාසනික වගකීම්වලින් නිදහස් වුණා වෙනවා. භික්ෂුවගේ අතීත පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඒකාධිපතිත්වයට භික්ෂුව කුමක් නම් කරන්න ද? අකමැත්තෙන් හෝ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය තවදුරටත් ශක්තිමත්කොට තබන්නට වෙනවා. සියලු සංස්කාරයෝ වෙනස්වෙන ලෝකය තුළ නිදහස්වීම මයි, ගමනක අවසානය වෙන්නේ.
පිංවත අපි කවදා ද ලෝකයෙන් නිදහස් වෙන්නේ? ලෝකයෙන් නිදහස් වෙන්න නම්, ලෝකය ගැන අපි කලකිරෙන්න ඕනේ. ලෝකය ගැන කලකිරෙන්න නම්, පංච උපාදානස්කන්ධ ලෝකය ගැන නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ලෝකය ගැන නුවණින් මෙනෙහි කරන්න නම්, සමාධිමත් සිතක් තිබෙන්නට ඕනේ. සමාධිමත් සිතක් ලබන්න නම්, ඉන්ද්‍රීය සංවරයට මුල්වෙන ශීලයේ ශක්තිය තිබෙන්නට ඕනේ. පිංවත මනුෂ්‍ය ජීවිතයක ශීලය දුර්වලව ගිය තැන, එම ජීවිතය පංච නීවරණයන්ගේ ඝෝෂාවක්ම වෙනවා. පිංවත හරිම නිහඬ රාත්‍රියක්, රැහැයියන්ගේ හඬ පමණක්මයි ඇසෙන්නේ. ඇසුනා කියන තැනින් එම හඬට සමුදෙද්දි, දුවන ලෝකය ඉදිරියේ භික්ෂුව නැවතිලයි සිටින්නේ. ආශ්වාස ප්‍රශ්වාසයෝ ධම්මානුපස්සනාවට ආහාරයක් වෙමින්, ඇතිවෙමින් නැතිවෙනවා. ඒ ඇතිවීම සහ නැතිවීම දකින සිතත් චිත්තානුපස්සනාවටමයි ආහාරයක් වෙන්නේ. පිංවත මරණය ඔබේ ජීවිතය කිට්ටුවට ගන්න. මරණය ඔබේ ජීවිතයෙන් ඈතට දමන්න එපා. මරණය අපේ ජීවිතවලින් ඈතට දැම්මොත්, සද්ධර්මය අපෙන් ඈතින් ඈතට යනවා. පිංවත ජීවිතයට ඉඩ දෙන්න. නොමළ අධ්‍යාත්මයකින් මරණය දෙස බලන්න.