පින්වත ඉපදීම නිසයි දුක සකස් වෙන්නේ. අපි අතීතයේ ඉපදීම නිරෝධය කළා නම් අපි ලෝකයෙන් නිවී ගිහිල්ලා. ඉපදීම නිසාම ජරා, ව්‍යාධි, මරණ, දුක තිබෙනවා. අපේ දුකට අපි අනුනට බැනලා වැඩක් නැහැ. තමන්ගේ දුකට අනුනට තොරතෝංචියක් නැතුව බණින මනුෂ්‍යයෝ මොනතරම් නම් සිටිනවාද? පින්වත අවිද්‍යාවෙන් උපදින සංස්කාර ලෝකය දුක සහ සැප යන දෙකටම අයිතියි. සමාජය දක්ෂ විය යුතුයි මේ සමාජගතවෙන දුක සහ සැප ධර්මානුකූලව කළමනාකරණය කොටගන්න. එය එසේ නොවුණොත් බලවත් සමාජ විෂමතාවයන් සහ පන්තිභේදයන් සමාජගත වෙනවා. සැප විඳින පින්වතුන් උපරිම සැප විඳිනවා. දුක් විඳින පින්වත් මනුෂ්‍යයෝ උපරිම දුක් විඳිනවා. පින්වත සමාජගතවෙන අධික සැප සහ අධික දුක කියන අන්ත දෙක මධ්‍යස්ථභාවයට නොගන්නා නිසාම වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, සොරකම, මංකොල්ලය, වැනි නොමිනිස්කම් වලට සමාජය ඇබ්බැහි වෙනවා. මෙවන් පසුබිමකදියි සම්මාදිට්ඨියෙන් යුත් පාලක පින්වතුන්ලාගේ වැදගත්කම මතුවෙන්නේ. පින්වත් පාලක පින්වතුන්ලාට කර්මය, කර්මඵල විශ්වාය නැතිවුණහම සමාජගතවෙන දුක සහ සැප ධර්මානුකුලව විග්රහකොට ගන්න දක්ෂ නැහැ. ඒ නිසාම ධනවතාව ආරක්ෂා කරලා දුප්පතාව අමතක කරනවා. ඒ නිසාම ධනවත් සහ දුප්පත් යන අන්ත දෙකම ශක්තිමත් වෙනවා. එයම පන්ති වෛරයට හොඳ ආහාරයක් වෙනවා. පින්වත මේ බියකරු චිත්‍රය වර්තමානයේ අපේ සමාජය තුළ බොහෝම විචිත්රව සිතුවම් වෙමින් පවතිනවා. මේ විචිත්‍ර චිත්‍රය මැද අපි හැමෝගේම එකම උත්සාහය, මමත් කුමන ක්‍රමයකින් හෝ ධනවතෙක් වෙනවාය කියන අන්තවාදී දැක්මයි. පින්වත අපි කවදාද තමන් සේම අනුන් ගැණත් සිතන, මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ.
පින්වත මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ හරිම ප්‍රණීත ධර්මතාවයක්. එතැන දුකක් නැහැ. එතැන සැපත් නැහැ. එතැන තිබෙන්නේ දුකත්, සැපත්, යන දෙකම හේතුඵල ධර්මයන් තුළ දකින ධර්මයේ උපේක්ෂාවයි. ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දෙස බලද්දී ජීවිතය තුළ ඉතිරිවෙන්නේ විවේකයක් පමණක්මයි. එම විවේකය ධම්මානුපස්සනාවට හොඳ ආහාරයක් වෙනවා. ධම්මානුපස්සනාව හරිම දක්ෂයි ලෝකය අමතක කරවලා අපිව ලෝකය තුළ ජීවත් කරවන්න. ලෝකය කියන්නේ හරිම බරක්. එම බර තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ, පංචඋපාදානස්කන්ධ දුකම තිබෙනවා. පින්වත දුකට හඬන්නේ නැතුව, සැපයට අත්පොළසන් දෙන්නේ නැතුව, ධර්මයේ උපේක්ෂාවට ජීවිතය භාරදෙන්න. එවිට ඔබට වැටහේවි ජීවිතය තාවකාලිකව ලෝකය තුළ නැවතිලාය කියලා. ඔබ දෑස් පියගනිද්දි ලෝකය ඔබට මැකිලා පෙනේවි. පින්වත ඒ මැකිලා පෙනෙන සිතත් ධම්මානුපස්සනාවෙන්ම මැකිලා යාවි. අධ්‍යාත්මික රූපය මුලකොටගෙන එකම දෙය නැවත නැවත සිද්ධ වේවි. ඒ එකම දෙය ඔබේ කාය සංස්කාරයි. ඔබේ ඵස්සය ඉදිරියේ කාය සංස්කාරයොත්, ධම්මානුපස්සනාවට ආහාරයක්මයි වෙන්නේ. පින්වත තෘෂ්ණාවේ ජවයෙන් දුවන පංචඋපාදානස්කන්ධ ලෝකය ඇලීම් සහ ගැටීම් කකුල් මාට්ටු දමා නවත්වන්න බැහැ. ඇලිමී සහ ගැටීම් කකුල් මාට්ටු නිසා, පෙරලා ඇලීම් සහ ගැටීම් හේතුවෙන් පංචඋපාදානස්කන්ධ ලෝකයමයි වේගවත් වෙන්නේ. පින්වත මලක් කථාකළොත් ඒ මල කියාවි, අපේ මාව නෙලාගන්න එපා. මට අතු අග නිදහසේ පිපී ඉන්න ඉඩදෙන්න කියලා. පින්වත නිසංසලේ ගලා බසින දොළක් කථා කළොත්, එම දොළ කියාවි, අනේ මාව බොර කරන්න එපා, මට පිවිතුරුව ගලාගෙන යන්න ඉඩදෙන්න කියලා. පින්වත විදර්ශනා නුවණ වඩාගත් හිතක් කථා කළොත්, එම සිත කියාවි, ඔබලා කැමති තාක් මාව රිදවන්න, කැමති තාක් මාව පසසන්න, මේ දෙඅර්ථයෝම මාගේ සතර සතිපට්ඨාන ධර්මයෝම ජීවත් කරාවිය කියලා.
පින්වත මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ස්වාමීන් වහන්ස, නැති බැරි පින්වතෙක් ප්‍රණීත දානයක් පූජා කරගන්නේ කොහොමද කියලා. පින්වත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අයිති දක්ෂයාටයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන, සද්ධර්මය ශ්‍රවණය කරන, ධර්මය නුවණින් මෙනෙහි කරන දක්ෂයා තමන් බෙදන බත් හැන්ද තුළිනුත් ප්‍රණීත දානයන් බෙදීමේ මාර්ගය මතුකොට ගන්නවා. පින්වත ඔබ පූජා කරන බත් හැන්දේ ආනිශංසත්, ඔබව පෙරලා දන් පූජා කිරීමේ ශක්තිමත්භාවය දිශාවටමයි යොමු කරන්නේ. පිංවත නැහැ සහ බැහැ කියන අදක්ෂභාවය ජයගන්න පාඩම් ඕනෑතරම් සද්ධර්මය තුළ තිබෙනවා. ප්‍රණීත දානයකින් ලැබෙන ප්‍රණීත ආනිශංශ, විදර්ශනා දැක්ම තුළ අනිත්‍ය වී යන සංස්කාරයක් බවටමයි පත්වෙන්නේ. පිංවත නැති බැරි ඔබ බත් හැන්දක් පූජා කරත්දිත්, දානමය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් පූජා කරන්න. එම පූජාව සියළු ප්‍රණීත දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. පිංවත් ඔබ ප්‍රණීත දානයක් පූජා කරන පිංවතුන් කෙරෙහි ගැටෙන සිත් ඇතිකොට ගන්න එපා. එම අනුනගේ පින ඔබ සතුටු සිතින් අනුමෝදන් වෙන්න. එම පිනම ඔබට වර්ණය, සැපය, බලය උදෙසාම හේතු වෙනවා. පිංවත ප්‍රණීත දානයන් ඉදිරියේ අසතුටුවෙන අහිංසක සිත් භික්ෂුව ඕනෑතරම් දැක තිබෙනවා. එය ඔබේ ඉදිරි ප්රණීතභාවයන් අහිමිකොට ගැනීමේ බලවත් අකුසලයක් වෙනවා. දිනපතා මුළු ලෝකයාම පූජා කරන ප්‍රණීත දානයන් සිහියට නගාගෙන හදවතින් සාධුකාර දෙන්න. එවිට ඔබ තුළ වැඩෙන සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ කර්මය කර්මඵල විශ්වාසය, ඔබට ප්‍රණීත දානයන් පූජාකොට ගැනීමේ මාර්ගයමයි විවෘතකොට දෙන්නේ.
පිංවත ලෝකය යැයි කියන්නේ සංස්කාරයන්ගේ විවිධත්වයක්. ලෝකය යැයි කියන්නේ ඉන්ද්රිය ධර්මයන්ගේ විවිධත්වයක්. එම විවිධත්වයෙන් යුත් ලෝකය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අර්ථවත්ව ඇති කොටගත් පිංවතුන්ලා සිටින්නේ තම නිය සිලේ තිබෙන පස් ප්රමාණයටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත විවිධත්වයෙන් යුත් මේ සංස්කාර ලෝකය තුළ අති බහුතරයක්ම සිටින්නේ කර්මය කර්මඵල විශ්වාසය නොමැති පිංවතුන්, දන් නොදෙන පිංවතුන්, දානය දුප්පත්වීමට මාර්ගය යැයි දකිනා පිංවතුන්. මෙවැනි මිථ්‍යා ලෝකයක යම් පිංවතෙකුට බත් හැන්දක් පූජාකොට ගැනීමට සිතක් සකස් වෙන්නේ නම් එයම දුර්ලභ ක්‍රියාවක් වෙනවා. පින්වත හෙට දවසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා ප්‍රණීත දානයන්ගේ ආනිශංස පක්ෂය යළි දේශනා කළත්, දන් නොදෙන පිරිස ලෝකයේ ඉතාමත් වැඩියි. ප්‍රණීත දානයන් පූජා කරන අය ඉතාමත් අඩුයි. මේ හැමෝටම වඩා විදර්ශනා නුවණ දුර්ලභයි. පිංවත මෙයයි අවිද්‍යාවෙන් උපන් විවිධත්වයෙන් යුත් සංස්කාර සහ ඉන්ද්රිය ධර්මයන්ගේ දියුණු සහ නොදියුණුභාවයේ හේතුඵල ධර්මයන් වෙන්නේ. පිංවත යම් නැති බැරි පිංවතෙක් කියනවා නම් තමන්ට ප්‍රණීත දානයක් පූජා කිරීමට හැකියාවක් නැහැය කියලා, භික්ෂුව එම අදක්ෂ කතාව පිළිගන්නේ නැහැ. අද උදෑසන ගමේ මහත්මයෙක් භික්ෂුවගේ පාත්‍රයට ප්‍රණීත දානයක් පූජා කළා. වැඩිම වුණොත් ඊට රුපියල් විසි පහක් වැය වෙන්න ඇති. පිංවත අදක්ෂයා දුම්වැටියක් පුළුස්සා දමන්න රුපියල් සියයක් වැය කරත්දි, දක්ෂයා රුපියල් විසි පහක් වියදම් කරලා ප්‍රණීත දානයක් පූජා කරගන්නවා. පිංවත ප්‍රණීත සිවුපසය හේතුවෙන් සංඝ සමාජය ප්‍රමාදීභාවයට පත්වෙන්න පුළුවන්. ප්‍රණීත සිවුපසය පංච නීවරණ ධර්මයන්ට ඉතාමත් ප්‍රණීත ආහාරයක්ම වෙනවා. ප්රත්යවේක්ෂා ධර්මයෝ සජ්ඣායනයට පමණක් සීමාවෙන යුගයක ප්‍රණීත සිවුපසය, සප්ත බොජ්ඣඬ්ග ධර්මයන්ට නම් කර්ම රෝගයක්ම වෙනවා. පිංවත ප්‍රණීත සහ අප්රණීතභාවයන්ගෙන් මිදුන මධ්‍යස්ථ සිවුපසයමයි උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක දීර්ඝායුෂ පිණිස හේතු වෙන්නේ. තත්වය අනතුරක් වුවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ප්‍රණීත දානයන්ගේ ආනිශංස පක්ෂය සමාජයට දේශනා කිරීම සංඝ සමාජයේ යුතුකමක් වෙනවා. පිංවත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා අපි සියල්ලෝම අප්රමාදී විය යුතුයි. ඊට එකම මාර්ගය ප්‍රණීත සිවුපසය නොව, ප්‍රණීත සහ අප්‍රණීත සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින මධ්‍යම ප්‍රතිපදාවයි. පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පණ දෙන්න. ලෞකික ප්‍රඥාවට අදාළ නෙක්ඛම්ම සංකප්පය ඔබට මග සහ නොමග සිහිනුවණින් වෙන්කොට කියලා දේවි.
පිංවත වස්සාන පිංකම අවසන් කරලා පිණ්ඩපාත මඩුවෙන් සමුගනිද්දී පිංවතුන් කිහිප දෙනෙක්ම හඬනවා භික්ෂුව දැක්කා. පිංවත සමුගැනීමේ විඳීමකදි නෙතින් ගලන කඳුළක් යැයි කියන්නේ ආපෝ ධාතුවටයි. ආපෝ ධාතුව අනිත්‍ය වූ ධර්මතාවයක්. පිංවත හැඬීමට මුල් වූ ඵස්සය හේතුවෙන් සකස් වූ විඳීම ද අනිත්‍ය වූ ධර්මතාවයක්මයි. විඳීම හේතුවෙන් සකස්වෙන සියලු සංස්කාරයෝ ද අයිති වෙන්නේ අනිත්යයටමයි. පිංවත කෙනෙක් හඬනකොට විඳීමේ විවිධත්වයන් හේතුවෙන් හැඬීම ආදරණීය, අහිංසක හෝ ගෞරවනීය හැඬීමක් වෙන්න පුළුවන්. මෙම ධර්මතාවයන් ද හැඬීමට මුල් වූ විඳීමේ විවිධත්වයයි. පිංවත ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් ගොඩක්, කඳුළු ගොඩක් බවට පත්වෙත්දි, ඔබට නොපෙනෙන සංස්කාර ලෝකය කොක් හඬලා සිනාසෙන බව සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව ඇත්ත. දුක අයිති තෘෂ්ණාවට බවත් ඇත්ත. කරුණාකර ප්‍රියයන්ගෙන් වෙන්වීම අනිත්‍ය වූ සංස්කාරයක් හැටියටම දකින්න. වෙන්වී යන ප්‍රියයන් තුළින් කල්‍යාණමිත්‍ර ධර්මයක්ම ජීවිතයට එකතු කොටගන්න.
පිංවත කොරෝනා අකුසලය විපාකයට පැමිණි දිනවල අපි හැමෝටම සිද්ධ වුණා මුහුණු ආවරණ පැළඳගෙන ජීවත් වෙන්න. කෙනෙකුගේ මුහුණක් තුළින් පිළිබිඹු වෙන ගෞරවනීය, ආදරණීය, අහිංසක ඉරියව්වක් දකින්න එදා අපි කාටවත්ම අවස්ථාව ලැබුණේ නැහැ. පිංවත ඔබ ලස්සන මුහුණක් ලබන්න, ප්‍රියජනක ඉරියව් එම මුහුණේ සිත්තම් වෙන්න ඔබ මොනතරම් නම් පෙර පිං කරන්න ඕනෙ ද? පෙර ජීවිතවලදි සත්‍යවාදි වචනම කතා කරන්න ඕනේ. අනුනට ප්‍රිය වචනම, ප්‍රිය සිනහවෙන්ම සංග්‍රහ කරන්න ඕනේ. එම වචන සහ සිනහව තුළ මෛත්‍රිය තැවරිලා තිබෙන්නට ඕනේ. පිංවත ලස්සන මුහුණක සැඟවී තිබෙන අතීත සංස්කාර අසිරිය, වර්තමානයේ අපිට මුහුණු ආවරණයකින් වසාගෙන සිටීමට සිද්ධ වෙනවා නම්, එම අතීත අසිරිමත් සංස්කාරයෝ පිටුපස සැඟවුණ අතීත අකුසල් සංස්කාරයෝ තිබෙන්න ඕනේ. පිංවත අපි මෛත්‍රියෙන් සහ කරුණාවෙන් කතා කරලා, පසුව ද්වේශ කරන්න, පළිගන්න හොඳ නැහැ. අපි සත්‍යවාදීව කතා කරලා පසුව වංචාකාරීව කටයුතු කරන්න හොඳ නැහැ. මෙවැනි අකුසල් ධර්මයන්ගේ විපාකයන් නිසාම ප්‍රියජනක මුහුණ, මුහුණු ආවරණයකින් වසාගෙන සිටීමට අදාළ ධර්මතාවයෝ සමාජගත වෙන්න පුළුවන්. පිංවත ප්‍රිය උපදවන දේවල් දුකෙන් පිරි ලෝකයෙන් සැඟවී යන්න ඉඩ දෙන්න එපා. පෙර පින ලෝකයාට විවෘත වූ කල්හි, පිංවතුන්ලාගේ පින කෙරෙහි කැමැත්තයි වැඩි වෙන්නේ.
පසුගිය දිනක භික්ෂුවට ගිහි භාවනා ගුරුවරයෙක් මුණ ගැසුණා. මෙම ගුරුවරයාගේ ලොකුම කටයුත්ත තමයි අනුනගේ ඇලීම් සහ ගැටීම් පරීක්ෂා කිරීම. අනුනගේ ඇලීම් සහ ගැටීම් පරීක්ෂා කිරීමට උවමනාවෙන්ම ප්‍රශ්න ඇති කිරීමට මේ පිංවත් ගුරුවරයා දක්ෂයි. මෙම ගුරුතුමා දන්නේ නැහැ, තමන් අනුනගේ ඇලීම් සහ ගැටීම් පරීක්ෂා කරන්නේ, තමා තුළ තිබෙන ඇලීමේ සහ ගැටීමේ තීව්රභාවය නිසාය කියලා. පිංවත විඤ්ඤාණය නමැති මායාකාරී රඟමඬල තුළ විවිධත්වයෙන් යුත් චරිත අපිට හමුවෙත්දි, එම චරිත විඳීමේ රංගනයන් ලෙසින්මයි දැකිය යුත්තේ.