අනිත්‍ය බවේ නූතන ආදර්ශය කොරෝනාවයි

අද උදෑසන පිණ්ඩපාතය බෙදන්න, නිවුන් දරුවන් දෙදෙනෙක් පැමිණ සිටියා. දෙදෙනා වෙන්කොට හඳුනා ගන්න බැහැ, එක වගේමයි. ඒ දරුවන්ගේ දෙමව්පියන් කියනවා, ස්වාමීන් වහන්ස අපිටත් දෙදෙනාව පැටලෙනවාය කියලා. අපි තුළ සකස් වෙන පංච උපාදානස්කන්ධ ලෝකයත් හරියට, පස් නිවුන් දරුවන් වගේ, පියවි ඇසෙන් වෙන්කොට හඳුනා ගන්න බැහැ. රූපය ගත්තත් මම කියලාම දකිනවා. වේදනාව ගත්තත් මම කියලාම දකිනවා. සංඥාව, සංස්කාර, විඤ්ඤාණය දැක්කත් මම කියලාම දකිනවා. එකිනෙකට වෙනස් පටිච්චසමුප්පන්න සියල්ලෝම ”මම” කියලාම අපි රැුවටෙනවා. රැුවටීම ලෞකික ස්වභාවයක්, නොරැුවටීම යනු විදර්ශනා ප්‍රඥාවේම ස්වභාවයක්. පංච උපාදානස්කන්ධ ලෝකයේ මහ මොළකරුවා වන අවිද්‍යාව, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් සෝදා හරින තාක්කල්, ප්‍රඥාවේ ඇස උපදවා ගන්නා තාක්කල්, අපි කෙසේ නම්, මේ පස් නිවුන් දරුවන් අවබෝධයෙන්ම ”අනිත්‍යයි” කියන එකම අර්ථයෙන් හඳුනා ගන්නා, අම්මෙක් හෝ අප්පෙක් වෙන්න ද?

ටික දවසක් අකුසලය හුළං බැසීම හේතුවෙන්, පැතිරීමට නොහැකිව, අවිද්‍යාවේ සෙවනැලි යට සැඟවී සිටි කොරෝනා අකුසල් සංස්කාරය, ලැබූ අලූත් දේශපාලන බලය නමැති ආශ්වාදයෙන් සකස්වුණ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ පිහිටෙන් ආයෙමත් සමාජගත වෙලා තිබෙනවා.

මේ මොහොතේ කරළියේ රඟන, කොරෝනා දෙවෙනි රැුල්ලේ රංගන දායකත්වය විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ වුව ද, සංදර්ශනයේ ප්‍රධාන සංවිධායකයා අවිද්‍යාව හේතුවෙන් ජනතාව සකස් කොටගත් අකුසල් සංස්කාරයන්ම බව පිංවත් ඔබ ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ.

පිංවත් ඔබ, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් යනු දුක යැයි තවම හඳුනාගෙන නැහැ. පිංවත් අහිංසක ඔබ, එය කෙසේ නම් හඳුනා ගන්න ද? අවිද්‍යාව නමැති ”ජාති අන්ධයා” පිංවත් දෑස් පෙනෙන ඔබව, තෘෂ්ණාවේ මත් පෙත්තෙන්, මත් කුඩෙන්, මත් වතුරෙන් ඇලීම් සහ ගැටීම් සිහින ලෝකවල මත් කරලයි තිබෙන්නේ. මුහුණට දමන මුඛ ආවරණය සාක්කුවේ දමා ගත් අපි, කොරෝනාව ඉන්දියාවට භාරදුන් අපි, ආත්ම දෘෂ්ටියෙන් අපි පිංවන්ත යැයි ලෝභ, ද්වේශ, මෝහයන්ම ශක්තිමත් කොටගත් අපි, පසුගිය කාලයේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පසුපස හඹාගියේ ආත්ම දෘෂ්ටියේ කුණු හැව තෘෂ්ණාවෙන් තව තවත් හොඳ හැටි පෝෂණය කොටගෙනයි.

අවිද්‍යාව නමැති ”ජාති අන්ධයා” අපට පොවන, අපිව ඇබ්බැහි කරන, තෘෂ්ණාවේ මත් පෙති, මත් පෙති ගැන අබමල් රේණුවක තරම්වත් සිහි කල්පනාවක් නැති අහිංසක අපි, රාත‍්‍රියට රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹලා, උදෑසනට පත්තර පිටුව කියවලා, අහවල් ප්‍රදේශයේ මෙච්චර මත් කුඩු, මත් පෙති අත් අඩංගුවට ගත්තාය කියලා, අසත්පුරුෂ මත්ද්‍රව්‍ය මුදලාලිලාව අත් අඩංගුවට ගත්තාය කියලා, ඒවාට අත් පොළසන් දීලා, ඒවා තුළින් ආශ්වාදය ලබන්නේ, අපි කාගේ කාගෙත් අවිද්‍යාවේ අන්ධ දෑස්වලට තව තවත් ඇලීම් සහ ගැටීම් නමැති ඇඟිලි තුඩු වලින් අනිමින්මයි.

සංසාර බිය, සංසාර ගැඹුර, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් නොදකින, ආශ්වාදයේම සිරකරුවන්, මාරයාගේ ලෝකය ශක්තිමත් කරන්නේ, හරියට මත්කුඩු මුදලාලිගේ ගිණුම් තර කරන මත් කුඩු ලෝලීන් වගේමයි. ඇත්තටම අපි හැමෝම අවිද්‍යාව නමැති කුඩු මුදලාලිගේ සංස්කාර නමැති ගිණුමට කෝටි ගණනින් ඇලීම් සහ ගැටීම් තැන්පත් කරමින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වැල් පොලිය ඇතෙක් බරට ලබනා අස්වැන්න ”ජීවිතය” යැයි සතුටින් පිළිගන්න ආශ්වාදයේ මත්ලෝලීන් පිරිසක්මයි, භික්ෂුවත් ඇතුළුව.

පිංවත් අපි හැමෝම, සමගියෙන් එකතු වෙලා, මුළු රටටම පෙනෙන්නට ලොකු දැන්වීම් පුවරුවක් සවි කරමු. ”අවිද්‍යාවේ අන්ධයා” මනුෂ්‍ය ප්‍රජාවම විනාශ කරන, ජීවිතය අකුසලයෙන් පෙරා දමන ”කුසලයේ අක්මාව” දියකොට හරින, මනුෂ්‍යයාව පටිච්චසමුප්පන්නව තිරිසනෙක්, පේ‍්‍රතයෙක්, නිර සතෙක්, අසුරයෙක් බවට පත් කරන, අති භයානක වසංගතයක් සේ පැතිර යන, ”තෘෂ්ණාවේ මත් පෙත්ත” වහ වහා අත් අඩංගුවට ගන්නය කියලා.

හෙරොයින් මුදලාලිලා, අයිස් මුදලාලිලා අත් අඩංගුවට අරගෙන ඒ ආශ්වාදයෙන් අපිත් තෘෂ්ණාවේ මත් පෙති ගන්නවා නම්, අපිත් අංක එකේ මත්ලෝලීන් පිරිසක්ම නේද කියලා, ධර්මානුකූලව සටහන් තබනවා. හැබැයි ඉතින් අවිද්‍යාවේ අන්ධයා අලෙවි කරන තෘෂ්ණාවේ මත් පෙත්ත, අපේ ගෞරවනීය පොලීසියේ මහත්වරුන්ට හෝ ආරක්ෂක හමුදාවේ මහත්වරුන්ට නම්, අත් අඩංගුවට ගන්න බැහැ. මොකද දන්නව ද, ඒ අහිංසක පිංවතුන්ලාත් මාත‍්‍රාව ඉක්මවා ගිය ප්‍රමාණයට තෘෂ්ණාවේ මත්පෙති, මත්කුඩු පාවිච්චි කරලයි සිටින්නේ.

කරුණාකරලා පිංවත් ධර්මයට කැමති සියල්ලෝම කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුළින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතු කොටගන්න. එවිට පිංවත් ඔබව තෘෂ්ණාවේ මත් පෙත්තෙන් විනාශ කරන, අවිද්‍යාව නමැති ජාති අන්ධයා ඔබ තුළින්ම අත් අඩංගුවට ගන්නා, විදර්ශනා ප්‍රඥාව නමැති සත්පුරුෂ පොලිස් නිලධාරියා ඔබ තුළින්ම මතුවේවි. අන්න ඒ අත් අඩංගුවට ගැනීමයි, මේ ලෝක ධාතුවේ, ශ්‍රේෂ්ඨම මත්ද්‍රව්‍ය වැටලීම වෙන්නේ.

අවිද්‍යාව හේතුවෙන් මනුෂ්‍යයා කුසල් සහ අකුසල් සංස්කාරයන් රැුස්කොට ගන්නා ආකාරයත්, කුසල් සංස්කාරයන් දුර්වල වෙද්දී, අකුසල් සංස්කාරයන් විසින් ජරා, ව්‍යාධි, මරණ බියට අදාළ දැනීම් සකස්කොට දෙන, ධර්මානුකූල හේතුඵල ධර්මයන් සමාජය තුළින් සක්සුදක් සේ විවෘතව බලද්දී, ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්මා සම්බුද්ධ ඥානයේ උත්තරීතරභාවයමයි අපිට සිහිපත් වෙන්න ඕනේ. පිංවත් ඔබ තෙරුවන් සරණ සෙවනේ ලැබූ, මේ උතුම් ජීවිතයේ වටිනාකමමයි සිහිපත් වෙන්න ඕනේ. එවිටයි පිංවත් ඔබේ සිත, සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි ඍජුව පිහිටන්නේ. සැකය, විචිකිච්චාව, විතර්කයන් නැති, සද්ධර්මය කෙරෙහි ඍජුව පිහිටියා වූ සිතයි, පංච නීවරණ ධර්මයන්ගෙන් තොර, සමාධිමත් සිතක් බවට පත්වෙන්නේ. ඒ සමාධිමත් සිතයි, කොරෝනා අකුසලය සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දැකීමේ මාර්ගය වෙන්නේ.

එකිනෙකට ගැලපී යන හේතුඵල ධර්මයන්, ධර්මයේ ඕපනයික ගුණය තුළින් ජීවිතගත වෙද්දී, බුදුරජාණන් වහන්සේටමයි භික්ෂුව හදවතින් වන්දනා කරන්නේ. මේ මොහොතේ පිංවත් ඔබත් බුදුරජාණන් වහන්සේට හදවතින් වන්දනා කළා නේ ද? පිංවත, එහෙත් එම වන්දනාව ආර්ය වන්දනාවක් නම් නොවේ. උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණ වූ, බුදුරජාණන් වහන්සේට දක්වන වන්දනාව, ආර්ය වන්දනාවක් බවට පත් වෙන්නේ, මේ උතුම් වන්දනාවට හේතු වූ සියලූම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් සිදුකරන වන්දනාවයි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා. උතුම් ධර්මරත්නය සහ සංඝරත්නය යම් දිනයක අනිත්‍ය වී යාවි. ඒ උතුම් තෙරුවන් සරණ දකින්න, අසන්න, සරණ යන්න අපි ලැබුවා වූ සියලූම සංස්කාරයෝ අනිත්‍ය වී යනවා. අනිත්‍ය වී යන ධර්මතාවයන් හේතුවෙන් තවදුරටත් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් එපා යැයි අවබෝධයෙන් දකිමින්, බුදුරජාණන් වහන්සේ උදෙසා හදවතින්ම නැගෙනා වන්දනාවයි, සාදුකාරයයි සැබෑම ආර්ය වන්දනාවක්, ආර්ය සාදුකාරයක් බවට පත්වෙන්නේ. එය ඔබ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිපත්තියෙන්ම කරන පූජාවක් ද වෙනවා.

දැන් වෙලාව සවස පහට පමණ ඇති. සුළඟ නැවතිලා පරිසරයම හරිම නිහඬයි. ඒත් කුටිය ඇතුලේ නම් රස්නෙයි. අද රාත‍්‍රියේ වහින්න වගෙයි. සතර මහා ධාතුව හරියට විහිළුවක් වගේ, වරින් වර වෙනස් වී යන්නේ මනුෂ්‍ය ජීවිත වලට ඇලීම් සහ ගැටීම් ඇති තරම් ලබා දීලා. සතර මහා ධාතුවේ අනිත්‍ය වන ස්වභාවය හඳුනා නොගත් පිංවතා, සංස්කාරයන්ගේ සිරකාරිත්වයට පත්වෙන්නේ මුකුත්ම නොදන්නා කිරි දරුවෙක් වගේමයි.

සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිමින්, කුටියේ ආසනය මත වාඩිවෙලා, රූපය මුල්කොටගෙන සකස් වෙන පංච උපාදානස්කන්ධ ලෝකය දෙස බලනකොට, ජීවිතය පෙනෙන්නේ හරියට පාළු කනත්තක් වගේමයි. ඉරි තලා, විසිරී ගිය හිස් කබල්, ඇටකටු හැම තැනකම විසිරිලා. අතීත රූපස්කන්ධයේ නටබුන් පාළු කනත්තේ බහිරවයන් සේ බලා සිටිනවා.

වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධයේ මළකුණු කෙරෙහි චන්දරාගයෙන් බැඳුණ විඤ්ඤාණය නමැති සොහොන්පල්ලා, මේ පාළු කනත්ත පටිච්චසමුප්පන්නව මුර කරන්නේ, මේක මගේ මහ ගෙදර යැයි සිතාගෙනමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හරියට සොහොත් කොත් හයක් වගේ, පාළු කනත්තේ ස්ථානගත වෙලා තිබෙනවා. ලේ, මස්, සම්, ඇට, නහර මේ සොහොන් කොත් තුළ මිහිදන් වෙලා, විඤ්ඤාණය නමැති සොහොන්පල්ලාට හරිම අපූරුවට ආරක්ෂාව දෙනවා. පාළු කනත්තේ සොහොන් කොත් හය මැදිකොටගෙන ඉදිවෙන ඵස්සය නමැති ආදාහනාගාරයේ පිච්චෙන කුණු මස් වලින් හමන තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් පුළුටු ගඳ, වා තලයට නිකුත් වෙද්දී, සංස්කාර නමැති භෂ්මාවශේෂ විඤ්ඤාණය නමැති සොහොන්පල්ලාව නැවත, නැවත පෝෂණය කරනවා. අපි ඇසෙන් රූපයක් දකිද්දී, චක්ඛු සම්ඵස්සය නමැති ආදාහනාගාරයේ දොරටුවෙන්, ආදාහනාගාරයට තවත් මළකුණක් ඇතුල් කළා වෙනවා. මළමිනිය දැවී ඉතිරි වෙන සංස්කාර නමැති භෂ්මාවශේෂ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති සොහොන්පල්ලාව උදේ, රාත‍්‍රී දෙකේදීම අනුවණින්ම පෝෂණය කරනවා.

පිංවත් ඔබ පාළු කනත්තට ආදරය කරන්න එපා. කනත්ත අයිති සොහොල්පල්ලන්ට, පේ‍්‍රතයින්ට, මළ යක්ෂයින්ට. ජීවිතය නමැති පාළු කනත්ත, ඔබ කමටහනක් කොටගන්න. මරණානුස්සතියට තෝතැන්නක් කර ගන්න. නැවත උපතකින් මිදුණ, මළකුණක් දරාගත් බිම් කඩක් බවට පත්කොට ගන්න.

ජීවිතය කියන්නේ කිසිදා ස්ථිර සැපයක් නොලැබෙන මිරිඟුවක්මයි. නමුත් ගෞරවනීය පිංවත, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය කියන්නේ, මැජික්කරුවෙක්මයි. ඔබව ආශ්වාදයෙන් මත්කරන මායාකරුවෙක්මයි. සැපය සොයාගෙන ඔබ දුවන මේ මැරතන් තරඟයේ දී, මග දෙපස පේ‍්‍රක්ෂකයින් ඔබව සිසිල් ජලයෙන් නාවන්නට පුළුවන්. ඒ පේ‍්‍රක්ෂක ජනතාව තුළිනුත් ක‍්‍රියාත්මක වෙන්නේ විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේම අනිත්‍ය වූ රංගනයන් බව තේරුම් ගන්න.

අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයන්, බාහිර පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයත් ඔබේ තාවකාලික සතුට උදෙසා, කුමන ආකාරයේ මැජික් පෙන්වූවත්, තරඟය අවසානයේ දී ඔබ ලබන ජයග්‍රහණය හෝ පරාජය මාරයාටම අයිති අනිත්‍ය වූ ධර්මතාවයක් බව නුවණින් තේරුම් ගන්න.

ආත්මීය දෘෂ්ටියේ අකීකරුභාවයන්ගෙන් බැහැර වෙන්න. ධර්මයේ සක්කාය දිට්ඨිය ජීවිතයට ගන්න එපා. විනයගරුක පුරවැසියෙක් වෙන්න. විනයගරුකභාවය නැති සමාජය, විනාශය දෙසටම යන බව තේරුම් ගන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වසර දෙදහස් හයසියයකට අධික කාලයක් නිරුපද්‍රිතව ආරක්ෂා වූයේ, මහා සංඝරත්නයේ උතුම් විනයගරුකභාවය නිසාම බව කරුණාවෙන් තේරුම් ගන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් ප්‍රාතිමෝක්ෂ විනය තුළින් වසර 2,600 ක් නොනැසී ආරක්ෂා වෙද්දී, අපේ මාතෘභූමියේ, 1948 නිදහසෙන් පසුව බලයට පත් වූ කිසිදු රජයකට, අවම වශයෙන් වසර දහයකට වඩා බලය රැුක ගැනීමට නොහැකි වූයේ ද, විනයගරුකභාවයන්ගේම දුර්වලතාවයන් නිසා බව තේරුම් ගැනීමට නිහතමානී වෙන්න. කුසගින්නේ සිටියත් උතුම් සංඝ සමාජයේ, අතීත ගුණගරුක, විනයගරුක මහා සංඝරත්නය ධර්ම, විනය ආරක්ෂා කොටගත්තා. ඒ උතුම් මහා සංඝරත්නයට භික්ෂුව හදවතින්ම මේ නිමේෂයේදීත් විදර්ශනාත්මකව වන්දනා කරනවා වගේම, ගෞරවනීය මහා සංඝරත්නයේ උතුම් ගුණාත්මකභාවයත්, ගිහි පිංවතුන්ලාගේ ගුණාත්මකභාවයත් අතර තිබෙන පරතරය යනු, පිංවත් ඔබ වන්දනා කරන, සරණ යන උතුම් සංඝරත්නයේ සැබෑම ශක්තිය වෙනවා.