පිංවත, අවිද්‍යාව යම් තැනකද, එතැන කුසලය සහ අකුසලය යන කාරණා දෙකම තිබෙනවා. ඒ නිසාම අපි විවේචන වගේම පැසසුම්ද සම සිතින් පිළිගන්න ඕනේ. සංස්කාරයන්ට අදාළව ලෝකය දැකීමේ ශක්තිය දුර්වල වන සමාජයක, ඉහත දෙධර්මයන්ටම ඔරොත්තු දෙන්නෙක් බවට, අපි පත්වෙන්න දක්ෂවෙන්න ඕනේ. පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩිවී, අවිද්‍යාව බලවත්වෙන සමාජයක මුල්ම අභියෝගය එල්ල වෙන්නේ උතුම් ධර්ම විනයටයි. තෘෂ්ණාව විනය ධර්මයන් තුළින් හික්මෙන්න කැමති නැහැ. තෘෂ්ණාව කැමති නිදහසේ ස්වාධීනව ජීවත්වෙන්න. ලෝකය අයිති අවිද්‍යාවට නිසා මේ හුටපටයට වගකියන්න ඕනේ, අපිම පුහුණු කළා වූ අතීත සංස්කාරයි. පිංවත භික්ෂුවගේ පසුපස එන්නේ, භික්ෂුවගේම සෙවනැල්ලයි. එම නිසාම අපි ඉදිරියට පැමිණෙන, සිතට වදදෙන, විවේචන ඉදිරියේදී වුවද, කර්මය කර්මඵල විශ්වාසයමයි, අපි මතුකොට දැකිය යුත්තේ. කුසලය සහ අකුසලය ඉදිරියේ නොසැලෙන්නා, විදර්ශනාවේ ගල් කණුවක්ම වෙනවා. අවිද්යාවෙන්ම උපන් අප්රනීත සංස්කාර අවිද්යාවටම භාරකරලා, අපි විදර්ශනාත්මක මෙත් සිතින්, මේ තෘෂ්ණාවේ වියරු ලෝකය තරණය කරමු. අවිද්‍යාවට අපි ආහාර නොදී, ප්‍රඥාවේ ආලෝකය දෙමු.
පිංවත අවිද්‍යාවේ මව්කිරි වරන්න නම්, පංචනීවරණ දෙපියයුරුවල, ලෞකික ප්‍රඥාවේ කොහොඹ තෙල් ගාන්නම වෙනවා. එවිටයි ශීලය, සමාධිය, ප්‍රඥාව, ඥානදර්ශන, විමුක්තිය, මේ ආහාරයන්ට අපේ ජීවිත හුරුවෙන්නේ. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුනු සිත, විචිකිච්චාව තිබේද, එම ජීවිතය තවමත් භව නිරෝදය දෙසට නැමී නැතැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත උතුම් සෝවාන්ඵලයට පත් වූ පිංවතා තුළත්, කාමච්ඡන්දයන් තිබෙනවා, නමුත් එම කාමච්චන්දයන් ක්‍රියාත්මක වෙන්නේ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම කියන සීමාව තුළයි. පිංවත ජීවමාන ධර්මවිනය නැමති ශාස්තෘන්වහන්සේ වැඩ සිටිනවා. චතුරාර්ය සත්‍යය ධර්මයෝ අපේම ජීවිත තුළ විවෘතව ප්‍රකට වෙනවා. දුක නිරෝධය කිරීමේ මාර්ගය සක්සුදක් සේ වැඩ සිටිනවා. ඒත් අපි තව තවත් කාර්යබහුලයි. පංචනීවරණ දෙපියයුරු තුඩුවල එල්ලී, අවිද්‍යාවේ මව්කිරි රසයම සොයනවා. පිංවත සියලුම රසයන් අතරින් ධර්ම රසය හරිම ශ්‍රේෂ්ඨයි. ධර්ම රසය ශ්රේෂ්ඨවෙන්නේ, රසයත්, නීරසත් යන දෙකම නිරෝධය වූ නික්ලේෂි රසය එහි තිබෙන නිසාමයි. පංචඋපාදානස්කන්ධයෝ මියදුණ, නික්ලේෂී ධර්ම රසය, විදර්ශනාමය සප්තබොජ්ජංගයන්ගෙන් ප්රනීතවෙලයි තිබෙන්නේ. පිංවත ඔබේ ජීවිතය ධර්මයෙන් ජීවත්කරවන්න. එවිට අධර්මයෝ මියයාවි. අධර්මයෝ මියගිය ජීවිතයක ආයුෂය වෙන්නේ. උපාදානයෝ නිරෝධය වූ විදර්ශනාමය සප්තබොජ්ජංගයෝමය. පිංවත මොහොතක් ඔබේ දෑස් පියාගෙන තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන ධර්මථාවය නුවණින් දකින්න. මේ පුංචි විනාඩියේදී ඔබ ලැබුවේ, තාවකාලික විදර්ශනාමය සප්තබොජ්ජංගයන්ගේ රසයක්මය. පිංවත ඔබේ ජීවිතය පුංචි ධර්ම පර්යේෂණාගාරයක් කරගන්න.
චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව, පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව, පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව පුංචි පුංචි පර්යේෂණ විවේකීව සිටින විට අත්හදා බලන්න. එවිට ඔබ තුළ ප්‍රඥාවට අදාළ ධර්මයන් කෙරෙහි ඡන්දය ඇතිවේවි. ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් ගැන සිත සිතා සිටිනවාට වඩා, රටේ ලෝකේ ඕපාදූපයක් ගැන සිත සිතා සිටිනවාට වඩා, අනේ මම ඉපදුන නිසා නේද, මේ ජරා, ව්‍යාධි, මරණ, දුක යැයි සිතුවොත්, එම සිතුවිල්ල සප්තබොජ්ජංගයන්ටමයි පාවඩ එළන්නේ. පිංවත හිස් අවකාශය තුළ පාවඩයක් එළා තිබෙනවා. ඒ නිසල පාවඩය මත, කවුරුවත්ම වඩින්නේ නැහැ. භවගමන නිමාකළ අතීත ශ්රාවකයෙක්ගේ මතකය පිළිබඳව, අපේ මතක සටහනක් වෙන්න ඇති, ඒ ගමන නිමා කළ හිස් පාවඩය. භික්ෂුව, ධර්මය කෙරෙහි ඡන්දයයි, මේ ඔබ තුළ මෝදු කරන්නේ. පිංවත එන්න නිදහසේ ධර්මයේ සුවය ලබන්නට, උතුම් ආර්ය අශ්ටාංගික මාර්ගයේ පියාපත් සෙවනට ශ්‍රද්ධාවේ, ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ, උණුසුමෙන් පංචඋපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්න. ලෝකය අපිට අයිති නැහැ. ලෝකය අයිති අවිද්‍යාවට. අපි අවිද්‍යාවේ මෙහෙකරුවෝ. අවිද්‍යාව අපිට ගෙවන වැටුප තමයි ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්. පෙරළා ඒ වැටුපත් අවිද්‍යාව විසින්ම උදුරාගන්නවා. අපි හැමදාමත් සංස්කාරයන්ගෙන් අවිද්යාවටම ණය ගෙවනවා.
පිංවත ඔබ ඔබේ ආදරණීය බිරිඳට, ස්වාමිපුරුෂයාට, ආදරය කරද්දී බොහෝම පරිස්සමින්. ආදරය පසුපස හැම මොහොතකම, අනාදරය සැඟවිලා තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ කුසලය පසුපස අකුසලය සැඟවී තිබෙනවාය කියන කාරණයයි. සිතුවිල්ලක් වේගවත් වෙලා, වචනයක් වැරදුනොත්, ඔබේ ආදරය, අනාදරයක් වෙන්න පුළුවන්. එම නිසා වචනයෙන්, වචනය, හොඳින් සතිය සිහිය පිහිටුවා ගන්න. එවිට ඔබේ මනුෂ්‍ය ආදරය, දිව්‍ය ආදරයක් බවට පත්වේවි. සශ්‍රීක දිව්යථලවලත් ආදරය නිසා ගොඩාක් ගැටුම්, විරහ වේදනාවන්, තිබෙනවාය කියලා අතීතයේ පන්සිළු දෙවියා බුදුරජාණන් වහන්සේට විරහ වේදනාවෙන්ම දැනුම් දීමක් කළා. දිව්‍ය වේවා, මනුෂ්‍ය වේවා, ආදරය යම් තැනකද, එතන තෘෂ්ණාව තිබෙනවා. තෘෂ්ණාව යම් තැනකද එතැන දුක තිබෙනවා. පිංවත ආදරයේ නිරෝධය උදෙසාම ආදරය කරන්න. ඔබේ ආදරය ආත්මීය සංඥාව මත නොව, උතුම් සතරසතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. රූපය අනිත්‍ය නම් රූපය ඇසුරෙන් සකස්වෙන ආදරය අයිති අනිත්යයටමයි. රූපය අනිත්‍ය නම්, රූපය ඇසුරින් සකස්වෙන විඳීම්, හඳුනාගැනීම්, අයිති අනිත්යයටමයි. ලස්සන ආදරය තුළින් විදර්ශනාමය ධර්මයක්ම දකින්න. එවිට ආදරය ඔබ ළඟ රැඳි, ආදරය කෙරෙහි කාම, රාග, පටිඝයෝ, ඔබෙන් නිදහස් වෙලා යාවි. පිංවත මොහොතක් දෑස් පියාගෙන ආදරයේ නික්ලේෂි රසය, තෘෂ්ණාවෙන් තොරව මොහොතක් ලබන්න. එය අනාගාමී උපතකට පුංචි අත්දැකීමක් වේවි. කලබල වෙන්න එපා, කාම, රාග, පටිඝයෝ නිරෝධය කිරීමට පෙරාතුව, ඔබ ආදරය කෙරෙහි සක්කායදිට්ඨිය නිරෝධය කරන්නට ඕනේ. ඔබ තුළ ඇය දකින, ඇය තුළ ඔබ දකින, ජාති ජාතිත් අපි යැයි දකින ආදරය කෙරෙහි මමත්වයේ දැඩිභාවය නිරෝධය කරන්නට ඕනේ. විඳීම් කෙරෙහි තෘෂ්ණාව වැඩිවෙනකොට ආදරය ගොඩාක් බොළඳ වෙනවා. ආදරය බොළඳ වෙද්දී භවය ගොඩාක් දීර්ඝ වෙනවා. ආදරය කියන පුංචි සිතුවිල්ල මොනතරම් නම් දුර ගමනක්ද. මොනතරම් නම් අනාගත දුක් සාගරයක්ද. පිංවත ආදරයේ කෙටි ආශ්වාදය තුළ උපාදානය, භවය, ජාති, ජරා, ව්‍යාදී, මරණ සැඟවිලා තිබෙනවා. භික්ෂුව දෑස් පියාගෙන ආදරයට අදාළව අතීත පංචඋපාදානස්කන්ධය නුවණින් දකිනවා, අතීත සංසාරයේ මම, මංගල පෝරු ලක්ෂ කීයකට සුභ නැකතින් නඟින්නට ඇතිද. මේ සුළඟිල්ල, ඔය සුළඟිල්ල සමග රන් හුයෙන් බැඳෙන්නට ඇතිද. සංස්කාර පච්චයා විඤ්ඤාණං, සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම්, අවිද්‍යාවට භාර නොදී, ආත්මීය සංඥාවෙන් ගත්තොත්, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදීත් අවිද්‍යාවට මංගල සීනු හැඬවෙනවා. පිංවත ආදරයෙන් බැඳුන ඔබේ විවාහ ජීවිතය දෙස, ආදරයෙන්ම බලන්න. ඔබ දකින්නේ අනිත්‍ය වූ සංස්කාරයක් සමග අතින් අතගත් තවත් අනිත්‍ය වූ සංස්කාරයක් පමණක්මය. පිංවත අවිද්‍යාව හරිම ගොරහැඬියි. අවිද්‍යාවේ ආයුෂ පරක් තෙරක් නොපෙනෙන ආකාශය වගේමයි. මේ ගොරහැඬි අවිද්‍යාවේ බැඳුන, ආත්මීය මළකඩ පිරිසිදුකොට ඉවත්කිරීමට නම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලයෙන් ඉන්ද්‍රීය සංවර වූ සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. සම්මා සමාධියේදී උපදින සප්ත බොජ්ජංගයෝ, අවිද්‍යාවට කිරිපොවන පංචනීවරණයන් හඳුනාගන්න ආලෝකමත් කැඩපත වෙනවා. පිංවත එම කැඩපතෙන් ඔබේ ආදරය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසුරුවා දකින්න. ආත්මීය දෘෂ්ඨියේ වැරදි දැක්ම නිවැරදිකොට ගන්න. අවිද්‍යාව තිබෙන තුරා සංස්කාර තිබෙනවා. සංස්කාර තිබෙන තුරා දැනීම් තිබෙනවා. දැනීම් තිබෙන තුරා, ඇය හෝ ඔහු මමය, මගේම යැයි සිතා අයිතිකොටගන්න දැනීම් ඇතිවෙනවා. පිංවත භවගමනේ ආයෙමත් නම් අනිත්‍ය වූ සංස්කාරයක් සමග අතිනත ගන්න එපා. සංස්කාර අයිති අවිද්‍යාවට මිස, ඔබට හෝ ඇයට නොවේ. අවිද්‍යාව ඔබ මගේ කොටගත්තොත්, සෙනහසේ නාමයෙන් ඔබට තුරුල්වෙන්නේ පංචනීවරණයෝමය.
ආදරය අපි කාටවත් නැතිවම බැරි ආදරය. ආදරය අවිද්‍යාව විසින් “සංස්කාර” පෙන්වා වෙන්දේසියේ දමන ආදරය. ආදරයෙන් බැඳුන දවසේ පටන් සංස්කාරයන්ට ණය ගෙවන ආදරය. පිංවත රූපය ඵස්සයට සීමාකළොත්, විඳීමට ආදරයක් නැතිවෙනවා. විඳීම යම් තැනකද, එතැන යළි යළිත් ආදරය උපදිනවා.
පිංවත ගස්වල ඵලබර අතු, ඵලබර නිසාම බිමට නැමෙනවා. ඵල නැති ගස්වල අතු කෙසේ නම් බිමට නැමෙන්නද. මනුෂ්‍යකම්, කෘතවේදිකම්, නිහතමානිකම් ඇති මනුෂ්‍ය ජීවිත, සත්පුරුෂ ලෝකයා ඉදිරියේ හිස නමන්නේ, ලෝකයේ තවමත් ඉතිරිවී ඇති, ඒ උතුම් මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරන්නමයි. හැමදාමත් උදෑසන පිණ්ඩපාත මඩුවට වඩිද්දී, පිංවත් ගම්වාසීන් ශබ්ද නඟල සුපටිපන්න ගථාව සජ්ඣායනය කරනවා. ගාථා සජ්ඣායනය ඉවරවෙනතෙක්ම, භික්ෂුව බිමට හෙළු දෑසිනුයි වැඩ සිටින්නේ. ඒ භික්ෂුවගේ බෙල්ලේ ආබාධයක් නිසා නොවේ. පිංවත් ගම්වාසීන්ගේ අහිංසක ශ්රද්ධාවට ගරුකරන්න. ඒ ශ්‍රද්ධාව තව තවත් ශක්තිමත්කොට දෙන්න. ඒ වගේමයි භික්ෂුව ඉදිරියට එන, භික්ෂුවගේම අතීත ප්‍රනීත සංස්කාරයන්ට ගරුකරන්න. පිංවතුන්ලාගේ ශ්‍රද්ධාව ඔසවා තබන්න. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ශක්තිමත්කොට දෙන්න. භික්ෂුව ගොඩාක් නිහඬ කැපවීම් සිදුකොට තිබෙනවා. ඒවා තේරුම් ගන්න අවම වශයෙන් ලෞකික ප්‍රඥාවවත් අපේ ජීවිතය තුළ තිබෙන්නට ඕනේ. ලෞකික ප්‍රඥාව වේගයෙන් දුර්වලවෙන සමාජයක, මෙය සටහන් තබන භික්ෂුවටත් අනාගතයේදී ගොඩාක් සැලසුම්සහගත විවේචනයන්ට මුහුණ දෙන්න සිද්ධවේවි. පිංවත අසත්පුරුෂ ධර්මයෝ සියල්ල අවිද්‍යාවට භාරදීලා, අපි අපේ ගමන නිමා කරගනිමු.