සංස්කාර ගිණුම්වලට බැරවෙන අකුසල් කන්දරාවක්

අද දවසත් ගෙවී ගියා. ආයෙමත් හෙට උදෑසන හිරු උදාවේවි. එහෙත් අපේ ජීවිතයෙන් ගෙවී ගිය අද දවස, ආයෙමත් අපේ ජීවිතවලට එකතු නොවෙන්නම, අපෙන් ඈත්වෙලා යනවා. වැඩිහිටි අපිට අයිතිව තිබූ ළමා විය, තරුණ විය, මධ්‍යම වයස දැන් අපෙන් ඈත්වෙලා ගිහින්. ආච්චි, සීයා, අම්මා, තත්තා මේ සියල්ල අපෙන් ඈත් වුණේ මිරිඟුවක් වගේමයි. සියල්ල මිරිඟුවක් සේ වෙනස්වී ගියත්, තවත් වෙනස් වී යන්න අපි ළඟ ඉතිරි වී තිබෙන්නේ, ආයුෂයත්, උණුසුමත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් පමණක්මයි. ආයුෂයත්, උණුසුමත්, විඤ්ඤාණයත්, අපේ ජීවිතයෙන් ඈත්වෙලා ගියොත්, අපි ලෝකයට ඉතිරි කරලා යන්නේ, හිස් මළකඳක් පමණක්මයි.

සියල්ල වෙනස්වෙලා මළකඳක් පමණක් මෙලොව ඉතිරිකොට තබා යන ජීවිතය, පටිච්චසමුප්පන්නව යළි භවාත‍්‍රයේ කොතැනකට නම් ගොඩබායිද. මේ සරුංගල් අරින කාලේ, ගම්මානයේ පුංචි දරුවෝ සරුංගල් අරිනවා. මරණාසන්න මොහොතේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, නූල කැඞී ගිය සරුංගලයක් වුණොත්, ධර්මයේ අත්වැල ගිලිහී අපි භවාත‍්‍රයේ කොහේට ගොඩබායිද. අපි පටිච්චසමුප්පන්නව ලැබූ දුකෙන් පිරුණු ජීවිතයේ, විවේකීව සිතන්න දේවල් මෙච්චර තියෙද්දී, අපි මේ මොනවද සිතන්නේ. ලෝකය තිරිහන් වෙන්නේ තෘෂ්ණාවෙන්. ලෝකය කියන්නේ මාරයා, ලෝකය කියන්නේ දුක, පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, මගේ තාත්තා හැරමිටියත් අතට අරගෙන, උදේම ඉඩම් නඩුවට උසාවි ගියාය කියලා. සාරසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් ඈතක පටන්, අවිද්‍යාව විසින් පැටලූ තෘෂ්ණාවේ ඉඩම් නඩුව, භවයෙන්, භවය අසිහියෙන්ම දිග ගැසෙද්දී එම නඩුව ඇලීම් සහ ගැටීම් කියන අවිද්‍යාවේ මාර නීතිවේදීන්ටම භාරදීලා, අපි තවමත් පර්චස් විස්සේ ඉඩම් කැබැල්ලටද, මාර නීතිවේදීන්ට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන් නීතිඥ ගාස්තු ගෙවනවා. අවිද්‍යාව ඔබ හේතුඵල ධර්මයක් ඔබට චෝදනා කරලා වැඩක් නැහැ. අවිද්‍යාව පෝෂණය කරන පංචනීවරණ ධර්මයනුයි අපේ ඉලක්කය වියයුත්තේ.

පාසල් දරුවෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, අපේ ටීචර්ලා ඔන්ලයින් ඉගැන්වීම වර්ජනය කරලාය කියලා. පිංවත් ගුරුවරුන්ට උගන්වන්න අපි කවුද. අපි ඉගෙන ගත්තෙත් පිංවත් ගුරුවරුන්ගෙන්. අපේ අම්මා අපිට දෙතනින් මව් කිරි පොවද්දී, අපේ දෙවැනි අම්මාවූ පාසලේ පිංවත්, ගුරුතුමා, ගුරුතුමී අපිට කරුණාවෙන් අධ්‍යාපනයේ මව්කිරි පෙව්වා. අපේ අතීත පිංවත් ගුරුතුමා, ගුරුතුමී, අපිට කරුණාවෙන් පෙවූ අධ්‍යාපනයේ මව්කිරියි, පිංවත් ඔබ කියවන මේ සටහන ලියන්නත් භික්ෂුවට, අකුරු ශාස්ත‍්‍රය කියලා දුන්නේ. දරුවා කියන අර්ථය අයිති කිරිඅම්මාට වුණත්, එම දරුවාට, ගුරුතුමා සහ ගුරුතුමී කරුණාවෙන් පොවන අධ්‍යාපනය නමැති මව්කිරෙන් පෝෂණය වී තම දැනුමෙන්, තම බුද්ධියෙන්, ගොඩනඟන තාක්ෂණයෙන්, සංවර්ධනයෙන්, සදාචාර ධර්මයන් පිරුණු ලෝකය අයිති පිංවත් ගුරුවරයාටමයි. මේ සටහන කියවන පිංවත් දරුවන්ට අධ්‍යාපනයේ මව්කිරි පොවන, පිංවත් ගුරු පරපුරේ ඔබ මොහොතක් දෑස් පියාගෙන, දැනුමෙන්, තාක්ෂණයෙන්, සංවර්ධනයෙන් දවසින් දවස තිරිහන්වෙන ලෝකය දෙස බලන්න, එ් ලෝකය ගොඩනැඟුනේ, පිංවත් ඔබ දරුවන්ට පෙවූ අධ්‍යාපනය නමැති මව්කිරේ ශක්තියෙන්මය.

පිංවත් ගුරු පරපුර විසින්ම, පූර්වාදර්ශීව ගොඩනැඟූ මේ සදාචාරසම්පන්න මනුෂ්‍ය සමාජය, හෙට පරපුරට ආරක්ෂාකොට තැබීම, අපි හැමෝගේම පූජණීය යුතුකමක්ම ය. කොරෝනා අකුසලය බුර බුරා මුළු ලෝකයටම විපාකදෙන මේ මොහොතේ, විපාකදෙන අකුසලය, කුසලයෙන් යටපත්කොට දැමිය යුතු මේ මොහොතේ, මේ ලිපිය සටහන් තබන, ගුරු වර්ජනය පවතින අද දවස ගත්තොත්, පිංවත් ගුරු, සිසු, දෙමාපියන් සහ ජනතාව කියන පාර්ශ්වයන් හතර මොන තරම් නම්, ලෝභ, ද්වේශ, මෝහ, අකුසල් කන්දරාවක් සිදුකොටගන්න ඇතිද. තම ඉල්ලීම් නොලැබීම නිසා ලක්ෂ ගණනක් ගුරු මහත්ම, මහත්මීන් තුළ සකස්වෙන අකුසල් මූලයන්. තම අධ්‍යාපන කටයුතු අහිමිවීම නිසාම, ගැටෙන සිතින් අකුසල් මූලයන් තුළ ජීවත්වෙන ලක්ෂ ගණනක් වූ සිසුන් සහ දෙමාපියන්, මේ ප‍්‍රශ්නය නිසා අකුසල් මූලයන් රැස්කොට ගන්නා පිංවත් ජනතාව, මේ ගුරු වර්ජනය හේතුවෙන් ලක්ෂ ගණනක් ජනතාවගේ ජීවිතවලට ලෝභ, ද්වේශ, මෝහ අකුසල් ඇතෙක් බරට ජීවිතගතවෙද්දී කෙසේ නම් අපි ධර්මයේ අර්ථයන් වැඩෙන, සාමකාමී, නිරෝගී හෙට දවසක් බලාපොරොත්තු වෙන්නද. සමස්ත සමාජයටම ඉසිලිය නොහැකි බරපතල අකුසල් කන්දරාවක් අපි හැමෝගේම සංස්කාර ගිණුම්වලට දැන් එකතුවෙලා තිබෙනවා.

අවිද්‍යාවේ තරම නොදත් අපි, සංස්කාරයන් හුරතල් කරන්නේ, තව තවත් පංචනීවරණ කිරි පොවලා. නමුත් අවාසනාව කියන්නේ අපි හැමෝටම නුවණ දුන්න, බුද්ධිය දුන්න පූර්වාදර්ශී වූ පිංවත් ගුරු පරපුර, මේ යථාර්ථය ධර්මානුකූලව තේරුම් නොගෙන, අකුසල් වැඩෙන අවම දිශාවන් ඔස්සේ, තම ඉල්ලීම් ලබා ගැනීමට කාරුණික නොවීමයි. පිංවත් ඔබලා සමාජයට වැරදි පූර්වාදර්ශයන් සමාජගත කළොත්, දිනෙන්, දින අකුසලයෙන් බැටකන සමාජයට වෙන කවුරුන් නම් පූර්වාදර්ශයන් දෙන්නද.

කර්මය කර්මඵල විශ්වාසයක් නැති, සම්මාදිට්ඨියේ අර්ථයන් නොපිළිගන්නා, දේශපාලන කණ්ඩායම් සහ සංවිධාන, පිංවත් ජනතාව තුළ පංචනීවරණ ධර්මයන් තීව‍්‍ර කොට, අකුසලයට ඉණිමං බඳින ක‍්‍රියාන්විතයන් දෙසට සමාජය යොමු කරන්න පුළුවන්. අපේ ඉල්ලීම් අපි දිනාගත යුත්තේ හරිම පරිස්සමින්. මෙය සටහන් තබන භික්ෂුව මේ උතුම් භික්ෂූත්වය ලැබුවේ, ඉල්ලීම් තුනක් දිනාගැනීම මුල්කරගෙන. පළමුවැනි ඉල්ලීම තමයි දුක යනු කුමක් දැයි දැනගැනීමේ ඉල්ලීම. දෙවැනි ඉල්ලීම තමයි දුකට හේතුව කුමක් දැයි දැනගැනීමේ ඉල්ලීම. තුන්වැනි ඉල්ලීම තමයි දුක නැති කළ යුත්තේ කුමක් නැතිකිරීමෙන් දැයි දැනගැනීමේ ඉල්ලීම. භික්ෂුව මේ සෑම ඉල්ලීමක්ම දිනාගැනීම උදෙසා ගමන් කළ සුන්දර මාර්ගයක් තිබෙනවා. එ් මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පළමුවැනි වටයේදී අපිව අකුසලයෙන් බැහැර කරන, දෙවැනි වටයේදී අපිව කුසලය තුළ ශක්තිමත් කරන, තුන්වැනි වටයේදී අපිට කුසලයත්, අකුසලයත් අනිත්‍ය වූ සංස්කාරයන් බවම කියලා දෙන, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, අපිට ඉල්ලීම් දිනාදෙන අපේ සුන්දර කල්‍යාණමිත‍්‍රයා වෙන්නේ, අපි දිනාගන්නා ඉල්ලීම් තුළින්, අපේම ලෞකික සහ ලෝකෝත්තර සැපයත් අපිට අයිතිකොටදෙන, සත්පුරුෂ මිත‍්‍රයා වෙන්නේ. එ්ත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සත්පුරුෂ මිත‍්‍රයා, සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් විසින් අවිද්‍යාවේ පොලූ මුගුරුවලින් තලා පෙලා අපිම බෙලහීන කොටදමා, ඇති බෞද්ධ සමාජයක, අපි මිච්ඡා සැපයක ගොදුරු බවට පත්වෙලා, අපේම ජීවිත ලෝභ, ද්වේශ, මෝහ අකුසලයන්ගේ පාරාදීසයක් බවට පත්කොට ගන්නවා.

ගෞරවණීය පිංවත් අතීත සංසාරයේ ඔබත්, මමත්, සක්විති රජවෙලා ලබාගත් සියලූම ජයග‍්‍රහණයන්, වෙනස්වෙලා ගියා නම්, තවදුරටත් වෙනස්වෙලා යන අනිත්‍යවෙලා යන ජයග‍්‍රහණයන් උදෙසා, වෙනස්වී යෑම වේගවත් කරන අකුසල කඳු වැඩෙන මිච්ඡා මාර්ගයන් පිංවත් ඔබේ මාර්ගය කරගන්න එපා. මේ ලෝක ධාතුවේ උත්තරීතර ගුරුවරයා වන, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, තුන් ලෝකයාටම චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අකුරු කියලා දුන්නේ, අනුනගේ සිව්පසයන් ලබමින්, පාත‍්‍රයට ලැබුණු අනුනගේ පිණ්ඩපාත දානයෙන් යැපෙමින්. අතීතයේ වැඩසිටියා වූ මහා සංඝරත්නය පිංවතුන්ලාට උතුම් චතුරාර්ය සත්‍යයේ අකුරු කියලා දුන්නේ, අනුනගේ සිව්පසයෙන් යැපෙමින්. මෙය සටහන් තබන භික්ෂුව, පිංවත් ඔබට මේ සටහන තබන්නේ, අනුන්ගෙන් සිඟා ගත් පිණ්ඩපාතයේ පිහිටෙන්මයි. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා, මම උදෑසන පිණ්ඩපාතය සඳහා පාත‍්‍රය අරගෙන කුටියෙන් එළියට බහින්නේ, සැඩොල් දරුවෙක් පොල්කට්ටක් අරගෙන සිඟමන් සඳහා මහපාරට බහිනවා වගේම, තමන්ට ලැබෙන පිණ්ඩපාතයකින් සතුටුවෙන බලාපොරොත්තුවෙන්මයි කියලා. දිනාගත්තා ඉල්ලීම් වෙනස්වෙලා යනවාය කියල දකින, බලාපොරොත්තුවලින් හිස් කළ ජීවිතයක් තුළ තිබෙන එකම එක ඉල්ලීමක් තිබෙනවා. එ් එකම එක ඉල්ලීම තමයි, පිංවත් ඔබත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්, ජීවිතවලට එකතු කොටගත්තය කියන සත්පුරුෂ ඉල්ලීම.

කාලය, කාලයේ ස්වභාවයෙන්ම ගෙවීගෙන යනවා. නමුත් අපේ ඇලීමේ සහ ගැටීමේ ස්වභාවයන් වැඩි නිසාම, අපිට පෙනෙන්නේ කාලය මන්දගාමීව හෝ වේගයෙන් ගෙවී යනවාය කියලා. එ් නිසාම ජීවිතයට අයිති කොටගතයුතු දේවල් අයිති කොටගන්න අපිත් වේගවත් වෙලා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදැක, තෘෂ්ණාවෙන් ආශිර්වාද ලබන පිංවත් ඔබේ ඵස්සය, ඇලීම් සහ ගැටීම්වලින් තිරිහන්වන නිසාම, අසිහිය වර්ධනය වී මිථ්‍යාදෘෂ්ටික මාර පාක්ෂික කණ්ඩායම්වල ගොදුරු බවට පත්නොවීමට අපි හැමෝම සිහිනුවණ ඇතිකොටගත යුතුයි. කෙටි සැපයක් උදෙසා, මහා සැපයක් අහිමිකොට ගැනීම අපි අපිටම සිදුකොටගන්නා ශාපයක්ම වෙනවා.

වැරදි කරන ලෝකය තුළ, පිංවත් ඔබ නිවැරදි වෙන්න. ඔබට අසාධාරණයක් වුණාය කියලා, ඔබ කාටවත් දඬුවම් කරන්න යන්න එපා. පිංවත් ඔබට අසාධාරණයක් වුණාය කියලා, ඔබ අනුනට දඬුවම් කරන්න ගියොත්, ඔබ අනුනට මානසික පීඩාවන් සකස්කොට දුන්නොත්, ඔබ අනුන්ව අකුසල් වැඩෙන දිශාවට අරගෙන ගියොත්, නොදැනුවත්භාවයෙන් පිංවත් ඔබ ඔබටම ශාප කොටගත් පිංවතෙක් වෙනවා. පිංවත් ඔබට අසාධාරණයක් කරන කෙනෙකුට, ඔබට දිය හැකි ලොකුම දඬුවම තමයි, එම වරදකරුට සුවපත් වේවා යැයි මෙත් සිත පැතිරවීම. පිංවත් ඔබ ඔබට අසාධාරණයක් කරන වරදකරුට, මෙත්සිත පතුරවද්දී, එය එම වරදකරු තමා තමාටම සිදුකොටගත් ශාපයක්ම වෙනවා. පිංවත් නිවැරදි ඔබට, එවිට ඉතිරිවෙලා තිබෙන්නේ ධර්මයේ උපේක්ෂාවෙන්, සංස්කාරයන්ගේ ප‍්‍රතික‍්‍රියාවන් දෙස බලාසිටීම පමණක්මයි. අපේ සාධාරණ හෝ අසාධාරණ, වෘත්තීය ක‍්‍රියාමාර්ග තුළින් තමන් ඇතුළු අනෙක් පාර්ශ්වයන් බලවත් කායික සහ මානසික පීඩාවන්ට ලක්වෙනවා නම්, එ්වා අපි කාට කාටත් අපිම, අපිට අසිහියෙන් සිදුකොටගත්තාවූ ශාපයක් බවට පත්වෙන්න පුළුවන්. අවිද්‍යාවේ වස සහ විෂ සහිත විඳීම, සිහිනුවණින් පරිහරණය කරන්න. පොඞ්ඩ වැරදුනොත් සංස්කාරයන්ගෙන් විඤ්ඤාණය තුවාල වෙන්න පුළුවන්.

තෘෂ්ණාවේ සැඩපහරට හසුවී ඔබේත්, මගේත් ”ලෝකය” ජය සහ පරාජය අතර දෝලනය වෙමින් ජරා, ව්‍යාධි, මරණ දෙසටම ගලාගෙන යනවා. මේ ඇත්ත ධර්මානුකූලව දකින නුවණැති පිංවතා, තමන් ලබන ජයග‍්‍රහණයන් භුක්ති විඳින්නේ, පරාජිත පිංවතුන් දුකට පත්නොවන ආකාරයටමයි. එවිටයි ජයග‍්‍රහණය, විජයග‍්‍රහණයක් බවට පත්කොට ගැනීමේ මාර්ගය විවරවෙන්නේ. අපි තවමත්, ජය සහ පරාජය දෙකෙන් මිදිලා නැහැ. සියලූ සංස්කාරයෝ අනිත්‍යවෙලා යන ලෝකයක, අපිට ඉතිරිවෙලා තිබෙන්නේ, ඇලීම් සහ ගැටීම්වලින් තොරව, ධර්මයේ උපේක්ෂාවෙන්, අපේම අතීත සංස්කාරයන්, වර්තමානයේ භුක්තිවිඳීම පමණක්මයි. අපි ලබන සෑම ජයග‍්‍රහණයක් පසුපසම, පරාජය සැඟවී බලා සිටිනවා. අප‍්‍රමාදීව අපි ලබන ජයග‍්‍රහණයන් උපයෝගී කොටගෙන ජය සහ පරාජයෙන් සදහටම නිදහස් වෙමු.