පිංවත ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ලම මගේ යැයි සිතාගෙන සිටියත්, ඔය කිසිවක් ඔබට අයිති නැහැ. මොහොතක් සිහිනුවණින් දකින්න, අනාගතයේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා, සතර දෙනෙක්ගේ කර මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන. හැබැයි ඉතිං ඒ සුසානභූමියට යන්නේ මළකඳක් පමණක්මයි. ඔබේ පටිච්චසමුප්පන්න නැවත උපත භවාත්රයේ කොතැනකට යයිද. පිංවත් ඔබ මොනතරම් දේවල් සිතුවත්, ඉහත දෙය නොසිතන නිසාමයි, භික්ෂුව මේ දෙය සටහන් තැබුවේ. ජීවත්ව සිටියදී නිවන ගැන පුංචි හෝ අවධානයක් යොමු නොකරන අපි, මැරුණාට පස්සේ බැනර්වලින්, ගුණකතනවලින්, නිවන් දකින්න හරිම දක්ෂයි. පිංවත ඔබ මැරෙන්නට පෙර මැරිලා බලන්න. මරණානුස්සතිය ඔබට උපකාර කරනවා, ජීවත්ව සිටියදීම මරණයේ අත්දැකීම ලබන්න. ඔබ මිය යන්නට පෙර මරණයේ අත්දැකීම ලබා, එය පුහුණු වුණාම, මරණය ඔබට විදර්ශනාමය අත්දැකීමක්ම වෙනවා. පිංවත මොහොතක් දෑස් පියාගෙන මනසින් මැරෙන්න. ඔබ මරණානුස්සතියට බිය නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ඔබව දාල යන්න කැමති නැහැ කියලයි.
පිංවත ඔබ ඔබව දාලා යන්න කැමති නැහැ නේද. ඔබ ඔබව අරගෙනමයි යන්න හදන්නේ. පිංවත් ඔබ මොනවාද මේ යනකොට අරගෙන යන්න හදන්නේ. ඔබ යනකොට අරගෙන යන කදමල්ලට කියන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූප කියලා. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය හේතුවෙන් සකස් වුණා වූ පංචඋපාදානස්කන්ධ ධර්මයෝ, ඔබ මගේ කරගෙන පටිච්චසමුප්පන්නව අරගෙන යනවා, ආයෙමත් පටිච්චසමුප්පන්නව සළායතනයෝ උපද්දවා ගන්න. පිංවත ඇත්තටම ඔබට දැන් වෙහෙසක්, බියක් නැද්ද. භික්ෂුව අතීත රූපස්කන්ධයට නුවණ මෙහෙයවද්දී භික්ෂුවට අරමුණු වෙනවා, කෝටි ප්‍රකෝටි ගණනක් භික්ෂුවගේ අතීත පටිච්චසමුප්පන්න, ඇස්, කන්, නාස, දිව සහ මළකඳන්. සත්‍යකින්ම ඔබ ඔය දෙපා තබාගෙන සිටින්නේ, අතීත බාහිර සතර මහා ධාතුව බවට පත්වූ ඔබේම අතීත මළකඳන් ගොඩට නේද. ඔබ ඔය ඔබේම මළකඳ මිහිදන්වූ අතීත සුසානභූමියක් මතයි දෙපා තබාගෙන සිටින්නේ. බලන්නකෝ අපේ මෝහයක තරම. අපි අපේම අතීත මළකඳන් මිහිදන් වූ සුසාන භූමිය, මගේ කරගෙන ලස්සන ගෙදරක් හදලා, ලස්සනට මල් වවලා, සුසාන භූමියක් මගේ කොටගෙන ජීවත්වෙන අපූරුව.
පිංවත ඔබ සිතනවාද සුසාන භූමියක ජීවත්වන අපිට, හරි යයි කියලා. පිංවත අවංකව සිතන්න කාටද හරි ගිහින් තිබෙන්නේ. හැබැයි ඉතිං කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදයට රැවටිලා මට හරි ගියා කියලා සිතුවොත් එය නම් මුලාවක්. අපි හැමෝම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, උගුලේ සිරවෙලා. අතීත සුසාන භූමිය මත දෙපා තබද්දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, “මිනී අළු” අපිට පංචඋපාදානස්කන්ධ දුකමයි උරුම කර දෙන්නේ. පිංවත මේ විනාශය අපි අපිටම කරගන්නා හූනියමක්. අපිට හදිහූනියම් කරනවාය කියලා, අනුනට බැණලා වැඩක් නැහැ. භවාත්රයේ කොතැනක ඉපදුනත් එතැන මහපොළවේ තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණ මිනී අළුමයි. පිංවත අපිම අපිට හූනියම් කරගෙන අපි අනුනට කොච්චර නම් චෝදනා කරනවාද.
පිංවත පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති කට්ටඬියායි, නාමරූප නමැති හූනියම සිද්ධ කරන්නේ. පිංවත දකුණු පළාතේ අති ප්‍රබල කට්ටඬි මහත්වරුන් මෙහෙයවන්නේත් මේ විඤ්ඤාණය නමැති පටිච්චසමුප්පන්න මහ කට්ටඬියාමයි. ඒ විතරක් නොවේ වසවර්ති දිව්‍යතලයේ වසවර්ති මාරයාවත් මෙහෙයවන්නේත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මහ කට්ටඬියාමයි. බුදුරජාණන් වහන්සේ මේ බලගතු විඤ්ඤාණය නමැති කට්ටඬියාව හඳුන්වන්නේ මායාකරුවා, මැජික්කරුවා යැයි කියලයි. අවිද්‍යාව නමැති පසේ, සංස්කාර නමැති පොහොරින් වැඩෙන නිසාම, විඤ්ඤාණයට බීජය යැයිද ධර්මයේ සඳහන් වෙනවා. පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයේ කොතැනක බැලුවත්, විඤ්ඤාණයේ බීජ විසිරිලයි තිබෙන්නේ. එම නිසාම නොනවතින ජාති, ජරා, ව්‍යාධි, මරණ වගා සංග්‍රාමයක් අපි හැමෝම තුළ ක්‍රියාත්මක වෙනවා.
පිංවත ඔබ තවමත් මේ හූනියම කපන්න තොවිලය පටන්ගත්තේ නැද්ද. ඔබට හිරි, ඔතප් දෙක නැතිද, තවත් මේ මිනී අළු ගොඩමත දෙපා තබාගෙන ජීවත්වෙන්න. පිංවත මුලින්ම හොඳ කට්ටඬි මහත්මයෙක්ව තෝරාගන්න. විදර්ශනා නුවණින් විඤ්ඤාණය දමනය කොටගත් කල්‍යාණ මිත්‍රයාමයි, මේ වියරු භව හූනියම කපන්න සුදුසු පුද්ගලයා වෙන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අර්ථවත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔස්සේ ඔබ නිවැරදිව ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළොත්, ඔබට මේ භව හූනියම විනිවිද දැකිය හැකි සම්මා සමාධිමත් සිතක් ඇතිවෙනවාය කියලා. ඒ සම්මා සමාධිමත් සිත උපයෝගී කරගෙන උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් නැවත නැවත නිවැරදිව පුහුණු කිරීමෙන් උපරිම වසර හතක් තුළ මේ වියරු භව හූනියම නිරෝධය කරන්න පුළුවන්ය කියලා.
පිංවත නිරෝධය කරන්න පුළුවන් දෙයක් අපි වගාකරලා, හරි හරියට ජාති, ජරා, ව්‍යාධි, මරණ අස්වැන්න සිත්සේ නෙළාගන්නවා. දැන් ඉතිං මරණයට පත්වෙලා, සුසාන භූමියට යනකොට තියලා යන්න හම්බ කළා හොඳටෝම ඇති, භව දුක ඇවිළවීම පසෙක තබා, භව දුකේ නිවීම ගැන සිතන්න. පිංවත සළායතනයෝ අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් විඳීමක් ඇතිවේද එය අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් හඳුනාගැනීමක් ඇතිවේ ද එය අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් සංස්කාරයක් ඇතිවේ ද එය අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් විඤ්ඤාණයක් ඇතිවේද එය අනිත්‍යයි. නාමරූප ධර්මයෝ අනිත්‍යයි.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමින් වහන්ස, සිංහල බෞද්ධකම ශක්තිමත් කරන්න නම් අපි කුමක්ද කළ යුත්තේ කියලා. පිංවත් ඔබට සිංහල බෞද්ධකම ශක්තිමත් කරන්න අවශ්‍ය නම් කරුණාකර ඔබ මුලින්ම කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. කල්‍යාණ මිත්රයෙකුට පමණක්මයි සිංහල බෞද්ධකම පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. කල්‍යාණ මිත්‍රයා කල්‍යාණ ධර්මයන් ශ්‍රවණය කරන කෙනෙක්. එම ධර්මයන් නුවණින් මෙනෙහි කරන කෙනෙක්. කල්‍යාණ මිත්‍රයා චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ තම ජීවිතය විසිරුවා දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය තම ජීවිතයට දරාගන්න කෙනෙක්. ඔහු තමයි සිංහල බෞද්ධකමේ ආරක්ෂකයා වෙන්නේ. පිංවත සිංහල බෞද්ධකම වේගයෙන් දුර්වල වෙනවා, කරුණාකර ඔබ සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. එය සිංහල බෞද්ධකමේ ආරක්ෂාව උදෙසා, මේ අඳුරු යුගයේදී, ඔබට කළ හැකි ශ්‍රේෂ්ඨම පිංකමක් වෙනවා. පංචනීවරණ ඔඩුදුවන ආවේගශීලීභාවය සහ ප්රචණ්ඩත්වය සිංහල බෞද්ධකම යැයි වරදවා වටහා ගන්න නම් එපා.
ගෙවී ගිය අඳුරු මාස කිහිපයේදී අනාගත මෘග සංඥාවේ බීජමය ලක්ෂණ අපි කොතෙක් නම් දැක්කාද. උතුම් මනුෂ්‍ය ධර්මයන් සෝදා පාළුවට යද්දී, වෛරය, පළිගැනීම අපි ආහාරයට ගත්තේ තළු මරමින්. අවසානයේ අපි සියල්ලෝම ලැබූ ජයග්‍රහණය වෙන්නේ අකුසලය පමණක්මයි. පිංවත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යන ලෝකයක, අපේ සමාජයේත් වෙනසක් සිදු වුණ බව ඇත්ත. ඒත් ඒ වෙනස කුසලයට අදාළව සිදු වූ වෙනසක් නම් නොවේ. අකුසලයේ තිඹිරිගෙයින් උපන් විකෘති උපතක්මයි. අපි වැපිරූ බීජයන්ට අදාළව අපිට අස්වැන්න ලැබිලා තිබෙනවා. නමුත් මේ ගෙවීයන්නේ රටට ලැබුණ අලුත් වෙනසේ ආශ්වාදනීය කාලයයි. කෙටි ආශ්වාදයෙන් පසුව එළඹෙන්නේ දීර්ඝ ආදීනවයයි කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පිංවත අපි අකුසලය හේතුවෙන් වැටුණොත්, නැවත අපිට නැඟිටින්න තිබෙන බාධක, ඔබට දැන් වැටහෙනවා නේද. අපේම වැරදි හේතුවෙන් ඇතිකොටගත් දේශීය සහ විදේශීය අසත්පුරුෂ අභියෝගයන්ට මුහුණ දෙමින්, අපිම කැපවීමෙන් නැගී සිටින්න වෙනවා. උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන, උතුම් සම්බුදු වදන සිහිනුවණින් දකිමින්, මෙම මානසික ව්‍යාධියේ දරුණුම රෝග ලක්ෂණය වෙන, මමත්වයේ දැඩිභාවය, යම් පමණකට හෝ අඩුකොටගෙන ඔබලා මාතෘභූමියේ හෙට දවස ගැන සිතිය යුතු වෙනවා. වර්තමානයේ මාතෘභූමියට ආවේගශීලිභාවයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, මර්දනයෙන් තොර මෛත්‍රියෙන්, පංච ශීලයෙන්, හික්මුණ වෙනසක් අත්‍යවශ්‍යම වෙනවා. ඔබේ මාතෘභූමිය සෙනෙහසින් බලාපොරොත්තු වෙන එම වෙනසට පිංවත් ඔබයි මුල් විය යුත්තේ. ඔබයි පූර්වාදර්ශකයා විය යුත්තේ. අද මාතෘභූමියට අවශ්‍ය ජනතාව මර්දනය කරන අණපනත් නොව, පංචශීලයේ ආරක්ෂාවෙන්, ජනතාවගේ විශ්වාසය දිනාගන්නා දේශපාලනයක් බව, වර්තමාන දේශපාලන නායක පිංවතුන් සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පසුගිය මාස කිහිපයේ රට තුළ සිදුවුණ බරපතළ ආර්ථික සහ දේපල විනාශයන්ට මුල්ම වගකිවයුත්තා වෙන්නේ ආවේගශීලි ජනතාව නොව, ජනතාව ආවේගශීලීභාවයට පත් කළ දුශ්ශීල දේශපාලනය බව අපි නිහතමානීව තේරුම් ගත්තොත් පමණක්මයි, අපිට නිවැරදි හෙටක් උදෙසා ආරම්භයක් ඇතිවෙන්නේ. පිංවත් දේශපාලන ඔබලා මේ දිග හරින්නේ අලුත් පිටකවරයක් සහිත පරණ නවකතාවම නම් මේ කතාවේ අවසානය මාතෘභූමිය තවත් මහා ජාත්‍යන්තර ණය උගුලක පටලවන බංකොලොත්භාවයම වෙන්න පුළුවන්. අපේ දේශපාලනය පුරුදුවෙලා තිබෙන්නේ අනාගත ඡන්ද පදනම උදෙසා ණයට අරගෙන සහනාධාර දෙමින් කන්න මිසක්, නිෂ්පාදනය දිරිමත් කරලා හම්බ කරලා කන්න නොවේ. පිංවත මේ සියල්ල හේතුඵල ධර්මයන්. භික්ෂුව මේ ඇඟිල්ල දිගු කරන්නේ ඔබට නොව ඔබේ අවිද්‍යාවටයි.