නොවෙනස්වීම යනු තහනම් වචනයකි

මේ දිනවල හැමදාම සවසට වැස්ස එනවා. ඉර බැස යන්න තව හෝරා කිහිපයක් තිබුණත්, මේ සන්ධ්‍යාවේදීත් වැහි මන්දාරම වේලාසනින්ම ඇවිල්ලා. අපේ ජීවිතත් හරියට ම මේ වැහි මන්දාරම වගේමයි. අපි කැමැති දෙයක් සිදුවෙනකොට අපේ මුහුණ එළිය වැටෙනවා, අපි අකමැති දෙයක් සිද්ධවෙනකොට අපේ මුහුණ අඳුරු වැටෙනවා. අපි නොසිතූ දේවල් සහ නොපැතූ දේවල් කොච්චර නම් අපේ ජීවිත තුළ සිද්ධ වෙනවාද. මීට වසර විසිපහකට පෙරාතුව භික්ෂුව සිහිනෙකින්වත් සිතුවේ නැහැ, මේ වගේ ධර්ම ලිපියක් අද සටහන් තබයි කියලා. භික්ෂුව තරුණ කාලයේ පටන් කැමැතිවුණේ දේශපාලඥයෙක් වෙන්න. මගේ හදහන, මගේ අතේ හස්ත රේඛා බලපු සෑම ජ්‍යොතිෂවේදී මහත්මයෙක්ම මට කිව්වේ, මම ජනප්‍රිය දේශපාලඥයෙක් වෙනවාය කියලා.

මම මුලින්ම දේශපාලන වේදිකාවට ගොඩවුණේ වයස විසිදෙකේදී. එදා එම රැස්වීමේ මුලසුනේ සිටියේ කිංස්ලි වික්‍රමරත්න මහත්මයා. මට වයස අවුරුදු විසිහයේදී ප්‍රධාන දේශපාලන පක්ෂයක සභාපතිනිය විසින් මාව පක්ෂයේ තරුණ සම්මේලනයේ සමස්ත ලංකා විධායක සභාවට පත්කළා. මට වයස අවුරුදු තිස්නවය වෙනකොට, කඩුවෙල ආසනයේ මධ්‍යම සංවිධානයේ ලේකම් හැටියටත්, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් හැටියටත්, වසර එකහමාරක් පමණ කටයුතු කරලා, අපේ දේශපාලන ලෝකය තුළ තිබෙන අවිද්‍යාවේ ගොරහැඬිභාවය නිසාම, කලකිරීමෙන් දේශපාලන උපාදානයන්ට විරාමයක් තැබුවා.

අපේ ගෞරවණීය මාතෘභූමියේ දේශපාලඥයෙක් වෙන්න තරම්, මම පින් කරලා නැති ද, එසේත් නැතිනම් මම පවු කරලා නැතිද කියලා තීරණය කිරීම, පින්වත් ඔබලාට ම භාර කරනවා.

භික්ෂුවගේ දකුණු අතේ, ඇඟිලි තුඩු තුනකට සිරකොටගත් බෝල්පොයින්ට් පෑන, උපයෝගීකොට ගෙනයි පින්වත් ඔබට, භික්ෂුව මේ සටහන තබන්නේ. ඒ බෝල්පොයින්ට් පෑනට සිරවූ මහපට ඇඟිල්ල, තම ජ්‍යොතිෂවිද්‍යා ඇසෙන් පරීක්ෂා කරලා, අනාගත නාඩි වාක්‍යය කියූ කේරළයේ ජ්‍යොතිෂවේදී මහත්මයා භික්ෂුවට, වයස තිස් තුනේදී මෙහෙම අනාවැකියක් ප්‍රකාශ කළා. ඔබ අනාගතයේ මේ රටේ දේශපාලන පක්ෂයක නායකයෙක් වෙනවා. එසේත් නැතිනම් උපන් ගමේ උත්තම පුරුෂයෙක් වෙනවාය කියලා. ඒ අනාවැකිය මුල් වූ මගේ මහපට ඇඟිල්ල තවම මා ළඟ තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුව අපවත්වෙච්ච දවසක, එම අනාවැකිය හරිද වැරදිද, කියලා පින්වත් ඔබලාම තීරණය කරන්න. එසේත් නැතිනම් මේ අනාවැකිය අමූලික බොරුවක්ද කියලා ඔබ ම තීරණය කරන්න. භික්ෂුවට අතීතයේ ඉහත අනාවැකි කීමට මුල්වූ දෑතේ හස්ත රේඛා වගේම, භික්ෂුවගේ උපන් දිනය, උපන් වෙලාව තවමත් නොවෙනස්ව තිබෙනවා.

භික්ෂුව පින්වත් ඔබට අන්‍යශීලවෘතයන් පිළිබඳව සටහනක් තබනවා නොවේ, ලෝකය මම යැයි, තෘෂ්ණාවෙන් දැක්ක අතීතයේ ලෝකයේ ම ස්වභාවයක් සටහන් තැබුවා පමණක්මය. ජ්‍යොතිෂය යනු සියයට සීයක්ම ඇත්තක් ද නොවේ, බොරුවක් ද නොවේ. ජ්‍යොතිෂය යනු ලෝකයේම කොටසකි. ලෝකය අයිති දුකටයි. ගිහි අතීතයේදී භික්ෂුවට දේශපාලනඥයෙක් වීමට උපාදානයක් සකස්වූවෙත්, ඒ උපාදානයන් කෙරෙහි කලකිරීමෙන්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට දැනීම් සකස් වූවෙත්, අතීත සංස්කාරයන්ගේ ප්‍රතික‍්‍රියාවන් හේතුවෙන්ම ය. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වූ, වෙනස්වී යන ධර්මතාවයන්මය. භික්ෂුව මේ ආසනය මත වාඩිවී අතීතය දෙස නුවණින් දැකීමේදී, භික්ෂුව දකින්නේ අනිත්‍ය වී ගිය සංස්කාරයන් ගොන්නක් පමණක්මය.

පින්වත් අපේ සෑම අතීත සංස්කාරයක්ම වෙනස් වෙලා යන්නේ, ලෝකය වැඞීමට අවශ්‍ය අලූතින් සංස්කාර තිරිහන් කරලා. පින්වත් ඔබට ලෝකයෙන් මිදීමට අවශ්‍ය නම්, ඉර, හඳ, තාරකා ද අනිත්‍ය වූ සතරමහා ධාතූන් වශයෙන්ම අවබෝධ කරගත යුතුයි. ඔබ ඉර, හඳ, තාරකා යනු ඔබට දුක සහ සැප ලබාදෙන ධර්මතාවයන් හැටියට දැක්කොත්, ඔබේ ඉටුදෙවියන් හැටියට දැක්කොත්, ඔබ ඉර, හඳ, තාරකා ඇසුරේම සකස්වෙන භවයේ සිරකරුවෙක් වෙනු ඇත.

පින්වත් ඔබ හෙට දවසේ ඉර, හඳ, තාරකා අනිත්‍ය වූ සතරමහා ධාතූන් වශයෙන් අවබෝධකොට ගත්තත්, අනාගතයේදීත් ඉර, හඳ, තාරකා අද වගේම පායනු ඇත. අඳුරත්, ආලෝකයත්, ලෝකය තුළම ඉතිරිකොට ඔබ අවිද්‍යාවෙන් නිවීයන මොහොතේ, විද්‍යාවේ ඉර, හඳ, තාරකා වන විදර්ශනාත්මක සප්තබොජ්ජංග ධර්මයන්, ඔබේ ජීවිතයම එළිය කරනු ඇත. වෙනස්වෙන පංචඋපාදානස්කන්ධ ලෝකයේ ”නොවෙනස්වීම’’ කියන්නේ තහනම් වචනයක්. මේ උතුම් වෙනස්වීමේ අර්ථය අවබෝධඥානයෙන් අවබෝධකොට ගන්නා උතුම් රහතන් වහන්සේගේ, උතුම් අරිහත් ඥානයන්, පිරිනිවීයන මොහොතේම නිවී යනවා.

අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන පටිච්චසමුප්පන්න සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය හෙවත් දැනීම්, අපේම සෙවනැල්ල සේ අපි පසුපසින් එනවා. අතීත සංස්කාර ඉදිරියේ විඤ්ඤාණය සීරුවෙන් සිටින්නේ. කොතැනකවත් පුංචි වැරදීමකටවත් ඉඩක් නැහැ. කාටවත්ම කියන්න බැහැ, මගේ ජීවිතය වැරදුණාය කියලා. කාටවත්ම කියන්න බැහැ, මගේ ජීවිතය ජය ගත්තාය කියලා. ඔබ ලබන වැරදීමත්, ඔබ ලබන ජයග්‍රහණයත් ඔබේම පටිච්ච්සමුප්පන්න සංස්කාරයන්ගේ ලේ උරුමයමයි. අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් පෝෂණයවෙන, වියරු, බියකරු, පංචඋපාදානස්කන්ධ ලෝකය, මේ දවස්වල හරි හරියට, මනුෂ්‍ය සමාජයට අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ධර්මතාවයන් බෙදලා දෙනවා. මුළු මහත් මනුෂ්‍ය සමාජයමය විදර්ශනාවට අදාළ කමටහන් පාඩමක් වගෙයි භික්ෂුවට පෙනෙන්නේ. ඒත් මේ විදර්ශනාත්මක කමටහන් පාඩම ඔබ කියවනවා ද නුවණින් දකිනවා ද එසේත් නැතිනම් මේ සද්ධර්මයේ ඒහිපස්සික ගුණය මොනවට මතුකොට දෙමින් සමාජගතවෙන කොරෝනා අකුසලයට ජරා, ව්‍යාධි, මරණයන්ට ඔබ ගැටෙමින් ඔබේ දුක ඔබ තව තවත් ශක්තිමත්කොට ගන්නවාද.

ඊයේ සවස භික්ෂුව මුණගැසීමට පැමිණි, කොරෝනා රෝගීන් සිටින රෝහල් වාට්ටුවක සේවය කරන දොස්තර මහත්මයෙක්, භික්ෂුවට කියනවා ස්වාමින්වහන්ස, මගේ ඔළුව අවුල්වෙලාය කියලා. ඒ දොස්තර මහත්මයා කොරෝනා රෝගීන්ට බියවෙලා. ඒ මහත්මයාගේ ජීවිතය පංචනීවරණ ගොඩක එරිලා. සමාජයේ ජීවත්වෙන පින්වතුන්ලා හුඟ දෙනෙක් අසීමාන්තිකව කොරෝනා රෝගය නිසා බියට පත්වෙලා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි, පින්වතුන් ඇතිකොට ගන්නා මමත්වයේ දැඩිභාවය ඔබ තුළ කොරෝනා බිය හොඳින්ම පෝෂණය කරනවා. ඒ නිසාම කොරෝනාව නැමැති තුට්ටුදෙකේ වෛරසයෙන්, පින්වත් අපි සක්කායදිට්ඨිය නැමති මාරාන්තික සතරඅපා රෝගය උත්සන්න කොටගන්නේ හරිම අවාසනාවන්ත විදිහටයි. ජීවිතයට ඇළෙමින්, කොරෝනාවට ගැටෙමින් තෘෂ්ණාවෙන්ම තිරිහන් අපේ ජීවිත සක්කායදිට්ඨියේ විෂබීජ සමාජගත කරන්නේ කෙළවලින් පමණක් නොවේ, අපගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යන සළායතනයන්ගෙන්ම අපි සක්කායදිට්ඨියේ විෂබීජයන් සමාජගත කරනවා.

පින්වත් අපි බිය වියයුත්තේ කොරෝනා රෝගයට නොවේ, අපි බිය වියයුත්තේ මම නිරෝගීයි කියලා ඇතිකොට ගන්නා සක්කායදිට්ඨියටයි. භික්ෂුව එම දොස්තර මහත්මයාට අවවාද කළේ, ඔබ රාජකාරි කරන රෝහල් වාට්ටුවේ සිටින සෑම රෝගී පින්වතෙක්ම, ඔබේම පටිච්චසමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥාතියෙක් හැටියට ම දකිමින් මෙත් සිතින්ම රෝගීන්ට උපස්ථානය කරන්න, අදාළ ආරක්ෂක ක්‍රමවේදයන් අකුරට පිළිපඳින්න. මෛත‍්‍රියේ එන්නත නියම මාත‍්‍රාවෙන් ශරීරගත කළාට පසුව, බිය නැමැති වෛරසය අඩපණ වෙලා යනවා. දෙවැනි අදියරේදී විදර්ශනාව නැමැති එන්නත නියම මාත‍්‍රාවෙන් ශරීරගත කරද්දී, පින්වත් ඔබට නුවණින් වැටහේවි, කොරෝනා රෝගයෙන් මියයැමට වඩා, සක්කායදිට්ඨිය දරාගෙන ජීවත්වීම අතිශය මාරන්තිකයි කියලා. පින්වත් ඔබ, ඔබ තුළ කොරෝනාව තිබෙනවාය කියලා දකින්න එපා, ඔබ තුළ කොරෝනාව නැහැය කියලා දකින්නත් එපා. පින්වත් ඔබේ ඵස්සය නැමැති පාළු අම්බලම ඇලීම් සහ ගැටීම්වලින් තරුපහේ මන්දිරයක් බවට පත්කොට ගන්න එපා. අවිද්‍යාව තිබෙන තාක්කල් ඵස්සය ජීවිතයට හරිම වෙහෙසක්. අවිද්‍යාව විසින් අපිට අයිති නැති කසළගොඩවල් සේරම අපේ හිසමතට දමනවා. අවිද්‍යාවෙන් පෝෂණය වූ ඵස්සය අපිව භව දුකෙන්ම, අපයෝජනය කරනවා.

පින්වත් ඔබ, ඔබේ රූපය නිරෝගී යැයි හෝ ඔබේ රූපය රෝගී යැයි දකින්නේ නැතිව, ඔබේ රූපය කායානුපස්සනාවෙන් දකින්න. කොරෝනාව සිතෙන් අයින් කරන්න. ඔබේ රූපය කායානුපස්සනාවට භාරදෙන්න. ඔබේම රූපය දෙතිස්කුණුපයක්, සතරමහා ධාතුවක්, අට්ඨික සංඥ්‍යාවක්, මරණානුස්සතියක් හැටියට, ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න. කොරෝනා බිය ඔබ තුළ සකස් වෙන්නේ ඇත්ත බොරුවක් කොට දැක්කොත් පමණක්මයි.

මෙය සටහන් තබන භික්ෂුවටත් කොරෝනා රෝගය ගැන සිහිපත් වෙනවා. භික්ෂුව එම කොරෝනා සිත යටපත්කොට ගෙන රූපය කායානුපස්සනාවෙන්ම දකිනවා. මේ රූපය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක්. මේ ජීවිතය ගඩුවක්, සැරව ගෙඩියක්, තුවාලයක්, රූපයේ ඇත්ත ඇතිසැටියෙන් දකිත්දී, ජීවිතයට දැනෙන්නේ කොරෝනා බියක් නොවේ. උතුම් සප්තබොජ්ජංගයන්ට අයිති ප්‍රීතිය, ඵස්සද්ධියක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොරෝනා බිය, ප්‍රීතියක් සහ ඵස්සද්ධියක් බවට පත්කොට දෙන ධර්මයක්.

කොරෝනා රෝගය නිසා ඔබ තුළ සකස් වෙන, සැප සහ දුක් විඳීම්, පින්වත් ඔබ වේදනානුපස්සනාවෙන් දකින්න. පින්වත් ඔබ අත්විඳි අතීත වේදනාස්කන්ධය, දෙවිහාමුදුරුවනේ සතර අපායන්ට වැටිලා වින්ද දුක් වේදනා, ගිනි නිරයේ මහා ගිනිජාලාවන්ට වැටිලා, ක්ෂාරෝධක නදියේ ගිනියම් වූ ගිනිවතුරට වැටිලා, අකුසලයෙන් ගිනියම්වූ ඒ අතීත වේදනාස්කන්ධය නුවණින් මතුකොට දකින්න. අතීත භව ගමනේ යුද සංග‍්‍රාමයන්ට මැදිවෙලා, මහා දුර්භික්ෂ, වසංගත රෝගයන්ට මැදිවෙලා, මිනී කඳු ගොඩ ගැසුණ හැටි නුවණින් දකිනකොට වර්තමාන කොරෝනා රෝග දුක යනු පුංචි සෙම්ප්‍රතිශ්‍යාවක් යැයි ඔබට වැටහෙනු ඇති. එවිට ඔබතුළ සකස් වෙන්නේ කොරෝනාව කෙරෙහි බියක් නොවේ, වර්තමානයේ ඔබ සිහින මවන, අනාගත වේදනාස්කන්ධය ගැන කලකිරීමක් පමණක්මය. ඒ කලකිරීම ඇලීම් ගැටීම්වලින් තොර උපේක්ෂා සම්බොජ්ජංගයේ කැඩපතයි. පින්වත් ඔබ කොරෝනා කොරහේ කිඹුලන් දකින්නේ නැතිව, කරුණාකර, තමන් පටිච්චසමුප්පන්නව කිඹුලෙක් වෙලා ලක්ෂ කොතෙක් නම් වාරයක් උපදින්න ඇතිද කියලා නුවණින් දකින්න දක්ෂ වෙන්න.