පිංවත වැස්ස නැති නිසාම පිංවත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට දින අස්වැන්න නෙලාගන්න සූදානම්ව සිටියදී මහා වැස්සක් ඇවිල්ලා මුළු අස්වැන්නම විනාශවෙලා යනවා. පිංවත ඔබ මෙවැනි අකාරුණික සිදුවීම් දැකලා තිබෙනවාද. ඇත්තටම අපිට මෙවැනි සිදුවීම් ඉදිරියේ අනේ අපොයි කියලා කියවෙනවා. පිංවත සංස්කාර අධිකරණය සාධාරණත්වයේ කැඩපතයි. සංස්කාර අධිකරණයේ සල්ලිවලට කථා කරන නීතිඥ මහත්වරු නැහැ. ඔබේ නීතිඥයා ඔබේම හෘදසාක්ෂියයි. පිංවත හෙට දිනයේ අස්වැන්න නෙලාගන්න තිබියදී, පාරිසරික හේතුන්ගෙන් අද දවසේ අස්වැන්න විනාශ වී යන්නේ හේතුවක් නිසාමයි. පිංවත අපි සංසාරයේ පරිසරයට වැරදි කළා. අපි ගස් කැපුවා, කැලෑ විනාශ කළා, පස් කඳු, ගල් කඳු විනාශ කළා, ගංගාවල වැලි ටික හූරලා ගත්තා, ගෙදර වැසිකිළි බටය, කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බටය ඇළට දොළට, ගංගාවට යොමුකළා. පිංවත පරිසරයට වැරදි කරන පිංවතුන්ට පරිසරයම පෙරලා දඬුවම් කරනවා. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට දිවැස් ඥානය නැහැ. නමුත් වර්තමානයේ සමාජය තුළ සිදුවෙන, රාජ්‍ය අනුග්‍රහයෙන් නොනිල වශයෙන් ලබන, පරිසර විනාශයන් හේතුවෙන් සකස්කොට ගන්නා අකුසල් සංස්කාරයෝ ඉදිරියේදී විපාකයට පැමිණෙද්දී අපි කාටවත් පරිසරයෙන් අනුකම්පාවක් නම් ලැබෙන එකක් නැහැ. පිංවත් පාලක පිංවතුනි අහිංසක ජනතාවට පූර්වාදර්ශී වෙන්න. පිංවත් ජනතාවට මාර ධර්මයක් නම් වෙන්න එපා.
පිංවත පංචඋපාදානස්කන්ධ ලෝකය දුකක් වුණත්, දශ කුසල් ධර්මයෝ ඉදිරියේ ලෝකය මොනතරම් නම් ලෞකික සැපයට විවෘතද. දරුවන් වන අපි හැමෝම අපේ අම්මා සහ තාත්තා මහා බ්‍රහ්මයින් හැටියට දකිනවා නම්, සෑම සැමියෙක්ම සෑම බිරිඳක්ම තමන්ගේ සැමියා හෝ බිරිඳ තමන්ගේම අතීත සංස්කාරයන්ට අදාළව තමන්ට ලැබුණ සංස්කාර තෑග්ගක් හැටියට ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා නම්, අධ්‍යාපනය ලබන සෑම දරුවෙක්ම තමන්ගේ පිංවත් ගුරුවරයා තමන්ට අධ්‍යාපනයේ මව්කිරි පොවන දෙවන අම්මා හැටියට දකිනවා නම්, පිංවත් ගුරුවරුන් තම ශිෂ්‍යයින් අතීතයේ තමන්ගේම ලෙයින් උපන් පටිච්චසමුප්පන්න දරුවන් හැටියට දකිනවා නම්, රටේ සෑම පුරවැසියෙක්ම තමන් උපන් මාතෘභූමියේ පූජණීයභාවය සහ පිනැතිභාවය දකිනවා නම්, රටේ සෑම පාලක පිංවතෙක්ම තමන් රටේ අයිතිකරුවා නොව භාරකරුවෙක් හැටියට දකිනවා නම්, දුශ්ශීලභාවයේ ආදීනවයන් දැක ශිල්වත්භාවයේ වටිනාකම දකිනවා නම්, පිංවත අපේ සමාජය මොනතරම් නම් ලස්සන වෙයිද. ලෝකයාටම පූර්වාදර්ශි වෙයිද. පිංවත වර්තමානයේ අපි සියල්ලෝම කනපිට පෙරළුන ජාතියක්. සියලු යහපත් ධර්මයෝ ඔළුවෙන් සිටවා තැබූ ජාතියක්. පිංවත සියලු යහපත් ධර්මයෝ කනපිට පෙරලන අකුසල් සංස්කාරයෝ අපිව සිත්සේ පාලනයට අරගෙන තිබෙන්නේ. පිංවත මේ බුර බුරා නැගෙන පවුකාර අකුසල් සංස්කාරයෝ ජාතියට ප්‍රසූත කලේ, මේ රටේ සමස්ත අසත්පුරුෂ දේශපාලනයමයි. පිංවත මළ ධර්මයක් මත නොවේ අපි ජීවත්වෙන්නේ. අපි ජීවත්වෙන්නේ තවමත් ජීවමානව තිබෙන ධර්මයක් මතයි. පිංවත දශ කුසල් ධර්මයෝ සහ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඒහිපස්සිකව තවමත් ජීවමානයි. පිංවත අකුසලයට යටවෙන්න එපා. එය ඔබ ලැබූ සුන්දර මිනිස්කමට නිගාවක්. අර්ථවත් බෞද්ධකමට අපහාසයක්. පිංවත සියල්ලටම පෙරාතුව විනාශයේ මුදුන් මුලවෙන දුශ්ශීල දේශපාලනය, ආජීවඅට්ඨමක ශීලයෙන් පිරිසිදුකොට ගන්න. පිංවත ඔන්න ඔතැනයි ජාතියේ පුංවි හෝ යහපත් වෙනසකට ආරම්භය තිබෙන්නේ.
පිංවත ලෝකය කවදත් අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන කුසල් සහ අකුසල් සංස්කාරයෝ මත ගලාගෙන යනවා. කෙනෙක් සද්ධර්මය දේශනා කරනවා, තවත් කෙනෙක් දේවදත්ත බණ දේශනා කරනවා. කෙනෙක් ඇත්ත බොරුවෙන් වහනවා, තවත් කෙනෙක් බොරුව ඇත්තෙන් විවෘත කොට පෙන්වනවා. කෙනෙක් සෝදනවා තවත් කෙනෙක් නැවත නැවත මඩේ දමනවා. පිංවත මේ ක්‍රියාන්විතයයි ලෝකය කියන්නේ. කැඩෙන, බිඳෙන, විසිරෙන, යළි ගොඩනැගෙන යළි යළිත් කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයටයි ලෝකය කියන්නේ. පිංවත මේ අපිට මුණගැසී තිබෙන්නේ අහම්බයක් නොවේ, විය යුත්තක්මයි. පිංවත කලබල වෙන්නේ නැතුව පටිච්චසමුප්පන්න ඔබේම පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න. වැඩියෙන්ම තිබෙන්නේ කුසල්ද, එසේත් නැතිනම් අකුසල්ද. පිංවත අපේ සංස්කාර පාර්සලයේ ලෝභ, ද්වේශ, මෝහ, අකුසල් මූලයන් වැඩි වුණත් අපි තවමත් අවාසනාවන්ත නැහැ. නමුත් අකුසල් සංස්කාරයන් මුල්කොටගෙන එක වෙඩි උණ්ඩයකින් අවාසනාව අපිව සොයාගෙන එන්න පුළුවන්. පිංවත පටිච්චසමුප්පන්න භවගමනේ කුසල් සහ අකුසල් සංස්කාර ලණු පොටවල් දෙක උපකාරයෙන් අතුරේ යන අපි, ලෝකයට උරුම ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව ඉදිරියේ බිය නොවේ ඇතිකොටගත යුත්තේ. මේ සියලු දුකට හේතුව අසීමිත තෘෂ්ණාව යැයි දකින අවබෝධයයි. එවිට වෙඩි උණ්ඩයත් ධර්මතාවයක්ම වෙනවා.
පිංවත රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාපකර්මයක් වෙනවා. නමුත් අනාගාමී පිංවතෙක් මැරීම ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ නැහැ. පිංවත බුදුරජාණන් වහන්සේ ඔබේ අම්මා සහ තත්තා අනාගාමී උත්තමයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ තැනක තබා තිබෙනවා. පිංවත් දෙමාපියනි බුදුරජාණන් වහන්සේ ඔබලාගෙන් උතුම් රහත්ගුණයන් බලාපොරොත්තු වුණා. පිංවත් දෙමාපියන් තුළ උතුම් රහත් ගුණයන් තිබෙනවාද. පිංවත් දෙමාපියන් ධර්මානුකූලව දන්නවාද, දරුවන් ඉදිරියේ දෙමාපියන්ට රහත්ගුණයන් තිබිය යුතුය කියලා. පිංවත රහතන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨම ගුණය තමයි උන්වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍ය බව අවබෝධඥානයෙන් අවබෝධ කොටගෙන සිටීම. පිංවත උන්වහන්සේලා කිනම් ප්‍රණීත හෝ අප්‍රණීත සංස්කාරයක්වත් නිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. පිංවත දෙමාපියන් ඔබලා බුදුරජාණන් වහන්සේට කීකරු දෙමාපියන් නම්, ඔබලා ඔබේ දරුවන් දෙස බැලිය යුත්තේ සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්ම තුළින්මයි. අද ඔබේ දරුවා මොනතරම් නිරෝගී වුණත් හෙට ඔබේ දරුවා අසනීප වෙන්න පුළුවන් අනතුරකට පත්වෙන්න පුළුවන්. අද ඔබේ දරුවා මොනතරම් කීකරු වුණත් හෙට ඔබේ දරුවා අකීකරු වෙන්න පුළුවන්. අද ඔබේ දරුවා යහපත් මිතුරන් ඇසුරු කළත්, හෙට ඔබේ දරුවා අයහපත් මිතුරන්ගේ ඇසුරට වැටෙන්න පුළුවන්. මෙතෙක් ඔබේ දරුවා මිතුරන් සමග සංචාරයේ ගොස් සුවසේ පැමිණියත්, හෙට ඔබේ දරුවා සමහර විට නොඑන ගමනක් යන්න පුළුවන්. පිංවත් දෙමාපියන් තම දරුවන්ගේ ක්‍රියාකලාපයන් දෙස සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්මෙන් බැලිය යුතුයි. වර්තමානයේ පිංවත් දෙමාපියන් තුළ මේ දැක්ම නැහැ. ඒ නිසාම දරුවන් අනතුරට යනවා. යම් අම්මා, තාත්තා කෙනෙක් තුළ ඉහත දැක්ම තිබෙනවා නම්, එම දෙමාපියන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තම දරුවන් නිරතුරුවම ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් ශක්තිමත් කරනවා. තම දරුවාට අයහපතක් වෙනකම් ඉන්නේ නැහැ යහපතෙහි යෙදෙන්න. තම දරුවාට අයහපතක් වූවාට පසුව නොවේ දෙමාපියන් තම දරුවන් පිංකම් වලට යොමුකළ යුත්තේ. එවිට අයහපත මුල් ඇද්දා වෙන්න පුළුවන්. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දෙමාපියන් දක්ෂවිය යුතුයි කීකරුව, යහපත්ව හැසිරෙන ඔබේ දරුවා පිනට දහමට යොමුකිරීමට, කළ්‍යාණමිත්‍ර ආශ්‍රයට යොමුකිරීමට. එයම දෙමාපියන් සතු අනාගාමී ගුණයට වඩා ශ්‍රේෂ්ඨ ගුණයක් වෙනවා. නිරතුරුවම දෙමාපියන් තම දරුවන් පිනට දහමට යොමුකිරීමේදී, දරුවන්ගේ නිදහසට බාධාවක් නොවන ආකාරයෙන් දරුවන් ගැන විමසිල්ලෙන් සිටීමේ දී, දෙමාපියන්ගේ උපක්‍රමශීලීභාවය ඉදිරියේ දරුවන් කුසලයෙන් ආරක්ෂිත වෙනවා. පිංවත සිංහල බෞද්ධකම දවසින් දවස ලිහිල් වෙන සමාජයක, වර්තමාන ළමා පරපුරමයි අනාගත බලාපොරොත්තුව වෙන්නේ. සමස්ත ජාතියටම ලොකු වගකීමක් තිබෙනවා දරුවන් නොමගට නොයවා ආරක්ෂාකොට ගන්න.
පුතේ, අම්මා තාත්තා ඔබ දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මහා බ්‍රහ්ම ගුණයන් තුළින් කියලා මොන දෙමාපියන්ද තම දරුවන්ට කියලා දෙන්නේ. තම දෙමාපියන් අනාගාමී උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මොන දෙමාපියන්ද තම දරුවන්ට කියලා දෙන්නේ. සමහර දෙමාපියන් තමන් තුළ තිබෙන මේ ගුණයන් ගැන දන්නෙත් නැහැ. පිංවත විනාශයම කරපින්නාගත් අද වෙනුවට, අලුත් හෙටක් ජාතියට අවශ්‍යයි. ඒ හෙට අපි පටන්ගත යුත්තේ අපේ ළමා, තරුණ පරපුර තුළින්මයි. පිංවත් දරුවන්ගේ ජාතිය ඉල්ලන ඒම විප්ලවීය වෙනස පටන් ගත යුත්තේ දේශපාලනයෙන් නොව, උතුම් ශ්රද්ධර්මයේ අර්ථයන් තුළින්මයි. පිංවත ශ්රද්ධර්මයේ අර්ථයන්ගෙන් තොර දේශපාලනය ජාතියට මාරයෙක්මයි.
පිංවත ශ්රද්ධාවන්ත පිරිසක් පෝලිම් ගැසී දන් පූජා කරද්දී, යම් පිංවතෙක් පෝලිමෙන් බැහැරව තම කටයුත්ත සිදුකරනවා නම්, එය හරිම පව් සිද්ධවෙන ක්‍රියාවක්. කැපකරුවන්ගේ යාළු හිතවත්කම් මත මෙවැනි වැරදි ක්‍රියාවන්ට අනුග්‍රහය ලැබෙනවා. පිංවත සියදෙනෙක් පෝලිමේ සිටයදි ඔබ පෝලිමෙන් බැහැරව පැමිණ දන් පූජා කළා කියන්නේ, ඔබේ වැරදි ක්‍රියාව නිසා පෝලිමේ සිටින සියලු දෙනා තුළම ගැටෙන සිත් ඇති කළාය කියන කාරණයයි. පෝලිමෙන් බැහැරව පැමිණෙන ඔබ නිසා පෝලිම් ගැසී සිටින ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී පිංවතුන් සියදෙනෙක් තුළ ගැටෙන සිත්, කේන්තිය, ද්වේශය, ඇති කළොත් එය මොනතරම් නම් අකුසලයක්ද. ඇයි ස්වාමින් වහන්සේ පෝලිමෙන් පිට අයට දන් පූජා කරන්න දෙන්නේ කියලා, සංඝයා කෙරෙහිත් අප්‍රසාදය ඇති කළා වෙනවා. අවසානයේ මොකක්ද සිද්ධවෙන්නේ දන් පූජා කරලා ලබාගත් පින වගේ, ලක්ෂවාරයක් වැඩි අකුසල් මූලයන් රැස්කොටගෙන, ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී පිංවතුන්ලාත් අකුසලයට යොමුකොට, මම දන් පූජා කළා යැයි සතුටු සිතින් ගෙදර යනවා. පිංවත අනුන් සතුටු කොට තමන් දන් දෙන්න. එවිට ඔබ දාන දෙකක් දුන්නා වෙනවා. ඉහත කාරණය සමාජයේ සෑම පෝලිමකටම පොදු බව කරුණාවෙන් තේරුම්ගන්න. යමෙක් ඔබට පෝලිමෙන් බැහැරව පැමිණීමට ඉඩ දෙනවා නම්, ඔහු මිත්‍රයෙක් නොව පාප මිත්‍රයෙක්මයි.