පිංවත, අනේ කරුණාකර, අවිද්‍යාවේ නින්දෙන් මාව අවදිකරන්න එපා. මට මේ සුවපහසු ඵස්ස සයනයේ, සුවසේ විඳීමේ සිහින දකිමින්, නිදාගන්න ඉඩදෙන්න. පිංවත් ඔබ තවමත් අවදියෙන් සිටියාට, මම කුමක් නම් කරන්නද. මා දකින මගේ සිහින, මගේ ම ජීවිතයයි. පිංවත නොඅවදිවී මා දකින සිහින මොනතරම් නම් ප්‍රනීතද. මගේ පුතාලා, මගේ දුවලා, මගේම බෑනලා, ලේලිලා, මගේම මුනුපුරු, මිනිපිරියන්, අනාගතයේදී කෝටිපතියන් වෙලා, ප්රකෝටිපතියන් වෙලා, අනාගතයේදී රජවරු සිටුවරු, සිටු දියණියන් වෙලා, පිංවත මේ අවිද්‍යාවේ සිහින දකින සුවබර නින්දෙන් මාව අවදිකරන්න එපා. මේ සුන්දර සිහින දකිමින්ම අනාගතයේ දවසක, අනේ මට සතර අපායේදීම අවදිවෙන්න ඉඩදෙන්න. පිංවත් ඔබ දන්නවාද සිහින අයිති කාටද කියලා. පිංවත ඔබ දකින සිහින අයිති ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවට. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස්වෙන අනිත්‍ය වූ විඳීම් මත රජ, සිටු, අනාගත සිහින මාළිගා තැනුවොත්, තෘෂ්ණාවේ උපාදානයෝ බරට බරේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින්ම ඵල බරවේවි.
පිංවත රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරී මහත්මයෙක් සිටියා. මේ රාජ්‍ය ආයතනය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවනට ගොඩාක් කොන්ත්‍රාත් වැඩ ලබාදෙන ආයතනයක්.
දිනක් මේ පිංවත් නිලධාරී මහත්මයා, තරුණ කොන්ත්‍රාත්කරුවෙකුට මෙහෙම කියනවා, ඔයා මේ වැඩේට ලක්ෂ විසිපහක්නේ ඉල්ලන්නේ, ඔයා ලක්ෂ තිස්පහක් මිල දමන්න, ලක්ෂ දහය මටය කියලා. ඉහත නිලධාරී මහත්මයා තම දීර්ඝ සේවාකාලයේදී ලබාදුන් පුංචි කොන්ත්‍රාත්තුවක් ගැන පමණයි භික්ෂුව සටහන් තැබුවේ. වර්තමානයේ මේ මහත්මයා විශ්‍රාම ගිහිල්ලා. දැන් ඒ මහත්මයා බරපතළ කර්ම රෝග කිහිපයකින්ම පෙළෙනවා. අතීතයේ හම්බකරපු ජනතාවගේ අයුතු සල්ලි, රෝහල් ගාස්තු ඖෂධ සඳහා ම වියදම් වෙලා. පිංවත මේ පිංවත් මහත්මයා රජයෙන් වැටුප් ලැබූ තම රාජකාරිය අවංකව ඉටුකළා නම්, ජනතාවගේ ධනය අයුතු ලෙස ලබානොගත්තා නම්, අනේ දෙවියනි, විශ්‍රාම වැටුපෙන් හොඳින් ජීවත්වෙලා සමහරවිට නිරෝගීව කවදාහරි මිය යන්න තිබුණා. ගෞරවනීය පිංවත කාමයේ කෙටි ආශ්වාදයක් තිබෙනවා. රූපයේ කෙටි ආශ්වාදයක් තිබෙනවා. ඒ ආශ්වාදය සංස්කාර හේතුවෙන්ම සකස්වෙන මායාවක්. අවිචාරයෙන්, තරගකාරීව, ජනතාවගේ හිස අතගාමින්, ජනතාවට සිනාසෙමින්, ජනතාවගේ මුදල්, ජනතාවගේ සැපය, ජනතාවගේ සතුට ගසාකන්න එපා. සංස්කාරයෝ විසිහතර පැයේම අවදියෙන්. අහිංසක ජනතාවගේ ධනය වංක සිතින් උදුරාගත්තොත්, ඔබේම වකුගඩු, ඔබේම අක්මාව, ඔබේම හෘදවස්තුව, පෙනහළු, කොටින්ම ඔබේ ශරීර අවයවයන්, ඔබ ජීවතුන් අතර සිටියදීම, ඔබේම අකුසල් සංස්කාරයෝ විසින් උදුරාගනීවී. පිංවත රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් දෙස සිහිනුවණින් බලන්න, අපේම අකුසල් සංස්කාරයෝ කර්මරෝග තුළින්, අපේම ශරීරයේ අවයවයන්, සැත්කම් තුළින් උදුරාගන්නා හැටි, ඒහිපස්සිකව විවෘතව පෙනෙනවා නේද. පිංවත කෙටි ආශ්වාදයේ ගොරහැඬි සිහින ලෝකයෙන් අවදිවෙන්න. තමන්ගේ රාජකාරිය උදෙසා ලැබෙන සාධාරණ වැටුපෙන් මධ්‍යම ප්‍රතිපදාවට අදාළව ජීවත්වෙලා, නිරෝගීව විශ්‍රාම සුවයෙන් ගතකරලා, සතුටෙන් දෑස් පියාගෙන සුගතියේ උපදින්න.
අද උදෑසන භික්ෂුවට විශ්‍රාමික රජයේ නිලධාරියෙක් මුණගැසුනා. ඒ මහත්මයාගේ වයස අවුරුදු අනූ එකක්. ඒ මහත්මයා බොහෝම නිරෝගිව කන්ද නැගගෙන ඇවිල්ලයි භික්ෂුව මුණගැසුනේ. ඒ පිංවත් විශ්‍රාමික මහත්මයා කියනවා, රජයට අයිති ශත පහක දෙයක් තමන් අරගෙන නැහැය කියලා. තමන්ට ලැබුණ සාධාරණ වැටුපෙන් පමණක් ජීවත්වෙච්ච රාජ්‍ය නිලධාරියෙක්. භික්ෂුවට විශ්වාසයි රජයට වංචා නොකළ මේ මහත්මයා කවදාහරි නිරෝගීව දෑස් පියාගන්නවාය කියලා. සියලු සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. ඒත් මේ නිසල රාත්‍රියේ, විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් වැඩුණු සිතින්, ජනතාවගේ මුදල් වංචා නොකළ සෑම ගෞරවනීය රාජ්‍ය සේවක පිංවතුන්ටම මෙත් සිතින් නිදුක් නිරෝගී සුවපත්භාවයම දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පිංවත් ඔබලාමයි මේ මාතෘභූමියට ආත්මගරුත්වය ලබාදුන් දෙවිවරු. සාධාරණව ධනය උපයන පිංවතාමයි මධ්‍යම ප්‍රතිපදාව ශක්තිමත් කරන්නේ. මධ්‍යම ප්‍රතිපදාව ශක්තිමත් වුණ තැනයි, ශාසන අර්ථයන් අර්ථවත්ව පෝෂණය වෙන්නේ. වැරදි ඉපයීම් තුළින් සමාජගතවෙන අසාධාරණ ධනය මධ්‍යම ප්‍රතිපදාව විකෘතියක් බවට පත්කරනවා. ගෞරවනීය සංඝ සමාජයේ අපිත් අපේම නමට තිබෙන කෝටි
ගණන් වටින වාහනවල යන්නේ, ප්‍රසිද්ධ බැංකුවල ඉහළ වටිනාකමැති ගිණුම් තිබෙන්නේ, අපේ මධ්‍යම ප්‍රතිපදාවට අකුණු ගසන නිසා නේද. ගෞරවනීය පිංවත මේ සටහන් විවේචනය සඳහා නම් නොවේ. පිංවත් ඔබට එහෙම සිතුනොත්, අනේ භික්ෂුව, ඔබෙන් දහස්වතාවක් සමාව අයදිනවා. පුංචි හෝ නිවැරදිවීමක් අපි ඇතිකොටගත්තොත් එය අපිටමයි. දැන් දැන් අපේ භික්ෂු සමාජයේත් ශරීර අවයවයන් කර්ම රෝග හේතුවෙන් සැත්කම් වලින් ඉවත්කරනවා වැඩියි නේද. මෙය සටහන් තබන භික්ෂුවගේ අතීත සංස්කාර විසින් හෙට දිනයේ කුමන ශරීර අවයවයක් මගෙන් උදුරාගනීද කියන්න භික්ෂුව දන්නේ නැහැ. අපේ අප්පේ භික්ෂුව නම් බොහෝම පරිස්සමින් ජීවත්වෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුවට රෝගී පිංවතෙක් කියන්නේ ඒහිපස්සික ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලාබ සත්කාරයෝ, අපේ ලෞකික ප්‍රඥාව විනිවිද ගිහිල්ල, ශීලයේ ශක්තිය විනිවිද ගිහිල්ලා, අපේ සමාධියේ ශක්තිය විනිවිද ගිහිල්ලා, ඉහත සියලු ධර්මයෝ පංචනීවරණයන්ගෙන් කුණු කරනවාය කියලා.
පිංවත බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වූවේ යන්නං වාලේ යන්න නොවේ. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ඔස්සේම යන්නයි. අපි උපන් මාතෘභූමිය කියන්නේ අපි හැමෝගේම පළමුවෙනි අම්මා. ඒ මාතෘත්වයේ පළමුවැනි අම්මාගේ රැකවරණය තුළයි, අපිට මව්කිරි දුන් දෙවැනි අම්මා පෝෂණය වුණේ. පිංවත මේ කෘතවේදී මනුෂත්වයෙන් අපේම පිනට අපිට ලැබුණ මේ මාතෘභූමිය නමැති අපේම පළමුවැනි අම්මා, සොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන්, කෙලසා දමන්න, මරා දමන්න එපා. අපේම දෙමාපියන් මරාදැමීම ආනන්තරීය පාපකර්මයක්. අපේම මාතෘභූමිය මරාදැම්මට යමෙක් හේතුකාරණා සකස්කරයිද එය අපායගාමී බරපතළ අකුසලයක්ම වේවි. පිංවත තමන් පෙර පිනට උපන් මාතෘභූමිය සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් කෙලෙසන්නා, මරණාසන්න මොහොතේ ඉන්ද්‍රීය අසංවරභාවයෙන් මියපරලොව ගොස්, යම් හෙයකින් මනුෂ්‍යයෙක්ව ඉපදුනොත්, ඔහු උපදින්නේ, රටක් අහිමි ජනතාව වෙසෙන සරණාගත කඳවුරක් තුළමයි. සද්ධර්මය ශ්‍රවණය නොකරන්නා, අසද්ධර්මය සමග සතුටින් දීග කන්නේ, කිරියි පැණියි වගේ සමගියෙන්මයි.
මේ දවස්වල අසද්ධර්මයේ මනමාල මනමාලියෝ වැහි වැහලා. මඟුල් කපු මහත්වරු අවශ්‍ය නැහැ මනමාලියක් සොයාගන්න. ලැජ්ජාව භය වේගයෙන් ප්‍රපාතයට යන සමාජයක අපි ජීවත්වෙන්නේ. අසද්ධර්මයේ මනමාලියන් දෙස පිළිකුලෙන් බලන ධනවත් ව්‍යාපාරික මහත්මයෙක්, භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, රටේ දේශපාලනය කරන යම් පිංවතෙක් මුණගැසුනොත්, ඔහු මුලින්ම අහන්නේ, අපි දෙදෙනාට එකතුවෙලා කරන්න “ඩීල්” එකක් නැතිද කියලාලු. සිහි නුවණින් බලන්නකෝ අසද්ධර්මයේ මනාලියෝ කෑම මේසයේදිත් නිරුවත්වෙන අපූරුව. පිංවත ඔබ මේවා දැකලා දුක්වෙන්න එපා. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි, නුවණින් දකින්න. ලෝකය කොතැනකවත් වැරදි නැහැ. ඔබ මේ දකින්නේ ධර්මයමයි. ඒ ලස්සන ධර්මය හදවතින් නොව, නුවණින් ජීවිතයට එකතුකොටගන්න. ඒ ලස්සන ධර්මය නුවණින් දකිද්දී, ඔබට තනිකමක් දැනෙන්නේ නැහැ. උපේක්ෂාවේ සතිය සිහිය තුළින් උපදින, සප්තබොජ්ජංගයෝ, මාතෘ භාර්යාවක් සේ ඔබ අසලම සෙනෙහසින් සිටිනවා. පිංවත මොහොතක් මේ සටහනින් නෙතු මෑත්කොට දෑස් පියාගන්න. සියලු කුසල් සහ අකුසල් සංස්කාරයෝ, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය යැයි නුවණින් දකින්න. සප්තබොජ්ජංගයෝ මාතෘභාර්යාවක් සේ ඔබේ ඵස්සයේ දැවටෙන් හැටි පෙනෙනවා නේද.
පිංවත රූපය, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන් කැඩෙන, බිඳෙන, විසිරෙන වීම, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයත් කැඩී, බිඳී විසිරී යනවා. පිංවත කැඩී, බිඳී, විසිරී යන ලෝකයෙන් ඔබ පලායන්න එපා. මුලින්ම ඔබ ලෝකයට ඔරොත්තු දෙන්න. ලෝකයට ඔරොත්තු දීමේ ශක්තිය ඔබට ලබා දෙන්නේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයයි. ලෝකයෙන් පලා නොගොස්, දෙවැනිව ලෝකයට ඔරොත්තු දී, තෙවැනිව ලෝකය විදර්ශනා නුවණින් නිරෝධය කරන්න. පිංවත අධ්‍යාත්මික රූපය සතරමහාධාතුවක් පමණක් නිසාම, ඵස්සයට අවිද්‍යාවේ ආහාර නොදුන්නොත් ජීවිතය හරි නිහඬයි. ශීතල ගත දැවටෙන මේ නිසල රාත්‍රියේ භික්ෂුවට ඇසෙන්නේ ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ පමණක්මයි. ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ තුළින්, භික්ෂුව, තමාගේ උපාදානය නමැති තත්පර කටුව, භවාත්‍රය වටා දුවපු හැටි නුවණින් දකිනවා. සැබැවින්ම අපේ ජීවිත කියන්නෙත් ඔරලෝසුවක්. තෘෂ්ණාවෙන් උපදින උපාදානයෝ, භවාත්‍රය වටා, පටිච්චසමුප්පන්නව දුවනවා.
පිංවත ඔබ අතීත භවගමනේ මොනතරම් දීර්ඝ ගමනක් පටිච්චසමුප්පන්නව දුවලා තිබෙනවාද. ඒත් පොඩ්ඩක්වත් හති නැහැනේ. මහ පාරේ කිලෝ මීටරයක් දුවද්දී හති වැටෙන අපිට, භවාත්රයේ කල්ප ගණන් පටිච්චසමුප්පන්නව දුවලත් වෙහෙසක් නැහැනේ. පිංවත මොහොතක් ඔබේ ඵස්සය විවෘතකොට නුවණින් බලන්න. ඔබේ ඵස්සය අවිද්‍යාවේ ශීතලෙන් වායුසමීකරණය කරලා නේද තිබෙන්නේ. ශීතල කාමරයකින් උපදින, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙසේ නම් වෙහෙසක්, උණුසුමක් දෙන්නද.
පිංවත අවිද්‍යාව සිතන හැටිනම් හරිම කැතයි. ඔබටත් සිතුනද කොරෝනා රෝගයෙන් ජනතාව සුවපත්වෙලා, රට යළි කිරියෙන් පැණියෙන් උතුරාවි කියලා. ඔබටත් සිතුනාද කොරෝනා රෝගයෙන් රටේ පවුකාරයන් සියල්ලෝම මැරිලා, පින්වන්තයින්ගෙන් රට යළි සෞභාග්‍යයේ හිනිපෙත්තටම යයි කියලා. පිංවත් ඔබ ඉහත මෝහයේ බලාපොරොත්තු තවදුරටත් දරාගෙන සිටින්නේ නම්, ඔය රෝගයට කියන්නේ සක්කායදිට්ඨියේ මානසික ව්‍යාධිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමාට වඩා දැනුමෙන් තේරුමෙන් වැඩි කෙනෙක් ඇසුරු කරන්නය කියලා. එහෙම කෙනෙක් ඇසුරට නැතිනම් තමා හා සම කෙනෙක් ඇසුරු කරන්නය කියලා. තමා හා සම කෙනෙක් ඇසුරට නැතිනම්, හුදකලාව ජීවත්වෙන්නය කියලා. ඉහත සම්බුද්ධ දේශනාවට ඔබ කැමති නැත්නම්, පරාජයන්ම බලාපොරොත්තු වෙන්නය කියලා.