පිංවත, භික්ෂුව මේ දිනවල වැඩසිටින්නේ, විදුලි ආලෝකය තිබෙන කුටියක. පැය දෙකක් පමණ විදුලිය විසන්ධිවෙලා තිබිලා, දැන් තමයි ආලෝකය ලැබුණේ. පිංවත් ඔබටත් මේ විදුලි කප්පාදුවේ අත්දැකීම නිතරම ලැබෙනවා නේද? පිංවත විදුලිය නැති වෙලාවට තමයි, ප්‍රඥාවේ ආලෝකයේ අගය දැනෙන්නේ. පිංවත් ඔබ ළඟ ප්‍රඥාවේ ආලෝකය නැති වුණොත්, විදුලිය කැපිල්ල ඔබේ සංස්කාර ගිණුමට අකුසලයේ ආලෝකයක්ම වෙනවා. පිංවත බලවත් අතීත අකුසල් විපාකයට පැමිණෙන මේ මොහොත, අනුනට බණින මොහොතක් නොවේ. වැරදි කළ අනුන් තුළින්, අපි නිවැරදි වෙන මොහොතක්. පිංවත අද ඔබ ඇතිකොටගන්නා වූ කුසල් සිතයි, හෙට දින ඔබගේ ජයග්‍රහණය වෙන්නේ. අද ඔබ ඇතිකොටගන්නා වූ අකුසල් සිත, හෙට දින ඔබේ පරාජයම වේවි. පිංවත අපි ඉපදුනේ දිනන්න හෝ පරාජය වෙන්න නොවේ. අනිත්‍ය වී යන ජය සහ පරාජය තුළින්, අවිද්‍යාවට තිත තබන්නමයි.
පිංවත, රාජ්‍ය කළමනාකාරිත්වයේ දුර්වලභාවයන් හේතුවෙන්ම, මතුකොටදුන් මේ විදුලි කප්පාදුව තුළින්, පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේව දකින්න. උතුම් ධර්මරත්නය දකින්න. පිංවත භික්ෂුව නැවතත් සටහන් තබනවා, අද ඔබ මතුකොටගන්නා කුසලයමයි, හෙට ජාතියේම ජයග්‍රහණය වෙන්නේ. පිංවත් ඔබ කෙසේද විදුලි කප්පාදුව තුළින් බුදුරජාණන් වහන්සේව සහ උතුම් ධර්මරත්නය දකින්නේ. පිංවත විදුලි කප්පාදුව තුළින් ධාතුමනසිකාරය මතුකොට දකින්න. පිංවත ජලවිදුලි බලාගාර සහ ඩීසල් බලාගාර, මේවාට අවශ්‍ය කරන සියලුම ජලය, ඩීසල් ඇතුළු අමුද්‍රව්‍යයන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහාධාතුන්මයි. මේ විනාශයන්ට වගකිවයුතු සියලුම පිංවතුන්ලාගේ රූපයන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතරමහාධාතුන්මයි. පිංවත විදුලි කප්පාදුවෙන් පීඩාවිඳින ඔබගේ රූපයන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහධාතුන්මයි. පිංවත මොහොතක් දෑස් පියාගෙන, කර්මය කර්මඵල විශ්වාසය සිහියට නඟාගන්න. ඒ සිතුවිල්ල සකස් වූ ඔබගේ රූපයන්, සතරමහාධාතුන් හැටියටම දකින්න. ජලය, ඩීසල්, විදුලිය සහ පීඩාවට පත්කරන සහ පීඩාවිඳින, පිංවත් ජීවිත සියල්ලම ධාතුමනසිකාරය තුළම, විසිරුවා අනිත්‍ය යැයි දකින්න. පිංවත විදුලි කප්පාදුව තුළින් ධර්මය මතුකොටගන්න. එවිට ඔබේ සිත ප්‍රඥාවෙන් ආලෝකවත් වේවි. පිංවත දැන් ඉතිං දෑස් ඇර, ඔය වාඩිවෙලා සිටින ආසනයෙන් නැඟිටලා, කාමරයේ විදුලි ස්විචය ළඟට ගිහිල්ලා, එය නිවාදමන්න. පිංවත ධාතු මනසිකාරයෙන් විකසිතවූ ඔබේ විදර්ශනා ප්‍රඥාව ඉදිරියේ, දැන් ඉතිං ඔබට මොන අඳුරක්ද. පිංවත හදවතින්ම සාදු, සාදු කියන්න. මෙයයි ධර්මයේ ස්වක්ඛාත ගුණය.
පිංවත මීදුම පරිසරයේ අකීකරුකම් කළ අද උදෑසන, භික්ෂුව පිණ්ඩපාතය කරගෙන කුටියට පෙරළා වඩින ගුරු පාරේදී, ගමේ මැදිවියේ මහත්මයෙක්, කිලෝ විසිපහක් පමණ බරැති පුවක් ගෝනියක් කර තබාගෙන නගරයේ පොළට යනවා. එම ගොවි මහත්මයාගේ මුහුණේ තිබුණ ඉරියව්වලින්, එම පුවක් ගෝනියේ බර, භික්ෂුවටත් දැනුනා. මේ ගොවි මහත්මයා පෙර අවස්ථා දෙක තුනකදීම භික්ෂුවට පිණ්ඩපාතය පූජා කළා. භික්ෂුවට හොඳටෝම විශ්වාසයි මේ ගොවි මහත්මයා, මේ කර තබාගෙන යන පුවක් ගෝනිය විකුණලා ගන්න මුදලින්, භික්ෂුවට හෙට දින යම් පිණ්ඩපාතයක් පූජාකරනවාය කියලා. පිංවත මේ අහිංසක මනුෂ්‍යයෝ අපිට දන් පූජා කරන්නේ, කරෙන් බර ඇදලා, කයෙන් දහදිය වගුරුවලා, දෙපයින් ගස් නැගලා. මේ ඇත්ත නිසාමයි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට තිබෙන්නේ, දුශ්ශීලව නම් පිණ්ඩපාතය පිළිගන්න එපාය කියලා. බත් කටක්, ගිනි නිරයක් කරන්න, දුශ්ශීලභාවයට පුළුවන්. පිංවත ඔබ තවමත් සිනාසුනාට, ඔබ තවමත් සතුටු වුණාට, ඔබ තවමත් ද්වේශ කළාට, විවේචනය කළාට, පංචඋපාදානස්කන්ධ ලෝකය හරිම බියකරුයි. දෑස් දෙක පියාගනිද්දී භික්ෂුවට පෙනෙන්නේ මහා ගිනි ජාලාවක්. පිංවත මේ භව ගින්න, මේ නිමේෂයේදිත් ඔබ අවුළුවන්නේ, ඔබේම තෘෂ්ණාවෙන්.
භික්ෂුව මේ මොහොතේ වැඩසිටින ගමේ ප්‍රාථමික පාසලක් තිබෙනවා. දරුවෝ තිස්පහක් ඉගෙනගන්නවලු. භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාරෙදි පුංචි දරුවෝ හත්, අට දෙනෙක්ම ගෞරවයෙන් භික්ෂුවට වන්දනා කරනවා. මේ පුංචි දරුවන්ගේ වන්දනාවන් දකිද්දී, ශාසනයේ හෙට දවස ගැන සතුටක් ඇතිවෙන්නේ. ඒත් පුංචි දරුවන් අපිට ලබාදෙන ඒ සතුට, අපේම වැඩිහිටි දේශපාලනඥයින් වරින් වර අපෙන් උදුරගන්නවා. දුප්පත්, අහිංසක පුංචි දරුවන්ගේ මුහුණු පොඩි දකිද්දී, ඒ පුංචි ජීවිතවලට භික්ෂුවකට දෙන්න තිබෙන්නේ, විදර්ශනාමය මෛත්‍රියේ සතුට පමණක්මයි. අද දවසේ පිංවත් දරුවන් ලබනා මේ සතුට, අනාගතයේ යම් දවසක්, මෛත්‍රිය නොහඳුනන ලෝකය විසින්ම, ඔබලාගෙන් යළි උදුරාගනිවි. පුතේ, සංස්කාර ලෝකය දුප්පත් ඔබටත්, භික්ෂුවටත් බෙදෙන්නේ එකම හැන්දෙන්මයි. එපා ලෝකයට වෛර කරන්න. දරුවනේ එපා ලෝකයට ආදරය කරන්න. එවිට ඔබ තුළ හේතුඵල ධර්මයන් දකින ධර්මයේ උපේක්ෂාව උපදීවි. පුංචි දරුවන්ට සිතන්න පුළුවන්ද, ඇයි භික්ෂුව ඔබට ලෝකයට ආදරය කරන්න එපා යැයි, සටහන් තැබුවේ කියලා. අහිංසක ඔබ ලෝකයට ආදරය කරන්නට ගියොත්, ලෝකයෙන් පෙරළා ඔබට ඒ ආදරය නොලැබෙද්දි, පුංචි සිත් යළි රිදේවි. ඔබලාගේ පුංචි සිත් රිදවන්න බුදුරජාණන් වහන්සේ කවදාකවත් කැමති වුණේ නැහැ. ඒ නිසාමයි ධර්මයේ උපේක්ෂාවම ඔබට මතුකොටදෙන්නේ. පුංචි චුල්ලපන්තක හාමුදුරුවෝ, බුදුරජාණන් වහන්සේට පුංචි කමට කියනවා, භාග්‍යවතුන් වහන්ස, මම පැවිදිවුණේ බුදුරජාණන් වහන්සේ උදෙසාමයි කියලා. බුදුරජාණන් වහන්සේව විශ්වාස කරපු චුල්ලපන්තක පුංචි හාමුදුරුවන්ට වැරදුනේ නැහැ. පුංචි දරුවනේ ඔබලාත් බුදුරජාණන් වහන්සේ උදෙසාම ජීවත්වෙන්න. පිංවත් දරුවන්ට කවදාකවත්ම වරදින්නේ නැහැ. පිංවත අපිට, අපි මෙසේ මුණගැසෙන්නේ අපේම අතීත සංස්කාරයන් නිසාමයි. ඒ අතීත සංස්කාරයන් හේතුවෙන්ම, ඔබ භික්ෂුවගෙන් සතුටුවෙද්දි, භික්ෂුව ඔබගෙන් ධර්මයේ හේතුඵල ධර්මයන්ම දකිනවා.
පුංචි දරුවනේ, ඔබලා ලස්සන මලක් වගේමයි. පැහැය, මටසිළුටුබව, ලස්සන ඒ මලේ හරිම අගේට තිබෙනවා. ඒත් පුංචි ඔබ පෙනුමෙන්, මලක් වගේ වුණත් පුංචි ඔබගේ ඵස්සය නම් මලක් වගේ යැයි භික්ෂුව කියන්නේ නැහැ. ඔය පුංචි සිත්වල ඇලීම් සහ ගැටීම් නිරතුරුව ම ඇතිවෙනවා. හිරු එළියට විකසිතවී, හිරු අවරට හැකිලී යන නෙළුමක් සේ, පුංචි සිතත් ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් තුළින් පංචඋපාදානස්කන්ධ ලෝකය සංස්කාරයන්ගෙන් පෝෂණය කරනවා.
පිංවත මස් මාංශ වෙළඳාමෙන්, මත්වතුර වෙළඳාමෙන්, අවි ආයුධ, වස විස වෙළඳාමෙන්, මනුෂ්‍ය සහ සත්ව වෙළඳාමෙන්, වැළකී ජීවත්වීම, තරුණ වැඩිහිටි පිංවතුන්ලාගේ සම්මා ආජීවය වෙනවා. පිංවත් කාන්තාවන්ගේ ශරීරය විකුණා ජීවත් වීමත්, මනුෂ්‍ය වෙළඳාමක් බවටයි පත්වෙන්නේ. වර්තමානයේ සම්බාහන ආයතන නාමයෙන් බහුතරයක් සිද්ධවෙන්නේ මිච්චා ආජීවයන්. පිංවත ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තරුණ වැඩිහිටියන්ගේ ලෝකය ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පුංචි දරුවන්ටත් දේශනාකළ සම්මා ආජීවයක් තිබෙනවා. පුංචි ඔබ දන්නවද ඔබගේ සම්මා ආජීවය කුමක්ද කියලා. ඔබලාගේ පිංවත් දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, කීකරුභාවයෙන් ඒ අය සතුටුවෙන ආකාරයෙන් අධ්‍යාපනය ලැබීම. ඔබ ලබන අධ්‍යාපනය ආත්මාර්ථකාමීභාවයෙන් නොව, පරාර්ථකාමී ධර්මයන් තුළින් පෝෂණයකොට ගැනීම සහ ඔබ ලබන අධ්‍යාපනය කෙරෙහි ඇතිකොටගන්නා වූ අලසභාවයන්ගෙන් දුරුවීම, පිංවත් දරුවන්ගේ සම්මා ආජීවය වෙනවා. පිංවත් දරුවන් නම් ළමා ජීවිත තුළින් පෝෂණය කොටගන්නා ඉහත සම්මා ආජීවයමයි, එම දරුවා අනාගතයේ තරුණ, වැඩිහිටිභාවයන්ට පත්වී, තමා උගත් අධ්‍යාපනයෙන්, ශිල්වත්ව ධනය උපයන, සැබෑම සම්මා ආජීවයට යොමු කරන්නේ.
පිංවත් දරුවන් ළමා ජීවිතයේදි තම ආදරණීය දෙමාපියන්ව, ගුරුවරුන්ව, වැඩිහිටියන්ව සතුටු නොකරන ආකාරයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ නම්, තම අධ්‍යාපනය දුර්වලකොටගන්නේ නම්, ළමා වයසේදී, වැඩිහිටියන්ට අදාළ දේවල් සිදුකරන්නේ නම්, එයම දරුවාගේ මිච්චා ආජීවය වෙනවා. මේ අදක්ෂ පිංවත් දරුවාගේ ළමා මිච්චා ආජීවයමයි, එම දරුවා තරුණ වැඩිහිටිභාවයන්ට පත්වූ පසුව, බුදුරජාණන් වහන්සේ එපා යැයි, අපිට පනවා ඇති, සැබෑම මිච්චා ආජීවයන්ට යොමුකරන්නේ. පුංචි ලස්සන දරුවන්, පුංචි මල් වයසේදීම ළමා මිච්චා ආජීවයන්ට යොමුවෙන්න එපා. ළමා මිච්චා ආජීවය විසින් හරි, වැරදි, හොඳ, නරක, යහපත, අයහපත, ඔබට තේරුම්කොටදෙන, සම්මා සතිය ඔබෙන් උදුරාගන්නවා. එවිට පිංවත් ළමා ඔබ ළඟ ඉතිරිවෙන්නේ, තෙරුවන් සරණ දුර්වල වී උපදින, පංචනීවරණ ගොඩක් පමණක්මයි.
පිංවත නවීන විද්‍යාව විසින්, තාක්ෂණය විසින්, අතීතයේ දුරස්ථව තිබූ ලෝක සිතියමේ ලෝකය, වර්තමානයේ එකම ගම්මානයක් බවට පත්කොට තිබෙන බව ඇත්ත. එම විශ්ව ගම්මානය අනාගතයේදි එකම “විශ්ව නිවසක්” බවට පත්වෙන බවත් ඇත්ත. මේ ඇත්තට එකම හේතුව ජනතාවගේ පිනයි. ලෝකය නිදහසේ ඉක්මනට විඳින්නට ජනතාව සතු පිනයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදී, ඔබ අද අත්විඳින විශ්ව ගම්මානයත්, හෙට ඔබ අත්විඳින විශ්ව නිවසත්, උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් හේතුඵල ධර්මයන් හැටියට දැක්කා. ඒ වගේමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අතීතයේ දැක්ක තවත් දෙයක් තිබෙනවා. ඒ දෙය තමයි දුරස්ථව තිබූ ලෝකය, තාක්ෂණික දියුණුව විසින් මුලින්ම විශ්ව ගම්මානයක් බවට පත්කරලා, දෙවැනිව තාක්ෂණය විසින්ම එකම විශ්ව නිවසක් බවට පත්කරලා, තෙවැනිව, නවීන තාක්ෂණය විසින්ම එකම නිවසක් බවට පත්කරපු පුංචි ලෝකය, නවීන තාක්ෂණයේම පුංචි නිෂ්පාදනයක් තුළින් දවා අළුකොට දමනවා. පිංවත ඔබ දේවත්වයෙන් පුදන ඔබේ ආදරණීය නවීන තාක්ෂණයත්, බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහාකරුණා ගුණයත්, අතර පරතරය විනාශයත්, නිවීයෑමත් අතර පරතරයක්ම නේද? පුංචි ලස්සන, පිනැති, දරුවනි, ඔබලාගේ සම්මා ආජීවයමයි, මේ වියරු විනාශය දිනකින් හෝ අපෙන් ඈත් කරන්නේ.