ලිහා ගතයුතු පළමුවැනි ගැටය සම්මා දිට්ඨියයි

භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක බව හරිම රුදුරුයි. පුංචි මදුරුවාත් මෙහෙයවන්නේ විඤ්ඤාණය නමැති මැජික්කරුවා විසින්මයි.

භික්ෂුව දැකලා තිබෙනවා සමහර පිංවතුන් මදුරුවන්ට තම රුධිරය දන්දෙනවා. එම පිංවතුන් මදුරුවා තමන්ට දෂ්ඨ කරද්දී, එම මදුරුවා එළවා දමන්නේ නැහැ. මදුරුවන්ට සුවසේ ශරීරයෙන් ලේ බොන්න දෙනවා, දානමය චේතනාවෙන්. මදුරුවන් හේතුවෙන් සකස්වෙන මාරාන්තික රෝග පැතිරයන, ලෝකයක ඉහත ලේ දානය නම්, අයිති වෙන්නේ මෝහයට. ඒ වගේමයි තම ශරීරයට දෂ්ඨ කරන මදුරුවා මරා දැමීම අයිතිවෙන්නේ ප්‍රාණගාත අකුසලයට. සංස්කාර විසින් ලෝකය පටලවලයි තිබෙන්නේ. අපි බොහොම පරිස්සමින්, සංස්කාරයන්ට හේතුව වන අවිද්‍යාව ලිහා ගන්න ඕනේ. පංචනීවරණ ධර්මයන්ගේ තොණ්ඩුවට බැඳී තිබෙන අවිද්‍යාව, අපි ලිහාගන්නා පළමුවැනි ගැටය තමයි සම්මා දිට්ඨිය. දෙවැනි ගැටය තමයි සම්මා සංකප්ප, මේ ගැට දෙක ලිහාගත්ත තැන, මාර්ගය වැඩීමේදී අපේ පූර්වාදර්ශයන් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. උතුම් ධර්මරත්නයයි. උතුම් සංඝරත්නයයි. අපි විසින් ගොඩනඟා ගන්නා මනෝලෝක වලින් සහ අන්‍ය ශීලවෘත වලින් උතුම් සම්මා දිට්ඨියෙන් අපිව බැහැර කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිරිසන් සතුන්ට දෙන්නා වූ දානයේ ආනිශංස සියයක් තිබෙනවාය කියලා. යම් පිංවතෙක් ප්‍රශ්න කරන්න පුළුවන්, දානමය චේතනාවෙන් මදුරුවන්ට ලේ උරා බොන්න අවස්ථාවදීම, ආනිශංස සියයක් තිබෙන දානයක් නේද කියලා. භික්ෂූවට සටහන් තබන්න වෙන්නේ, ඔව් කියලයි. ඒත් පිංවත් ඔබ මහත්ඵල මහානිශංස නොවන, එම ආනිශංස සියය අයිති කොට ගන්නේ, මිල කළ නොහැකි, මේ ලෝක ධාතුවේ දුර්ලභම ලෞකික ප්‍රඥාවට සහ සම්මා සංකප්පයන්ට අදාළ නෙක්ඛම්ම සංකප්පයේ, අමෝහය බරපතළ ආකාරයට අනතුරට ලක්කර ගනිමින්මයි. උතුම් බුද්ධෝත්පාද කාලයක, මේ අර්ථවත් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ, රුධිරය උරා බීමෙන් පමණක් ජීවත්වෙන පවුකාර සතෙකුට, තම රුධිරය දන්දීලා, ඩෙංගු, බරවා වැනි මාරාන්තික රෝග තමනුත් හදාගෙන, අනුන්ටත් බෝ කරලා මියයන්න නොවේ. ශාසනයේ උතුම්ම අර්ථයන් ජීවිතයට ලබන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පෘථග්ජන සිල්වතාට දෙන දානයේ, ඒ කියන්නේ සම්මා දිට්ඨියට අදාළ විශ්වාසයන්ගෙන් තොර ශිල්වත් පිංවතාට දෙන දානයේ, ආනිශංස දසදහසක් තිබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සද්ධානුසාරී හෝ ධම්මානුසාරී පුද්ගලයන් දෙදෙනාට දෙන දානයේ, ආනිශංස ලක්ෂ ගණනක් තිබෙනවාය කියලා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කොටගෙන, දානය කියන අර්ථය උදෙසා, මෙතරම් සුන්දර සැප බහුල ආයෝජනයන් සිදු කොට ගැනීමට හැකියාව තිබියදී, මනුෂ්‍ය හිංසනයෙන්ම ජීවත්වෙන පවුකාරි මදුරුවන්ට, රුධිරය දන්දී, මාරාන්තික රෝග වැළඳීමෙන් අසරණභාවයට පත්වී, සමස්ත ශාසනයම අහිමිකොට ගැනීම, මෝහයටම අදාළ ධර්මතාවයක්ම වෙනවා. පිංවත් ඔබ මින් පසු මදුරුවන්ට රුධිරය දන්දෙන්න එපා. දෂ්ඨ කරන මදුරුවා එළවා දමා, අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින්, මිථ්‍යාදෘෂ්ඨිය දන්දෙන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මා දිට්ඨියේ අර්ථයන් පිළිනොගත්, මිථ්‍යාදෘෂ්ඨිය ජීවිතය කොටගත්, වෘත සමාදන්ව ජීවත්වෙන, ශරීරයට දුක් දෙන, ආජීවකයින් සහ නිගණ්ඨයින් අතර, එකම පුද්ගලයෙක්වත්, තම කය බිඳී මරණින් පසු, දුක් කෙළවර කළ බවක් හෝ සුගතියේ පටිච්චසමුප්පන්නව උපන් බවක්, මම නොදකිමියි කියලා. මිථ්‍යා දෘෂ්ඨියේ අන්‍යශීලවෘත වියරුව, මොනතරම් නම් රුදුරුද. සැඳෑ කළුවර, ඉබිගමනින් පරිසරය වෙලාගන්නවා. ගමේ පන්සලේ සවස හයට දමන පිරිත් හඬපටියේ ප්‍රචාරය වෙන කඳ පිරිත භික්ෂුවට යාන්තමට ඇසෙනවා. සර්ප උවදුරුවලට කඳ පිරිත හොඳ ඖෂධයක් වුණත්, මේ කැලෑ මදුරුවන්ට නම්, කඳ පිරිතේ ශක්තිය අහන්නේ නැහැ. කාලය, දීපය, දේශය, කුලය, මව දශ පාරමී ධර්මයන්ගේ පිනට පහලවෙන ස්වභාවධර්මය, දැන් ඉතින් අවුරුදු දෙදහස් හයසියයක්ම පරණවෙලා. ඒත් අපි හරිම පිංවන්තයි, සංස්කාරයන් හේතුවෙන් මොන දේවල් විකෘතිවී ගියත්, මේ අනිත්‍ය වී යන සංස්කාර ධර්මයන් අපිට අවබෝධකොට දෙන, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් නොකැලැල්ව, නොඉඳුල්ව තාමත් ජීවමානව තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනාගතයේ කවදාහරි දවසක, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අතුරුදහන් කොට දමන්නේ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතරමහාධාතුව නොවේය කියලා. ඒ අඥාණ පුද්ගලයා පහළ වෙන්නේ, භික්ෂු සමාජයේ අපි අතරින්මයි කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!, උතුම් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා!!, අප කෙරෙහි, අපිට සතිය සිහිය ඇතිකොට ගැනීමට, මේ උතුම් දේශනාවන් අපේ දැනගැනීම පිණිස අද දක්වාම ආරක්ෂාකොට තැබුවාට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භික්ෂූන් වහන්සේ වන අපිට සිහියෙන් ජීවත්වෙන්න කියලා. ලෝකයෙන් මිදීම උදෙසා, අපි යන මේ ගමන, අපිට යන්න සිද්ධවෙලා තිබෙන්නේ, තෘෂ්ණාවෙන්ම පෝෂණය වෙන ලෝකය තුළ සිටිමින්මයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට අපගේ සිහිය දුර්වල වෙනවා. එවිට අපේ සුපටිපන්න ගුණයන්, උජුපටිපන්න ගුණයන්, තෘෂ්ණාවේ කුණු වතුරෙන් සේදී යන්නේ, අපිටත් හොරාමයි.

අපි දක්ෂවෙන්න ඕනේ, මිල කළ නොහැකි වටිනා සංඝරත්නයේ ගුණයන්, මාරයාගේ උගස් කඩයේ ගිනිපොළියට උගස් තබා, ඉමිටේෂන් ගුණයන්ගෙන් ජීවිතය පුරවාගෙන, මාරයාට ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් භවගමනේ, ගිනිපොළී නොගෙවා සිටින්නට. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා, කය දෙස සිහියෙන් දකිමින් ජීවත්වෙන්නය කියලා. කය දෙස ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් දුරු වී යන ලෙස, කෙලෙස් තවන වීර්යෙන් යුතුව බලන්නය කියලා. තම කය දෙස අසිහියෙන් දකින පිංවතා, රූපය දකින්නේ, තම කය දකින්නේ අවබෝධ කළ යුතු ධර්මතාවයක් හැටියට නොවේ. තම කය දකින්නේ කාමයන් උදෙසා දඩබිමක් ලෙසයි. ඒ නිසාම රූපය උපයෝගී කොටගෙන අපි සිත් සේ කාමයන් දඩයම් කරනවා. තාරුණ්‍යයේ සුන්දර රූපයේ ආශ්වාදය, වැහැරුණු අත පය වාරු නැති, ආදීනවයේ ගොදුරක් බවට පත්වෙනකොට, අපිට ඉතිරිවෙන්නේ, බලාපොරොත්තු කඩවීම් ගොන්නක් පමණක්මයි.

අපිව මුණගැසෙන්න පැමිණෙන මැදිවියේ සහ වයෝවෘද්ධ වැඩිහිටි පිංවතුන්, තමාගේ කය ගැන දැඩි කනස්සල්ලකින් පසුවෙන්නේ, සමහරුන් තම කය ගැන දැඩිව ගැටෙනවා, රූපයේ ආදීනවය ගැන, කාමයන්ගේ ආදීනවයන් ගැන, එම පිංවතුන් දන්නේ නැහැ. එම පින්වතුන්ට නිරෝගීභාවය උදෙසා අපි ආශිර්වාද කරලා, නිරෝගීභාවය නොලැබුණොත්, අපිත් සමගද ගැටෙන පිංවතුන් භික්ෂුව දැක තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් ඔබට ගල් වලින් ගසයිද, පොලූ වලින් පහරදෙයිද, ආයුධ වලින් කපයිද, මේ රූපය ඉපදුණු නිසාමයි, මේ සියල්ලම සිද්ධවෙන්නේ කියලා, රූපය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරන්නය කියලා. පිංවත් ඔබට යමෙක් ගසන පොලූ පහර, අතීත සංස්කාරයන්ගේ කුරිරුභාවයටත්, පොලූ පහර වදින කය, සතර මහාධාතුවටත් බාරදී, ඔබ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයත්, සතර මහාධාතුවේ ආදීනවයත් මතුකොට දකින්නය කියලා.

පිංවත් ඔබ තවදුරටත් රෝගීභාවයන් නිසා තමාගේ කය සමග ගැටෙන්න එපා. අකුසල් සංස්කාරයෝ, රූපයේ සහ කාමයේ ආදීනවයන් හැටියට මතුවී එන්නේ, ඒවාට ගැටී තව තව අකුසල් රැස්කොටගැනීමට නොවේ, කයේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කොටගන්න. පිංවත් ඔබගේ කයේ වේදනාවක් දැනෙනකොට, හිස රිදෙනවා, කොන්ද රිදෙනවා, දණහිස රිදෙනවා ආදී වශයෙන් සිතන්න එපා. එහේම සිතෙනකොට, ශරීරයේ අනෙක් සියලූම ඉන්ද්‍රියයන් නිරෝගීයි, හිස පමණක් රිදෙනවා, කොන්ද පමණක් රිදෙනවා යැයි, ඇලීම් සහ ගැටීම් දෙයාකාරයකින්ම ශක්තිමත් වෙනවා. ශරීරයේ නොරිදෙන කොටස් කෙරෙහි නිත්‍ය සංඥාවක් ඇතිවෙනවා. එවිට පිංවත් ඔබට කවදාකවත්, රූපය අවබෝධ කොටගන්න දිශාවට නම් යන්න හම්බවෙන්නේ නැහැ. යම් පිංවතෙක්ගේ කොන්ද රිදෙනවා නම්, ඔහු උත්සාහ ගන්නේ කොන්ද සුවපත් කොටගෙන, නිරෝගීභාවය සුවසේ අත්විඳින්න. නමුත් අපි බලාපොරොත්තුවෙන අනාගත නිරෝගීභාවය කවදාකවත් අපිට අත්විඳින්න බැහැ. කොන්දේ වේදනාව සුවපත් වෙද්දී, තවත් රෝගීභාවයක් ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයාය කියලා. රූපය ඇසුරින් සකස්වෙන, මම රෝගියි සහ මම නිරෝගියි කියන සිතත් මාරයාමයි කියලා. රෝගීභාවයත්, නිරෝගීභාවයත් යන දෙකම මාරයාට අයිති වූ විට, අපිට උරුම වෙන්නේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් පමණක්මයි.

ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තම කය කෙරෙහි මනා සිහියෙන් පසුවෙන්නය කියලා. රූපය කෙරෙහි, චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව, මනා සිහියෙන් පසුවෙන්න කියලා. පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, අසිහිය කියන වචනයේ අර්ථය කුමක්ද කියලා. යම් පිංවතෙක් රූපය දෙස වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස බලන්නේ, පංචනීවරණයන් වැඩෙන ආකාරයෙන් නම් ඔහු රූපය දෙස අසිහියෙන් බලන කෙනෙක් වෙනවා. පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස අසිහියෙන් බලන කෙනෙක් වෙනවා. පිංවත් ඔබ මොහොතක් පත්තර පිටුවෙන් සිත මෑත්කොටගෙන නුවණින් බලන්නකෝ, ඔබ ඊයේ දවසේ ඇසෙන් දැක්ක සෑම රූපයක්ම, ඔබගේ ඇසද ඇතුළුව නිත්‍යයි, සුභයි, සැපයි, ආත්මයි කියලා නේද දැක්කේ, අපි රූපය අසිහියෙන් දකිද්දී, රූපය ඇසුරින් සකස්වෙන ඵස්ස වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයම අසිහියේම, පංචනීවරණයන්ගේම ඵලයක් වෙනවා.

පිංවත් ඔබ රූපය දෙස චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව සිහිය පිහිටුවා ගනිද්දී, දුකට හේතුව තෘෂ්ණාව යැයි දකිද්දි, තෘෂ්ණාව සියුම්වෙන ආකාරයට රූපය දෙස බලද්දී, ඔබ තුළ මුලින්ම වැඩෙන්නේ, සප්තබොජ්ඣංග ධර්මයන්ට අදාළ සති සම්බොජ්ඣංගයයි. එම පිංවතා රූපය ඇත්ත ඇතිසැටියෙන් දකිනවා. රූපය දෙතිස්කුණුපයක්, සතරමහාධාතුවක්, අට්ඨිකසංඥාවක්, මරණානුස්සතියක්, ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක් ලෙස රූපය කායානුපස්සනාව තුළ විසුරුවා දකිනවා. එම පිංවතා තම රූපය ඇසුරෙන් සකස්වෙන කොන්දේ වේදනාව, දණහිසේ වේදනාව තුළින් කොන්ද, දණහිස කියන සංඥාවන් නොවේ ගන්නේ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතරමහාධාතුවේ අනිත්‍යභාවයයි. ඔහු වේදනා දෙන මස් ගොබය රූපයෙන් ඉවත්කොට, මසින් තොර අට්ඨික සංඥාව තුළ ජීවත්වෙනවා. අධ්‍යාත්මික සතර මහා ධාතුවේ ආදීනවයන් හේතුවෙන් ඔහු, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා කියන ලෝකය නොව, සළායතන නිරෝධා, ඵස්ස, වේදනාවන්ගේ, නිස්සරණය දෙසටම සතිය මෙහෙයවනවා. පිංවත් ඔබට තිබෙන්නේ කායානුපස්සනාව තුළ කෙලෙස් තුනීවෙන ලෙස ජීවත්වීම පමණක්මයි, සප්තබොජ්ඣංගයෝ ඔබව ස්වයංක්‍රීයව ඉදිරියට යොමුකරාවි. පිංවත් ඔබ තුළ සති සම්බොජ්ඣංගය හේතුවෙන්ම සකස්වෙන ධම්මවිජය බොජ්ඣංගය ඔබ තුළ කෙලෙස් ධර්මයන්ට වැට බඳින, සුදු පැහැ කුළුඳුල් විදර්ශනාමය මල් පිපෙන තැනක්. පිංවත් ඔබ කුළුඳුලේ මෝදුවෙන රූපයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය දකිනවා. පිංවත් ඔබට එය නැවුම් අත්දැකීමක්. ඔබට දැන් හොඳටෝම විශ්වාසයි, ධර්මරත්නය කියන්නේ, ජීවමාන ශාස්තෘන්වහන්සේමයි කියලා. මෙතෙක් කලක් රූපය, කාමයේ දඩබිමක් කොට දැක්ක ඔබ, දැන් රූපය ධර්මයක් කොටම දකිනවා.

රූපය ඇසුරින් සකස්වෙන, ඵස්සය ඉදිරියේ, විදර්ශනාවේ නෑඹුල් මල් පිපෙනකොට, ඵස්සය අභ්‍යන්තරයේ අවිද්‍යාවේ ඝනාන්ධකාරය, මධ්‍යස්ථ වීර්ය විසින් ඈතට තල්ලූකොට දමන්නේ, ප්‍රීතියේ, ඵස්සද්ධියේ, සමාධි, උපෙක්ෂාවේ, විදර්ශනාත්මක මල් කැකුළු සුවසේ විකසිතවීමට අවශ්‍ය හිරු එළිය ලබාදෙමින්මයි.