පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් තව තවත් ජීවිතයට සමීප කරලා අතීතයේ අත්විඳි සෑම විඳීමක්ම මිරිඟුවක් සේ ජීවිතයෙන් මැකී යනවා. උදේ සවස විදර්ශනාත්මකව මෙනෙහි කරමින් සිටින්න, රැලි වැටෙන සමක්, දිය වී යන මස්පිඬු ගොඩක්, දුර්වල වී යන ආයතන හයක් පමණක්මයි, ඔබ, මට වර්තමානයේ ඉතිරිකොට දී තිබෙන්නේ. භික්ෂුවට මතකයි ගිහි ජීවිතයේ දී ඔබ එනතුරා මම මග බලා සිටිනවා ජීවිතය විඳින්නට. ඇත්තටම අතීතයේ මම සිතුවේ ඔබ මම ය කියලා, ඔබ මගේමයි කියලා, ඔබ මගේ නොවෙනස් වෙන ආත්මය යැයි කියලා. ඔබ වෙනස් වී යන ධර්මතාවයක්ය කියලා මම දැනගෙන සිටියේ නැහැ. ඒත් භික්ෂුව වර්තමානයේ දන්නවා භික්ෂුවට ශත පහක අයිතියක් නැති ඔබ, අවිද්යාවෙන්ම උපන් සංස්කාරයෝය කියලා. අතීත ගිහි ජීවිතයේ දී ඔබ හඬන්නට කඳුළු ඉතිරි නොකරම මට දුක් දුන්න මොහොතේ, ඔබ සිතුවත් මට දඬුවම් දුන්නා යැයි කියලා, උතුම් සද්ධර්මයේ පිහිටෙන්, භික්ෂුව දක්ෂ වුණා, ඔබ තුළින්ම ඔබේ පිය උරුමය වන අවිද්‍යාවේ වියරු ඇත්ත දැන ගන්න. පටිච්චසමුප්පන්න කුසලය සහ අකුසලය වර්තමානයේ ඔබ කොතෙක් භික්ෂුවගේ ඇසට ඇන්නත්, ඔබට බැහැ භික්ෂුවගේ ඇසෙන් සතුටු හෝ දුක් කඳුළක් දකින්නට.
පිංවත, ලැබුවා වූ නව වසරේ දී අවිද්‍යාවේ මාර්ග බාධක ඉවත්කොට ඔබේ ජීවිතයට ඉඩ දෙන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ නිදහසේ හැසිරෙන්න. ලෝකය මේ යන්නේ සංස්කාරයන් සමග කථා කරන්න යන ගමනක්. එම නිසා ලෝකය යන ගමනේ ඇද කුද සොයන්න යන්න එපා. ලෝකය යන ගමනේ වැරදි සොයන්න ගියොත්, ඔබේ ගමන ඔබට අතපසු වේවි. සංස්කාර ලෝකයේ රජ්ජුරුවෝ තමයි අවිද්‍යාව කියන්නේ. වර්තමාන ලෝකයේ ඕනෑම රටක් පාලනය කරන පාලකයන්ගේ පමණක් නොව, වසවර්ති දිව්‍ය පුත්‍රයාගෙත් මෙහෙයවන්නා වෙන්නේ මේ ඵස්සයේ පැටළුණු අවිද්‍යාවයි. පේනවා නේද, අවිද්‍යා රජතුමාගේ තිබෙන බලවත්භාවය. මොහු මෙතරම් බලවත් වෙන්නේ, පංච නීවරණ උපාධි පහම ඉහළින්ම ලබාගත්, දුක සහ සැප පටලවන අසිහියේ මහාචාර්යවරයෙක් නිසාමයි.
පිංවත, උදා වූ නව වසරේ දී අවිද්‍යාවේ බලවත්භාවය නුවණින් දැක, ඔබ ඇසෙන් රූපයක් දකිද්දී, කනෙක් ශබ්දයක් අසද්දී, මනසට සිතුවිල්ලක් සිතෙද්දී කරුණාකර, ඔබේ ඵස්සයේ කුමරි බඹසර, කුමර බඹසර ආරක්ෂාකොට ගන්න. එවිට ඔබේ ඵස්සය භවයේ දරු ප්‍රසූතිය සඳහා ගැබ් ගන්නේ නැහැ. පිංවත් ඔබ ඇසෙන් දැක්ක රූපය දැක්කාය කියන තැන නවතින්න. කනට ඇසුණු ශබ්දය ඇසුණාය කියන තැන නවතින්න. මනසට නැගෙන සිතුවිල්ල දැනුණාය කියන තැන නවතින්න. අවිද්‍යාවට කැමති ලෝකයාට නිදහසේ පෙරට යන්න දෙන්න. පිංවත් ඔබ, ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් නොඉඳුල්ව තබා ගන්න. එවිට ඔබේ ජීවිතය උතුම් ධම්මානුපස්සනාවක්මයි. ජීවිතය උතුම් ධම්මානුපස්සනාවක් වෙද්දී, පිංවත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවලා, ලෝකයේ සමුදයත් නිරෝධයත් දකින්න. අනාගතයේ කවදාහරි දවසක් ඒවි අපිට, අපේම අතීතය අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක් යැයි නුවණින් දැක, අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි තෘෂ්ණාව මැකී යන. අපිට අපේ අතීත දැනීම් කෙරෙහි තෘෂ්ණාව මැකී ගියොත්, ඉන් අදහස් වෙන්නේ විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙලා යන්නයි. විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙච්ච තැන, සංස්කාර, සංඥා, විඳීම් කෙරෙහි තෘෂ්ණාව මරණයට පත්වෙලයි තිබෙන්නේ. මේ සියල්ල මරණයට පත්වුණේ ඵස්සයේ අවිද්‍යාව හිස්කළ නිසාමයි. මේ සියල්ල ධර්මානුකූලව සිද්ධ වෙන්න නම්, අපි අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් පරිපූර්ණ වශයෙන්ම කායානුපස්සනාවෙන් අනිත්‍ය යැයි අවබෝධය ලබන්නම ඕනේ. පිංවත, ලැබුවා වූ නව වසරේ දී පංච නීවරණ ධර්මයන්ගේ අනතුරු නුවණින් දැක සති සම්බොජ්ඣඬ්ඟයේ කිරි මවු තුරුලට එන්න. ඇයගේ දෙතනින් උරා බොන උතුම් ධර්මයේ මවු කිරෙන්මයි ධර්මයේ රස නහර, වීර්යය, ප්‍රීතිය, පස්සද්ධි, සමාධි, උපේක්ෂා ධර්මයන් ඔස්සේ විදර්ශනාත්මකව ඔබේ දුකෙන් මිදෙනා මාර්ගය පෝෂණයකොට දෙන්නේ. පිංවත් ඔබ තවදුරටත් අනුනගේ වැරදි දැක දැක අනුනගේ වැරදි කිය කියා ඉන්නේ නැතිව, තමන් නිවැරදි වෙන්න. තමන් ශක්තිමත් වෙන්න. අනුනගේ අවිද්‍යාව නිසා ඔබ විනාශ වෙන්න එපා. අද මුළු සමාජයම අනුනගේ අවිද්‍යාව නිසා තමන්ගේ අවිද්‍යා ගිණුම්මයි ශක්තිමත්කොට ගන්නේ.
මෙය සටහන් තබන භික්ෂුවටත්, ගිහි ජීවිතයේ දී අකුසල් සංස්කාර විසින්ම දවසක් උදා කළා, තවදුරටත් ජීවත් වෙනවා ද, මැරෙනවා ද කියලා තීරණයක් ගන්න. පටිච්චසමුප්පන්න භික්ෂුවගේ අකුසල් සංස්කාරයෝ, භික්ෂුවට එළව, එළවා පහර දෙද්දී මගේම අතීත කුසල් සංස්කාරයෝ මට දැනීම් සකස්කොට දුන්නේ ජීවත් වෙන්නවත්, මැරෙන්නවත් නොවේ, ජීවිතයත්, මරණයත් යන දෙකෙන්ම නිරෝධය සොයා යන්නයි. පිංවත, වර්තමාන සමාජයේ ගොඩාක් දේශපාලන, ආර්ථික දුශ්ශීලභාවයන්, හැසිරීමේ දුර්වලභාවයන් දවසින් දවසම වැඩි වෙනවා. සද්ධර්මයේ සෙනෙහස නොලබා කලකිරීමේ කරවටක් ගිලුණු ඔබට සිතෙන්න පුළුවන්, ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියලා. පිංවත, මෙවැනි සිතුවිලි ඇතිකොට ගැනීමෙන් අවිද්‍යාවේ අකුසලයට යට වෙන්න එපා. පිංවත් ඔබේ ජීවිතයත්, මරණයත් යන දෙකම අවිද්‍යාවට භාර දෙන්න. එවිට පිංවත් ඔබ ළඟ ඉතිරි වෙන්නේ ජීවිතයත්, මරණයත් යන අර්ථයන් දෙකේම නිරෝධය පමණක්මයි. නොදකින, නොපෙනෙන, නොඅත්විඳින තැනක් නොවන ධර්මතාවයක් ධර්මයේ තිබෙනවා. එයටයි අවිද්‍යාවේ නිරෝධය යැයි කියන්නේ කියලා භික්ෂුව විශ්වාස කරනවා. කවදා ද අපි තෘෂ්ණාව නිරෝධය කළ පංචස්කන්ධයක් දරාගෙන ජීවත් වෙන්නේ කියලා සිහින දකින්න හොඳ නැහැ. සිහින අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පිංවත් ඔබ ලෝකයෙන් හිස්වෙන්න. ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයෙන් ඔබ හිස් වෙන්න නම් ඔබේ ඵස්සයේ අවිද්‍යාවයි, ඵස්සයේ තෘෂ්ණාවමයි ඔබ ඉලක්ක කරන්න ඕනේ. ජීවිතය කායානුපස්සනාව ළඟ නැවතුණාම, ජීවිතයට, ඵස්සයට ලොකු විවේකයක් දැනෙනවා. උතුම් කායානුපස්සනාවට පුළුවන් අධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකයෙන් තමා හිස්කොට දකින්න. අපි කවදාහරි දවසක මෙතැනට එන්න ඕනේ. තමා ලෝකයෙන් හිස්කොට දකිනවා යැයි කියන්නේ උතුම් කායානුපස්සනාවෙන් රූපය කෙරෙහි අවිද්‍යාව හිස්කොට දකිනවාය කියන කාරණයයි. උතුම් කායානුපස්සනාව කියන අර්ථයට, භික්ෂුව බුදුරජාණන් වහන්සේට වගේම ගරු කරනවා. කවදාහරි දවසක අපි ලොවුතුරා බුදුරජාණන් වහන්සේව දකින්නේ උතුම් කායානුපස්සනාව මුල්කොටගත් සතර සතිපට්ඨාන ධර්මයන් තුළින්මයි. ඊට පූර්වකෘතිය වන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
ගෞරවනීය පිංවත, අලුත් අවුරුද්දක් උදාවුණ මොහොතේ මේ ධර්මය හොඳින් සිතට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා. මෙම මානසික ව්‍යාධියට රෝග බීජය වෙන්නේ අපි තුළ ඇතිකොට ගන්නා වූ පංච උපාදානස්කන්ධය කෙරෙහි අතිශය තෘෂ්ණාවයි. මේ උතුම් ධර්මය අපි නොපිළිගන්නවා නම් එයත් අපේ මානසික ව්‍යාධියේම ලක්ෂණයක් වෙනවා. සක්කාය දිට්ඨිය, මමත්වයේ දැඩිභාවය, උතුම් තෙරුවන් කෙරෙහි, චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි විචිකිච්චාව, සැකය, අන්යශීවෘතයන් කෙරෙහි ඇති ප්‍රසාදය මේ මානසික ව්‍යාධියේ රෝග ලක්ෂණයන් වෙනවා. අපි හැමෝම මේ මානසික ව්‍යාධියේ කොටස්කරුවන් නිසාම, බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙනවා, කුමන විෂයක්, කුමන කරුණක් උදෙසාවත් තනි තනිව තීරණ, තීන්දු ගන්න එපාය කියලා. මොක ද අපි හැමෝටම බුදුරජාණන් වහන්සේ දකින, එහෙත් අපි නොදකින මානසික ව්‍යාධියක් තිබෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ප්‍රශ්නයක්, ගැටළුවක් මතුවෙද්දී සමගියෙන් හැමෝම රැස්වෙන්න කියලා. වර්තමානයේ අපේ රටේ පක්ෂ සහ විපක්ෂ දේශපාලන නායක පිංවතුන්ලාට පුළුවන් ද සමගියෙන් රැස්වෙන්න. පිළිතුර බැහැ නම් ඉන් අදහස් වෙන්නේ මේ සැමගේ මානසික ව්‍යාධිය ඒ තරමටම ඔඩු දුවල කියලයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් බුදු දහමට මුල් තැන දෙනවා යැයි කියලා වැඩක් නැහැ. රටේ පිංවත් දේශපාලන පිංවතුන්ලා සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි ප්‍රායෝගික වෙන්න. ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් ප්‍රශ්න විසඳුන තැනක් ලෝකයේ නැහැ. ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් අපි ලබා ගත්තා වූ බලය කෙටි කාලයකින්ම ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා යනවා. මෛත්‍රියෙන්, අවිහිංසාවෙන්, සත්‍යයෙන් ලබා ගත්තා වූ බලයෙන් පමණක්මයි ජනතාවටත්, අදාළ පාලක පිංවතුන්ලාටත් මෛත්‍රියේ ආනිශංසයන් භුක්ති විඳින්න ලැබෙන්නේ. මනුෂ්‍යයන් පමණක් නොව, දෙවියන්, බ්‍රහ්මයන් පවා එවැනි පාලක පිංවතුන්ලාට, රටට, ජනතාවට ප්‍රිය වෙනවා.
රටක් වශයෙන් අපිට පුළුවන් නම් මේ ලැබූ නව වසරේ දී මමත්වයේ දැඩිභාවයේ රෝග කාරකයන් යටපත්කොටගෙන හැමෝම සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් විසිර යන්න, සමගියෙන් ගත්ත තීරණ, තීන්දු ක්‍රියාත්මක කරන්න, උතුම් සද්ධර්මයේ උරුමය පිහිටපු මේ මාතෘභූමිය මොනතරම් නම් ලෝකයාට ආදර්ශයක් වෙයි ද? අපි හැමෝගේම පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ මානසික ව්‍යාධිය උත්සන්න වෙලා, බලයට කෑදරකමෙන් හැසිරෙනවා හැර, රෝගකාරකයන්ට සද්ධර්මයේ ඖෂධ ගන්නේ නැහැ. අහිංසක ජනතාවගේත් රෝගී තත්ත්වය තව තවත් උත්සන්න කරනවා. මෙම සටහන තබද්දීත් භික්ෂුව දන්නවා, අකුසලය භික්ෂුවට ඔච්චම් කරනවාය කියලා. අකුසලය ඔබ කොච්චර ඔච්චම් කළත්, භික්ෂුවගේ මේ අහිංසක උත්සාහය දශමයකින් හෝ පිංවත් ජනතාවගේ කුසලය ශක්තිමත්කොට දීමමයි.