පිංවත ලස්සන මලක් දැක්කොත්, ඔබ ඒ ලස්සන මලට සුවපත් වේවා යැයි සිතන්න. එවිට ඔබේ සිත ඒ මලට වඩා ලස්සන වේවි. දැන් ඔබට පුළුවන් සුවපත් වේවා යැයි සකස් වූ මෛත්‍රී චිත්තය, විදර්ශනාවෙන් දකින්න. එවිට ඔබේ සිත ප්‍රඥාවෙන් ආලෝකවත් වේවි. පිංවත ලස්සන දේවල් අපි දකින්නෙ අපේ පටිච්චසමුප්පන්න පෙර පින නිසාමයි. අනාගතයේ දවසක් එනවා ලස්සන දේවල් ලෝකයෙන් අතුරුදන් වී යන. එදාට ජීවත්වෙන මනුෂ්‍යයෝ ලස්සන හැටියට දකින්නේ අවලස්සන පමණක්මයි. බලන්නකෝ අපි මොනතරම් පින්වන්තද කියලා, ලස්සන යැයි කියලා ලස්සනම දකිනවා. ඒත් ඉතිං අපේ පසුපස්සේ පවකුත් තිබෙනවා. ඒ පව තමයි අපිට මනුෂ්‍ය ලෝකයේ ලස්සනම රූපය වන සක්විති රජකෙනෙකුගේ, ස්ත්‍රී රත්නයකගේ රූපය දකින්නට නොලැබීම. පිංවත ඔබත්, භික්ෂුවත් එවන් පවක් සිද්ධකොට ගත්තේ, අතීතයේ පිනෙන් උපන් ලස්සන දේවල් දැකලා, මෙත් සිත් වෙනුවට මෝහ සිත්, රාග සිත්, ද්වේශ සිත් ඇතිකොටගත් නිසාමයි.
පිංවත පින මොනතරම් නම් මිහිරිද. පව මොනතරම් නම් අමිහිරිද. පිංවත අපි මේ අත්වැල් බැඳගෙන ගමන් කරන්නේ අමිහිරි පව දිශාවටම නේද. පින විසින් සක්විති රජ කෙනෙක්, ස්ත්‍රී රත්නයක් බිහිකරද්දී, පව විසින් අනාගතයේදී පරමායුෂ වසර දහයක්වූ අවාසනාවේ අඟුටුමිටි මනුෂ්‍යයින් බිහි කරනවා නේද. පිංවත් ඔබට සිතෙන්නේ නැතිද අනාගතයේදී පටිච්චසමුප්පන්නව මමත් එවැනි අවාසනාවේ මනුෂ්‍යයෙක් වේ යැයි කියලා. අනේ මේ භික්ෂුවට නම් එහෙම සිතෙනවා. අනාගත සංසාර බිය, සංසාර ගැඹුර සිහිපත් වෙද්දී, භික්ෂුව දුවන්නේ මුදල් පසුපස නොවේ, නිලතල, කීර්ති, ප්‍රශංසා පසුපස නොවේ, දුක නිවන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් පසුපස්සෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින් අධර්මයන් ඔඩුදුවන සමාජයට, සත්පුරුෂයින් විය යුතුයි, කල්‍යාණමිත්‍රයින් විය යුතුයි, පූර්වාදර්ශී විය යුතුයි. දුකට පාර නොපෙන්වන, සැපයට පාර පෙන්වන, දුකත්, සැපත් දෙකේම අනිත්‍යභාවය මතුකොට දක්වන, පෙරගමන්කරුවන් විය යුතුයි.
කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වූ ලෝකය අපි හැමෝටම ලොකු විනාශයක් කරලා තිබෙනවා. රූපයේ ආශ්වාදයෝ සහ කාමයේ ආශ්වාදයෝ මේ සෑම විනාශයක්ම තෘෂ්ණාවේ සළුපිළිවලින් වසා දමලයි තිබෙන්නේ. අපි බොහෝම සතුටින් විනෝද වෙනවා, කනවා බොනවා, නටනවා, ගයනවා, වයනවා. මේ සියල්ල තුළින් පෙර පින් විපාකදෙනකොට, අහිංසක අපි පෙරළා පින වෙනුවට ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ම රැස්කොට ගන්නවා. පිංවත අනාගතයේ සක්විති රජවරුන් දකින්න යන පාරක නොවේ අපි මේ යන්නේ. අනාගතයේ පරමායුෂ අවුරුදු දහයක් වෙන අඟුටුමිට්ටන් දකින්න යන පාරක. දැන දැන ඇයි මේ වැරදි කරන්නේ. ජීවමාන ශාස්තෘන්වහන්සේ වර්තමානයේ වැඩ සිටිනවා නේද. ඔබ, මම අසරණ නැහැ නේද. ඔබගේ ඔය ඇස් දෙකට පෙනෙන ලෝකය, ඔබගේ කන් දෙකට ඇසෙන ලෝකය, ඔබගේ මනසට දැනෙන ලෝකය ධර්මයම නේද. අවිද්‍යාව යම් තැනකද ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා අපි දකින්නේ ධර්මයක්ම නේද. ඵස්සයේ තැවරුන තෘෂ්ණාවේ ලාටු, අපේ විඳීමට රූප සොයාදෙද්දී දකින, ඇසෙන ධර්මයන්, අධර්මයෙන්ම පෝෂණය වෙලා යනවා. පිංවත භික්ෂුව මෙසේ සටහන් තැබුවත්, ඔබ මේ දේවල් ගැන ගොඩාක් සිතන්න යන්න එපා. ඔබ ගොඩාක් සිතුවොත් අවිද්‍යාව ඔබව ධර්මයේ ආශ්වාදයට අරගෙන යනවා. ධර්මයේ ආශ්වාදය අවිද්‍යාවේ උපක්‍රමශීලී ගොදුරු බිමක් වෙනවා. අවිද්‍යාවට එරෙහිව ඔබ ඇත්ත සොයාගෙන යනවිට, අවිද්‍යාව ඔබට විසි කරන ඇම තමයි ධර්මයේ ආශ්වාද.
පිංවත දැන් සිතුවා හොඳටෝම ඇති. අද උදෑසන සිට මේ දක්වා සිතුවිලි දහස් ගණනක් සිතුවා නේද. ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිතිද. ඔබට අයිති නැති දෙය ඔබ මගේ කොටගන්න එපා. මෙම සටහන කියවීමෙන් ඔබ තුළ සකස් වුණ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය යැයි දකින්න. ඔබේ ඵස්සය මොහොතක් අවිද්‍යාවෙන් හිස්කොට ගන්න. පිංවත මොනතරම් නම් නිදහස් ධර්මයක්ද. අද රාත්‍රියට නින්දට ගිහිල්ල අද උදෑසන පටන් සකස් වුණ සෑම සිතුවිල්ලක්ම සිහියට නඟාගෙන, ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය යැයි කියලා දකින්න. ඔබේ දුවන සිතුවිලි ඉදිරියේ චිත්තානුපස්සනාවේ ආරක්ෂාව සතිමත්ව තබාගන්න. ඔබ චිත්තානුපස්සනාවෙන් ඔබේ ඵස්සය ආරක්ෂා කොටගනිද්දී, ඔබට මෙය සටහන් තබන භික්ෂුව සිහිපත් වුණොත්, ඒ සිතත් චිත්තානුපස්සනාවෙන්ම දකින්න. භික්ෂුවගේ දෙතිස්කුණුපය අල්ලාගෙන ධර්මයේ ආශ්වාදයට නම් කොටුවෙන්න එපා. මෙම සටහනෙන් මතුකොටදෙන විදර්ශනාමය ධර්මය කෙරෙහි, ධර්මයේ ආශ්වාදයට නම් යොමුවෙන්න එපා. සෑම විටම ඔබේ ඵස්සය හිස්ව තබාගන්න. එතැනයි ඔබේ ජීවිතයේ නිදහස තිබෙන්නේ.
ධර්මය කියලා අධර්මය අල්ලාගෙන සිටින්න අපි හරිම ආසයි. උතුම් තෙරුවණුත් අපි ආශ්වාදයෙන්ම ගන්නවා. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් අපි ආශ්වාදයෙන්ම ගන්නවා. ඒ මදිවට ඥාන දර්ශනත්, විමුක්තියත් අපි ආශ්වාදයෙන්ම ගන්නවා. අවසානයේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයෝ ජීවිතයෙන් බැහැර කරලා, අනිත් සියල්ලම අපි මගේ කරගෙන උපාදනයන් හරහා භවයටම නෑගම් යනවා. දැන් නම් භික්ෂුවට භවයේ නෑගම් ගිහිල්ල එපා වෙලා තිබෙන්නේ. ඒ එපාවීමත් වේදනානුපස්සනාවෙන් මකා දමන්න ඕනේ. එසේ නොවුණොත් එපාවීමත් ආයෙමත් සංස්කාරයක් වෙනවා. පිංවත සිතුවිල්ලෙන්, සිතුවිල්ල හොඳින් සිහිය පවත්වාගෙන යන්න. එක සිතුවිල්ලක් සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් බැහැරව අයාලේ ගියොත්, ආයෙමත් ඔබ ලෝකයම අයිතිකොටගත්තා වෙනවා. පිංවත සිහියෙන් යන ගමනකුයි ඔබට යන්න වෙලා තිබෙන්නේ. වටපිට බැලූවට කමක් නැහැ. හිඳින ඉරියව්ව වෙනස් කළාට කමක් නැහැ. ඔබ පරිහරණය කරන්නේ අනිත්‍ය වූ ඉරියව් කයක් බව දකිමින් ජීවත්වෙන්න. තමන්ගේ සහ අනුනගේ ඉරියව් කයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්නා සෑම විටම සතරසතිපට්ඨාන ධර්මයන් තුළයි ජීවත්වෙන්නේ.
පිංවත මනුෂ්‍ය ජීවිත තුළ තෘෂ්ණාව වැඩිවෙනකොට, මනුෂ්‍යයාගේ ඉරියව් කය හරිම වේගවත්. වර්තමාන මනුෂ්‍ය සමාජය දෙස බලන්නකෝ, සන්සුන් ඉරියව් කයක් පෙනෙන්නට තිබෙනවාද කියලා. කායානුපස්සනාවට අදාළව කමටහන් පාරාදීසයක අපි ජීවත්වෙන්නේ. අද උදෑසන ඔබ නිදාසිටි ඉරියව්වෙන් අවදිවූ මොහොතේ පටන්, ඉරියව් කීදාහක් පැවැත්වුවාද. දිවයින පත්තර පිටුව බලන ඉරියව්වෙන් නේද ඔබ දැන් සිටින්නේ. තවත් මොහොතකින් ඔය ඉරියව්වත් වෙනස්වෙලා යනවා. වෙනස්වී යන ඉරියව් කයකට බැඳෙන්න එපා. ඔය අධ්‍යාත්මික සහ බාහිර සෑම ඉරියව් කයක්ම සකස්වෙන්නේ දෙතිස්කුණුපයක්, සතරමහාධාතුවක්, ඇටසැකිල්ලක් ඇසුරෙන්මයි. පිංවත ලස්සන ඉරියව් පවත්වන ලස්සන රූපයක් තුළින්, ඒ ලස්සන යට තිබෙන දෙතිස්කුණුපය දකින්න. බොරුවෙන් වසාගෙන තිබෙන ඇත්ත දකින්න, ඇත්ත කියන්න බියවෙන්න එපා. ලස්සනට ලස්සනයි කියලා අවංකව කියන්න. ඒත් ඒ කල්නොපවතින බොරුව, බොරුවක් හැටියටත් දකින්න. මෙහෙම සටහන් තැබුවහම පිංවත් ඔබ භික්ෂුව සමග අමනාපවෙන්න එපා. භික්ෂුවටත් තරුණ කාලයේ ලස්සන රූපයක් තිබ්බා. ඒත් ඒ රූපයට දැන් වෙලා තිබෙන ආදීනවය දැක්කම, අම්මෝ ආයෙමත් නම් රූපයක් එපා. ඒත් රූපයක් එපා කියලා විතරක් හරියන්නේ නැහැ. නැවත රූපයක් එපා කියන ඔබ තුළ, අරූපී උපාදානයන් ඇතිවෙන්න පුළුවන්. එතැනදි ආයෙමත් මාරයා ඔබව භවයට කොටු කරනවා. පිංවත නාම රූප නිරෝධා, සළායතන නිරෝධෝ, පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය තුළින්ම සළායතනයන්ගේ නිරෝධය ධර්මානුකූලව දකින්න.
පිංවත ලස්සන ලෝකයක අපි ඉපදිලා තිබෙන්නේ. ඒත් තෘෂ්ණාව අපිව අවලස්සන කරලා. ලෝකය පැත්තකින් තියලා අපේ රට ගැන බලන්නකෝ, පක්ෂ දේශපාලනය විසින් විනාශකොට දැමූ ලෝකයේ උතුම්ම රට බවට අපේ රට පත්වෙලා. සියලූ ප්‍රනීත සහ අප්රනීත සංස්කාරයෝ වෙනස්වෙලා යනවා, ඒත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ තාමත් ඒහිපස්සිකව බබලනවා. පිංවත විපාකදෙන අකුසල් යට, සැඟවුණ කුසල් ධර්මයන් තිබෙනවා. ඒ නිසාමයි මේ උතුම් පින්වන්ත මාතෘභූමියේ චතුරාර්ය සත්‍යය ධර්මයන් තවමත් ජීවමානව පවතින්නේ. තෘෂ්ණාවේ කරවටක් ගිලිණු පක්ෂ දේශපාලනය මාතෘභූමිය අරාජික කළත්, පිංවත, භික්ෂුවත්, ඔබත් තවමත් වාසනාවන්තයි. ඒ වාසනාව අපි දකින්න ඕනේ, සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මතාවය තුළින්මයි.
පිංවත අබුද්ධෝත්පාද කාලවල සක්විති රජවරු පහළ වෙනවා. ඒත් උතුම් බුද්ධෝත්පාද කාලයක අපේ පිංවත් රජවරුන්ට මොකක්ද මේ වෙලා තිබෙන්නේ. අපි මේ දකින්නේ පිංවත් රජවරුන්ගේ දසකුසල් ධර්මයන්ගේ අඩුවක්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සක්විති රජු දැකීමෙන් ජනතාව සතුටු වෙනවා කියලා. සක්විති රජු සිනාසීමෙන් ජනතාව සතුටු වෙනවා කියලා. සක්විති රජු වචනයක් කතා කිරීමෙන් ජනතාව සතුටු වෙනවාය කියලා. සක්විති රජු කියන්නේ ජනතාවගේ සතුටමයි කියලා. සක්විති රජකෙනෙක් කෙරෙහි ජනතාවගේ සිත්, මෙසේ ආකර්ෂණය වෙන්නේ, හේතු දෙකක් නිසා නොවේ. එක හේතුවක් නිසාමයි. ඒ එකම හේතුව සක්විති රජතුමා සතු පටිච්චසමුප්පන්න දස කුසල් ධර්මයන්ගේ කුසල් ශක්තිය.
ගෞරවනීය පිංවත, තවදුරටත් අවිද්‍යා අඳුරේ අත පත ගාන්න එපා. උතුම් දසකුසල් ධර්මයෝ ස්වක්ඛාත ගුණයෙන් වර්තමානයේ ඒහිපස්සිකව බබලනවා. මෙවන් සුන්දර ධර්මයක් අතැති ඔබ, ලෝකේ වටේ සිඟමනේ යන්න අවශ්‍ය නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් අද දිනයේම සුවඳ පැනින් නා පිරිසිදු වී, සුදුවත් දරාගෙන, දශකුසල් ධර්මයන් දිවිහිමියෙන් සමාදන් වෙන්න. අද පටන් පිංවත් ඇමැති මණ්ඩලයට, මන්ත්‍රී මණ්ඩලයට පිංවත් ජනතාවට, පංචශීලයේ වටිනාකම කියලා දෙන්න. අපේ පිංවත් මාතෘභූමියේ දේශපාලන ජීවිතවල පංචශීලය ඉතාමත් දුර්වලයි. ඒ දුර්වලභාවය නිසාමයි මව්බිම මේ සා දුප්පත්භාවයකට පත්වෙලා තිබෙන්නේ. පිංවත සොරකම නළවන්න එපා, සොරකම නැළවීම සොරකම් කිරීමට වඩා භයානක දෙයක්. ගෞරවනීය පිංවත අපේ වැරදි අපි නිහතමානීව දකිමු. පිංවත් ඔබලා නිවැරදි වුණොත් මුළු මාතෘ භූමියම යම් පමණකට හෝ නිවැරදි වෙනවා. සියලූ සංස්කාරයෝ වෙනස්වී යන ලෝකයේ, උතුම් සද්ධර්මයේ හැසිරීමෙන්, පුංචි ඉඩක් හෝ සැපයට විවරකොට ගන්න දක්ෂවෙන්න. දශකුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ජනතාවට, දැකීමෙන්, සිනාවෙන්, කථාවෙන් සතුටුවෙන දේශපාලනයක් ගොඩනඟාගන්න. මේ උතුම් ධර්මයන් සූත්‍ර පොත්වල තිබිලා පමණක් තේරුමක් නැහැ. අපි භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස මිස පුලන්නන් නොවේ. මේ උතුම් ධර්මයන් ජීවිත අත්දැකීම් බවට පත්කොට ගන්න.
පිංවත යම් සත්පුරුෂ දෙවියෙක්, මනුෂ්‍යයෙක්, අමනුෂ්‍යයෙක්, භික්ෂුවක් දැකීමෙන්, සිනාසීමෙන්, කථාකිරීමෙන්, සතුටුවෙනවා නම් භික්ෂුවත් විවේචනයක් නොවී සතුටක්ම වෙනවා නම් එම ශක්තිය භික්ෂුවක් ඇතිකොටගන්නේ උතුම් දශකුසල් ධර්මයන් තුළින්මයි. එම ශක්තිය අහිමි කිරීමට වසවර්ති මාරයාටවත් බැහැ. එය දශකුසල් ධර්මයේ අයෝමය ශක්තියයි. සංස්කාර පච්චයා විඤ්ඤාණං. අනේ පව් අපේ මව් රට දශාකුසල් නිසාම දිනෙන් දින පිරිහිලා යනවා.