පිංවත, ඇවිළෙන ගින්නට තව තව පිදුරු දමන්න එපා. ඇවිළෙන ගින්නට තව තව පිදුරු දැම්මොත්, ගින්න නිවාගන්න නම් හම්බවෙන්නේ නැහැ. පංචඋපාදානස්කන්ධ ලෝකයට තෘෂ්ණාවේ ගින්දර කියන්නේ හරිම ප්‍රනීත ආහාරයක්. පිංවත් ඔබ මේ මොහොතේ අසිහියෙන් සිටියොත්, ඔබේ අවිද්‍යාවෙන් තෙත් වූ ඵස්සය, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ප්‍රනීත ගින්දර ම සොයා ගෙන යාවි. පිංවත, ඔබව යමෙක් කායිකව හෝ මානසික්ව පීඩාවට පත්කරනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙහෙම සිතන්නය කියලා. අනේ, මම මේ විදුලිය නැතුව, ගෑස් නැතුව, ඞීසල්, පෙට්‍රල් නැතුව, අතේ සතේ නැතුව දුක්විඳින්නේ, මේ රූපය ඉපදුණ නිසාමයි. අනේ, මම පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදී, පිරිනිවී ගියා නම්, අවම වශයෙන් ගිය ජීවතයේදී මම උතුම් සෝවාන්ඵලයට පත්වුණා නම් මම මේ ජීවිතයේදී මේ දුක විඳින්නේ නැහැනේ. පිංවත, ඔබ විඳින මේ වර්තමාන දුකට වරදකරුවන් කවුදැයි සොයන්න එපා. මේ සියල්ලම අතීතයේ සිට කවදත් පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ තිබුණ, දුකේ නෂ්ටාවශේෂයන්. මේවා අලූත් දේවල් නොවේ. මේවා අවිද්‍යාවේ පුරාවස්තුයි. ගෞරවණීය පිංවත, ඔබ වර්තමානයේ විඳින දුකට සැබෑ ම හේතුව, ඔබේ ම උපාදානයන් හේතුවෙන් ඔබ ම ඇතිකොටගත් භව තෘෂ්ණාවමයි.
පිංවත, ඔබේ ඔය ලස්සන රූපය අතීතයේ යම් දවසක උපත ලැබුවා ද ඒ ඉපදුණේ චූටියෙක් හෝ චූටි පැටියෙක් නොවේ. ඒ ඉපදුණේ දුකක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝක පරිදේවයක්. කොටින්ම පංචඋපාදානස්කන්ධ දුකක්. අනේ, අනේ, අපේ ම තෘෂ්ණාව හේතුවෙන් දුකක් උපදවාගෙන, අපි අපේ දුකට, අනුනට බැන බැන සිටිනවා. පිංවත, මාරයා අවිද්‍යාවේ වර්තමානයේ මෙට්ට මත අකුසලයේ බඩපිනුම් ගැසුවත්, මේ නිමේෂයේ දී පිංවත් ඔබට සුන්දර අවස්ථාවක් ලැබිලා තිබෙනවා. දුකට තවදුරටත් කතන්දර නොකියා, දුක සහ සැප දෙකේම ඇත්ත හඳුනාගන්න. පිංවත, වර්තමාන සමාජයේ ආර්ථික ප්‍රශ්න නිසා ම ජනතාව දුකට ගොඩාක් කතන්දර කියනවා. මේ සමාජය දුක ගැන කියන කතන්දරවලට බුදුරජාණන් වහන්සේ කියන්නේ, සැපයේ ආදීනවය කියලා. බලන්නකෝ අවිද්‍යාවේ තිබෙන සටකපටකම. සැපය කියන කාසියේ ම අනික් පැත්තේ, සැපයේ ආදීනවයවන දුකත් තිබෙනවා. ගෞරවණීය පිංවතුන,ි පසුගිය අවුරුදු හතළිහක පමණ කාලයක සිට ලෝකයට ණය වෙවී, ජාතික සම්පත් විකුණ විකුණා, රාජ්‍ය ධනය, සොරකම් කරමින් සැප වින්දා නේද? අනුවණකමේ මහත කියන්නේ, තවමත් අපි දුකෙන් මිදෙන්න හදන්නේ, නිෂ්පාදනයක් නොකර ණයට අරගෙන ජීවත්වෙලා ම නේද? පිංවත මේ ඔබ දකින්නේ අවිද්‍යාවේ ලෝකයයි. අතීතයේ පටන් අවිද්‍යාවේ ලෝකයට උරුම පුරාවස්තු නටබුන්මයි. පිංවත, මේ නොහැදෙන අවිද්‍යාවට, තවදුරටත් ඔබ කතන්දර කියන්න එපා. විද්‍යාව ඔබෙන් තවදුරටත් ඈතට යාවි. අවිද්‍යාවේ ලෝකය හදන්න බැරි ලෝකයක්. නොහැදෙන ලෝකයක්. අතීතයේ බුදුරජාණන් වහන්සේ ලක්ෂ ගණනක් පහළ වෙලත්, නොහැදුන ලෝකයක්. භික්ෂුව මේ සටහන තබන්නේත් ලෝකය හදන්නට නොවේ. නොහැදෙන ලෝකයක් තුළ, ඔබට හැදෙන්නට මඟකියන, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසාමයි.
පිංවත, මහරහතුන් වැඩි මඟ ඔස්සේ ඉරිදා දිවයින සංග්‍රහයේ ලිපි පෙළින් මීට වසර දෙකකට පෙරාතුව භික්ෂුවත්, පිංවත් ඔබව දැනුවත් ්කළා, මේ මාතෘභූමියට විනයගරුක නායකයෙක් අවශ්‍යයි කියලා. භික්ෂුව එහෙම කළේ සම්මාසම්බුද්ධ ශාසනයේ හෙට ගැන සිතලා. බුදුරජාණන් වහන්සේ නිරතුරුව ම කොසොල් රජතුමාට, බිම්බිසාර රජතුමාට, අජාසත්ත රජතුමාට ධර්මයෙන් උපකාර කළේ, ශාසනයේ ප්‍රවර්ධනය උදෙසා ශක්තිමත් ධාර්මික රජවරුන්ගේ උපකාරයන් අත්‍යවශ්‍ය නිසාමයි. ඉහත අවශ්‍යතාවය මීට වසර දෙකකට පෙරාතුව අපි හැමෝටමත් තිබුණා. ඒ නිසාමයි, ගෞරවණීය මහා සංඝරත්නය, බහුතරයක් පිංවත් ජනතාව, මාතෘභූමියට විනයගරුක ධාර්මික නායකයෙක් බලාපොරොත්තු වුණේ. ඒ වන්දනීය අරමුණ වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නය, පිංවත් ජනතාව, පිරිත් දේශනා කළා, මෙත් වැඩුවා, පිංකම් සිදුකළා, සත්‍යක්‍රියා සිදුකළ. මේ සියල්ලේම අහිංසක බලාපොරොත්තුව වුණේ මාතෘභූමියට විනගරුක ධාර්මික නායකයෙක්. පිංවත් ජනතාව තුළින් මෝදුවුණ ශක්තිමත් පින නිසා ම, ජනතාවගේ අහිංසක ප්‍රාර්ථනාවන් තුළ තිබුණු මනුෂ්‍යත්වය නිසා ම, පිංවත, මීට වසර දෙකකට පෙරාතුව සියයට හැට නවයක බහුතර කැමැත්තකින් මාතෘභූමියට හිතැති පිංවත් නායකයෙක් ලැබුණා. එම ජයග්‍රහණය, ජනතාව තුළ වැඩුණා. පිනේ ඒහිපස්සික ගුණයක්. එම පත්වුණ පිංවත් නායකයා විනයගරුක නායකයෙක්, සොරකම් නොකරන නායකයෙක්. ගෞරවණීය පිංවත, ඔබේ පිනැති චේතනා එදා අපතේ ගියේ නැහැ. ඔබට, රටට. විනයගරුක, ධාර්මික පිංවත් නායකයෙක් ලැබුණා. ඒත් එම නායකයා තම පිනේ ආස්වාදය නිසා ම, කාරණා තුනකින් දුර්වල වුණා. එම නායකයා දුර්වල වුණ කාරණා තුන තමයි, ) කල්‍යාණමිත්‍ර ආශ්‍රය, ) සද්ධර්ම ශ්‍රවණය, ) නුවණින් මෙනෙහි කිරීම. ඉහත සම්මා සම්බුද්ධ භාෂිතයන් තුනෙන් තොරව, කෙලෙසක නම් අපි, සැප ලැබීමේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුකොටගන්නද? මෙම සටහන් මෙත් සිතින්මයි, අවශ්‍ය නම් නිවැරදි වීම උදෙසා භික්ෂුව සටහන් තබන්නේ. වැරදි වැටහීමකින් භික්ෂුවට වෛරකරන්න නම් එපා.
මෙය සටහන් තබන භික්ෂුව කවදාකවත්ම කල්යාණමිත්රයා හැටියට කතරගම දෙවියන්, කාලි මෑණියන් හෝ වෙනත් පිංවන්ත දෙවිකෙනෙක් ඇසුරු කළේ නැහැ. භික්ෂුව කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ ධර්මයන් හැර, දෙවොල් බිමක හිඳගෙන දෙවියන්ගේ අනුශාසනාවන් ශ්‍රවණය කළේ නැහැ. භික්ෂුව ඒ දේව අනුශාසනාවන්, අනුවනින්ම මෙනෙහි කළෙත් නැහැ. භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ උතුම් කල්‍යාණමිත්‍රභාවය තුළ, උන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් කල්‍යාණ ධර්මයන්මයි සිතුවිල්ලෙන්, සිතුවිල්ල නුවණින් මෙනෙහිකළේ. පිංවත, මේ උතුම් ධර්මයෝමයි භික්ෂුවට, මේ සියලූ පංචඋපාදානස්කන්ධ ගිනි ඉදිරියේ, නොසැලී නොබියව අපරාජිතව බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකත්වය තුළ ශක්තිමත් කළේ. පිංවත, මේ උතුම් ධර්මයෝ තවමත් ජීවමානයි. කරුණාකර අප්රමාදී වෙන්න.
රටක් කරවන රජයක් දක්ෂ වියයුතුයි, පිංවත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර, සාධාරණ මිලකට ලබාදෙන්න. ජනතාවගේ ආදායම් ලබන මාර්ග දුර්වල නොවී, පවත්වාගෙන යන්න. පිංවත් ඔබ දන්නවා ද ඉහත කාරණා දෙක, සමාජය තුළින් දුර්වල වුණොත්, සිදුවෙන ලොකු ම අනතුර කුමක්ද කියලා. පිංවත, ඉහත කාරණා දෙක දුර්වල වුණොත්, සිදුවෙන ලොකු ම අනතුර කුමක්ද කියලා. පිංවත, ඉහත කාරණා දෙක දුර්වල වුණොත්, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, මුස්ලිම් වේවා මේ සෑම ජනතාවකගේම දන්දීමේ ශක්තිය දුර්වලවෙලා යනවා. ජනතාවගේ දන් පූජා කිරීමේ ශක්තිය දුර්වල වී යෑම නිසා ම, සමස්ත ජනතාවගේ ම, ආයුෂය, වර්ණය, සැපය, බලය දුර්වලවෙලා යනවා. ආයුෂය, වර්ණය, සැපය දුර්වල වීම නිසා ම සමස්ත ජනතාව ම, විශේෂයෙන්ම දරුවන් රෝගීභාවයන්ට, මන්දපෝෂණීය තත්ත්වයන්ට පත්වේවි. ගර්භිණී මවුවරුන්ගේ පෝෂණීය තත්ත්වයන් දුර්වලවේවි.
ජනතාව දන් නොදීම හේතුවෙන් දුර්වලවෙන ජනතාවගේ බලය නිසා ම, මුළු රට ම ලෝකයා ඉදිරියේ තුට්ටු දෙකට වැටේවි. ලෝක බලවතුන්ගේ ණය උගුල්වල පැටලී රටවැසියන් පරාජිත වේවි. භික්ෂුව මේ සටහන් තබන්නේ, ඔබ මේ මොහොතේ පසුවෙන බඩගින්න ගැන නොවේ. ඔබ අත්විඳින වර්ණය, සැපය, බලයේ දුර්වලතාවයන්ට හේතුවවන, ඔබ නොදකින, එහෙත් සමාජය තුළ වේගයෙන් ඔඩුදුවන, දන් පූජා කිරීමේ ශක්තියේ දුර්වලභාවය මතුකොට දී ඇති ඛේදවාචකයයි. පිංවත, යම් රටක නායකයෙක් හෝ රජයක් බහුතර බලයක් ලබාගැනීමට පිංවන්ත වුණාට පමණක් වැඩක් නැහැ. පිංවත් ඔබලා බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ ධර්මයන් ශ්‍රවණය කොට, එම ධර්මයන් නුවණින් මෙනෙහිකොට, ඔබලා ලබාගත්තා වූ බලය, පිංවත් ඔබලාගේත්, පිංවත් ජනතාවගේත්, ප්‍රඥාව උදෙසාම මෙහෙයවීමට ඔබලා දක්ෂ වියයුතුයි. පිංවත, මෙය සටහන් තබන භික්ෂුවට ජයග්‍රහණයේ මාවත පෙන්වූයේ එකම එක අර්ථයක් විසින්මයි. ඒ වන්දනීය අර්ථය තමයි නිහතමානිභාවය.
පිංවත, දෑස් පියාගෙන නුවණින් දකින්න, මේ පංචඋපාදානස්කන්ධ දුක, අපි අත්විඳින්නේ මේ රූපය ඉපදුණ නිසාමයි. මේ සලායතනයෝ හෙවත් රූපය ඉපදුණේ, පංචඋපාදානස්කන්ධ ධර්මයෝ නිත්‍යවශයෙන් දැක්ක නිසාමයි. අපි පංචඋපාදානස්කන්ධ ධර්මයෝ නිත්‍ය වශයෙන් දැක්කේ, සංස්කාරයන් කෙරෙහි කැමැත්ත නිසාමයි. සංස්කාර අපි නිත්‍ය වශයෙන්ම දැක්කේ අවිද්‍යාව නිසාමයි. පිංවත, ඔබ අත්විඳින කායික සහ මානසික දුක් වේදනා මම යැයි, මගේ යැයි, මගේ ආත්මය යැයි නොගෙන, සියලූ දුක්ඛ දෝමනස්සයෝ අවිද්‍යාවට ම භාරදෙන්න. චතුරාර්යසත්යය නොදන්නා, ”දන්නේ’’ දුකට පාර පමණක්මය.
පිංවත, දුක අවිද්‍යාවට භාරදීලා, ඔබ සතුටින් ඉන්න. බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සතුටින් සිටින ලස්සන. උන්වහන්සේ ගේ සතුට තුළ සතිය තිබෙනවා. සද්ධර්මයේ අර්ථය, වීර්යය, ප්‍රීතිය, ඵස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව බලන්නකෝ කොච්චර ලස්සන දේවල් තිබෙනවාද කියලා. මේවා විතරක් නොවේ, සත්තිස්බෝධිපාක්ෂික ධර්මයෝම තිබෙනවා. මේ වගේ ලස්සන ධර්මයන් තිබෙන ලෝකයක, ඇයි ඔබ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුණු සිත්, විචිකිච්චා යන මේ අවලස්සන යාළුවෝ සමීප කොටගෙන සිටින්නේ. පිංවත, පංචඋපාදානස්කන්ධ ලෝකයට, නිරෝධයෙන් තොර විසඳුමක් නැහැ. පිංවත, අතීත සංසාරයක් පුරාවට නායකයන් සහ පාලකයන් සමග සණ්ඩුවුණා දැන් හොඳටෝ ම ඇති. කරුණාකර දැන් ඔබ නායකයෙක්, පාලකයෙක් වෙන්න. පිංවත් ඔබ කොහොමද ඔබේ ම පාලකයා වෙන්නේ. ඔබට දුකක්, වේදනාවක් දැනෙද්දී මේ දුක දෙනෙන්නේ දෙතිස්කුණුපයකටයි. මේ දුක දැනෙන්නේ සතර මහා ධාතුවටමයි, මේ දුක දැනෙන්නේ ඇටසැකිල්ලකටමයි යැයි දකිමින්, රූපයෙන් ”මම’’ ගලවාදමා, දුක, වේදනාව ධර්මයේ උපේක්ෂාවට ම භාරදෙන්න.