පිංවත අපි අකුසලයෙන් තව, තවත් වැටුණොත් යළි කුසලයෙන් නැඟීසිටීමට ලොකු කැපවීමක් කරන්නට සිද්ධවෙනවා. අපේ අතීත අකුසල් සුළුපටු නොවන බව අපි හැමෝම දන්නවනේ. උතුම් තෙරුවන්ට අගෞරව කිරීම, උතුම් තෙරුවන්ට වෛරයෙන් චෝදනා කිරීම, සිල්වතුන්, අවංක පුද්ගලයන් නොතකා හැරීම, පිංවත මෙවැනි අකුසල් වලට කියන්නේ අකුසල් නිධිය කියලා. පිංවත සිල්වත් ගිහි පිංවතුන්ගේ බදු මුදල් වංචා කිරීම එසේ මෙසේ අකුසල් කන්දක් නොවේ. මේ අකුසල්වල මහත අපි තේරුම් ගන්නේ කවදාද. වර්තමානයේ සංඝ සමාජයට ද්වේශයෙන්, වෛරයෙන් චෝදනා කිරීම කර්මය කර්මඵලය ගැන නොදත් අසරණ පිංවතුන්ගේ පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා. පිංවත සංඝ සමාජය තුළ වැරදි කරන ස්වාමින්වහන්සේලා කවදත් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදීමයි, සුදින්න භික්ෂුව කාමයේ වරදවා හැසිරීමේ වරද සිදුකොට ගන්නේ. මෙම සුදින්න භික්ෂුව සිදු කළ බරපතළ වරද බුදුරජාණන් වහන්සේට සැලකරන්නේ, මේ සිද්ධිය දැක්කාවූ දෙවියන් විසින්මයි. එදා දෙවියන් බුදුරජාණන් වහන්සේට ශෝකයෙන් දැනුම් දෙනවා: භාග්‍යවතුන් වහන්ස සුදින්න භික්ෂුව සම්මා සම්බුද්ධ ශාසනය කෙලෙසුවාය කියලා. බුදුරජාණන් වහන්සේ මුල්ම, නැවත සමාවක් නොලැබෙන සතරපාරාජිකා සිල්පදය පනවන්නේ සුදින්න භික්ෂුව මුල්කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ සතර පාරාජිකාවන් පනවන්නේ අදාළ වැරදි සිදු කළා වූ ස්වාමින්වහන්සේලා මුල්කොටගෙනමයි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවී යන තුරාවට විනය කාරණාවන් දෙසිය විස්සක් සහ වරදට දඬුවම් දෙන අධිකරණයන් හතක් පනවන්නේ, අදාළ වැරදි සිදු කළාවූ ස්වාමින් වහන්සේලා නිසාමයි. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජය තුළින් සිදුවූ වැරදි පුද්ගල සංඥාවෙන් දැක්කේ නැහැ. මේ සෑම වරදක්ම අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින් ධර්මයේ උපේක්ෂාවෙන්මයි දැක්කේ. වරදකරුවා වරදින් චෝදනාකොට විනාශ නොකොට, වරදකරුවා කෙරෙහි මෙත් සිතින්, ඔහුට යළි වරදින්, නිවැරදිවී නැඟීසිටීමටයි, බුදුරජාණන් වහන්සේ විනය ධර්මයන් පනවන්නේ. නමුත් වර්තමාන සමාජය තුළ කුමක්ද මේ සිද්ධවෙන්නේ. ස්වාමින් වහන්සේ නමක් අතින් කුමන වරදක් සිදු වුණත්, සමහරක් පිංවතුන් එම වැරදි දකින්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සිදුවූ මුල්ම වරද හැටියටයි. සම්මා සම්බුද්ධ ශාසනයේ අතීතය ගැන හයක්, හතරක් නොදන්නා මෙවැනි අසරණ පිංවතුන්, ස්වාමින් වහන්සේලාට බනින්නට පටන් ගන්නේ නිගණ්ඨයෝ කියලා.
මෙය සටහන් තබන භික්ෂුවට ද්වේශයෙන්, වෛරයෙන්, චෝදනා කළ අවස්ථා කොතෙක් නම් අතීතයේ තිබුණාද. පිංවත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය සමයේදිත් අද වගේම, කාන්තා ප්‍රශ්න, සමලිංගික ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, මිච්චා අධිගමයන් හුවා දැක්වීමේ ප්‍රශ්න, පහරදීමේ ප්‍රශ්න, වාහන ප්‍රශ්න තිබුණා. අතීතයේ වාහන ප්‍රශ්න නොතිබුණත්, උපසේන කියන උපසම්පදා භික්ෂුව, තමා පසුපසින් රැගෙන ගිය චීවර කරත්තයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්ස දැන් වැඩ සිටින සමහරක් තරුණ ස්වාමින් වහන්සේලා වැඩිහිටි අපිට ගරු කරන්නේ නැහැය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පෘතග්ජන භික්ෂුවක් බොරුවෙන් චෝදනා කරනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ට කේන්තියෙන් පහරක් ගැසුවාය කියලා. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදී ශාසන ධර්මයන්ගේ ස්වභාවයයි.
පිංවත භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ, මේ පෘතග්ජන සමාජයේ ඉපදිලා, ජීවත්වෙලා, කළ්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් සද්ධානුසාරී හෝ ධම්මානුසාරි, ඉන්ද්රිය ධර්මයන් වර්ධනය කොටගෙන, පැවිදි උපසම්පදාවට පත්වෙන පිංවතෙකුටයි. ඔහු මේ සමාජයේම කොටසක්. ඔහු වැරදි නොකරන තත්ත්වයට පත්වෙලා නැහැ. අවම වශයෙන් සමහර විට ඔහු සතර අපායෙන්වත් මිදිලා නැහැ. ඔහු වැරදි කරන ස්වභාවයෙන් යුක්තයි. අපි සිහිනුවණින් සිතන්න ඕනේ, ඇයි බුදුරජාණන් වහන්සේ විනය කාරණා දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් පැනවූවේ කියලා. උතුම් සංඝ සමාජය තුළ මඩෙන් උඩට මතු නොවූ නෙළුම් පොහොට්ටු තිබෙනවා සේම, මඩෙන් උඩට මතුවී විකසිතවූ නෙළුම්ද තිබෙන බව, අපි ධර්මයේ උපේක්ෂාවෙන් තේරුම්ගත යුතුව තිබෙනවා.
පිංවත කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයන් නිසාම, අසද්ධර්මයන් ශ්‍රවණය කිරීම නිසාම, සමාජය අකුසලයෙන් ගොඩාක් ප්‍රපාතයට වැටිලයි තිබෙන්නේ. මේ අනතුර දකිමින් සංඝ සමාජයේ අපි, අපේ හැසිරීම් ඉදිරියේ හොඳින් සතිය සිහිය ඇතිකොටගත යුතුයි. වර්තමාන සමාජය අවිද්‍යාව මොනතරම් සතුටින් පිළිගන්නවාද කියලා කිව්වොත්, වර්තමාන සමාජයේ නිරාගමික උමතුව වේගයෙන් ශක්තිමත් වෙනවා. මුහුණු පොත් තුළින් ගෞරවනීය සංඝ සමාජයට නොමනා ආකාරයෙන් පහර දෙන්නේ මේ නිරාගමික උමතුවයි. පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ නිවැරදි නම් විවේචනයන්ට බියවෙන්න එපා. ඔබ නිවැරදි නම් ඔබට එරෙහිව නැගෙන විවේචන යනු ඔබේ සාර්ථකත්වයයි. එහෙත් ඔබ වැරදි නම් වහ වහා නිවැරදි වෙන්න. පිංවත් භික්ෂු ඔබේ වරදක් නිසා, උතුම් තෙරුවන්ම චෝදනාවන්ට, අගෞරවයන්ට, ලක්වෙනවා නම්, එය අදාළ භික්ෂුවට මහාමේරුවක් වැනි අකුසලයක්ම වෙනවා. ඒ වගේමයි වේගයෙන් සමාජගතවෙන නිරාගමික උමතුවට තව ශක්තිමත් කිරීමට අපි ආහාර දුන්නා වෙනවා. පිංවත වරදකරුවෙක් දැක ඔබ නිවැරදි වෙන්න. එයයි වරදකරුවෙකුට දිය හැකි හොඳම දඬුවම වෙන්නේ.
පිංවත ඇත්තට බොරුව කැමති නැහැ. ඒ නිසාම අතීතයේ කවදත් ශාසනයට අභියෝගයන් තිබුණා. දෘෂ්ඨීන් හැටදෙකක අභියෝගයන් මැදයි, බුදුරජාණන් වහන්සේ ශාසන නෞකාව මෙහෙයවූයේ. වර්තමාන අසත්පුරුෂ අභියෝගයන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ශ්රාවකයා, මඩේ සිටවූ ඉන්නක් විය යුතු නැහැ. පිංවත පවතින ශාසනික අභියෝගයන් හමුවේ නොසැලී සිටින්න. ඔබ බියවුණොත් මාර ධර්මයන්ට අභය ලැබේවි. පිංවත හෙට උදාවෙන ධර්මය නොතකන ලෝකය, තම පටු අරමුණු උදෙසා කෝටි ප්‍රකෝටි, ගණන් මුදල් අත දිගහැර වියදම් කරන ලෝකයක්. වර්තමානයේ යමෙක් ශාසනයේ ආරක්ෂාව උදෙසා කථා කළොත් ඔහුට පෙරල, පෙරලා, විවේචනයෙන් පහර දෙනවා. සංඝ සමාජයේ බරපතළ විනය විරෝධි ක්‍රියා වෙනුවෙන් අධිකරණයන් ක්‍රියාත්මක කළොත්, මානව හිමිකම් ඊට එරෙහිව නැඟීසිටිනවා. පිංවත මේ සියල්ල ශාසනය දුර්වල කිරීම උදෙසා නිර්ලෝභීව විසිකරන මුදලේ බලයයි. පිංවත් පාලක පිංවතුන් අධර්මිෂ්ඨ වෙද්දී, ශාසනයේ වටිනාකම තෙවැනි තැනට දමා, මුදලත්, බලයත් රජ වෙනවා.
ගෞරවනීය පිංවත, මුදලට සහ දේශපාලන බලයට වඩා බලවත් බලයක් මේ ශාසනය තුළ තිබෙනවා. එම බලයට කියන්නේ ශීලයේ බලය යැයි කියලා. පිංවත වැරදි අරමුණු උදෙසා විසිකරන මුදල් බලයට තිබෙන්නේ දුකට හේතුවෙන තෘෂ්ණාව පමණක්මයි. නමුත් පිංවතුනේ ශීලයේ බලයට, සියලු සත්පුරුෂයන් ඉදිරියේ ජනප්‍රියවීමේ ශක්තිය තිබෙනවා. ශීලයේ බලයට, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය තිබෙනවා. ශීලයේ බලය ඔබගේ මෛත්‍රියේ, සමාධියේ, ප්‍රඥාවේ, ශක්තිය අවධිකොට දී ඔබව තව තවත් කුසල් ධර්මයන්ගෙන් බලවත් කරනවා.
පිංවත ඔබ අසරණ යැයි සිතන්න එපා. පිංවත ලෝකය මැද්දේ ඔබ තනිවුවත්, අපිට මුළු ලෝකයේම සහයෝගය නැති වුවත්, පටු අරමුණු උදෙසා විසිකරන, කෝටි ප්‍රකෝටි ගණන් ධනයට කවුරුන් විකුණුනත්, පිංවත් සත්පුරුෂ ඔබ බියවෙන්න එපා. ඔබ අධර්මයට බිය වුණොත්, ඔබ සද්ධර්මය උදෙසා පෙනී නොසිටියා වෙනවා. පිංවත ශාසනික අභියෝගයන් ඉදිරියේ බිය සිතෙන් බැහැර කොට, ශීලයේ ශක්තිය සිතට ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවීයන තුරා, හතළිස් පස් වසරක් ගෙවා දැමුවේ, මාර ධර්මයන්ගේ පීඩා කිරීම් මැදම බව නුවණින් තේරුම් ගන්න. අද පිංවත් ඔබේ සත්පුරුෂ පරිත්‍යාගයෙන්, හෙට දවසේ සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්න.