පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමින්වහන්ස, අපිට ආයෙමත් කවදාද පාසල් යන්න ලැබෙන්නේ කියලා. ඒ අහිංසක දරුවාගේ පාසල් තෘෂ්ණාව, හේතුවෙන් සකස්වෙන උපාදානය, ශෝක පරිදේව, දුඛ්‍ය, දෝමනස්සයන් බවටම පත්වෙලා. පාසල් ජීවිතයේ ප්‍රියයන්ගෙන් වෙන්වීම, පංච උපාදානස්කන්ධ දුක, හරි හරියට දරුවන්ට විපාක දෙනවා. පිංවත් දරුවන් කොරෝනා අකුසලය හේතුවෙන් පාසල් නොගියත්, මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතෙත් පාසල් යනවා. මේ අධ්‍යාත්මික පංචඋපාදාන්ස්කන්ධ ලෝකයත්, මේ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකයත්, භික්ෂුවට එකම පාසලක් බවට පත්වෙලා. භික්ෂුව ඇසෙන් කුමක් දැක්කත්, කනෙන් කුමක් ඇසුවත්, මනසින් කුමක් සිතුවත් භික්ෂුව ලබන්නේ අනිත්‍යවී යන වෙනස් වී යන සංස්කාරයන්ගේ යථා ස්වභාවය පිළිබඳව සුන්දර පාඩමක්මයි. සති සම්බොජ්ඣංගය නමැති ගුරුවරයා, භික්ෂුවට සිහිපත්කොට දෙන ධර්මානුකූලව හේතුඵල ධර්මයන් දකින, ධම්මවිජය බොජ්ජඣංගයක්මයි.
භික්ෂුවට මේ මොහොතේ සිහිපත්වෙනවා, භික්ෂුවගේ ළමා කාලයේ පාසල් ජීවිතය. භික්ෂුව ඒ ළමා පාසල් දිවියේදි ඉගෙන ගත්තේ, තෘෂ්ණාවම පෝෂණය කරන අවිද්‍යාවේ පාඩම්. අපි එදා හඹාගෙන ගියේ පංච උපාදනස්කන්ධය සැපයි, සුභයි, නිත්‍යයි, ආත්මයි කියන ධර්මථාවයන්මයි. අතීතයේ අපි උගත් ඒ සියලූ පාඩම්, වර්තමානයේ, අවිද්‍යාව හේතුවෙන්ම සකස් වූ සංස්කාරයන් විසින් ගිලගෙන.
ගෞරවනීය පිංවත සිහිනුවණින් දකින්න, සමස්ත අධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකයම එකම පාසලක් බවට පත්වෙලා, පිංවත් ඔබට වෙනස් වී යන සංස්කාරයන් පිළිබඳව, මෙතෙක් අපි නොඉගෙනගත්, ධර්මයේ පාඩමක් කියලා දෙනවා. ඇත්ත ඇති සැටියෙන්ම උගන්වන, මීට වඩා අර්ථවත් පාසලක්, ඔබට ජීවිත කාලය තුළදී නැවත නොලැබෙන්න පුළුවන්. මේ පාසලේදි ඔබ ලබන නිවැරදි අධ්‍යාපනයමයි. මේ සංස්කාර වියරුව යටපත් කොටගෙන, පිංවත් අපේ දරුවන්ට, නැවත සුපුරුදු පරිදි පාසල් යන්න අවශ්‍ය, පිනෙන් පිරුණු ජීවිතයක් ඔබලාට ලබලා දෙන්නේ.
පිංවත් දරුවන් සහ දෙමාපියන්, අවිද්‍යාවෙන් උපන්, තෘෂ්ණාවෙන් තිරිහන්වෙන මේ පංචඋපාදානස්කන්ධ ලෝකය නමැති පාසල, වර්තමානයේ ඔබලාට කියලා දෙන, මේ පාඩමෙන් පාඩම් නොඉගෙනගෙන, තව දුරටත් පංචනීවරණ ගොල්ලේම සෙවන ලැබුවොත්, අපේ දරුවන්ගේ පාසල් ගමන තව තවත් ප්රමාදවෙලාම යන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් දරුවෙක් ලබන දැනුම, උගත්භාවය, බුද්ධිමත්භාවය, ඒ තුළින් ලබන්නා වූ ඉහළ වෘත්තීන් යනු හේතුඵල ධර්මයක්මය කියලා. ඒ සුන්දර හේතුඵල ධර්මය තමයි, යම් දරුවෙක් තමන් සරණගිය ධර්මයේ, මහණ බමුණන්ට, ගරු කරනවා නම්, බෞද්ධ දරුවෙක් නම්, ස්වාමින් වහන්සේලාව මුණගැසිලා කුසලය යනු කුමක්ද, අකුසලය යනු කුමක්ද කියලා අසනවා නම්, ධර්මය සහ අධර්මය යනු කුමක්ද කියලා අසනවා නම්, ශීලයේ සහ දුශ්ශීලභාවයේ ඵලයන් ගැන අසනවා නම්, එම පිංවත් දරුවන් එම ධර්මයන්ට අදාළව මහා සංඝරත්නයට ගරු කරමින් යහපතෙහි යෙදෙනවා නම්, එවැනි යහපත් හැසිරීමේ ඵලයයි දරුවන්ගේ අධ්‍යාපනයේ ශක්තිය වෙන්නේ කියලා. අන්‍ය ආගමික පිංවත් දරුවන් තමන්ගේ ආගම් වලට අදාළව, ඉහත ධර්මය ගලපාගන්න ඕනේ. ක්‍රිස්තියානි දරුවන් තමන්ගේ පල්ලියේ පූජකතුමන් ඇසුරට ගිහින් ඉහත යහපතට අදාළ ධර්මයන් ජීවිතයට එකතුකොට ගන්න ඕනේ.
සත්‍යකින්ම පිංවත, ගෙවීගිය වසර තිහක කාලය පුරාවට, අපේ පිංවත් දරුවන්, මහණ බමුණන් සොයාගෙන ගිහිල්ලා, පන්සලේ වැඩසිටින මහා සංඝරත්නය සොයාගෙන ගිහිල්ලා යහපත සහ අයහපත ගැන අසා දැනගත්තාද, කුසලය සහ අකුසලයේ වෙනස ගැන පිංවත් දරුවන් අසා දැනගත්තාද. අවම වශයෙන් පිංවත් දරුවන් මෙවැනි ධර්මයන් දැනගෙන සිටියාද? පිංවත් දෙමාපියන් තම දරුවන් මහණ බමුණන් ඇසුරට යොමුකළාද? අධ්‍යාපන තරගකාරිත්වයේ කරවටක් ගිලී, තම අසරණ දරුවන් උපකාරක පංති සංස්කෘතියේ සිරකරුවන් බවට පත්කොට, සද්ධර්මයේ සැබෑ හේතුඵල ධර්මයන්ගෙන් නිදහස් කොට දැමුවා නේද. සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි අසිහියෙන්, දුක, සැපය යැයි පටලවාගෙන, අපිම සිය කැමැත්තෙන් වැපුරු තෘෂ්ණාවේ අස්වැන්න වන නිමාවක් නොපෙනෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන්, අපේ වර්තමාන පංචඋපාදනස්කන්ධ අටු කොටු පිරි ඉතිරීයද්දී, අපි කලබල වීම අපි, අපිටම සිදුකොටගන්නා අසාධාරණයක් වෙනවා.
පංච උපාදානස්කන්ධ ලෝකය අවසානයක්, නිමාවක්, නැවතීමක් නැහැ. අවිද්‍යාවේ මුදුන් මුල තිබෙනතාක් කල්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, කොළ, අතු, රිකිලි සුවසේ දලූ දමනවා. අවසානයක්, නිමාවක්, නැවතීමක් නැති භව ගමනක් පටිච්චසමුප්පන්නව අපි ඉදිරියේ තිබෙනවා. අපේ ලෞකික සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි, සිතන තාක්කල් අපිට ලේසි වෙන්නේ නැහැ. වර්තමානයේ බුර බුරා නැගෙන කොරෝනා අකුසලය, දෙමාපියන්ටත්, දරුවන්ටත් බලකරනවා, ලෞකික සැපයට ඇති එකම මාර්ගය ආර්ය අශ්ටාංගික මාර්ගය යැයි දකින්නය කියලා. සම්මා දිට්ඨියේ උතුම් අර්ථයන්ට අදාළව ජීවිතය දකින්නය කියලා. කොරෝනා අකුසලය විපාකය පැමිණීමට පෙරාතුව, දෙමාපියන්ගේ සහ දරුවන්ගේ තිබූ, අසීමිත අධ්‍යාපන තෘෂ්ණාව, කරුණාවෙන් මොහොතක් සිහියට නගා ගන්නකෝ. ඉරිදා දහම් පාසලටවත්, නොගිය දරුවන් කොතෙක් නම් සිටිනවාද. පිංකමකට, දානයක් පූජාකරගන්න, බණ ගෙදරකට, පිරිත් ගෙදරකට තමන්ගේ දරුවන් සම්බන්ධ නොකරන දෙමාපියන් කොතෙක් නම් සිටිනවාද. බුදුරජාණන් වහන්සේට අකීකරු පිංවත් අම්මලා සහ තාත්තලා සම්මා දිට්ඨියේ අර්ථයන් උගස් තබලා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දෙවැනි තැනට දමලා, තෘෂ්ණාව මුලට ගැනීමේ විපාකයන්, අද අපි සක් සුදක්සේ ඒහිඵස්සිකව දකිනවා. ආර්ය අශ්ටාංගික මාර්ගයේ අර්ථයන්ගෙන් බැහැරවීම හේතුවෙන්, අපි හැමෝගේම පංචඋපාදානස්කන්ධ අවිද්‍යාවෙන් ගිනිගන්නවා. ගෞරවනීය පිංවත මොහොතක් නවතින්න. මොහොතක් නවතින්න කියන කාරණය එසේ, මෙසේ ලෙහෙසි කාරණයක් නොවේ. කකුල් දෙකෙන් එක තැන්ක මොහොතක් නැවතී සිටීමට නම්, අපි කාටත් පුළුවන්. ඒත් අවිද්‍යාවේ සැඩ පහරට හසුවූ ඵස්සය ඉදිරියේ, ඇලීම සහ ගැටීම බැහැරකොට, උපේක්ෂාව තුළ නැවතීමට නම්, සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. මුළු රටම අගුළු දමා තිබෙන මේ මොහොතේවත්, පිංවත් ඔබට, සම්මා සමාධිමත් සිතක් තිබෙනවාද. එසේත් නැතිනම් පාසල් තෘෂ්ණාවේ, උපකාරක පංති තෘෂ්ණාවේ, සැඩපහරට හසුවී, ශෝක, පරිදේව, දුඛ්‍ය, දෝමනස්සයන්ගේ, කරවටක් ගිලී සිටින අපි සැපයි, සැපයි කිය කියා ඔන්ලයින් තෘෂ්ණාව නමැති පිදුරු ගසේ එල්ලී තෘෂ්ණාවේ දෙවැනි සැඩපහරටත් ගසාගෙන යමින්ද සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා කහවනු වැස්සක් වැස්සත්, ඉන් සෑහීමකට පත්වෙන්නේ නැහැය කියලා. කහවනු වැස්සක් වැස්සත්, නොසෑහෙන අපි, වර්තමානයේ ආ සියලූ ආදායම් මාර්ග ඇහිරී, භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යන, අකුසලයේ ඵලයන් ඉදිරියේ, අපි කෙසේනම් සෑහීමකට පත්වෙන්නද. අපේම අතීත අකුසල් සංස්කාර අපිව, ඇලීම් සහ ගැටීම වල සිරකරුවන් බවට පත්කොට, උපේක්ෂාව අපෙන් උදුරාගෙන. අපේ ඇලෙන සහ ගැටෙන සිත, පුතේ සහ දුවේ කියලා හුරතල් කරන්නේ අවිද්‍යාවමයි. අවිද්‍යාවේ උරුමය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන් යැයි, භික්ෂුව නැවතත් සටහන් තබනවා. වර්තමානයේ අහිංසක දුවා දරුවන්ගේ, ඔන්ලයින් අධ්‍යාපනයට ඇබ්බැහි වීමේ, ඛේදවාචකය. අතිශය භයානක සදාචාරාත්මක බිඳවැටීමක් දෙසට, සමාජය යොමුකරන්න පුළුවන්.
මෙම සටහන කියවන පිංවත් ඔබට සිතෙන්න පුළුවන්, අනේ අපේ දරුවා අධ්‍යාපනයේදී පරිගණකය හෝ සෙලියුලර් දුරකථනය පරිහරණය කරන්නේ, විනයක් ඇතිවය කියලා. පිංවත් ඔබේ දරුවා විනයක් ඇතිව තාක්ෂණය භාවිතා කළත්, විනයකින් තොරව තාක්ෂණය භාවිතා කරන දරුවන් අතින්, ඔබේ දරුවාත් විනාශය දෙසට යන්න පුළුවන්. නවීන තාක්ෂණය කියන්නේ, අල්පේච්ඡතාවය ලද දෙයින් සතුටුවීම, මධ්‍යම ප්‍රතිපදාව වන උතුම් ආර්ය අශ්ටාංගික මාර්ගය අපෙන් ඈත්කරන මාර ධර්මයක්මයි. සදාචාර ධර්මයන්, ගුණධර්මයන්, මනුෂ්‍ය ධර්මයන් මරාගෙන, තණ්හා, රති, රගා මාරදූතියන්ගෙන්ම, රූපයෙන්ම, මසින්ම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයෙන්ම, මාරයාට ගොදුරු සොයා දෙන, තිරිසන්, පේ‍්‍රත යෝනිවලට පටිච්ච සමුප්පන්නව පිරිස් බලය සොයාදෙන, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණයේ මැජික් යෂ්ඨියයි, ”තාක්ෂණය’’ කියන්නේ.
භික්ෂුව, දිවයින ඉරිදා සංග්‍රහයට මෙම මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ ලියන්න පටන් අරගෙන දැනට, වසර දහයකට වැඩිකලක් ගෙවී ගිහින් තිබෙනවා. මීට වසර දහයකට පෙරාතුව මෙම භික්ෂුව, දිවයින ඉරිදා සංග්‍රහය නමැති වෘක්ෂයට ගොඩවුණාද, මේ දක්වාත් දිවයින නමැති වෘක්ෂයේමයි නිහතමානීව ජීවත්වෙන්නේ. ගසෙන් ගසට පියඹා යන්න, හැම ගහකම වහන්න, භික්ෂුව ගියේ නැහැ. වෙනත් කිසිම පුවත්පතකට භික්ෂුව සටහන් ලියලා නැහැ. ඒ අමනාපයකට නොවේ, අගෞරවයකටත් නොවේ, මෙය සටහන් තබන භික්ෂුව, අත්දැකීමෙන්ම දන්නවා ලෝභ සිතක ඇති භයානකබව, වියරුභාවය. පංචඋපාදානස්කන්ධය කෙරෙහි ලෝභ සිතමයි අපිව ද්වේශයෙන් මෝහයෙන් විනාශකොට දමන්නේ. ඒ නිසාම භික්ෂුව, මෙම ලිපිය ලියන තාක්කල්, දිවයින වෘක්ෂයේම ඔබට ”පූර්වාදර්ශිව’’ ජීවත්වෙනවා.
දයාබර දෙමාපියනි, දයාබර පාසල් දරුවනි, ලෝභ සිතක භයානක බව දැන්වත් තේරුම්ගන්න; ඔබට ජීවත්වීමට ඇති කෙටි ජීවිත කාලය අල්පේච්චභාවය, ලද දෙයින් සතුටු වීම, මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වී නැවත මේ වියරු අකුසලයෙන් පිරුණු මනුෂ්‍ය ලෝකයට නොඑන දිව්‍ය ජීවිතයක් උදෙසා පිංවත් ඔබ කැපවෙන්න. අකුසලයෙන් වියරු වැටුණ ලෝකයේ, අසීමිත තෘෂ්ණාව කරපින්නාගෙන ගෞරවනීය දෙමාපියන් තමන්ටත්, තම අහිංසක දරුවන්ටත්, සතර අපා දුක් උරුමකොට දෙන්න එපා. පුංචි සැපයක් උදෙසා, මහා සැපයක් අහිමිකොට ගන්න එපාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.