කොරෝනා බියෙන් සිත නිදහස් කරගන්න

චතුරාර්යසත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්ය සත්‍යය වන ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක ආයෙමත් දෝරේගලායන්නටම ජීවිතගතවෙලා තිබෙනවා. පිංවත් හැමෝම සොයන්නේ ආරක්ෂාව, ජීවත්වෙන්න, සැප විඳින්න, සුගතියට යන්න, දුක ඉදිරියේ අපි ආයෙමත් දුකටම හේතුවන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, ධර්මයන්ගේ ආස්වාදයම සොයනවා. තෘෂ්ණාවේ පියා වන අවිද්‍යාවම ශක්තිමත් කරනවා. අපි අවිද්‍යාව නැමති ගොවි බිමේ, රසායනික පොහොර යොදලා වගාවන් සිදු කළත්, කොම්පොස්ට් පොහොර යොදලා වගාකළත්, අස්වැන්න හැටියට අපිට ලැබෙන්නේ ජාත, ජරා, ව්‍යාධි මරණයන්මයි.

අපි සෑම දෙනෙක් තුළම සොරෙක් සැඟවී සිටිනවා. ඒ සොරා තමයි අවිද්‍යාව. මොහු අපේ සම්මා දිට්ටිය, සම්මා සංකප්පයන් සොරකම් කරනවා. ලෞකික ප්‍රඥාව අපෙන් සොරාගත් තැනදී ශීලය සහ සමාධියට අදාළ ධර්මයන් ගුණාත්මකභාවයෙන් මන්දපෝෂණයට පත්වෙනවා. ඒවා මිච්චා ධර්මයන් හැටියටයි වැඩෙන්නේ. උතුම් ලෞකික ප්‍රඥාවේ මන්දපෝෂණයට, තෘෂ්ණාවේ විටමින් බෝතල් ගණන් ඵස්සයට පොවන අපි සතුටුවෙනවා. අවිවේකීව සතුටුවෙනවා. අපි බලන්නේ අද කීයක් හම්බකළාද කියලා. ඉලක්කම් ගණන වැඩිනම්, මිච්චා ප්‍රීතිය ඉහළ යන්නේ, මිච්චා ඵස්සද්ධියෙන් අපිව ගොරව ගොරවා නිදිගන්වලා. ඇත්තටම අපේ සතුට, ප්‍රීතිය තීරණය කරන්නේ රුපියල් සත නම් එය මිච්චා සතුටක්මයි. පැය භාගයක් මිච්චා සතියෙන් කුරුමානම් අල්ලලා, මීයෙක් අල්ලා ගන්නා පූසා ලබන සතුටත් මිච්චා සතුටක්මයි.

බුදුරජාණන්වහන්සේත් අවිවේකීව සද්ධර්මය දේශනා කළා, බුදුරජාණන්වහන්සේ ශාරිපුත්ත මහෝත්තමයන් වහන්සේට දැනුම් දෙනවා, ශාරිපුත්ත, මගේ කොන්ද රිදෙනවා, මම සිංහසෙයියාවෙන් මොහොතක් විවේක ගන්නවා, ඔබ මේ පිංවතුන්ට ධර්මයක් දේශනා කරන්නය කියලා. බුදුරජාණන්වහන්සේගේ ශරීරයේ සතර මහ ධාතුව රිදුම් දුන්නත්, උන්වහන්සේගේ ඵස්සය ආර්ය විවේකයෙනුයි ගතකළේ. එම ආර්ය විවේකය විදර්ශනාමය ප්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ කැටිවෙලයි තිබුණේ.

අපේ අවිවේකය කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, විච්කිච්චාවන්ගෙන් මොනවට පෝෂණය වුණත්, බුදුරජාණන්වහන්සේගේ රහතන් වහන්සේලාගේ අවිවේකය, ආර්ය සතියෙන් පෝෂණය වූ විදර්ශනාමය ප්‍රීතියක් ඵස්සද්ධියක්මයි. උන්වහන්සේ අවිවේකය තුළින් ජීවිතයට ලබන්නේ ආර්ය ධනයක්. ඒ උතුම් ආර්ය ධනය තමයි, විදර්ශනාමය සප්ත් බොජ්ඣංගයන් අතීතයේ වැඩ සිටියාවූ උතුම් රහතන්වහන්සේනමක් සතහට කරුණාවෙන් දිගින් දිගටම ධර්ම කාරණාවන් පැහැදිලි කිරිමේදී උන්වහන්සේ කය වෙහෙසට පත්වුණත් උන්වහන්සේගේ සිත, ආර්ය විවේකය හෙවත් විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන් තුළින්මයි ශක්තිමත් වෙන්නේ.

කාමයන්ගේ නිසරුභාවය දකින, ගිහි ජීවිතයේ පළිබෝධබව දකින, සංසාර බිය, සංසාර දුක දකින, සුපටිපන්න ගුණය දුර්වල වෙත්දී, අපි තුළ උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන්, මිච්චා ගුණයන් හැටියට වැඩීමේ ප්‍රවණතාවය, අනතුරුදායක ලෙස වැඩිවෙන්න පුළුවන්. මෙය සටහන් තබන භික්ෂුව, සෑම නිමේෂයකදීම, සිහිය පිහිටුවා ගන්නේ උතුම් සුපටිපන්න ගුණයේ අර්ථයන්ටයි. ඒ සඳහා ලෞකික ප්‍රඥාවෙන් පෝෂණයවුණ ශීලයේ ශක්තිය, මහමෙරක් සේ උපකාරී වෙනවා. අපි ඇතිකොට ගන්නාවූ කාමයන් කෙරෙහි කැමැත්ත, රූපයන් කෙරෙහි කැමැත්ත, අපේ උතුම් සුපටිපන්න ගුණයට එරෙහිව මතුවෙන, මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වගේමයි. ඔහු කිසිදු හිරි සහ ඔතප් බියකින් තොරව, සුගතිය මරාගෙන, දුගතියට පාර සකස්කොට ගන්නවා. උතුම් නිවීමේ අරමුණු මරාගෙන, භව තෘෂ්ණාවට තම ජීවිත පරදුවට තබනවා. අපේ පොදු සතුරා වන, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය, අපිට දැනීම් සකස්කොට දෙන්නේ, අපේ උතුම් සුපටිපන්න ගුණයට විශබීජ දමන්නමයි. පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නැමැති මාරයා අපේ සුපටිපන්න ගුණය අත්අඩංගුවට ගනිත්දී, අපේ පූර්වාදර්ශීභාවයෙන් තොර සාමීචිපටිපන්න ගුණයන්, මඬේ සිටවපු ඉනිසේ, එහා මෙහා වැනෙන්නේ, භවයත්, විදර්ශනාවත් දෙකම වර්ණනා කරමින්මය.

පංචඋපාදාන්ස්කන්ධ ලෝකය සංස්කාර විසින් නිවැරදිව මෙහෙයවන, ඉලක්කගත ගමනක් යනවා. පුංචි හෝ වරදක් කොතැනකවත් පෙනෙන්නට නැහැ. සතුටත්, දුකත් පැත්තකින් තියලා, උපේක්ෂාවෙන් ලෝකය දෙස බලන්න. ලෝකය ධර්මයේ ඒහිපස්සික ගුණයෙන් විවෘතව බබළනවා. මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙන් පසුව, තවත් අකුසලයේ වියරු කල්ප විනාශයකින්, ලෝකයේ කැත සහ කුණු පිච්චිලා යනවා. පිච්චීම නිසාම සකස්වෙන්නා වූ, විඳීමෙන් ඒ කැත සහ කුණු පටිච්චසමුප්පන්නව ආයෙමත් උපදිනවා. පටිච්චසමුප්පන්නව නොමැරෙන ලෝකයක, අපි මැරෙමින් ඉපදෙමින් ඉදිරියටම යනවා. මේ සියලූ විනාශයන්ගේ පොදු සතුරා වන අවිද්‍යාව, මේ නිමේෂයේදීත් ඔබේ ඵස්සය සමඟ දෑඟිලි බැඳගෙන සුරතල් වෙන්නේ, මම සහ ඔබ, දෙදෙනෙක් නොව, එක්කෙනෙක්ම යැයි සිතාගෙනමයි. ”අවිද්‍යාව’’ මම සහ ඔබ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් නොව, උතුම් චතුරාර්යසත්‍යය ධර්මයන් නොදැනීමේ, එකම ධර්මානුකූල ඵලයයි. පිංවත් ඔබ, චතුරාර්යසත්‍යය ධර්මයන් තුළ ලෝකය විසිරුවා දකින්න. එවිට ඔබ, ඔබ නොදැක ධර්මය දකීවී.

කල්ප විනාශයක් කියන්නේ, සමස්ත මනුෂ්‍ය සහ දිව්‍ය, සතර අපායන්හි සත්ව ප්‍රජාවගේ පටිච්චසමුප්පන්න අතීත අකුසල් වියරු වේගයෙන් විපාකයන්ට පැමිණෙන අකුසලයේම මිනීමරු අඳෝනාවයි. කල්ප විනාශයක් විසින් මුළු පෘථිවියම ගිනි නිරයක් බවට පත්කරනවා. මනුෂ්‍ය ලෝකයම ගිනි නිරයක් බවට පත් වෙන කාලයකටයි කල්ප විනාශය කියලා කියන්නේ. පිච්චීම, මියයැම, පටිච්චසමුප්පන්නව ඉපදීම, කල්ප විනාශයක කාලසටහනයි. මේ කාලසටහනේ විවේක කාලයක් නැහැ. ඔබත්, මමත් එදාට පිච්චීමෙන් අවිවේකයි. වර්තමානයේ කාර්යබහුලභාවයෙන් අවිවේකී අපි, එදාට පිච්චීමෙන් අවිවේකි වෙනවා. සංස්කාරයෝ හරිම සාධාරණයි. වර්තමානයේ කාමච්ඡන්දයන් උදෙසා, සුපටිපන්න ගුණයන් පුච්චා දමන අපි, අනාගත, පටිච්චසමුප්පන්න පංචඋපාදානස්කන්ධ ලෝකයේදී පිච්චීමෙන්ම අවිවේකී වෙනවා. වර්තමානයේ විපාකයට පැමිණ තිබෙන කොරෝනා වසංගතය මනුෂ්‍ය සන්තානවල අකුසල් හේතුවෙන්ම සකස්වුණ සංස්කාරයන්ගේ ඵලයක් කොරෝනා වසංගතය මනුෂ්‍ය ලෝකය, ගිනි නිරයක් බවට පත් නොකළාට, පිංවත් මනුෂ්‍යයින්ගේ ඵස්සය, රෝගී බියෙන් ගිනි අරගෙනයි තිබෙන්නේ. සද්ධර්මයේ ඒහිපස්සික ගුණය මොනවට ප්‍රකට කරමින්, විපාකයට පැමිණ තිබෙන කොරෝනා අකුසලය, පංචඋපාදානස්කන්ධ ලෝකයටම ශබ්ධ නඟල මේ කියන්නේ, උතුම් සම්මා දිට්ටි, සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ට, අපේම ජීවිත තුළින් හිංසා කරන්න එපාය කියන කාරණයයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පඨවි, අපෝ, තේජො, වායෝ, සතරමහධාතුවේ ආදීනවය, ජරා, ව්‍යාධි, මරණ, දුක්, දෝමනස්සයන්ය කියලා. සතරමහධාතුවේ ආදීනවයන්, බුර, බුරා, නැෙඟන්නේ, ආස්වාදයට පවතින්නට ඉන්ධන නොමැති නිසාමයි. පිංවත් ඔබ සතරමහධාතුවේ ආස්වාදයට අවශ්‍ය, සම්මා දිට්ටියේ සහ සම්මා සංකප්පයන්ගේ ඉන්ධන ජීවිතයට පුරවා ගන්න. එය සතරමහාධාතුවේ ආස්වාදයට මාර්ගයයි. පිංවත් ඔබ දක්ෂනම්, කරුණාකර ආස්වාදයේ කෙටිබව නුවණින් දැක, ආදීනවයන්ගේ වියරුව නුවණින් දැක, සතරමහාධතුවේ නිස්සරණය මතුකොට ගන්න. බටහිර අහස්කුසෙන් හිරු බැසයන්න හොදටෝම කිට්ටුයි. ලා අඳුර දෑස් ඉදිරිපිට රිද්මයකට නලියනවා. එය හිරුගේ ආදිනවයය. දැන් ඔබ කළයුත්තේ සඳු බලාපොරොත්තු වීම නොව, බැස යන හිරු තුළින් සතරසතිපට්ඨාන ධර්මයන් මතුකොට ගැනීමයි. එවිට පිංවත් ඔබට, අවරට යන හිරු තුළින්, යම් දිනයක, නිකලෙස් සිතින් නිවීයන, විදර්ශනා ප්‍රඥාවේ ආලෝකය ලබන්නට පුළුවන්.

පිංවත් ඔබ කොහොමද කොරෝනා වසංගතය තුළින් සතර සතිපට්ඨාන ධර්මයන් මතුකොට ගන්නේ. බුදුරජාණන්වහන්සේ සිහිපත් කරලා, ධර්මයක් සිහිපත් කරලා, සංසාර බිය, කොරෝනා බිය සිහිපත් කරලා, සිත නිදහස් කරගන්න. සැහැල්ලූ සිත, දැක්ක දෙය, දැක්ක තැනම නවතිනවා. ඇසුණ දෙය ඇසුණ තැනම නවතිනවා. දැනුන දෙය දැනුන තැනම නවතිනවා. ලෝකය අස්ස කුලප්පුවෙන් දුවත්දී ඔබ නැවතිලා. ලෝකයේ ලස්ස්නම තැන, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් නොවන තැනයි. එතැන ලෝකය අස්වද්දන්න අවිද්‍යාවේ ආහාර නැහැ. විඤ්ඤාණය බඩගින්නේ තබලා. හැබැයි ඉතිං, අවිහිංසාවාදී පිංවතෙක්, විඤ්ඤාණය බඩගින්නේ තැබීම පවක් කියලා, ඵස්සයට අවම වශයෙන් උපේක්ෂාවේ ආහාරවත් දෙන්න යන්න එපා. විඤ්ඤාණය එකම සිතුවිල්ලකින්, උපාදානය හරහා භවයටම පැනගනීවි.

පිංවත් ඔබ කොරෝනා අකුසලය සතරසතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. කොරෝනා රෝගය ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් සකස් කොට දෙන්නේ රූපය ඇසුරුකොට ගෙනමයි. අධ්‍යාත්මික සහ බාහිර රූපයන් කායානුපස්සනාවෙන් දකින්න. රූපයේ අනිත්‍යභාවයම දකින්න.

කොරෝනා රෝගය නිසා සකස්වෙන, අධ්‍යාත්මික සහ බාහිර දුක් වේදනාවන්, සැප සහ උපේක්ෂා, සෑම විඳීමක්ම, අනිත්‍ය වශයෙන් දකින්න. වේදනාවන්ට බැඳෙන්න එපා. එය කොරෝනා අකුසලයෙන් මතුකොට ගන්නා වේදානානුපස්සනාවයි.

කොරෝනා රෝගය නිසා සකස්වෙන සෑම අධ්‍යාත්මික සහ බාහිර සිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් දකින්න. සැප, දුක්, උපේක්ෂා, යහපත්, අයහපත් සිතුවිලිවලට බැඳි විඤ්ඤාණයට ආහාර දෙන්න එපා. එය කොරෝනා රෝගය තුළින් මතුකොට ගන්නා චිත්තානුපස්සනාවයි. කොරෝනා රෝගය නිසා සකස්වෙන පංචනීවරණ ධර්මයන්ට, සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීම තුළ සකස්වෙන, සප්තබොජ්ඣංග ධර්මයන්ට බැඳෙන්නට එපා. කායානුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට ඔබ බැඳෙන්න එපා. එම ධර්මතාවයන් අනිත්‍ය වශයෙන්ම දකින්න. එය කොරෝනා අකුසලය තුළින් මතුකොට ගන්නා ධම්මානුපස්සනාවයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් ඇසුරුසැණක් අනිත්‍ය වැඩීම, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශානාමය කුසල් ධර්මයයි කියලා. නූතන විද්‍යාඥ්ඥයින් විද්‍යාගාරවල ඖෂධ සොයමින් වෙහෙසෙත්දී, මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨම වෛද්‍යවරයා වන බුදුරජාණන්වහන්සේ, අපට දුන් සතරසතිපට්ඨාන ධර්මයන් නැමති ප්‍රත්‍යක්ෂ ඖෂධය, පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධවෙන් අදම ජීවිතයට එන්නත් කොටගන්න. එය දුකට විකල්පයක් නොවේ.