පිංවත වර්ණවත්, සුගන්ධවත්, මලක් වුවත්, කොයි මොහොතක හෝ පරවෙලා යනවා. අපි මොනතරම් ප්‍රණීත, විසිතුරු, සංස්කාරයෝ ජීවිතවලට එකතුකොටගත්තත්, ඒ සෑම සංස්කාරයක්ම සැපයෙන් විකසිත වෙලා, ආශ්වාදයෙන් කුල්මත් වෙලා කිනම් මොහොතක හෝ ජරා, ව්‍යාධි මරණයන්ටම පත්වෙලා යනවා. පිංවත අපි ආශ්වාදයට ආදරය කළොත්, එහි ඵලය වෙන්නේ ආදීනවයමයි. පිංවත ආශ්වාදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ආදීනවය කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට. පිංවත අපි දුක තුරුල් කරගෙන, ආශ්වාදයටම ආදරය කරනවා. තෘෂ්ණාව යම් තැනකද, එතැන අවිද්‍යාවේ ඇස තිරිහන් වෙනවා. පිංවත ඔබේ දෑස් හැර හොඳින් ලෝකය දෙස බලන්න, කොහේ බැලුවත් අවිද්යාවෙන්ම උපන් ඔබේ ඇසෙන්, ඔබ දකින්නේ අවිද්‍යාවමයි. පිංවත ලෝකය අවිද්යාවටම අයිති වෙද්දි, අපි දුක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි දුක බලාපොරොත්තු නොවුණොත්, අනිත්‍ය වන සැපය ඉදිරියේ අපිට ඉතිරිවෙන්නේ බලාපොරොත්තු කඩවීම පමණක්මයි. අපි සියල්ලෝම අවිද්‍යාවේ දරුවෝ. අවිද්‍යාවේ දෙතනින් අපි උරා බිව්වේ සංස්කාර මව්කිරිමයි. සංස්කාර මව්කිරෙන් පෝෂණය වෙන දැනීම් තුළිනුයි, අපි දෙපා තබාගෙන සිටින ලෝකය අපිම ගොඩනගන්නේ. පිංවත ලෝකය වැරදි නම්, පිංවත් ඔබයි නිවැරදි විය යුත්තේ.
පිංවත ලෝකය තෘෂ්ණාවේ අවි උපයෝගි කොටගෙන ඉර, හඳ, තාරකා ජයගන්න පුළුවන්, ලෝකය තාක්ෂණයෙන් කිරුළු දරන්න පුළුවන්, නමුත් ලෝකයා එක දෙයක් සිතන්න ඕනේ, ලෝකය තුළ මේ මොහොතේ පවතින මේ සංහිඳියාව පෝෂණය වෙන්නේ, තවමත් නොනැසී පවතින ලෞකික ප්‍රඥාවේ, ශීලයේ, සමාධියේ, ශක්තිය නිසාය කියන කාරණය නුවණින් තේරුම් ගන්න. පිංවත බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන අත්තිවාරමේ ශක්තිය මත සිටගෙනයි තවමත් මේ ලෝකය සිනාසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කර්මය කර්මඵල විශ්වාසය, දානයේ, ශීලයේ ආනිශංස කෙරෙහි විශ්වාසය, ලෝකයාගෙන් ගිලිහී ගියොත් ලෝකය තුළ ඉතිරිවෙන්නේ විනාශයේ කඳුළු පමණක්මයි. භික්ෂුව මේ ආසනය මත වාඩිවෙලා නුවණින් දකිනවා, මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම්, මේ උතුම් චතුරාර්ය සත්‍යය සමාජගත නොවුණා නම්, වර්තමාන ලෝකය මොනතරම් නම් අකුසලයේම වියරුවක් වෙන්න පුළුවන්ද. වර්තමානයේ ලෝකය මේ ලබන සංසිඳීම තුළ භික්ෂුව දකින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේවමයි. උතුම් ශ්‍රී සද්ධර්මයමයි, ඒ උතුම් සද්ධර්මයට පූර්වාදර්ශි වූ සංඝ සමාජයමයි. ඉහත අර්ථය යම් පිංවතෙකුට විහිළුවක් සේ පෙනෙන්නට පුළුවන්, ඒත් ඊට වගකිව යුත්තේ ඔබ නොවේ, ඔබේ ශක්තිමත් අවිද්‍යාවමයි. පිංවත් ඔබ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ශීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය තුළ ජීවත්වෙන මොහොතක් පාසා, පිංවත් ඔබ සමස්ත ලෝකයාටම වර්තමානයේ ලබන සාමය, සංසිඳීම, ශක්තිමත්කොට දුන්නා වෙනවා. පිංවත් ඔබේ ලෞකික ප්‍රඥාවෙන්, ශීලයේ ශක්තියෙන්, ගොඩනගාගත් සප්ත බොජ්ජංගයන් තුළින් ඔබ සමස්ත ලෝකයේම සාමය, සංසිඳීම, තවදුරටත් ජීවත් කරවන්න. උතුම් සද්ධර්මයේ අර්ථයන් නැති ලෝකය, තමන්ගේ අම්මා, තාත්තා, හඳුනන් නැති ලෝකයක්. තමන්ගේ මව් දෙමාපියන් අනාථ නිවසකට, එසේත් නැතිනම් නම්බුකාර සැඳෑ බෝඩිමකට යවන ලෝකයක්. පිංවත කොටින්ම දෙමාපියන් නමැති මහා බ්‍රහ්මයා, එපා කියන ලෝකයක්. පිංවත සද්ධර්මයේ අර්ථයන් මරාගෙන උපදින මිථ්‍යාදෘෂ්ටියේ “අවතාරයන්” මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සංඥාවන් ලෙස දකින්න එපා. ලෝකය තුළ බෞද්ධ ජනගහනය දුර්වල වුවද, මේ නිමේෂයේදිත් ලෝකය පවතින්නේ උතුම් සද්ධර්මයේ ආශිර්වාදය තුළින්මයි. පිංවත උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ නිමේෂයේදිත් ලෝකයට අප්රකටව කියලා දෙන, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සමාධිය ගැන සිතලා ඔබ සතුටුවෙන්න. මෙය සටහන් තබන භික්ෂුව නම් දන්නවා, මේ දක්වා තුන්වැනි ලෝක යුද්ධයක් පමා වුණේ, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝක ගතකොට තිබෙන මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ, පූර්වාදර්ශයන් නිසාමයි කියලා. පිංවත අවිද්‍යා ගනඅඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර, උතුම් තෙරුවන්ට කුමන අපහාසයන් සිදුකළත්, එම අපහාසයනුත් අපේ ශීලයේ, මෛත්‍රියේ, ශක්තිය උදෙසාමයි අපි යොමුකොට ගතයුත්තේ.
පිංවත රටේ පාලක පිංවතුන්ලා අධාර්මික වෙද්දි, දුශ්ශිලභාවයට, අවිනයට, අධර්මයට ගරු කරනවා. අධර්මයට රාජ්‍ය අනුග්රහයන් ලබාදෙනවා. මේවා කවදත් ලෝකයේ තිබුණ ස්වභාවයන්. පිංවත ලෝකය කුසලයට සහ අකුසලය යන දෙකටම අයිතිවෙද්දි, අපිට ලෝකය තුළ හොඳ පෙරහැරක් පමණක් දකින්න බැහැ. අනිවාර්යයෙන්ම අකුසලයට අදාළ නරක පෙරහැරකුත් තිබෙනවා. පිංවත අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, අපි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අටදෙනාගෙන් එක් කෙනෙක්. අපි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙතයි. ඒ නිසාම අපිට සත්පුරුෂ මනුෂ්‍යයින්, දෙවියන්, බ්‍රහ්මයන්, හදවතින්ම වන්දනා කරනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින් කියන්නේ සිංහ සෛය්යාවෙන්, විදර්ශනා වන පෙතේ සිංහනාද කරන පිරිසක්. පිංවත භික්ෂුව පිංවත් ඔබට මේ උගන්වන්නේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමැති මහා සිංහයා, අපිට ඉගැන්වූ සිංහ චර්යාවයි. පිංවත සමාජගත වෙන මේ දුශ්ශීල නාඩගම් ඉදිරියේ ඔබ අකම්පිත වෙන්න. කම්පිතවීම සිංහ සෛය්යාවට ගැලපෙන්නේ නැහැ. පිංවත, සැබෑ සිංහයා කියන්නේ, තම ඵස්සය ඇලීම්, ගැටීම සහ උපේක්ෂාවන්ගෙන් නොකම්පිත කොටගන්නා ශ්‍රාවකයාටයි. මේ ශ්රාවකයා අවිද්‍යාව, විදර්ශනා ප්‍රඥාවෙන් විනිවිද දකින්නෙක්. මේ ශ්රාවකයා මුළු පංච උපාදානස්කන්ධ ලෝකයම “දුක” කියන එක අර්ථයට ගන්නවා. මේ ලෝකයම “තෘෂ්ණාව” කියන එකම හේතුවට ගන්නවා. එම ශ්රාවකයා හේතුඵල ධර්මයෝ ධම්මානුපස්සනාවෙන් විනිවිද දකිද්දී, ඒ අකම්පිත ශ්රාවකත්වය දුකෙන් පිරි ලෝකයම කම්පිත කරනවා. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ, සිංහල බෞද්ධ ඔබේ ලේ උරුමයේ කතාවයි. ඔබේ ලේ නහර පුරා දුවන රත් පැහැ ලෙය, ආපෝ ධාතුවක් වුවත්, ඔබේ ලේ නහර පුරා දුවන රත් පැහැ රුධිරය දෙතිස්කුණුපයක් වුවත්, මේ රුධිරයෙන් පෝෂණය වෙන ඔබේ ජීවිතය, අවිද්‍යාව හේතුවෙන්ම සකස් වූ සළායතනයන්ම වුවත්, මේ සියල්ලම හේතුඵල ධර්මයන්ගෙන් කළමනාකරණය කොටගෙන අපි ලබන අවබෝධය ධර්මාවබෝධයක්ම වෙනවා.
පිංවත බැඳීම් කියන්නේ තෘෂ්ණාවේ ඵලයයි. කුමක්ද අපි විඳින්නේ, එතැන තෘෂ්ණාව යළි යළිත් උපදිනවා. යම් රූපයක් වින්දනය කරලා ඇතිවෙනකොට, එම රූපය කෙරෙහි තෘෂ්ණාව, උපාදානය හීනවෙලා යනවා. ඉහත ධර්මතාවය නිසාමයි ගිහි පිංවතුන්ලා විවාහ වෙනකොට නීතිමය ගිවිසුමකට බැඳෙන්නේ, අපි දෙදෙනා අයිති, අපි දෙදෙනාට පමණක්මයි කියලා. පිංවත ඔබේ හෘදසාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබ දෙදෙනාත් අයිති, ඔබ දෙදෙනාටම පමණක්මද කියල. පිංවත එය එසේම නම් පිංවත් ඔබ දෙදෙනාගේ බැඳීම තුළ, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං කියන ධර්මතාවය තවමත් ලෞකික ප්‍රඥාවට අදාළවම සක්‍රීයව පවතිනවා. පිංවත ලෝකයේ මුල අවිද්‍යාව නිසා, කොහේ බැලුවත් ධර්මයක්මයි අපි දකින්නේ. ධර්මය දැක්කත් තවමත් අපිට, කර්මය හරස් වෙනවා, ධර්මය, ධර්මයක් සේම දකින්න. පිංවත ධර්මය කියන්නේ ස්වභාව ධර්මයයි. පංචඋපාදානස්කන්ධ ධර්මයෝ නිත්‍ය වශයෙන් දකින තාක්කල් සළායතනයෝ උපදිනවා. සළායතනයන්ගේ ඵස්සය තුළ අවිද්‍යාව තිබෙන තාක්කල්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක තිබෙනවා. පිංවත කර්ම නියාම, ධර්ම නියාම, සෘතු නියාම, බීජ නියාම, ස්වභාවධර්මයේ නොවෙනස්වෙන ගලේ කෙටූ නීතියයි. මේ ස්වභාව ධර්මයේ නීතිය කල්ප විනාශයකදීත්, ඉනික්බිති නැවත නැවුම්ව ලෝකය ගොඩනැගෙද්දිත්, නොවෙනස්වම සක්‍රියයි. උතුම් තෙරුවන්ගේ ආයුෂය, වර්ණය, සැපය, බලයත්, මේ ස්වභාවධර්මයේ නීතියට යටත් ධර්මතාවයන්මයි. පිංවත ලෝකය පණගැහෙන්නේ, ඔබේ හෘදසාක්ෂියේ රිද්මයටයි. මේ අකාරුණික පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, එකම කාරුණික ධර්මතාවය, පිංවත් ඔබ විසින්ම මොනවාට ධර්මයෙන් හික්මවා ගත්තාවූ ඔබේ කල්‍යාණමිත්‍ර සිතමයි.
පිංවත බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දේශනා කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත්වෙන්න. මහණෙනි ශීලයට, සමාධියට, විදර්ශනා ප්‍රඥාවට, ඥානදර්ශනයන්ට, විමුක්තියට දායාද වෙලා ජීවත්වෙන්න කියලා. පැවිදි අපි සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත්, ලක්ෂ ගණන් මිථ්‍යාදෘෂ්ටික ගිහි පිංවතුන්ලා, ලක්ෂ ගණන් මිථ්‍යාදෘෂ්ටික, ශ්‍රද්ධාව හීන දෙවියන්, බ්‍රහ්මයින් පැවිදි අපේ අධර්මානුකූල හැසිරීම් විවේචනය කරලා, ඒවාට නිගරු කරලා අපාගත වෙයි කියලා. ගෞරවනීය පිංවත පැවිදි අපි, වචනයක් කතා කරද්දී, ඉරියව්වක් පවත්වද්දී, සමාජය සමග කටයුතු කරද්දී, පැවිදි අපි තේරුම් ගන්න ඕනේ, පැවිදි අපේ හොඳ සහ නරක හේතුවෙන් පිංවත් ගිහි සමාජය ද කුසලයෙන් සහ අකුසලයෙන් මෝරා යනවාය කියන කාරණය.
පිංවත පැවිදි අපිම, අපේ උතුම් ශීලයේ වැටකඩුලු කඩාබිඳ දමලා, අපේ සතිය සිහිය අපෙන් ඈතට පලාගියාට පසුව, සමාජගත වියරු මිථ්‍යාදෘෂ්ටියෙන් සහ නිර්ආගමික පොලු මුගුරුවලින් අපිට පහර වදිද්දී, එම වියරු පහරදීම්වලට වග කියන්න බුදුරජාණන් වහන්සේට බැහැ. උතුම් ධර්මරත්නයට බැහැ. මේ අවාසනාවට වගකිවයුත්තේ අපිමයි. කරුණාකර අපේ ශීලයේ වැටකඩුලු යළි ශක්තිමත් කොටගෙන, මේ නිර්ආගමික උමතුවට අපි මුහුණ දෙමු. අශ්රද්ධාව මුල්වී නිර්මාණය කරන, මෙවැනි මැජික් විජ්ජාවන්ගේ එකම යටි අරමුණ, පවතින දුශ්ශීල දේශපාලනය, උතුම් සම්බුද්ධ ශාසනයේ ගැලවුම්කාරයන් ලෙස නැගීසිටීමේ ව්‍යාජ මිථ්‍යාව පමණක්ම බව, නුවණින් තේරුම් ගන්න. පිංවත වියරු තෘෂ්ණාව ඉදිරියේ සතිය සහ සිහියෙන් වර්තමානය විග්රහකොටගන්න දක්ෂවෙන්න.