පිංවත මේ දිනවල මාරයාගේ සංස්කාර ආදායම් වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා. එයා අතිකාල දමාගෙන අධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් ඇති තරම් සංස්කාරයෝ හම්බකරනවා. මාරයා හිතේ හැටියට සංස්කාරයෝ හම්බකරද්දී, කුසල් වෙළඳපොළේ කොටස් මිල හොඳටෝම කඩාවැටිලා. පිංවත මේ දවස්වල තම සංස්කාර ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා මාරයා අලූත්, අලූත් වෙළඳ දැන්වීම් සමාජගත කරනවා. පිංවත ඔබ දැක්කාද අලූත්ම මාර වෙළඳ දැන්වීම මොකක්ද කියලා. ”ජොලි කරපල්ලා, ජොලි කරපල්ලා භාණ්ඩාගාරයේ ඩොලර් ශතේ නැති වුණත් ණයට අරගෙන හරි ජොලි කරපල්ලා.’’ පිංවත බලන්නකෝ අවිද්‍යාවේ හෘදසාක්ෂියටම කතා කරන මෙවැනි මාර වෙළඳ දැන්වීම් තුළින් සංස්කාර වෙළඳපොළ තිරිහන්වෙන අපූරුව. පිංවත කතරගම දෙවියන්ගේ රූපයට මුහුණු තුනක් තිබෙනවා නේද. කතරගම දෙවියන්ගේ රූපයට මුහුණු තුනක් ලැබුණේ කතරගම දෙවියන්ගේ රූපය මුලින්ම චිත්‍රයට නැඟූ පිංවතාට ධර්මය ගැන අවබෝධයක් නැති නිසා යැයි භික්ෂුව විශ්වාස කරනවා. මේ අදහස වැරදි නම් භික්ෂුව කරුණාවෙන් ඉල්ලා අස්කොට ගන්නවා.
පිංවත, මාරයාටත් මුහුණු තුනක් තිබෙනවා. ඒ මුහුණු තුනට අපි කියන්නේ ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ මුහුණු කියලා. මාරයා තම ගැටීමේ මුහුණෙන් කේන්තියෙන් පුපුරණකොට, මාරයා ඇලීමේ මුහුණෙන් කොක්හඬලා සිනාසෙනවා. අනේ අනිච්චං ඒ මදිවට මාරයා උපේක්ෂාවේ මුහුණෙන්, දවසට පුංචි වෙලාවක් හරි ශීලයත්, සමාධියත්, භාවනාවත් ගැන සිතනවා. මාරයාගේ මේ විඳීමේ රුචිකත්වයෙන් පෝෂණය වෙන ත්‍රිවිධ ක්‍රියාන්විතය සද්ධර්මයේ ස්වක්ඛාත වූ සරල ගුණයෙන්, මනුෂ්‍ය සමාජය තුළ ඒහිපස්සිකව බබලමින් තිබෙනවා. මේ මාරයා ජීවත්වෙන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ නොවේ. පිංවත් අපි හැමෝගේම ඵස්සයේ අවිද්‍යාව තුළමයි.
පිංවත් ඔබ ඉඳිකටුවකින් ඇඳුමක් මහලා තිබෙනවාද. ඔබේ ඇඟිල්ලේ ඉඳිකටු තුඩ ඇනිලා තිබෙනවාද. ඉඳිකටුවක් ඇනීමේ වේදනාව ඔබ අත්විඳලා තිබෙනවාද. විවේකීව සිටින වෙලාවට ඉඳිකටුවක් අරගෙන සිහිනුවණින් එක පාරක් ඇනගෙන බලන්න. එවිට ඔබට සංසාර දුක, සංසාර බිය තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තියුණු තුඩ සහිත ඉඳිකටුවන් රෝමකූප සහිත අමනුෂ්‍යයෙක් ආකාශයේ ඇවිදිනවා කියලා.
තමාගේම ඉඳිකටුවන් රෝම කූප තමාටම ඇනිලා මේ අමනුෂ්‍යයා මරණීය වේදනාවෙන් ලතෝනි දෙනවාය කියලා. පිංවත අකුසලයට පුළුවන් ඔබගේ ඔය සුසිනිඳු, සිහින්, මටසිළුටු, කෙස් සහ ලොම් තියුණු ඉඳිකටු බවට පත් කරන්න. පිංවත මොහොතක් දෑස් පියාගෙන ඔබේ ශරීරයේ කෙස් සහ ලොම් තියුණු තුඩ සහිත ඉඳිකටුසේ දකින්න. ඒ තියුණු ඉඳිකටුවන් කෙස් සහ ලොම් ඔබටම මරණීය වේදනාවන් දෙන හැටි නුවණින් දකින්න. වර්තමාන සමාජයේ කෙස් සහ ලොම් නිසා ගොඩාක් කෙලෙස් ඇතිකොට ගන්නවා. කෙස්වල, රෝමවල, ආශ්වාදයට රැවටීම නිසා ගොඩාක් ශිල්පද දුර්වල කොටගන්නවා. වර්තමානයේ ඔබේ කෙස් සහ ලොම් ඉඳිකටු සේම දකින්න. එවිට ඔබට පුළුවන් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදී දිව්‍ය කෙස්, දිව්‍ය ලොම් සහිත දිව්‍ය ජීවිතයක් අසිරිය ලබන්නට.
පිංවත ඔබේ කෙස් සහ ලොම් ඉඳිකටු බවට පත්කරන සැඟවුණ අමුත්තෙක් සිටිනවා. එයා තමයි ඔබේම ඵස්සයේ අවිද්‍යාව. පිංවත සටහනෙන් සිත මොහොතක් මෑත් කරලා, දෑස් පියාගෙන නුවණින් දකින්න. අද දිනය පුරාවට ඔබ තුළින්ම සකස්වූ ඇලීම් සහ ගැටීම් නැමති තියුණු ඉඳිකටුවලින්, ඔබ ඔබේම උපාදානයන්ට කොතෙක් නම් ඇනගත්තාද කියලා. පිංවත අපිට ඉඳිකටුවන් රෝම නැති වුණාට, අපි තුළින් ඇලීම් සහ ගැටීම් නමැති ඉඳිකටු ඇනීමෙන් ඇතිවෙන තුවාල වලින් සංස්කාර රුධිරය නිරතුරුවම වහනය වෙනවා. අපේම අසිහියේ පිහිටෙන් විඤ්ඤාණය නමැති සියුම් පුළුන් රොදට සංස්කාර රුධිරය උරාගනිද්දී, අවිද්‍යාවෙන් ගලන රත්පැහැ අනිත්‍යවූ සංස්කාර රුධිරය නොදකින අපි, සංස්කාර දකින්නේ නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි කියන මාර ඖෂධයන්ගෙන් මොනවාට නිර්වින්දනය වෙලාමයි. පිංවත මාර ධර්මයන් ඉදිරියේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අපිව නිර්වින්දනය කරලා. අවිද්‍යාවට සිත්සේ අපගේ ඵස්සය සුරතල් කරන්නට දෙනවා. පිංවත මාරයාගේ දෑස් ප්රකෘතිව තිබෙන තාක්කල් අපේ විදර්ශනාවේ දෑස් නොපෙනී යනවා. මාරයාගේ දෑස් අන්ධ කරන්න නම් අපිට සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. පිංවත පංචකළ්යාණියකගේ දෑස යම් සේ මටසිළුටුද, ඇයගේ දෑස ආපෝ ධාතුවේ දිය සීරාවෙන් යම් සේ කාන්තිමත්ද, ඇයගේ දෑස වායෝ ධාතුවේ හැඩගැන්වීමෙන් යම් සේ රිද්මයකට නර්තනයේ යෙදෙයිද, මෙවන් විච්චූරණ ලෝකයක් සම්මා සමාධිමත් සිතකින් තොරව කෙසේ නම් විනිවිද දකින්නද.
පිංවත ලෝකය මමය, මගේය යැයි දකින්න එපා. බුදුරජාණන් වහන්සේ පමණක්මයි දේශනා කරන්නේ, ලෝකය කියන්නේ මායාවක්ය කියලා. අපි ඒ මායාවේ පැටලිලා කොතෙක් නම් පාට පාට සිහින දකිනවාද. අපි මරණාසන්න මොහොතේදියි සක්සුදක්සේ දකින්නේ, මෙතෙක් අපි දැකලා තිබෙන්නේ මායවක්ය කියලා. පිංවත අමනුෂ්‍යයෙක් සිටිනවා, ඔහුගේ නිරුවත් ශරීරය වසාගෙන සිටින්නේ කෙටි සරොම් කැබැල්ලකින්. ඒ අමනුෂ්‍යයාගේ ඉනෙන් පහල කොටස පුරාවටම, දියර ස්වභාවයෙන් යුත් අශූචි තැවරිලයි තිබෙන්නේ. ඉන දවටාගෙන සිටින සරොම් කැබැල්ල අශූචි වලින් තෙත්වෙලා. වරින් වර එම අමනුෂ්‍යයා, එම අශූචි වලින් තෙත්වන සරොම් කැබැල්ල, අතින් මිරිකා දමනවා. මේ දියර ස්වභාවයේ අශූචි වැගිරෙන්නේ තමාගේම අධෝමාර්ගයෙන්. පිංවත මනුෂ්‍ය ඔබට සුවඳ විලවුන් යම් සේ මිහිරිද, මේ අමනුෂ්‍යයාට අශූචි හරිම මිහිරියි. පිංවත මෙයයි ඔබ පරිහරණය කරන මායාවේ ලෝකය. මෙම අශූචි අමනුෂ්‍යයා පෙර මනුෂ්‍ය ජීවිතයකදී අනුනට අශූචි වලින් ගැසුවාද කියන්න භික්ෂුව දන්නේ නැහැ. භික්ෂුව මෙම සටහන තැබුවේ, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදන්නා නිසාම, අනුනට අශූචි වලින්, කුණු බිත්තර වලින් සංග්‍රහ කරන, පිංවතුන්ලාගේ දැන ගැනීම උදෙසාමයි.
පිංවත ධනයෙන්, බලයෙන්, නිලයෙන් සිදුවෙන මත්වීම් වලට වඩා බොහෝම විනාශකාරී මත්වීමක් තිබෙනවා. ඒ විනාශකාරී මත්වීම තමයි මිථ්‍යාදෘෂ්ඨියෙන් මත්වීම. මේ මත්වීම හරිම අසත්පුරුෂ මත්වීමක්. තමා තමාට පාපමිත්රයෙක් වෙන මත්වීමක්. මිථ්‍යාදෘෂ්ඨියෙන් මත් වූ පිංවතා තම දකුණු කකුල තුරුණුවන් පැත්තේ තබාගෙන, තම වම් කකුල කවුරුන් හෝ දෙවිකෙනෙක් පැත්තෙයි තබාගෙන සිටින්නේ. එවැනි පිංවතුන්ගේ කළ්‍යාණමිත්‍රයා වෙන්නේ අවිද්‍යාව තුළ ජීවත්වෙන දෙවි කෙනෙක්. එවැනි පිංවතුන් ශ්‍රවණය කරන්නේ දේවාලයක කපු මහත්මයෙක්, කපු මහත්මියක් ප්‍රකාශ කරන ධර්මයන්, එම දේවධර්මයන්ට අදාළවයි නුවණින් මෙනෙහි කරන්නේ.
පිංවත මෙය සටහන් තබන භික්ෂුව දෙවියන්ට පුංචි හෝ අගෞරවයක් සිදුකරන්නේ නැහැ. ඒත් යම් පිංවතෙක් බුදුරජාණන් වහන්සේට ඉදිරියෙන් හෝ බුදුරජාණන් වහන්සේට සමතැන, දෙවිකෙනෙක් තැබුවොත්, උතුම් සද්ධර්මය මඟහැර, දේව අනුශාසනාවන්ට ගරු කළොත්, අනාගත අනාවැකි මායාවේ සිරකරුවන් බවට පත්වුණොත්, ඒවා නම් මිථ්‍යා දෘෂ්ඨියේ ලක්ෂණ යැයි විවෘතව සටහන් තබනවා. පිංවත මේ පූජණීය මාතෘභූමිය අයිති භික්ෂුවටවත්, පිංවත් ඔබටවත් නොවේ, අපි සියල්ලන්ගේම අතීත සංස්කාරයන්ටයි. අපි හැමෝටම සිහිකල්පනාව තිබිය යුතුයි. සමාජයට අපි පූර්වාදර්ශයන් දියයුත්තේ, මිථ්‍යාදෘෂ්ඨියෙන් නොව සම්මා දිට්ඨියෙන්ය කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් නික්ලේෂි අනුශාසනාවන් ඉදිරියේ, අවිද්‍යාවේ කරවටක් ගිලිණු පිංවත් දෙවිකෙනෙක්ගේ අනුශාසනාවන් කුමන නම් ළදරු නැළවිල්ලක්ද.
පිංවත වර්තමාන සමාජය තුළින් අපි මේ දකින්නේ ළදරු නැලවිල්ලක්ම නේද. වර්තමානයේ අපි මේ අරාජික, පරාජයන් මැදින් ගමන් කරන්නේ, දේව අනාවැකිකරුවන්ගේ මායාවේ සිහින විජ්ජාවන් දිශාවටද. පිංවත අපේ පෞර්ෂත්වයට, අපේ නායකත්වයට, අපේ සමගියට, මේ ධර්මතාවයන්ට මොකද වුණේ. මේ සියල්ල මිච්චා විශ්වාසයන් ඉදිරියේ, අසිහියෙන් පසඟ පිහිටුවා, පූජා වට්ටියක්සේ කිනම් හෝ දෙවොලකට පූජා කළාද. එසේත් නැතිනම් ශාසන අර්ථයන්ට සතුරුකම් කරන යම් දෙවිකෙනෙකුගේ අනාවැකිවලට වහල් වුණාද. එසේත් නැතිනම් බොරුවක් ඇත්තක් කොට දැක්කාද.
පිංවත මේ උතුම් මාතෘභූමිය ආරක්ෂා කරන, සද්ධර්මයට හිතැති ජනතාව ආරක්ෂා කරන, අප්‍රමාණ දෙවිවරුන්, දිව්‍යාංගනාවන් සිටිනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ආටානාටිය සූත්‍රයේ මැනවින් සඳහන් වෙනවා. ඉහත දිව්‍ය ස්වභාවයන්ට පුළුවන්කම තිබෙන්නේ, මිථ්‍යාදෘෂ්ඨික යක්ෂ, දිව්‍ය සහ අමනුෂ්‍යයන්ගෙන් අපිට සිදුවෙන හිංසාවන්ගෙන් අපිව ආරක්ෂාකොට දෙන්න පමණක්මයි. දෙවියන්ට අපේ රටේ ප්‍රශ්න, අපේ ජීවිතවල ප්‍රශ්න විසඳා දෙන්න පුළුවන් කමක් නැහැ.
අපේ රටේ ප්‍රශ්න සහ ජනතාවගේ ප්‍රශ්න අපි විසඳාගත යුත්තේ සැපයට මාර්ගය වන ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්. පිංවත ඉහත සටහන්, පිංවත් ඔබලාගේ යම් වරදක් ඇතොත් නිවැරදිවීම සඳහා පමණක්මයි. විවේචනය සඳහා නම් නොවේ. දේවාල සහ ශාස්තරකීම් කවදත් සමාජයේ තිබුණා. ඒ සියල්ල ලෝකයේ ස්වභාවය. ලෝකයේ ස්වභාවය සුවසේ ලෝකය තුළ තිබුණදෙන්, ඒත් පිංවත් ජාතික වගකීම් දරණ ඔබගේ දෙවොල වියයුත්තේ, උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ ඔබේම හෘද සාක්ෂියයි. පිංවත මේ උතුම් මාතෘභූමියේ හෙට දවස, දේව අනාවැකිවලට යටකරලා, කිරියෙන්, පැණියෙන් උතුරණ මායාවේ අනාගතයක් බලාපොරොත්තු වෙන්න එපා.
භික්ෂුව පුංචි කාලේ, මගේ තාත්තා මාව, ඈත ප්‍රදේශයක දේවාලයකට එක්කරගෙන ගියා. දෙවොලේ දේවාභරණ වලින් සැරසී සිටි කපුමහත්මයා, මගේ තාත්තට කියනවා, මේ ලොකු පුතාගෙන් තාත්තට කිසිම යහපතක් වෙන්නේ නැහැ. මේ පොඩි පුතාගෙන් තාත්තට යහපතක්ම වෙනවාය කියලා. එදා පටන් මගේ තාත්තා මා දෙස බැලූවේ සැකයෙන්. අවිද්‍යාවේ මිථ්‍යාව ලෝකයට උපද්දවා දෙන්නේ ඇත්ත නොව බොරුවමයි.