කාමයේ වරදවා හැසිරුනොත් තම වරද ගැන දැනුම් දී වහාම උපැවිදි වන්න

නවයොවුන් වයසේ සාමනේර අයුෂ්මතුන් වහන්සේ නමක්, භික්ෂුව මුණගැසීමට පැමිණ ප්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්ස, මගේ අතින් දැන දැනම කාමයේ වරදවා හැසිරීමකට අදාළව බලවත් වරදක් සිද්ධවුණා. එම දුශ්ශීල ක්‍රියාවෙන් පසුව, මම නැවත සාමනේර දශශීලය සමාදන් වෙලා, සාමනේර ශීලයේ පිහිටියා. දැන් මම ශීලයෙන් පිරිසිදුයි නේද කියලා, භික්ෂුවගෙන් විමසා සිටියා. භික්ෂුව එම අයුෂ්මතුන්ට ප්‍රකාශ කළේ, සාමනේර පාරාජිකාවක් සිද්ධවුණ තැන, නැවත දශශීලයේ පිහිටලා, කවදාකවත් නිවැරදිවීමක් නම් ලබන්නට බැහැය කියලා.

බුදුරජාණන් වහන්සේ කාමයේ වරදවා හැසිරීම පනවන්නේ පාරාජිකාවටයි. යම් සාමනේර හිමිනමක් අතින් බලවත් කාමයේ වරදවා හැසිරීමක් සිදුවන මොහොතේ එම සාමනේර හිමිනමගේ පැවිද්ද කරටිය කැඩුණ පොල් ගසක්, දෙකට පැළුණ කළු ගලක් වෙනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සැබෑ පැවිද්දෙන් බැහැරට යන එම ජීවිතය නිතරම සැකය, විචිකිච්චාව, කුකුස්වලින් ගිලගන්නවා. කවදාකවත් එම සිතේ සමාධියක් ඇතිවෙන්නේ නැහැ. සිතේ චංචලභාවය නිසාම, පංචනීවරණ ශක්තිමත් වී නැවත නැවත ශීලයේ දුර්වලභාවයන් දිශාවටමයි ඔහුව යොමුකරන්නේ.

පිංවත් තරුණ සාමනේර හිමිනමක් අතින් පාරාජිකාවකට අදාළ බලවත් කාමයේ වරදවා හැසිරීමක් සිදුවුණොත් කරුණාකර, ඔබේ පැවිදි ජීවිතය කෙරෙහි අනුකම්පාවෙන්, තමා අතින් සිදුවූ වරද තම පැවිදි ගුරුවරයාට දැනුම් දී වහාම උපවැදි වෙන්න. එම මොහොතේම විනයානුකූලව නැවත පැවිදිවෙලා සාමනේර දශශීලයේ අලූතින් පිහිටන්න. එවිට ඔබේ පැවිද්ද අලූත් පැවිද්දක්. එහි කිලූටක් නැහැ. එම නිසාම ඔබ තුළ ඔබේ පැවිද්ද ගැන සැකයක්, විචිකිච්චාවක්, කුකුසක් නැවත ඇතිවෙන්නේ නැහැ. ඒ නිසාම ඔබේ සිත බාධාවකින් තොරව පංචනීවරණයන්ගෙන් බැහැරවී සමාධිය දෙසට යොමුවේවි.

සංසාර දුක දැකලා අහිංසක දරුවන් පැවිදිවෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්මයි. සංසාර දුකෙන් මිදීමේ සිහින දකිමින්මයි. ඒ උතුම් අරමුණු ශාක්ෂාත්කොටගන්න ඔබට අවශ්‍ය නම්, පාරාජිකාවන්ට අදාළ වැරදි සිදුකරලා ඒවා සඟවාගෙන සිටින්න එපා. බරපතළ ඇවැත් සඟවාගෙන සිටියොත්, ඔබේ සිත ධර්මානුකූලව වැඩෙන්නේ නැහැ. එවිට ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරු වූ පැවිදි ජීවිතයක් ගතකරන්නේ. පිංවත් සාමනේර ඔබ, ඔබට අවංකවෙන්න. ඔබේ අවංකභාවය, පිංවත් ඔබවත් ආරක්ෂා කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාකොටදේවි. වර්තමානයේ සාමනේර අයුෂ්මතුන්ලා පූර්වාදර්ශයන්ගෙන් තොරව බලවත් අනතුරකයි ජීවත්වෙන්නේ. මේ අනතුරෙන් අපි නිවැරදි නොවුණොත්, අනාගතයේ දී මෙම අනතුර සම්මා සම්බුද්ධ ශාසනයම ගිලගනීවි.

මේ උතුම් සංඝ සමාජය තරම් විනයගරුක ආයතනයක් මේ ලෝකධාතුව තුළ තිබෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂු අපිට ශේඛියා විනය ධර්මයන් තුළින් ඇවිදින හැටි, සිවුර පොරවන හැටි, කතාබහ කරන හැටි, වැසිකිළි කැසිකිළි කරන හැටි, ආහාර වළඳන හැටි, කෙළ ගසන හැටි පවා සුන්දරව දේශනාකොට තිබෙනවා. අපි උතුම් ධර්ම විනයට කීකරු නම් අපිට වරදින්න විදියක් නැහැ. ඒත් ගෞරවණීය අපේ සංඝ සමාජය දෙස දකිද්දී, අනේ අපොයි කියලා නේද කියන්න සිද්ධවෙලා තිබෙන්නේ. උතුම් ධර්ම විනය දුර්වල කරගෙන, පංචනීවරණයන් සංඝ සමාජය තුළ දෝරේගලා ගෙන යනවා. ගෞරවණීය සංඝ සමාජයට අයත් යම් ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමක් උතුම් ධර්ම විනයට අදාළව නිවැරදි වීමට අකමැති නම්, දැන දැනම පාරාජිකාවන්ට අදාළ වැරදි, සංඝාදිශේෂයන්ට අදාඝ වැරදි සිදුකරනවා නම්, කරුණාකර විනය ධර්මයන් කෙරෙහි සිහිය ඇතිකොටගන්න. එය පිංවත් ඔබටත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටත් යහපතක්මයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් සිදුකළ දශපාරමී ධර්මයන්ගේ නොසැළෙන කැපවීමට, ශාසන ද්‍රෝහියෙක් වෙන්න එපා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අවශ්‍ය ව්‍යාපාරිකයන්, කාමයේ වරදවා හැසිරෙන්නන්, අහිංසක සාමනේර හිමිවරුන් නොමඟ යවන්නන් නොවේ. මේවා අයිති පිංවත් ගිහි සමාජයටයි. උතුම් සංඝ සමාජයේ ලේ උරුමය වෙන්නේ, උතුම් සුපටිපන්න ගුණයය, උතුම් උජුපටිපන්න ගුණයයි. අපේ ධනය වෙන්නේ උතුම් ඥායපටිපන්න ගුණයයි. අපේ කෘතවේදීභාවය වෙන්නේ උතුම් සාමීචිපටිපන්න ගුණයයි.

භික්ෂුව ඉහත සටහන් තැබුවේ, කිසිම ගෞරවණීය ස්වාමීන් වහන්සේනමකට චෝදනාවක් කිරීමට හෝ අගෞරවයක් කිරීමට නොවේ. අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ශ්‍රාවකත්වය උතුම් විනය ධර්මයන්ට අදාළව පෝෂණය කොටගන්නට. ඇයි අපි පැවිදි දිවියට පත්වුණේ කියන කාරණය කෙරෙහි සතිය සිහිය ඇතිකොටගන්නට. අපේ සතිය, සිහිය දුර්වල වුණ තැනදී ධර්ම මාර්ගයට අදාළව, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව, සිතීමේ ධර්මවිජය බොජ්ජංගය දුර්වලවෙලා යනවා. එවිට අපේ වීර්ය වැඩෙන්නේ, විනය ධර්මයන් විකෘතිකොට ගෙන යන දිශාවට. එවිට අපේ භික්ෂු ජීවිතවලින් ප්‍රීති සම්බෝජ්ජංගය, ඵස්සද්ධිය හෙවත් සිතේ සැහැල්ලූව පලායනවා. එවිට අපේ භික්ෂු ජීවිත පිරීයන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි නොසෑහිම, අපේ භික්ෂු ජීවිතවලට බදු දීලා.

අපි සැවොම, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් අපි වෙනුවෙන්ම, අපේ භව නිරෝධය වෙනුවෙන්ම, අපේ සුගතිය වෙනුවෙන්ම, මහමෙරක් සේ දශපාරමී ධර්මයන් පූරණයකළ, සය අවුරුද්දක් ජීවිත පරිත්‍යාගයෙන් දුෂ්කර ක්‍රියාකළ, සුන්දර සක්විති රජපදවිය, රම්‍ය, සුබ, සුරම්‍ය, මාලිගාවන් අතහැරදැමූ, යශෝදරාවන් වැනි පංචකළ්‍යාණියන් කෙරෙහි රාගය, විරාගයක් බවට පත්කොටගත් බුදුරජාණන් වහන්සේට කෘතවේදීවෙමු. අපි ජාති ජාතිත් දුකේ කොටස්කරුවන් වෙන ණයකාරීත්වයෙන් මිදෙමු.

වෙළෙඳපොළේ අටපිරිකර මිල ඉහළ යන්න, ඉහළ යන්න සිවුරු පිරිකරවල මිල ඉහළ යනකොට, දානයට පූජාකරන ආහාර, පලතුරු, රසකැවිලිවල මිල ඉහළ යනකොට, ඖෂධ, ගිලන්පසවල මිල ඉහළ යනකොට, පිංවත් ගිහි ජනතාව තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉහළ යනකොට භික්ෂූන්වන අපේ අවධානම වැඩි වෙනවා. මොකද පිංවත් ගිහි ජනතාව තම දහදිය මහන්සියෙන් උපයාගත් ධනයයි සිව්පසය උදෙසා වැයකරන්නේ. අග‍්‍රම දෙය, ප්‍රණීතම දෙය, පිරිසිදුම දෙයයි අපිට පූජාකරන්නේ. සංඝයාගේ උතුම් ගුණයන් දකිමින්මයි අපිට වන්දනා කරන්නේ. මේ උතුම් හේතූන් නිසාම, මේ පූජනීය, වන්දනීය හේතූන් නිසාම වර්තමානයේ මේ ලෝක ධාතුවේ බලවත්ම අවදානමක් දරාගත් පිරිස බවට සංඝ සමාජය පත්වෙලා තිබෙනවා. අපි මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. පිංවත් ගිහි ජනතාවගේ ශ්‍රද්ධාව තුළින් මෝදුකොට දෙන මේ අභියෝගය අපිට ජයගන්න පුළුවන් වෙන්නේ, අපේ සුපටිපන්න ගුණයෙන්මයි. අපේ උජුපටිපන්න ගුණයෙන්මයි.

භික්ෂු සමාජයේ ගෞරවණීය අපි කාමයන්ගේ නිසරුභාවය දකිමු. අපි ගිහි සමාජයට අයිති ව්‍යාපාරිකයන් වීමෙන්, වැවිලිකරුවන් වීමෙන්, වෘතියවේදීන් වීමෙන් වළකිමු. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙතවන භික්ෂු අපි, මේ ලෝක ධාතුවේ නිස්සාර මුඩුබිමක් නොවෙමු.

අතීතයේ අපි පටිච්චසමුප්පන්නව සක්විති රජවෙච්ච වෙලාවේ, සෘද්ධියෙන් යන ඇතෙක් පිට නැඟි, සෘද්ධියෙන් යන අජානීය අශ්වයෙක් පිට නැඟි, සතර දිවසින් තරණය කළ අපේ ඒ සුන්දර අතීත සංස්කාරයන් වෙනස්වෙලා ගියා. රනින්, රිදියෙන්, මුතු, මැණික්වලින් සැදූ මාලිගා පරිහරණය කළ අපේ අතීත සංස්කාරයන් වෙනස් වෙලා ගියා. වර්තමානයේ ගඩොල් ගොඩවල්වලට, යකඩ ගොඩවල්වලට, සල්ලි කොළ ගොඩවල්වලට තවදුරටත් ආදරය කරන්න එපා. මේවා අසූචි වගේමය, මුත්‍රා වගේමයි, අකුසලයේ දුර්ගන්ධය, පටිච්චසමුප්පන්න භාවාත්‍රය දිශාවට ම හමාගෙන යනවා.

මේ උතුම් සංඝ සමාජය තුළ විකසිත වීමට විලිලන මල් කැකුළක්, අපි පෙති කඩාදමා විසිරුවා දමනවා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ නික්ලේෂ හද මඩලට පූජා වීමට සුදුසු අර්ථයෙන් සුගන්ධවත් මලක් විනාශකොට දමනවා වගේම වැඩක් නේද කියලා අපි සිහිබුද්ධියෙන් සිතන්න දක්ෂවෙන්න ඕනේ. අද දවසේ පැවිදිවෙන සාමනේර අයුෂ්මතුන්ලායි හෙට දවසේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය බවට පත්වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල ස්වාමින්වහන්සේට ලබාදුන් මුල්ම භාවනා කමටහන තමයි ධාතු මනසිකාරය. පුංචි සාමනේර හිමියන් තුළ සකස්වෙන රූපය කෙරෙහි ආස්වාදය, විඳීම් කෙරෙහි ආස්වාදය සියුම්කොට දෙන්නයි බුදුරජාණන් වහන්සේ එම කමටහන රාහුල පුංචි හිමියන්ට ලබාදෙන්නේ. රාහුල ඔබේ මේ ශරීරයේ තද ස්වභාවය, පඨවි ධාතුවයි. මේ පඨවි ධාතුව තුළ මම කියලා, මගේ කියලා කෙනෙක් නැහැ රාහුල. පඨවි ධාතුව අනිත්‍යයි කියලාම දකින්න. පඨවි ධාතුව මම කියලා ගන්න එපා, මගේ යැයි කියලා ගන්න එපා රාහුල.

රාහුල ඔබේ මේ ශරීරයේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මම කියලා ගන්න එපා; මගේ යැයි කියලා ගන්න එපා. මේවා අනිත්‍යයි කියලාම දකින්න. ඔබ මේ අනිත්‍ය වූ සතර මහාධාතුව මම කියලා, මගේ කියලා ගත්තොත්, ඔබ රැවටෙනවා, ඔබ මුලාවට පත්වෙනවා. ඒ වගේමයි රාහුල, ඔබ බාහිර සතර මහාධාතුවත් අනිත්‍යයි කියලාම දකින්න. පිංවත් රාහුල, ඔබ එසේ දකිනකොට, රූපය කෙරෙහි රාග සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් ඇතිවෙන්නේ නැහැ. ඔබේ රූපය සහ බාහිර රූපයත් විරාගයට ම කමටහනක් වෙනවා. බලන්නකෝ, බුදුරජාණන් වහන්සේ සාමනේර හිමිනමකට ලබාදුන්න කමටහන, ගුරු උපදේශයි. වර්තමානයේ අපේ කවුද, පිංවත් අහිංසක සාමනේර හිමිවරුන්ට ධාතු මනසිකාරය කියලා දෙන්නේ. පිංවත් ශිෂ්‍යයන්ට කියලා දෙන්න, ගුරුවරුවන අපි පුහුණු කරලා තිබෙන්න එපැයි. වර්තමානයේ අපි මොනවාද ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට කියලා දෙන්නේ, බැංකු පොතේ වටිනාකම, ඉංග‍්‍රීසි උච්ඡාරණය, මාධ්‍යවල බණ කීමේ පුහුණුව, පරම්පරාව රැකීමේ ආනිශංස සහ කාමයේ, රූපයේ ආස්වාදයම නේද. මේවාට අපි කවුරුවත්ම වැරදි නැහැ. එකම වැරදිකරුවා, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයමයි. කරුණාකර අපි, මේ විනාශයෙන් යම් පමණකට හෝ මිදීමට, අවිද්‍යාව සියුම්කොට දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළම ශක්තිමත් වෙමු. අසත්පුරුෂභාවයන්ගෙන් තොරව, ගෞරවණීය සංඝ සමාජය දෙස බලමු. අපේ සංඝ සමාජය තුළ අසත්පුරුෂභාවයන් හුඟාක් වැඩිවේගෙන එනවා. සමාවෙන්න මෙහෙම සටහන් තැබුවාට.