සතර අපා දුකට එරෙහිව හදවතින් පිකටිං කරන්න

පිංවත, අපි ඉපදුන මවුබිමට අපි හැමෝම ආදරය කරන්න ඕනේ. අපි හැමෝම උපන් මවුබිමට ගරු කරන්න ඕනේ. අපි ඇයව මවු සෙනෙහසින් පෝෂණය කරන්න ඕනේ. යම් පිංවතෙකුගේ උපන් බිම කියන්නේ අහම්බයක් නොවේ, හේතුඵල ධර්මයක්. සිදුහත් කුමාරයා දඹදිව කිඹුල්වත් නුවර උපදින්නේ හේතුඵල ධර්මයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, කිඹුල්වත් නුවර දෙසින් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියලා. පිංවත, කිඹුල්වත් නුවරින් හමාගෙන එන සුළඟත් සුවදායක වෙන්නේ, එනුවර උපන් වැසියන්ගේ පුණ්‍යවන්තභාවය නිසාමයි. එවන් පුණ්‍යවන්ත නුවරක් අවසානයේ පිනේ ගින්දරක් බවටම පත්වුණා. පුණ්‍යවන්තභාවය නිසාම මාන්නට පත් වූ ශාඛ්‍ය වංශය සහමුලින්ම විනාශ වී ගියා. පිංවත, අපේ පුණ්‍යවන්ත මවුබිමත් පිනේ ගින්දරක් බවටම පත්වෙලා. පිංවත, ඔබට පේනවා ද අපේ පින ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් ගිනි ගන්නවා. සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් විසිර යන්න, සමගියෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න කාටවත්ම බැහැ. මම පමණයි හරි, ඔහු වැරදියි කියන තැන ඉඳලා, අපි හැමෝම මාන්නටය පත්වෙලා. පිංවත, අපි උපන් මවුබිමට ද්‍රෝහි වුණොත් නැවත පටිච්චසමුප්පන්නව මනුෂ්‍ය ලෝකය අපිට අයිති වෙන්නේ නැහැ. අපිට අයිති වෙන්නේ සතර අපා ලෝකයමයි.

පිංවත, කියන දෙය නාහන තෘෂ්ණාවේ උද්ධච්ඡභාවය අපිව මානසික රෝගීන් බවට පත්කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සොවාන්ඵල අවබෝධය නොලැබූ අපි සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා. පිංවත, තෘෂ්ණාවේ මානසික ව්‍යාධිය උත්සන්න වූ සමාජයත් සමග අපි ගනුදෙනු කරන්න ඕනේ බොහෝම පරිස්සමින්. මේ තෘෂ්ණාවේ ව්‍යාධිය උත්සන්න වුණොත් අපිව ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී තැනින් පහතට, ඒ කියන්නේ පෘථග්ජන තැනට වැටෙන්නට පුළුවන්. පිංවත, මේ මානසික ව්‍යාධියක් වූ තෘෂ්ණාව හේතුවෙන් පෘථග්ජන තැනට වැටුණ පිංවතුන් සමාජයේ කොතෙක් නම් සිටිනවා ද? කෙටි ආශ්වාදයක් උදෙසා දීර්ඝ ආදීනවයක් උරුමකොට ගන්නා, අපේ කාලයේ ආවාසනාවන්තයෙක් බවට පිංවත් ඔබ නම් පත්වෙන්න එපා. පිංවත, මේ ජව සම්පන්නව නැගී සිටින්නේ අපේම අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙද්දී, දත්මිටි කාගෙන ඒවා මෙත් සිතින් ඉවසන්නය කියලා. අතීතයේ අපිම සිදුකොට ගත්ත අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙද්දී ප්‍රශ්න ඉදිරියේ ආවේගශීලීභාවයට පත් වී අපි අපෙන්ම පළිගන්න නරකයි. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයටත් අතීත අකුසල් සංස්කාරයෝ නිරතුරුවම විපාකයට එනවා. භික්ෂුව එම විපාකයන් දැක්කා, ඇසුනා, දැනුනා කියන තැනින් නවත්වා ගන්නවා. අපේ ජීවිත ඉදිරියේ විපාකයට පැමිණෙන කුසල් සහ අකුසල් එහි සැබෑ හිමිකරු වන අවිද්‍යාවටම භාර දුන්නනම, එතැනයි අපේ නිදහස තිබෙන්නේ.

පිංවත, රත්තරං මිල ඉහළ ගියාය කියලා ඔබ පසුතැවෙන්න අවශ්‍ය නැහැ. මනුෂ්‍ය සමාජය තුළ මමත්වයේ දැඩිභාවය උත්සන්න වී නිහතමානීභාවයේ ස්වාභාවික ආභරණ අතුරුදන් වී යද්දී, රත්තරං වැනි කෘතිම ආභරණවල මිල ඉහළ යනවා. නිහතමානීව සිනාසෙන මුහුණක ලස්සන නැතිවෙනකොට අපිට කෘතිම ලස්සන සොයන්න සිද්ධ වෙනවා. පිංවත, වර්තමානයේ අපි හැමෝම තම ශරීරයට කෘතිම ලස්සන සෙවීමේ සිරකරුවන් බවට පත්වෙලා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් මුළු ලොවම වශී කරන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලබන්නේ, පෙර දසපාරමී පුණ්‍ය ශක්තිය නිසාමයි. ඒ නිසාම ඒ නික්ලේශී ජීවිත ලස්සන කරන්න පාංශුකූල සිවුරකටත් පුළුවන්, ගෙපිළිවෙලින් ලබන පිණ්ඩපාත දානයකටත් පුළුවන්, කටුමැටි ගැසූ කුටියකටත් පුළුවන්. පිංවත, ආර්යයන් වහන්සේලා තම ප්‍රතිපදාවෙන් ලබන නිහතමානීභාවයේ අධ්‍යාත්මික ලස්සනත් අපි සොයන සක්කාය දිට්ඨියේ කෘතිම ලස්සනත් අතර මොනතරම් නම් පරතරයක් තිබෙනවා ද? පිංවත, මනුෂ්‍ය සමාජයේ අපි මමත්වයේ දැඩිභාවය තුනීකොටගෙන තව තවත් නිහතමානී වෙමු. අහිංසක ලස්සන නිර්ව්‍යාජ සිනහවක් සහ සන්සුන් ඉරියව් පැවැත්මක් තුළින්, අපි ලස්සන වෙමු. එවිට ඉල්ලුම බිඳ වැටී රත්තරං මිල පහළ බසීවි. පිංවත, පළඟැටියා කියන්නේ හරිම උද්ධච්ඡභාවයෙන් යුත් සත්ත්වයෙක්. එම සතා ගින්දර පෙනි පෙනී ගිනි රස්නය දැනි දැනී එම ගින්නටම පිච්චිලා මැරෙනවා. පිංවත, මනුෂ්‍ය සමාජයේ මනසින් උසස් අපිත් තිරිසන් ලෝකයේ පළඟැටියා කරන දෙයම නේද කරන්නේ? දස අකුසල් ධර්මයෝ දැන දැනම, එහි විපාකයෝ දැක දැකම අපිත් අකුසලටම බිලි වෙනවා නේ ද? පිවංත, නිහතමානී වෙන්න. බහුතරයේ කැමැත්තට ගරු කරන්න. උද්ධච්ඡභාවය වර්ජනය කරන්න. සතර අපා දුකට එරෙහිව හදවතින් පිකටිං කරන්න, මිථ්‍යාදෘෂ්ටියට එරෙහිව හදවතින් උද්ඝෝෂණය කරන්න. පිංවත් ඔබ යන මේ නොමග, නිවැරදි මගට පෙරළා ගන්න. පිංවත, දුක ලෝකය තුළ තිබෙන්නට හැරලා ඔබ ලෝකයෙන් නිවිලා යන්න. එසේ නොවුණොත් ඔබටත්, භික්ෂුවටත් සිද්ධවේවි ඊළඟ පටිච්චසමුප්පන්න උපතේ දී ආලෝකය පතුරුවන උද්ධච්ඡ, අනුවණ පළඟැටියෙක්ව ඉපදිලා, ගිනි රස්නය දැනි දැනී, ගින්දර දැක දැකම එම ගින්නටම බිලි වෙලා පිච්චිලා මියදෙන්න. පිංවත, තිරිසන් සතෙක් එකම කුලයේ ආත්මභාව පන්සීයයක් පටිච්චසමුප්පන්නව උපදිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. අනුවණ, අකීකරු පළඟැටියා එකම කුලයේ ඉපිද පටිච්චසමුප්පන්නව පන්සිය වතාවක් පිච්චීමේ දුකෙන්ම මිය යනවා. පිංවත, නිහතමානී වෙන්න. බහුතරයේ කැමැත්තට හිස නමන්න. එසේ නොවී අනාගතයේ දී පළඟැටියෙක් වෙන්න නම් එපා.

පිංවත, උතුම් ධර්මරත්නයේ ගුණයන් විවෘතව සමාජය තුළ බබලනවා. අපි අපේ වගකීම් ඉටු නොකළොත් අපිට අපේ අයිතිවාසිකම් අහිමි වෙනවා. ගෙවීගිය වසර හැත්තෑ පහක කාලය පුරාවට අපි අපේ වගකීම් අවංකභාවයෙන් ඉටු නොකළ නිසාමයි, වර්තමානයේ අපිට අපේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් අපි වර්තමානයේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ, තවමත් අපේ වගකීම් අවංකව ඉටු නොකර නම්, හෙට දවසේ අපිට ඉතිරි වෙන්නේ ද්වේශය, වෛරය, පළිගැනීම පමණක්මයි. පිංවත, අපේම අතීත වැරදි වර්තමානයේ පන්න පන්නා විපාකයට එනවා. පිංවත, ලෞකික ප්‍රඥාවක් නැති පාලක පිංවතුන් පාලනය කරන සමාජයක අකුසල් විපාකයට පැමිණෙන්නේ තව තවත් බරපතළ අකුසල් සිද්ධකොට ගන්න. පිංවත, සතිමත් වෙන්න. රජ ගෙදරත්, කැළඹුණ මහ පාරත් යන දෙකම වර්තමානයේ මෙහෙයවන්නේ අසත්පුරුෂ ජාත්‍යන්තරය විසින්මයි. පිංවත, අපේ අතීත අකුසල් අපේ අනන්‍යතාවය අපිට අහිමිකොට තිබෙනවා. අපි බලයට පත්කොට ගන්නා පිංවත් නායකයෝ හෘදසාක්ෂියක් නැති රූකඩ පිංවත් ජනතාව දිනන්නන් බවට නොව, ජාත්‍යන්තරයේ පුලන්නන් බවට පත්කොට තිබෙනවා. පිංවත, ඉහත වැරදි වලට පිංවත් ඔබ කාටවත් ඇඟිල්ලක් දිගු කරන්න එපා. ඔබ වැරදිකරුවකුට ඇඟිල්ලක් දිගු කළොත් ඔබේ දිශාවට ඉතිරි ඇඟිලි හතරම දික්වෙන බව ඔබ නිහතමානීව තේරුම් ගන්න ඕනේ. පිංවත, අවිද්‍යාවේ ස්වභාවය වැරදි කිරීමයි. පංච නීවරණ ධර්මයෝ අවිද්‍යාවේ මවුකිරයි. විද්‍යාවේ ස්වභාවය අපිව වරදින් මුදාලීමයි. පිංවත, විද්‍යාවේ ඇසෙන් පංච උපාදානස්කන්ධ ලෝකය දෙස බලන්න. විද්‍යාවේ මවුකිර බවට පත්වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝමයි. පිංවත, ආවේගශීලීභාවය මදකට පමාකොට, පිංවත් ඔබ සතිමත් වෙන්න. ඔබේ හෘදසාක්ෂියට තට්ටුකොට අසන්න, ඔබ ලබන වැටුපට, ඔබ ලබන වරප්‍රසාදයන්ට ණයකරුවෙක් නොවී අවංකව සේවය කළා ද කියලා. පිංවත් ඔබ දරණ තනතුරු වලට, වගකීම් වලට අදාළව අවංකභාවයෙන් සේවය කළා ද කියලා. පිංවත, පිළිතුර කුමක් වුව ද ප්‍රශ්නයක් නැහැ. වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි. අතීතයෙන් ගතයුත්තේ පාඩම් ඉගෙන ගැනීම පමණක්මයි. පිංවත, ඔබට අහිමි වූ සැපයට හඬන්නට එපා. ඉතිරි වී තිබෙන පුංචි හෝ සැපය වර්ධනය කොටගන්න බලන්න. පිංවත, තමන් දරණ තනතුරු මම ය, මගේ ය, මගේ ආත්මය යැයි ආත්මීය දෘෂ්ටියෙන් වැළඳ ගන්නා සමාජයක, තම තනතුරු දෑස් පනාපිටම දූෂණය කොට දමන සමාජයක, පිංවත් ඔබ තමන් තුළ නායකයෙක් නැති, නිහතමානී නායකයෙක් වෙන්න. ඔබත් එවැනි නායකයෙක් නම් ජාතියේ හෙට දවස අයිති පිංවත් ඔබලාටමයි. තම තමන්ගේ අවංකභාවය කෙරෙහි විශ්වාසයෙන් පෙරට එන්න. ඔබලාගේම යහපත් සංස්කාරයෝ ඔබලාට ශක්තියක් වේවි.

පිංවත, තම තමන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු බැහැර කරලා, තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අරමුණු බැහැර කරලා, මාතෘභූමියේ පිංවත් ජනතාව ජාත්‍යන්තරයට ණයකරුවන් නොකරන, මානසික වහල්භාවයට පත්නොකරන හෙට දවසක් හැමෝම බලාපොරොත්තු වෙනවා. අපි ජීවත්වෙන වර්තමානය තෘෂ්ණාවෙන් අන්ධ විඤ්ඤාණයේ මැජික්කරුවන්ගේ මායාවන් සහ ඇස්බැන්දුම් තරඟකාරීව සමාජගතවෙන මොහොතක්. සියලුම දේශපාලන ජ්‍යෙෂ්ඨයන් තම නොහැකියාවන් වසා ගන්න ණයකාර මානසිකත්වය සිත් සේ සමාජගත කරනවා. පිංවත, අපි මේ ජයග්‍රාහී ලීලාවෙන් දුවන්නේ, දිනන ගමනක් නොවේ, හති වැටෙන ගමනක්.

සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසයි. උපාසක සහ උපාසිකාවන්ගෙන් තොරව ශාසනයක පැවැත්මක් නැහැ. භික්ෂු සමාජය සිවුපසයෙන් පෝෂණය කරන්නේ උපාසක, උපාසිකා කියන ගිහි සමාජයයි. පිංවත, ශාසනයේ ශක්තිය උදෙසා පිංවත් ගිහි සමාජය ආර්ථික වශයෙන්, මානසික වශයෙන්, කායික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. නමුත් වර්තමානයේ සමාජය තුළ ජයග්‍රාහීව ශක්තිමත් වෙන්නේ ආර්ථිකය නොව ණය බරයි. පිංවත, සමාජගත මිච්ඡා වාචාවන්ගේ ඝෝෂාවට සත්‍යය සැඟවී ගිය සමාජයක පිංවත් ජනතාව ණයකාර මානසිකත්වයේ ලැජ්ජා බිය නැති කෙටි ආශ්වාදය වගේම එහි දීර්ඝකාලීන වහල් ආදීනවයන් ගැනත් දෙවරක් සිතන්නට දක්ෂ වෙන්න.