කඨින පිංකම, මහත්ඵල මහානිශංස පිංකමක් බවට පත්කර ගැනීමේ පන්නරය

මේ දවස්වල මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය පූජා කරගන්න හුඟාක් පින්වතුන් උදෑසන ගමට එනවා. තම ජීවිතවලට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබා ගැනීමේ බලාපොරොත්තුවේ දෑස්, භික්ෂුව සෑම උදෑසනකම දකිනවා. ඒ අහිංසක දෑස්වල, ලෝකෝත්තර බලාපොරොත්තු වලට වඩා ලෞකික බලාපොරොත්තු සැඟවී තිබෙන බව, යාන්තමට පෙනෙන්නට තිබෙනවා. ඒ අහිංසක බලාපොරොත්තුවේ දෑස් අභියස, මහා සංඝරත්නය නැවතිලයි සිටින්නේ. මහා සංඝරත්නය තම ඵස්සය ළඟ නැවතී සිටිනකොට ඵස්සයේ අවිද්‍යාව තාවකාලිකව අකර්මණ්‍ය වෙනවා. ඵස්සයේ, අවිද්‍යාව අකර්මණ්‍ය වෙද්දී, පංච උපාදානස්කන්ධ ලෝකයට ජයවේවා යැයි කියලා, තෘෂ්ණාවට පෙළපාලි යන්න බැහැ. ඵස්සයේ අවිද්‍යාව සක්‍රීය වුණොත්, තෘෂ්ණාව කියන එකම කාරණය, ”දුක” කියන ලෝකයම අපිට අයිතිකොට දෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, ඵස්සයේ අවිද්‍යාවට, විදර්ශනාවෙන් අවවාද කොට, නිකෙලෙස් ඵස්සය අසල සතියෙන් යුතුව නැවතී සිටිනකොට, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මොනතරම් නම් ජීවමාන ද? මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වසර දෙදහස් හයසියයක් වයසට ගිහින් නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ යාබද කුටියේ වැඩ සිටිනවා වගේමයි. යශෝධරා උත්තමාවිය, කිසාගෝතමී උත්තමාවිය භික්ෂුණී ආරාමයේ වැඩ සිටිනවා වගේමයි. ශාසනය පරණ වෙලා නැහැ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තවමත් නැවුම් භාවයෙන්ම පවතිනවා. ඒත් ලෝකය පාලනය කරන්නේ, ඔබවත්, මමවත් නොවේ, කුසල් සහ අකුසල් සංස්කාර විසින්. සංස්කාරයන්ගේ මුල් ගුරුතුමා අවිද්‍යාව නිසාම, අපි කෙසේ නම් සංස්කාරයන්ට ඇඟිල්ලෙන් ඇන කියන්න ද, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපෙන් දුරස්කොට දමන්න එපාය කියලා. අවිද්‍යාවට ඇස් නැති වුණත්, සංස්කාරයන්ට ඇස් තිබෙනවා, කුසලයට සහ අකුසලයට අදාළව ලෝකය නිවැරදිව පෙළ ගස්වන්න. වර්තමාන ලෝකය පෙළ ගැසෙන දිශාව දකිද්දී, සංස්කාරයන්ට චෝදනා කරලා වැඩක් නැහැ. අවිද්‍යාවෙන් පිරුණු ඵස්සයයි, විදර්ශනාවෙන් සෝදා පිරිසිදු කොටගත යුත්තේ.

තවත් සුන්දර වස්සානයක් ගෙවී යන්න, දැන් හොඳටෝම ළඟයි. ඒත් වැස්ස තවම අතුරුදන් වෙලා, පරිසරයේ පඨවි ධාතුවත්, තේජෝ සහ වායෝ ධාතූන් විසින්, පරිසරයේ ආපෝ ධාතුව තම අණසකට අරගෙන, භික්ෂුව වැඩසිටින ගම්මානයේ ඇළ, වේලි සියල්ලම මේ දිනවල විවේක අරගෙන, ජලය බිඳක්වත් ගලාගෙන යන්නේ නැහැ. ගම්මානයේ ජලය නැති ඇළ වේලි හරියට, තාවකාලිකව අවිද්‍යාව හිස් කළ ඵස්සය වගේමයි. අවිද්‍යාව තාවකාලිකව හිස් කළ ඵස්සය, විදර්ශනාමය ප්‍රීතිය සහ පස්සද්ධිය විසින් නිදහසේ ආක්‍රමණය කරලයි තිබෙන්නේ.

මෙය සටහන් තබන භික්ෂුව, දෑස් පියාගෙන මොහොතක් අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරනවා. භික්ෂුව කැමති සහ අකමැති ගොඩක් දේවල්, ඒ අතීතය තුළ තිබෙනවා. භික්ෂුව එම අතීතය, එහි සැබෑම හිමිකරු වන සංස්කාරයන්ටම භාරදීලා, චිත්තානුපස්සනාවේ මකන කෑල්ලෙන් ඒ අතීතය මකා දමනවා. ධම්මානුපස්සනාවේ ඇඟිලි තුඩින් ඵස්සයේ මතුපිට පිරිසිදු කොට දමනවා, මකා දැමූ රොඩු සහ කුඩු ටික යන්න.

මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ, සුන්දර වස්සානයන් දෙදහස් හයසියයකට වඩා ගෙවී ගිහින් තිබෙනවා. ඒ දීර්ඝ අතීතය භික්ෂුව එකම අනිත්‍ය සංඥාවකින් මකා දමනවා. දැන් භික්ෂුව වැඩ සිටින්නේ වර්තමානය තුළ. ඒ වර්තමානයත් ධම්මානුපස්සනාව විසින්ම මකා දමන්නේ, ආයාසයකින් තොරවමයි. ලෝකය හරිම නැවුම්, ලෝකය හරිම නිදහස්, සියල්ලම තිබුණත්, තෘෂ්ණාව නැති ලෝකය හරිම නිදහස්.

කරුණාකර පින්වත් ඔබ තෘෂ්ණාවට විශ්‍රාම දෙන්න. පින්වත් ඔබ අවුරුදු පනස් පහ වෙනකම් බලා සිටින්න එපා. තවදුරටත් පිනම උපාදානයකොට ගනිමින්, භව සේවය දීර්ඝ කරන්නය කියලා, ඉල්ලීම් කරන්න එපා. මේ ගෙවීයන වස්සානය අපි හැමෝටම බල කරනවා, ඵස්සය අවිද්‍යාවෙන් නිදහස් කොට ගැනීමේ සම්මා ව්‍යායාමය පටන් ගන්නය කියලා.

අද උදෑසන පිණ්ඩපාතය බෙදන්න තරුණ යුවළක් ඇවිත් සිටියා. තාරුණ්‍යයේ එළිපත්ත මත විකසිත වෙන, රූපයේ ආශ්වාදය, උදෑසන සුපිපෙන නැවුම් කුසුමක් සේ, දෙදෙනාගේම ජීවිත තුළ විකසිත වෙලයි තිබුණේ. තරුණ පිරිමි දරුවා, භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, අපි ගිය සතියේ විවාහ වුණේ, අපිට ආශීර්වාද කරන්නය කියලා. මේ තරුණ දෙපළ, දෙදෙනාම එක හැන්දක් අල්ලාගෙන, එකටම පිණ්ඩපාතය බෙදුවා. ආදරය විසින් දෙදෙනාම එක්කෙනෙක් කරලා. විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, තවත් අහිංසක සුන්දර මැජික් සංදර්ශනයක් නැරඹීමෙන් අනතුරුවයි, භික්ෂුව පිං අනුමෝදනාව සිද්ධ කළේ.

විවාහය කියන්නේ බන්ධනයක් නොවේ, සමාජ චාරිත්‍රයක් පමණක්මයි. මංගල පෝරුව කියන්නේ බන්ධනයක් නොවේ. දේශීය කලාකරුවෙක්ගේ නිර්මාණයක් පමණක්මයි. දෙදෙනාගේ දෑඟිලි බැඳෙන රන් හුය කියන්නේ, බන්ධනයක් නොවේ. තවත් නූල් පටක් පමණක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සැබෑම බන්ධනය, ඔහුගේත්, ඇයගේත් සළායතනයන්ගේ ඵස්සයෙන් සකස්වෙන ”විඳීමය” කියලා.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි තරුණ කාලයේ, පිප්පලී තරුණයා හැටියට භද්දකාපිලානාව විවාහ කොටගෙන, මධුසමයේ, මධුසයනය මත සැතපුනත්, සංසාරිකව පුහුණු කළ සංසාර බිය දැකීම නිසාම, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සකස් වුණ සතිය, සිහිය නිසාම, අවිද්‍යාව නිරෝධය නොකර තිබියදීත්, රූපයේ ආශ්වාදයට, කාමයේ ආශ්වාදයට ”ඵස්සය” විඳීමෙන් කෙළෙසන්න දුන්නේ නැහැ. ඒ නිසාම ඒ උතුම් ගිහි ජීවිත දෙක, විවාහ වුණත් බන්ධනයක් වුණේ නැහැ. ගිහි පිංවත් ඔබේ ජීවිතත්, ඉහත අර්ථයන් සමග සසඳා බලන්න. පිප්පලී සහ භද්දකාපිලානා කොතනද, පිංවත් ඔබ කොතන ද කියලා. ලැජ්ජ වෙන්න එපා, ඡන්දයක් ඇතිකොට ගන්න. ඵස්සයේ අවිද්‍යා සියුම් කොට ගන්නවාය කියලා. එය මේ ගෙවීයන සුන්දර වස්සානයට, ඔබ සිදුකොටගත් වටිනා ආයෝජනයක් වේවි.

තවත් වස්සානයක් වේගයෙන් ගෙවී යනවා. ජරා, ව්‍යාධි, මරණ අපගේ ජීවිත වලට තව තවත් සමීප කරලා. භික්ෂුව, තම ජීවිතයට කිට්ටු වී සිහි නුවණින් බලනවා, භික්ෂුවගේ හෘද ස්පන්දනය යාන්තමට භික්ෂුවට දැනෙනවා. හෘද ස්පන්දනයට මුවා වෙලා, ආයුෂයත්, උණුසුමත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් එකිනෙකාට බැඳී, ඵස්සය ඉදිරියේ හුරතල් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ගේ, ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ පියයුරුවල තෘෂ්ණාවේ මව්කිරි සිඳී ගිහින් තිබෙන්නේ. අවිද්‍යාවෙන් හිස් කළ ඵස්සය, තෘෂ්ණාවේ මව්කිරි සිඳී ගිය පියයුරු උරා බොන්නේ, තම ආච්චි අම්මාගේ දෙතන උරාබොන මුණුපුරෙක් වගේමයි.

පිංවත් ඔබ, ඔබේ පන්සලේ, ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනාවන් සිදුකොට තිබෙනවා නම්, ඔබට විනයානුකූලව නිදහස තිබෙනවා, වස් පවාරණ පොහොයට පෙරාතුව, නායක ස්වාමීන් වහන්සේව මුණගැසී, ගෞරවයෙන් වන්දනාමාන කොට විමසීමක් කරන්න. ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස, අපි බලාපොරොත්තු වෙනවා, කඨින වස්ත්‍රයක් පූජා කරගන්න. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට කියන්න ඔබ වහන්සේලාට අවශ්‍යව පවතින්නේ දෙපට සිවුරක් ද, තනිපට සිවුරක් ද, අඳනයක් ද කියලා විමසීමක් කරන්න.

ස්වාමීන් වහන්සේලාගේ පිළිතුරට අදාළව, ගිහි පිංවතුන් කටයුතු සූදානම් කොටගන්න. යම් ස්වාමීන් වහන්සේ නමකට, තුන්සිවුරේ අඩුවක් නොමැති නම්, ඒ බව දායක පිංවතුන්ට ප්‍රකාශ කිරීමේ නිදහසත් භික්ෂුවකට තිබෙනවා. කඨින වස්ත්‍ර පූජාවේ දී සෑම විටම ගිහි පිංවතුන්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සකසා ගැනීම, ප්‍රණීත විසිතුරුභාවයෙන් යුතුව මෙම පිිංකම් සිදුකොට ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොනම හේතුවක් නිසාවත් මහා සංඝරත්නයට විනය උගන්වන්න යන්න එපා. මහා සංඝරත්නයේ අවවාදයන්ට අදාළව, සියලූ කටයුතු සංවිධානය කොටගන්න දක්ෂ වෙන්න. මීට මාස තුනකට පෙරාතුව, ඔබ යම් සතුටකින් මහා සංඝරත්නයට වස් ආරාධනාවන් සිද්ධ කළා ද, කරුණාකර එම සතුට කඨින වස්ත්‍ර පූජාව දක්වාම, සුරැකිව එම සතුට ආරක්ෂාකොට ගන්න. ඔබ ආරක්ෂා කොට ගත්තා වූ සතුට, විදර්ශනාමය ප්‍රීතිය, පස්සද්ධියක් බවට පත්කොට ගැනීමට, ඉදිරියේ දී ඔබට අවස්ථාවක් එනවා.

මේ වස් තුන් මාසය තුළ මොනම හේතුවක් නිසා හෝ වස් ආරාධනාවන් සිදු කළ ගිහි පිංවතුන්ලා නිසා, ස්වාමීන් වහන්සේලාට යම් සිත් පීඩාවක්, අපහසුවක් ඇති වුණා නම්, ඊට වරදකරු ගිහි පිංවතුන්ලා නොවේ. භික්ෂූන් වන අපේම අතීත අකුසල් සංස්කාරයි. ඒ වගේමයි, මේ වස් තුන් මාසය තුළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිසා, ගිහි පිංවතුන්ලාට, යම් සිත් පීඩාවක් ඇති වුණා නම්, ඊට වරදකරු ද ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නොවේ. ගිහි පිංවතුන්ලාගේම අතීත අකුසල් සංස්කාරයන්මයි.

අපේම සංසාරික අකුසල් විපාකයන් අනුන් පිට දමන්න එපා. සැකයේ, විචිකිච්චාවේ, විතර්කයන්ගේ බීජයන් අපේ ඵස්සය වෙලා ගනීවි. ඇලීම්, ගැටීම් වලින් කඨින පිංකම් තෙත් වේවි. පිංවත් ඔබ මේ උතුම් වස්සානයේ දී සකස් කොටගත් සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක්ම සංස්කාරයන් තුළ විසිරුවා දකින්න. පටිච්චසමුප්පන්නව ඔබ සිදුකොටගත් අකුසල් සහ කුසල්, සැප සහ දුක් හැටියට විපාකයට එනකොට, ඒ දෙස ඔබ උපේක්ෂාවෙන්ම දකින්න. විතර්කයන් සංසිඳුන සමාධිමත් සිතේ උපත එතනයි තිබෙන්නේ. මේ සමාධිමත් සිතයි ඔබ සිදුකොට ගත්නා වූ කඨින පිංකම, මහත්ඵල මහානිශංස පිංකමක් බවට පත්කොට ගැනීමට අවශ්‍ය, විදර්ශනාමය පන්නරය ඔබ තුළ මෝදුකොට දෙන්නේ.

මෙය සටහන් තබන දැන් වේලාව දහවල් එකයි. පරිසරය හරිම රශ්නෙයි. මනුෂ්‍ය ලෝකයේ පරිසරය මේසා රශ්නෙ නම්, නිරයේ ගිනි රස්නය මොන සා නම්, වියරුවක් වෙයි ද? පිංවත් ඔබ දුකට බිය නැද්ද? ඇයි ඔබ දැන දැනම සැපයට අභියෝග කරන්නේ? පිංවත් ඔබගේ ඵස්සය ඉදිරියේ තෘෂ්ණාවේ කිරි බී යැපෙන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් සැබෑම ලෞකික සැපයේ සතුරෝ නේද? අතීත සංසාරයක් පුරාවටම, දුකට සහ සැපයට හඬලා, හඬලාම දැන් භික්ෂුවගේ දෑස්වල කඳුළු වියළිලා. අතීතයේ මහා සාගරයේ ජලයට වඩා පටිච්චසමුප්පන්න දෑස් වලින් කඳුළු වගුරුවා තිබෙනවා නම්, තව කොහේ කඳුළු ඉතුරු වෙන්න ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්, තම දෑස්වල කඳුළු සිඳ දමලයි වැඩ සිටින්නේ. තම ඵස්සය අසල සංසාරික පුරුද්දට, හොරගල් අහුලන, අධ්‍යාත්මික රූපයෙත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේත් සැබෑම නිරුවත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තුළ විසිරුවා දමලයි ජීවත් වෙන්නේ. උන්වහන්සේලාගේ දෑස් ඉදිරියේ තිබෙන, ”සම්මුති ලෝකය” අම්මා, තාත්තා හැටියට දකිමිනුයි, මහා සංඝරත්නය, ලෝකයාට ධර්මයෙන් උපකාර කරන්නේ. මගේ අම්මා සහ තාත්තා යම් සේද, සියලූම අම්මලා සහ තාත්තලා එසේමය. එය අතීත සංඝරත්නයේ නිකෙලෙස් මෛත්‍රියේ, අසීමාන්තික සීමාවයි.