පිංවත, වර්තමාන පංචඋපාදානස්කන්ධ ලෝකයේ ”ස්වභාව ධර්මය’’ හොඳටෝ ම කිපිලා. ස්වභාව ධර්මය කිපීමෙන් කැළඹුන ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ගංවතුරක් සේ පිංවත් මනුෂ්‍ය සන්තාන තුළින් දෝරෙ ගලාගෙන යනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසි දැන් දැන් අකාලයේත් වහිනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසිවලට හසු වී ශීලයේ සුදු සිල්රෙදි කිලිටි වී යන්නේ, හරිම අවාසනාවන්ත විදිහට. පිංවත් මනුෂ්‍ය ජීවිත තුළින් ශීලයේ සුදු ශිල්රෙදි කිලිටි වී ගියාට පසුව, ප්‍රීතියක්, ඵස්සද්ධියක් ගැන කෙසේනම් කතා කරන්නද. අපි සතුට සොයන්න උත්සහගන්නේ කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ ආදී වූ පංචනීවරණ තුළින්මයි. මේ අවාසනාවෙන් මිදිලා ඔබ කොහොමද ස්වභාව ධර්මයත් සමග නොකිපී මෙන් ජීවත් වෙන්නේ. පිංවත යම් පිංවතෙක් පරිසරය ආරක්ෂා කරගෙන ජීවත්වුණාය කියලා, තම ගෙවත්තේ ගස්වැල් වවාගෙන ජීවත්වුණාය කියලා, ස්වභාව ධර්මය සමග ජීවත්වුණා වෙන්නේ නැහැ. පිංවත් ඔබට පුළුවන්නම් දකින්න ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක, දුක යැයි කියලා. මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි කියලා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැතිකළ යුතුය කියලා. තෘෂ්ණාව නිරෝධය කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ඒ උතුම් චතුරාර්යසත්ය ධර්මයන්ට අදාළව යම් පිංවතෙක් ජීවත්වෙනවා නම්, එම පිංවතා ස්වභාව ධර්මය සමග ජීවත්වෙන පිංවතෙක් වෙනවා.
ආර්ය මාර්ගයේ නිවැරදිව ගමන් කරන පිංවතකු ගේ ජීවිතය කවදාකවත් මිච්චා සංකප්පයන්ගෙන් කැළඹීමට පත්වෙන්නේ නැහැ. එම පිංවන්ත ජීවිත සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් මොනවට පෝෂණය වෙලයි තිබෙන්නේ. අපි තව ජීවත්වෙන්නේ මොනතරම් නම් කෙටි කාලයක්ද. ඒ කෙටිකාලය තුළ අපි ජීවත්වෙන්න ඕනේ මැරෙන බව දැනගෙනමයි. ඒ දැනීම අයිති වෙන්නෙත් විඤ්ඤාණය නැමැති මායාකරුවාටමයි. ඒ නිසා ම අපි මරණය ගැන සිතීමේදීත් පරිස්සම් වෙන්න ඕනේ. එසේ නොවුණොත් අපේ මරණය පටිච්චසමුප්පන්න තවත් උපතකට හේතුවෙන්න පුළුවන්. මහා සංඝරත්නයවන අපි, මේ කෙටි ජීවිත කාලය ජීවත්වෙන්න ඕනේ, ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ, ඥානදර්ශනයන්ගේ, විමුක්තියේ රසයන් අනුභව කරලාමයි. මේ උතුම් රසයන් අපේ ජීවිතගත වෙනකොට සංඝ සමාජයේ අපේ ආයුෂය, වර්ණය, සැපය, බලය පමණක් නොවේ, උතුම් ජීවමාන ශාස්තෘන්වහන්සේවන ධර්ම විනයේත් ආයුෂය, වර්ණය, සැපය, බලය පෝෂණය කළා වෙනවා. අපි ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ, ස්වභාවික රසයන් වෙනුවට, කාමච්චන්ද ආදී වූ පංචනීවරණයන්ගේ අස්වාභාවික රසයන් පසුපස අපි ගියොත්, ජීවමාන ශාස්තෲන් වහන්සේවන උතුම් ධර්ම විනයේ ආයුෂ, වර්ණය, සැපය, බලය බොහෝම ඉක්මනට දුර්වලවෙලා යාවි. වර්තමානයේ අපි, අතීතයේ වැඩ සිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට බුද්ධ පූජාවෙන්, බුද්ධ වන්දනාවෙන්, කෘතගුණ දක්වා, වර්තමානයේ ජීවමානව වැඩසිටින උතුම් ධර්ම විනය නැමැති ශාස්තෲන් වහන්සේට අඩු ගෞරවයක් දක්වනවා නම් උතුම් චතුරාර්යසත්ය ධර්මයන් නොසලකා පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව මත්තේම වැඩ සිටිනවා නම්, දුක හැර අපිට බලාපොරොත්තු වෙන්න අන් දෙයක් නැහැ.
පින කියලා කියන්නේ වර්ණය, සැපය, බලයට. පින තරම් ප්‍රනීත ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුළ තවත් නැහැ. වසවර්ති දිව්‍ය පුත්‍රයා, මේ ලෝක ධාතුවේ බලයට අධිපත ිවුණේ පෙර පටිච්චසමුප්පන්න පින නිසාමයි. මෙය සටහන් තබන භික්ෂුව සම්මාදිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ පිනට හරිම බයයි. භික්ෂුවගේ ගිහි සහ පැවිදි ජීවිතයේ දී විපාකයට පැමිණි පව නිසා, භික්ෂුව ගොඩාක් කටුක අත්දැකීම්වලට මුහුණ දීලා තිබෙනවා. මෙවන් කටුක අත්දැකීම්වලට භික්ෂුව මුහුණ දුන්නේ, අතීතයේ පටිච්චසමුප්පන්නව පිනෙන් උදම්වෙලා සිදුකොටගත් පව් නිසාමය කියලා. භික්ෂුව වර්තමානයේ හොඳින්ම දන්නවා. වර්තමානයේ පෙර පිනෙන් උදම් වෙච්ච පිංවත් මනුෂ්‍යයෝ, දුශිල්වත් භාවයන් සහ ලෝභ, ද්වේශ, මෝහ, ධර්මයන් සමග සෙල්ලම් කරනවා දැක්කහම, භික්ෂුවට නම් සිතෙන්නේ අනේ අපොයි කියලාමයි.
පිංවත සංස්කාර අධිකරණය හරිම සාධාරණයි. ඔබේ ම පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ ස්ථානගත වෙච්ච මේ සංස්කාර අධිකරණයට බොරුකරන්න, බොරුකියන්න කාටවත්ම බැහැ. ජීවත්ව සිටිය දී අපි බොරුවෙන් මොන සෙල්ලම් දැම්මත්, මරණාසන්න මොහොතේ අවසාන චුති සිතේ දී පැමිණිල්ලත්, විත්තියත් ඔබම වූ කල, විනිශ්චයකරුවා වන්නේ ද ඔබේ ම හෘද සාක්ෂියයි. පිංවත ඔබේ සිතුවිලි අකුසලයට බර නම්, කරුණාකර ඔබේ ම සතිය සිහිය කියන පොලිසියට පැමිණිලි කරන්න. හැබැයි ඉතිං ඔබ තුළ සතිය සිහිය කියන පොලිසිය සක්රීයවෙන්න නම්, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවනින් මෙනෙහි කිරීම, වහ වහා ජීවිතයට එකතු කොටගන්න ඕනේ. අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී සතිය සිහිය දුර්වල පිංවතෙක් මුණගැසුණා. ඒ පිංවතා දානය පූජා කරද්දී භික්ෂුවට අරක්කු ගඳක් දැනුණා. ඊයේ රාත්‍රියේ බීපු අරක්කු. අරක්කු දුර්ගන්ධය ආවත් ඒ මහත්මයා බොහෝම ගෞරවයෙන් දානය බෙදුවා. පිංවත් ඔබ දන්නවා ද අරක්කුවල දුර්ගන්ධය කුමක්ද කියලා. කාම්ච්චන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුණු සිත, සැකය, කියන දුර්ගන්ධයන් පහම අරක්කු මතය තුළ තිබෙනවා. බලන්නකෝ ගඳ පහක් තිබෙන එක බීමක් තමයි අරක්කු කියන්නේ. මුදල් වියදම් කරලා ගඳ පහක් බොන මනුෂ්‍යයෝ, නොමිලයේ සප්තබොජ්ජංගයන්ගේ සුවඳ දුන්නත් එපා කියලාමයි කියන්නේ. අරක්කු බොන පිංවතා තමන්ගේ සැපයත්, කුසලයත්, සුගතියත් යන තුනම තමා විසින් ම සොරකම්කොට ගත්ත කෙනෙක් වෙනවා. යම් රටක දේශපාලනයට අරක්කු මුදලාලිලා සම්බන්ධවේද, එම රටට අවසානයේ ඉතිරි වන්නේ ධරිද්රතාවයත්, බේබදුකමත් පමණක්මයි. සංස්කාර පච්චයා විඤ්ඤාණං, අපේම අතීත සංස්කාර හේතුවෙන් අපිට දැනීම් සකස් වෙනවා. වරද තිබෙන්නේ අරක්කු අතේ නොවේ, අපේ ම අතීත අකුසල් සංස්කාරයන් අතේමයි.
මතින් තොර සමාජයක් ලෝකයේ කොතැනකවත් නැහැ. නමුත් අසීමාන්තික ලෙස මනුෂ්‍යයා අරක්කුවලට ඇබ්බැහි වෙනවා නම්, පූර්වාදර්ශී දේශපාලනයක් තුළින් පංචශීලයේ ශක්තියමයි සමාජගත කළ යුත්තේ. දේශපාලඥයා කල්‍යාණමිත්‍රයෙක්, සත්පුරුෂයෙක් නොවන කල්හි දී පාපමිත්‍ර ධර්මයෝ සමාජගත වීම ධර්මතාවයක්මයි. පිංවත අපේ ම අතීත අකුසල්වලට අනුනට ඇඟිලි දිගුකරලා වැඩක් නැහැ. නො හැදෙන ලෝකයක ඔබ හැදෙන දරුවෙක් වෙන්න. ඔබේ පිහිටට ඉන්නේ ඔබම, ඔබ තුළින් ම මතුකොට ගන්නා කුසල් සිත පමණක්මයි. ඔබ හැමෝගේ ම කුසල් සිත් එක මිටකට ආවොත්, ඒ කුසලයේ බලයට පුළුවන්, සියලූම අරක්කු කඩ වසා දමන්න. ඔබ සැමගේ අකුසල් සිත් එක මිටකට ආවොත්, මුළු සමාජයම අරක්කු පාරාදීසයක් වෙන්න පුළුවන්. කුසලයයි, අකුසලයයි හේතුවෙන් සිදුවෙන මේ යහපත් සහ අයහපත් දෝලනය, ඔබ පුද්ගල සංඥාවන්ගෙන් නොගෙන අවිද්‍යාවේ කැඩපතක් සේම දකින්න. මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, තරුණ ගිහිකාලයේ මත් වී නිදාගත් එක් රාත්‍රියක, පසු දා උදෑසන මම තවමත් අවදිවූයේ නැත්තේ ඇයිදැයි බැලීමට, මගේ සයනය ළඟට අම්මා පැමිණි මොහොතේ, මම අම්මට කිව්වා, අම්මේ, මට දෙහි බෑයක් ගෙනැත් දෙන්න කියලා. එවිට අම්මා මට සැරෙන් කිව්වා, උඹට දෙහි බෑයක් නොවේ, කොසු පාරක් දෙනවා කියලා. අද වෙනකම් ඒ අම්මා දෙහි බෑය මට ගෙනැත් දුන්නේ නැහැ. ඒ අම්මා අද ජීවතුන් අතර ඉඳලා මේ සටහන කියෙව්වා නම් මොනතරම් සතුටක් ලබයිද. ඒ සතුට භික්ෂුවටත්, මගේ අම්මාටත් අහිමි කළේ භික්ෂුව හෝ අම්මා නිසා නොව, අපේ ම අතීත අකුසල් සංස්කාරයන් නිසාම යි. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ, දැනීම් ඔස්සේ ලෝකය පාලනය කරනවා. පිංවත කරුණාකර, ඔබේ පාලකයා ඔබ හඳුනාගන්න. ඔබේ ම ඵස්සය නැමැති රජමැඳුරේ සිංහාසනාරූඪව සිටින, පංචනීවරණ තිරිවානා ගල් එබ්බ වූ රජ කිරුළ දරාගත්, අවිද්‍යාව නැමැති පාපමිත්‍ර රජතුමා ඔබේ දුකේත්, ඔබේ සැපයේත් උපත බව හඳුනාගන්න.
පිංවත සැබෑ ධර්මානුකූල සටනකට ඔබ සූදානම් නම්, සැබෑ සතුරා ඔබ හඳුනාගන්න ඕනේ. තවමත් අපි සතුරා වශයෙන් දකින්නේ සතුරාගේ නියෝජිතයන් මිස, සැබෑ මහ මොළකරු නොවේ. ”අවිද්‍යාව’’ ඔබෙත්, මගෙත්, භව නිරෝධයේ සැබෑ ම සතුරායි. පිංවත අනිත්‍ය වී යන දුකේත්, සැපයේත් සැබෑ ම මහ මොළකරු අවිද්‍යාව බව හඳුනාගෙන, මහ මොළකරුගේ ගොදුරු බිමවන, ඵස්සයේ තෘෂ්ණාව නැමැති සංග්රාම භූමියට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවිහිංසාවේ අවි දරාගෙන පෙළගැසෙන්න. පිංවත ඉක්මන් කරන්න අවිද්‍යාව මේ දවස්වල පංචඋපාදානස්කන්ධ ලෝකයට නොමිලයේ ම මදි නොකියන්නට, ඇතෙක් බරට, තම සුවච කීකරු නියෝජිතයන් හරහා ඇලීම් සහ ගැටීම් බෙදා දෙනවා. මේ දවස්වල අවිද්‍යාවේ මහ මොළකරුට වැඩිම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ලාභාංශ ලබාදෙන අලෙවි නියෝජිතයන් වී සිටින්නේ රටේ දේශපාලනයයි. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකේ නියෝජිතයාත්, මහ මොළකරුත් නැවත ඔබ පටලවා ගන්න එපා.
වෙලාව රාත්‍රී හතත් පසුවෙලා. කුටියේ පියස්ස යට වාඩිවෙලා වටාපිටාව බලද්දී, අඳුරට මැදි වූ කැලෑරොද පමණක්මයි පෙනෙන්නේ. මේ අඳුරු කැලෑ රොද හරිම අහිංසකයි. මේ අඳුරු කැලෑ රොදේ දෙවියෙක් සිටියත්, අමනුෂ්‍යයෙක් සිටියත්, සතෙක් සිවුපාවෙක් සිටියත්, තෙරුවන්ගේ අනුහසින් ධමනය වෙලාමයි සිටින්නේ. සත්පුරුෂ ආශ්‍රය, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණ තැන දි දෙවියනුත්, අමනුෂ්යයනුත්, සතා සිවුපාවුණුත්, පිං කර ගන්නවා. පිංවත් මනුෂ්‍යයන් පමණක් නොවේ, පිනට කැමැති පරදත්තරූපජීවි පේ‍්‍රත, පේ‍්‍රතියන් විශාල වශයෙන් සිටිනවා. දන් දෙන්න, බණ අසන්න, ඈතට වෙලා බලාසිටින්න, ඒ අය හරිම කැමැතියි. පව් අහිංසක, අහිංසකාවියෝ, පෙර මනුෂ්‍ය ජීවිතයේ දී කල්‍යාණමිත්‍ර ආශ්‍රය නොලැබුණ නිසාම, පේ‍්‍රත ලෝකයට වැටිලා. අවිද්‍යාවෙන් පෝෂණය වූ තෘෂ්ණාව, ඇයි ඔබ සත්ත්වයාට මේ තරම් කුරීරු අසාධාරණයක් සිදුකරන්නේ. තෘෂ්ණාව මෙවන් අසාධාරණයක් සත්ත්වයාට සිදුකරද්දීත්, ඇයි පිංවතුන් ඔබලා තෘෂ්ණාවට මේ තරම්ම ආදරය කරන්නේ. කරුණාකරලා තෘෂ්ණාව ජීවිතයෙන් දික්කසාද කරන්න. අද ම ඔබේ සතිය සිහිය නැමැති පොලිසියට පැමිණිල්ලක් කරලා, දික්කසාදයට අවශ්‍ය ආර්යඅෂ්ටාංගික මාර්ගයේ නිවැරදි ලියකියවිලි සියල්ල සූදානම් කොටගන්න.