සියලුම යාගයන් අතරින් ශ්‍රේෂ්ඨම යාගය ශීලයේ යාගයයි

පිංවත බොරුව මුල් බැසගත්ත සමාජයක, ඇත්ත මතුකොට ගැනීමට නම්, බොරුවට මෙත් වඩන්නම වෙනවා. පිංවත් ඔබ සමාජගතවෙන බොරුවට, ද්වේශ කරලා, වෛර කරලා, සත්‍යය මතුකොට ගැනීමට යාමෙන් ඇතිවෙන අධර්මානුකූල ඵලය වෙන්නේ, සමාජගතවෙන කාය කර්ම සහ වචි කර්මයන් හේතුවෙන්, පිංවත් ඔබ ඊට වඩා බලවත් මනෝ කර්මයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි. පිංවත බොරුව ඉදිරියේ ඔබ මෙත් සිතින් සත්‍යවාදිවෙන්න. බොරුවේ වියරු විපාකයන් වෙන ජනප්‍රියභාවය පිරිහීම, අභියෝගයන් ඉදිරියේ යටත්වීම, භවබෝග සම්පත් හීනවීම, සිහිමුලාවට පත්වී මියයෑම, දුගතියේ පටිච්චසමුප්පන්නව ඉපදීම ගැන, සමාජයට මෙත් සිතින් කියලා දෙන්න. පිංවත් ඔබ බොරුවෙන් අසරණ සමාජයට මෙත් සිතින් ශීලයේ වටිනාකම කියලා දෙද්දී, ශීලයේ ආනිශංස ධර්මයෝ කියලා දෙද්දී, ඔබ තුළ සකස්වෙන සිතුවිල්ලක් පාසා, ඔබ ඇතිකොටගන්නේ උතුම් ධර්ම දානමය කුසල් ධර්මයක්මයි. පිංවත වර්තමානයේ අධර්මදානයෝ වැහි වැහැලා. අධර්මයේ වැහි වැඩිවෙද්දී මනුෂ්‍යයා මෝහයෙන්ම තෙතබරිත වෙනවා. දුශ්ශීල භාවයෙන්ම සැප සහ සංවර්ධනය සොයනවා. ඔබ දුශ්ශීලභාවයට ගරු කරයිද, පෙරළා ඔබට මෝහය ගරු කළා වෙනවා.

පිංවත ඔබ ජීවත්වෙන මාතෘභූමිය මොනතරම් බරපතල මිථ්‍යාදෘෂ්ටික අනතුරක් දෙසට ගමන් කළද, මෙම වියරු මිථ්‍යාදෘෂ්ටික අනතුරින් සමාජය යම් පමණකට හෝ ගලවාගැනීමට අවශ්‍ය නම්, මේ සමාජය උඩුයටිකුරු කරන්න සිද්ධවෙනවා. පිංවත කුමක් ද අපි උඩු යටිකුරු කළයුත්තේ, පිංවත දුශිල්වත්භාවය උඩට මතුවෙලා, ශිල්වත්භාවය ගිලීයන සමාජයක, අපි කළයුත්තේ දුශිල්වත්භාවය යටකොට දමලා, ශිල්වත්භාවය උඩට ගැනීම පමණක්මයි. පිංවත ධර්මානුකූලව පුංචි වෙනසක් සිදුකොට ගැනීමට නොහැකිව, අපි හැමෝම මහා දුකක් විඳිනවා. මෙම මහා දුකට වගකිවයුත්තේ අපේම තෘෂ්ණාවමයි. අපේ වැඩිවෙන තෘෂ්ණාව ඉදිරියේ ආත්මදෘෂ්ටිය සුවසේම පෝෂණය වෙනවා. “මම” මුල්කොටගත් මගේ ලෝකය වෙනුවෙන් පමණක්ම අපි පෙනී සිටිනවා. මගේ දරුවා, මගේ පවුල, මගේ ලෝකය ළඟ අපි නැවතිලා. ආත්මීය දෘෂ්ටියේ සීමාවන් අපේ-කම අපිට අමතක කොට දමලයි තිබෙන්නේ. පිංවත සමස්ත සමාජයම අකුසලයෙන් බිලිගන්නා සමාජගත දුශ්ශීලභාවයට තවදුරටත් ඉණිමං නොබැඳ, සිතින් සිත, ශිල්වත්වෙන්න. ශීලයේ අර්ථවත් ආනිශංස ධර්මයෝ පූර්වාදර්ශයෙන් සමාජගත කරන්න. ජාති, කුල, ආගම් භේදයකින් තොරව අරමුණ උදෙසා මෙත්සිතින් අත්වැල් බැඳගන්න. වර්තමානයේ ජාතිය ඉල්ලා සිටින සැබෑ සම්මා ව්‍යායාමය උදෙසා ඔබ තුළින් ඔබ ශිල්වත් වෙන්න. ශිල්වත් ජීවිතයක් යැයි කියන්නේ ඔබ ඔබට සිදුකොටගන්නා ශ්‍රේෂ්ඨ සත්පුරුෂභාවයක් වගේම, ඔබ සමාජයට පූජාකොට ගන්නා උතුම් ධර්මදානමය පිංකමක් ද වෙනවා. පිංවත ධර්මය සඟවන්න බැහැ. ධර්මය විවෘතව බබලනවා. ශිල්වත් ජීවිතයක් දෑසින් දකිද්දී, ශිල්වත් ජීවිත ගැන අසද්දී, අපි තුළ ඇතිවෙන්නේ සප්තබොජ්ජංග ධර්මයෝමයි. ආර්ථික ප්‍රශ්න ඔඩුදුවමින් පිංකම් සිදුකිරීමට බාධා කරන සමාජයක, ඔබ සුරකින ශීලය විසිහතර පැයේම පින් වැඩෙන පිංකමක් බවටම පත්කොට ගන්න.

පිංවත ශිල්වත්භාවයට සහ දුශිල්වත්භාවයට ජාති, ආගම්, කුල භේදයන් නැහැ. ඉහත ධර්මයෝ අපි හැමෝටම එකම හැන්දෙනුයි බෙදන්නේ. පිංවත වර්තමානයේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය නිසාම දුශිල්වත්භාවය අධිවේගී වෙලා. පිංවත සමාජගතවෙන අධි දුශිල්වත්භාවය ඉදිරියේ සමාජයට ශිල්වත්භාවය ගැන කියාදීමෙන් පමණක් ඵලක් නැහැ. සමාජගත දුශ්ශීලභාවය ඉදිරියේ සමාජයට කියලා දියයුත්තේ සම්මාදිට්ඨියේ උතුම් අර්ථයන්මයි. වර්තමාන සමාජයේ හුඟදෙනෙක් මරණ බියෙන් ජීවත්වෙන්නේ, හෙට දවසේ කවුරුන් මරා දමාවිද යන්න සැකයෙන් ජීවත් වෙන සමාජයට, කර්මය කර්මඵල විශ්වාසය ගැනමයි, පටිච්චසමුප්පන්න නැවත උපත ගැනමයි කියා දිය යුත්තේ.

පිංවත මනුෂ්‍ය ඝාතනයන් සිදුකළොත්, එහි විපාකයන් හැටියට තමන්ටත් මෙලොව හෝ පරලොවේදී අකාලයේ මැරුම් කන්න සිදුවෙනවාමයි. සමාජගතවෙන මිනීමැරුම් නාමයෙන් අපි දකින්නේ සුන්දර ධර්මයක්. පෙර ජීවිතවල මනුෂ්‍ය ඝාතන සිදුකළ ඇත්තෝ පටිච්චසමුප්පන්න මේ ජීවිතයේදී තවකෙකු අතින් මැරුම් කනවා. පිංවත නිමාවක් නොමැති අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, නොනිමි මිනීමැරුම් රැල්ලක් භවයෙන් භවය අපි දිගේලි කොට ගන්නවා. පිංවත රැළි නැගෙන්නේ මහා සයුරේ පමණක් නොවේ, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය පටිච්චසමුප්පන්න අතීත මිනිමැරුම් දැනීම් විවෘත කොට දෙනවා. පිංවත මරාදමන්නට බැරි එකම එක ධර්මතාවයයි මේ ලෝක ධාතුව තුළ තිබෙන්නේ. එම ධර්මතාවය තමයි දශපාරමී කුසල් ශක්තියෙන් උපන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ජීවිතය.

පිංවත මිථ්‍යාදෘෂ්ටියෙන් මෙහෙයවන්නා වූ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය, රාජ්‍ය නීතිය නොතකා හරිමින්, තරගයට මනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කරන සමාජයක, මනුෂ්‍ය ඝාතනයෙන්, මනුෂ්‍ය හිංසනයෙන්, මනුෂ්‍යයින්ගේ ලෙයින්, කඳුළින්, සුසුමෙන් ගලාගෙන යන, රත්පැහැ රුධිරයෙන් තම විමුක්තිය සොයන, කල්‍යාණමිත්‍ර ඇසුර නොලැබූ අසරණ මනුෂ්‍යයෝ, විමුක්තියේ නාමයෙන් අයිතිකොට ගන්නේ මරණීය දුකමයි. පිංවත තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය විමුක්තියේ, පිරිසිදුවීමේ සහ පළිගැනීමේ නාමයෙන් විවිධාකාර යාගයන් මනුෂ්‍ය ජීවිත තුළින් මතුකොට දෙනවා. මෝහයෙන් තම ආධ්‍යාත්මය අන්ධකොටගත් මනුෂ්‍යයෝ විමුක්තියේ නාමයෙන්, පිරිසිදුවීමේ නාමයෙන් ජීවිතගතකොට ගන්නේ, සතර අපා වියරු අනාගත දුක් සාගරය පමණක්මයි. පිංවත අපේ රටෙත් විමුක්තියේ නාමයෙන් දුශ්ශීලව සිදුකරන දේශපාලන යාගයන් තිබෙනවා. මේ දුශ්ශීල දේශපාලන යාගයන් පූර්වාදර්ශයට ගනිමින් වර්තමානයේ ජනතාවගේ රුධිරයෙන්, කඳුළින්, දුක්වේදනාවන්ගෙන් තම වියරු ආධ්‍යාත්මයන් පිරිසිදුකොට ගැනීමේ මෝහබරිත යාගයන් සමාජගත වෙමින් පවතිනවා. පිංවත කොටින්ම අපේ රට මිනී මරන, මනුෂ්‍ය හිංසනය ඔඩුදුවන, ජනතාව හදවත්වලින් වැළපෙන දුශ්ශීල යාග භූමියක් බවට පත්වෙමින් පවතිනවා. තම ආත්මීයදෘෂ්ටියේ විමුක්තිය නාමයෙන් පසුගිය සතියේ රුධිරය ගලාගිය දුශ්ශීල යාග භූමියක පස් දෙනෙක් මරා දමා තිබුණා. පිංවත විමුක්තියේ නාමයෙන් අපි මේ සොයන්නේ භව පරාජයක්ම නේද?

පළිගැනීමේ නාමයෙන් අපි මේ උදාකොට ගන්නේ තවත් පටිච්චසමුප්පන්න පළිගැනීමක ආරම්භයක්ම නේද? පිංවත අපේම දුශ්ශීල චේතනාවෝ හේතුවෙන් අපිම පටිච්චසමුප්පන්නව අපෙන් පළිගන්නවා. පිංවත ප්‍රියයන්ගෙන් වෙන්වීම සහ අප්‍රියයන් හා එක්වීම කියන දුක්ඛ සත්‍යයේ පරම අර්ථය ධර්මානුකූලව විනිවිද නොදකින නිසාම, දුකට හේතුව තෘෂ්ණාවට භාර නොදී, දුක ඉදිරියේ වියරු තෘෂ්ණාවෙන්ම වියරු දුශ්ශීල යාගයන් තුළින් සතුට සොයනවා.

පිංවත ලෝකයේ විවිධාකාර යාගයන් තිබෙනවා. ගවයන්, එළුවන්, බැටළුවන්, කුකුළන් දහස් ගණනකගේ බෙලි අමු අමුවේම කපලා, ගලායන උණුසුම් රුධිරයෙන් දෙවියන් පුදා විමුක්තිය සොයන සත්ත්ව යාගයන් තිබෙනවා. පිංවත අතීතයේ තිබූ එම ම්ලේච්ඡ සත්ත්ව යාගයන් සමාජයෙන් ටිකෙන් ටික සමුගනිත්දි, පිංවත් මනුෂ්‍යයෝ මිනිස් යාගයන්ට යොමු වෙලා. යුද භූමිවල, අරගල භූමිවල, පාතාල භූමිවල අමු අමුවේ මනුෂ්‍යයෝ මරා දමමින්, එම මළ සිරුරුවලින් ගලායන උණුසුම් රුධිරයෙන්, වියරු දුක් අඳෝනාවන්ගෙන්, සතුටුවෙන තම විමුක්තිය සොයන වර්තමානයකට අපි පැමිණ සිටිනවා. පිංවත දෑස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබත්, මමත් අනුනගේ විමුක්තිය උදෙසා, ම්ලේච්ඡ මිනිස් යාග භූමිවල බෙලි කපාගෙන, අතපය කපාගෙන මොනතරම් නම් උණුසුම් රුධිරය වගුරුවන්න ඇති ද? පිංවත ලෝකයේ තනි අයිතිය දුකටමයි. සැපය යැයි කියන්නේ පෙනි පෙනී ඈතට යන මිරිඟුවක්මයි. පිංවත සැපය කියන මිරිඟුවට ගොදුරක් වෙන්න එපා. දුක ඉදිරියේ ආවේගශීලී නොවී සතිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සියලුම යාගයන් අතරින් ශ්‍රේෂ්ඨම යාගය ශීලයේ යාගය යැයි කියලා. ශීලයේ යාග භූමිවල මිනී මැරුම්, මර ලතෝනි, දුක් අඳෝනාවන් නැහැ. ශීලයේ යාග භූමිවල තිබෙන්නේ සංවර වූ ඉන්ද්‍රියයන් සහ සමාධිමත් සිතුවිලි පමණක්මයි. පිංවත දුකට එකම හේතුව තමා තුළම සකස්වෙන තෘෂ්ණාව යැයි තේරුම් ගත්තොත්, ලෝකය මොනතරම් ලස්සන ද? අපේ දුකට අපි අපෙන්ම පළිගත්තොත්, ලෝකය අපිට අමිහිරි මිනිස් යාග භූමියක්ම වෙනවා.

පිංවත ඔබ ජීවත්වෙන සමාජය ශීලයේ මහා යාග භූමියක් බවට පත්කොට ගන්න. ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය මේ නිමේෂයේදීත් අපි ඉදිරියේ වැඩ සිටිනවා. උන්වහන්සේගේ වර්ණය, සැපය, බලය, අපි තව තවත් බලගන්වන්න ඕනේ. උන්වහන්සේට චිරාත් කාලයක් දීර්ඝායුෂ ලබන්න අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තව තවත් ශක්තිමත් වෙන්න ඕනේ. දුශ්ශීලභාවයේ යාගකරුවන්ට උතුම් ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ අකාලයේ අතුරුදන් කරන්න දෙන්න එපා. පිංවත මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. ගෞරවනීය පිංවත ඔබෙත්, භික්ෂුවගේත් ජීවිත කියන්නේ ජාති, ජරා, ව්‍යාධීන්ට යටත් නොවටිනා ජීවිතයක්. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ටම අයිති අපේ නොවටිනා ජීවිත මේ ලෝකයේ දුර්ලභම අර්ථය වන උතුම් ධර්ම විනයේ ආරක්ෂාව උදෙසා කැප කරමු. අපේ ජීවිත ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලයේ යාග භූමියක් බවටම පත්කොට ගනිමු. පිංවත ශීලයේ ශක්තිය ඉදිරියේ මරණ බිය කියන සිතුවිල්ල, අනිත්‍ය වූ චිත්තානුපස්සනාවක්ම වෙන්න ඕනේ. මරණ බිය අයිති ශීලයට නොව, දුශ්ශීලභාවයටමයි.

පිංවත අවිද්‍යාවේ නිරුවත, තෘෂ්ණාවෙන් වසාගත් පංච උපාදානස්කන්ධ මාරයා, ශීලයේ අර්ථයන් බෙලහීන කරන යුගයක, ශීලය අභිබවා දුශ්ශීලභාවය ගරු නම්බුනාම ලබන යුගයක සැබෑ ශිල්වත්භාවයේ ප්‍රණීත ආනිශංස ධර්මයෝම අපි සමාජගත කරමු. පිංවත ජනප්‍රියභාවය, අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය, බවභෝග සම්පත් ආරක්ෂාවීම, සිහිමුළා නොවී මියයෑම උතුම් ශීලයේ ප්‍රණීත ආනිශංස ධර්මයෝයි. පිංවත බිය යැයි කියන්නේ, සැකය යැයි කියන්නේ පංච නීවරණයන්ට අයිති මාර ධර්මයක්. පිංවත උතුම් ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේගේ දීර්ඝායුෂ උදෙසා, සමාජගතවෙන දුශ්ශීලභාවයේ යාගයන්ට සුවපත් වේවා යැයි මෙත් සිත පතුරුවමින්, ශීලයේ සහ මෛත්‍රියේ ප්‍රණීත සංස්කාරයන්ගේ ශක්තියෙන්, ලෝකයේ දුර්ලභම අර්ථයේ ආරක්‍ෂාව උදෙසා, ඔබේ යුතුකම ඔබ ඉටු කරන්න. ඔබේ පිංවන්ත ජීවිතය පූර්වාදර්ශීව ශීලයේ යාග භූමියක් බවටම පත්කොට ගන්න. ජීවිතයත්, මරණයත් යන දෙකම ධම්මානුපස්සනාවෙන්ම දකිමින් සමාජයට අභය දෙන්න.