ඔබ සැබැවින්ම මේ ශාසනයේ උරුමක්කාරයෙක් ද?

පින්වත් මනුෂ්‍ය අපගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලාබසින තෘෂ්ණාවේ සැඩපහර වේගවත් නිසාම ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුකේ අස්වැන්න මේ දිනවල හොඳටෝ ම වැඩිවෙලා. මනුෂ්‍ය සන්තානයන් තුළ තෘෂ්ණාව ශක්තිමත් වෙනකොට දුක සුලබ වෙනවා. කොරෝනා බියෙන් තැතිගන්නා, එක සිතුවිල්ලකින්, ශෝක, පරිදේව, දුඛ්‍ය, දෝමනස්ස, දුක කිලෝ ගණනින් අපි ජීවිතවලට එකතුකොට ගන්නවා. පින්වත් ඔබ දුක එකතුකොට ගන්නේ අවිද්‍යා කඩමණ්ඩියේ තිබෙන ඔබේ ම ඵස්ස සුපිරි වෙළෙඳසැලෙන්. ඵස්ස වෙළෙඳසැලේ පින්වත් ඔබට සිත් සේ තෝරගන්න, ඇලීම් සහ ගැටීම් ලේබලය සහිත භාණ්ඩ අසුරා තිබෙනවා. පින්වත් ඔබට තිබෙන්නේ, තෘෂ්ණාවේ බොත්තම තදකිරීම පමණක්මයි. සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් ඇතෙක් බරට කරතියාගෙන, අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකයට අශ්ව වේගයෙන් දුවන්න අද ලෝකය, නිර්මාණය වෙමින් පවතිනවා.

අපි හැමෝ ම අපේ ජීවිතතුළ, පොදි බැඳගත්ත අසීමිත අනාගත බලාපොරොත්තු, වර්තමානයේ කොරෝනා දුකට තෙරපීම නිසාම අපි ක්ලාන්තභාවයට පත්වෙලයි තිබෙන්නේ. දුකෙන් හෙම්බත්වෙච්ච අපි, දුකෙන් මිදීම උදෙසා දැන් යළිත්, පින පසුපස දුවනවා. සැඟවුණු අමුත්තා වන තෘෂ්ණාව, එතැනදීත් ඔබට අතදිගහැර උදව් කරනවා; අවිද්‍යාවෙන් පෝෂණයවෙන තෘෂ්ණාව වංචාකාරී පාපමිතුරෙක්; පිනෙන් වෙහෙසට පත්වුණ ඔබේ ඵස්සය මතින් ගලනා ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ගේ, දහදිය ආයෙමත් ඔබට භව දුර්ගන්ධයම අයිතිකොට දෙනවා.

තෘෂ්ණාවෙන් තොර, ලෝකයක් තිබෙන්නට බැහැ. ලෝකය තෘෂ්ණාවෙන් තොර වෙද්දී ඵස්සය ගල් කණුවක්සේ නොසැලී තිබෙනවා. ඇසෙන් රූපයක් දකී ද දැක්ක කනෙන් ශබ්දයක් අසයි ද ඇසුණා, කයට පහසක් දැනෙයි ද දැනුණා කියන තැන ඵස්සය නොසැලී තිබෙනවා. පින්වත් ඔබ, ඔබේ ඵස්සයේ අවිද්‍යාවට වැට බඳින්න. ඒ කියන්නේ ඵස්සය චතුරාර්යසත්‍යය ධර්මයන්ගෙන් පෝෂණයකොට ගන්න. පින්වත් ඔබ දකින දෙය, අසන දෙය, දැනෙන දෙය ලෞකික ප්‍රඥාව වැඩෙන ලෙස දකින්න. ශීලයේ අර්ථයන් පෝෂණය වන ලෙස අසන්න. සමාධිමත්භාවය වැඩෙන ආකාරයෙන් දකින්න.

මෙය සටහන් තබන භික්ෂුවට මේ මොහොතේ ලස්සන රූපයක් සිහිපත් වෙනවා. භික්ෂුව එම රූපය, ලේ, සැරව, සෙම්, සොටු, අසූචි ගොඩක් හැටියට දකිනවා; භික්ෂුව තම ඵස්සය චතුරාර්යසත්‍යය ධර්මයන්ගෙන් පෝෂණය කරගන්නවා. භික්ෂුවට මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. භික්ෂුව කුසිනාරාවේ පිරිනිවන් මංචකයේ ඉතිරිවී තිබුණ අළු සහ ධාතුන් වහන්සේ සිහියට නඟාගන්නවා. ඒ ධාතුන් වහන්සේත් බාහිර සතර මහා ධාතුවට ම මුහුවෙන හැටි නුවණින් දකිනවා. එවිට භික්ෂුව ඵස්සය චතුරාර්යසත්‍යය ධර්මයන්ගෙන් පෝෂණය කරගත්තා වෙනවා.

කුටිය පසුපස නුග ගසේ ලැග සිටින කොවුලෙක්, තොරතෝංචියක් නැතිව කෑගසනවා. භික්ෂුව ඒ කොවුල් නාදය ඇසුණා කියන තැන නතර වෙනවා. භික්ෂුව, ඵස්සය චතුරාර්යසත්‍යය ධර්මයන්ගෙන් පෝෂණයකොට ගන්නවා. ඵස්සයට චතුරාර්යසත්‍යය සමීපවුණහම, අවිද්‍යාව ඵස්සයෙන් ඈතට යන්නේ, හිරු දුටු පිනි වගේමයි.

සංස්කාරයෝ, හරි හරියට, විපාක දෙන ලෝකයක් තුළ අපිට කරන්නට ගොඩක් දේවල් ඉතිරිවෙලා නැහැ. අතීතයේ කරපු හැමදෙයක්ම මායාවක් නම්, මිරිඟුවක් නම්, වර්තමානය තුළ ඵස්සය කෙරෙහි සතියෙන් ජීවත්වීම පමණක්මයි අපි කළයුතුව තිබෙන්නේ. ඒත් ඔබට නිදහස තිබෙනවා කැමැති දුරක් යන්නට. පටිච්චසමුප්පන්නව ගෙවාගෙන පැමිණි දුර නොදකින පින්වතා, පටිච්චසමුප්පන්නව යන්න තිබෙන දුර කෙසේ නම් දකින්නද.

හුඟාක් පින්වතුන් සතුටින් කියනවා, මම ඊළඟ ජීවිතයේ දෙවියෙක්, දිව්‍යාංගණාවක් වෙනවාය කියලා. එතැනින් ඒගොල්ලන්ගේ ලෝකෙ ඉවරයි. භික්ෂුවගේ මුවඟට සිනාවක් මතුවෙනවා. සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය, ලෝකය මොනතරම් නම්, මංමුලාවක් බවට පත්කොට තිබෙනවාද කියලා. මේ මොහොතේ සංස්කාරයන්ට, භික්ෂුව, පසුකොට යන්න දීලා, භික්ෂුව නැවතී සිටිනවා. භික්ෂුවගේ ජීවිතයට අතීත කුසල් සහ අකුසල් හරි හරියට විපාක දෙනවා. භික්ෂුව ඒ දෙස විවේකීව බලාසිටිනවා. පටිච්චසමුප්පන්නව භික්ෂුව, ගෙවාගෙන පැමිණි, අතීත පංචඋපාදානස්කන්ධයේ රුව සහ ගුණ, සක්සුදක්සේ භික්ෂුවට වර්තමානයේ පෙනෙනවා. එවිට, වැරදිකරුවන් සහ නිවැරදිකරුවන් නැති, කර්මය කර්මඵල විශ්වාසය මත ජීවිතය නිවැරදිව තීන්දුවෙනවා. කැමැති සහ අකමැති දේවල් හිස්කරලා ජීවිතය සංස්කාරයන්ට පැවරුවාම, අපිට ඉතිරි වෙලා තිබෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, ”මළකඳන’’ දෙස නුවණින් බලා සිටීම පමණක්මයි.

මෙය සටහන් තබන භික්ෂුව රූපය, මරණානුස්සතියක්කොට දකිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් මරණානුස්සතියක්කොට දකිනවා. පින්වත් ඔබ ඵස්සය තෘෂ්ණාවෙන් හිස්කරද්දී, ඵස්සයේ අවිද්‍යාව මරාදමද්දී, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මළකඳන්, ඵස්ස මෝචරියේ තවදුරටත් රඳවාගෙන සිටින්නේ, වියරු පංචඋපාදානස්කන්ධ ලෝකය අවබෝධකොට ගැනීමට උපකාරක ධර්මයන් වූ ධර්මයන් නැවත නැවත අනිත්‍ය වශයෙන් දැකීමටයි.

පින්වත් ඔබ ඵස්සය දේවදූතයෙක්මකොට ගන්නවා, ඇහැට, කනට පෙනෙන රූපයක් දැක්කොත් එය අයිති කොටගෙනමයි නවතින්නේ. මම ඔබට ජාති, ජාතිත් ආදරය කරනවා. මම ඔබට ජාති, ජාතිත් වෛර කරනවා. ඵස්සය මගේම කොටගන්නවා. ඵස්සය තුළ මම සිටිනවාම යැයි ගන්නවා. ඵස්සය නිත්‍ය, සැප, සුබ, ආත්මීය දෘෂ්ටියෙන්ම ගන්නවා. උතුම් රහතන් වහන්සේනමකගේ ඵස්සය යනු වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, මළකඳන් තැන්පත්කොට තබන මෝචරියක් පමණක්මයි. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, උණුසුම, ආයුෂය, එම ඵස්ස මෝචරියට, තවදුරටත් නඩත්තුවීමට ඔක්සිජන් දෙනවා. භික්ෂුව, මේ දවස්වල වැඩ සිටින්නේ බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ පින්වත් ජනතාව කොරෝනා අකුසලයෙන් සළිතවෙලා සිටින්නේ. හැමෝම කැමැතියි නිරෝගීව සිටින්න. අපේ කැමැත්ත තිබුණ පළියට නිරෝගී වෙන්න අපිට බැහැ. නිරෝගීභාවය කියන්නේ හේතුඵල ධර්මයක්. අවිහිංසාව, අව්‍යාපාදය, අලෝභ සිතින් දන්දීම, නිරෝගීභාවයත් සමග තිබෙන්නේ, නොකැඩෙන ඥාතීත්වයක්. පසුගිය වසර දහයේදී ලෝකයේ ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ජීවිතතුළ වැඩිපුරම තිබුණු ධර්මතාවය කුමක්ද කියලා විමසා බැලූවොත්, අපි ළඟ වැඩිපුරම තිබුණේ, කායික සහ මානසික හිංසාව, ව්‍යාපාදය සහ පංචඋපාදානස්කන්ධය කෙරෙහි ලෝභි සිතුවිලියි. අපි අනුනට හිංසා කරනවා මදිවාට, ශිල්පද බිඳීමින්, අකුසල් වඩමින්, අධර්මය ධර්මය කරමින්, අපි අපිට ම හිංසාකොට ගන්නවා.

මෙය සටහන් තබන භික්ෂුව, අතීතයේ සිදුකළා වූ පව් වර්තමානයේ භික්ෂුවගේ පසුපස හඹාගෙන එනවා. භික්ෂුවගේ සලායතනයන්, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක්වෙන වේගය හුඟාක් වැඩියි. භික්ෂුවට අකමැති දේවල් දකින්න ලැබෙනවා හුඟක් වැඩියි. ඒ වගේමයි භික්ෂුවට සිව්පසය ලැබීමේ වේගයත් හුඟාක් වැඩියි. ජනප්‍රියභාවයත් ඊයෙට වඩා, අද ටිකක් වැඩියි. මේවා සුන්දර ධර්මයේ හේතුඵලධර්මයන්. අපි මේවා දෙස ධර්මයේ උපේක්ෂාවෙන්මයි බැලිය යුත්තේ.

අතීත සංස්කාරයන් විපාක දෙන ජීවිතය දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බැලීමේදී අපි අත්දකින්නේ ධර්මයේ ඒහිඵස්සික ගුණයයි. අපි අතීත සංස්කාර විපාකයන් තුළින් ධර්මයක්ම දකිනවා. අපි අත්දකින රෝගීභාවයන්, නිරෝගිභාවයන් ධර්මයක්ම වූ කල යහපත් දේ ජීවිතයට තව තවත්, දරාගෙන ඕපනයික ගුණය තුළ අපි ශක්තිමත් වෙනවා. ධර්මය ශ්‍රවණය කිරීමෙන්, දරාගැනීමෙන්, පුහුණු කිරීමෙන්, ජීවිතය ධර්මය ම බවට පත්කොට ගන්නවා. එවිට අපි තුළ නියත විශ්වාසයක් ඇතිවෙනවා. අපිත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ, තෙරුවන්ට කීකරු සැබෑම උරුමක්කාරයෙක්ය කියලා. ඊට ජාති, කුල, වයස්, දුප්පත්, පොහොසත් බේදයක් නැහැ.

ගෞරවණීය පින්වත, ඔබ සැබැවින්ම මේ ශාසනයේ උරුමක්කාරයෙක් ද? වර්තමානයේ ජනතාවට විපාකදෙන කොරෝනා අකුසලය, සම්මාදිට්ඨි සහ සම්මාසංකප්ප නැමති, ලෞකික ප්‍රඥ්‍යාවේ කැඩපතින් ඔබ දකිනවාද. එසේත් නැතිනම් ඔබ, කොරෝනාව මම නොවේ, කොරෝනාව මගේ නොවේ, කොරෝනාව තුළ මම නැහැ යැය ආත්මීය දෘෂටියෙන් කොරෝනාව දකිනවාද.

කරුණාකර පින්වත් ඔබ කොරෝනාව චතුරාර්යසත්‍යය ධර්මයන් තුළ විසිරුවා දකින්න. කොරෝනා රෝගී දුක, දුකට හේතුව ඔබ තුළම සුවසේ වැඩෙන තෘෂ්ණාව, දුකෙන් මිදීම උදෙසා තෘෂ්ණාව අඩුකොට ගත යුත්තේ ඔබමය. රජයට, සෞඛ්‍ය අංශයන්ට, ඖෂධයකට, තනිවම කොරෝනාව පාලනය කරන්නට බැහැ. පින්වත් පොදු ජනතාව තම ජීවිතවලින් දුකට හේතුවෙන තෘෂ්ණාව, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුළින් සියුම්කොට ගන්න.

ප්‍රතිශක්තිය යනු ආයුෂ, වර්ණය, සැපය, බලයේ ඵලයයි. ආයුෂය, වර්ණය, සැපය, බලයට මුල්වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් සහ මෛත්‍රියෙන් පෝෂණය වූ මහාසංඝරත්නයට පූජාකොට ගන්නාවූ දානයයි. අන්‍ය ආගමික පින්වතුන්ලා නම්, ශීලයෙන් මෛත්‍රියෙන් පෝෂණය වූ ශිල්වතුන්ට දෙන දානයයි.

කොරෝනා රෝගයෙන් මියගිය මහත්මයකුගේ තොරතුරු විමසා බලත්දී ඒ මහත්මයා පසුගිය වසර දහයේදී සාංඝික දානයක් පූජා කරලා නැහැ. කර්මය කර්මඵල විශ්වාසයෙන් ශීලයක්, මෛත්‍රියක් තුළ හික්මිලා නැහැ. ගෞරවණීය පින්වතුනේ, ඔබ වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් දුර්වල නම්, ඔබ සොයා රෝගී අනතුරු පැමිණීම වැඩියි. කරුණාකර, ලෞකික ප්‍රඥ්‍යාවෙන් පෝෂණය වූ සම්මා වායාමයන් ජීවිතයට එකතුකොට ගන්න.

ඔබේ ආරක්ෂාව ගැන ඔබ ම වගබලාගන්න යැයි, අතීතයේ නායක පින්වතෙක් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය, කොරෝනාවට මොනතරම් නම් සමීපද කියලා භික්ෂුවට සිතෙනවා. සත්‍යකින්ම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම ඔබ සතු වගකීමක්. පින්වත් ඔබේ ආරක්ෂකයා, ඔබ ම වූ කල, ඔබ සියල්ලන්ම ආරක්ෂා කළා වෙනවා.

පින්වත් ඔබ කොරෝනා රෝගයට සීමාව ඉක්මවා බියවෙන්න එපා. සීමාව ඉක්මවා රෝගයට විවෘත වෙන්නත් එපා. ඉහත අවස්ථා දෙකේදීම, ඔබ තුළ පංචනීවරණයන් වැඩෙන්නේ. පින්වත් ඔබ මධ්‍යම ප්‍රතිපදාවට එන්න. කොරෝනා විතර්කයන් ජීවිතයෙන් බැහැර කොට, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, අවිහිංසාව, මෛත්‍රිය, ශීලය ගැන සිතන්න. එවිටයි රෝගයට ඔරොත්තු දීමේ සම්මා සතිය ඇතිවෙන්නේ. සම්මා සතිය ඇතිකොටගත් පින්වතා සිතන්නේ, කොරෝනා භීතිය ගැන නොවේ; රූපය තිබෙන තාක්කල් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් තිබෙනවාය කියන කාරණයයි. අකුසලයෙන් උපන් කොරෝනාව, කුසලයෙන්මයි පරාජය කළ හැක්කේ. තවමත් කොරෝනාවට ජනතාවගේ ජීවිත විවෘතව ඇත්තේ, අකුසලය විසින් තවමත් ජනතාව සිය පාලනයට නතුකොට ගෙන ඇත්තේ, කොරෝනාව මර්දනයට අවශ්‍ය එන්නතක්, ඖෂධයක් තවමත් කරළියට නොඑන්නේ, ජනතාවගේ පැත්තෙන් නිරෝගීභාවයට අදාළ සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසාම ය.