අපේ ජීවිත පෝෂණය කරන ධම්මානුපස්සනාව

පිංවත, දුක ජයගන්න නම් සැපය සතුටින් පිළිගන්න එපා. දුකත්,සැපත් යන දෙක කෙරෙහිම උපේක්ෂා සහගත වෙන්න. එතැනයි දුකේ සහ සැපයේ නිරෝධය තිබෙන්නේ. කවදාකවත්ම ඔබේ ගැටෙන සිතත් සමග ඔබ ගැටෙන්න එපා. ඔබේ සතුටු සිතත් සමග ඔබ ආස්වාදය ලබන්න එපා. ඔබ තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි සමග සාකච්ඡා කරන්න. ඔබ කොහොම ද සාකච්ඡා කරන්නේ, ”සිත’’ ඵස්සය හේතුවෙන් සකස්වෙන ඔබ, ඇලීම් සහ ගැටීම් සොයාගෙන යන ස්වභාවය මම හොඳින්ම දන්නවා. ඵස්සය කෙරෙහි මා තුළ ඇති තෘෂ්ණාව මම හොඳින් අඳුරනවා. ”සිත’’ කලබල නොවී අපි ඔහොම යමු, ‘‘සිත’’ ඔබ මට දමන ඇලීම් සහ ගැටීම් උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ගේ ග‍්‍රහණයට කවදාහරි මම ගන්නවා. පිංවත, ඔබේ ඇලෙන ගැටෙන සිතත් සමග ඉහත ආකාරයට සංවාද කරන්න. එතැනදීම පිංවත් ඔබ තුළ සතිසම්බොජ්ජංගයෙන් පෝෂණය වූ උතුම් ධම්ම විජය බොජ්ජංගයයි මෝදුවෙන්නේ. උතුම් ධම්ම විජය බොජ්ජංගයමයි උතුම් වීර්ය බොජ්ජංගය ප‍්‍රසූති කරන්නේ. වීර්ය බොජ්ජංගයේ දරු පැටියගේ විශ්වසනීය මුහුණු පොඞ්ඩ දකිද්දී ප‍්‍රීතිය සහ ඵස්සද්ධියමයි ජීවිතය සංසිඳවන්නේ.

ඵස්සයේ තෘෂ්ණාවට වැට බැඳපු ජීවිතය මොනතරම් නම් ලස්සනද? අතීතයේ වැඩසිටිය උතුම් රහතන්වහන්සේ තම තෘෂ්ණාවේ නිරෝධය ගැන මොනතරම් නම් ලස්සන උදාන වාක්‍යය කියා තිබෙනවාද? ඒ ලස්සන ජීවිත තුළ අනුශයකුදු තෘෂ්ණාවක් තිබිලා නැහැ. ඒ උතුම් ජීවිතවලට මරණය කියන අර්ථය අයිති නැහැ. නිවීයන ධර්මතාවයක් කෙසේ නම් මැරෙන්න්ද? සතිසම්බොජ්ජංගය මුල්කොටගෙන තමා සමග තමා යන මෙහෙයුමකමයි නිවීමේ මාර්ගය කියන්නේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ගමන නිවැරදිව ගියොත්, තමාත් තම ගමනත්, මාර්ගයත් යන සියල්ලම උන්වහන්සේට ධම්මානුපස්සනාවක්මයි වෙන්නේ. පිංවත ඔබ ධම්මානුපස්සනාව පුහුණු කරනවාද? මොහොතක් ඔබ දෑස් පියාගෙන, ඔබේ ආශ්වාස ප‍්‍රශ්වාසයට සිත යොමුකරන්න. ඒ ආශ්වාස ප‍්‍රශ්වාසයෝ අනිත්‍ය වී යන හැටි නුවණින් දකින්න. ඔබ සිටින්නේ ධම්මානුපස්සනාව තුළයි. අතීතයට ඔබේ සිත මෙහෙයවලා අතීතයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක්ම අනිත්‍යයි කියලා දකින්න. ඔබ සිටින්නේ වේදනානුපස්සනාව තුළින් පෝෂණය වූ ධම්මානුපස්සනාව තුළයි.

පිංවත් ඔබේ පිංවන්ත මාතෘභූමිය, තෘෂ්ණාවේ සෝදාපාළුවට හසුවී, ජනතාවගේ ශෝක, පරිදේව, දුඛ්‍ය දෝමනස්සයන් උත්සන්නව ඇති වර්තමානයේ, සමාජයේ සිදුවෙන සෑම ධර්මතාවයක්ම අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ තෘෂ්ණාවේ ඵලයන් හැටියට දකින්න අපි දක්ෂනම්; ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් හැටියට දකින්න අපි දක්ෂ නම්; සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන දැනීම් ලෙස දකින්න අපි දක්ෂ නම්; අපි කවදාකවත් දුකේ කොටස් කරුවන් වෙන්නේ නැහැ. අපේ ජීවිත ධම්මානුපස්සනාව තුළින්මයි පෝෂණය වෙන්නේ. අපේ ම අතීත අකුසල් සංස්කාරයෝ අපේම මාතෘභූමිය අවලස්සන කරලා. කොයි දිශාවෙන් බැලූවත් ප‍්‍රශ්න මිස නිරවුල්භාවයක් දකින්න නැහැ. අකුසල් සංස්කාරයෝ මොනතරම් නම් බලවත්ද? සියලූ සංස්කාරයෝ අස්ථිර ලෝකයක, උතුම් ධම්මානුපස්සනාවමයි ඔබේ දුකේ නිරෝධය ඔබට ස්ථිර කොටදෙන්නේ. පිංවත, ධම්මානුපස්සනාව නිවනට කොතෙක් සමීප වුණත්, ඔබ ධම්මානුපස්සනාවට ආදරය කරන්න එපා. ආදරයත් ධම්මානුපස්සනාවෙන්ම දකින්න.

මේ සටහන තබන දැන් වෙලාව රාත‍්‍රී අටට පමණ ඇති. භික්ෂුවගේ ජීවිතයේ තවත් ලස්සන දවසක් ගෙවිලා යනවා. දවස ගෙවීගියත් මේ ලස්සන දවස උදාකරගන්න භික්ෂුව අතීතයේ මොනතරම් නම් කුසල් සංස්කාරයෝ වඩන්නට ඇතිද? ජීවිතය කියන්නේ විහිළුවක්. අතීතයේ වඩපු දෙය ගෙවීයනවා. අපි තව තවත් ගෙවීයන සංස්කාරයෝම රැස්කරනවා. පිංවත සියලූ සංස්කාරයෝ අස්ථිර ලෝකයක, හෙට දවස කියලා කියන්නේ මහමෙරක් වගේ දෙයක්. පිංවත් ඔබ මේ රත‍්‍රියේ මොහොතක් හෙට දවස ගැන බලාපොරොත්තු, අපේක්ෂාවන් රහිතව ජීවත්වෙන්න. එවිට වර්තමානයත්, අතීතයත් පිළිබඳව දැනීම් ඔබතුළින් තාවකාලිකව මැකීයාවි. දැන් ඔබට පුළුවන් අවිද්‍යා පච්චයා සංඛාරා, පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් ඔබේ දැක්ම පිරිසිදුකොට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ මාරයාය කියලා. අපි හැමෝම මාර ධර්මයන් පහක් ජීවිතය තුළ දරාගෙනයි ජීවත්වෙන්නේ. පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ මේ මාර ධර්මයන් දරාගෙන අතිශය භයානක, අවධානම් සහගත ගමනක් අපි යන්නේ. යම් පිංවතෙක් කොක් හඬලා සිනාසෙද් දී භික්ෂුවට බියක් දැනෙනවා, මේ සිනහව තුළිනුත් කාමච්චන්දයන්ට අදාළව අකුසල් මූලයක් නේද රැස්වෙන්නේ කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේත් යම් අවස්ථාවල මද සිනහාවක් පහළ කළා. ඒ මද සිනහාවත් පෝෂණය වුණේ හේතුඵල ධර්මයන් දකින උතුම් ධම්මානුපස්සනාවෙන්මයි. පිංවත, ඔබ තුළ සකස්වෙන ප‍්‍රීතිය, ඵස්සද්දිය කියන්නේ සතිසම්බොජ්ජංගයේ ඵලයක්. ඔබ තුළ සකස්වෙන සතුට කියලා කියන්නේ කාමච්චන්දයන්ගේ ඵලයක්. යම් පිංවතෙක් කියනවා නම් මම හම්බකරලා කාලා බීලා සතුටෙන් ජීවත්වෙනවාය කියලා, ඒ සතුට අයිතිවෙන්නේ කාමච්චන්දයන්ට. ඔබ දක්ෂවෙන්න ඕනේ කළ්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලබලා කාමච්චන්දයන්ට අයිති සතුට, සප්තබොජ්ජංගයන්ට අයිති ප‍්‍රීතියක් ඵස්සද්ධියක් බවට පත්කොට ගන්න. ඔබ ලබන කාමච්චන්දයන්ට අයිති සතුට ප‍්‍රීතියක් ඵස්සද්ධියක් බවට පත්කොටගන්න නම්, ඔබ චතුරාර්යසත්‍යය ධර්මයන් කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න ඕනේ. එවිට ඔබට පුළුවන් ඔබේ සතුට ලෞකික ප‍්‍රඥ්‍යාවෙන්, ශීලයෙන්, සමාධියෙන් පෝෂණය කොටගන්න. ලෞකික ප‍්‍රඥාවෙන්, ශීලයෙන් පෝෂණය වූ සමාධිය යම් තැනකද, එතැන නොසැඟ වී ප‍්‍රීතිය ඵස්සද්ධිය උපදිනවා.

වර්තමාන මනුෂ්‍ය සමාජය තුළ ප‍්‍රීතිය, ඵස්සද්ධිය හරිම දුර්වලයි. අපි හැමෝම කැමති කාමච්චන්දයන්ගේ සතුටට. කාමච්චන්දයන්ගේ සතුට තුළ ව්‍යාපාදය, ථීනමිද්ධය, සිතේ විසිරීම, විචිකිච්චාව සැඟවිලා තිබෙනවා. නමුත් ප‍්‍රීතිය ඵස්සද්ධිය ඔබට උපද්දවා දෙන්නේ සමාධිය උපේක්ෂාවමයි. මේ උපේක්ෂා සහගත සිතට පුළුවන් චතුරාර්යසත්‍ය අවබෝධය දක්වාම ඔබට උපකාර කරන්න. මේ උතුම් ධර්ම මාර්ගයේ සැබෑම කළ්‍යාණ මිත‍්‍රයා වෙන්නේ සමාධිය තුළින් විකසිතවෙන උපේක්ෂාවමයි.

පිංවත, කැඩෙන, බිඳෙන, විසිරෙන මේ පංචඋපාදානස්කන්ධ ලෝකය, නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන ලෝකයක් බවට පත්කිරීමට දහවල් සිහින දකින්න එපා. අද අපි හැමෝට ම ඉතිරිවෙලා තිබෙන්නේ, අධ්‍යාත්මික සහ බාහිර පංචඋපාදානස්කන්ධ මාරයාගේ, හිස අත ගා, අපේ ජීවිත තුළින් විදර්ශනාත්මක ධර්මයන් මතුකොට ගැනීම පමණක්මයි. පිංවතුන්ලා කිසිම කෙනෙක් සමග වාදයට, ආරවුලට, රණ්ඩුවට යන්න එපා. පිංවත් ඔබේ සිතේ පැටළෙන ආරවුල, මුලින්ම සතිසම්බොජ්ජංගයේ පිහිටෙන් නිරවුල්කොට ගන්න. මෙය සටහන් තබන භික්ෂුව, ගෞරවණීය භික්ෂු සමාජයේ අන්තිමයා. සියල්ලන්ට ම පිටුපසින් භික්ෂුව වැඩසිටින්නේ. ඒ නිසා ම භික්ෂුවට, මා ඉදිරියෙන් සිටින ගෞරවණීය භික්ෂු සමාජය ම හොඳින්ම පෙනෙනවා. මෙය සටහන් තබන භික්ෂුව යම් පමණකට හෝ නිවැරදි වුණෙ, මා ඉදිරියේ සිටින අනුනගේ වැරදි සහ නිවැරදිභාවයන් දැකලා. අනුනගේ වැරදි ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න අපි කැමැතිවිය යුතුයි. එතැනයි නිවැරදි වීමේ දොරටුව තිබෙන්නේ. පිංවත් ඔබ ඔබේ ඵස්සයේ ඇලීම් සහ ගැටීම්වලට විශ‍්‍රාම දුන්නොත් ජීවිතය මොනතරම් නම් නිරවුල්ද? ඒත් අපි අසිහියෙන් සොයාගෙන යන්නේ අවුලක්මයි. අවුලේ මුල රූපය මම මයි, විඳීම මම මයි, සංඥ්‍යා, සංස්කාර, විඤ්ඤාණය මම මයි යැයි දකින ආත්මීය දෘෂ්ටියමයි. මේ දෘෂ්ටිය පරාජය කරන්නේ උතුම් සෝවාන්ඵල අවබෝධයමයි. පිංවත එතෙක් ඔබට යමෙක් බැන්නොත් ඔබ බනින්න යන්න එපා. ඔබට ගැසුවොත් ඔබ පෙරලා ගහගන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක් කස පහරවල් ලබලා හරි, මේ තෘෂ්ණාවෙන් වියරු, සංස්කාර ලෝකයේ ඇත්ත, ඇති සැටියෙන් දකින්නය කියලා. බුදුරජාණන් වහන්සේ උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබීම උදෙසා එපමණ කැපවීමක් කරන්න යැයි දේශනා කරද්දී, අපිට අනුනගේ විවේචනයක් ඉවසන්න බැරිනම් අපි තාමත් විදර්ශනා ලෝකයේ උපත ලබා නැති කලල රූපයන් නේද. පිංවත, ඔබේ ජීවිතයට ඔබ අසාධාරණයක් කරන්න එපා. ජීවිතයට ඉඩදෙන්න මේ වියරු සංස්කාර ලෝකයෙන් මිදීයන්න.

භික්ෂුවගේ හිස රැවුල හොඳටෝම වැවිලා. පරිසරයේ ශීතල වැඩි නිසා සතියකින් පමණ හිස, රැවුල කැපුවේ නැහැ. හිස, රැවුල අත්ලෙන් පිරිමදිද් දී හරිම ගොරෝසු බවක් දැනෙනවා. රූපයේ ආස්වාදය ආදීනවය විසින් සිත්සේ සොරකම් කරලා. අවිද්‍යාවෙන් උපන් අතීත සංස්කාරයන් කිසිවක්, දැන් භික්ෂුවට අයිති නැහැ. රූපයේ කොතැන බැලූවත් ආදීනවය විවෘතව බබළනවා. උතුම් පිරිනි වීම සඳහා කුසිනාරා නුවරට වඩින ගමනේ අවසාන භාගයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දැනුම් දෙනවා, ආනන්ද, මගේ කය දැන් දිරාගිය කරත්තයක් වගේය කියලා. පිංවත, අපි මේ වාද විවාද කරන්නේ, ගහ බැන ගන්නේ මොනවා නම් දිනාගන්නද. මොනවා නම් අයිතිකොට ගන්නද. පරදත්තරූපජීවි පේ‍්‍රත ලෝකයේ ජයග‍්‍රහණය බොහොම වේගෙයෙන් වැඩිවෙනවා. ප‍්‍රධාන ආරාමයක දන්පැන් පූජාකරපු ප‍්‍රධාන දායිකාව මියගිහිල්ල, පරදත්තරූපජීවි පේ‍්‍රත ලෝකයේ උපදිනවා. කිලිටි වූ සුදු සාරියකින් සැරසුණ මේ පේ‍්‍රතිය, පසළොස්වක පොහොය දවසට ආරාමයේ සිල් පිරිස අතරට තවත් පේ‍්‍රතියන් සමග එනවා. ඒ සිල් සමාදන් වෙන්න නොවේ. පෙර මනුෂ්‍ය ජීවිතයේ පුරුද්දට, තමා තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් ආරාමයේ තමාට හිමි ලොකුකම අනිත් පිරිවර පේ‍්‍රතියන්ට පෙන්වන්න. පිංවතුනේ ආරාමයක ප‍්‍රධාන දායිකාවට මරණින් පසු වෙච්ච දෙය මෙහෙම නම්, අනේ අපිට විදර්ශනා ප‍්‍රඥාව හැර කිනම් පිහිටක්ද?