අද දවස පුරාම හොඳටෝම වහිනවා. පරිසරය හරිම ශීතලයි. කුටියේ දොර ජනෙල් සියල්ල වසා දමා තිබුණත්, කුටිය ඇතුළටත් ශීතල කාන්දු වෙනවා. පිංවත් ඔබ භාවනා කරනකොට, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන් නිසාම, පිංවත් ඔබ තුළ වැඩෙන සති සම්බොජ්ඣඬ්ඟයේ පුංචි පුංචි සිදුරු තුළින් අසිහියේ කෙලෙස් වැසිවල, පංච නීවරණ ශීතල ඔබේ ඵස්සයට කාන්දු වෙන්න පුළුවන්. සති සම්බොජ්ඣඬ්ඟයේ සිදුරු තුළින් පංච නීවරණ ශීතල ඔබේ ඵස්සයට කාන්දු වෙද්දී, මෙතෙක් ඔබ තුළ වැඩුණු යම් ධම්මවිචය බොජ්ඣඬ්ඟයක් වේද, එම ධම්මවිචය බොජ්ඣඬ්ඟය ඔබ, නිත්‍ය, සැප, සුභ, ආත්මීය පොරෝනාවෙන් වසා දමා, පංච නීවරණයන්ට වීර්යය දෙන්නේ, මිච්ඡා ප්‍රිතියට, මිච්ඡා ඵස්සද්ධියට අසිහියෙන් අත වනමින්මයි.
අවිද්‍යාවෙන් පෝෂණය වෙන ලෝකය, විඳින්න හරි කැමතියි. මෙතැන දී විඳීම කියලා කියන්නේ ඇලීම සහ ගැටීම වලට අපි ශීතලත් විඳිනවා, අපි උෂ්ණයත් විඳිනවා. පිංවත් ඔබ ශීතල අසිහියෙන් වින්දොත් පටිච්චසමුප්පන්නව හිම වලසෙක් වෙලා උපදින්නත් පුළුවන්. පිංවත් ඔබ ඌෂ්ණය අසිහියෙන් වින්දොත්, පටිච්චසමුප්පන්නව කාන්තාරයක ඔටුවෙක් වෙලා උපදින්නත් පුළුවන්. බලන්නකෝ විස්සයි විස්ස ක්‍රිකට් වගේ ද කියලා. සංස්කාර මාරයාගේ සූදු සෙල්ලම, සංස්කාර මාරයා එවන පන්දුව, විඤ්ඤාණය නමැති මැජික්කරුවා නිවැරදි එල්ලයටම ස්ථානගත කරනවා. රුපියල් පන්සියයේ, දාහේ ටිකට් අරගෙන විස්සයි විස්ස ක්‍රිකට් බලන්න යන අපි, මනුෂ්‍යයෙක් පටිච්චසමුප්පන්නව හිම වලසෙක් කරන, ඔටුවෙක් කරන මේ සංස්කාර මාරයාගේ භව ක්‍රීඩාව දෙස, ඇහැක් ඇරලාවත් බලන්නේ නැහැ. ප්‍රඥාවේ ඇස අන්ධ වෙලා. මස් ඇසින් දකින ලෝකය, මස්මයි දකින්න කැමති වෙන්නේ. මස මයි විඳින්න කැමති වෙන්නේ. නැවත නැවතත් පටිච්චසමුප්පන්නව මස් ගොඩකට බැසගන්නමයි කැමති වෙන්නේ. පිංවත ඔබේ සතුරා ඔබ නොව, චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය නිසාම උපදින අවිද්‍යාවයි. වැස්ස හරි හයියෙන් වහිනවා. ලොකු වැහි පොද කුටියේ ටකරන් වහලයට වැටෙද්දී, ටකරන් වහලය අඳෝනා දෙනවා. මේ මහා වැස්ස නිසා සකස්වෙන ඵස්සයට සතිය, සිහිය එකතු වුනහම වැස්ස කියන්නේ සුන්දර ධර්මයක්. වැස්ස තුළින් අපි දකින්න ඕනේ බාහිර සතර මහා ධාතුවේ අනිත්‍යභාවයමයි. එවිට වැස්ස ඔබට සුන්දර ධම්මානුපස්සනාවක් වෙනවා. අපි උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ, අපි උතුම් ධර්මයක් කියවන්න ඕනේ එම ධර්මයේ ඇති වැරදි සොයන්න නම් නොවේ. උතුම් සද්ධර්මයක් අපි ශ්‍රවණය කළ යුත්තේ, චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළ අර්ථයක් ජීවිතයට එකතුකොට ගන්නමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙකුගේ වරදක් අපි පෙන්වා දියයුත්තේ මෛත්‍රී සිතින්මය කියලා. වැරදි සෙවීමේ අරමුණෙන් සද්ධර්මය ද්වේශ සිතින් ශ්‍රවණය කළොත්, ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ද්වේශ සිතින් සිටියා වගේම අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. වර්තමානයේ මුහුණු පොත්වල තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයෙන්ම ලැබුණාය කියලා, අපි පටිච්චසමුප්පන්නව නැවත සුගතියේ ඉපදීමේ නිදහස අහිමි කොටගතයුතු නැහැ. පිංවත ඔබේ ජීවිතයට කරුණාවෙන් ඉඩ දෙන්න, ද්වේශයෙන් තොරව සද්ධර්මයක් ශ්‍රවණය කරන්න. මෙතරම් සද්ධර්මය ඇසෙන මේ දුර්ලභ මොහොතේ අපි ඉපදුනේ, ලෝකයෙන් නිදහස් වෙන්න මිස, අකුසලයෙන් ලෝකය තුළ ගල් වෙන්න නම් නොවේ. අපි ද්වේශයෙන් තවත් කෙනෙක්ගේ වැරැද්දක් සොයලා, මොනවා නම් අයිති කොටගන්න ද? මොනවා නම් බෙදා ගන්න ද? මේ සෙම්, සොටු, මුත්‍රා, අසූචි ජීවිතයේ කුමකින් පළි ගන්න ද? රුධිරය, මස් වලට ද්වේශ කරන්න ද? අනුනගේ දෙතිස් කුණපයකට යමෙක් ද්වේශ කරයි ද, ඔහු නැවත පටිච්චසමුප්පන්නව දෙතිස් කුණපයකටම හිමිකම් කියනවා.
පිංවත, වැරදි කරන ලෝකයට ද්වේශ නොකර අනුනගේ වරදක් වෙතෙත්, එම වරද ඔබ නිවැරදිවීම උදෙසා කමටහනක් කොටගන්න. එවිටයි ඔබට වරදෙන් සහ නිවැරදිභාවය යන දෙකින්ම නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබව වධයට පත්කරන වධකයා, ඔබ තුළමයි සිටින්නේ කියලා. ඔබ මේ පටිච්චසමුප්පන්න වධකයා හඳුන්වන්නේ, මම ය කියලා, මගේ යැයි කියලා, මගේම ආත්මය යැයි කියලා. ඔබ මේ වධකයාට ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර මදි නොකියන්න කන්න දෙනවා. ආහාරයන්ගෙන් ස්වයංපෝෂිත නිසාම දැන් මේ වධකයා බෝල ගෙඩියක් වගේ, මමත්වයේ දැඩිභාවයේ තෙල් බේරෙනවා. ඇලීම් සහ ගැටීම් සුපිරි වෙළඳසැල්වල මෛත්‍රිය, කරුණාව වැනි ආහාරයන්ට වගේම ද්වේශය, පළිගැනීම, වෛරය කියන සැර අධික කුළුබඩු වලට පුදුමාකාර ප්රියභාවයක් දක්වන්නේ. පිංවත් ඔබේම රූපය ගෙය කොටගෙන, ඔබේම රූපය ආහාරය කොටගෙන පෝෂණය වෙන, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයටමයි බුදුරජාණන් වහන්සේ වධකයා යැයි දේශනා කරන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකයේ ඵස්සය තුළත් වේදනා, හඳුනාගැනීම්, සංස්කාරයන් තුළත් මායාකරුවෙක් සේ බැසගෙන සිටින පටිච්චසමුප්පන්න විඤ්ඤාණය හෙවත් පිංවත් ඔබව වධයට පමුණුවන වධකයා දමනය කොටගන්න නම්, පිංවත් ඔබගේ ඵස්සයෙන් අවිද්‍යාව පිසදා, සැම විටම විඤ්ඤාණය නිරාහාරව තබන්නටම ඕනේ.
පිංවත් ඔබ කොහොම ද ඵස්සයෙන් අවිද්‍යාව පිසදා දමන්නේ? ඊට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා සමාධිමත් සිතට පුළුවන්, ඇලෙන සහ ගැටෙන සිතට උපේක්ෂාවේ විලංගු දමන්නට. පිංවත් ඔබ ඵස්සයට හේතුවෙන අධ්‍යාත්මික රූපය සහ බාහිර රූපයත් කායානුපස්සනාවෙන්ම දකින්න. ඇලෙන සහ ගැටෙන සිත යටපත් කොටගෙන උපදින උපේක්ෂාව අයිතිත් වධකයාටමයි. වධකයාගේ සහයෝගය ගන්නම ඕනේ, වධකයා මුල් අදියරේ දී දමනය කොටගන්න. පිංවත් ඔබ මතුකොටගත් උපේක්ෂා සහගත සිතට, චිත්තානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ සහයෝගය ගන්නම ඕනේ. එසේ නොවුණොත් කායානුපස්සනාව තුළදිත්, වධකයා ඔබව වධයට පත්කරාවි. අවිද්‍යාවෙන් සංකීර්ණ ලෝකයක් තුළ නිවී සැනසිල්ලේ යායුතු ගමනක් ඔබට තිබෙන්නේ. සම්මා සමාධිමත් සිතයි, සති සම්බොජ්ඣඬ්ඟයේ මුල් දොරටුවෙන් ඇතුළු වී, විඤ්ඤාණය නමැති මායාකරුවාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පාඩම් කියලා දෙන්නේ.
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අපැහැදිලි ආකාරයට ජීවිතයට එකතුවීම නිසාම, අවිද්‍යාවේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහාය කොටගෙන රූපය කෙරෙහි තෘෂ්ණාව දිශාවටමයි ඔබව මෙහෙයවන්නේ. පිංවත් ඔබම, ඔබ ගැන සිතලා බලන්නකෝ. මේ සිතලා බලන්නකෝ කියන සිතුවිල්ල තුළත් විඤ්ඤාණය බැසගෙන සිටිනවා. ඔබ ඒ සිතුවිල්ල විතර්ක කළොත්, ඔබ විඤ්ඤාණයේ පෝෂණයට ආහාර දුන්නා වෙනවා. ඔබට අවශ්‍ය නම් සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දැක, ඒ අනිත්‍ය වශයෙන් දැක්කා වූ සිතත් ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන ධම්මානුපස්සනාවෙන්ම හිස්කොට දැමිය යුතු වෙනවා.
පිංවත, ජීවිතය තනිකඩව තබා ගන්න. ඔබේ ඵස්සයට, අවිද්‍යාවේ දෑඟිලි අල්ලන්න දෙන්න එපා. පිංවත් ඔබ අධ්‍යාත්මික සහ බාහිර රූපයන් ඉදිරියේ සතිමත් නොවුණොත්, විඤ්ඤාණය නමැති මායාකරුවා, තෘෂ්ණාවේ මැහුම්කාරිය වන සිප්පනි සමග ඔබව මංගල පෝරුවට ගොඩකර දෑඟිලි බන්දනවාමයි. ඉතින් ඊට පස්සේ, මියයන තුරාවටම ඔබලාට සංස්කාරයන්ට ජයමංගල ගාථා කියමින් ඉන්න පුළුවන්. පිංවත, ඔබත්, අතීතයේ ඵස්සය ඉදිරියේ සතිමත් නොවීමෙන්, වර්තමානයේ සංස්කාරයන්ට ස්වකැමැත්තෙන්ම ජයමංගල ගාථා කියමින් සිටින කෙනෙක් ද? කරුණාකර, තමාට හෝ බිරිඳට, මහත්තයාට දොස් කියන්න එපා. අවිද්යාවම විත්තිකරුවා කොට දකින්න පුහුණු වෙන්න. චතුරාර්ය සත්‍යය නොදැනීම දුකේ මුල බව සිහි නුවණින් තේරුම් ගන්න. කරුණාකර, මේ වියරු අවිද්‍යාවෙන් මිදීම උදෙසා පමණක් උතුම් තෙරුවන් ප්‍රයෝජනයට ගන්න, සරණ යන්න දක්ෂ වෙන්න. සංස්කාර කෙරෙහි ලෝභ සිතින්, ආමිසයෙන් උඩුගං බලා පිහිනනවා වගේම, උඩ ගියොත් කවදාහරි දවසක බිම වැටෙන්න පුළුවන් බව, කාරුණිකව තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැමදාමත් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින නිසාම, උන්වහන්සේලා වැඩ සිටින්නේ මහ පොළොවේමයි. ඒ නිසාම උන්වහන්සේලාට නැවත වැටෙන්න තැනක් නැහැ. උන්වහන්සේලා පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නිරාහාරකොට නිවී යන්න සලස්වා තම අධ්‍යාත්මික රූපයත් බාහිර සතර මහා ධාතුවට විදර්ශනාමය මෙත් සිතින්ම දන් දෙනවා. පිංවත, ඔබ හුදකලාව ජීවත්වුණාය කියන කාරණයෙන් හුදකලාව අර්ථවත් වෙන්නේ නැහැ. ඔබේ ඵස්සයයි අවිද්‍යාවෙන් හුදකලා කරන්න ඕනේ. ඔබ නිවසේ හුදකලාව, තනියම සිටියත් ඔබේ ඵස්සය අවිද්‍යාව විසින් ගිලගෙන නම් තිබෙන්නේ, ඔබ ඉන්නේ ලෝකයක් මැදමයි. සංස්කාර ලෝකය පෝෂණය කරමින්මයි. පිංවත් ඔබ නිවසේ විවේකීව සිටින විට, එම විවේකය කාම විතර්කයන්ට කොටු නොවී, ඇලීම් සහ ගැටීම් ලෝකය ස්පර්ශ නොකර ජීවිතය තුළින් ධර්මයක්ම දකින්න. ඒ සඳහා විතර්ක සහිත සිතක් සමග ඔබට යුද්ධයක් කරන්න වෙනවා. සිත ආර්ය විවේකයට කැමති නැහැ. සිත කැමති ලෝකය ලිහලා බලන්නමයි. පිංවත් කොතෙක් ඔබ සිහියෙන් සිටියත්, සිහිය දුර්වල වුණ තැනදී, ආයෙමත් ඵස්සය නවතින්නේ වේදනාවන්ගේ තුරුලේමයි.
අවිද්‍යාව ගෑවුන තැන සංස්කාර ගිනි තිබෙනවා. ඒ සංස්කාර ගිනි පැතිරී යන, විඤ්ඤාණ සුළි සුළං තිබෙනවා. ඔබ මේවාට කලබල වෙන්න එපා. උපේක්ෂා සහගත සිත ඔබව සන්සුන් කරාවි. ඇලෙන සහ ගැටෙන ලෝකය දෙස බියෙන් තොරව බලන්න. බිය නොවේ අපි නැති කරන්න ඕනේ, දුක ඇතිකරන තෘෂ්ණාවයි. දුක දෙස අපි බලන්න ඕනේ තෘෂ්ණාවෙන් තොර ඇසෙන්මයි. එවිටයි, සැබෑ දුකේ විත්තිකරුවා වන අවිද්‍යාව අපි හඳුනා ගන්නේ. පිංවත දෑස් පියාගෙන ඔබ අට්ඨික සංඥාවට සිත ගන්න. ඔබේ රූපයෙන් “මම” ගලවා දමා ඇට සැකිල්ලක් කොටම දකින්න. මේ නිමේෂයේ දී ඔබට අරමුණු වෙන සෑම රූපයක්ම අට්ඨික සංඥාවෙන්ම දකින්න. ආර්ය විවේකයකට ඔබේ සිතට ඔබම පාවඩයක් එලා ගන්න. ජනතාවගේ හදවත් ගැහෙන රිද්මය හඳුනා ගන්න අපි හැමෝටම බැහැ. ඒ සඳහා ගලක් නොවූ, ගැහෙන හදවතක් අපිට තිබෙන්නටම ඕනේ. සිංහලකමත්, බෞද්ධකමත්, ජාතික සමගියත්, ජාතික ආරක්ෂාවත්, තම ජීවිතය කොට දැක්ක, දිවයින පුවත්පතේ 40 වැනි උපන් දිනය යෙදී ඇති බව දැන ගන්නට ලැබුණා. දිවයින පුවත්පතට මෙත් සිතින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දිවයින නිර්මාතෘ පිංවත් උපාලි විජයවර්ධන මහත්මයාට මේ උතුම් විදර්ශනාමය ධර්ම දානය පින්, පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය, විදර්ශනා නුවණ පිණිසම හේතුවේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.