පිංවත මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත්වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැක, භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ, පිංවත් ඔබට ලිපිය ආරම්භයේදීම විදර්ශනාමය අත්දැකීමක් ලබාදෙන්න. පිංවත් ඔබත් ඒ විදර්ශනාත්මක අත්දැකීම ඔබේ ජීවිතයට එකතුකොට ගන්න. ඔබට දැනෙන භික්ෂුව පිළිබඳ මතකය, අනිත්‍යවූ රූපයක් ඇසුරින් සකස් වූ, අනිත්‍ය වූ ඵස්සයක් යැයි නුවණින් දකිමින්, භික්ෂුව තුළින් ධම්මානුපස්සනාවට පණදෙන්න. පිංවත ‘දිවයින ඉරිදා සංග්‍රහය’ තුළින් අපි ගෞරවයෙන් මුණගැසුනේ, ලෝකය වගා කරන්න නොවේ. ලෝකය නිරෝධය කරන්න. අපි ගෞරවයෙන් මුණගැසුනේ, භවගමනේ තවත් සද්ධානුසාරි හෝ ධම්මානුසාරි මරණයක පරාජිත හිමිකරුවෙක් වෙන්න නොවේ. මෙතෙක් බැඳුණු අත්වැල් ලිහාගෙන, සතර අපා දුකෙන් නිදහස් වීමටයි.
පිංවත අපිට ජීවත්වෙන්න ඉතිරිවෙලා තිබෙන්නේ තව බොහෝම කෙටි කාලයයි. කැලැන්ඩරයේ පිටු, අපේම සංස්කාර විසින් බොහෝම වේගයෙන් පෙරළනවා. පිංවත ඔබේ ජීවිතයෙන් සියල්ල පැත්තකින් තියලා, අප්රමාදිභාවය ජීවත්කරන්න. ප්‍රමාදය වහ, වහා සතර අපා ගිනි ඇවිලෙන සුළුයි. අතීතයේ පටිච්චසමුප්පන්නව ගෙවා දැමූ දුර, මෙපමණ යැයි කියන්න බැරුවා වගේම මේ ජීවිතයේදී අපිට වැරදුනොත්, අනාගත භව දුක මෙපමණ යැයි කියන්න බැහැ. පිංවත පංචනීවරණ අඩ නින්දේ ආශ්වාදයේ පාට, පාට සිහින දැක්කා දැන් හොඳටෝම ඇති. පංචනීවරණයන්ගෙන් නිදිබර ඔය විඳීමේ මුහුණ, සති සම්බොජ්ජංගයේ පිරිසිදු දියෙන් තෙමාගන්න. පංචනීවරණ අඩ නින්දෙන් අවදිවෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කහවනු වැස්සක් වැස්සත් පිංවත් මනුෂ්‍යයා සෑහීමකට පත්වෙන්නේ නැහැය කියලා. පිංවත සමාජයෙන් පූර්වාදර්ශ බලාපොරොත්තු වෙන්න එපා. නොසෑහීම තුළ ඔබ තවත් ප්‍රමාදයට පත්වේවි. ස්වක්ඛාත ආදී වූ සද්ධර්මයේ උතුම් අර්ථයන් පූර්වාදර්ශයට ගන්න. අවිද්‍යාව ශක්තිමත් වෙද්දී, සංස්කාරයෝ හරිම මුරණ්ඩුයි. ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය නොවූ මුරණ්ඩු සංස්කාරයෝ විඤ්ඤාණය නමැති වධකයාට ජවය දෙද්දී, සමාජය කළ්‍යාණමිත්‍ර ආශ්‍රය දෙවැනි තැනට දමා, ජීවිතය ළඟට ගන්නේ, කාමච්චන්දයන් ප්‍රවර්ධනය කරන අසත්පුරුෂ ආශ්රයන්මයි. පිංවත ලෝකය මේ යන්නේ කවදත් ලෝකයට සුපුරුදු ගමන. නොවෙනස්වන ලෝකය ඉදිරියේ, පිංවත් ඔබ වෙනස්විය යුතුයි. පිංවත බලවත් දෘෂ්ඨීන් හැටදෙකක් මැද බුදුරජාණන් වහන්සේගේ අයෝමය ඥාණ ශක්තියෙන් අපිව වෙනස් කළා. ගෞරවනීය පිංවත මේ වෙනස්වීමට, ඔබේ යහපත් සංස්කාරයෝ හොඳින් මෝරා ඇති කාලයයි.
පිංවත අපේ හමුවීම ආදරණීය හමුවීමක් නොවේ, ගෞරවනීය හමුවීමක්. පිංවත අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ, බැඳීම් ලිහෙන හමුවීමක්. පිංවත අපේ හමුවීම බොරුව දකින හමුවීමක් නොවේ, සත්‍යය දකින හමුවීමක්. අපි මේ යන්නේ රූපයේ නිරෝධය සොයාගෙන. රූපයේ සමුදය සොයාගෙන නොවේ. අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේලාට වගේම, අපිටත් අනාගතයේ දවසක් එනවා, අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත් අපිට කරදර නොකරන. රූපයේ අවිද්‍යාව තිබෙන තාක්කල්, අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත් අපිට ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ගෙන් කරදර කරනවා. එවිට ආර්ය විවේකය තබා හුදු විවේකයත් අපිට නැතුව යනවා. අපි කවදාක හරි රූපයේ අවිද්‍යාව නිරෝධය කරද්දි, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ වධක විෂ දළ මරා දමනවා. එවිට විඤ්ඤාණය ආර්ය ප්‍රඥාවේ අණසකට යටත්, දුක වගා කරන බීජ නූපදවන, තවදුරටත් අතීත සංස්කාරයන්ගේ පිහිටෙන්, ආයුෂය සහ උණුසුම ඇසුරේ ක්‍රියාත්මක වෙන නාමික අරූපි ධර්මතාවයක්ම වෙනවා.
පිංවත ඔබේ ලෝකයට හෙට හිරු වෙනදා වගේම උදාවුණත්, අපිට ජීවත්වෙන්න සිද්ධවෙලා තිබෙන්නේ, ලෞකික ප්‍රඥාව දුර්වල වෙන ඝණාන්ධකාර රාත්‍රියක. මේ අඳුරේත් පංචනීවරණයෝ අපේ ජීවිත තුළ හොල්මන් කරනවා තෘෂ්ණාවට ආහාර සොයාගෙන. පිංවත ඔබේ ජීවිතය සප්ත බොජ්ජංගයන්ගෙන් ආලෝකමත් කරගන්න. සප්ත බොජ්ජංගයන්ගේ සුවඳ ඔබේ ඵස්සය මත තවරාගන්න. ඔබේ පෙර පින නිසාම ඔබ ගොඩාක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් ටිකක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ලස්සන කාට ආඩම්බරකම් පෙන්වුවත්, ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ ලස්සනට පසුබසින්නම සිද්ධවෙනවා. පිංවත ඔබත් ලස්සන කෙනෙක් නම් ඔබම සිතලා බලන්න ඔබ තුළ තිබෙන ලස්සන පංචනීවරණ ලස්සනක්ද එසේත් නැතිනම් සප්තබොජ්ජංග ලස්සනක්ද කියලා. ඔබ ළඟ තිබෙන්නේ කාමච්චන්දයන් පෝෂණය කරන, රූපය මෝසතර කරණය කරන කෘතිම ලස්සනක් නම් එම ලස්සන අයිති වෙන්නේ පංචනීවරණයන්ට. පංචනීවරණ ලස්සන තුළ ඇලීම් සහ ගැටීම් ගොඩාක් බහුලයි. ඒ නිසාම ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරෙන සිත්, සැකය, ඔබේ විඳීම් අපවිත්‍ර කරනවා. රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය වැඩිවෙනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, පිනවීමේ, මෝස්තරකරණය කිරීමේ මානසික ව්‍යාධිය උත්සන්න වෙනවා. එවිට රූපය දකින්නේ රත්තරන් හැටියට. යම් පිංවතෙක් රූපය රත්තරන් හැටියට දකිද්දි, එම පිංවතා තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය පරණ යකඩ තත්වයටම පත්වෙනවා.
පිංවත විඤ්ඤාණය නමැති වධකයා ඔබට දැනීම් සකස්කොට දෙන්නේ රූපය විඳින්නය කියලා. රූපය වින්දොත් අනාගත භවය උදෙසා සංස්කාර රැස්වෙන බව, අවිද්‍යාව විසින් අපිට වසං කරලා තිබෙන්නේ. අවිද්‍යාවෙන් පෝෂණය වෙන විඤ්ඤාණය නමැති වධකයා ඔබට දැනීම් සකස්කොට දෙන්න පුළුවන් මෙච්චර ලස්සන රූපයක් ඔබට ලැබිලා තිබෙන්නේ, එම රූපය සිල් සමාදන් කරවන්න, භාවනා කරවන්න නොවේ, රූපයේ ආශ්වාදය විඳින්නය කියලා. පිංවත ඔබේ පෙර පිනට ලැබුණ රූපය විඳින්න ගිහිල්ල, ජීවිතය අපායක් කරගන්න පිංවත් මනුෂ්‍යයෝ ඔබ දැකලා තිබෙනවාද. තාරුණ්‍යයේ සුසිනිඳු මල්පෙති කැඩීබිඳී ගිහිල්ල, විවාහ ජීවිත අසාර්ථක වෙලා, කායික වශයෙන් සම රැළි වැටිලා, අකලට හිසකෙස් හැලිලා, ශරීරයේ වා පිත්, සෙම් කිපීම නිසාම බලවත් කර්ම රෝග හැදිලා, පිංවත දුකෙන් උපන්, පිනෙන් පෝෂණයවූ, රත්තරන් යැයි සිතු ශරීරය, ඉස්තරම් කරන්න ගිහින්, ඔබේ ශරීරය දැන් ඔබටම අපායක් වෙලා නේද. මෙවැනි අපායන් ඔබ සඟවාගෙන සිටියත් ධර්මයට හොඳින් පෙනෙනවා. ධර්මය විවෘතයි, ධර්මය ඒහිපස්සිකයි.
පිංවත පංචනීවරණයන්ගෙන් පෝෂණය කරගන්නා ලස්සන, වයසට යනකොට, ශෝක පරිදේවයෝ දෙගුණ තෙගුණ වෙනවා. ඒ නිසාම පංචඋපාදානස්කන්ධ දුක වැඩිවෙනවා. රූපය මගේ කොටගෙන තෘෂ්ණාවෙන් රූපය උපාදානය කොටගත් පිංවතුන් මරණාසන්න මොහොතේ මගේ කොටගත් රූපය අතහැර යන්න අකමැති වෙනවා. මරණය ගැන කථාකරන්න, මරණය ගැන සිතන්න බිය වෙනවා. පංචනීවරණ ලස්සන ජීවිතයට ලංකොටගත්, දැනට කර්ම රෝගයකින් පෙලෙන පිංවත් මැදිවියේ මහත්මියක් තම හිතමිතුරන්ට කියනවා, මොනවා කතා කළත් කමක් නැහැ, මරණය ගැන නම් කථාකරන්න එපාය කියලා. මරණය පැමිණියත් රූපය අතහරින්න කැමති නැහැ. පංචනීවරණ මෝස්තරකරණයේ ලස්සන, ජීවිතයේ අවසන් කාලයට සිදුකරන විනාශය පෙනෙනවා නේද. ඔබ ඔබේ මරණාසන්න මොහොතේ ඔබේ රූපය දාලා යන්න අකමැති කෙනෙක් නම්, සිහිමුලාවූ මරණයකින් පසුව, ඔබේ රූපය මිහිදන් කළ සුසාන භූමියම, මිනී වළම, උපාදානය කොට, ඉපදෙන අමනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. පිංවත මෝස්තරකරණය සීමාව ඉක්මවා යන්න එපා මධ්‍යස්ථ වෙන්න. දෙතිස්කුණුපයක් බාහිරින් ලස්සන කරන, හැඩ වැඩ කරන, අත පය පුම්බන, මෝහයේ මල් වැසිවලට තෙමෙන්න එපා. තෘෂ්ණාව බැඳීයාම් වලට මුලයි, බැඳීයාම් භවයට මුලයි, භවය ජාති ජරා, ව්‍යාධි, මරණයන්ට මුලයි. මේ සියල්ලේම මුදුන් මුල අවිද්‍යාවයි.
කවදාහරි දවසක මරණාසන්න මොහොතේ රූප උපාදානයෙන් ඔබේ සිත කලබල කරන පංචනීවරණ ලස්සනින් බැහැර වෙලා, සප්ත බොජ්ජංගයන්ගෙන් ඔබේ ජීවිතය ලස්සන කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, සතියෙන්, ඔබේ ජීවිතය ලස්සන වෙනකොට, ඔබ ලබන්නේ සම්මා ප්‍රීතියක්මයි, සම්මා ඵස්සද්ධියක්මයි. සප්තබොජ්ජංග ලස්සනේදි ඔබ ලස්සන කරන්නේ, ඔබේ චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සතිය සිහියයි. ඔබ ජරා, ව්‍යාධි, මරණ දුක දැක්ක කෙනෙක්. දුකට හේතුව තෘෂ්ණාව යැයි දැක්ක කෙනෙක්. ඒ නිසාම ඔබේ පිංවන්ත ජීවිතය ගමන් කරන්නේ දුකට නැවතීමක් තබන ආර්ය අශ්ටාංගික මාර්ගය දිගේමයි. පිංවත මුදුන් මුල් නැති, සිව්පසයේ කිරිමුල් වලින් පමණක් පෝෂණය වෙන, අපේ ගෞරවනීය හමුවීම, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින, විදර්ශනාමය හමුවීමක්ම වේවා.!
අපිව මෙත්සිතින් එක්කළ ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට මේ පිං අයිති වේවා.!