පිංවත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේ ලක්ෂ ගණනක් පහළ වෙලත්, නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්මයද්දී දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පිංවත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුනව ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට හැර, ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පිංවත මේ දහම ලෝකය හැදීම උදෙසා නොවේ, ඔබ හැදී ලෝකයෙන් නිදහස්වීම උදෙසාමයි. පිංවත මේ රාත්‍රිය බොහෝම විවේකී රාත්‍රියක්. පසළොස්වක සඳවතිය තවම මැකී ගිහින් නැහැ. ඇය තවමත් අඳුරට ආලෝකය දෙනවා. මේ විවේකී රාත්‍රියේ සිතුවිලි ගලාගෙන එනවා. මේ විවේකී රාත්‍රිය ජීවිතය අමතක කරලා, ධර්මය ජීවත් කරවනවා. පිංවත තනිවෙච්ච ජීවිතයක, තනිය මකාගෙන උපදින සතරසතිපට්ඨානයෝ සිතුවිල්ලෙන්, සිතුවිල්ල මලක පෙති සේ, එකිනෙකට යා වෙද්දී, විවේකයට නීරසවූ පංචඋපාදානස්කන්ධ ධර්මයෝ, ජීවිතයෙන් නොපෙනී යන්නේ, සඳුගේ ප්‍රභාෂ්වර ආලෝකය ඉදිරියේ මැකී යන තරු පන්තියක් වගේමයි. පිංවත ඔබේ ජීවිතය, විදර්ශනාව අසල නතරවෙද්දී, ජීවිතය සැහැල්ලු වෙලා යනවා. විදර්ශනාව ඉපදුණ ජීවිතයක් තුළින්, තවමත් නොමළ දහමක් නිකලෙස් පහස දැනෙද්දී, සාදු… සාදු… යැයි කියලා ආස්වාදයක් නොවේ ඔබට දැනෙන්නේ. සාදු, සාදු යන හඬට මුල්වූ ඵස්සය අනිත්‍යයි දකින ධම්මානුපස්සනාවේ ම අර්ථයයි.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමින් වහන්ස ධම්මානුපස්සනාව කියන්නේ කුමක්ද කියලා. පිංවත ඔබව ජීවත් කරවන කාය සංස්කාරයෝ අනිත්‍යයි. ඔබව කථාකරවන වචී සංස්කාරයෝ අනිත්‍යයි. ඔබට සිතන්න සලස්වන මනෝ සංස්කාරයෝ අනිත්‍යයි. පිංවත මේ සියලු අනිත්‍ය ධර්මථාවයන්ට මුල වෙන අවිද්‍යාවේ පටන් ජාති ජරා ව්‍යාධි මරණ දක්වා අනිත්‍ය වූ ධර්මථාවයන්. පිංවත ලෝකය ලෝකය තුළම බහා තබන ඵස්ස පච්චයා වේදනා සංස්කාර ලෝකයම අනිත්‍ය වූ ධර්මථාවයන්. මේ සියල්ල ම ලෝකයාට දේශනා කොට වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්, මේ උතුම් ධර්ම රත්නයත්, මේ උතුම් ධර්මරත්නය ජීවත් කරවන මහා සංඝරත්නයත් අනිත්‍ය වූ ධර්මථාවයන්මයි. පිංවත මේ සටහන කියවද්දී ඔබ තුළ විකසිත වෙන සතිසම්බොජ්ජංගයන්, ඉන් ඉක්බිති පැන නඟින උපේක්ෂා බොජ්ජංගය දක්වාත්, අනිත්‍ය වූ ධර්මථාවයන්මයි. පිංවත ධර්මයට උකටලි සිත ඉදිරියේ හොරගල් අහුලන පංචනීවරණයෝ ද අනිත්‍ය වූ ධර්මථාවයන්මයි. පිංවත මේ සියලු ධර්මථාවයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. එයම උතුම් ධම්මානුපස්සනාව වෙනවා. පිංවත මේ සියලු ධර්මථාවයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් දකිද්දී, ඒ ධම්මානුපස්සනාවෙන් දැක්කා වූ සිතත්, අනිත්‍ය වූ ඵස්සයක් යැයි ධම්මානුපස්සනාවෙන්ම දකින්න ඕනේ. එසේ නොවුණොත් ඔබේ ධම්මානුපස්සනාව තවත් විඳීමට මුලක් වෙනවා. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා ස්වාමින් වහන්ස, මම ධම්මානුපස්සනාව වඩනවා, මම දැන් හරිම සතුටින් සිටින්නේ කියලා. පිංවත මෙම ප්‍රකාශය තුළ පංචනීවරණයක් වන කාමච්ඡන්දයෝ සැඟවී තිබෙනවා. පිංවත ඔබ තුළ ධම්මානුපස්සනාව නිවැරදි වැඩුණා නම් ඔබ පසුවෙන්න ඕනේ විදර්ශනාමය සප්තබොජ්ජංගයන් තුළයි. පිංවත ඔබේ ධම්මානුපස්සනාව සැප සහ දුක් විඳීම් ඉදිරියේ වේදනානුපස්සනාවෙන් පෝෂණය කරගන්න. ඔබ සතුටට බැඳීයන්නේ සතුටට හේතු වූ ඵස්සය ධම්මානුපස්සනාවෙන් නොදකින නිසාමයි.
පිංවත මේ දවස්වල ලොකු කුඩා පාසල් දරුවෝ, තරුණ දරුවෝ ගොඩාක් පිණ්ඩපාත මඩුවට එනවා. මේ දරුවන්ගේ හැසිරීම් දෙස සිහිනුවණින් දකිද්දී, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මථාවය චිත්‍රයක් වගේ භික්ෂුවට පෙනෙනවා. පෙර ජීවිතයේ පිං කරපු, දන් පූජා කරපු, ශිල් ආරක්ෂා කරපු දරුවෝ පිංවත් දරුවෙක්ගේ හැසිරීම් තුළින් ධර්මයක් දකින්න තරම් අපේ සද්ධර්මය හරිම පොහොසත්. මේ පිංවත් ළමා, තරුණ පරපුර අපි කුසල් ධර්මයන්ගෙන් ශක්තිමත් කරන්න ඕනේ. එම දරුවන්ට ගුණ දහම් කියලා දෙන්න ඕනේ. ගෙදර තිබෙන කුසල් නිධිය වන, දෙමාපියන් ගැන ධර්මානුකූලව දරුවන් දැනුවත් වෙන්න ඕනේ. පිංවත් දරුවන් තේරුම් ගන්න ඕනේ අම්මලා, තාත්තලා, කෝටි ගණනක් සිටින ලෝකය තුළ ඔබ වෙනුවෙන් රුධිරය මව්කිරි බවට පත්වුණේ, ඔබේ අම්මා තුළ පමණක්ය කියන කාරණය. අම්මලා, තාත්තලාගේ මේ උතුම් බ්‍රහ්ම ගුණයන් ගැන දෙමාපියන් දරුවන්ට කියලා දිය යුතුයි. පිංවත් දරුවෙනි, සිංහල බෞද්ධකම මරාගෙන බොහෝම වේගයෙන් අසිංහල අබෞද්ධකම් සමාජගත වෙනවා. නාමික සිංහල බෞද්ධ දේශපාලන නායක පිංවතුන්ලා ගෙන් මේ ජාතික විනාශයන්ට විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ. සිංහල බෞද්ධ යැයි හඳුන්වාගත් සංවිධානත් මිත්‍යාදෘෂ්ටිය තුළයි තවමත් පැටලිලා සිටින්නේ. එම ගෞරවණීය පිංවතුන්ලාත් දුෂ්ශීල දේශපාලනයක් තුළින් තවදුරටත් සිංහල බෞද්ධකමේ මිථ්‍යා ආරක්ෂාවක් සොයනවා. පිංවත මේවා වඳ බැහැපු අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවේ හේතුඵල ධර්මයන්. පිංවත ඔබ උපන් මාතෘභූමිය වන ශ්‍රී ලංකාව ලෝක සිතියම තුළ තියලා, සිංහල බෞද්ධකම මරා දමන්න එපා. පිංවත් දරුවෙනි ඔබලාගේ වැඩිහිටියන්ගේ කැපවීමෙන් පරිත්යාගයෙන්ගෙන් මේ උතුම් සිංහල බෞද්ධකම පිංවත් දරුවන්ට රැකදුන්නා. පිංවත් තරුණ ළමා පරපුරේ වගකීමක් තිබෙනවා වැඩිහිටි අපෙන් පසුව මේ උතුම් සිංහල බෞද්ධකම අනාගත පරපුරට ආරක්ෂාකොට දෙන්න. පිංවත් තරුණ සහ ළමා දරුවෙනි ඔබ එය පටන්ගත යුත්තේ ඔබේ ගෙදරින්. ඔබේ ගෙදර සිටින මහා බ්‍රහ්ම ගුණයෙන්, සහ උතුම් අරිහත් ගුණයෙන් යුත් ඔබේ අම්මා තාත්තා තුළින්. දෙමාපියන්ට කීකරුවෙන්න, දෙමාපියන්ට ගරුකරන්න, දෙමාපියන් සතුටුකරන්න, දෙමාපියන්ට උපස්ථාන කරන්න, පිංවත් දරුවෙනි විසිහතර පැයේම ගෙදර තිබෙන කුසල් නිධි දෙක සුවසේ ගරන්න. එවිට ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් වෙනවා. පිංවත් තරුණ සහ ළමා පරපුර බුදුරජාණන් වහන්සේට කීකරු වෙද්දී, අනිවාර්යයෙන්ම එම දරුවා සිංහල බෞද්ධකමේ ආරක්ෂකයෙක් වෙනවා. පිංවත් දරුවෙනි මේ සමාජගත වෙන උමතු අවිද්‍යාව ඉදිරියේ ඔබත් අනතුරට බිලි නොවී ඔබේ ධර්මානුකූල වගකීම ඉටුකරන්න.
පිංවත සිංහල බෞද්ධයා කියලා කියන්නේ උතුම් තෙරුවන්ට කීකරුභාවයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන පිංවතාටයි. එම පිංවතා අන්ත දෙකින් බැහැරව මධ්‍යමප්‍රතිපදාව තුළ සිටින කෙනෙක් විය යුතුයි. මධ්‍යමප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත සත්‍යකින්ම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ද ගමන් කරන්නේ. පිංවත අපේ අසීමිත තෘෂ්ණාවට ආර්ය අෂ්ටටංගික මාර්ගය කෙසේ නම් ඔරොත්තු දෙන්න ද? පිංවත අපි කොතැනින් පටන්ගන්නත් බැඳීයන්නේ ආස්වාදයේ උපාදානයන්මයි. පිංවත සිංහල බෞද්ධකමේ අර්ථයන් ශක්තිමත් වෙන්න නම්, රටට අවශ්‍ය අසීමිත ලෙස සීමාකල ආර්ථිකයක් නොවේ, අසීමිත ලෙස විවෘත කළ ආර්ථිකයකුත් නොවේ. මේ අන්ත දෙකම යහපත් ධර්මයන් විනාශකොට දමන අන්ත දෙකක්. පිංවත මධ්‍යස්ථ ආර්ථිකයකින් පමණක්මයි යහපත් ධර්මයන්ට පණ ලැබෙන්නේ. පිංවත තෘෂ්ණාවට සීමාවක් අවශ්‍යයි. තෘෂ්ණාවට සීමාවක් නොතිබ්බොත් උපාදානයෝ අනන්තයටම යන්න යනවා. පිංවත අතීතයේ යම දවසක අපේ රටේ ආර්ථිකය විවෘත වුණා ද, තෘෂ්ණාව රජ වුණා, උපාදානයෝ සිංහාසනාරූඪ වුණා, මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තෘෂ්ණාවේ සිරකරුවෙක් වුණා. පිංවත අතීත දේශපාලන අසත්පුරුෂ ධර්මයන්ට පිං සිද්ධ වෙන්න, වර්තමානයේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේම තෘෂ්ණාවේ සිරකරුවෙක් වෙලා නේද? ගෞරවණීය පිංවත, අවංකව කොතැනින් හෝ අපි නැඟිටින්න නම්, කරුණාකර තෘෂ්ණාව බිමින් තියන්න. පිංවත තෘෂ්ණාව බිමින් තියන්න නම් අපි මුලින්ම තෘෂ්ණාව හඳුනගන්න ඕනේ. ඇත්තටම ඔබ තෘෂ්ණාව හඳුනනව ද? තෘෂ්ණාව හඳුනාගන්න නම් ඔබට නෙක්ඛම්මයේ ඇස් තිබෙන්නටම ඕනේ. පිංවත නෙක්ඛම්මයේ ඇස් ලබන්නට නම් සම්මාදිට්ඨිය තිබෙන්නට අවශ්‍යයි.
පිංවත මෙය සටහන් තබන භික්ෂුව, පිංවත් ඔබට පූර්වාදර්ශීව අතහැරීම ගැන කියලා දුන්න භික්ෂුවක්. භික්ෂුවට අතීතයේ සිදුවීම් මේ මොහොතේ මතකයට එනවා. භික්ෂුව තුළ අතීතයේ සිතුවිල්ලක් ඇතිවුණා, තවදුරටත් ජීවත් වෙනව ද, අපවත් වෙනව ද කියලා. භික්ෂුව තීරණය කළේ ජීවත් වෙන්නවත්, අපවත් වෙන්නවත් නොවේ. මේ සිතුවිල්ලට මුල්වූ මනෝසම්පස්සය ධම්මානුපස්සනාවෙන් දැකීමටයි. මනෝසම්පස්සය ධම්මානුපස්සනාවෙන් දකිද්දී අධ්‍යාත්මික රූපයේත්, බාහිර රූපයේත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේත් සැබෑ නිරුවතයි භික්ෂුවට අරමුණු වෙන්නේ. පිංවත ජීවත් වීමටත්, අපවත්වීමටත් වඩා, මෙම අර්ථයන් දෙක සක්‍රීය කරන, ඵස්සයේ අවිද්‍යාව අවබෝධ කොට ගැනීමයි වැදගත් වෙන්නේ. අපි ඵස්සයේ අවිද්‍යාව අවබෝධ නො කොට අපවත් වුණොත් ආයෙ ආයෙමත් ඉපදීමත්, අපවත් වීමත් පමණක්මයි සිද්ධ වෙන්නේ. පිංවත් දරුවෙක් භික්ෂුවගෙන් ප්‍රශ්න කළා ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ සිවුරු පොරවන්නේ ඇයි කියලා. පිංවත් දරුවනි බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින් සිවුරු පොරවන්නේ, ශරීරයේ ලැජ්ජා භය ඇති තැන් වසා ගෙන අව්, වැසි, පින්නෙන් ආරක්ෂා වෙලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරලා සුවසේ දුකෙන් මිදීමටයි. පිංවත් දරුවනේ අපි පොරවන සිවුර ශාස්තෲන් වහන්සේව ලැජ්ජාවට පත්කිරීමට නොවේ. චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවත් කරවීම උදෙසා පමණක්මයි. ඒ වගේම පිංවත් දරුවන් තේරුම් ගතයුතුයි, ඔබලාගේ පිංවත් දෙමාපියන් ඔබලාට ලස්සන, ලස්සන ඇඳුම් පැලඳුම් ගෙනත් දෙන්නේ, ඔබලාගේ ශරීරයේ ලැජ්ජා බිය දැනෙන තැන් වසාගෙන, මහා බ්‍රහ්මයින් වන ඔබලාගේ දෙමාපියන්ට කීකරුවෙලා ඔබලාත් අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහ්මයින් බවට පත්වීමට බව, දරුවන් ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පිංවත් දරුවෙනි ඔබ ඉහත අර්ථයෙන් බැහැරවෙලා, ඔබ ලස්සන, ලස්සන ඇඳුම් පලඳින්නේ රූපයේ ආස්වාදය, කාමයේ ආස්වාදය උදෙසා පමණක් නම් පිංවත් දරුවන් මොනතරම් වටිනා ලස්සන ඇඳුම් ඇන්දත්, ඔබලා සද්ධර්මයෙන් නිරුවත් දරුවන් වෙනවා.
පිංවත් දරුවෙනි අනාගතය ඔබගෙයි. ඒ අනාගතය අසත්පුරුෂ ධර්මයෝ වැසි වසින අනාගතයක්. පිංවත් ඔබව ආරක්ෂා කරන්න පිංවත් නායකයෝ පාලකයෝ නැහැ. ඔබේ ආරක්ෂකයා වියයුත්තේ ඔබමයි. වැඩිහිටියන්ගේ වඳබැහැපු තෘෂ්ණාව ඉදිරියේ සමාජය නිවැරදි වෙන්නේ නැහැ. පිංවත් දරුවෙනි ඔබලාගේ අනාගතයට, ඔබලාගේම කුසල් ධර්මයන්ගේ සරණයි.