ජීවිතය වර්තමානය තුළ නවතාගන්න

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට අවවාද කරනවා, ලද දෙයින් සතුටු වෙන්නය කියලා. නොලද දෙය ගැන පසුතැවෙන්න එපාය කියලා. භික්ෂූන් වහන්සේ වන අපි අපේ ලැබීමත්, අපේ නොලැබීමත් යන කාරණාවන් දෙකම උපයෝගීකොටගත යුත්තේ, විතර්කයන්ගෙන් තොර සමාධිමත් සිතක් උදෙසාම ය. ලැබීමෙන් මාන්නයට පත් වී, නොලැබීමෙන් හීනමානයට පත්වී, අපි අපේ ඵස්සය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් වැඩිකොට ගතහොත්, අපෙන් ඈතට පළායන්නේ, අපිට ලැබීමත්, නොලැබීමත්, අතීත සංස්කාරයන්ගේම හේතුඵල ධර්මයක් යැයි නුවණින් දැකීමට අවශ්‍ය, සමාධිමත් සිතම යි. සමාධිමත් සිත අපෙන් පලායත්දී, විදර්ශනාමය සිත්, ඊටත් ඈතට පලායනවා.

මෙය සටහන් තබන භික්ෂුව, තමන්ට ලද දෙයින් සතුටු වෙනවා. කුමක්ද භික්ෂුවට ලැබිලා තිබෙන්නේ. භික්ෂුවට පටිච්චසමුප්පන්න සිදුකොට ගත්තාවූ අතීත කුසල් සහ අකුසල් සංස්කාරයෝ ගොඩක් ලැබිලා තිබෙනවා. හැබැයි සංසාරයේ නොකරගත්, කිසිවක්ම භික්ෂුවට ලැබිලා නැහැ. එම නිසා භික්ෂුව සිතන්නේ භික්ෂුවට ලැබුණ දෙය ගැන පමණයි. නොලබපු දෙයක් ගැන සිතන්න, පතන්න, භික්ෂුවට ධර්මානුකූලව අයිතියක් නැහැ. මෙහෙම සිතත්දී සිත බරවෙන්නේ විවේකයටම යි. අතීත සංස්කාරයන්ට ජීවිතය භාරකරලා, ජීවිතය ළඟට විදර්ශනාමය සප්තබොජ්ජංගයන් ළංකොට ගත්තහම, ලෝකය හරිම නිරවුල්, වලාකුළු නැති අහස වගේ, හරිම පැහැදිලියි. සිත ධර්මයේ උපේක්ෂාවටම යි බරවෙන්නේ.

මේ සවස්යාමේ ආකාශයේ ලස්සන දේදුන්නක් පායලා තිබෙනවා. සුන්දර පංචකළ්‍යාණියකගේ නේකවර්ණ ඔසරි පොටක්, ආකාශයේ දිගැදිලා තිබෙනවා වගේයි. දේදුන්නෙන් ආකාශය ලස්සන වෙලා. ලස්සන තිබෙන්නේ විඳින්නට නොවේ, අවබෝධකොට ගන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අති සුන්දරවූ බුදුරජාණන් වහන්සේ, මනුෂ්‍ය සමාජය තුළ වැඩ සිටියේ, සිත්කලූව පායපු දේදුන්නක් වගේම යි. ඒත් ඒ දේදුන්නක් සේ ප්‍රභාශ්වරව වැඩසිටි බුදුරජාණන් වහන්සේ, රූපයේ ආදීනවයන් මොනවට පසක්කොට දෙමින්, ජරා, ව්‍යාධි, මරණ ධර්මයන්ට පත්වුණේ, ලස්සන තුළ සැඟවී තිබෙන අසුන්දර ආදීනවයේ ඇත්ත, අපි හැමෝට ම කියා දෙමින්මයි. පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ එකම ඇත්තයි තිබෙන්නේ, ඒ ඇත්ත තමයි, සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියන ඇත්ත.

පසුගිය දවසක මහත්මයෙක් භික්ෂුවට බොරුවක් කිව්වා. ඒ සංස්කාරයත් අනිත්‍යවෙලා යනවා. අද මහත්මයෙක් භික්ෂුවට ඇත්තක්ම කිව්වා. ඒ සංස්කාරයත් වෙනස්වෙලා යනවා. ලෝකය හරිම නිශ්ඵලයි. කාලය කා දමන පටිච්චසමුප්පන්න ක්‍රියාන්විතයක් පමණක්මයි. ඒ ක්‍රියාන්විතය තුළ, අපි තවමත් ඇත්ත සොයනවා. ඇත්තත් අනිත්‍ය වූ සංස්කාරයක්ම නම්, අපි කෙසේ සප්තබොජ්ඣංගයන් නොවැඩුන සිතකින් ඇත්ත සොයාගන්න ද. පින්වත් ඔබට බොරුවෙන් පිරුණු ලොවක, ඇත්ත සොයාගන්න නම්, සම්මා දිට්ඨිය ඔස්සේ, සම්මා සමාධිය අද්දරට එන්නම වෙනවා.

තියුණු කටු සහිත රෝස මල් පඳුරක, ලස්සන රෝස මල් පිපෙනවා. ඒත් ඒ ලස්සන රෝසමල් දන්නේ නැහැ. තමන් පිපුණේ, තියුණු කටු සහිත ගසකය කියලා. නමුත් කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන අපි, සද්ධර්මය උදේ, සවස ශ්‍රවණය කරන අපි, හොඳින්ම දන්නවා, දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. මේ සියල්ලට ම හේතුව අවිද්‍යාවයි කියලා. ඒත් දෙවියනේ, අපි තාමත් උත්සාහගන්නේ, තියුණු ජාති, ජරා, ව්‍යාධි, මරණ, කටු සහිත, අවිද්‍යා මල් පඳුරේ, පරවීයන මලක් ලෙස පූදින්නමයි. කාට හෝ සුවඳ සෙනෙහස දීලා මැළවිලා යන්නමයි. පින්වත් ඔබ තවදුරටත් සිතන්න බැරි මලක් වෙන්න එපා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, තියුණු කටු සහිත අවිද්‍යා මල් පඳුරේ, ලස්සන මනුෂ්‍ය මලක් වෙලා ඉපදුණේ ඇයිද කියලා සිතන්න.

පින්වත් ඔබට මේ සටහන තබන මොහොතේ, භික්ෂුව වම් අතින් හිස පිරිමැද්දා, හිස කෙස් සහ රැවුල හොඳින්ම වැවිලා. සතියකට වතාවක් භික්ෂුව හිස කෙස් සහ රැවුල කපන්න, කණ්ණාඩියෙන් මුහුණ බලත්දී, භික්ෂුවට එම කණ්ණාඩිය තුළින් පෙනෙන්නේ, අනිත්‍ය වී යන සංස්කාර ගොඩක්.

ඒ අනිත්‍යවී යන සංස්කාර අතර, පෙර ජීවිතවල ශීලයට, මෛත්‍රියට, දානයට අදාළ සංස්කාර ගොඩාක් භික්ෂුවට පෙනෙනවා. මේ අතීත සංස්කාරයන්ගේ ආස්වාදය, සුන්දරත්වය, ලස්සන, භික්ෂුව ගිහි තරුණ කාලයේ හොඳින්ම අත්දැක්කා. අද භික්ෂුව කණ්ණාඩිය ඉදිරියේදී මුහුණ දකිත්දී අත්දකින්නේ, සංස්කාරයන්ගේ ආදීනවය. රූපයේ ජරා, ව්‍යාධි, මරණ, සුදු පැහැ ගැන්වුණ හිස කෙස් සහ රෝම අතරින්, අද භික්ෂුව මතුකොට දකින්නේ හරියට, කණ්ණාඩියේ කැඩපත මත වැඩසිටින දේවදුතයෙක් වගේමයි.

සෑම සංස්කාරයක්ම වේගයෙන් වෙනස්වෙලා යනවා. සංස්කාරයන් වෙනස්වෙලා යන්නේ, දික්කසාද වෙලා යන බිරිඳක් වගේයි. එක සංස්කාරයක් විපාක දෙද්දී, එයා තව සංස්කාරයන් රැස්කොට ගැනීමට යනවා. සංස්කාරයෝ වෙනස්වී යද්දී, අපේ ඉලක්කය වියයුත්තේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට දෙන විදර්ශනාමය සිතයි. තෘෂ්ණාවේ මහා වැසි නිසා, දෙගොඩතලා යන අවිද්‍යාවේ මහා ගංවතුරට හසුව, සංස්කාරයන්ගේ සැඩපහරට කොටුවී, භවාත්‍රයේ තව කොතෙක් නම්, ඉවුරුවලට අපිව ගොඩගසයි ද.

පින්වත, ජීවිතයට තව ඉදිරියට යන්න දෙන්න එපා. ජීවිතය වර්තමානය තුළ නවතාගන්න. තෘෂ්ණාවේ මහා වැස්ස, අවිද්‍යාවේ මහා ගංවතුර, සංස්කාරයන්ගේ සැඩපහර ආරම්භ වෙන්නේ, පින්වත් ඔබ තුළම සකස්වෙන ඵස්සය නමැති වැසිවලාකුළු තුළින්මයි. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අධ්‍යාත්මික සහ බාහිර රූපයන් සමග හොල්මන් කරන තාක්කල්, අපේම ඵස්සයෙන් කඩාහැළෙන අවිද්‍යාවේ ගංවතුර, සංස්කාරයන්ගේ සැඩපහරට හසුව, විඤ්ඤාණය නමැති දුක් සාගරයම නැවත පෝෂණය කරනවා.

භික්ෂුව, මොහොතක් මේ සටහන ලිවීම නතර කරලා, විවේකී සිත දෙස බලා සිටිනවා, කාය සංස්කාරයෝ සියුම් රිද්මයකට උදරය ප්‍රදේශය තුළ ඇතිවෙලා නැතිවෙලා යනවා. වෙන කවුරුත්ම ඵස්සයට තැවරිලා නැහැ. ඵස්සය ඉදිරියේ හිස්තැනක් තිබෙනවාය කියලා භික්ෂුවට පෙනෙනවා. ඒ සිතත් භික්ෂුව චිත්තානුපස්සනාවෙන්මයි පෝෂණය කරන්නේ. මේ විවේකී මොහොතේ භික්ෂුවගේ ඵස්සය ඉදිරියේ තිබෙන හිස් තැන, තෘෂ්ණාව බලාපොරොත්තුවෙනුයි පසුවෙන්නේ. ඒ හිස් තැන තෘෂ්ණාවෙන් මිදුණොත් ඵස්සය අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. ඵස්සය අවිද්‍යාවෙන් නිදහස්වූ තැන, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ට සිද්ධවෙන්නේ, තෘෂ්ණාවේ ජලය නැති හිස් කළගෙඩියක්වීම පමණක්මයි.

පංචඋපාදානස්කන්ධ ලෝකය තිබෙන්නේ, කලකිරීමෙන් සහ නොඇල්මෙන්, නිදහස් වීම සඳහා මිස, අනවබෝධයෙන් ආස්වාදයෙන්, හැසිරීම සඳහා නොවේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත පංචඋපාදානස්කන්ධය ආදරයෙන් ප්‍රාර්ථනා කරන්න එපාය කියලා. වෙනස්වෙන දෙයක කොහෙද ආදරයක් තිබෙන්නේ. ආදරය තිබුණොත් තිබෙන්නේ නොවෙනස්වන දේවල් තුළ. ඒත් නොවෙනස්වන කිසිම අර්ථයක් මේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ නැහැ. උතුම් සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍යවෙලා යනවා, උතුම් චතුරාර්යසත්‍යය අවබෝධයත් පිරිනිවීම අභියස අනිත්‍යවෙලා යනවා. පාට, පාට, මලින් බරවූ රෝස මල් පඳුරු තුළ, අපි තවමත් කටු නැති අතු සොයනවා. පින්වත් ඔබට කවදාකවත් කටු නැති රෝස අතු සොයන්න බැහැ. ඔබ කළයුත්තේ පාට, පාට මල් කෙරෙහි ඇති තෘෂ්ණාව, නිරෝධයකොට දැමීම පමණක්මයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වන අපිට සත්පුරුෂ භික්ෂුවක් වෙන්නය කියලා. ගෞරවණීය සංඝ සමාජය තුළින් සත්පුරුෂ ධර්මයන්ට අදාළව සතිය සිහිය දුර්වලවුණොත් අසත්පුරුෂභාවයන් ඇතිවෙන්න පුළුවන්. මේ ගෙවීයැමට තවත් සති කිහිපයක් තිබෙන සුන්දර වස්සානයේ දී අපේ පුංචි හෝ දුර්වලතාවයක් තිබෙනවා නම් එම පුංචි වරද නිවැරදිකොට ගැනීම, බුදුරජාණන් වහන්සේට අපේ පවිත්‍ර ජීවිතය පූජා කරගැනීමක්ම වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් භික්ෂුවක් මම ගිහි ජීවිතයේදී, කුලවත් කෙනෙක්, ධනවත් කෙනෙක්, මහේශාඛ්‍ය කෙනෙක්, පරිවාර සම්පත් ඇති කෙනෙක් යැයි මාන්නාධිකව හැසිරෙනවා නම් අන්‍ය භික්ෂූන්වහන්සේව පහත්කොට දකිනවා නම් එය අසත්පුරුෂ ධර්මයක්ය කියලා. පංච මහා ගංගාවන්ගේ ජලය මහා සාගරයට ගලාගෙන විත්, සාගර ජලයට මුසුවූ තැන, ඒ ජලය මුහුදු ජලයමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් භික්ෂුවක් තමන් බහුශ්‍රැතයි, විනධරයි, ධර්මකථිකයි, පාංශකූලිකයි, ආරණ්‍යනිකය, පිණ්ඩපාතිකයි යැයි මාන්නයෙන් යුතුව හැසිරෙනවා නම්, අන්‍ය ස්වාමින්වහන්සේව පහත්කොට දකිනවා නම්, තමාම හුවාදක්වනවා නම්, එය අසත්පුරුෂ ධර්මයක්ය කියලා. ඒ වගේමයි යම් භික්ෂුවක් තමන්ට රූපී ධ්‍යාන, අරූපී ධ්‍යාන, ලෞකික ඥානයන් ඇතැයි මාන්නාධිකව හැසිරෙනවා නම්, අන්‍ය ස්වාමීන්වහන්සේව පහත්කොට දකිනවා නම්, තමාම හුවා දක්වනවා නම්, එය අසත්පුරුෂ ධර්මයක්ය කියලා.

ගෞරවණීය භික්ෂු සමාජය අපවිත්‍ර කරන අසත්පුරුෂ ධර්මයන් ගොඩාක් තිබෙනවා නේද කියලා, පින්වත් ඔබට වැටහෙනවා නේද. අපි හරිම පරිස්සම් වෙන්න ඕනේ, ඵස්සය ඉදිරියේ සතිය සිහිය හොඳින් පිහිටුවා ගන්න ඕනේ. ඉහත සඳහන් කළ එක අසත්පුරුෂ ධර්මයක් හෝ අපි තුළ සකස්වුණොත්, උතුම් තෙරුවන්ට ම අපි අගෞරව කළා වෙනවා. මේ සුන්දර වස්සානයේ සංඝ සමාජයේ ගෞරවණීය අපි, සත්පුරුෂ භික්ෂුවක් වෙමු.

උතුම් සංඝ සමාජයේ අපිට පුළුවන් නම් සිතන්න, බුදුරජාණන් වහන්සේම යි සියල්ලෙන්ම පරිපූර්ණ, බුදුරජාණන් වහන්සේම යි සියල්ල දන්නේ, මම භාග්‍යවතුන්වහන්සේගේ කිසිත් නොදත් ශ්‍රාවකයෙක් පමණක්මයි කියලා, අසත්පුරුෂභාවයේ කටු ඔටුන්නට, අපේ හිස අපි අහිමිකළා වෙනවා. සක්කායදිට්ඨියේ කුණු හැවට අපි අභියෝගකළා වෙනවා. එතනදීත් පින්වත් ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ, අසත්පුරුෂ ධර්මයන් හේතුවෙන් සකස්වුණ මාන්නයේ කටු ඔටුන්න, ඔබ කරුණු තේරුම්ගෙන ගලවා දමලා, නිහතමානීභාවයේ කටු ඔටුන්න නම් නැවත පැළඳගන්න එපා. එයට ධර්මානුකූලව කියන්නේ නිහතමානීභාවයේ සක්කායදිට්ඨිය කියලා. නිහතමානීභාවයේ සක්කායදිට්ඨිය හැදුණාම, හැමෝට ම හිස පාත්කරමින්, හැමෝම සමග සිනාසෙමින්, හිතවත් වෙමින්, අනවශ්‍ය ආකාරයෙන් ගිහි සමාජයේ කටයුතුවලට සම්බන්ධවෙමින්, ගිහි සමාජය සමග දුක, සැප බෙදාගනිමින් කටයුතු කරනවා. එවැනි ස්වාමීන්වහන්සේ භික්ෂු සමාජයෙන් බොහෝම සුන්දර චරිත සහතිකයක් ලබාගන්නවා. එම සුන්දර චරිත සහතිකය තමයි, අනේ අර ආයුෂ්මතුන් හරිම හොඳයි, හැමෝගේම දුක, සැප සොයා බලනවා, අඩුපාඩු ගෙනැත් දෙනවා. අනේ සාධු, සාධු කෙසේ නම් එවැනි ස්වාමින්වහන්සේ නමකට, භික්ෂුව ප්‍රසිද්ධියේ වැරදි යැයි කියන්න ද. මෙය සටහන් තබන භික්ෂුවටත් එහෙම අඩුපාඩු ගෙනැත් දෙන ස්වාමීන් වහන්සේ සිටිනවා.

අපි පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ කටයුතු කළ යුත්තේ හරිම පරිස්සමින්, මාන්නාධිකභාවයේ අසත්පුරුෂභාවය තුළ වගේම, නිහතමානීභාවයේ සත්පුරුෂභාවය තුළත්, මමත්වයේ දැඩිභාවය තැවරී තිබෙන්න පුළුවන්. මාන්නාධිකභාවයේ අසත්පුරුෂභාවයෙන් අපි මිදෙන්න ඕනේ, නිහතමානීභාවය උදෙසා නොවේ. මාන්නාධිකභාවයත්, නිහතමානීභාවයත් යනු ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කිරීමෙන් සකස්වෙන වේදනාවක්, ඇලීම් සහ ගැටීමේ ස්වභාවයන් දෙකක් බව, හඳුනාගැනීමට අවශ්‍ය සමාධිමත් සිතක් උදෙසාම ය.

දැන් පින්වත් ඔබට වැටහෙනවාද මාන්නාධිකභාවය බැහැර කරලා, නිහතමානීභාවය ජීවිතය තුළ ඇතිකොට ගෙන, ලෝකයට උපකාර කරන්න යැමෙන්, සමාධිමත් සිතට මොකද වෙන්නේ කියලා. සමාධිමත් සිත ප්‍රශ්නාර්ථයක් වෙද්දී, විදර්ශනාමය සිත් ගැන? ආස්වාදය අපිව මුලාකරන්නත් පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුල්කොට ගන්න, උතුම් සම්බුදුධර්මය මුල්කොට ගන්න, අතීතයේ වැඩසිටි ආර්ය මහා සංඝරත්නය මුල්කොට ගන්න. අතීත ආර්ය මහා සංඝ සමාජය තුළ නොතිබූ, ආගන්තුක චර්යා ධර්මයන්, අපේ භික්ෂු ජීවිතවලින් බැහැර කරන්න, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් රිංගා යන්න හිඩැස් සොයන්න එපා. උතුම් සංඝ සමාජයේ අපි හරිම පින්වන්තයි.

බුදුරජාණන් වහන්සේ අමු සොහොනකින් සොයා ගත් පාංශකූල සිවුරු දැරුවාට, අපිට හොඳ සිවුරු පිරිකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කැලයේ ගස් සෙවණේ, අනුනගේ ස්ථානයක වැඩසිටියාට, අපිට සුන්දර ආරණ්‍යය, පන්සල්, කුටි තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඇළෙන්, දොළෙන්, ගංගාවෙන් පැන් පහසු වුණාට, අපිට සුන්දර නානකාමර තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිය, සිරිපා යුගලින් යොදුන් ගණන් වැඩම කළාට, අපිට සුන්දර යාන වාහන තිබෙනවා.

උතුම් බුදුරජාණන් වහන්සේගේත්, ගෞරවණීය අපේත් මේ සියලූ සංස්කාරයෝ වෙනස් වී යනවා. එම නිසා අතීත සංස්කාර අපි ප්‍රයෝජනයට ගත යුත්තේ, සැප විඳීම් උදෙසා නොවේ, දුක් විඳීම උදෙසාත් නොවේ, මේ දුක සහ සැප අනිත්‍ය වූ සංස්කාරයන් බව, නුවණින් තේරුම් ගැනීමට අවශ්‍ය, සම්මා සමාධිමත් සිතක් උදෙසා ය.