පිංවත කල්ප විනාශයකින් පසුව ලෝකය නැවත නැවුම්ව සකස් වෙද්දී, මේ මහ පොළව මී වදයක පැහැති, මී පැණි සේ රසැති, මී පැණි සේ සුවඳැති, මිදුනු යෝගට් එකක් බඳු, රස පොළවක් ඇති වෙනවා යැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාරයාගේ දෑස් පමණක් අන්ධකොට වේදනාවේ ආශ්වාදය විඳිමින් ආභස්සරා බ්රහ්මතලයේ සිටි බ්‍රහ්මයින්, ආලෝක සංඥාවෙන් පැමිණ නැවුම් රස පොළවේ මී පැණි සුවඳට වහවැටී, යෝගට් එකක් සේ මිදුණ රස පොළව තොලගාමින්, දිවගාමින්, ඉන් ඉක්බිති රස පොළව කෑලි කඩාගෙන තෘෂ්ණාවෙන් අනුභව කරනවා. පිංවත බලන්නකෝ පිනක මහිමය. පිනට පුළුවන් මහ පොළවේ වස විස සහිත පස වෙනුවට මහ පොළව සුගන්ධවත්, රසවත්, මී වදයක් කරන්නට. පින එසේ විපාකයට එද්දී, ඔබ දන්නවාද පව කෙසේද විපාක දෙන්නේ කියලා. සත්ව ප්‍රජාවගේම දුශ්ශීලභාවයෙන්, ද්වේශයෙන් මොනවට තිරිහන් වෙන සත්වයාගේම ක්‍රියාකාරකම් තුළින් වායුගෝලයේ උණුසුම වැඩිකරලා, මහා මේරු පර්වතය පවා ගිනියම් කරලා, මුළු පෘථිවියම ඉරවල් හතක ගිනි රස්නයෙන් විනාශ කොට දමනවා. පිංවත පව මෙතරම් වියරුවක් වෙද්දී, අපි ඇයි දැන දැන, තව තව පව් කරන්නේ.
පිංවත අනාගතයේදී මේ උතුම් නිකලෙස් චීවරය අතුරුදන් වී කාශායකන්ඨකලා බිහිවෙනවා. එදාට ඒ අයට කියන්නේ පන්සිල්වත් නැති හාමුදුරුවෝ කියලා. ගෞරවණීය පිංවත හාමුදුරුවන්ට පංචශීලයවත් නැති වුණොත්, මොනවාද ඉතිරි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ගින්දරම මුල්කරගෙන කරන සුන්දර ඉතිරියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුශ්ශීලව වළඳන ගිලන්පස කෝප්පයක් පාසා, ගිනි වතුරක් වෙනවාය කියලා. දුශ්ශීලව වළඳන බත් කටක් පාසා ගිනි අඟුරුයි වළඳන්නේ කියලා. බලන්නකෝ හේතුඵල ධර්මයන් මතුකොට දෙන සුන්දර ඉතිරි කිරීමක ඒහිපස්සික ගුණය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය කාලයේදී නම් ඉහත හේතුඵල ධර්මයන් ශ්‍රවණය කරපු දුශිල්වත් ස්වාමින් වහන්සේලා බියෙන් තැතිගෙන උපවැදි වුණාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපේම සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ අතීත පින විසින්, අපිවම විනාශකොට දමන, සෑහීමක් නැති රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි කෙලහැලෙන තෘෂ්ණාව. අපි ජීවත්ව සිටියදීම අසද්ධාවේ මළකඳන් බවට, අපිව පත් කරන තෘෂ්ණාව. පිංවත බලන බලන දසත, උතුම් සද්ධර්මයේ ගුණයක්ම පෙනෙන ලෝකය, සති සම්බොජ්ජංගය ඇත්තාට මොනතරම් නම් නිරවුල්ද.
පිංවත වෙලාව සවස පහට විතර ඇති. පරිසරයේ ශීතලත් නැති උෂ්ණයත් නැති මධ්‍යස්ථ සන්ධ්‍යාවක්. මේ සන්ධ්‍යාවේ භික්ෂුවගේ තනියට ළඟපාතක සිටින්නේ, කුටිය අවට නිරතුරුවම ජීවත්වෙන කලූපාට පුංචි කැටකිරිල්ලිය පමණක්මයි. ඇත්තටම මේ පුංචි කැටකිරිල්ලිය ගැන භික්ෂුවට ලොකු ගෞරවයක් තිබෙන්නේ. පසුගිය මාස හත පුරාවට භික්ෂුව පුංචි කැටකිරිල්ලිව හොඳින් නිරීක්ෂණය කළා. පුංචි ඇය, ඇයගේ මුතුන්මිත්තන් ඇයට කියලා දුන්න, නිවැරදි ගොදුරුබිම මැනවින් හඳුනාගන්න කැටකිරිල්ලියක් ඇයගේ ගොදුරුබිම මේ කැලයේ ගල්කුළු වටේ පමණක්මයි. අවශ්‍ය නම් පුංචි කැටකිරිල්ලියට ඕනෑ තරම් නිදහස තිබෙනවා, පරක් තෙරක් නොපෙනෙන නිසල ආකාශය තුළ අනෙක් කුරුල්ලන් සේ පියඹායන්න. ආකාශයේ පායන පාට පාට දේදුණු මත තැවරිලා සුසිනිඳු වළාකුළුවල මටසිළුටු පහස ලබන්නට. ආකාශයේ හමායන නිසල සුළෙඟ් දැවටි දැවටී කාමයේ ආශ්වාදයන් ලබන්නට. මෙවන් සුන්දර ආශ්වාදයන් ලබන්නට මොන කුරුල්ලා ද අකමැති. ඒත් මේ පුංචි කැටකිරිල්ලිය නම් හරිම බුද්ධිමත්. ඇය මැනවින් දන්නවා තම මුතුන්මිත්තන් කියාදුන් ආරක්ෂිත ගොදුරුබිම ඉක්මවා නිසල ආකාශයේ ආශ්වාදයන් ලබන්නට ගියොත්, අනිවාර්යයෙන්ම රාජාලියෙකුගේ, උකුස්සෙකුගේ ගොදුරක් වෙනවාය කියලා. රාජාලියෙක්, උකුස්සෙක් කියලා කියන්නෙත් පක්ෂි වර්ගයාගේම කෙනෙක් තමයි, ඒත් ජන්මගති කෙසේ නම් වෙනස් කරන්නද. පුංචි කළු පැහැ කැටකිරිල්ලිය තාමත් කුටිය ඉදිරිපිට එහා මෙහා පියඹා යනවා. චූටි දුවේ භික්ෂුවට හොඳටෝම විශ්වාසයි ඔබ අකාලයේ විනාශ වෙන්නේ නැහැය කියලා.
පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පුංචි කැටකිරිල්ලියට සේම, අපිටත් අපේ නිවැරදි ගොදුරුබිම හඳුනාගන්නය කියලා. අපේ නිවැරදි ගොදුරුබිම අපි හඳුනා නොගත්තොත්, අපේම පෙර පින නිසාම, කාමයේ ආශ්වාදය, රූපයේ ආශ්වාදය, අපේ අසිහියේ ජීවිතමත පෑයූ පාට පාට දේදුණු වගේ අපිව මුලාකරන්න පුළුවන්. දෑස් හැර බලන්නකෝ සමාජය දෙස, චංචල ජීවිතවල මොනතරම් නම් පාට පාට දේදුණු පායලා තිබෙනවාද කියලා. ඒ පාට පාට දේදුණු නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි යැයි ලේබල් ගහලා, විකුණන සහ විකිණෙන අපූරුව බලන්නකෝ. මෙය සටහන් තබන භික්ෂුව මේ කැලයට වෙලා බේරිලා ඉන්නේ අනූනමයෙන්. භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ගොදුරුබිමෙන් බැහැරට එක දශමයක්වත් පය තබන්නේම නැහැ. පොඞ්ඩ වැරදුනොත් භික්ෂුවවත් විකුණුනාම තමයි. සංස්කාරයෝ නිත්‍යයි, සුභයි, සැපයි, ආත්මයි යැයි පෑයූ පාට පාට දේදුනු, මායාවේ විඳීම්, හඳුනාගැනීම්, සංස්කාර, විඤ්ඤාණයන් අතර තෙරපෙන හැටි සමාජය තුළ හරි අගේට පෙනෙන්නට තිබෙනවා. පිංවත අපි තවත් පිංවතෙකුගේ දුර්වලතාවයක් දකින්නට ඕනේ මෙත් සිතින්මයි.
ගෞරවණීය පිංවත මේ නිකලෙස් කසාවත් චීවරය අපිට උරුමකොට දුන්න, අපේ මුතුන්මිත්තන් අපිට මහාකරුණාවෙන් කියලා දුන්න ආරක්ෂිත ගොදුරුබිමක් තිබෙනවා. අපේ මුතුන්මිත්තෝ තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලාගේ මහාකරුණාව පූර්වේනිවාසානුස්සති ඥාන සහ චතුප්පාන ඥාන තුළින් මොනවාට පෝෂණය වෙලයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩිය මුල්ම අවස්ථාවේදී, පුරා හය වසරක් විරාගි සිතින්, කහවත් දරාගෙන, සිදුහත් කුමරුන්ගෙන් ලැබූ ආදරයේ මතකය පමණක් සිතින් දරාගෙන, රජමැඳුරේ හුදෙකලාව වුන් යශෝධරාව, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන හඬා වැටෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔය හඬා වැටෙන්නේ යශෝධරාව නොව, ඇයගේත්, බෝධිසත්වයින්ගේත්, සංසාරික ඥාතිත්වයේ අති දීර්ඝ අතීත බැඳීමයි කියලා. පිංවත බුදුරජාණන් වහන්සේල මේ අතීත බැඳීම් සහ ඥාතිත්වයන් මතුකොට දකින්නේ පූර්වේනිවාසානුස්සති ඥාණයන් තුළින්මයි. පිංවත ඔබට සිතෙන්නේ නැතිද බුදුරජාණන් වහන්සේත් පිංවත් ඔබත් අතර සංසාරිකව මොනතරම් නම් අතීත ඥාතිත්වයන් තිබෙන්නට ඇතිද කියලා. වර්තමානයේ ඒ අතීත ඥාතිත්වයන්ට කුමක්ද වෙලා තිබෙන්නේ. අපේ අතීත බුදුරජාණන් වහන්සේලා අපිට කියලා දුන්න ආරක්ෂිත ගොදුරුබිම පුරන්වෙන්න දෙන්න එපා. පිංවත අපි අපේ අධ්‍යාත්මික රූපයට වගේම, බාහිර රූපයන් කෙරෙහිත් හරියට තෘෂ්ණාව ඇතිකොට ගන්නවා. රූපය නිත්‍යයි, රූපය සැපයි, රූපය සුභයි, රූපය ආත්මයි කියලා, රූපය සතුටින්ම පිළිගන්නවා. රූපය තුළ බැසගන්නවා. රූපය මමය, රූපය මගේය, රූපය මගේ ආත්මය වශයෙන්ම ගන්නවා. පිංවත නාමරූප ධර්මයන් හේතුවෙන්මයි සළායතනයෝ උපදින්නේ. ඒ නිසාම ඔබගේ අධ්‍යාත්මික රූපය ආහාරය කොටගෙන පෝෂණය වෙන අරූපී අමුත්තෙක් සිටිනවා. සැබැවින්ම මොහු මැජික්කරුවෙක්. පිංවත මැජික්කරුවෙක් හඳුනාගැනීම එතරම් ලේසි නැහැ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා, විඤ්ඤාණය නමැති මැජික්කරුවා ගැන නොව, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ආහාරය වෙන, ගෘහය වෙන, රූපය විනිවිද දකින්නය කියලා. පිංවත මාරයාට ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, ගොදුරු සොයාදෙන ගොදුරු බිම ඔබගේ සළායතනයන්මයි. පිංවත ඔබේ ඵස්සය නමැති ගොදුරුබිමේ මාරයාට ගොදුරු සොයන්න දෙන්න එපා. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය රූපය කෙරෙහි අවිද්‍යාව කිරිමව් කොටගෙන, කාම උපාදානයන්ට, රූපි සහ අරූපි උපාදානයන්ට, කුරුමානම් අල්ලද්දී, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය පෝෂණය වෙන අවිද්‍යාවේ කිරි මව් වන අධ්‍යාත්මික සහ බාහිර රූපයන්මයි විදර්ශනාවෙන් විනිවිද දැකිය යුත්තේ.
පිංවත සමාජය දෙස බලන්නකෝ, ගිහි සහ පැවිදි අපි හැමෝම අපිට අයිතියක් නැති, අවිද්‍යාවට අයිති, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මායාවට රැවටී, මොනතරම් නම් කාම උපාදානයන් තුළ මොනවාට සිරගතව සිටිනවාද කියලා. අපි බිඳින තරමක් ශිල්පද බිඳ ගන්නේ, අපි වඩන තරමක් අකුසල් වඩන්නේ, මේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ මායාවේ දැනීම් වලට, මමය, මගේය, මගේ ආත්මය යැයි අසිහියෙන් වශීවෙලා නේද. පිංවත අතීතයට සිත යොමුකරන්න. ඔබම පැටලී සිටින මායාව නුවණින් දකින්න. ඔබේ ඵස්සය තුළ මාරයාට ගොදුරු සොයන්නට දෙන තාක්කල්, ඔබ ජීවත්වෙන්නේ දුකට අධිපති මාරයාට අයිති
ගොදුරුබිම තුළයි. වර්තමාන සමාජය ගොඩාක් සිල් පද දුර්වලකොට ගන්නවා. මායාව අවිද්‍යාවේ ඇස් වලට පෙනෙන්නේ පාට පාට දේදුන්නක් වගේමයි. පිංවත ඔබට මතකද, අතීතයේ ඔබ සිල් පද බිඳගනිද්දී, කාමයේ වරදවා හැසිරෙද්දී, මත්වතුර වලින් මත්වෙද්දී, මනුෂ්‍ය හිංසනයන් සිදු කරද්දී, බොරු කියද්දී, අන්සතු කාම වස්තූන් පරිහරණය කරද්දී, ඒ පුංචි නිමේෂයේදී ඔබේ ජීවිතය මත පෑයූ මායාවේ පාට පාට දේදුණුවල මැකීගිය කෙටි ආශ්වාදය. දැන් ඒ මායාවේ ආශ්වාදය ඔබට අයිතිද. මායාවේ ආශ්වාදය ඔබට අයිති නැති වුණත්, දුශ්ශීලවීමේ මහා ආදීනවය හෙවත් අකුසල් සංස්කාරයෝ, සෙවනැල්ලක්සේම විපාකය පිණිස, අපි පසුපස පටිච්චසමුප්පන්නව වදයට පමුණුවනවා නේද. පිංවත ගිලන්පස යැයි, ගිනිවතුර වැළඳීම සුදුසු නැහැ. පිංවත අතුරුපස යැයි, ගින්දර වැළඳීම සුදුසු නැහැ. පාපයෝ මෙලොවදීම අපි පසුපස එළවාගෙන එනවා. එහෙත් මේ නිමේෂයත් අපි කෙරෙහි කරුණාවෙන්, අපිට නිවැරදි වීමට ලැබෙන ධර්මානුකූල නිමේෂයක්මයි.
පිංවත විඤ්ඤාණය නමැති මැජික්කරුවාට ඔබේ ඵස්සය නමැති ගොදුරුබිමේ මාරයාට ගොදුරු සොයන්න දෙන්න එපා. ඔබගේ අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් ඇසුරෙන් සකස් වෙන ඔබගේ ඵස්සය නමැති ගොදුරු බිම, උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ගේම ගොදුරුබිමක් බවට පත්කොට ගන්න. පුංචි කැටකිරිල්ලිය ඒ අතින් හරිම දක්ෂයි. ඇය ඇගේ ආරක්ෂිත ගොදුරුබිම ඉක්ම යන්නේම නැහැ. පුංචි කිරිල්ලියෙක්ගෙනුත්, ලොකු අපිට ගන්න ගොඩාක් ආදර්ශ තිබෙනවා. පිංවත අවිද්‍යාවෙන් පෝෂණය වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, තාවකාලිකව රස නහර පිනා යන මාර දැනීම් වලට වශී නොවී. ඔබේ ඵස්සය උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ටම ගොදුරු සොයාදෙන, ගොදුරු බිමක් බවට පත්කොටගන්න.