පංච කාමයන් පසෙකින් තබා රාත්‍රියේ අසිරිය විඳින්න

අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා. ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමග මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප්‍රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ.

වර්තමානයේ, අපේ භික්ෂු ජීවිත තුළින් අපිට සම්මා සම්බුද්ධ ශාසනයේ අතීත ගුණාත්මකභාවයන් දකින්නට පුළුවන් නම් අනාගතය නිශේධ වී යන්නේ, අතීතයත් වර්තමානයත් යන දෙකම අනිත්‍ය සංඥාවෙන් මොනවට පෝෂණය කරලා. හිස් කුටියේ වැඩ සිටින හිස් ජීවිතයක්, පටිච්චසමුප්පන්න අතීත සංස්කාර හේතුවෙන් සකස්වෙන, විඤ්ඤාණයේ බලපරාක්‍රමයෙන් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ, එහා මෙහා යද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට ඉතුරුවෙලා තිබෙන්නේ, විදර්ශනාත්මක සිතින්, ඒ දෙස බලා සිටීම පමණක්මයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තම ජීවිතයෙන් තෘෂ්ණාවට නැවතීමක් තබලා, තම ජීවිතය ඉදිරියට ගලාගෙන යනකොට, ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් හේතුවෙන් සකස්වෙන හැලහැප්පීම් සියල්ලම අතුරුදන් වෙලයි තිබෙන්නේ. උපාදානයන්ගේ බැමි කඩා බිඳ දමලයි තිබෙන්නේ. භවාත්‍රයට විලංගු දැමූ ජීවිතය නැවතී තිබෙනවා. අතීත සංස්කාර හේතුවෙන් සකස්වෙන ජරා, ව්‍යාධි, මරණයන්ට නිදහසේ ක්‍රියාත්මකවීමට අවකාශය ලබාදීලා.

උන්වහන්සේලාගේ තෘෂ්ණාව සිඳ දැමූ ලෝකයට, වෙනදා වගේම ඉර, සඳ පායනවා. අව්ව, වැස්ස, සුළඟ, පින්න වෙනදා වගේමයි. තෘෂ්ණාවෙන් සංකීර්ණ වූ කාර්යබහුල සම්මුති ලෝකය වෙනදා වගේම තරඟකාරීයි. නමුත් උන්වහන්සේලා මේ සියල්ල මැද ඵස්සය දොරකඩ නැවතී සිටිනවා. උන්වහන්සේලාගේ ජීවිත රාත්‍රියට ගිනි ගන්නේ, උදෑසනට දුම් දමන්නේ නැහැ. අවිද්‍යාවේ ගිනි පුපුරු, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ සිසිල් දියෙන් නිවා දමලයි වැඩ සිටින්නේ. උන්වහන්සේලාගේ දෑස්වලට නැවත දුක් කඳුළු හෝ සතුටු කඳුළු මතු වෙන්නේ නැහැ. සංස්කාරයන්ගේ ඇත්ත අවබෝධ කොට ගනිද්දී දුක සහ සැප තෘෂ්ණාවටම භාර කරලා උන්වහන්සේලා නිදහස්වයි වැඩ සිටින්නේ. විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, සංස්කාරයන් බල ගන්වන මැජික් සියල්ලම පරාජය කළ උන්වහන්සේලාට, ඉතිරිව ඇත්තේ අහිංසක ලෝක සත්ත්වයාගේ විජ්ජාකාර, මායාකාර මැජික් සංදර්ශනයන් දෙස කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන් යුතුව බලා සිටීම පමණක්මයි.

කුටියේ ජනෙල් කවුළුවෙන් කුටියට වැටෙන ආලෝකය ටිකෙන් ටික අඩුවෙලා යනවා. රාත්‍රී ඇඳිරි වැටෙන්නයි සූදානම. මේ රාත්‍රිය පින්වත් ඔබට ලස්සන රාත්‍රියක් කර ගැනීමට අවශ්‍ය නම් මේ රාත්‍රිය අවිද්‍යාවට අභියෝග කරන රාත්‍රියක් බවට පත්කොට ගැනීමට අවශ්‍ය නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත, වර්තමාන, අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින රාත්‍රියක් බවට පත්කොට ගන්නය කියලා.

පිංවත් ඔබ ඊට සූදානම් ද? පංච කාමයන් බිමින් තබලා ලස්සන රාත්‍රියක් ගත කරන්නත්, ඊට අදාළ සංස්කාරයන් අපේ ජීවිත පිටුපස තිබෙන්න ඕනේ. එම සංස්කාරයන්ගේ හිඟ පාඩුව නිසාමයි, අපි සෑම රාත්‍රියකම කාමයන්ට දෑතින්ම අත වනන්නේ. කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම අපේ ජීවිත මොනතරම් නම් අර්ථවත් කොට දෙනවා ද? නින්ද නොනින්දක් බවට පත් කරලා, කෙලෙස් නිදි ගන්වන, සුන්දර මනුෂ්‍යයා ජීවත් වෙන්නේ, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක්මයි.
හිරු ආධිපත්‍යය දැරූ දවස ගෙවී ගියා. ලන්තෑරුම් එළිය තනිරූල් කොළය මතට වැටෙනකොට, සිත තවත් නිවී යනවා. සිත නිවී යන දේවල් වලට සමාජය හරිම අකමැතියි. ඒ නිසාම පාට පාට දේවල්, ආලෝකවත් දේවල් සමාජයේ වැහි වැහැලා. සමාජයේ පාට පාට දේවල් වැඩි වෙනකොට නිවුණු සිත් අඩුවෙලා යනවා. නිවුණු සිත් අඩුවෙන කොට සමාජයේ දුක වැඩිවෙලා යනවා.

පසුගිය දවසක මහත්මයෙක් ප්‍රකාශ කළා, ස්වාමීන් වහන්ස, උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය හදාරන ගැහැණු දරුවකුගේ පිළිකාවක් හැදීම නිසා, කකුලක් කපා දැමුවාය කියලා. දුප්පත් දරුවෙක්, එම මහත්වරුන් ඇයට උපකාර කළත්, ඒ හැමෝටම ප්‍රශ්නයක්, ඇයි මේ තරුණ දරුවාට මෙවන් විපතක් වුණේ කියලා. සංස්කාරයෝ කාටවත් වරදක්, අසාධාරණයක් නම් කරන්නේ නැහැ. භික්ෂුවට භික්ෂුව වගේම, සංස්කාරයන් භික්ෂුවට විශ්වාසයි.

පසුගිය දවසක භික්ෂුව කොළඹ දුම්රිය පළෙන් දුම්රියට ගොඩවෙලා, වෙන්කොට තිබුණ අසුනේ වාඩි වුණා. එම අසුනට සමාන්තරව අනෙක් පස තිබුණ අසුනේ අවුරුදු විසි පහක පමණ පිංවත් තරුණියක් අසුන් ගත්තා. ඇය පැළඳගෙන සිටියේ, වර්තමාන කාන්තාවගේ ජාතික ඇඳුම වන හිරට හිරේ ඩෙනිම් කලිසමක් සහ බැනියමක්. ඇය අසුනේ වාඩිවෙලා කකුලක් මත කකුලක් දමාගෙන, ඇයගේ එක කකුලක යටිපතුල් භික්ෂුව දෙසට යොමු කරගෙනයි සිටියේ. සංඝයා ඉදිරියේ අශීලාචාර ඉඳගැනීමක්. ඇය මෙසේ වාඩිවෙලා, තම සෙලියුලර් දුරකථනය අතේ තබාගෙන එය ක්‍රියාත්මක කරමින්, ගමනාන්තය තෙක්ම ගමන් කළා. කොයි මොහොතේවත් ඇය නිවැරදි ඉරියව්වකින් වාඩි වුණේ නැහැ. පිංවත් ඇය භික්ෂුව දෙසට යොමු කොටගෙන සිටි ඇයගේ සුන්දර යටි පතුල දකින කොට, භික්ෂුවට මතක් වුණේ තරුණ වයසේදීම පිළිකාවකින් කකුල කපා දැමූ පාසල් වයසේ දියණියයි. ඒ අහිංසකාවියගේ කපා දැමූ කකුලත් අතීත සංසාරයේ සංඝයාට දික් කළ පාදයක් වෙන්න පුළුවන්.

පිංවත් නෝනා, මහත්වරුනේ කාට දෙපා දික් කළත්, දෙවියන්, බ්‍රහ්මයින්, මනුෂ්‍යයින් වන්දනා කරන සංඝයාට කකුල් දික් කරන්න එපා. පටිච්චසමුප්පන්නව ඔබේ දෙපා තරුණ වයසේදීම කපා දමන්න පුළුවන්. දැන්, දැන් කුඩා දරුවන්, ළමා වයසේ දරුවන්, තරුණ තරුණියන් රූපයෙන් ගොඩාක් ලස්සනයි. ලස්සන රූපයට, නවීන විලාසිතා ඇඳුම් අන්දවපුවහම රූපය තවත් ලස්සන වෙනවා. අනේ පිංවත් අහිංසක, අහිංසාකාවියනේ, මේ ලස්සන ඔබට අයිති නැහැ. ලස්සන අයිති අනිත්‍ය වූ සංස්කාරයන්ට. සංස්කාර අයිති අවිද්‍යාවට. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම. දැන් පිංවත් ඔබට පේනවා නේද ලස්සන අයිති කාටද කියලා. ඔබේ ලස්සන රූපයෙන් ඔබ මත් වූ කෙනෙක් නම්, ඔබ ලෝකයට දෙන පණිවිඩය, මම චතුරාර්ය සත්‍යය නොදන්නා කෙනෙක් යන්නයි. දුම්රිය මැදිරියේ දී ගමනාන්තය තෙක්ම භික්ෂුව දෙසට තම පාදය දික් කොටගෙන සිටි අහිංසකාවිය තුළින් භික්ෂුව දැක්කේ, තවමත් චතුරාර්ය සත්‍යය ගැන නොදන්නා අසරණ යුවතියකි. එම අහිංසකාවියට අනුකම්පා කරනවා හැර වෙන කුමක් නම් කරන්න ද?

පටිච්චසමුප්පන්නව ඇය සංසාරයේ කොතෙක් නම් භික්ෂුවට අම්මා වෙලා, බිරිඳක්, සහෝදරියක්, දියණියක් වෙලා සිටින්නට ඇති ද? ඒ අතීත සංසාරික ඥාතිත්වය උදෙසා, වර්තමානයේ ඇය වෙනුවෙන්, භික්ෂුවට කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇය මාන්නක්කාර හැඟීමෙන්ම, භික්ෂුව තුට්ටුවකටවත් මායිම් නොකරම දුම්රියෙන් බැස ගියා. අකුසල් බලවත්, ඒ නිසාමයි ඇයට නිහතමානී වෙන්න සිත නොදෙන්නේ. අවිද්‍යාව ලෝකයේ නරකම, චපලම මිතුරායි. ඔහු සමග හිතවත් වෙන්න එපා.

දැන් වෙලාව රාත්‍රී අටට විතර ඇති, කාලය වේගයෙන් ගෙවී යනවා, අවිද්‍යාෙවේ හෙට දවස ශක්තිමත් කරන්න. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයෙන්, තුන්කාලක්ම දැන් ගෙවී ගිහින්. සියලූම සංස්කාරයෝ අනිත්‍ය වුවත්, මරණයක සේයාවක් නම් මේ මොහොතේ පෙනෙන්නට නැහැ. නමුත් අතීත සංස්කාරයන්ට අදාළව ජරා, ව්‍යාධි නම් ජීවිතයට නිතරම එබිකම් කරනවා. ජරා, ව්‍යාධි ජීවිතයට දැන් ඒ තරමටම ලෙන්ගතුයි. පාලනයකින් තොරවම ජරා, ව්‍යාධි ජීවිතයට ලෙන්ගතු වෙනකොට තව දුරටත් පිනට අදාළ සංස්කාරයන් කෙරෙහි, හොරගල් අහුලලා වැඩක් නැහැ. සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලාමයි දකින්නට ඕනේ.

බුදුරජාණන් වහන්සේ සංස්කාර මාරයා නිරෝධය කරන්නය කියලා අනුශාසනා කර තිබිය දී, අපි සංස්කාරයන්ට උදේ හවස ආදරය කරනවා. ගිහි පිංවතුන්ලා පිනට අදාළ සංස්කාර කෙරෙහි දක්වන දැඩි ලොල්භාවය නිසාම, භික්ෂූන් වන අපිවත් දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා. ඒ නිසාම වෙන්නැති බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට තිබෙන්නේ, සමාජයෙන් දුරස් වෙලා ජීවත් වෙන්නය කියලා.

අපි පිනට අදාළ සංස්කාරයන්ට මොනතරම් ආදරය කළත්, සංස්කාර කියන අර්ථය තුළත් බැසගෙන තිබෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකම බව, අපි කවදා ද තේරුම් ගන්නේ? අපි ඉපදුනේ, තනිව ඉපදිලා, තනිව මැරිලා යන බව ඇත්ත. අපි සියල්ලෝම එකම මවුකුස නොඉපදුනත්, අපි හැමෝටම පටිච්චසමුප්පන්න ඥාතිත්වයක් තිබෙනවා. ඒ පටිච්චසමුප්පන්න ඥාතිත්වයේ ජාන නිසාමයි, අපි එකිනෙකා මේ ජීවිතයේ දී ගෞරවයෙන්, විශ්වාසයෙන් මේ ජීවිතයේ දී මෙලෙස හමුවුණේ. මේ ගෞරවනීය හමුවීම හේතුඵල ධර්මයක්.

එක් පිංවතෙක් ද්වේශයෙන් චෝදනා කරත්දී, තවත් පිංවතෙක් ගෞරවයෙන් වන්දනා කරනවා. භික්ෂුව මේ සටහන් තබන්නේ සියලූ පින්වතුන් වෙනුවෙන්. අපේ මේ හමුවීම කඳුළින් හෝ සිනහවෙන් අවසන් වෙන සමුගැනීමක් විය යුතු නැහැ. කවදා හෝ දිනයක භික්ෂුවගේ මළකඳ මිහිදන් කළ සුසාන භූමිය, කඳුළු පිරි දෑසින් හැරයන සමුගැනීමක් විය යුතු නැහැ.

අපි සියල්ලෝම ගෞරවයෙන් මේ ජීවිතයේ දී නැවත හමුවුණේ, ඔබලා භව ගමනේ තනිකොට, මා හැරයන්නට නොවේ. මා භව ගමනේ තනිකොට ඔබලා හැරයන්නට ද නොවේ. සංසාරයක් පුරාවට පටිච්චසමුප්පන්නව විශ්වාසයෙන් බැඳුණ, අපේ අත්වැල් ලිහා දමා, පිංවත් ඔබ මගෙනුත්, මා ඔබගෙනුත් නිදහස්වීම සඳහාමය. පිංවත තෘෂ්ණාවෙන් තොරව භික්ෂුව ඔබ දෙස බලනවා වගේම, ඔබ ද තෘෂ්ණාවෙන් තොරවම භික්ෂුව දෙස බලන්න.

භික්ෂුව පිංවත් ඔබ තුළින් ඔබ නොදැක අවිද්‍යාවම දකිනවා සේම, පිංවත් ඔබ භික්ෂුව තුළිනුත් අවිද්‍යාවම දකින්න. ජීවිතයක් යනු චතුරාර්ය සත්‍යය නොදැනීමේ අර්ථයක්ම බව දකින්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් හය සියයකට පසුව, අපි සම්මා සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගත යුත්තේ රැකීරක්ෂා, ව්‍යාපාර, අධ්‍යාපනය, ආයුෂය, වර්ණය, සැපය, බලය, හිතවත්කම් උදෙසා පින් කරමින් ජීවත්වීමට පමණක් නම් නොවේ. අපේ විදර්ශනාමය අවබෝධයන් උදෙසාමය.

අපි තවදුරටත් අපේ පටිච්චසමුප්පන්න ඥාතීත්වයෙන් බැඳීම් කෙරෙහි ආශ්වාදයෙන්, මේ ජීවිතයේදීත් අපි, අපිට තෘෂ්ණාවෙන් බැඳුණොත්, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන් අතහැර, අවිද්‍යාවට වැට බැඳුණා වෙනවා. පිංවත් ඔබ චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි අවධියෙන් නොසිටියොත්, අතීතයේ සිදුවන දෙයම, නැවත නැවතත් සිදුවේවි.

සංස්කාරයන්ට අදාළව, ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ වේගවත්භාවය නිසාම, අපේ දැනීම් හරිම වේගවත්, ඉවසීමක්, සීමාවක්, හොඳක්, නරකක් දකින්න විවේකයක් නැහැ. තෘෂ්ණාව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඇලීම් සහ ගැටීම් වලින් රත් කරනවා. පිංවත් පොලිස් නිලධාරීන්ගේ අවවාදයට, නීත්‍යානුකූල දඬුවමට ලක් වූ රියදුරු මහත්මයා, එම රථයෙන්ම පොලිස් නිලධාරී මහත්වරුන් අනතුරට පත්කොට ජීවිතක්ෂයට පත් කරනවා.

ලෝකය තෘෂ්ණාවේ තීව්‍රරභාවයට අදාළව නිවැරදි ගමනක් යනවා. චතුරාර්ය සත්‍යය ධර්මයන්ට ඉතිරිව තිබෙන්නේ දේශනා කිරීමත්, සටහන් තැබීමත්, කියවීමත් පමණක්මයි. ජීවිතයට එකතුකොට ගැනීමක්, තෘෂ්ණාවට වැට බැඳීමක් නැහැ.

පින්වත් ඔබ අවිද්‍යාවට අදාළව භික්ෂුව සටහන් තැබූ මේ ”මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” සටහන, දිවයින ඉරිදා සංග්‍රහයෙන් කියවලා, අනේ මේ ලිපිය හරිම ෂෝක් කියලා, ආශ්වාදයටම ලකුණු දුන්නොත්, පිංවත් ඔබ තුළ වැඩෙන්නේ ද අවිද්‍යාවයි. ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණු වෙන දෙය, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඵස්සය අසල මාරයා සැඟවී සිටිනවාමයි.