මනසින් චරිතය සමඟ ජීවත්වීම

පිංවත කුටිය අවට පරිසරය නැවතිලා. සුළං බිඳක්වත් හමන්නේ නැහැ. ගස් වැල් නිදාගෙන වගෙයි. පරිසරයම ගල්වෙලා බලා සිටිනවා. ඇත්තටම පරිසරය බියවෙලාද. පරිසරය හොඳාකාරව දන්නවා මනුෂ්‍ය අපි පරිසරයට මොනතරම් නම් බොරු කරනවාද කියලා. පිංවත ලක්ෂයක් ගස් රෝපණය කළාය කියලා කෝටියක් වියදම පෙන්වනවා. අවසානයේ ගස් හිටවලා තිබෙන්නේ තම තමන්ගේ බැංකු ගිණුම්වල. පිංවත මනුෂ්‍ය අපි පිළිබඳව පරිසරයට කිසිම විශ්වාසයක් දැන් නැහැ. ඒ නිසාම එයා ඕනෑවට එපාවටයි අපිත් සමග හැසිරෙන්නේ. වහින වෙලාවට වාන් දොරටු අරින්න වෙන තරමටම වහිනවා. පායන වෙලාවට මහපොළව වියළිලා යන්නම පායනවා. පිංවත පරිසරය අපිට බලකරනවා, බොරුවේ සීමාවක් ඇති කොටගන්නය කියලා. අපි බොරුවේ සීමාව ඉක්මවා ගිය රාජ්‍යයක්. පිංවත තවදුරටත් පරිසරයට බොරු කරන්න එපා. මෙතෙක් අපි පරිසරයට බොරු කිරීමෙන් පරිසර රැවටිලා නැහැ. සෘතු විකෘතීන් තුළින් අපිමයි රැවටිලා තිබෙන්නේ. පිංවත ආදරය ගැන නොදන්න මනුෂ්‍යයෝ ද්වේශයට කැමතියි වගේ, අධ්‍යාත්මික විනයක් නැති මනුෂ්‍යයෝ පරිසරයට වඩා මුදල් වලට කැමතියි. පිංවත ජාතියට හෙට දවසේ නිදහසේ හුස්ම ගන්න අවශ්‍යයි. කරුණාකර අද දවසේ ඇත්ත වෙනුවෙන් අප්‍රමාදි වෙන්න.

පිංවත ඇත්ත වශයෙන්ම අපි ඇත්තට මොනතරම් නම් ඈත්වෙලාද ජීවත්වෙන්නේ. අහිංසක ඇත්ත අපේ ජීවිතවලින් මොනතරම් නම් දුරස්වෙලාද. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස නිවන් දකින්නට පෙරාතුව ජීවත්වෙන්න ඕනෑය කියලා. භික්ෂුව එම මහත්මයාට දැනුම් දුන්නේ මහත්තයෝ, මහත්මයා මෙතෙක් නිවන් නොදැක්ක නිසාමයි මහත්මයාට ජීවත්වෙන්න සිද්ධවෙලා තිබෙන්නේ කියලා. සෑම මොහොතකම අපි ධර්මයට වරද පටවලා, අධර්මය ජීවිතයට එකතුකොට ගන්නවා. පිංවත අපි ඇත්තට වඩා බොරුවට කැමතියි. බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදි මේ ලෝකධාතුවේ පරම සත්‍යය අවබෝධයෙන්ම මතුකොට දකිනවා. ඒ පරම සත්‍යය තමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය. පිංවත ඔබ තවමත් සිතනවා නම් සැපයට හේතුව තෘෂ්ණාව යැයි කියලා, තෘෂ්ණාව ගිලිහුන තැන සැපයයි ගිලිහෙන්නේ කියලා, අපිට නිවන තව කොච්චර නම් දුරවෙයිද. පිංවත එක තැන පල්වෙන්න එපා. කෙළෙස් ගඳ හමනවා. පියවරෙන්, පියවර ඉදිරියට යන්න. අපි හැමදාමත් ප්‍රාථමික පංතිවල සිටිය යුතු නැහැ. අපි ඉහළ පංති වලට යන්න ඕනේ. අපි විභාග සමත්වෙන්න ඕනේ. අපි මුහුණදෙන මුල්ම විභාගය තමයි අකුසලය පරදා කුසලය ජයග්‍රහණය කිරීම. පිංවත මේ කඩඉම් විභාගය අපි සමත් වුණා නම්, ඊළඟට අපිට තිබෙනවා සෝවාන්, සකෘදාගාමී ආදී වූ කෙළෙස් අඩු ඉහළ පංතිවලට යන්න. පිංවත වර්තමානයේ ඉහළ පංති කෙළෙස් වවුලන් ළගින පාළු තැන් බවට පත්වෙලා. අපි සියල්ලෝම නෙක්ඛම්මයෙන් තොර දානය, ශීලය, මෛත්‍රිය, සමාධිය නමැති ප්‍රාථමික පංතිවල සිරකරුවන් වෙලා නේද. පිංවත කරුණාකර ඇත්තට සමීපවෙන්න. තෘෂ්ණාව යම් තැනකද, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ම බව සිහිනුවණින් තේරුම් ගන්න.

පිංවත සංස්කාර ලෝකය ආයෙ ආයෙත් ගොඩනැගෙනවා. සත්වයා උපදිනව මැරෙනවා පටිච්චසමුප්පන්නව ආයෙ ආයෙත් උපදිනවා. පිංවත සංස්කාර ලෝකය අපි අනිත්‍ය යැයි නොදකින නිසාම, අපේම දක්ෂභාවයන්, අපේම අදක්ෂභාවයන් උදෙසාම අපි යොමුකොට ගන්නවා. පිංවත අපේ කලා ක්ෂේත්‍රයේ මොනතරම් නම් ප්‍රවීණයන් සහ දක්ෂයින් සිටිනවාද. පිංවත් ගායන ශිල්පියෙක් සංගීත සංදර්ශනයක ගීතයක් ගායනා කරද්දී දහස් ගණනක් එම ගීතයේ රිද්මයට නටනවා. පිංවත් රංගන ශිල්පියෙක් රංගනයක් ඉදිරිපත් කරද්දී ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයින් මනසින්ම එම චරිතය සමග ජීවත්වෙනවා. පිංවත කාමච්ඡන්දයන්ට කැමති ලෝකය කාමච්ඡන්දයන් සතුටින්ම පිළිගන්නවා. පිංවත් ප්‍රේක්ෂකයින් සතුටු කරලා විනෝද කරලා එක පිංවත් කලාකරුවෙක් මිය යනකොට, ප්‍රේක්ෂක ජනතාව තවත් අලුත් කලාකරුවෙක්ව ආදරයෙන් වැළඳ ගන්නවා. අපි කවුරුවත්ම සිතන්නේ නැහැ අපිව සතුටු කරපු මියගිය කලාකරුවන් මරණින් පසු කොහේ ඉපදුනාද කියලා. කාමච්ඡන්දයන් සමග යස අගේට හාද වෙලා ජනතාව සතුටු කළ අතීත පිංවත් කලාකරුවන්ගේ නම් ලැයිස්තුව භික්ෂුවගේ මතකයට නැගෙනවා. මේ පිංවතුන් වර්තමානයේ පටිච්චසමුප්පන්නව කොහේ ඉපදී ඇතිද. වර්තමානයේ ලක්ෂ ගණනින් ජනතාවගේ ප්‍රතිචාර ලබන පිංවත් කලාකරුවන් මේ ඇත්ත ගැන සිහිනුවණින් සිතන්න ඕනේ. පිංවත් ඔබට වර්තමානයේ වඩාත්ම වටින්නේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරද, දක්ෂභාවයට ලැබෙන මිලද, එසේත් නැතිනම් ඔබේම ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයද. සංස්කාර රඟමඬලේ ප්‍රණීත රසවත් කාමච්ඡන්දයන් ජනතාවට ලබාදී, පටිච්චසමුප්පන්නව කැලයේ වැලිගොල්ලක නටන මොනරෙක් වුණොත්, හිරු අවදිවෙන උදෑසන ලස්සනට නාද කරන කුරුල්ලෙක් වුණොත්, පිංවත කාමයෝ කාමයන්මයි වඩවලා දෙන්නේ. කාමයෝ පංචනීවරණයෝමයි වඩවලා දෙන්නේ. පිංවත සතුටට කැමති ගිහි පිංවතුන්ලා සතුටු වෙනවාට විනෝද වෙනවාට බුදුරජාණන් වහන්සේ අකමැති වුණේ නැහැ. කාමයේ කෙටි ආශ්වාදය, රූපයේ කෙටි ආශ්වාදය හේතුවෙන් අපි ලබන දීර්ඝ ආදීනවයටයි බුදුරජාණන් වහන්සේ අකමැති වුණේ.

පිංවත කාමච්ඡන්දයන් ඉදිරියේ පංචශීලයේ වේවැලවත් අතට ගන්න අපි දක්ෂවිය යුතුයි. එවිටයි අනුන් සතුටු කරන ඔබ, තමන්වත් සතුටු කළා වෙන්නේ. පිංවත ඔබ ඔබේ දක්ෂභාවයෙන් කොතෙක් අනුන්ව සතුටු කළත්, සියල්ල අවසානයේ ඔබව සතුටු කරන්න කවුරුවත්ම නැහැ. පිංවත කෙනෙක් මියගියාට පසුව ජනතාවගේ මතකය තුළ ජීවත්වෙනවා. තවත් කෙනෙක් මියගියාට පසුව ඔහු ගැන මතකය මැකිලාම යනවා. පිංවත මේ කාරණා දෙකම සිද්ධවෙන්නේ මියගිය පිංවතාගේ ශීලයේ ආනිශංස සහ දුශ්ශීලභාවයේ විපාකයන් නිසාමයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ස්වාමින් වහන්ස කායානුපස්සනාව වැඩීම ගිහි ජීවත වලට බාධාවක් නේද කියලා. පිංවත මේ ප්‍රශ්නය තුළම සැඟවිලා තිබෙන්නේ අශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනවබෝධයයි. පිංවත බුදුරජාණන් වහන්සේ සතරසතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ගිහි පිංවතුන්ලාට. ගිහි ජීවිත ගත කරන, කාමයන් තුළ හැසිරෙන, වගකීම් සහ යුතුකම් ඉටුකරන ගිහි පිංවතුන්ලාට කායානුපස්සනාව කියන්නේ තමන්ව දුශ්ශීලභාවයෙන් ආරක්ෂා කොටදෙන, අකුසලයෙන් ආරක්ෂා කොටදෙන ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ ගිහි ඔබට අධ්‍යාත්මික සහ බාහිර රූපය දෙතිස්කුණුපයක්, සතර මහා ධාතුවක්, ආයතන හයක්, අට්ඨික සංඥාවක්, මරණානුස්සතියක්, ඉරියව් පවත්වන කයක් හැටියට නුවණින් දකින්න යැයි කියන්නේ, ගිහි පිංවත් ඔබට ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙන්න යන්න නොවේ. අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අතහැරීම් කරන්න ගිහිල්ල ගිහි ජීවිත අසාර්ථක කරගන්න නොවේ. බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට කායානුපස්සනාව දේශනා කරන්නේ ඔබව දුශ්ශීලභාවයෙන් සහ අකුසලයෙන් මුදවාගෙන කාමයන් තුළ ආරක්ෂිතව ජීවත් කරවන්න. බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලා සතුටු වෙනවාට, විනෝද වෙනවාට, ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන ජීවත්වෙනවාට, ලස්සන වාහනයක් පාවිච්චි කරනවාට, සෙල්ලම් කරනවාට, ව්‍යායාම කරනවාට විරුද්ධ නැහැ. මේ සියල්ලම පෙර පටිච්චසමුප්පන්න පිනේ ඵලයන්. වර්ණය, සැපය, බලය තිබෙන පොළොවකයි කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණොත් ප්‍රඥාවාට මුල් අදින්න ලෙහෙසි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය කෙටියි. මේ කෙටි කාමයේ සහ රූපයේ ආශ්වාදය හේතුවෙන් මනුෂ්‍යයා දීර්ඝ ආදීනවයක් උරුමකොට ගන්නවාය කියලයි.

පිංවත මින් පසුව ඔබ තුළ ලෝභ, ද්වේශ, මෝහ සිත් ඇතිවෙනකොට, රාග සිත් ඇතිවෙනකොට, ඔබේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න. අපි අනාගතයේ යම් දිනයක කාම, රාග, පටිඝයෝ නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදියි. එතෙක් ඔබේ පෙර පිනට ලැබෙන වර්ණය, සැපය, බලය, කාම සම්පත්, සතරසතිපට්ඨාන ධර්මයන්ගේ ආරක්ෂාව තුළ භුක්ති විඳින්න ඔබ දක්ෂවිය යුතුයි. උතුම් සතරසතිපට්ඨාන ධර්මයෝමයි ගිහි ජීවිතයේදී අකුසලයට වැට බඳිමින් කුසලයට පාර පෙන්වන්නේ. වගකීම් තුළ ජීවත්වෙන ගිහි පිංවතුන්ලාගේ සතරසතිපට්ඨාන ධර්මයෝ පැවිදිභාවය උදෙසා නොව, ගිහි ජීවිතේ සාර්ථකභාවය උදෙසාමයි.

පිංවත මනුෂ්‍යත්වය මරා දැමූ සමාජයක ඉතිරිය බවට පත්වෙන්නේ සැකය සහ විචිකිච්ඡාව පමණක්මයි. පිංවත අකුසලයට යට නොවී කුසලයෙන් නැගී සිටින්න. පිංවත් ඔබ උපන් මව්බිමේ වහලෙක් හෝ රූකඩයක් නොවේ. ඔබ උපන් මව්බිමේ අයිතිකරුවායි. යහපත් සියළු ධර්මයෝ විනාශකොට දැමීමට මාරයා අළු ගසා නැගිටින, මේ ඇස්බැන්දුම් හෝරාවේ, සිහිනුවණින් අප්‍රමාදිවෙන්න.

පිංවත වයස අවුරුදු හැටක මහත්මයෙක් සම වයසේ තම බිරිඳට කියනවලු, තාමත් ඔයා ගොඩාක් ලස්සනයි කියලා. පිංවත මේ කථාව ඇත්තක් වෙන්න පුළුවන්ද. සත්‍යකින්ම ධර්මානුකූලව මේ කථාවේ ඇත්තක් තිබෙනවා. පිංවත ලස්සන තිබෙන්නේ රූපය තුළ නොවේ. ලස්සන තිබෙන්නේ, එම රූපය කෙරෙහි ඔබ තුළ සකස් වෙන ඵස්සය තුළ ඇති තෘෂ්ණාව තුළයි. උතුම් සෝවාන්ඵල අවබෝධය තරුණ වියේදීම ලැබූ නකුල පියා, බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ අවසාන ඉල්ලීම වූයේ, නකුල මාතාව ඊළඟ ජීවිතයේදිත් බිරිඳ කරගැනීමට මාර්ගය කියලා දෙන ලෙසයි. පිංවත ආදරය කියලා කියන්නේ බාහිර රූපයක ඵස්සය කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ඇලීමයි. පිංවත අනාදරය යැයි කියන්නේ, බාහිර රූපයක ඵස්සය කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ගැටීමයි. පිංවත ආදරයත්, අනාදරයත් යන අර්ථයන් දෙකම අයිති තෘෂ්ණාවටයි. තරුණ සැමියෙකුට තම තරුණ බිරිඳ එපා යැයි සිතෙන්නේත්, වයෝවෘද්ධ පිංවතෙකුට තම වයෝවෘද්ධ බිරිඳ මගේම යැයි සිතෙන්නේත්, එකම තෘෂ්ණාවේ කාසියේ ඇලීම් සහ ගැටීම් දෙපැත්ත නිසාමයි. පිංවත ඵස්සයේ තෘෂ්ණාව තිබෙන තාක්කල්, ලෝකය ඇලීමක් හෝ ගැටීමක් පමණක්මයි. පිංවත ආදරයට හෝ අනාදරයට තවදුරටත් මෝහයේ ඇස්දෙන්න එපා.