ගොම තැවරුණු භාජනයකට සද්ධර්මයේ කිරි දෙවීම

පිංවත ආදරය මොනතරම් සුන්දර වුවත්, ආදරය කියලා කියන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයට. පිංවත උපාදානය යම් තැනක තිබේ නම්, එතැන තිබෙන්නේ භවයයි, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයෝ පමණක්මයි. දෑඟිලි බැඳලා අත්පැන් වත්කරලා අවසානයේ අපි ආදරය කරලා තිබෙන්නේ, රූපය ඇසුරෙන් සකස් වූ පංචඋපාදානස්කන්ධ දුකකට පමණක්මයි. පිංවත ආදරයත්, අනාදරයත් යන කාරණා දෙකම අයිති මෝහයට. පිංවත අපි කවදාද තේරුම් ගන්නේ, ආදරයත්, අනාදරයත් යනු ඵස්සයේ අවිද්‍යාව හේතුවෙන්ම සකස් වූ, අනිත්‍ය වූ විඳීමක්ය කියලා. ආදරණීය ආදරයේ ඇත්ත තේරුම් ගන්න නම්, අපි කායානුපස්සනාවට අදාළව රූපයේ අනිත්‍යභාවය දකින්නම ඕනේ. හැබැයි ඉතිං කායානුපස්සනාව පුහුණුවීමේදී ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ආදරය කියන අර්ථය කෙරෙහි ඇති පටිච්චසමුප්පන්න ආත්මීය දෘෂ්ඨිය නිසාම, අපි රූපයට ආදරය කිරීම පසෙක තබා, අපි තුළ වැඩෙන කායානුපස්සනාවට, අපි ආදරය කරන්න පුළුවන්. පිංවත අපි රූපයට ආදරය කළත්, කායානුපස්සනාවට ආදරය කළත්, එහි එකම ඵලය තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවය, ජාති, ජරා, ව්‍යාධි මරණයන්මයි.

පිංවත ඔබේ සළායතනයන්ට අරමුණු වෙන ස්වභාවධර්මය කියන්නේ ධර්මයටයි. ස්වභාවධර්මය තුළින් ධර්මය දකින්නට නම්, අපිට පංචනීවරණ බැහැර වූ, සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. පිංවත ස්වභාවධර්මයේ කොතැනක බැලුවත් අපි දකින්නේ, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙන් සකස්වෙන අනිත්‍යභාවය පමණක්මයි. පිංවත කර්ම නියාමයෝ, සෘතු නියාමයෝ, බීජ නියාමයෝ, සියල්ලම අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක්මයි. හැබැයි ඉතිං අපි ධම්මානුපස්සනාව නිත්‍ය යැයි ගත්තොත්, ධම්මානුපස්සනාව නිසාම යළි කර්ම නියාමයෝ සකස්වෙන්න පුළුවන්. ඒ නිසාම ධම්මානුපස්සනාව නිසාම අපි තුළ සකස්වෙන සප්තබොජ්ජංගයෝ අපි වේදනානුපස්සනාවෙන් පිරිසිදුකොට ගන්න දක්ෂවෙන්න ඕනේ. පිංවත අපි මොනතරම් ධර්මය කතා කළත්, සමාජය බුර බුරා ඇවිලෙන්නේ අධර්මය දිශාවට. ඊට එක් හේතුවක් වෙන්නේ පැවිදි අපේ සාමීචිපටිපන්න ගුණයේ දුර්වලභාවය යැයි භික්ෂුව විශ්වාස කරනවා. අපේ සාමීචිපටිපන්න ගුණය නිරතුරුවම සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය වෙන්න ඕනේ. අපේ උතුම් සාමීචිපටිපන්න ගුණයේ ඇතුළාන්තය හිස්, හුදු වචන හරඹයක් පමණක් වුණොත් ධර්මය ශ්‍රවණය කරන පිංවත් ගිහි පිංවතුන්ලාගේ ඇලෙන සහ ගැටෙන සිතුවිලි, පංචනීවරණ ධර්මයන්ගේම තෝතැන්නක් වෙනවා. පිංවත මහා සංඝරත්නය සාමීචිපටිපන්න ගුණයෙන් සමාජයට සද්ධර්මය දේශනා කරද්දී, පිංවත් ගිහි පිංවතුන්ලා දක්ෂ විය යුතුයි, සද්ධර්මයේ ආශ්වාදයට පමණක් කොටු නොවී, සද්ධර්මයේ අර්ථයන්ට අදාළව තමන් ජීවත්වෙන සමාජය කළමනාකරණය කොටගන්න. පිංවත ගිහි පිංවතුන්ලා සද්ධර්මයේ අර්ථයන්ට අදාළව සමාජය කළමනාකරණය නොකර ගත්තොත්, පැවිදි අපි සද්ධර්මය දේශනා කරනවා, සද්ධර්මය ශ්‍රවණය කරන ඔබ සද්ධර්මයේ ආශ්වාදය තුළ ජීවත්වෙනවා, පිංවත් ගිහි ඔබේ ධර්මයේ සංසිඳීමට මුවාවෙලා, දුශ්ශීල දේශපාලනය සියලු යහපත් ධර්මයෝ සූරාගෙන කනවා. මෙය සටහන් තබන භික්ෂුවටත් සිතෙනවා, අපි සද්ධර්මය දේශනා කරලා, පිංවත් ගිහි ජනතාව සංසිඳීමට පත්කිරීමෙන්, එහි පූර්ණ වාසිය ලබන්නේ දුශ්ශීල දේශපාලනය නේද කියලා. භික්ෂූව මේ ගැන තවදුරත් සිතනවා. පිංවත් ගිහි ජනතාව තවදුරටත් ධර්මයේ ආශ්වාදයට පමණක් කොටුවී, සද්ධර්මයේ අර්ථයන්ට අදාළ සමාජය කළමනාකරණය කොටගැනීමට ඉදිරිපත් නොවන්නේ නම්, මේ සටහන් පෙළේ ආයුෂයත් හෙට අනිද්දාම අවසන් වෙන්න පුළුවන්. පිංවත භික්ෂුව සත්‍යවශයෙන්ම දන්නවා, භික්ෂුව මේ සද්ධර්මයේ කිරි දොවන්නේ, ගොම තැවරුණු භාජනයකටය කියලා. පිංවත අපි කිරි දෙව්වත්, කිරි දොවන භාජනයේ ගොම තිබේ නම්, දොවන කිරි අපතේ යාමක්මයි සිද්ධවෙන්නේ. පිංවත් ගිහි පිංවතුන්ලා දක්ෂවෙන්න, ගොම සහිත භාජනය පිරිසිදුකොට ගන්න. දේශපාලන දුශ්ශීලභාවයේ ගොම, භාජනයේ තැවරී තිබෙන තාක්කල් අපි දේශනා කරන සද්ධර්මයේ අර්ථයන් ආශ්වාදය උදෙසාමයි සමාජය ප්‍රයෝජනයට ගන්නේ. පංචනීවරණයෝ උදෙසාමයි ප්‍රයෝජනයට ගන්නේ.

පිංවත අකුසල් විපාකයන් ඉදිරියේ ඔබ තවදුරටත් පුහුණුකරන්නේ පංචනීවරණ ධර්මයන් නම්, අපේ අනාගතය පිළිබඳව කිසිම යහපත් බලාපොරොත්තුවක් ඇතිකොටගන්න අපිට බැහැ. යම් පිංවතෙක් පවතින ක්‍රමවේදයන් තුළින් යහපත් බලාපොරොත්තු කෙරෙහි විශ්වාසයක් ඇති කරනවා නම්, එම ඇස්බැන්දුම් සියල්ලම මුදලට යටවූ ක්‍රියාන්විතයන් බව අපි තේරුම් ගන්න ඕනේ. පිංවත ධර්මරත්නය යම් ප්‍රශ්නයක් විග්‍රහ කරන්නේ හේතුඵල ධර්මයන්ට අදාළවයි. අපි හැමෝටම මැනවින් පෙනෙනවා රටේ රාජ්‍ය නායකත්වයේ පටන් රාජ්‍ය අංශයේ සෑම ක්ෂේත්‍රයකම බලවත් ආකාරයෙන් තම වගකීම් පැහැර හරිමින් සිටිනවාය කියන කාරණය. පිංවත අතීතයේ පටන් පැවති නායකත්වයේ වැරදි සහ වගකීම් විරහිත පූර්වාදර්ශයන් රාජ්‍ය අංශයේ පහළ ශ්‍රේණිය දක්වාම පැතිරිලා තිබෙනවා. පිංවත ඔබ දන්නවාද ජනතාවගේ බදු මුදල් වලින් වැටුප්, අතිකාල, වරප්‍රසාද ලබාගෙන යම් පිංවත් රාජ්‍ය නිලධාරියෙක්, පාලක පිංවතෙක්, තම රාජකාරී වගකීම් පැහැර හරිනවා නම්, එම පිංවතුන්ලාගේ විශ්‍රාමික වයෝවෘධ කාලය, බලවත් කායික සහ මානසික ව්‍යාධීන්ට පත්වෙලා, මානසිකව දුක්විඳින්න සිද්ධවෙන්න පුළුවන්. ඒ විතරක් නොවේ යම් හෙයකින් පටිච්චසමුප්පන්නව මරණින් පසුව නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත්, ළමා කාලයේදීම, අධ්‍යාපනයේදී උකටලි, මතක සිටීමේ ශක්තිය හීන, දෙමාපියන්ට, ගුරුවරුන්ට, අකීකරු නොමනා චර්යාවන්ට ඇබ්බැහිවෙන, දරුවන් බවට පත්වෙන්න පුළුවන්. පිංවත වර්තමාන සමාජයේ බොහෝම වේගයෙන් පිංවත් ළමා පරපුරේ ගුණාත්මකභාවය දුර්වලවෙමින් පවතිනවා. මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්.

පිංවත් දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන සහ සදාචාරාත්මක දුර්වලභාවයන් ගැන අපිට නිතරම අදහස් ප්‍රකාශ කරනවා. පිංවත අපි ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබාගෙන, අපේ රාජකාරි වගකීම් පැහැර හරිනවා නම්, පටිච්චසමුප්පන්නව අපේම ජීවිතවලින් පළිගැනීමේ දැනීම් අපිට සකස්වෙන්න පුළුවන්. පිංවත වර්තමාන සමාජය දෙස බලලා, ඔබ කළකිරීම සහ බිය ඇතිකොටගන්නවා වගේම කරුණාකර හේතුඵල ධර්මයන්ට අදාළව සමාජගත ප්‍රශ්න විග්‍රහකොට ගන්න දක්ෂවෙන්න. වර්තමානයේ පාලක පිංවතුන්ලාගේ, විපක්ෂයේ සහ රාජ්‍ය සේවයේ සිදුවෙන, බලවත් වගකීම් සහ තම රාජකාරි පැහැරහැරීම් හේතුවෙන් අපි රැස්කොටගන්නා අකුසල් අනාගත භවගමනේ විපාකයන්ට පැමිණීමෙන් පසුව සමාජය මොනතරම් නම් විකෘතියක් වෙයිද. ජාතියේ අනාගත ළමා පරපුර වගකීම් විරහිත දිශාවන්ට ගමන් කරාවිද.

පිංවත කරුණාකර වැරදි සිදුකරන, වගකීම් පැහැර හරින, කර්මය කර්මඵල විශ්වසය ගැන නොදත් පිංවතුන් පූර්වාදර්ශයට ගන්න එපා. චතුරාර්ය සත්‍යය තවමත් ජීවමානව පවතින සමාජයක අකුසලයේ විපාකයන් බොහෝම භයානකයි. පිංවත් ඔබ අකුසලයේ රැල්ල නැගෙන දිශාවට නොව, ඔබේ පටිච්චසමුප්පන්න භව සැපය උදෙසා, භව නිරෝධය උදෙසා උඩුගං බලායන්න සූදානම් වෙන්න. තම වගකීම් ඉටු නොකරන දේශපාලන ලෝකය තුළ පිංවත් ඔබ වගකීම් ඉටුකරන පාලක පිංවතෙක් වෙන්න. තම වගකීම් පැහැර හරින රාජ්‍ය සේවය තුළ පිංවත් ඔබ තම රාජකාරි වගකීම් ඉටුකරන රාජ්‍ය නිලධාරියෙක් වෙන්න. පිංවත් ගුරු මහත්මියක් තම සාමාන්‍යපෙළ පංතියේ ශිෂ්‍යාවන්ට කියනවලු, පාසලට එන්න එපා, උපකාරක පංතිවලට යන්න කියලා. යම් පිංවතෙක් රජයෙන් වැටුප් ලබාගෙන ඉහත පකාශයන් කරනවා නම්, එම චේතනාවෝ තම අනාගත භව සැපය, තමා විසින්ම අනතුරේ දමාගන්නා ප්‍රකාශයන්මයි. පිංවත රාජ්‍ය සේවයට ප්‍රශ්න තිබෙන බව ඇත්ත, ජීවන බර ඉහළ යන බව ඇත්ත. තමන් ලබන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බව ඇත්ත. නමුත් මේ සියලු වැරදිවලට වගකිවයුතු තම වගකීම් පැහැරහරින දේශපාලන

බලධාරීන්ගෙන් පළිගැනීමට ගොස්, කරුණාකර ඔබේ මෙලොව, පරලොව, සැපය අහිමිකොට ගන්න එපා. පිංවත ඔබ කරුණාකර ධනයට ලොල් නොවී මනුෂ්‍ය ධර්මයන්ට ලොල් වෙන්න. පිංවත ධනය ඔබව පටිච්චසමුප්පන්නව ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක් බවට පත්කරන අතර, මනුෂ්‍ය ධර්මයෝ ඔබව, පටිච්චසමුප්පන්නව සශ්‍රීක දෙවියෙක්, දිව්‍යාංගනාවක් බවට පත්කරනවාය කියන කාරණය තේරුම්ගන්න. පිංවත අවිද්‍යාව විසින් සත්වයා සංස්කාරයන්ගේ වහලෙක් බවටම පත්කරනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ අවිද්‍යාවේ වහල්භාවයෙන් ඔබව මුදා ගැනීම උදෙසාමයි.

පිංවත අකුසල් සංස්කාරයෝ හිරි ඔතප් දෙකින් තොරව, සමාජගතවී තිබෙන වර්තමාන සමාජයේදී, පිංවත් ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් සහ නැවත පටිච්චසමුප්පන්න උපතක් තිබෙනවාය කියන විශ්වාසයෙන් යුතුව ඔබේ ජීවිතයට, ඔබ නායකත්වය දෙන්න. අවිද්‍යාවේ වහල්භාවයට, තෘෂ්ණාවේ දාසභාවයට, ඔබව ගිලගන්න දෙන්න එපා. පිංවත රාජ්‍ය දේශපාලනය අධර්මයෙන් මංමුළා වුණොත් සියලු යහපත් ධර්මයෝ මංමුළා වෙනවා. එවිට ජනතාවට සිද්ධවෙන්නේ අකැමැත්තෙන් වුවද අකුසලයේ සරණයෑම පමණක්මයි. වර්තමාන සමාජය තුළ ගණිකා වෘත්තිය, සොරකම, මංකොල්ලකෑම, මත් උවදුර, බොරුව, වේගයෙන් සමාජගත වෙනවා. පිංවත ඔබ මේ සමාජය තුළ සිදුවෙන විනාශයට තවදුරටත් ඉදිරියට යන්න දෙන්න එපා. මාතෘභූමියේ ජීවත්වෙන අවංක, ශිල්වත්, තෙරුවන්ට ගරු කරන, පිංවතුන්, පිංවත් ඔබේ ජීවිතය තුළින් සිදුකොට ගන්නා අර්ථවත්ම සම්මා වායාමය උදෙසා සූදානම් වෙන්න. පිංවත් පාලක පිංවතුන්ලා සමාජගත කරන දුශ්ශීල විඤ්ඤාණ ධර්මයන්ගේ මැජික් සංදර්ශනයන්ට තවදුරටත් රැවටෙන්න එපා. කරුණාකර ඉහත මාතෘකාව ගැන ඔබ සාකච්ඡා කරන්න. ඔබලාගේ අදහස් හුවමාරු කොටගන්න. එය එසේ නොවෙනවා නම් භික්ෂුව නැවතත් සටහන් තබනවා, භික්ෂුව මේ කිරි දොවන්නේ ගොම තැවරුන භාජනයකට යැයි කියලා.