ජීවිතය අවබෝධ කරගන්න හොඳම කාලයයි

අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයේ වඩිනකොට, භික්ෂුවට ඇසෙනවා ගෙදරක අම්මා කෙනෙක් තම දරුවෙකුට බනිනවා, පණ්ඩිතකම් කතා නොකර කටවහගන්නය කියලා. දැන් කාලේ හැදෙන සමහරක් පිංවන්ත පුංචි දරුවන්, රූපවාහිනිය එහෙම බලලා, දෙමවුපියන්ටත් පණ්ඩිත කතා කියනවා කියලා, දෙමවුපියන් භික්ෂුවටත් කියලා තිබෙනවා. පාසල් වයසේ කුඩා දරුවෙක්, තම අම්මාට කියනවාලූ, අම්මේ, තාත්තා ගමනක් යද්දී, තාත්තාගෙන් අහන්න කොහෙද යන්නෙ, මොකටද යන්නේ, කීයටද එන්නේ, ඇයි තවම ප්‍රමාද, අම්මා මේ මුකුත්ම අසන්නේ නැහැ, අම්මා නම් තාත්තාව නරක් කරනවාය කියලා. පුංචි කමට ගොඩක් දේවල් තේරෙනවා වුණාට, තම දෙමාපියන්ගේ ආධ්‍යාත්මික බැඳීම තේරුම් ගන්න, පුංචි පණ්ඩිතකම්වලට තේරුමක් නැහැ. හැබැයි ඉතින්, සියලූ සංස්කාරයෝ අනිත්‍ය වූ පංචඋපාදානස්කන්ධ ලෝකයේ, කොච්චර හොඳ තාත්තාලා වුණත්, අම්මලාගේ වැඩි විශ්වාසය නිසා නරක් වෙන්න බැරිකමකුත් නැහැ.

දැනුමෙන්, බුද්ධියෙන්, ලෞකික ප්‍රඥාවෙන්, ලෝකෝත්තර ප්‍රඥාවෙන්, පෝෂණය වූ පණ්ඩිතකම නම්, නිරවුල්, සත්‍යය, අර්ථයන්ම ලෝකයාට බෙදාදෙන, පිරිසිදු උල්පතක්ම වෙනවා. එම නිසා පුංචි, පුංචි, පණ්ඩිත කතාකියන පුංචි දරුවන්, හොඳින් දැනුමෙන් බුද්ධියෙන්, ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ගෙන් ජීවිතය ශක්තිමත් කොටගෙන, අනාගතයේ වචනයේ පරිසමාප්ත අර්ථයන්ගෙන්ම සැබෑම පණ්ඩිතයෙක් වෙන්න උත්සාහගන්න ඕනේ. උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය හදාරන දරුවෙක්, තම නිවසේ වයෝවෘද්ධව සිටි ආච්චි, මියයන්නට මොහොතකට පෙරාතුව, තමන් සිපගන්න හදපු වෙලාවේ, එම මුණුපුරා තම මරණාසන්නව සිටි ආච්චිට කියනවලූ, ආච්චි අම්මේ, මේ ඇස අනිත්‍යයි ආච්චි, මේ කන, නාසය, දිව, ශරීරය, මනස අනිත්‍යයි ආච්චි, මේ මුණුපුරාට බැඳෙන්න එපාය කියලා. මුණුපුරා තම ආච්චිට දුන්න අවසාන ධර්මාවවාදය ආච්චි අම්මා පිළිගත්තා ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. නමුත් ඒ පාසල්වියේ දරුවානම්, ධර්මානුකූලව සැබෑම පණ්ඩිතයෙක් කියලයි භික්ෂුවට සටහන් තබන්න වෙන්නේ.

අපේ පුංචි පාසල් දරුවන් තමන්ගේ අම්මලා, තාත්තලා කේන්ති ගන්න, පණ්ඩිත කතා සහ පණ්ඩිතකම් කරන්නේ නැතුව, දෙමාපියන්ට කීකරු, දෙමාපියන්ව ධර්මයේ අර්ථයන්ගෙන් ඔසවා තබන, සුන්දර දරුවෙක් වෙන්න. කොහොමද ඔබලා ඔබේ දෙමවුපියන්ව ධර්මයේ අර්ථයන්ගෙන් ඔසවා තබන්නේ. පිංවත් දරුවන් නිසා දෙමාපියන් තුළ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුණු සිතක්, සැකයක් කියන පංචනීවරණ අකුසල් ඇතිවෙන්න දෙන්න එපා. දෙමාපියන් තම දරුවන් නිසා, කේන්ති ඇතිකොට ගන්නවා නම්, පිංවත් දරුවන්ගේ හැසිරීම් කෙරෙහි සැකයක් ඇතිකොට ගන්නවා නම්, දෙමාපියන්ගේ සිත් වේදනාවට පත්කරනවා නම්, ඒ අහිංසක දෙමාපියන්ට, ඒ උතුම් බ්‍රහ්ම ගුණයන්ට, පිංවත් දරුවන්, අකුසලයක්මයි උරුමකොට දෙන්නේ. පිංවත් දරුවන්ට ජීවිතය දුන්න දෙමාපියන්ට, දරුවන් විසින් අකුසලය දෝතපුරාම දෙනවා නම්, ඒවායේ විපාකයන් නිසා ඔබලාගේ මුළු අනාගතයම විනාශවෙලා යන්න පුළුවන්.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, උතුම් තෙරුවන්ගේ පහළවීම යම් සේ, දුර්ලභද, ”කෘතවේදිභාවය’’ ඒ තරමටම දුර්ලභ දෙයක්ය කියලා. අවංකවම, අර්ථවත්වම, තෙරුවන් සරණ පිහිටි පිංවතා තුළයි, කෘතවේදිභාවය යහපත් ආකාරයෙන් මුල් අදින්නේ. ඔහු තමන්ට උපකාරකරන සෑම පිංවතෙකුටම තෙරුවන්ගේ වටිනාකම කියලා දෙනවා, සුගතිය ගැන කියලා දෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ගැන පූර්වාදර්ශයන් දෙනවා.උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාගේ, කෘතවේදීභාවය ඊට වඩා ශක්තිමත්. ඔහු, පිංවත් ඔබට, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, අචල ශ්‍රද්ධාව, ආර්ය ශීලය ගැන ඔබට පූර්වාදර්ශයන් දෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නැමැති කෘතවේදීභාවයේ පිය උරුමයෙන් උපන්, පංචඋපාදානස්කන්ධ ලෝකයේ දුක ගැනම පූර්වාදර්ශයන් දෙන, අශූචී කන්දකත්, අශූචි බිඳකත්, එකම ගඳයැයි දකිමින්, සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයම, භවයේ ඇති ප්‍රමාදීභාවයම ගැන ලෝකයාට සැබෑම කෘතවේදීභාවයෙන්, පූර්වාදර්ශයන් දෙන්නෙ, උතුම් රහතන්වහන්සේලාමයි. සුන්දර ළමා ජීවිතවලට, ලෝකයේ දුර්ලභම කෘතවේදීභාවයේ බීජයන් රෝපණයකොට ගැනීමට, දෙමාපියන්ට කීකරුවීම, දෙමාපියන්ව සතුටු කිරීම, හොඳ පිටිවහලක් වෙනවා. සම්මා දිට්ටියේ අර්ථයන්ට අදාළව, අම්මා, තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසයෙන් දෙමාපියන්ට කීකරුව කටයුතු කරනකොට, දරුවන් තුළ වැඩෙන්නේ, ලෞකික ධර්මවිජය බොජ්ජංගයයි. දරුවා ධර්මයට අදාළව සිතනවා. දරුවා තුළ ධර්මවිජය බොජ්ජංගය වැඩුණේ, එම පිංවත් දරුවා, පූර්වාදර්ශී දෙමාපියන්ගේ මඟ පෙන්වීමෙන්, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින් ඇතිකොටගත්, ලෞකික සති සම්බොජ්ජංගය නිසාමයි.

පිංවත් දරුවෙක් තුළ, ලෞකික සති සම්බොජ්ජංගය සහ ධර්මවිජය බොජ්ජංගය වැඩෙනකොට, දෙමවුපියන් තව, තව, සතුටු කිරීමේ, දෙමවුපියන්ට කීකරුවීමේ, වීර්ය බොජ්ජංගයමයි දරුවා තුළින් වැඩෙන්නේ. පිංවත් දරුවාගේ වීර්යය, දෙමාපියන්ගේ සහ දරුවාගේත්, ප්‍රීති සහ ඵස්සද්ධි සම්බොජ්ජංගයන්මයි පෝෂණය කරන්නේ. එවිට දෙමාපියන් දරුවන් දෙස බැලූවත්, දරුවන් දෙමාපියන් දෙස බැලූවත්, සිතේ සැහැල්ලූවක්මයි හටගන්නේ, සැකයන්, විසිරුණු සිත්, විතර්කයන්, අමනාපයන්, ඒ සිත්වල නැහැ. දරුවා කියන අර්ථය තුළින්, ඇතිකොටගත් විශ්වාසය නිසාම, දෙපාර්ශ්වයේම මානසික සංසිඳීමක්මයි ඇතිකොට දෙන්නේ. ඒ සුන්දර මානසික සංසිඳීම, අවශ්‍ය නම් දෙමවුපියන්ට සහ දරුවන්ට පුළුවන්, ඇලීම් සහ ගැටීම්වලින් බැහැරව, ජීවිතය ඉදිරියේ මතුවන ප්‍රශ්න, උපේක්ෂාවෙන් දැකිය හැකි උපේක්ෂා සම්බොජ්ජංගය ජීවිතයට එකතුකොට ගන්න. බුදුරජාණන්වහන්සේත් දිවැසින් දකිනවා, රාහල පුංචි ආයුෂ්මතුන්ගේ සිතුවිලි, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ඇතිකොටගන්නා වූ, මමත්වයේ දැඩිභාවය හේතුවෙන්, ආත්මීය දෘෂ්ටිය අළුගසා දමා නැඟී සිටිනවාය කියලා. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ රාහුල පුංචි ආයුෂ්මතුන්ට, සතරමහාධාතුවේ අනිත්‍යභාවයට අදාළව සුන්දර කමටහනකින්, ”ධාතු මනසිකාරය’’ සද්ධර්මයේ අර්ථයන්ගෙන් නොපොහොසත්, පුංචි රාහුල ආයුෂ්මතුන්ට දේශනාකොට වදාළේ, බුදුරජාණන්වහන්සේ සතු උතුම් විදර්ශනාමය උපේක්ෂා සම්බොජ්ජංගය නිසාමයි. එය කෙලෙස් රහිත, විදර්ශනාමය උපේක්ෂාවයි. ලෞකික උපේක්ෂා සම්බෝජ්ජංගය හරිම නිරවුල්, එහි තිබෙන්නේ කෙලෙස් සහිත නිරවුල්භාවයක්. උපේක්ෂාව, අවුල් බැහැරකරන්නේ, අපේ ජීවිතවලට ඉවසීම හොඳට පුහුණු කරලා. අපේ සමාජය දෙස බලන්නකෝ උපේක්ෂාව වඳ බැහැලා තිබෙන්නේ. ඇලීම් සහ ගැටීම්වලට හුඟාක් ප්‍රියකරන සමහර පිංවතුන්, උපේක්ෂාවේ කලලයන් තමන් සන්තකයේ පටිච්චසමුප්පන්නව තිබෙන කුසල් සංස්කාර නමැති ධනය, අතින් වියදම්කොට ගබ්සා කරන්නේ, අවිද්‍යාවේ සුද, ලෞකික ප්‍රඥාවේ ඇස වසාගෙන තිබෙන නිසාමයි.

උපේක්ෂා සම්බොජ්ජංගයේ පහස ලබමින්, ඵස්සයේ දොරකඩට ගලාඑන, ඉවසීමේ නිසල දිය, දෙමාපියන්ගේ සහ දරුවන්ගේ, ඇලීම් සහ ගැටීම් නිවාදැමීමට ධර්මානුකූල ඖෂධයක්ම වෙනවා. තම දරුවන් උදේට ඇහැරවා ගැනීමේ දී, පාසල් යැවීමට සූදානම් කිරීමේදී, පාඩම් කරවීමේදී, සීමාව ඉක්මවාගිය සෙල්ලම් සහ රූපවාහිනිය නැරඹීමේ දී දෙපාර්ශ්වයේ උපේක්ෂාව පෑලදොරෙන් පලා යන්නේ, පංචනීවරණ ධර්මයන්ට ජීවිතය නිර්ලෝභීව භාර කරලයි. මේ අවුලෙන් ගැලවීමට නම්, මම අම්මා, ඔබ දරුවා යැයි සිතන, ඒකාධිපති අර්ථයෙන් මිදී, මමත් දඟකාර දරුවෙක්ව සිටියාය කියන අර්ථයෙන් හේතුඵල ධර්මයන්ට අදාළව, ප්‍රශ්නය දකින්න උපෙක්ෂා සම්බෝජ්ජංගයමයි හේතුවෙන්නේ. අනාගත පංචඋපාදානස්කන්ධය කෙරෙහි අසීමාන්තික බලාපොරොත්තු, පටිච්චසමුප්පන්න සංස්කාර නමැති තීන්තෙන්, විඤ්ඤාණය මත සිතුවම් කොටගත් මවුදෙමවුපියන්, ඇලීම් සහ ගැටීම්වලට ගොඩාක් ආදරය කරනවා. ඒ නිසාම අතීත පංචඋපාදානස්කන්ධය අමතකවෙලා යනවා. එවැනි දෙමාපියන් සිතන්නේ, තමන් පුංචි සන්ධියේ, වයින් කරපු බෝනික්කෝ වගේය කියලා. වයින් කළොත් පමණක් දැඟලූවා, නැතිනම් නිහඬව සිටියාය කියලා. නමුත් ඇත්ත ඒක නොවේ නේද. උපේක්ෂා බොජ්ජංගය විවේකී සිතට, අතීත, වර්තමාන, අනාගත තුන්කාලයම සති, ධම්මවිජය, විර්යය, ප්‍රීති, ඵස්සද්ධි, සමාධි කියන පෙරහන්කඩ හතෙන්, සුපිරිසිදුව පෙරා දෙනවා.

උපේක්ෂා සම්බොජ්ජංගය තුළින් අතීත, වර්තමාන, අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස නුවණින් බලද්දී, සති, ධම්මවිජය, වීර්යය ආදී වූ සප්ත බෝජ්ජංග ධර්මයෝමය, නැවත, නැවත පන්නරය ලබන්නේ. නැවතීමක්, නිමාවක් නැහැ. වැඩුව දෙය ජීවිතය තුළින් වැඩෙනවා. ලෞකික සප්ත බොජ්ජංග ධර්මයන් සුවසේ මෝරා, වැඩිවියට පත් වූ කල්හි, ප්‍රඥාව නැමැති කලල රූපය පෝෂණය වීමට අවශ්‍ය, විදර්ශනාව නැමැති ගර්භාෂය, පිංවත් ඔබේම ඵස්සය විනිවිද මතුවේවි. දෙමාපියන්ගේ ආදරය, දරුවන්ගේ අකීකරුභාවය, සප්තබොජ්ජංගයන් වැඩෙන ප්‍රඥාවේ ඇස මතුවෙන, පංචඋපාදානස්කන්ධ ලෝකය නිරවුල් කොටදෙන, ප්‍රවේශයකට දොරටුවකුයි භික්ෂුව ඉහතින් විවෘතකොට තැබුවේ. කැමැති පිංවතෙක් ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ යතුරෙන් දොරටුව ඇරගෙන යන්න. මඟ දෙපස, රූප ඇත, එහෙත් විඳීම් නොමැති මඟ දෙපස ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඇති, එහෙත් විඳීම් නැත,මඟ දෙපස සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් ඇති, එහෙත් විඳීම් නොමැති, අතිශය හිස්, එහෙත් පිරුණු, අනිත්‍ය වූ අතීත සංස්කාර ලෝකයක්, ඉදිරියේදී ඔබට හමුවේවි.

අතීත සංසාරයක් පුරාවටම, ඔබට පටිච්චසමුප්පන්නව අම්මා සහ තාත්තා වූ සෑම කෙනෙකුටම, ඔබට දුව සහ පුතා වූ සෑම දරුවෙකුටම, ලෝකයේ දුර්ලභම කෘතවේදීභාවය, නික්ලේෂි හදවතින්ම, සද්ධර්මයේ පූජාසනය මත තබා, දෝතින්ම පූජා කොටගත්තා වූ දෙමාපියන් සහ දරුවන් බවටම ඔබ පත්වේවි. අහිංසක අම්මා, තාත්තලගේ ආදරය අපේ ජීවිත උණුසුම් කළේ, ලේ, මස්, සම්, ඇට, නහරවලට කිඳාබසිමින්මයි. දරුවන්ගේ ලේ, මස්, සම්, ඇට, නහර නිරතුරුව බාහිර ලෝකයාට කතා කළා. අම්මාගේ සුවඳ, තාත්තගේ සුවඳ මගේ සෑම ලේ බිංදුවකම තිබුණා. සමහර පිංවතුන් කිව්වා, පුතා, තාත්තා වගේමයි කියලා. තවත් සමහරු කිව්වා, පුතා අම්මා වගේමයි කියලා. එහෙම කියනකොට පුංචි මට හිතුණා, මම නම් මේ දෙදෙනාගේමයි කියලා. ඒත් ඇත්තටම දැන් නම් භික්ෂුවට සිතෙනවා, භික්ෂුව, ඒ අම්මා තාත්තා දෙදෙනාගේම නොවෙයි කියලා. අතීත සංස්කාර ගොඩක්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය උපයෝගීකොටගෙන, භවාත්‍රයේ, අපිව එකට බැඳිලා. සංස්කාරයන් ප්‍රතික්‍රියා දක්වත්දී වරින් වර අපිව ලිහා දමනවා, මගේම යැයි සිතූ අහිංසක අම්මා සහ

තාත්තාගෙන් දැන් මාව ලිහාදාලා. ඒ අහිංසකයන්ගේ උපාදානයන්ගේ ලණු කොණ, නැවත පටිච්චසමුප්පන්නව භවත්‍රයේ කොහේ පැටළුණාද කියන්න භික්ෂුව දන්නේ නැහැ. දයාබර අම්මේ, තාත්තේ, ඔබලාගේ අහිංසක දීප්තිමත් දෑස්, භික්ෂුවට මේ මොහොතේ සිහිපත් වෙනවා. ඒ දීප්තිමත් දෑස්වල, අවිද්‍යාවේ සුද, බැඳී තිබුණාය කියන කාරණය අතීතයේ ඔබලාත්, මමත් දැනගෙන සිටියේ නැහැ. ඒ නිසාම, පුතේ ලෝකය, ලෝකය යැයි, මට උගැන්වුවා මිසක්, මේ පංචඋපාදානස්කන්ධ ලෝකය මිරිඟුවක්ය කියලා කවදාකවත් මට ඉගැන්වුවේ නැහැ. අහිංසක ඔබලා මට ඉගැන්වුයේ, දුක නමැති ලෝකය අයිතිකොට ගන්නමයි. අම්මේ, ඔබලා සැබැවින්ම අහිංසකයි. වර්තමානයේ, ලෝකය නමැති මිරිඟුව ඉදිරියේ, භික්ෂුවගේ ජීවිතය නැවතී තිබෙනවා. ඵස්සයේ දොරටුවෙන් ඇති තරම්, විදර්ශනාවේ නිකලෙස් පැන්, ලෝකයට ගලාගෙන යනවා. ඒ පැනින් සැනසෙන සත්පුරුෂ ඇත්තෝ ද ඒ පැනින් නැසෙන අසත්පුරුෂ ඇත්තෝ ද භික්ෂුව දකිනවා. ලෝකය ගලාගෙන යනවා, අතීත සංස්කාරයෝ ජීවිතයට රතු එළියක් දල්වනකම්. පිංවත් දෙමාපියනි, පිංවත් දරුවනි, ඔබ කවදා ද ඔබේ දෙමාපියන්ට සහ දරුවන්ට, ලෝකය, එකතුවෙන් සකස් වෙන ලෝකය සැපය වශයෙන් නොව, ලෝකය මිරිඟුවක්ය කියලා ධර්මානුකූලව කියලා දෙන්නේ.