භික්ෂුව වැඩ සිටින කුටිය අසලටම වැසි වතුර ඇවිල්ලා. ලොකු කබරයෙක් වැසි ජලයේ පිහිනායන්නේ හරිම ආශ්වාදයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. වැසි වතුරේ ආශ්වාදයෙන් පිහිනා යන කබරයාට, වැසි වතුර සැප වේදනාවක් වුණාට, වැසි වතුරෙන් පීඩා විඳින පිංවත් ඔබට, එය දුක් වේදනාවක්මයි. එකම රූපය විවිධාකාර විඳීම් සත්වයාට සකස්කොට දෙන්වා. කලූපාට වැසි වලාකුළුවලින් බරවෙච්ච අහස් කුස, පංචනීවරණයන්ගෙන් බරවෙච්ච මනුෂ්‍ය සන්තානයක් වගේ, කොයි මොහොතේ වේගවත්ව ප්‍රතික්‍රියා දක්වයි ද දන්නේ නැහැ. පරිසරයේ ආපෝ ධාතුව සහ වායෝ ධාතුව හොඳටෝම කිපිලා, හරිම වේගවත්. මනුෂ්‍යයාගේ අකුසල් සිතුවිලි වේගවත් වෙත්දි, එම වේගවත් අකුසල් විපාකයන් විසින්ම, අධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුවේ ක්‍රියාකාරිත්වය වේගවත් වෙනවා. පිංවත් මනුෂ්‍යා තම අධ්‍යාත්මික ජීවිතය, ලෝභ, ද්වේශ, මෝහ අකුසල්වලින් වේගවත් කරත්දි, තම රූපය නමැති අධ්‍යාත්මික සතර මහාධාතුව, බරපතළ කායික රෝගාබාධයන්ගෙන් පීඩාවට පත්වෙනවා. පිංවත් මනුෂ්‍යයා වේගයෙන් සත්ව ඝාතනයන් සහ සත්ව හිංසනයන් සිදුකරන කොට, ධීවර කර්මාන්තය ඇතුළුව, මේ අකුසල් විපාකයෝ වේගයෙන් අපිව ආක්‍රමණය කරනවා.
අපි බාහිර පරිසරය ගැන නිරතුරුවම කථා කරනවා. පසුගිය සතියේ ලෝක පරිසර දිනයත් ගෙවී ගියා. අප අවට බාහිර පරිසරය පිරිසිදු වෙන්න නම්, ලස්සන වෙන්න නම්, අපේ අධ්‍යාත්මික පරිසරය ලස්සන වෙන්න ඕනේ. මනුෂ්‍ය අපේ ඇස අවට පරිසරය, කන, නාසය, දිව, ශරීරය, අවට පරිසරය දැන්, දැන් ගොඩාක්ම අපිරිසිදු වෙලා. කෘතිම ආලේපන, කෘතිම සුවඳ විලවුන්, කෘතිම ආහාරපාන, විකාර රූපී ඇඳුම් පැළඳුම්, අසම්මත චර්යාවන්, මේ ආගන්තුක කසළ නිසාම, අපේ මනස අවට පරිසරය, ලෝභ, ද්වේශ, මෝහ දුර්ගන්ධයෙන් පිරිලා. ප්‍රංශයේ නිෂ්පාදිත ඉස්තරම් අවිද්‍යාවේ සුවඳ විලවුන් කුප්පිය, ඵස්සය අද්දර තිබෙන තාක්කල් අපට, අපේ මේ අධ්‍යාත්මික කසළ දුර්ගන්ධය දැනෙන්නේ නැහැ. අපි අවිද්‍යාවෙන් ඵස්සය, තෙම තෙමා අකුසල් සංස්කාර කසළ ගොඩ මගේ කොටගෙනම ගොඩ ගසා ගන්නේ, මීතොටමුල්ලේ කුණු කන්ද වගේමයි.
දයාබර පිංවත සමාජය දෙස සිහි නුවණින් බලන්න, මනුෂ්‍ය ජීවිත කායිකව, මානසිකව, හොඳටෝම රෝගිවෙලා. බාහිර පරිසරය ගංවතුරින්, දේශගුණික හේතුන්ගෙන්, ස්වභාවික අනතුරුවලින් හොඳටෝම හෙම්බත්වෙලා. පිංවත් මනුෂ්‍ය ඔබ ඔබේ සිතුවිලි, ක්‍රියාකරකම්, දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය නොකරගන්නේ නම්, පිංවත් ඔබේම අධ්‍යාත්මික සතර මහා ධාතුවත්, බාහිර සතර මහා ධාතුවත්, වර්තමානයේ නැවත, නැවත ඔබට අනතුරු හඟවනවා, ධර්මානුකූලව නිවැරදි වෙන්නය කියලා. පිංවත් ඔබ තවදුරටත් දස අකුසල් ධර්මයන්ගෙන් ජීවිත පුරවා ගත්තොත්, අධිසංවර්ධනයක් උදෙසා, ඒවායින් ලබන අධි කොමිස් මුදල් උදෙසා, පරිසරය අසාධාරණ ලෙස විනාශ කළොත්, පිංවත් ඔබේ අධ්‍යාත්මික ජීවිතය කායිකව සහ මානසිකව බරපතල රෝගාබාධයන්ට ගොදුරුවෙනවා සේම ඔබ සිදුකරන අසාධාරණ පාරිසරික විනාශයන් සහ දුශ්ශීලභාවයෙන් සිදුකරන ශිල්පද බිඳීම් දරාගැනීමට නොහැකිව, ස්වභාවධර්මය බරපතළ දේශගුණික සහ ස්වාභාවික විපත්වලින් ප්‍රතික්‍රියා දක්වන්නට පුළුවන්. මුදල්ම මුල්කොටගත්, මෝහ මූලික සමාජයක්, විනාශයේ දොරටු ඇරගෙන, අධි විනාශයක් කරා යන අසරණ ගමනේදී, අපට ඉතිරිවෙලා තිබෙන්නේ ධර්මයේ ඒහිඵස්සික ගුණය විසිහතර පැයේම දකිමින් ජීවත්වීම පමණක්මයි.
කාලගුණික විපත් අවම, පිංවන්ත කාලයකදීයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අතීත දසපාරමී ශක්තිය නිසාමයි. අතීත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, සිව්වනක් පිරිසගේ අතීත දසකුසල් ධර්මයන්ගේ ශක්තිය නිසාමයි. ඉහත ධර්මානුකූල කාරණාවන්ගෙන් පිංවත් ඔබට වැටහෙනවා නේද, අපි ඉදිරියේ සිදුවන මේ ස්වාභාවික විපත්වලට හේතුව අපේම අකුසල් කර්මයන්ගේ විපාකයන්ය කියලා.
දිනපතා මහා සාගරයේ මසුන් මරණ ධීවර පිංවතුන්, පසුගියදා ගිනිගත් නැව නිසා හටගත් සමුද්‍ර දූෂණය වීම හේතුවෙන්, අපිට මුහුදු යන්න බැහැ, අපි බඩගින්නේ ඉන්නේ කියලා චෝදනා කරත්දි, සියලූ සත්වයින්ට මෙත් සිත පැතිර වූ තමන්ගේ ආගමික නායකතුමන්ලා කුමක් නම් කරන්නද. නිරතුරුවම අකුසල් මූලයන් වඩමින්, කල්‍යාණමිත්‍ර ආශ්‍රයක් නොලබමින්, සද්ධර්මය ශ්‍රවණය නොකරමින්, ටෙලි නාට්‍ය මනෝභාවයන් තුළම ජීවත් වෙමින්, මුහුණු පොත ධර්මය කොට දකිමින්, ජීවිතයේ සැපයම සොයන අහිංසක පිංවතුන් ගංවතුරෙන් සහ ස්වභාවික විපත්වලින් පීඩාවිඳිමින් අපිට කාගේවත් පිහිටක්, සරණක්, ආධාරයක් නැතැයි චෝදනා කරත්දි, ධර්මය කෙසේ නම් පිහිට වෙන්නද. තම ආගමික ශාස්තෘන්වහන්සේලා කුමක් නම් කරන්නද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා කර්මය මගේ කොටගෙන උපදී, සත්වයා කර්මය ඥාතියා කොටගෙන උපදී, සත්වයා කර්මය සෙවනැල්ල කොටගෙන උපදියි කියලා. මේ මොහොතේ ගංවතුර බැසගොස් ඇති, ඔබේ නිවසේ කණ්ණාඩි මේසය ඉදිරියේ ඔබ මොහොතක් සිටගෙන කණ්ණාඩිය දෙස බලන්න. ඔබ දකින්නේ ඔබේම රූපයේ ප්‍රතිබිම්බයයි. පිංවත අපේ ජීවිත ඉදිරියේ දිගහැරෙන, සතර මහාධාතුවේ වෙනස්වීම් නිසා සකස්වෙන මේ දුක සහ සැප, ඔබම මෙලොව සහ පරලොවදී ඔබම කැමැත්තෙන්ම ජීවිතවලට එකතුකොටගත් සංස්කාරයන්ගේ ඵලයන්ම වශයෙන් දකින්න.
අපේ ජීවිත ඉදිරියේ දිග හැරෙන සැප සහ දුක් ඉදිරියේ අපි ඇලීම් සහ ගැටීම් ඇතිකොට ගතහොත්, අපි කවදාද, අපේ ජීවිතවලට උපේක්ෂාව ඇතිකොට ගන්නේ. භික්ෂුවගේ කුටිය අද්දර වැසි වතුර පිරී ඇති මේ මොහොතේ, භික්ෂුව අතීත පංචඋපාදානස්කන්ධ ලෝකයට සිත යොමුකරනවා, භික්ෂුව සංසාරයේ පටිච්චසමුප්පන්නව, මාළුවෙක් වෙලා ජලජ සත්වයෙක් වෙලා කල්ප කොතෙක් නම් ජලය මගේ කොටගෙන ජීවත්වෙන්න ඇතිද. අසුර ලෝකයට වැටුණු වෙලාවේ, මගේ මහ ගෙදර වුණේ ජලයෙන් පිරුණු මහා සාගරයයි. මම වැස්ස වළාහක දෙවියෙක් වෙච්ච වෙලාවේ වැස්සත්, මමත් එකක් කොටගෙනමයි මම කාමච්ඡුන්දයන් වැඩුවේ. එදා මම වැස්ස නිසා, ජලය නිසා සකස්වෙන සැප වේදනාවන්ට ඇලිලා නැවත භවය පෝෂණය කරන සංස්කාරයන්මයි මම රැස්කොටගත්තේ. මේ සෑම අතීත සංස්කාරයක්ම අනිත්‍යවෙලා ගියේ, තවත් කල්ප ගණනාවක අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකයක මාව සිරකරුවෙක් කොට තබලා. අතීතයේ වැස්ස, ගංවතුර මගේ කොටගෙන ජීවත්වෙච්ච අපි, වර්තමානයේ වැස්ස ගංවතුර දෙස බලන්නේ, ආගන්තුකයෙක් දෙස බලනවා වගේමයි.
මීට මොහොතකට පෙරාතුව සුදු පැහැයෙන් බැබලූන අහස් කුස මේ මොහොතේ කළු පාට වැසි වලාකුළු වලින් බරවෙලා, පරිසරයම අඳුරුකොටගෙන වැසිපොද වැටෙනවා. සතර මහා ධාතුව සෑම නිමේෂයකදීම වෙනස්වෙලා යනවා. මේ මොහොතේ පරිසරයේ ආපෝ ධාතුව සහ වායෝ ධාතුව හොඳටෝම කිපිලා. ස්වභාවධර්මය පිංවත් අපි හැමෝටම, සුන්දර ධර්මයක් දේශනා කරනවා. වැස්ස තුළින්, ගංවතුර තුළින්, ස්වභාවික විපත් තුළින්, ස්වාභාවධර්මය අර්ථවත් ධාතුමනසිකාරය ගැන ධර්මයක් දේශනා කරත්දි, අපට එම ධර්මය අසන්න, දකින්න, එම ධර්මය ගැන සිතන්න, සම්මා සතියක් නැහැ. පංචනීවරණ ගංවතුරේ කරවටක් ගිලිලා අපි ජීවත්වෙන්නේ.
වැස්ස, වැස්ස හැටියට දකින තාක්කල්, ගංවතුර, ගංවතුර හැටියට දකින තාක්කල් අපි, මාරයා, මාරයා හැටියට දකින්නේ නැහැ. පිංවත් ඔබ වැස්සට ද්වේශ කළොත්, එම ද්වේශය ඔබට, පටිච්චසමුප්පන්නව වැසි නැති කාන්තාර පරිසරයක උපතක් සකස්කොට දේවි. පිංවත් ඔබ වැස්සට ඇලූනොත්, ඔබව වැස්ස වළාහක දෙවියෙක් ලෙස නැවත පටිච්චසමුප්පන්නව උපතක් සකස්කොට දේවි. වැස්ස නිසා, ගංවතුර නිසා ඔබ සකස්කොට ගන්නා, ඇලීම් සහ ගැටීම්, සංස්කාර රැස්කොටදෙන කෙලෙස් වැසි බවටමයි පත්කොට දෙන්නේ.
දයාබර පිංවත අකුසල් විපාක දෙත්දී, අකුසල් යටපත්කොටගෙන ශක්තිමත් විදර්ශනාමය කුසලයන්මයි, අපි මතුකොටගත යුත්තේ. මේ නිමේෂයේදි මේ වියරු ගංවතුර තවත් අනාගත වියරු කෙලෙස් ගංවතුරකට මාර්ගය කරගන්න එපා. ඔබේම අතීත අකුසල් විපාකදෙන මේ නිමේෂයේදී, දෑස් පියාගෙන ගංවතුර තුළින් ඇතිවෙන ස්වාභාවික විපත් තුළින් එහි සැබෑ ඇත්ත, වන ධාතුමනසිකාරය හෙවත් සතර මහාධාතුවේ අනිත්‍යභාවයම මතුකොට දකින්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහාධාතුව කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවය නුවණින් දකින්න. අපේ අධ්‍යාත්මික ආපෝ ධාතුව, කිපීම නිසාම, සෙම නරක්වෙලා, පෙනහැල්ල පැසවා, නිව්මෝනියා තත්ත්වයන් ඇතිකොට, අපිව මරාදමන හැටි නුවණින් දකින්න. බාහිර ආපෝ ධාතුව, වායෝ ධාතුව, කිපීම නිසාම, මහා සුළං හමා, මහා වැසි ඇද වැටී, ලක්ෂ ගණන් ජනතාව පීඩාවට පත්වෙන හැටි නුවණින් දකින්න. මහා අකුසල් කඳු රැස්කොට ගන්නා හැටි නුවණින් දකින්න.
අනිත්‍යවූ, දුක්වූ, අනාත්මවූ අධ්‍යාත්මික සහ බාහිර සතර මහාධාතුව කෙරෙහි තෘෂ්ණාව, අපි තුළ තිබෙන තාක්කල්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය තවත් රූපයකට බැසගන්නවාමයි. පිංවත ගංවතුර, වැස්ස අනිත්‍යවූ ධර්මතාවයන් වශයෙන් දකිනවා වගේම වැස්ස, ගංවතුර සහ ස්වාභාවික විපත් හේතුවෙන් සකස්වෙන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය නිරතුරුවම නුවණින් දකින්න. පිංවත ගංවතුර බැසගියදෙන්, ගංවතුර නිසා ඔබ තවත් උපතකට බැසගන්න එපා. වැස්ස තදින් වහින කොට, ගංවතුරේ දෙපා තබනකොට, ඔබේ ඵස්සය හේතුඵල ධර්මයන් දකින, ධර්මයේ උපේක්ෂාවෙන් හොඳින් සෙවිලිකොට ගන්න. වැස්සත්, ගංවතුරත්, උපේක්ෂාවක්ම වූ තැන පිංවත් ඔබේ ජීවිතයත්, ධර්මයක් බවටම පත්වේවි. වැස්සත්, ගංවතුරත්, ඇලීමක් හෝ ගැටීමක් වූ තැන, ඔබේ ජීවිතයත් කෙලෙස් වැස්සක් බවටම පත්වේවි.