පිංවත, භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට වැස්සේ ඉවරයක්නම් නැහැ. දිගටම කඩින් කඩ වහිනවා. පසුගිය කාලයේ නියඟයට බැන්න පිංවත් මනුෂ්‍යයෝ, වර්තමානයේ වැස්සට බනිනවා. පිංවත මේ ලෝකයේ බැනුම් නාහන ධර්මතාවයක් නැහැය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත මේ ලෝක ධාතුවේ උත්තරීතරම අර්ථය වන උතුම් බුදුරජාණන් වහන්සේ සහ උතුම් ධර්මරත්නයත් අසත්පුරුෂ ලෝකයාගෙන් බැනුම් අහනවා. පිංවත ලෝකය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි. පිංවත කුසල් සහ අකුසල් සංස්කාරයන් කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය පටිච්චසමුප්පන්නව ගලාගෙන යනවා. පිංවත කැඩෙන, බි`දෙන, විසිරෙන සංස්කාර ලෝකයකින් අප කෙසේනම් නොකැඩෙන, නොබිඳෙන නොවිසිරෙන හොඳක්, යහපතක්, පැසසුමක් බලාපොරොත්තු වෙන්නද? පිංවත සංස්කාර ලෝකය හරිම සාධාරණයි. පිංවත් ඔබ ලෝකයෙන් හොඳ, යහපත සහ පැසසුම් පමණක් බලාපොරොත්තුවෙලා, ලෝකයට අසාධාරණයක් කරන්න එපා. පිංවත ලෝකය තිබෙන්නේ දිනන්න හෝ පරදින්න නොවේ. ලෝකය තිබෙන්නේ දිනුම සහ පැරදුම යන දෙකම කැඩෙන, බිඳෙන, විසිරෙන අනිත්‍ය වූ සංස්කාරයක් යැයි අවබෝධකොට ගන්නයි.
පිංවත අවිද්‍යාව උදෑසනින්ම මුහුණ හෝදන්න කැමති පංවනීවරණ වතුරෙන්මයි. ඒ නිසාම අපි දවස පටන් ගන්නේ නොකැඩෙන බලාපොරොත්තු මුල්කොටගෙනමයි. පිංවත උදෑසනම සතිසම්බොජ්ජංගයෙන් මුහුණ සෝදන්න. එවිට කැඩෙන, බිඳෙන ලෝකය ඉදිරියේ ඔබට ධර්මවිජය බොජ්ජංගයක්ම මතුකොටගන්න පුළුවන්.
පිංවත සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ට තිබෙන ආදරය සඟවාගෙනයි ජීවත් වෙන්නේ. මේ නිසාම දරුවන් සිතනවා දෙමාපියන් තමන්ට ආදරේ නැහැයි කියලා, මෙම සටහන කියවන පිංවත් දරුවනි. ඔබටත් එවැනි සිතුවිලි ඇතිවෙලා තිබෙනවාද? පිංවත දෙමාපියන්ගේ ආදරය දරුවන් උදෙසා පිරී ඉතිරී යන්න තිබුණත්, දෙමාපියන් එම ආදරය නොපෙන්වා ජීවත්වෙන්නේ, දෙමාපියන්ගේ ආදරය ලබන්න දරුවන් සතු සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසාමයි. ඒ වගේමයි පෙරළා දරුවන්ගේ ආදරය ලැබීමට දෙමාපියන් සතු සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසාමයි. පිංවත මේ අවාසනාවන්ත සංස්කාර ගනුදෙනුව නිසාම දෙමාපියන් සහ දරුවන් අතර මතභේද, අසමගිය ඇති වෙනවා. තරුණ දරුවන් නොමගට යන්න එයම හේතුවක් වෙන්න පුළුවන්. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණං, පින්වත සංස්කාරයන්මයි අපේ දැනීම් වලට මුල්වන්නේ. පිංවත් දෙමාපියනි, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය හෙවත් දැනීම් යනු මැජික්කරුවෙක්. මේ මැජික්කරුවා තමාව උපයෝගි කොටගන්නේ පෙරළා සංස්කාරයන්ගේ පෝෂණය උදෙසාමයි. පිංවත් දෙමාපියනි ඔබලාගේ ආදරය දරුවන්ගෙන් සඟවාගෙන ජීවත්වෙන්න එපා. ඔබලාගේ ආදරය සීමාව ඉක්මවා දරුවන්ට පෙන්වන්නත් එපා. පිංවත අඩු සහ වැඩි දෙකම පෙරළා සංස්කාරයන්ට හොඳ ගොදුරක් වෙනවා.
පිංවත අඩු සහ වැඩි අන්ත දෙකෙන් බැහැරවෙලා, දෙමාපියන් මධ්‍යම ප්‍රතිපදාවට එන්න. දරුවන් ඉදිරියේ දෙමාපියන් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, සතියෙන් පූර්වාදර්ශී වෙන්න. දරුවන් උදෙසා වියයුතු දෙමාපියන්ගේ යුතුකම් ශක්ති පමණින් ඉටු කරන්න. පිංවත, ඉහත කුසල් ධර්මයෝම අකුසල් යටපත්කොට දෙමාපිය, දූදරු සමගියට ශක්තියක් වෙනවා. දෙමාපියන් දරුවන්ට සැකය සහ විචිකිච්චාවක් නොව ප්‍රීතියක් සහ ඵස්සද්ධියක්ම විය යුතුයි. පිංවත, විපාකයන්ට කළ එළි බසින අකුසල් ඉදිරියේ මැජික්කාර විඤ්ඤාණයට ආහාර දෙන්න එපා. සමාජය තුළ අප දකින සංස්කාර විවිධත්වය දෙස අනුවණින් බලන්නත් එපා. ඔබේ සංස්කාර ඔබේම සැපය සහ දුකයි. අනුන්ගේ සංස්කාර ඔවුනගේ සැපය සහ දුකයි. පිංවත, විවිධ වූ සංස්කාර ලෝකය යන අවිද්‍යාව කිරළු දරණ රාජධානියයි. අපි ඒ රාජධානියේ යාවජීව සිරකරුවෝය.
පිංවත, පසුගිය දිනක උදෑසන පිණ්ඩපාත මඩුවේදී භික්ෂුවට අහිංසක අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධවුණා. වයස අවරුදු තුනක පමණ පුංචි පිරිමි දරුවෙක් තම දෙමාපියන් සමඟ දානය හැන්දක් පාත්‍රයට පූජා කරලා, භික්ෂුව ඉදිරියේ දෑත් එකතුකොට ගෙන වන්දනා කළා. භික්ෂුව එම පුංචි දරුවාට පුතේ සුවපත් වේවා, දීර්ඝායු සැලසේවා, ඔයාගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා, යැයි කියලා මෙත්සිතින් ආශිර්වාද කළා. භික්ෂුවගේ ආශිර්වාදය ඉදිරියේ නොසෙල්වී එක එල්ලේම භික්ෂුවගේ මුහුණ දෙස ගෞරවණීය හැඟීමෙන් බලා සිටි මේ පුංචි දරුවා එක ක්ෂණයකින්ම එකතුකොටගෙන සිටි දෑත් දික් කොටගෙන භික්ෂුවට තොත්තුවක් දෙන්න උත්සාහ කළා. භික්ෂුව වහාම දරුවාගේ අහිංසක බැඳීම වළක්වා පුංචි දරුවාට අවවාද කළා පුතේ, ස්වාමීන් වහන්සේලාට තොත්තු දෙන්න හොඳ නැහැ. අම්මා, තාත්තලාට තමයි තොත්තු දෙන්නේ කියලා. පුංචි දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන්නා දරුවාට ඒ ගැන කියලා දෙන්න කියලා.
පිංවත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී අන්‍ය ආගමික පිංවතුන් බුදුරජාණන් වහන්සේට ලොකු චෝදනාවක් සිදු කළා. එම බරපතළ චෝදනාව තමයි, බුදුරජාණන් වහන්සේ සතුව බලගතු මායාකාරී වශියක් තිබෙනවාය කියලා. එම මායාකාරී වශිය උපයෝගිකොටගෙන බුදුරජාණන් වහන්සේ, රජවරු, සිටුවරු සහ ජනතාව තම වසඟයට පත්කොට ගන්නාවය, තම පිරිවර බවට පත්කොට ගන්නවාය කියලා. පිංවත වර්තමානයේ මෙම සටහන් තබන භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා බුදුරජාණන්වහන්සේට අන්‍ය ආගමික පින්වතුන් චෝදනා කළ එම බලගතු මායාකාරී වශිය යනු බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශීලයෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප්‍රඥ්ඥාවෙන්, ආර්ය ඥානදර්ශනයන්ගෙන්, ආර්ය විමුක්තියෙන්, පෝෂණය වුණා වූ මහා කරුණා ගුණයෙන් තෙත් වුණා වූ ප්‍රිය වචනයම පමණක් යැයි කියලා. පිංවත ශාස්තෘන්වහන්සේ සතු මේ උතුම් ගුණයන් මහා සාගරයේ ජල කඳ වෙගේමයි. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින් වන අපි තුළත්, මේ උතුම් ගුණයන් මහා සාගරයේ එක ජල බිඳක් පමණවත් තිබෙන්නට ඕනේ. එවිටයි මේ උතුම් ශාස්තෘ ධර්මය ඕපනයික ගුණයෙන් අපේ ජීවිත වලට බද්ධ වුණා වෙන්නේ. මේ බද්ධවීම තුළයි ධර්ම විනය නමැති ශාස්තෘන්වහන්සේ තව තවත් දීර්ඝායුෂ ලබන්නේ. ගෞරවණීය පිංවත ඕපනයික ගුණයෙන් ධර්මය ජීවිතයට එකතුකොට ගන්න, එවිට ඔබේ ජීවිතයත්, සූත්රගත ධර්මයත් යනු දෙකක් නොව, එකම අත්දැකීමක් වෙනවා, එක ධර්මයක් වෙනවා.
පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුම් පටිච්චසමුප්පාද ධර්මයන් නොදන්නා කමින්, සත්වයා පැටළුන නූල් බෝලයක් සේ අවුල් වෙලාය කියලා. පිංවත මේ අවුල අපි සතුටින් පිළිගන්නවා. මේ අවුල තුළ අපි සතුටින් බැසගෙන සිටිනවා. මේ අවුල අපි යළි සතුටින් නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. පිංවත කුමක්ද මේ නොලිහුන අවුල, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුඛ්‍ය දෝමනස්සයන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්රියන් හා එක්වීම, පංචඋපාදානස්කන්ධ දුක, පිංවත පටිච්චසමුප්පාද ධර්මයෝ නොදන්නා නිසාම අපි ජීවිතය කොටගෙන සිටින්නේ ඉහත අවුලම නේද. පිංවත අනාගතය උදෙසා ඔබ ප්‍රාර්ථනා කරන්නේත් මේ අවුලම නේද. පිංවත අද දවස සුන්දර ඉරිදා සති අන්ත නිවාඩු දිනයක්, අද දවසේ පූජණීය ස්වර්ණමාලි මහ සෑ සමිඳුන් වහන්සේ සිහියට නගාගන්නකෝ, මේ පූජණීය සෑ සමිඳුන්ට අද දවසේ පිරී ඉතිරී යන්න පූජා කරන සෑම ආමිස පූජාවකම සැඟවුණ අර්ථය, මේ අවුල යළි යළිත් ප්‍රාර්ථනා කිරීමම නේද. පටිච්චසමුප්පාදය නොදත් සක්විති රජතුමාත්, සුජම්පතියත්, ප්‍රභූ ධනවත් මහේශාඛ්‍ය පිංවතුනුත් මේ අවුල තුළම නේද ජීවත්වෙන්නේ. අවුල සතුටින් ප්‍රාර්ථනා කරමින් අවුලේ නිරෝධය ගැනත් සිතන අපි, අපේ නිරෝධයට ඇති කැමැත්තත් තවත් අවුලක් බවටම නේද පත්කොට ගන්නේ. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන අතීත පංචඋපාදානස්කන්ධයට සිත යොමුකොට දකිනවා, පටිච්චසමුප්පන්නව භික්ෂුවට සතර අපාය මහගෙදරක් බවට පත් කළෙත්, සුගතිය කෙටිකාලීන කුලී නිවසක් බවට පත් කළෙත් මේ අවුලම නේද. පිංවත මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය මේ අවුලට උත්තේජනය සපයද්දී, ඵස්සය තුළ බැසගත්ත අවිද්‍යාව, ඵස්සය යටත්කොටගත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණය යළි යළිත් මේ අවුලම නේද තව තවත් අවුල් කොටදෙන්නේ. පිංවත සක්කායදිට්ඨිය නොසිඳි සත්වයාට කාම ලෝකය කියන්නේ තරු පහේ හෝටලයක් වගෙයි. තරු පහේ සැපයන්ට මොන කෙලෙස් ධර්මයෝද අකමැති වෙන්නේ. පිංවත තරුපහේ සැපය දකින පිංවතා නිවන දකින්නේ වැස්සෙන් පින්නෙන් පීඩාදෙන අගුපිලක්ම වගේම අකමැත්තෙන්.
පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ කමච්චන්දයෝ පිනවීම නොවේ. කාමච්චන්දයන්, පංචනීවරණ ධර්මයන්ගේ අංක එකේ කොටස්කරුවායි. පිංවත කාමච්චන්දයන් යැයි කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා ස්වාමින්වහන්ස, වස් තුන්මාසයේ තමන් ඇතෙක් බරට පිංකම් සිදුකොට ගත්තාය කියලා. මෙම පිංවත් මහත්මයා දෙස සිහි නුවණින් බලද්දී, මාන්නය ඉහළ ගිය වර්ණය, සැපය, බලයක් භික්ෂුව දැක්කා. භික්ෂුවත් ඇතෙක් බරටම පිං අනුමෝදන් කරලා, මේ පිංවතාව පිටත් කළා. පිංවත අපි ඇතෙක් බරට පිංකම් සිදුකරද්දී, අපි සක්කායදිට්ඨියේ බරට පටිච්චසමුප්පාද නූල් බෝලය පටලවා ගන්න නරකයි. පිංවත බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තෘන්වහන්සේ නමක් නැහැ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ තරම් සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දුකයි, ආශ්වාද රහිතයි යැයි කියූ ශාස්තෘන් වහන්සේ නමකුත් මේ ලෝක ධාතුවේ නැහැ. පිංවත කුසල් වේවා, අකුසල් වේවා මේ දෙකම ලෝකයයි. මේ දෙබිඩි ලෝකයේ එකම අර්ථය යනු කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පිංවත මේ ලෝක අර්ථයන් ගැන සිතලා නම් ඉවරයක් කරන්න බැහැ. එක සිතුවිල්ලක් සිතුවොත්, තවත් විතර්කයක් පැමිණ මුල් සිතුවිල්ල කැඩී බිඳී විසිරී යනවා. පිංවත ඔබේ සිතුවිලි ලෝකය නමැති අවිද්‍යාව ළඟ නොව, ලෝකය මකන චිත්තානුපස්සනාව ළඟ විලංගු දමාගන්න.
පිංවත උසස් පෙළ අධ්‍යාපනය හොඳින් හමාර කළ පිංවත දියණියක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, මම උසස් පෙළ හොඳින් සමත්වුවත් ඉන් එහා උසස් අධ්‍යාපනයක් හෝ රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැහැය කියලා. පිංවත වර්තමානයේ කෙලෙස් බහුල සමාජයට මේ දියණියගේ කථාව ආගන්තුක කථාවක්. භික්ෂුව ඇයට පැහැදිලි කොට දුන්නේ ඔබ උසස් අධ්‍යාපනයට නොගියොත්, හොඳ රැකියාවක් නොකළොත් එය ඔබේ අනාගත විවාහයට බාධාවක් වේවි කියලා. මොකද වර්තමානයේ මනමාලියකගේ ප්‍රධාන සුදුසුකම් හැටියට නැන්ද, මාමලා, සොයන්නේ දෑවැද්ද සහ ඇයගේ මාසික වැටුපයි. භික්ෂුව ඇයගේ දෙමාපියන් ඉදිරියේ ඉහත පැහැදිලි කිරීම සිදුකරද්දී, ඇයගේ අධිෂ්ඨානශීලි ප්‍රතිචාරය වුණේ, අනාගතයේ විවාහයක් තුළින් තමන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, රැකවරණය මිස, දෑවැද්ද සහ ආදායම සමග කරන ගනුදෙනුවක් නොවේය කියලා. පිංවත භික්ෂුව ඉන් එහාට එම දරුවාට මුකුත්ම කියන්න ගියේ නැහැ. භික්ෂුවට මුකුත්ම කියන්න බැහැ. භික්ෂුවගේ අම්මාත් ගෘහණියක්. ඇයත් රැකියාවකට යොමු වුණා නම් භික්ෂුවත් යහපත් ගිහියෙක් මිස, මෙවන් භික්ෂුවක් නොවෙන්න හොඳටෝම ඉඩ තිබුණා. පිංවත ලෝකය සංස්කාර මංපෙත් ඔස්සේ අකුරටම ඉලක්ක ගත ගමනකයි යන්නේ. පිංවත ධනය මුල් වූ තැන, එතැන කලඑළිබහින්නේ කාමච්චන්දයෝමයි.