පිනෙහි ආශ්වාදය යනු කාමයෙහි ආශ්වාදයමය

තවත් සුන්දර වෙසක් සතියක් ගෙවී ගියා. වෙසක් දින රාත්‍රියේ ආකාශයේ රන් තැඹිලි පැහැයෙන් ප්‍රභාෂ්වරව විකසිත වූ, නවයොවුන් වෙසක් සඳවතිය, දිනෙන්, දින, පැහැයෙන්, ප්‍රභාෂ්වරභාවයෙන්, කේඩෑරිවී යනවා. සියලූ සුන්දර නවයොවුන් සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් ධර්මයන්ට. කුසල් සහ අකුසල් අයිති අවිද්‍යාවට. අවිද්‍යාව අයිතිවෙන්නේ පංචනීවරණ ධර්මයන්ට. පංචනීවරණ ධර්මයන් අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පංචනීවරණ ධර්මයන් විසින් අවිද්‍යාව අස්වද්දද්දි, අවිද්‍යාව නැවත, නැවත පංචනීවරණම පෝෂණය කරනවා. නවයොවුන් වෙසක් සඳවතිය, වෙසක් පොහොය දවසේ, රිද්මයකට, ලාලිත්‍යයකට, ප්‍රභාෂ්වරව කැළුම් දිදී බබලත්දි, සඳවතියගේ රූපයට ඇලූණු අපි, නව යොවුන් සඳවතිය රූපයෙන් මිලානවී යත්දී, ඇය දෙස නොබලාම අහක බලාගෙන ඉන්නේ, රූපයේ අනිත්‍යභාවය නොදකින අවිද්‍යාවේ අඳුර නිසාමයි.

අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාර මාරයා, අතීතයේ, අපිම සිදුකොටගත්තා වූ, ලස්සන සුන්දර සංස්කාරයන් උපයෝගී කොටගෙන, අපිට ලස්සන ලස්සන රූප, ලස්සන ලස්සන විඳීම්, හඳුනාගැනීම්, සංස්කාර, දැනීම්, නිර්ලෝභීව බෙදා හදා දෙනවා. සංස්කාර මාරයා ලස්සන තුළිනුත්, අවලස්සන තුළිනුත්, අපිව ආයෙ ආයෙමත්, කැඩෙන, බිඳෙන, විසිරෙන, මාරයාගේ ලෝකයම අපේ ජීවිතය බවට පත්කොට දෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදු වූ වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ, සද්ධර්මයේ නාමයෙන් ඔබ කුමක්ද, ජීවිතයට එකතුකොට ගත්තේ. වෙනදා වගේම පිංවත් ඔබ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, දානයෙන්, සමාධිමත් සිතකින් පමණක්ම සෑහීමකට පත්වුණාද. එහෙම වුණා නම් ඔබත් වෙසක් නව යොවුන් සඳවතිය වගේමයි. ඇයත් බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධකොටගත් දවසේත්, ප්‍රභාෂ්වරව කැළුම් දිදී ආකාශයේ බබලන්නට ඇති. මේ උදාවූ වෙසක් පුරපසළොස්වක පොහොය දවසේත්, ඇය ඒ දෙයමයි සිදු කළේ. සියලූ සංස්කාරයෝ වෙනස්වෙලා යත්දි, ඇය තවත් හුදු සංස්කාරයක් බවටම පත්වුණා. පිංවත් ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් ප්‍රමාද වූ, ඔබේ ප්‍රමාදි ජීවිතයෙන්, නිහතමානීව ප්‍රශ්න කරන්න. අවිද්‍යාවට තුරුල්වෙලා, පංචනීවරණයන්ගේ මුවකමල සෙනෙහසින් සිපගන්නා අපි, මේ ගෙවීගිය වෙසක් දිනයෙත්, දැක්ක දෙය, ඇසුණ දෙය, දැනුන දෙය ම නේද, සෙනෙහෙ සිතින් සුරතල් කළේ.

ඔබේ ඵස්සය අවිද්‍යාවෙන් තෙත් වෙත්දි, විඳීම් ආශ්වාදයෙන් තෙත්වෙලා යනවා. විඳීම් ආශ්වාදයෙන් තෙත්වෙලා යත්දී, හඳුනාගැනීම් දෝරෙ ගලායන්නේ, සංස්කාරයන්ට වාන් දොරටු සිත්සේ විවෘත කොටදීලා. පිංවත් ඔබත් ගෙවී ගිය වෙසක් සතිය ගත කළේ, ඔබේ පිංවන්ත ජීවිතයෙන් පිනේ, කුසලයේ, වාන්දොරටු සිත්සේ දැනීම්වලට විවෘත කොට දීල නේද.

පිංවත පිනේ ආශ්වාදය යනු ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් වසා ඇති කාමයේ ආශ්වාදයමයි, රූපයේ ආශ්වාදයමයි, වේදනාවේ ආශ්වාදයට මාර්ගයමයි. අපි හැමෝම ලස්සනට කැමතියි. අපි හැමෝම පිනට කැමතියි. අපි හැමෝම සිහින ලෝකයේ භව මාළිගාවන් තනාගෙන දෙවියන්, දිව්‍යාංගනාවන් සමග මනසින් ජීවත්වෙන්න කැමතියි. වෙසක් පොහොය දවසේ ඔබ බුදුරජාණන් වහන්සේට පූජාකළ සුවඳවත්වූත්, වර්ණවත්වූද මල් වට්ටිය පරවෙලා ගියා. ඔබ බුදුසමිඳුන්ට පූජා කළ පහන් ආලෝකය නිවී ගියා. ඔබ බුදුසමිඳුන්ට පූජා කළ බුද්ධ පූජාව පිණුල්වී ගියා. පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද, මේ සියලූ පූජාවන් තුළින් ඔබ ජීවිතයට එකතුකොටගත් පින, අනාගතයේ යම් දවසක පිණුල්වෙලා, පරවෙලා යනවාය කියලා. පිංවත් ඔබ මේ නිමේෂයේදිත් ප්‍රමාද නැහැ.

මොහොතක් දෑස් පියාගෙන, මිලීනවී ගිය මල් වට්ටිය වගේම, නිවී ගිය පහන් ආලෝකය වගේම, පිළුණුවී ගිය බුද්ධ පූජාව වගේම, ඒවා තුළින් රැස් වුණා වූ සංස්කාරයොත් මිලිනවී යනවාය කියලා මේ මොහොතේ නුවණින් දකින්න. සංස්කාරයෝ අනිත්‍යවී යනවා දකිත්දී අපේ අවබෝධාත්මක ප්‍රඥාව, අවිද්‍යාවේ අළු ගසා දමා නැගිටින්න ඕනේ. ලෞකික ප්‍රඥාව තුළ, අවිද්‍යාවේ අළු සැඟවිලා තිබෙනවා.

පිංවත් ඔබ තුළ පිනේ ආශ්වාදය කිරි වැදි, ඔබ තුළත් වර්ණය, සැපය, බලය නලියත්දිත් ඔබට කළ්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වුණොත්, ධර්මමාර්ගයේදි ඔබ සක්කාය දිට්ඨියේ කටු පඳුරුවල පැටලෙන්න පුළුවන්. අවිද්‍යාවෙන් ගැබ්බරවූ ඵස්සය අසල, සක්කායදිට්ඨියේ කටු පඳුරු සුවසේ පෝෂණය වෙන්න, පිනේ ආශ්වාදයත් ලොකු උපකාරයක් කරනවා. විඤ්ඤාණය නමැති මැජික්කරුවා, සක්කාය දිට්ඨිය නමැති මැජික් යෂ්ටිය උපයෝගී කොටගෙන, අපිව සංස්කාර මාරයාගේ ලෝකය තුළ නැවත, නැවත මංමුලා කරන්න පුළුවන්. සමහර පිංවතුන් භික්ෂුවට ඇවිත් කියනවා, ස්වාමින් වහන්ස, මම රැකියාවක් කරනවා, ව්‍යාපාරයක් කරනවා, මම බිරිඳක්, දුවා දරුවන් පෝෂණය කරනවා. මම ගිහි බැඳීම් තුළ කැමැත්තෙන්මයි මගේ ගිහි වගකීම් ඉටුකරන්නේ. මම පින කෙරෙහි තෘෂ්ණාවෙන් පිංකම්ද කරනවා. දන් පූජා කරනවා. නමුත් ස්වාමින්වහන්ස, මට නැවත සශ්‍රීක දිව්‍යතලයක දෙවියෙක් වෙන්න කැමැත්තක් නැහැ. නැවත බ‍්‍රහ්මලෝකයේ බ‍්‍රහ්මයෙක් වෙන්න කැමැත්තක් නැහැ. වේලාවකට මට සිතෙනවා මම ධර්මය අවබෝධ කරලාද කියලත්. ඒ සිතුවිල්ල අවසානයේ මම මටම සිනාවෙනවා. මම දන්නවා මම ධර්මය අවබෝධ කරලා නැහැය කියලා.

පිනේ ආශ්වාදය තුළ ජීවත්වෙන ඔබටත් ඉහත සිතුවිල්ල ඇතිවෙලා තිබෙනවාද. පිංවත් ඔබට දිව්‍යතල කෙරෙහි බ‍්‍රහ්මතල කෙරෙහි නැවත උපතකම කැමැත්තක් නැතිනම්, නමුත් ඔබ මනුෂ්‍ය ලෝකයේ බැඳීම් සතුටින් පිළිගෙන ජීවත්වෙනවා නම්, එයින් අදහස් වෙන්නේ ඔබ තවම මනුෂ්‍ය ලෝකය කෙරෙහි උපාදානයෙන් මිදී නැහැය කියන අර්ථයයි. ඔබ යම් මොහොතක මියපරලොව ගියොත්, අවසාන චුති සිත තෘෂ්ණා පච්චයා උපාදානං ධර්මතාවය ඔස්සේ, ඔබේ සිත පිහිටන්නේ, නැවත මනුෂ්‍ය ලෝකයේ පටිච්චසමුප්පන්න උපතක් කරාමයි. නමුත් ගිහි බැඳීම් කෙරෙහි ලෝභ සිතක් මතුවී, අවසාන චුති සිත සකස් වුණොත්, ඔබ පරදත්තරූපජීවී පේ‍්‍රත කියන තැනටත් වැටෙන්නට පුළුවන්. අපි තුළින්ම ක්‍රියාත්මක වන සංස්කාර මාරයා, විඤ්ඤාණය නමැති මැජික් යෂ්ටිය උපයෝගීකොටගෙන අපේ දිව්‍ය බ‍්‍රහ්ම තෘෂ්ණාව නැති කරලා, මනුෂ්‍ය ලෝකයේම අපිව පටිච්චසමුප්පන්නව පැලපදියම් කරනවා. මනුෂ්‍ය ලෝකයේ ගිහි බැඳීම තුළ කැමැත්තෙන් ජීවත්වෙන ඔබ තුළ, දිව්‍ය සහ බ‍්‍රහ්ම උපාදානයන් සකස්වෙන්නේ නැතිනම්, ආයාසයක් ගෙන එම දිව්‍ය සහ බ‍්‍රහ්ම උපාදානයන් ඇතිකොටගන්න. මනුෂ්‍ය ලෝකය කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබෙන නිසාමයි, මනුෂ්‍ය සැපයන් කෙරෙහි උපාදානය තිබෙන නිසාමයි, දිව්‍ය බ‍්‍රහ්ම සංඥාවන් අපි තුළ ඇති නොවන්නේ. මෙහි අනතුර තමයි මනුෂ්‍ය ලෝකය තුළම තිරිසන් සහ පේ‍්‍රත, අසුර, ලෝකයනුත් ස්ථානගතවෙලා තිබීම. මරණාසන්න මොහොතේ පුංචි බැඳීයෑමක් හේතුවෙන් අපිව, ඉහත අනතුරේ ගොදුරක් වෙන්න පුළුවන්.

මෙවර වෙසක් සතිය ආමිස පූජවන්ගෙන් හුඟාක් ඈත්වෙලා තිබුණේ. වෙසක් පසළොස්වක පොහොය දිනයට පසුදින රාත්‍රියේ, කොළඹ නගරය හරහා භික්ෂුව ගමන් කරත්දි, වෙනදාට බෞද්ධ ජනතාවගේ නිවාස ඉදිරිපිට එල්ලා තිබෙන වෙසක් කූඩු දල්වන, පාට පාට විදුලි බුබුළු, පහන් වැටියකින්, බකට් එකකින් කරන ආලෝක පූජාවන්, දකින්න ලැබුණේ හුඟාක් අඩුවෙන්. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා, ප්‍රතිපත්ති පූජාව වගේම, ආමිස පූජාවත් අත්‍යාවශ්‍ය කාරණාවක් වෙනවා. අපි හැමෝගේම ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් එක සමානව වැඩිලා නැහැ. ඒ නිසාම ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල පිංවතුන් තුළින්, ලොකු සහ කුඩා දරුවන් තුළින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මෝදුකොට දෙන්න, වෙසක් සමයේ සිදුකරන ආමිස පූජාවන් ලොකු ශක්තියක් වෙනවා.

කොරෝනා අකුසලය නිසාම, මෙවර වෙසක් සමයේ අපි පන්සල්වලම, ආරණ්‍යවලම, නිවාසවලම, කොටුවී සිටියත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම යම් සේ මංගල්‍යයක් වූවාද මෙවර වෙසක් පසළොස්වක පොහොය උදාවත් සුන්දර මංගල්‍යයක්මයි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥ්ඥාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය සක්සුදක්සේ ප්‍රකට කළ, සුන්දර මංගල්‍යයක්මයි. මෙය සටහන් තබන භික්ෂුව ධර්මයේ උපේක්ෂාවෙන්, කොරෝනා අකුසලයෙන් කැඩෙන, බිඳෙන, විසිරෙන මේ පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස බලත්දි, ලෝකය ගැන අසත්දි, ලෝකය ගැන සිතත්දි, භික්ෂුවට අරමුණු වෙන්නේ, උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණයන්මයි.

උතුම් ශ්‍රී සද්ධර්මයේ ස්වක්ඛාත ගුණය, සරලව, විවෘතව මේ නිමේෂයේදීම, සෑම මනුෂ්‍ය ජීවිතයක් තුළින් බබලනවා. කිසිදා කිසිලෙසකින්වත් සඟවන්න බැරි, ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක, දුකට එකම හේතුව වන තෘෂ්ණාව, තෘෂ්ණාව හේතුවෙන්ම දුක් විඳින ජනතාව, මේ සියල්ලටම හේතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වලභාවයන් ජීවමානව සමාජය තුළින් ප්‍රකට වෙත්දි, සැබවින්ම මේ වෙසක් සමය ධර්මයේ අර්ථයන් ප්‍රකටකොට පෙන්වන, සුන්දර මංගල්‍යයක්මයි. බුදුරජාණන් වහන්සේ අවබෝධකොට දේශනා කළ මේ ලෝක ධාතුවේ පරම සත්‍ය වන චතුරාර්ය සත්‍යය ධර්මයන්, ඒහිපස්සිකව සෑම මනුෂ්‍ය ජීවිතයක් තුළින්ම, විවෘතව බබලන සුන්දර මංගල්‍යයක්මයි. උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇත්ත තමා තුළින් අත්දකිත්දි, අපි තුළ ප්‍රීතියක්මයි, ඵස්සද්ධියක්මයි ඇතිවිය යුත්තේ. ඒ ප්‍රීතිමත් සිතින්, සංසිඳුණු සිතින්, පංචනීවරණ ධර්මයන් යටපත්වෙලා යත්දී ඇලීම් සහ ගැටීම්වලින් තොරව මේ කැඩෙන, බිඳෙන, විසිරෙන පංචඋපාදානස්කන්ධ ලෝකය දකින උපේක්ෂාව, පිංවත් ඔබේ ජීවිතයත් මංගල්‍යයක් බවටම පත්වෙන්වා. අකුසලයෙන් මිදුණු, කුසල් ධර්මයන් වැඩෙන, කුසලයත්, අකුසලයත් අනිත්‍ය වූ සංස්කාරයන්සේම දකින, බුද්ධෝත්පාද කාලයක සැබෑම අර්ථය, අපේ ජීවිත සද්ධර්මයේ කොටසක් බටම පත්කොට දෙනවා. ජීවමාන ශාස්තෘන්වහන්සේ වන උතුම් ධර්ම විනය, මේ නිමේෂයේදිත් පිංවත් ඔබ ඉදිරියේත්, භික්ෂුව ඉදිරියේත්, සිංහසෙයියාවෙන්ම, මහා කරුණාවෙන්ම, පිවිතුරු ආර්ය විමුක්තියෙන්ම වැඩසිටියදි, අපි තවමත් මනුෂ්‍ය ලෝකයෙන් ඔබ්බට, සිත පිහිටුවා ගැනීමට අදක්ෂ නම්, වහ වහා අප්‍රමාදි වෙන්න යැයි, ආකාශයේ මේ රාත්‍රියේ මිලානවී යන නවයොවුන් වෙසක් සඳවතිය අපිට මතකය අවදිකොට දෙනවා.