පිංවත අපේ ජීවිත හසුරුවන පටිච්චසමුප්පන්න ධර්මතාවයක් තිබෙනවා. එම ධර්මතාවය තමයි අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය. පිංවත අපේ අතීත සංස්කාර ගිණුමේ තිබෙන්නේ අපිම රැස්කොටගත්තා වූ කුසල් සහ අකුසල් සංස්කාරයෝමයි. පිංවත පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට පණදෙන මෙහෙයවන්නා අපේම අතීත සංස්කාරවූ කල්හි, අපේ ජීවිත ඉදිරියට පැමිණෙන හොඳ සහ නරක අපි ධර්මයේ උපේක්ෂාවෙන්මයි පිළිගන්න ඕනේ. අද උදෑසන පිණ්ඩපාත මඩුවට දානය බෙදන්න සියයකට වැඩි පිරිසක් පැමිණ සිටියා. ලොකු කුඩා හැමෝම පෝලිම් ගැහිලා භික්ෂුව වඩින මග ශබ්ද නගලා සුපටිපන්න ගාථාව සජ්ඣායනය කරද්දී, භික්ෂුව තුළ සකස් වුණේ සුවපත් වේවා කියන චිත්තය පමණක්මයි. ඒ සකස් වුණ සුවපත් වේවා යැයි කියන චිත්තයත් භික්ෂුව සතරසතිපට්ඨාන ධර්මයන්ගෙන් විදර්ශනාත්මකව සෝදා හැරියා. දැන් භික්ෂුව පසුවෙන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන ධර්මතාවයන් තුළයි. පිංවත මේ නැගෙන සාදුකාර හඬට භික්ෂුව වශීවෙලා තේරුමක් නැහැ. මේ නැගෙන්නේ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ශක්තිය උදෙසා ලැබෙන දිට්ඨධම්මවේදනීය කුසල් සංස්කාරයන්ගේ ඵලයක්. මේ ලැබෙන පිරිවර සම්පත් කියන්නේ භික්ෂුව ගිහි ජීවිතයේදී සහ පෙර ජීවිතවලදී හවුලේ සිදුකරන ලද දාන, ශීල, භාවනාවන්ගේ විපාකයන්ගේ ඵලයක්. පිංවත මේ සියලු සංස්කාරයෝ අනිත්‍යවෙලා යනවා. පිංවත මේ අනිත්‍යවී යන සංස්කාරයන් ඉදිරියේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයෝමයි භව දික්කසාදය උදෙසා එකම උපකාරක ධර්මය වෙන්නේ.
පිංවත භව දික්කසාදය උදෙසා පිංවත් ගිහි ඔබ ඔබේ බිරිඳ, ස්වාමිපුරුෂයා දික්කසාද කරන්න අවශ්‍ය නැහැ. අපි සෝවාන්වෙලා කියලා දෙන්නා කාමර දෙකක නිදාගන්න අවශ්‍ය නැහැ. පිංවත ඔබ දක්ෂවෙන්න අනවශ්‍ය අන්තයන්ගෙන් බැහැර වී ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ධර්මයක් කොට දකින්න. ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මමය, මගේය, මගේ ආත්මය යැයි නොදැක. බිරිඳ තුළ මා සිටිනවා, මා තුළ බිරිඳ සිටිනව යැයි ආත්මීය දෘෂ්ටියෙන් නොදැක, ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසුරුවා දකින්න. අවිද්‍යාවේ මුල සිට ජාති, ජරා, ව්‍යාධි, මරණ පටිච්චසමුප්පන්න කොන දක්වා ආදරයෙන්ම බලන්න. ඵස්සය සමග පටිච්චසමුප්පන්න නොකැඩෙන දීගයක බැඳී සිටින අවිද්‍යාව, සතරසතිපට්ඨාන ධර්මයෝ උපහාසයට ලක්කරමින් විඳීම් සමග පෙම්සුව විඳින හැටි ආදරණීයව දකින්න. පිංවත ලෞකික ජීවිතයේ තිබෙන සුන්දරම අර්ථය ආදරයයි. නිකලෙස් ජීවිතයේ නිවුනු අර්ථය නිරෝධය වෙන්නා සේම, කෙලෙස් සහිත ජීවිතයේ සුන්දරම අර්ථය ආදරයයි. පිංවත ඔබට පුළුවන් නම් ඔබේ ආදරය ආදරයේ නිරෝධය උදෙසා යොමුකොට ගන්න, සත්‍යකින්ම නිරෝධයට මෙපිට තිබෙන සුන්දරම අර්ථය බවට ආදරය පත්වේවි. පිංවත ඔබේ ආදරණීය ආදරය ඉදිරියේ රාගයේ ඇස් වහල ඔබට පුළුවන් නම් සතරසතිපට්ඨාන ධර්මයන්ට ඇස් දෙන්න, නිරෝධයට මුතුකුඩ අල්ලන පූජණීය ආදරයක නිකෙලෙස් රසය ඔබටම දැනේවි.
පිංවත ආදරය ඉදිරියේ සක්කාය දිට්ඨිය හරිම පළිබෝධයක්. ඔහු හෝ ඇය මමය, මගේම යැයි කියලාමයි සක්කාය දිට්ඨිය රූපය අල්ලාගන්නේ. පිංවත දැක්ම වැරදුන තැන විඳීම්, හඳුනාගැනීම්, සංස්කාරයෝ, දැනීම් වැරදිලාම යනවා. ඔබ ඉදිරියේ තිබෙන ආදරණීය රූපය, ඉදිරියේ හොඳින් සිහිනුවණ ඇතිකොටගන්න. පිංවත ආදරණීය වදන්, ආදරණීය හැඟීම් අඩුනොකොට, ඔබ ඉදිරියේ තිබෙන රූපය, ලෝකයට හොරෙන් ලෝකය තුළ ලිහා බලන්න. එවිටයි ආදරය තව තවත් ගොඩාක් වැඩිවෙන්නේ. එවිටයි ආදරයේ නිරෝධයට ආදරය පහන්වැටක් වෙන්නේ. පිංවත ආදරය කෙරෙහි සතිසම්බොජ්ජංගය ඉදිරියෙහි ඔබ දෙසට නැවී එන්නේ ධම්මවිජය බොජ්ජංගයයි. පිංවත ඔබ ඔබේ ආදරණීය ආදරය තුළින් මෙතෙක් නොදැක්කා වූ ධර්මයක් දකිනවා. අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබට අඹු සැමියන් ලක්ෂ ගණනක් සිටියා. ඒ කිසිවෙක්ගෙන් නොදැක්ක දහමක් ඔබ ඔබේ ආදරණීය ආදරය තුළින් වර්තමානයේ දකිනවා. පිංවත ධම්මවිජයබොජ්ජංගය ඉදිරියේ වීර්යය, ප්‍රීතිය, ඵස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව දැන් ඔබේ කල්යාණමිත්රයෝ. පිංවත ඔබේ ආදරණීය බිරිඳ හෝ ස්වාමිපුරුෂයාගේ ජීවිතය ඔහුගේ ලෝකයට හොරා ඔබ පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර, සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන එකිනෙකට වෙනස් වූ දැනීම්, පිංවත මේ ඔබ අත්දකින්නේ ආදරණීය ආදරය තුළින් ධර්මයේ උපේක්ෂාවයි. පිංවත ඔබේ ආදරය සතුටක් වුවත්, ඔබේ ආදරය කඳුළක් වුවත් එම සතුටත් එම කඳුළත් අයිති ඔබේම අතීත සංස්කාරයන්ම යැයි දකිනා, ධර්මයේ උපේක්ෂාව පමණක්මයි, ඇලීම් සහ ගැටීම් ගින්නෙන් ඔබට මුදවාදෙන්නේ.
පිංවත ආදරය ගැන සටහන ලියන මොහොතේ ගිරා ජෝඩුවක් ඇවිත් කුටිය ඉදිරිපිට සියඹලා ගසේ අත්තක වැසුවා. කිසිම ලැජ්ජා භයකින් තොරවම දෙදෙනා එකට තුරුළු වෙලා මොන මොනවදෝ කියනවා. ආදරය සත්ව ප්‍රජාවටම පොදු ධර්මතාවයක්. ආදරයේ නාමයෙන් හැමෝම සිහින දකිනවා. සමහර සිහින ඉටුවෙද්දී, සමහර සිහින බොඳවෙලාම යනවා. එවිට අපි ආයෙත් සිහින ඇතිකොටගන්නවා. පිංවත අපේ අසිහියෙන් එකම දෙය නැවත නැවත සිද්ධවෙනවා. එයට අපි ජීවිතය යැයි කියනවා. ගිරා ජෝඩුවගේ කථාබහ තවමත් නැවතිලා නැහැ. සමහර විට ගිරවා කියනවා ඇති මේ පාර දුවෙක් හම්බවුණොත් මට, පුතෙක් හම්බවුණොත් ඔයාට කියලා. හැබැයි ඉතිං මේ පාර ඔයා බිත්තර දෙකක්ම දමලා දුවෙකුයි, පුතෙකුයි දෙදෙනෙක් ලැබුණොත්, මම ඔයාට ලස්සන තෑග්ගක් දෙනවාය කියලා මාල ගිරවා අපිට නොතේරෙන භාෂාවෙන් ගිරවියට කියනවා ඇති. පිංවත ආදරය හරිම අහිංසකයි. ආදරය හරිම බලාපොරොත්තු සහගතයි. ඒත් අතීත අකුසල් සංස්කාරයෝ ආදරයේ හරහට සිටියොත්, ආදරය කළ සිතටම පුළුවන් වෛරයක් බවට පෙරළෙන්න. පිංවත ආදරය ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන් පුරවාගන්න. එවිටයි ආදරය පංචනීවරණයක් නොවී සප්තබොජ්ජංගයන් දිශාවට නැමී යන්නේ. ගිරා ජෝඩුවට ගොඩාක් පිං, භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත ගිරා ජීවිත ගැන මතක්කොට දුන්නාට. පිංවත අතීතයේ යම් දවසක පටිච්චසමුප්පන්නව ගිරවෙක්ව ඉපදිලා, සතර අපාය අභිබවලා, මිථ්යාදෘෂ්ටිකභාවයන් පරාජය කරලා, අකුසල් කාන්තාර මැදින්, පංචඋපාදානස්කන්ධ දුක් සාගර තරණය කරලා, වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනට එන්නට භික්ෂුව මොන සා නම් දුක් සාගරයක් විඳින්නට ඇතිද. පිංවත ගිරා ජෝඩුවගේ අහිංසක ආදරය තුළ මොනතරම් නම් වියරු මෝහයක්, අනාගත පංචඋපාදානස්කන්ධ දුකත් සැඟවී තිබෙනවාද.
අපි අතීතයට බණ කියලා වැඩක් නැහැ. අපි ධර්මය දේශනා කරන්න ඕනේ වර්තමානයට සහ අනාගතයට. අනාගත සමාජය ශ්‍රද්ධාව හීන, දැනුමෙන් ශක්තිමත් සමාජයක්. වර්තමානයේ අපි ධර්මයක් විග්රහ කිරීමේදී එය ධර්මානුකූල වෙන්න ඕනෙ. අපේ ඕනෑ එපාකම් මත අපි ධර්මය විග්රහ කරන්න ගියොත් උතුම් තෙරුවන්ම විවේචනයන්ට ලක්වෙන්න පුළුවන්. මේ සටහන තබන මොහොතේ භික්ෂුවගේ ශරීරය දහඩියෙන් තෙමිලයි තිබෙන්නේ. ඒ තරමටම මේ ප්‍රදේශයට ඉඩෝරය. ඒත් ඉතිං මොනවා නම් කරන්නද. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ධර්මයේ උපේක්ෂාවෙන් වැඩ සිටිනවා. පිංවත යම් රටක අව්ව සහ වැස්ස විකෘති වෙනවා යැයි කියන්නේ හේතුඵල ධර්මයක්. පාලක පිංවතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දි සියල්ලම අධාර්මිෂ්ඨ වෙලා යනවා. වහිනකොට දෙගොඩතලා යන්නම වහිනවා. පායනකොට මහපොළව ඉරිතලා යන්නම නියඟය එනවා. පිංවත මනුෂ්‍යයා මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරව අන්තවාදි දිශාවන්ට යනකොට, පරිසරයත් මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරව අන්තවාදි වෙනවා. පිංවත මුලින්ම අන්තවාදි වුණේ පරිසරය නොව මනුෂ්‍යයා බව කරුණාවෙන් තේරුම්ගන්න. පිංවත ආත්මාර්ථකාමීභාවය මුල්කොටගත්ත අකුසල් සංස්කාරයෝ මනුෂ්‍ය ජීවිතවල ඝනව මණ්ඩි බැඳිලා. පිංවත උතුම් පිරිත් සූත්‍ර දේශනා කරලා කෙසේ නම් වැසි වස්සවන්නද. පිංවත වැසි පිරිත කියලා පිරිතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවක් භික්ෂුව අහල නැහැ. අවම වශයෙන් උතුම් සෝවාන්ඵලයටවත් පත්නොවූ කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන, පිංවතුන් අතින් සක්කායදිට්ඨිය වැඩෙන මෙවැනි පිරිත් සමාජගතවෙන්න පුළුවන්.
පිංවත බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නියඟයෙන් විනාශ වී දුර්භික්ෂයෙන් පීඩාවිඳිද්දී ජනතාවගේ අකුසල් බුර බුරා නැගෙද්දී, විශාලාවට වැස්සේ නැහැ. දුර්භික්ෂයෙන් විශාලාව විනාශ වූ පසුවයි පන්සියයක් මහරහතන් වහන්සේලා සමග විශාලාවට වැඩම කොට උතුම් රතන සූත්‍රය දේශනා කරන්නේ. ඉන් පසුවයි මහ වැසි ඇද හැලෙන්නේ. වර්තමානයේ අපි පන්සියයක් ස්වාමින් වහන්සේලාත්, මහ රහතන් වහන්සේලා පන්සිය නමක් වහන්සේලාත් අතර ඇති අධ්‍යාත්මික වෙනස නිහතමානීව අපි තේරුම්ගන්න ඕනේ.
පිංවත අපේ ජීවිතවල සද්ධර්මයේ වැසි විකෘති නිසාමයි, පාරිසරික අව් සහ වැසිවල විකෘතිභාවයන් ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මරත්නය යනු වැසි වස්සවන ධර්මයක් නොව, අව්ව සහ වැස්ස විකෘති නොකරගෙන ජීවත්වීමට කියාදෙන ධර්මයකි. පිංවත උතුම් පිරිත් සූත්‍රයන්ගේ අර්ථය ඔබේ ජීවිතය බවට පත්කොටගන්න. අපි හැමෝම ජීවත්වෙන පිරිත් සූත්‍ර බවට පත්වුණොත් සමාජයට මොනතරම් නම් යහපතක් වේවිද. පිංවත පරිසරයට මෙත් වඩන්න. තණකොළ ගසක් පෑගුණත් සුවපත් වේවා යැයි සිතන්න. තණකොළ ගස ආත්මීය දෘෂ්ටියෙන් නොගෙන, කෘතවේදීභාවයෙන් දකින්න. හදවතින්, හදවත, සිතුවිල්ලෙන් සිතුවිල්ල, මෛත්‍රිය සමාජයට මුදාහරින්න. පරිසරය මනුෂ්‍යයා ජීවත් කරවන නිසාම, පරිසර විනාශ කිරීම මනුෂ්‍ය ඝාතනයකට වඩා බරපතල අපරාධයක් බව නුවණින් දකින්න. අධාර්මිෂ්ඨභාවයේ දුගඳ මකා දමා, මෛත්‍රියේ සහ ශීලයේ සුවඳ නිවැරදි සම්මා සතියට පාවඩයක් කොටගන්න.