පිංවත අපේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙනකොට, අවිද්‍යාවේ ඝනාන්ධකාරය ශක්තිමත් වෙනවා. අවිද්‍යාවේ ඝනාන්ධකාරය වැඩි වෙද්දී, සැපය කියලා අපි සොයන්නේ දුකක්මයි. පිංවත අපි හැමෝම දුක අයිතිකොට ගැනීමේ තරගයේ රනින් කුසලාන දිනූ අයමයි. අපේ අතීත රන් කුසලාන එකතුවේ, අතීත කල්ප විනාශයන් දස දහසක් දුක් ගින්නෙන්ම ගෙවා දමා ලැබූ දුකේ රන් කුසලාන, සතර අපාය මහ ගෙදරක් බවට පත්කොටගෙන ලැබූ දුකේ රන් කුසලාන, මෘග සංඥාවන් ලක්ෂ ගණනකට මැදිවී ලැබූ දුකේ රන් කුසලාන, අපේ අතීත පංචඋපාදානස්කන්ධ පෙට්ටගමේ, අයෝනිසෝමනසිකාරයේ මකුළු දැල් බැඳි දුර්වර්ණ වෙලා තිබෙනවා. පිංවත වර්තමානයේ අපි තුළ ඇති තෘෂ්ණාවේ අවිවේකීභාවය නිසාම, අයෝනිසෝමන්සිකාරයේ මකුළු දැල් බැඳී ඇති අතීත පංචඋපාදානස්කන්ධ පෙට්ටගම් විවෘත කරලා, ලිහලා, ගලවලා බලන්න අපි හරිම අකැමැතියි. අතීත පංචඋපාදානස්කන්ධ දුකේ රන් කුසලාන පුස්කද්දී, අපි අනාගත පංචඋපාදානස්කන්ධ දුකේ රන් කුසලාන තැන්පත් කරන්න වර්තමානයේ, උපාදානයේ ලෑලිවලින් භව රාක්ක හදනවා. පිංවත වර්තමානයේ සමාජගත ජරා, ව්‍යාධි, මරණ ශෝක පරිදේවයෝ ශබ්ද නගා කීවත්, මෙය තමයි දුඛ්‍ය සත්‍යය කියලා, අපේ තෘෂ්ණාවට කන් ඇහෙන්නේ නැහැ. මමය, මගේය, මගේ ආත්මය යැයි ගන්නා ආත්මීය දෘෂ්ටිය නම්, තෘෂ්ණාවට යස අගේට ගැලපිලා යනවා.
පිංවත සද්ධර්මයේ ඒහිපස්සික ගුණය ඔබ පිළිගන්නවාද. සද්ධර්මය ඒහිපස්සිකයි කියලා කියන්නේ සද්ධර්මයේ අර්ථයන් විවෘතයි. සද්ධර්මයේ අර්ථයන් සඟවන්න බැහැ. සද්ධර්මයේ අර්ථයන්, සරලව, මෙලොවදීම අපිට අත්දකින්න පුළුවන්. පිංවත ධර්මය වගේම තමයි අධර්මයත් විවෘතව බබලනවා. වර්තමාන සමාජයේ අධර්මයෙන් ජීවත්වෙන පිංවතුන් තේරුම් ගන්න ඕනේ, පිංවත් ඔබලාගේ දුශ්ශීලභාවයන්, වංකභාවයන් ජනතා විරෝධීභාවයන් සඟවන්න බැහැ. එම අධර්මයෝ පිංවත් ඔබලා තුළින් සමාජයට විවෘතව පෙනෙනවා. සමාජය ඉදිරියේ අකාරුණිකව ප්රකටව බබලනවා. පිංවත අධර්මයේ ඒහිපස්සික ගුණය, තව තවත් මිච්චා වාචාවන්ගෙන් සහ මිච්චා රඟපෑම්වලින් වසා දමන්න ගියොත් යළි යළිත් අධර්මයේ අකාරුණිකභාවයමයි ප්‍රකට වෙන්නේ. පිංවත අධර්මයෝ, අධර්මයන්ම පෝෂණයකොට දෙනවා. පිංවත අකුසලයේත් ආශ්වාදයක් තිබෙනවා. අකුසලයේ ආශ්වාදය කෙටියි. අපේ සමාජය, වර්තමානයේ විනාශකොට දමන්නේ අකුසලයේ කෙටි ආශ්වාදය විසින්මයි. අකුසලයේ කෙටි ආශ්වාදය අපිට දීර්ඝ ආදීනවයක් ලබාදෙන බව අපි තේරුම් ගන්නේ නැහැ. අවිද්‍යාවේ සිරකරුවන් වන අපි පුරුදුවෙලා සිටින්නේ ආදීනවයත් ආශ්වාදයක් කොටගන්නයි. පිංවත අනුවණ අපි ආදීනවයත්, ආශ්වාදයක් කරගත්තොත් අපිට නවතින්න සිද්ධවෙන්නේ මිථ්‍යා දෘෂ්ටිකභාවය තුළමයි. පිංවත ශ්‍රද්ධාවක්, ශීලයක්, ත්‍යාගයක්, ප්‍රඥාවක් නොමැති මිථ්යාදෘෂ්ටිකභාවය තුළ තිබෙන්නේ ආශ්වාදයේ මිරිඟුව පමණක්මයි.
පිංවත ශාස්තෘන්වහන්සේට ගරු කරන්න. ශාස්තෘන්වහන්සේ දේශනා කොට වදාළ මාර්ගයෙන් බැහැරට නොයන්න. මෛත්‍රිය, ශීලය, දානය, සතිය, සමාධිය නොවේ මුල්වෙන්නේ. සියල්ලටම මුල්වෙන්නේ උතුම් තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවයි. පිංවත සත්‍යකින්ම ඔබ තුළ උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව තිබෙනවාද. සැකයකින් තොරව ඔබ පිළිතුරු දෙයි ඔබ තුළ ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව තිබෙනවාය කියලා. පිංවත ඔබට සූත්රගත ධර්මය, විනය ධර්මයන්, අභිධර්මයන් කට පාඩමෙන් කියන්න පුළුවන් වෙන්න පුළුවන්. පිරිත් පොත් වහන්සේ කට පාඩමෙන් කියන්න පුළුවන් වෙන්න පුළුවන්. බුද්ධ වන්දනාවත්, බෝධි පූජාවන් තියන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඉහත සියල්ල උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොට ගැනීමේ උපකාරක ධර්මයන් මිස, උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව නම් නොවේ. උතුම් ත්‍රිපිටක ධර්මයන් කට පාඩමෙන් සජ්ඣායනය කරන්න පුළුවන් වුවත්, එම කරුණින්ම උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති නොවෙනවා යැයි භික්ෂුව සටහන් තබද්දී, පිංවත් ඔබට එය ප්‍රහේලිකාවක් නේද. පිංවත උතුම් ධර්මරත්නයේ මුල්ම ගුණය ස්වක්ඛාත ගුණයයි. මේ ලෝක ධාතුවේ දුර්ලභම දහමත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරකින්, සරලභාවයෙන් යුතුව අපිට දේශනාකොට තිබෙනවා. එය ධර්මරත්නයේ ස්වක්ඛාත ගුණයයි.
මේ උතුම් ස්වක්ඛාත ගුණය නිසාම, ධර්මරත්නය සන්දිට්ඨිකයි. උතුම් සද්ධර්මය අපිට මේ ජීවිතයේදීම දකින්නට හෝ අවබෝධ කරන්නට පුළුවන්. පිංවත් ඔබට සෝවාන්ඵලයට පත්වීම උදෙසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ධර්මාවබෝධය ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයට කල් දමන්න අවශ්‍ය නැහැ. පිංවත ඔබට සිතෙනවා නම්, අනේ මට නම් මේ ජීවිතයේදී සෝවාන්ඵලයට පත්වෙන්න බැහැය කියලා, අවම වශයෙන් ඔබ තවමත් ඔබේ ජීවිතයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයක් ගැන සිතලාවත් නැතිනම්, ඉන් අදහස් වෙන්නේ, පිංවත් ඔබ ධර්මරත්නයේ සන්දිට්ඨික ගුණය තවමත් පිළිගන්නේ නැහැය කියලා. ඔබ ධර්මරත්නයේ සන්දිට්ඨික ගුණය පිළිගන්නේ නැතිනම්, ඔබ ධර්මරත්නයේ ස්වක්ඛාත ගුණය පිළිනොගත්තා වෙනවා. උතුම් ධර්මරත්නයේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ ධර්මය සරලයි, ධර්මය මේ ජීවිතයේදීම දකින්නට පුළුවන් යැයි දේශනාකොට තිබියදී, අපි බැහැයි කීමෙන් අදහස් වෙන්නේ, අපි තවමත් ධර්මරත්නය කෙරෙහි ශ්රද්ධාවට පැමිණ නැති බවයි. පිංවත අපිට අශ්රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාව දක්වා ඉදිරි ගමනක් තිබෙනවා. පිංවත් ඔබ දෑස් පියාගෙන අධිෂ්ඨානයක් ඇතිකොට ගන්න, ඔබ මේ ජීවිතයේ දෑස් පියාගන්නා අවසාන චුති සිතේදී හෝ උතුම් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවාය කියලා. ඔබ තුළ ඇතිකොටගත් භව නිරෝධය කෙරෙහි චන්දය, අධිෂ්ඨානශීලීව වීර්යයෙන් පෝෂණය කොටගන්න, ඔබේ චන්දයත්, වීර්යයත්, චිත්තයත් නිරතුරුවම විදර්ශනාවෙන් විනිවිද දකින්න. පිංවත් ඔබ මේ මොහොතත් ඇතිකොටගත්තා වූ මේ ජීවිතයේදීම උතුම් ධර්මය දකිනවාය කියන තෙරුවන් කෙරෙහි විශ්වාසයේ චිත්තය, ඔබ මියයන මොහොතේ හෝ අචල ශ්‍රද්ධාවක් බවට පත්වී, ඔබ විදර්ශනා ධර්මයන්ගේ සරණ ලබනවාමයි.
පිංවත බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරාතුවත් දඹදිව සමාජයේ මෛත්‍රිය, ශීලය, සතිය, සමාධිය කියන අර්ථයන් තිබුණා. රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සම්පත් පුහුණු කරපු පිංවතුන් සිටියා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන් හෙවත් ලෞකික ප්‍රඥාව ලෝකයේ තිබුණේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කිරීමෙන් පසුවයි, ලෝකයට ලෞකික ප්‍රඥාව දේශනා කරන්නේ. පිංවත වර්තමානයේ අපි ලෞකික ප්‍රඥාව මගහැරලා, ශීලයෙන්, මෛත්‍රියෙන්, සතියෙන්, සමාධියෙන් පමණක් සතුටු වෙන්න හදනවා නම් පිංවත අපි තවම උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවිතයට එකතුකොටගෙන නැහැ. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, තමන් පුහුණු කරන්නේ සතිය පමණක්මයි කියලා. තවත් පිංවත් මහත්මයෙක් කියනවා, තමන් පුහුණු කරන්නේ ශීලය පමණක්මයි කියලා. තවත් පිංවතෙක් භික්ෂුවට කියනවා, තමන් පුහුණු කරන්නේ සමාධිය පමණක්මයි කියලා. පිංවත මේ සියලු දෙනාම ලෞකික ප්‍රඥාව මගහැරලයි, ශීලය, සතිය සහ සමාධිය තුළ සිටින්නේ. පිංවත ලෞකික ප්‍රඥාවෙන් තොර මෛත්‍රිය, ශීලය, සතිය, සමාධිය, නියෝජනය කරන්නේ මිථ්‍යාදෘෂ්ටිය බව, අපි කාරුණිකව තේරුම් ගන්න ඕනේ. පිංවත අතීත සම්මා සම්බුද්ධ ශාසන සියල්ලේදීම අපිට වැරදිලා තිබෙනවා. මේ ලැබුණු දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනය වරද්දා ගන්න එපා. පිංවත ඔය සක්කායදිට්ඨියේ මමය, මගේය, මගේ ආත්මය යැයි දකින සහ විඳින ආත්මීය ආභරණ ගලවලා දමලා, කරුණාකර නිහතමානීභාවයේ ආභරණ ඔබේ ජීවිතයට පළන්දවා ගන්න.
පිංවත වර්තමානයේ අලුත් අධර්මයේ මෝස්තර රැල්ලක් පැතිරිලා යනවා. එම අලුත් මෝස්තර රැල්ල තමයි භාවනාවෙන් පමණක් නිවන් දැකීමේ රැල්ල. පිංවත ඵස්සය කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙනකොට අලුත් අලුත් විඳීමේ, හඳුනාගැනීමේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයන්ගේ මැජික් රැලි වේගවත් වෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේ දුකෙන් මිදීමේ මාර්ගය යැයි දේශනාකොට තිබෙන්නේ භාවනාව නොවේ. දුකින් මිදීමේ මාර්ගය සතරසතිපට්ඨානය, එසේත් නැතිනම් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම යැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. දුකෙන් මිදීමේ එකම මාර්ගය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පමණක්මයි. පිංවත කරුණාකර උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් නිවැරදිව ජීවිතයට එකතුකොට ගන්න, එවිටයි ඔබ තුළින්ම භාවනාවට අවශ්‍ය සම්මා සමාධිමත් සිතක් ඇතිවෙන්නේ. වර්තමානයේ සමහරක් පිංවතුන්ලා භාවනාව තුළින් සම්මා සමාධියක් සොයනවා. භාවනාව තුළින් සමාධිය සෙවීම පසක තබා ආර්ය අෂ්ඨාංගික
මාර්ගයේ සම්මා දිට්ඨියේ පටන් සම්මා සතිය දක්වා අර්ථයන් තුළිනුයි සැබෑ සම්මා සමාධිය ඔබේ ජීවිතයට එකතුකොටගන්න ඕනේ. අද උදෑසන මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස මම පසුගිය කාලයේ හොඳින් භාවනා කළා, නමුත් දැන් මගේ භාවනාවට අමනුෂ්‍යයින් පීඩා කරනවා, එම නිසා සිත හොඳටෝම විසිරෙනවාය කියලා. පිංවත අපේ වැරදි අපි අමනුෂ්‍යයින්ට භාරදෙන්න හොඳ නැහැ. යම් භාවනා කරන පිංවතෙක් කියනවා නම්, තමන්ගේ භාවනාවට නොපෙනෙන බලවේග, එසේත් නැතිනම් අමනුෂ්‍යයින් බාධා කරනවාය කියලා, භික්ෂුව බොහෝම පැහැදිලිව කියනවා, ඔබ තවම ලෞකික ප්‍රඥාවේ අර්ථයන්වත් ජීවිතයට එකතුකොටගෙන නැහැය කියලා. පිංවත ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් නම්, අමනුෂ්‍යයින් බාධා කරනවාය කියන කාරණය, ඔබට තහනම් වචනයක් විය යුතුයි. ඔබට බාධා කරන්නේ අමනුෂ්‍යයින් නොව ඔබේම පටිච්චසමුප්පන්න අතීත අකුසලයයි. අපි අතීතයේ සිල්වතුන්ට චෝදනා කරලා, විවේචනය කරලා, බාධා කරලා තිබෙනවා, ඒ අතීත අකුසල් නිසාම අපේ ශීලය දුර්වල වෙනවා. අතීතයේ භාවනා කරපු අයට අපි බාධා කොට, විවේචනය කොට තිබෙන නිසාම, මේ ජීවිතයේදී අපේ භාවනාවන්ට බාධාවන් සිද්ධවෙනවා. මෙම අතීත අකුසල් යටපත් කොටගෙන නැඟී සිටීමටයි බුදුරජාණන් වහන්සේ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් දේශනාකොට තිබෙන්නේ. අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය අමතක කොට භාවනාවට ගියොත් අතීත අකුසල් විවිධාකාර දැනීම් ඔස්සේ අපිට බාධා කරනවා.
පිංවත භාවනාවේදී පංචනීවරණ යටපත් වූ සිත අයිති සප්තබොජ්ජංගයන්ට. සති සම්බොජ්ජංගයෙන් පෝෂණය වූ ධම්මවිජය බොජ්ජංගය එම සිතේ හැඩ රුව වෙනවා. වීර්යය, ප්‍රීතිය සහ ඵස්සද්ධිය එම සිතේ රිද්මය වෙනවා. සමාධිය සහ උපේක්ෂාව එම සිතේ අධ්‍යාත්මය වෙනවා. ඇලීම් සහ ගැටීම චංචලභාවය බැහැර වූ එවැනි නිෂ්චල සිතක් කෙසේ නම් අමනුෂ්‍යයින්ට බිය වෙන්නද, කෙසේ නම් අමනුෂ්‍යයින් එම නිෂ්චල සිතට බාධා කරන්නද. පිංවත භාවනාවේදී අපේ ඵස්සය කෙරෙහි අවධානය බිඳෙන්නේ, සිතේ සමාධිමත්භාවයේ දුර්වලභාවයන් නිසාමයි. පිංවත අමනුෂ්‍ය රූපයක් යනු, අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැකීමට නම් සම්මා සමාධිමත් සිතක් අත්‍යවශ්‍ය වෙනවා. පිංවත භව නිරෝධය දෙසට යන අයෝමය ශක්තිය, “හුදෙකලා භාවනාව” නොව, ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන් සහ සමාධියෙන් පෝෂණය වූ භාවනාව බව සිහිනුවණින් තේරුම් ගන්න. සමාජගතවෙන මායාකාරී විඤ්ඤාණ මැජික් සංදර්ශනවලට යොමුනොවී, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් භාවනාවත්, භාවනාව තුළින් විදර්ශනාත්මකව ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් පෝෂණය කොටගන්න දක්ෂවෙන්න.