සෑම ආශ්වාදයක් පසුපසම ආදීනවය සැඟවී තිබෙනවා

පිංවත භික්ෂුව මේ දවස්වල වැඩසිටින ගම්මානයේ උදෑසන පිණ්ඩපාත දානය බෙදන්න පැමිණෙන ගමේ පිංවතුන්ලාගේ අඩුවක් තිබෙනවා. භික්ෂුව කැපකරු මහත්මයාගෙන් විමසුවා, ගමේ පිංවතුන්ගේ පැමිණීම දුර්වල ඇයි කියලා. කැපකරු මහත්මයා කියනවා, ස්වාමීන් වහන්ස, මේ දවස්වල රබර් කිලෝවක මිල රුපියල් අටසියයක් වෙලා, ගමේ හුඟ දෙනෙක් උදෑසන තම රබර් ඉඩම්වල කිරි කපන්න යනවාය කියලා. භික්ෂුව වැඩසිටින කුටිය සමීපයේ තිබෙන රබර් ඉඩමේත්, රබර් ඉඩම නෙර උදලුගාලා, අලුත් පොල්කටු තියලා රබර් ඉඩම කලඑළිවෙලා. රබර් මිලේ ආශ්වාදය හේතුවෙන් අහිංසක හදවත්වල පුංචි සතුටක් ඇති වෙලා. මෙම අහිංසක මනුෂ්‍යයින්ගේ ආදායම වැඩි වෙනවාය කියලා කියන්නේ, එය සම්මා සම්බුද්ධ ශාසනයටත් ශක්තියක්මයි. ඔබලා මේ දිනවල දානය බෙදන්න නාවට කමක් නැහැ. කිරි පිහියෙන් රබර් ගසේ පරණ කිරි පට්ටය ගලවත්දි, සුවපත් වේවා යැයි මෙත් සිතින්ම ඔබේ රැකියාව කරන්න, එවිට ඔබලා දානය පූජා කළාට වඩා වැඩි පිනක් සිද්ධකොට ගත්තා වෙනවා. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍යයි. පෙබරවාරි මාසය රබර් ගසේ කොළ හැලෙන, කිරි වරන මාසයයි. පිංවත සෑම ආශ්වාදයක් පසුපසම ආදීනවය සැඟවී තිබෙනවාමයි. පිංවත ආශ්වාදය ඉදිරියේ සුවපත් වේවා යැයි, මෙත් සිත පුහුණු කළොත් පමණක්මයි, ආදීනවය ඉදිරියේ නොගැටී, සුවපත් වේවා යැයි සිතන්න අපි පුහුණු වෙන්නේ.

පිංවත මිච්ඡා වාචාවෝ හරිම අනතුරුදායකයි. අපේ ජීවිතවලින් සම්මා සංකප්පයෝ දුර්වල වෙනකොට, මිච්ඡා වාචාවෝ වෛරයෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමෙන් මොනවට තිරිහන් වෙනවා. පිංවත මිච්ඡා සංකප්පයන්ගෙන් පෝෂණය වූ වචී සංස්කාරයෝ දෙපැත්ත කැපෙන තියුණු සැතක් වගේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත පරුෂ වචන හරිම භයානකයි. පරුෂ වචනයක් අපේ මුවින් පිටවෙත්දි, මනුෂ්‍ය හිංසනයට අදාළ ශිල්පදයක් අපෙන් දුර්වල වෙලායනවා. පිංවත ඔබ අසා තිබෙනවා ද, මිච්ඡා සංකප්පයන්ගෙන් පෝෂණය වූ නරක, නපුරු වචන නිසා සමහර පිංවතුන් කේන්තියෙන්, වෛරයෙන් අනුනට බණිනවා, ඔබව මරාගෙන කනවා, ඔබේ ලේ බොනවාය කියලා. පිංවත මෙවැනි බියකරු වචන භාවිතා කරන්න එපා. එක අහිංසක අම්මා කෙනෙක් සුවකළ නොහැකි බරපතළ රෝගයකින් වසර පහක් පමණ පීඩා විඳ මියගියා. මේ අම්මා මියයෑමට පෙරාතුව තමන්ගේ සයනය ළඟ කවුරුන් හෝ උපස්ථායකයෙක් ඉන්නම ඕනේ. තමන් සමීපයේ උපස්ථායකයෙක් නැති වුණොත්, මේ අම්මා තමන්ගේම ශරීරය, තමන්ම හපාගෙන බරපතළ ලෙස තුවාල කර ගන්නවා. දිනක් තම දියණිය අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා රෝගී අම්මා තම කාමරයේ තනිකොට පැය කිහිපයකට පසුව නිවසට පැමිණ, තම රෝගී අම්මාගේ කාමරයට යත්දි, ඇය තම අත පය හපාගෙන රුධිරය ගලමින්, මුඛය පුරා රුධිරය තවරාගෙන සිටිනවා දැකලා දියණිය හොඳටෝම බිය වුණාලු. පිංවත තමාගේම මස් තමාටම කන්න හිතෙන්නේ ඇයි? තමාගේම රුධිරය තමාටම බොන්න හිතෙන්නේ ඇයි? පිංවත කවදාකවත් නිවැරදි ශිල්වතෙකුට, උඹව මරාගෙන කනවා, උඹේ ලේ බොනවා යැයි, පරුෂ වචනයෙන් බණින්න එපා. අතීතයේ භික්ෂුවක් දකුණු පළාතේ ගම්මානයක වැඩසිටිනකොට රාත්‍රී දහයට පමණ ගම්මානයේ නිවසක් දෙසින් කාන්තාවකගේ කෑගැසීමක් ඇසුණා. ඇය තමාට පහරදෙන සැමියාට කේන්තියෙන් බණිනවා, මාව මරාගෙන කන්න කියලා. පිංවත යම් ශිල්වතෙකුට ද්වේශයෙන්, වෛරයෙන් උඹව මරාගෙන කනවා යැයි, යමෙක් කිව්වොත්, එම වියරු අකුසලය විපාකයට පැමිණෙත්දි, ඔබේම මස් ඔබට කන්න හිතේවි, ඔබේම රුධිරය ඔබට බොන්න හිතේවි. මේ අහිංසක අම්මා තමාගේම ශරීරය හපා කමින්, තමන්ගේම රුධිරය මුඛයේ තවරා ගනිමින් වින්ද භයානක අකුසල් විපාකය, අතීතයේ සිල්වතුන්ටම පරුෂ වචනයෙන් චෝදනා කිරීමේ විපාකයක් වෙන්න පුළුවන්.

පිංවත ඔබ වැරදි කළොත් නිවැරදි වෙන්න ලෙහෙසි නැහැ. සිහිකල්පනාව දුර්වල සමහරක් රෝගී වයෝවෘද්ධ දෙමාපියන් තමන්ගේම අශූචි, තමන්ම අනුභව කරනවා යැයි භික්ෂුවට කියපු දරුවන් සිටිනවා. මෙම සිහිකල්පනාව දුර්වල රෝගීන් අශූචි, අශූචි හැටියට හඳුනන්නේ නැහැ. උපස්ථායකයෙක් ළඟ නොමැති අවස්ථාවක, දෑත් බැඳ නොතිබ්බොත්, ඇඳ මත මළපහ කර, තමාම අනුභව කරනවා. පිංවත සත්ත්වයා කර්මය මගේ කොටගෙන ජීවත් වෙනවා. පිංවත් ඔබ මුහුණු පොත්වල දැකලා තිබෙනවා ද අසත්පුරුෂ අදහස් පළකරලා තිබෙනවා. කර්මය කර්මඵලයන් ගැන නොදන්නා අතලොස්සක් අනුවණ මනුෂ්‍යයෝ, මහා සංඝරත්නයට චෝදනා කරන්නේ අශූචි කාපල්ලා කියලා. පිංවත චෝදනාවට ලක්කරන්නාගේ ගුණාත්මකභාවයට අදාළව අකුසල් විපාකයෝ වෙනස් වෙනවා. පිංවත් ඔබ සංඝයා කියන අර්ථය මුල්කොටගෙන අශූචි කාපල්ලා යැයි වෛරයෙන් කිව්වොත්, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඌරෙක් වෙලා අශූචි කන්න උපදින්න පෙරාතුව, මේ ජීවිතයේදීම තමාගේම අශූචි තමන්ට අසිහියෙන්ම කන්න සිද්ධවේවි. පිංවත කට තිබ්බ පළියට වෛරී වචන පිට කරන්න එපා. එහෙම කළොත් ඔබේම මස, ඔබේම රුධිරය, ඔබේම අශූචි ඔබට රසවත් ආහාරයක්ම වේවි.

පිංවත අවිද්‍යාවෙන් ගිනිගත් පංච උපාදානස්කන්ධ ලෝකයේ දී, තෘෂ්ණාව ඵස්සය තුළ සැඟවී තව තවත් සංස්කාරයන්ට ගොදුරු සොයනවා. පිංවත සංස්කාර මාරයාට ගොදුරු සොයාදෙන ගොදුරු බිම් හයක් තිබෙනවා. පිංවත ඔබේ අධ්‍යාත්මික සළායතනයෝ යනු, මාරයාගේ ගොදුරු බිම් හයයි. පිංවත ඇස කියන්නේ මාරයාගේ ගොදුරු බිමක්. ඇසට අරමුණුවෙන බාහිර රූපයන් යැයි කියන්නේ මාරයාගේ ගොදුරු සොයන ගොදුරු බිම්මයි. පිංවත ඇස ඉදිරියේ සතිමත් වෙන්න. ඇසේ ඵස්සයට නොබැඳී සිටින්න. මාරයා ගොදුරු සොයන ගොදුරු බිම් කායානුපස්සනාවෙන් මාරයාටම මරබිම් බවට පත්කොට ගන්න. මේ නිහඬ රාත්‍රියේ දී භික්ෂුව තම සළායතනයන්ට ගොදුරෙහි හැසිරෙන්න දෙන්නේ නැහැ. ඒ නිසාම මාරයා ආහාර අහේනියකින් ඉන්නේ. මාරයා කෙලෙස් මන්දපෝෂණයෙන් කෘශ වෙලයි ඉන්නේ. මාරයාගේ කෑම මේසයේ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ හිස් කෑම පිඟන් ධම්මානුපස්සනාවට ආහාරයක්මයි වෙන්නේ. පිංවත කායානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, වේදනානුපස්සනාවත් අනිත්‍ය වූ ධර්මතාවයන් යැයි විනිවිද දැකීමට ධම්මානුපස්සනාවට ශක්තිය තිබෙනවා. උතුම් බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නයත් අනිත්‍ය වී යන ධර්මතාවයන් යැයි විනිවිද දැකීමේ ශක්තිය තිබෙන්නේ ධම්මානුපස්සනාවටමයි. පිංවත නිවන නමැති නිදහස්වීමේ ධර්මතාවයත් අනිත්‍ය වී යන ධර්මතාවයක් යැයි, දැකීමේ ශක්තිය තිබෙන්නේ ධම්මානුපස්සනාවටමයි. උතුම් ධම්මානුපස්සනාවට විෂය නොවන ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුළ නැහැ. පිංවත භික්ෂුවගේත්, ඔබේත් මෙම හමුවීම අනිත්‍ය යැයි විනිවිද දකින ධර්මතාවය වෙන්නේ ද ධම්මානුපස්සනාවයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ, පටිච්චසමුප්පන්න අතීත සංස්කාර විපාකයට පැමිණීමත්, යළි යළිත් සංස්කාරයෝ අලුතින් රැස්කිරීමත් යන කාරණා දෙකම වර්තමානය තුළ සිද්ධ වෙනවා. පිංවත නිවසෙන් ගමට, ගමෙන් නගරයට, නගරයෙන් රටට, රටෙන් ලෝකයට, ලෝකයෙන් භවාත්‍රයට පටිච්චසමුප්පන්නව සංස්කාරයෝ අපිව ඇවිද්දවනවා. අධිවේගී සහ ගල් බොරලු ඇනෙන පාරවල් දිගේ, අවිද්‍යාව අපිට පාර කියා දෙනවා.

පිංවත් ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවකගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, පැවිදි අපි මුදල් පරිහරණය නොකර වර්තමානයේ ජීවත් වෙන්නේ කොහොම ද කියලා. ගෞවරනීය ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේලාට සාමණේර දශශීලයත්, සේඛියා හැත්තෑ පහත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය පැනවුවත්, පැවිදි අපි ඉහත විනය කාරණා නිවැරදිව රකිනවා ද කියලා බලන්න පොලිසියක් පිහිටෙව්වේ නැහැ. පොලිසිය බවට පත්වෙන්නේ අපේම හෘදසාක්ෂියයි. බුදුරජාණන් වහන්සේ අපේ යහපත උදෙසා උතුම් විනය කාරණාවන් පනවලා තිබෙනවා. එම උතුම් විනය කාරණා දිවිහිමියෙන්ම රැකීම හෝ නොරැකීම අපේ කැමැත්තක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් විනය කාරණාවන් පනවන්නේ කාගෙන්වත් අහලා නොවේ, අනුන් සමග සාකච්ඡා කරලා නොවේ, පතපොතකින් බලලා නොවේ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් විනය කාරණාවන් පනවන්නේ, බුදුරජාණන් වහන්සේ තම චුතූපපාත ඥානයෙන් දකිනවා, සත්ත්වයා පටිච්චසමුප්පන්නව මැරෙන සහ යළි උපදින ස්වභාවය. ශිල්පද දුර්වල කොටගන්නා සංඝ සමාජයේ සාමාජිකයෝ අපවත්වීමෙන් පසුව ලබන දුර්වල උපත්වල ස්වභාවය. ගෞරවනීය පිංවත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙනුයි මේ උතුම් විනය කාරණාවන් පනවන්නේ. ශිල්පද දුර්වල කොටගන්නා අපේ අනාගත භව දුක් ඉරණම දැකලාමයි ශීලයේ වටිනාකම අපිට කියලා දෙන්නේ. අධිකරණයන් තුළින් අපිව නිවැරදි කිරීමට මාර්ගය කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවවාදයෙන්, පූර්වාදර්ශයෙන් මිස බලහත්කාරයෙන් අපිව ශීලය තුළ පිහිටවන්නේ නැහැ.
අපි ශිල්පද දුර්වල කොටගැනීමෙන් ලබන කෙටි ආශ්වාදයත්, එක කෙටි ආශ්වාදය නිසා අපි ලබන අනාගත දීර්ඝ ආදීනවයයි බුදුරජාණන් වහන්සේ අපිට මතුකොට පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයෙක් හැටියට ඔබවහන්සේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය විනයානුකූලව ආරක්ෂා කොටගත්තොත්, ශීලයට අදාළ ආනිශංස ධර්මයෝ වන ජනප්‍රියභාවය, අභියෝගයන් ඉදිරියේ නොසැලීම, අපේ බවභෝග සම්පත් වන ශ්‍රද්ධාව, සමාධිය, ප්‍රඥාව, ඥාන දර්ශනයන් ආරක්ෂාවීම, සිහිමුළා නොවී අපවත්වීම සහ සුගතියේ ඉපදීම කියන ආනිශංස ධර්මයෝ ඔබවහන්සේ ඒහිපස්සිකව භුක්ති විඳීවි. අපි කැමැත්තෙන්, සතුටෙන් ශිල්පද දුර්වල කොටගත්තොත් ජනප්‍රියභාවය පිරිහේවි, දුක නමැති අභියෝගයට අපි බියවේවි, සමාධිය, ප්‍රඥාව ආදී වූ බවභෝග සම්පත් අපිට අහිමිවේවි, සිහිමුළා වෙලා අපවත්වේවි. බුදුරජාණන් වහන්සේ අපේ භව නිරෝධය උදෙසා උතුම් ශීලයන් පනවලා තිබෙනවා. ඔබවහන්සේ කැමති නම් ශිල්පද ආරක්ෂා කොටගන්න. අකැමැති නම් ශිල්පද දුර්වල කොටගන්න. හොඳ සහ නරක ප්‍රතිඵලයන් ඔබවහන්සේටමයි. බුදුරජාණන් වහන්සේ එපා යැයි කියපු දෙයක් අපි කළොත්, ඒවාට හිමිවන දීර්ඝ දුකේ ආදීනවයෝ, මහා කරුණාවෙන් අපට බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. මුදල් පරිහරණය කරන හෝ මුදල් පරිහරණය නොකරන ඕනෑම ස්වාමීන් වහන්සේ නමක්, මෙය සටහන් තබන භික්ෂුවට අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් පමණක්මයි. විතර්කයන් උදෙසා නම් නොවේ. ඉදිරියේ දී දවසක් එනවා මේ මුළු ධර්ම විනයම අතුරුදන් වෙලා යන. කරුණාකර දුකට අයිති මුදල් පසුම්බිය, එහි සැබෑ හිමිකරු වන මාරයාට භාර දී ඔබවහන්සේ අප්‍රමාදීව පූර්වාදර්ශී වෙන්න දක්ෂ වෙන්න. ලෝකය නිවැරදි වෙන්නේ නැහැ, ඔබවහන්සේමයි නිවැරදි වියයුත්තේ.

පිංවත ජාතියේ නිදහස් දවස. අපේ නිදහස අපි අභිමානයෙන් සමරනවා. සත්‍යකින්ම අපි සමරන මේ නිදහසේ අර්ථය කුමක් ද? අපි සමරන්නේ සොරකම, වංචාව, දූෂණය, අල්ලස, බොරුව, දුරාචාරය, කාන්තා හිංසනය ජයගන්නා වූ නිදහසක් නේද? කරුණාකර මේ සමරන අකුසලයේ නිදහසට හේතු වූ වරදකරුවන් සොයන්න එපා. එම සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. ජාතියේ නිදහස අපි හැමෝගේම උරුමයක්. අපි හැමෝගේම සතුටක්. අපි හැමෝගේම අයිතියක්. අපේකම මියැදුන නාමික නිදහස් ජාතියක, අධ්‍යාත්මයේ සෝදාපාළුව සිහිපත්වෙත්දි, සුවපත් වේවා යැයිම සිතන්න. එතැනයි සැබෑ ලෞකික සහ ලෝකෝත්තර නිදහසට මාර්ගය තිබෙන්නේ. වරද නිදහස් දිනය නොවේ, නිදහස සමරන අපේ වංකභාවයයි.