නව වසරේ අත්හැරිය යුතු දෑ!

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. උතුම් රහතන් වහන්සේලාට විනය අවශ්‍ය ද කියලා. භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ, රහතන් වහන්සේලාට විනය අත්‍යවශ්‍යයි කියලා. රහතන් වහන්සේ නමක් කියන්නේ බුදුරජාණන් වහන්සේ පැනවූ උතුම් ශාසන අර්ථයන් ඉක්මවා ගිය උත්තමයෙක් නොවේ. රහතන් වහන්සේ නමක් යනු සම්මා සම්බුද්ධ ශාසනයක ජීවයයි, ප්‍රාණයයි, ජවයයි කියලා භික්ෂුව විශ්වාස කරනවා. අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලා උතුම් තෙරුවන්ට පූර්වාදර්ශීයි, පරමාදර්ශීයි. උන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්ෂාකොට ගන්නවා. යම් ඇවැතක් සිදු වුණොත් පූර්වාදර්ශීව ඇවැත් දේශනාකොට සංඝ සමාජයටම ආදර්ශයක් වෙනවා.

රහතන් වහන්සේ නමකගේ ශීලය විදර්ශනාමය ආර්ය ශීලයක්. එම ශීලය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය අවබෝධයෙන් පරිපූර්ණ වශයෙන් පෝෂණය වෙලයි තිබෙන්නේ. තම ඵස්සය අවිද්‍යාවෙන් හිස් කළ එම උත්තමයින් වෙතින්, සංස්කාරයන් රැස්වීමක් නැහැ. සංස්කාර කෙරෙහි තෘෂ්ණාව හිස් කළ රහතන් වහන්සේලා, ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මල් වට්ටියක් පූජා කළත්, ගුරු ගෞරවයෙන් තම පැවිදි ගුරුවරයාට උපස්ථානයක් සිදු කළත්, එම කුසල් සිතුවිලි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය අවබෝධය තුළම විදර්ශනාවෙන් මැකී යනවා, සේදී යනවා යැයි කියලා භික්ෂුව විශ්වාස කරනවා.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේගෙන් පසුව, සම්මා සම්බුද්ධ ශාසනයක පූර්වාදර්ශීම උත්තමයා වෙන්නේ රහතන් වහන්සේයි. රහතන් වහන්සේ නමක් කියන්නේ, සංඝරත්නයේ ගුණයන්ගෙන් පරිපූර්ණ සද්ධර්මයේ කැඩපතක්. උතුම් ධර්මරත්නයේ සෑම ගුණයක්ම රහතන් වහන්සේ නමකගේ ජීවිතය තුළින් සමාජයට ප්‍රකට වෙන්න ඕනේ. උතුම් ධර්මරත්නයේ ස්වාක්ඛාත ගුණය, රහතන් වහන්සේ නමකගේ ජීවිතය තුළින් ප්‍රකට වෙන්න ඕනේ. දුකට හේතුවෙන තෘෂ්ණාව නිරෝධය කළ, සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ජීවමානව වැඩසිටි සෑම නිමේෂයකදීම, තම ජීවිතය තුළත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයේ අර්ථය, උතුම් ධර්මරත්නයේ නිරවුල්භාවය, අල්පේච්ඡභාවය, සරලභාවය සමාජයට ප්‍රකට කළා. උන්වහන්සේලාගේ උතුම් පැවිදි ජීවිත දකිද්දී දෙවියන්, බ්‍රහ්මයින් පවා වන්දනා කළා. සංකීර්ණ වූ සම්මුති ලෝකය, තම නාමරූප ධර්මයන් තුළට ගෙනල්ලා, තමා තුළින් ලෝකය නිරෝධය කළ සද්ධර්මයේ සරලභාවය පිළිබඳ පූර්වාදර්ශයන් උන්වහන්සේලා සමාජගත කළා.

උන්වහන්සේලා නිවුන, අල්පේච්ඡ, ලද දෙයින් සතුටුවුණ, තෘෂ්ණාව මියදුනා වූ ජීවිත තුළින් තම ඵස්සය නොඇවිලූනා සේම, අනුනගේ ඵස්සය ඇවිලූනෙත් නැහැ.

අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලාගේ ජීවිත තුළින් ධර්මරත්නයේ සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, ඒහිපස්සික ගුණය, ඕපනයික ගුණය, පච්චත්තං වේදිතබ්බෝ ගුණය ලෝකයාට විවෘතව ප්‍රකට වුණා. උතුම් රහතන් වහන්සේ නමකගේ ජීවිතයත්, උතුම් ධර්මරත්නයේ ගුණයනුත් දෙකක් නොව එකක්ම විය යුතුයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘභාවයෙන්, උතුම් ධර්මරත්නයේ අර්ථයන් සහ උතුම් රහතන් වහන්සේ නමකගේ ජීවිතය එකක් වුණ තැනදියි, උතුම් සංඝරත්නයේ අර්ථය ශ්‍රේෂ්ඨ වෙන්නේ, ආලෝකමත් වෙන්නේ.

රහතන් වහන්සේලාගේ ජීවිත තුළ ධර්මයේ ස්වාක්ඛාත ගුණය නිසාම උපන්, ධර්මයේ සන්දිට්ඨික ගුණය දෝරේ ගලා ගියා. උන්වහන්සේලා ධර්මාවබෝධය හෙට දවසට, ඊළඟ භවයට, ඊළඟ ශාසනයට කල් දැම්මේ නැහැ. මේ මොහොත ධර්මාවබෝධයේ මොහොත බවට පත්කොට ගත්තා. රහතන් වහන්සේලාගේ ජීවිත තුළ, කල් නොයවා ප්‍රතිඵල අත්කොටදුන්, සද්ධර්මයේ අකාලික ගුණය මලක් සේ විකසිතව තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, යම් භික්ෂුවක් නිවැරදිව සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කළොත්, අවම දින හතක් තුළදිත්, උපරිම වසර හතක් තුළදිත් ධර්මාවබෝධය සාක්ෂාත්කොට ගැනීමේ ඉලක්කය සෑම රහතන් වහන්සේ නමක්ම තම ජීවිත වලින් ප්‍රකට කරලයි විවේකීව වැඩ සිටියේ.

උතුම් ධර්මරත්නයේ ඒහිපස්සික ගුණය රහතන් වහන්සේ නමකගේ ජීව රුධිරය බවටම පත් වී තිබුණා. තමන් අවබෝධ කළා වූ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය, තෘෂ්ණාවේ මුල් සිඳී ගිය, අවිද්‍යාවේ මුල් සිඳී ගිය රහතන් වහන්සේගේ හැසිරීම්, චර්යාවන්, කතාබහ, දේශනාවන් තුළ ලෝකයාගේ දෑස් ඉදිරියේ උන්වහන්සේලාගේ ඒහිපස්සික ගුණයන් විවෘතව බැබලූනා. උන්වහන්සේලාගේ තෘෂ්ණාව නිරෝධය කළ සළායතනයන් කවදාකවත් ලෝකයාව ඇවිලූවේ නැහැ. උන්වහන්සේලා දේශනා කරන සෑම වචනයකම චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය විවෘතව ප්‍රකට වුණා. තමා නිවී ගොස්, සද්ධර්මයේ අර්ථයන් බබළවන උත්තමයාටයි, රහතන් වහන්සේ යැයි කියන්නේ කියලා භික්ෂුව විශ්වාස කරනවා.

සද්ධර්මයේ සුන්දර ඕපනයික ගුණය, රහතන් වහන්සේ නමකගේ ජීවිතයේ ජීවය වගේමයි. උන්වහන්සේලා ජීවත් වෙන්නේ, උන්වහන්සේලා උදෙසා නොවේ, තමා සන්තකයේ තිබෙන මරණීය සංස්කාර, ධර්මයේම අර්ථයක් කොට දකිමින්මයි. රහතන් වහන්සේ නමක් තමන් අවබෝධ කළා වූ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගරුත්වයෙන්, උතුම් ධර්මරත්නය කෙරෙහි ගරුත්වයෙන්, උතුම් සංඝරත්නය කෙරෙහි ගරුත්වයෙන් තමා තුළින් නිහතමානීව දරා ගැනීම, රහතන් වහන්සේ නමකගේ උතුම් ඕපනයික ගුණයේ රුව ගුණ වෙනවා. රහතන් වහන්සේලා නිරතුරුවම තෙරුවන්ට කීකරුභාවයෙන්, නික්ලේශී සිතින්මයි භේදයන්ගෙන් තොරව වැඩ සිටියේ.

තෙරුවන්ගේ ගුණයන්ට අකීකරු වුණොත්, බුදුරජාණන් වහන්සේගේ අවවාදයන්ට අකීකරු වුණොත්, ධර්මරත්නයේ උතුම් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දුක පිණිසම හේතු වෙනවා නේද?

ධර්මරත්නයේ උතුම් ගුණයන්, අපේ ජීවිත වලින් ඈතට යත්දී, ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘභාවයෙනුත් අපේ භික්ෂු ජීවිත ඈතට යන්න පුළුවන් නේද කියලා භික්ෂුවට සිතෙනවා. භික්ෂුවගේ එම සිතුවිල්ල වැරදි නම්, කරුණාකර භික්ෂුවට සමාවෙන්න. භික්ෂුව ලිපියේ මුලින්ම සටහන් තැබුවේ රහතන් වහන්සේ නමකගේ ශීලය ගැනයි. රහතන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරලයි වැඩ සිටින්නේ. උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂාකොට ගන්නා ප්‍රාතිමෝක්ෂ ශීලය, උන්වහන්සේලා උදෙසා නොව, ශාසනයේ ප්‍රාණය උදෙසා, ශාසනයේ ජීවය උදෙසාමයි. තම උතුම් ශාස්තෘන් වහන්සේට කෙරෙන කෘතවේදී ගුරු පූජාවක් උදෙසාමයි. රහතන් වහන්සේ නමකගේ තෘෂ්ණාවේ විෂ හල උතුම් ශීලය විදර්ශනාමය සප්ත බොජ්ඣ`ඕඟ ධර්මයන් මතුකොට දෙන, තමන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා වූ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නැවත ආවර්ජනය කොටදෙන කමටහනක් පමණක්මයි. තෘෂ්ණාව මියගිය රහතන් වහන්සේ නමකට ඉතිරිව ඇත්තේ පිරිනිවී යන තෙක් පූර්වාදර්ශීව වැඩ සිටීම පමණක්ම යැයි භික්ෂුව විශ්වාස කරනවා. පංච උපාදානස්කන්ධ ලෝකයෙන් උපාදානය නිරෝධය කළ රහතන් වහන්සේගේ සළායතනයන්, ඵස්සය අභියස විවේකීවයි පසු වෙන්නේ. ඒ විවේකය ආර්ය විවේකයක්.

දැන් වේලාව රාත්‍රී නවයට පමණ ඇති. අවට පරිසරය හරිම නිහඬයි. ඒත් මේ නිහඬතාවයට අපි ඇලෙන්න හොඳ නැහැ. මේ නිහඬභාවය වෙනස්වෙලා යනවා. රහතන් වහන්සේ නමක් තම ඵස්සය අවිද්‍යාවෙන් හිස්කොට ලබන ආර්ය නිහඬභාවයන් උන්වහන්සේ පිරිනිවී යනකොට අනිත්‍ය වී යනවා නම්, පරිසරයේ නිහඬභාවය මොන මායාවක් ද? මේ දිනවල වැසි සහිත ශීතල දේශගුණය නිසාම, ශරීරයේ සෙම් කෝපවීම් වැඩියි. වෙනත් වසරවල මේ ශීතල කාලය භික්ෂුව ගත කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒත් මෙවර එම ප්‍රදේශයට වැඩියේ නැහැ. සුපුරුදු දේවල් වෙනස් වෙලා යද්දී, ඒ වෙනස්වීම තුළිනුත් භික්ෂුව, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවයමයි දකින්නේ. වෙනස්වෙලා යන දේවල් දිහා, නොවෙනස් වන සිතින් බලා සිටියහම, ජීවිතය නවතින්නේ ධර්මයේ උපේක්ෂාව ළඟ. හැම දෙයටම හේතුවක් තිබෙනවා. එම හේතුවේ මව සහ පියා වෙන්නේ, අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයන් දෙකයි.

අවිද්‍යාවෙන් සකස්වෙන සංස්කාරයන්ටම ලෝකය භාරදීලා, සුන්දර ධර්මයේ උපේක්ෂා සහගත සිතින් පසු වෙද්දී, භික්ෂුවගේ සිත පිහිටන්නේ ආශ්වාස, ප්‍රශ්වාසයටමයි. භික්ෂුව තම නාසයේ අගට සිත යොමු කරලා ආශ්වාස ප්‍රශ්වාස කයේ අනිත්‍යභාවය දකිනවා.

පිංවත් ඔබත්, මේ සටහනෙන් සිත මොහොතක් මෑත් කරලා, පිංවත් ඔබේ නාසය අගට සිත යොමු කරන්න. ස්වභාවිකවම සිදුවන ආශ්වාස ප්‍රශ්වාස කයේ අනිත්‍යභාවය දකින්න. ඇතිවීම සහ නැතිවීම දකින්න. ඔබගේ ගොරෝසු රූපයෙන්, ආශ්වාස ප්‍රශ්වාස කය වෙන්කොට දකින්න. ඔබට නොතේරුණාට, ඔබ, ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කය මම කියලා, මගේ කියලා දකිමින් තෘෂ්ණාවෙන් උපාදානය කොටගෙන සිටින්නේ. ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි වුව ද, උපාදානයක් සකස් වූ තැන, ඒ උපාදානය හේතුවෙන් භවයත්, ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකයමත් සකස් වෙනවා.

පිංවත් ඔබ, ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කයේ ඇතිවීම සහ නැතිවීම දකිමින්, ඔබගේ ඵස්සය ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සිත ඍජුව පිහිටුවා ගන්න. දැන් පිංවත් ඔබට හොඳින් වැටහේවි ඔබේ ගොරෝසු රූපයත්, ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කයත් යනු එකක් නොව දෙකක් ය කියලා. ඔබේ නිශ්චල සිත, චංචල දේවල් තුළ තිබෙන ඇත්ත මතුකොට දෙනවා. මේ ඇත්ත දකිද්දී පිංවත් ඔබට වැටහේවි, ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කය සංකීර්ණ ධර්මතාවයක් බවට පත්කොට දෙන්නේ, ඔබේ ඵස්සය ඉදිරියේ හොල්මන් කරන ඇලීම් සහ ගැටීම් විසින් ය කියලා. පිංවත් ඔබ ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි සමාධිමත් වූ සිත උපයෝගී කොටගෙන ඔබ, ඔබගේ ගොරෝසු රූපයෙන් වෙන්කොට දැක්කා වූ ආශ්වාස ප්‍රශ්වාස කයේ මම කියලා කෙනෙක්, මගේ යැයි කියලා දෙයක් තිබෙනවා ද කියලා හොඳින් නුවණින් බලන්න. ඔබගේ ආශ්වාස ප්‍රශ්වාස කය හුදු සුළං රැල්ලක් පමණක්ම නේද? පිංවත් ඔබ, ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කයෙන් ”මම” ගලවා දමන්න. වායෝ ධාතුව, වායෝ ධාතුවටම බාර දෙන්න. ඔබගේ ආශ්වාස ප්‍රශ්වාස කය හරහා එහා මෙහා යන අධ්‍යාත්මික වායෝ ධාතුවත්, පරිසරයේ හමා යන බාහිර වායෝ ධාතුවත් එකම ස්වභාවයේ වායෝ ධාතුවක් බවම දකින්න. මම යැයි, මගේ යැයි, මගේ ජීවිතය යැයි තෘෂ්ණාවෙන් බැඳුණ ආශ්වාස ප්‍රශ්වාස කය හිස් දෙයක්, අනිත්‍ය වී යන ධර්මතාවයක් බවම නුවණින් දකින්න.

දෙතිස් කුණපයක් මැදින් එහා මෙහා යන වායෝ ධාතුවක් ඔබ මගේ කොටගන්න එපා. පරිසරයේ එහා මෙහා හමන සුළඟ යම් සේ වෙනස් වී යනවා ද, ආශ්වාස ප්‍රශ්වාස කයේ එහා මෙහා යන වායෝ ධාතුවත් වෙනස් වී යන දෙයක් බවම නුවණින් දකින්න. පිංවත් ඔබේ ආශ්වාස ප්‍රශ්වාස කයට අනුග්‍රහය දක්වන අනුග්‍රාහකයන් තුන් දෙනෙක් ඔබට සැඟවී සිටිනවා. ඒ අනුග්‍රාහකයන් තුන්දෙනා වෙන කවුරුවත්ම නොවේ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ආයුෂයත්, උණුසුමත් කියන අනිත්‍ය වූ ධර්මතාවයන් තුනයි. පිංවත් ඔබ නොවටිනා ආශ්වාස ප්‍රශ්වාස කයට, විදර්ශනාවෙන් සැබෑම වටිනාකමක් ලබා දෙන්න.

දෙසැම්බර් මාසයේ අවසානය උදාවෙත්දි, භික්ෂුවට සිහිපත් වෙනවා, භික්ෂුවගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වන, දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ දෙසැම්බර් 20 වෙනිදා ට යෙදෙන උපන් දිනය. මේ උතුම් ධර්මදාන පිංකම්වල ශක්තියෙන් ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී සුවපත්භාවය, දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් දැකීමට මේ ධර්ම දානමය පින් හේතු වේවා යැයි කියලා, මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ සටහන කියවන පිංවත් ඔබත්, මෙත් සිතින් ඉහත ප්‍රාර්ථනාව කරන්න කියලා කෘතවේදීව මතක් කරනවා.