භික්ෂුව වැඩසිටින කැලෑ පරිසරයට ඉබිගමනින් අඳුර ගලාගෙන එනවා. සීතල සමග මුසුවුන සිහින් වැහිපොද වරින්වර කන්කෙඳිරි ගානවා, දොර වසාගෙන භික්ෂුවට කුටිය තුළට යන්නය කියලා. සිහින් වැහි පොදත් දන්නවා, භික්ෂුව ශීතලට එතරම් ප්‍රියමනාප නැහැය කියලා. පරිසරයේ ශීතල, ශරීරයේ සෙම් රෝග අවුස්සන්නේ, හරියට කපුටෙක් කසළ ගොඩක් අවුස්සනවා වගේමයි. පරිසරයේ අව්ව, වැස්ස, පින්න, ශීතල මනුෂ්‍ය අපිට එකිනෙකට වෙනස් කායික සහ මානසික පීඩාවන් ඇතිකොට දෙන්නේ, පටිච්චසමුප්පන්න අතීත ජීවිතවලදී අපි පරිසරයට සිදුකොට ඇති පීඩාවන් නිසාමයි. පාරිසරික විනාශයන් නිසාමයි.
බාහිර පරිසරය අපි පැත්තකින් තියමුකෝ. පිංවත් ඔබේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස අවට පරිසරය ගැන සිතන්නකෝ. පිංවත් ඔබේ අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, විඤ්ඤාණයන් ඇසුරෙන් සකස්වෙන, ඵස්සය අවට පරිසරය ගැනම සිතන්නකෝ. මේ සුන්දර ධර්මතාවයන් අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ කැත කුණුවලින් මොනතරම් නම් අපි දූෂණය කොටගන්නවාද. අතීතයේ වැඩසිටියා වූ උතුම් රහතන් වහන්සේලාගේ ඵස්සය අවට පරිසරය, මොනතරම් නම් නික්ලේෂි ද, මොනතරම් නම් පිරිසිදුද. උන්වහන්සේලාගේ නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ, ධර්මතාවයන් මොනතරම් නම් පිරිසිදුභාවයේම ධර්මතාවයන්ද. අතීත සංස්කාරයන්ට යටත්ව ඒ සළායතනයන් ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වුවත් ඒ දෑස් නිසා කවදාකවත් උන්වහන්සේලාගේ ඵස්සය ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගෙන් අපවිත්රවූවේ නැහැ. ඒ නිසාම උන්වහන්සේලා වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන අපද්‍රව්‍යයන් නිරෝධය කරලයි වැඩසිටියේ. උන්වහන්සේලා අධ්‍යාත්මික හෝ බාහිර පරිසරයට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන අවිද්‍යාවේ දුගඳ හමන තෘෂ්ණාවේ අපද්‍රව්‍ය මුදාහැරියේ නැහැ. ඒ නිසාම උන්වහන්සේලා නැවත කවදාකවත් භවගමනේ අව්, වැසි, ශීතල, පින්නෙන් පීඩා ලැබීමකින් තොරවම නිවීගියා.
නමුත් අපි කුමක්ද මේ කරමින් සිටින්නේ. ඇස නිසා, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා, අපේ ඵස්සය අවට පරිසරය, නගරසභාවේ කුණු ලොරියක් වගේමයි. ඵස්සය අවට පරිසරය, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, කැත කුණු පටිච්චසමුප්පන්න භවගමනට පොම්ප කරනවා. අප වටා සිදුවෙන පාරිසරික අව්ව, වැස්ස, ශීතල, පින්න නිසාම එම පාරිසරික තත්ත්වයන්ට ඇලීම් සහ ගැටීම් ඇතිකොටගෙන, අපේම ඵස්සය අවට පරිසරයමයි ලෝභ, ද්වේශ, මෝහ, කැතකුණුවලින් අපි අපවිත්‍රකොට ගන්නේ.
මෙය සටහන් තබන භික්ෂුව, තම ඵස්සය දොරටුව අභියස සතිය සිහිය නමැති ඉදල අවදියෙන් තබලයි තිබෙන්නේ. දියුණුවේ නාමයෙන්, සමාජය සංස්කාරයන්ගෙන් තිරිහන් වෙනකොට, අපේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට බාහිර කුණු රොඩු වැටෙනවා වැඩියි. මේවා සමාජයේ වැරදි නොවේ, මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්. බාහිර කුණු රොඩු වැටෙනවා වගේම, අධ්‍යාත්මික කුණු රොඩු ගැනත් අපි හොඳ සිහිනුවණින් ඉන්න ඕනේ. මම ලස්සනයි, මම හැඩයි, මම ධනවත්, උගත්, කුලවත්. මම අවලස්සනයි මම දුප්පත්, මම නූගත් වැනි ඔබ තුළින්ම උපදින කැත කුණු ගැනත් අවධානයෙන් ඉන්න ඕන. මේ සෑම ධර්මතාවයක්ම ඔබේ ඵස්සය අවට පරිසරය, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කැතකුණු වලින්ම දූෂණය කරනවා. මේ අපවිත්‍ර කාරකයන්ගේ දුගඳ පටිච්චසමුප්පන්න භවාත්‍රය දිශාවටම හමාගෙන යනවා.
මෙය සටහන් තබන භික්ෂුව, ඇසේ ඵස්සය සිදුවන මොහොතේදීම, සතිය සිහිය නමැති ඉදලෙන් ඵස්සයට හේතුවුණ, බාහිර කුණු රොඩු අතුගා දමනවා. භික්ෂුවගේ ඵස්සය දොරකොඩ තබා තිබෙන සතිය සිහිය නමැති ඉදලේ, විදර්ශනාමය ඉරටු බොහෝම තියුණුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණයෙන් ජවය ලැබූ, මේ විදර්ශනාත්මක ඉරටු, ඵස්සයට මුල්වෙන ඕනෑම අධ්‍යාත්මික හෝ බාහිර රූපයක් ඇසුරු සැනින් විනිවිද දකිනවා. විදර්ශනාව කියන්නේ විනිවිද දකිනවා. කුමක්ද අපි විනිවිද දකින්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ, අපි විනිවිද දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා.
ලෝකයේ ලොකුම බොරු පහක් තිබෙනවා. එම බොරු පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ නිත්‍ය, සැපයි, සුභයි, ආත්මයි කියන බොරු පහ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ විදර්ශනාවමයි. මේ ලොකුම බොරු පහේ සැඟවුණ ඇස්බැන්දුම ඔබට විවරකොට දෙන්නේ. පිංවත් ඔබට අවශ්‍ය නම් මේ ලොකුම බොරු පහේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න, කරුණාකර ඔබේ ඵස්සය අවට පරිසරය, තෘෂ්ණාවේ කැත කුණුවලින් නිරතුරුවම පිරිසිදුකොට තබාගන්න.
පිංවත් ඔබ ඉරිදා දිවයින සංග්‍රහයේ මේ ධර්ම සටහන කියවීම මොහොතක් නවතා, ඔබ දෑස් පියාගෙන ඔබේ ඵස්සය දෙස බලන්න. සත්තකින්ම මේ ධර්ම සටහන කියවන මොහොතේ, ඔබේ ඵස්සය තාවකාලිකව, නික්ලේශීව ද පවතින්නේ. තෘෂ්ණාව තාවකාලිකව ඔබේ ඵස්සය ආක්‍රමණය කොට නැතිද, පිංවත් ඔබ හොඳින් ඔබේ ඵස්සය දෙස බලන්න. මේ ධර්ම සටහන කියවීමෙන් ඔබ සැප වේදනාවක්, එසේත් නැතිනම් උපේක්ෂා විඳීමක් ලබනවා නේද? සද්ධර්මයේ සියුම් ආශ්වාදයකින් ඔබේ සිත ප්‍රීතියට, ඵස්සද්ධියට පත්වෙලා නේද? මෙය සටහන් තබන භික්ෂුව කෙරෙහි පුංචි හෝ ආශ්වාදයක් ඔබේ ඵස්සය ආක්‍රමණය කළා නේද. පිංවත ධර්මානුකූලව, මේ සියල්ලම ඵස්සය අසල පරිසරය අපවිත්‍ර කරන කැත කුණුමය. කරුණාකර පිංවත් ඔබ විදර්ශනාමය ඉදලෙන් ඔය කැත කුණු අතුගා දමන්න.
ගෞරවණීය පිංවත, ”ගෞරවණීය” කියන වචනය භික්ෂුව සටහන් තැබුවේ, අවිද්‍යාවේ කැත කුණු පිරීගිය, අසත්පුරුෂභාවය නැවුම්ව තාරුණ්‍යයෙන් තිරිහන්වෙන ලෝකයක, පිංවත් ඔබලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, පණගැහෙන ජීවියට, දිවඔසුවක් වන නිසාමය. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක මහා දසපාරමී සාගරයක් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවීගියා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අනාගතයේදී භික්ෂු සමාජය තුළින් ඇතිවෙන පැවිදි පිළිලයන් විසින්, මුලින් විකෘති කොට, දෙවැනිව මේ උතුම් ශ්‍රී සද්ධර්මය අතුරුදන්කොට දමනවා. එදාට මේ පූජනීය මහා සංඝරත්නය කාශායකණ්ඨකලා බවට පත්වෙනවා. මෙය සටහන් තබන භික්ෂුවත්, වැඩි කාලයක් යන්න මත්තෙන්, මහ පොළොවට පස්වෙලා යාවි. පිංවත් ඔබ මේ ධර්ම සටහන කියවීමෙන් යම් සංස්කාරයක් රැස්කොටගත්තාද, යම් විදර්ශනා නුවණක් ජීවිතයට එකතුකොට ගත්තාද, ඒ සෑම සංස්කාරයක්ම වෙනස්වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා, පිංවත් ඔබ සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම, මේ ධර්ම සටහන කියවන්න. එවිට පිංවත් ඔබේ ඵස්සය, අවිද්‍යාවේ කැත කුණුවලින් මේ නිමේෂයේ දී අපවිත්‍රවී නොපවතීවි. ඔබ ඔබව, මොහොතක් පූජනීයත්වයට පත්කළා වේවි.
පිංවත් ඔබේ ඵස්සය අවට පරිසරය, අවිද්‍යාවේ කැත කුණු වලින් පිරිසිදුවෙද්දි, පංචඋපාදානස්කන්ධ ලෝකය ඇලීම් සහ ගැටීම්වලින් බැහැරවෙලා, උපේක්ෂාවෙන් තිරිහන්වෙනවා. එවිට ඔබ ලෝකය දකින්නේ පංචනීවරණයන්ට අදාළව නොවේ, සංස්කාරයන්ට අදාළවයි. උපේක්ෂාව පසුපස සෑම විටම සමාධිමත් සිතක් තිබෙනවාමයි. ඒ නිසාම උපේක්ෂාවට පුළුවන්, පිංවත් ඔබට ලෝකය සංස්කාරයන්ට අදාළව කියලා දෙන්න. සමාජයේ ජීවත්වෙන පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන් වැඩී තිබෙන ප්‍රමාණයට, බල ධර්මයන් වැඩී තිබෙන ප්‍රමාණයට ලෝකය දකින්න. එවිටයි පිංවත් ඔබේ ඵස්සය ඇලීම් සහ ගැටීම්වලින් අනතුරට නොයන්නේ. පිංවත් ඔබට අකුසල් අවම කොටගෙන ලෝකය උපේක්ෂාවෙන් විඳීමට හැකිවෙන්නේ. හැබැයි ඉතිං උපේක්ෂාවන්, අවිද්‍යාවේම වස විස අඩු, කොම්පෝස්ට් පොහොරක් බව, පිංවත් තේරුම්ගන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය, උදෑසන පිණ්ඩපාතයේ වඩින්නේ, ආයුෂ, වර්ණය, සැපය, බලය සොයාගෙන නොවේ. දුකෙන් මිදීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය, අවම ශක්තිය සොයාගෙනයි. අපි පිණ්ඩපාතයෙන් සොයාගන්නා ආහාරයෙන් නොව, ඉහත උතුම් චේතනාවෙන්මයි අපට ආයුෂ, වර්ණය, සැපය, බලය කුසල් ධර්මයන් විසින්ම මෝදුකොට දෙන්නේ. අපි ඉහත උතුම් චේතනාවන් දුර්වලකොටගෙන ප්‍රණීත දානයන් සොයාගෙන ගියොත්, අපි ලබන්නාවූ ආයුෂ, වර්ණය, සැපය, බලය රෝගීභාවයේ දුකටම හේතුවෙන්න පුළුවන්.
අද උදෑසන පිංවතුන්ලා අට දෙනෙක් පමණ භික්ෂුවට පිණ්ඩපාතය බෙදුවා. මේ සෑම පිංවතෙක්ගේම ඉන්ද්රිය ධර්මයන් එකිනෙකට හුඟාක් වෙනස්. සමහරක් පිංවතුන්ලාගේ වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ධර්මතාවයන් සැඟවිලා ගිහිල්ලා. ඒ නිසාම භික්ෂුව මේ පිංවතුන්ලාගේ සිතට දැනෙන්න පිං අනුමෝදන් කරනවා. ඵස්සය වෙලාගෙන තිබෙන අවිද්‍යාවේ මළකඩ කැඩීයන්න. උතුම් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් හේතුවෙන්, යම් පිංවතෙකුගේ සති ඉන්ද්රිය දුර්වල වුණොත්, ශ්‍රද්ධාව සහ වීර්යයට, පංචනීවරණයන්ගේ අළුගසා නැගිටින්න බැහැ. මේ උතුම් ධර්මතාවයන් සැකය, විචිකිච්ඡාව තුළ සිරවෙලයි තිබෙන්නේ. මහා සංඝරත්නයේ ගුණාත්මක හැසිරීම්, සැකය, විචිකිච්ඡාව යටපත්කොටගෙන එම පිංවතුන්ලා තුළ ශ්‍රද්ධාව, වීර්යය මෝදුකොට දෙනවා. පිංවත් ගිහි පිංවතුන්ලා තුළ මොහොතකට හෝ විකසිත වෙන ශ්‍රද්ධා, වීර්ය දකිද්දී අපේ පිණ්ඩපාත ගමනේ පළමු ජයග්‍රහණය අපි ලබාගත්තා වෙනවා. ඒත් මේ සියලූ සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය, අපිට මැජික් පෙන්වද්දී, අපි තාමත් එම මැජික් සංදර්ශනයන් දෙස අවිද්‍යාවේ ඇසෙන්ම බලනවා.
අවිද්‍යාව, පිංවත් ඔබෙන් ප්‍රශ්න කරාවි, අපි දන් දෙන්නේ ඇයි කියලා. එවිට ඔබ අවිද්‍යාවට පිළිතුරු දෙන්න. අපි දන් පූජාකරන්නේ, අපේම ආයුෂය, වර්ණය, සැපය, බලය උදෙසා කියලා. අපි අතීතයේ දුන්න දෙය, වර්තමානයේ අපිට ලැබිලා තිබෙනවා. වර්තමානයේ අපි ආයුෂ, වර්ණය, සැපය, බලය සිත්සේ භුක්තිවිඳිත්දි, මේ ධර්මතාවයන් වේගයෙන් ක්ෂයවී යනවා. පිංවත් ඔබ දක්ෂවෙන්න ක්ෂයවී යන ආයුෂ, වර්ණය, සැපය, බලය පෙරළා මහා සංඝරත්නයට ශිල්වත්ව දන් පූජාකිරීමෙන් අයිතිකොට ගන්න. ජීවිතය කියන්නේ අවිද්‍යාවේ සුපිරි වෙළඳසලක්. ඔබ දක්ෂවෙන්න ඕනේ සුපිරි වෙළඳසලේ ආයුෂ, වර්ණය, සැපය, බලය රාක්කවල භාණ්ඩ හිස්වෙනකොට ඒවා නැවත නැවත පුරවාගන්න. එසේ නොවුණොත් ඔබේ පටිච්චසමුප්පන්න අවිද්‍යා සුපිරි වෙළඳසලේ, සැපය බංකොලොත්වී, ආයුෂ, වර්ණය, සැපය, බලය රාක්කවල දුක මකුළුදැල් බඳීවි.
පිංවත් ඔබ කුමන තරාතිරමේ පිංවතෙක් වුවත් කමක් නැහැ. ඔබේ ජීවිතයේ, ඔබේ රජයේ, ඔබේ ආයතනයේ, ඔබේ පවුලේ, ආයුෂය, වර්ණය, සැපය, බලය දුර්වලවෙනවා නම්, කරුණාකර තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, කර්මය කර්මඵලය ගැන විශ්වාසයෙන්, පංචශීලය ආරක්ෂාකොටගෙන, මහා සංඝරත්නය අරමුණුකොටගෙන දන් පූජා කරන්න. එවිටයි ආයුෂ, වර්ණය, සැපය, බලය ජීවිතවලට උනන්නේ. එසේ නැතිව අත පිරෙන්න නූල් ගැටගසා ගත්තාය කියලා, පාට පාට මැණික් ගල් සහිත මුදු දෑතෙ පැළඳගත්තාය කියලා, දේවාල සරණ ගියාය කියලා, යම් ජීවිතයකට ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩෙනවාය කියලා සද්ධර්මයේ කොතනකවත් සඳහන් වෙන්නේ නම් නැහැ. කරුණාකර, පිංවත් ඔබ සතිය සිහිය නමැති ඉදලෙන්, අවිද්‍යාවේ කැත කුණු අතුගා දමා, විද්‍යාවේ වැලි මළුවක් බවට, ඔබේ පිංවත් ජීවිතය පත්කොටගන්න දක්ෂවෙන්න.