මාරයාට ඇස් දන්දීම

රාත්‍රිය උදාවෙන්න හොඳටෝම ළඟයි. තවත් ටිකකින් ලන්තෑරුම පත්තු කරන්න ඕනේ. පිංවත් ඔබත් හිරු අවරට ගොස් උදාවෙන මේ රාත්‍රියේ දී, තම නිවසේ තිබෙන විදුලි බල්බ සියල්ලක්ම ආලෝකමත් කරාවි. ලන්තෑරුම් එළියෙන් කුටිය ආලෝකමත් වුණත්, විදුලි බුබුලූ වලින් පිංවත් ඔබේ නිවස ආලෝකමත් වුණත්, මේ ආලෝකයන්ට පුළුවන් ද අපේ ජීවිත ආලෝකමත් කරන්න. රාත්‍රියට දැල්විලා උදෑසනට නිවී යන ආලෝකය හරියට, අපේ පටිච්චසමුප්පන්න භව ගමන වගේ, නැවතීමක් නැහැ. තෘෂ්ණාවේ තෙල් තිබෙන තාක්කල් නිවි නිවී දැල්වෙනවා. මැරෙනවා, නැවත උපදිනවා.

මේ උදාවෙන රාත්‍රියේ දී භික්ෂුව ගිහි පිංවතුන්ලාගෙන් විමසුවොත්, පිංවත් ඔබලා තුළ වැඩි වශයෙන් සකස් වෙන්නේ සරාගී සිත් ද, විරාගී සිත් ද කියලා, පිංවත් ඔබ ඊට පිළිතුරක් දෙන්නේ නැහැ. නමුත් මෙය සටහන් තබන භික්ෂුව දන්නවා, ලෝකය අයිති ලෝකයටයි කියලා. ඒ කියන්නේ ලෝකය අයිති රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ට කියලා. පිංවත් අපි ඵස්සය තෘෂ්ණාවෙන් පෝෂණය කරනතාක්, ලෝකය, ලෝකයටම අයිති වෙනවා.

ගෞරවනීය පින්වත, මේ උදාවෙන සුන්දර රාත්‍රිය, ඔබව, ලෝකයට අයිති වෙන්න දෙන්න එපා. මේ සුන්දර රාත්‍රියේ අයිතිය විදර්ශනාමය ප්‍රඥාවට ලබා දෙන්න. ප්‍රඥාවේ ආලෝකය පිංවත් ඔබ, පිරිනිවී යනතෙක්ම නොනිමී තිබෙන ආලෝකයක්.

පරිසරයේ වියළි ගතිය නිසාම, භික්ෂුවගේ දෑස් දෙක ටිකක් කෙවෙනවා. ජීවිතය වයසට යනකොට ශරීරයේ සම, නියපොතු, නහර වියළිලා යනවා වගේ, දෑස් වලත් වියළි ගතිය වැඩියි දැන්. පරිසරයේ අඳුර, ආලෝකය වෙන්කොට හඳුනාගන්න, භික්ෂුවට උපතින්ම ලැබුණු මේ ඇස් දෙක, අතීත සංස්කාරයන්ගේම ඵලයකි. භික්ෂුව තම දෑස් දෙකින් සම්මුති ලෝකය දකිත්දී, අතීත සංස්කාරයන්ට කෘතවේදී වෙනවා. සංස්කාර ඔබමයි, භික්ෂුවට මේ සළායතනයන් දායාද කළේ, ඒත් සංස්කාර ඔබ මොනතරම් නම් චපලයෙක් ද?

අතීත කුසල් සංස්කාරයන් හේතුවෙන්ම ඔබ සුන්දර සළායතනයන් අපිට දායාද කරලා, එම සළායතනයන්ගේ ඵස්සයෙන්, අකුසල් මූලයන් ඇති කරලා, අපේ පටිච්චසමුප්පන්න සළායතනයන් මොනතරම් නම් විකෘතීන්ට ඔබ ලක් කරනවා ද?

සංස්කාරයෝ ලෝකය ලස්සන කරනවා, ලෝකය අස්වද්දනවා, ලෝකය රෝගී කරනවා, ලෝකය මරා දමනවා, පටිච්චසමුප්පන්නව ලෝකය නැවත උපද්දවනවා. පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ දී අවිද්‍යාවේ විධායක බලය විසින්, සංස්කාරයන්ට තුනෙන් දෙකක අධිපතිවාදී බලයක් ලබා දී තිබෙනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මේ අධිපතිවාදී මාර ධර්මයන් පරාජය කොට දැමීමේ මාර්ගය අපිට දේශනා කිරීමටයි. ඒ උතුම් ව්‍යායාමය සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුවහතින් මොනවට පන්නරය ලැබූ, සතර සතිපට්ඨානය නමැති විදර්ශනාත්මක අවියයි ලබා දෙන්නේ.

අපි දක්ෂ විය යුතුයි, මේ විදර්ශනාත්මක අවිය උපයෝගී කොටගෙන, මාර ධර්මයන් තුළින්ම මාර ධර්මයන් පරාජය කොට දමන්න. අපි අනාගතයේ කවදාහරි දවසක රූපය කායානුපස්සනාවෙන් දැකලාමයි රූපය නිරෝධය කරන්නේ. වේදනාවෝ වේදනානුපස්සනාවෙන් දැකලාමයි වේදනාව නිරෝධය කරන්නේ. සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් විදර්ශනාත්මකව දැකලාමයි මේ ධර්මයන් අපි නිරෝධය කරන්නේ. අපිට සිද්ධ වෙනවා උපක්‍රමශීලීව මාර ධර්මයන්ම, අපේ නිවීමේ මාර්ගයට උපකාරක ධර්මයන් බවට පත්කොට ගන්න. මාර ධර්මයන් දෙසත් උපේක්ෂාවෙන් දකින්න.

චතුරාර්ය සත්‍යය ධර්මයන් නිවැරදිව නුවණින් මෙනෙහි කොට, දුකට හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව බව, තමා තුළින්ම ඒහිපස්සිකව දකින පිංවතා, තෘෂ්ණාවට මුල් අදියරේදීම අභියෝග කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප හෙවත් ලෞකික ප්‍රඥාව විසින් පිංවත් ඔබව බුදුරජාණන් වහන්සේට අදාළව, ධර්මරත්නයට අදාළව, සංඝරත්නයට අදාළව ඔබව නිවැරදිව ස්ථානගත කරනවා. ඉදිරියේදී ඔබට අවශ්‍ය වෙන විදර්ශනාමය ප්‍රඥාව උදෙසා අවශ්‍ය ජවය ඔබට ලබා දෙන්නේ උතුම් තෙරුවන් කෙරෙහි ඇති කොටගත්තා වූ නිවැරැදි දැක්මයි. උතුම් තෙරුවන් කෙරෙහි නියත විශ්වාසයට පැමිණෙන පින්වතා, අධිවේගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තරණය කරන්නේ නැහැ. හීන වීර්යයෙන් මාර්ගය තුළ ප්‍රමාදී වෙන්නෙත් නැහැ. ඔහු හඳුනාගෙනයි සිටින්නේ, දුකට මුල තෘෂ්ණාවයි කියලා. අධි වීර්යයත්, හීන වීර්යයත් තුළ තෘෂ්ණාව නොවෙනස්ව සැඟවිලා තිබෙනවා. ඔහු දන්නවා උපේක්ෂාව අයිතිත් තෘෂ්ණාවටමයි කියලා. තෘෂ්ණාව උපද්දවන ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් යන විඳීම් තුනම, දුකට හේතුවෙන නිසාම, ඔහුට මාර්ගයේ පූර්වාදර්ශී කමටහන බවට පත්වෙන්නේ, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ ලෞකික ප්‍රඥාවේ අර්ථයන්මයි.
මෙය සටහන් තබන භික්ෂුව නිවීමේ මාර්ගය තුළ දී පාර අසා ගත්තේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන්. ඉදිරියේ දී අපි ලැබීමට බලාපොරොත්තු වෙන විදර්ශනාත්මක ප්‍රඥාවට, වර්තමානයේ අපිට නිවැරදිව පාර කියා දෙන්නේ ලෞකික ප්‍රඥාව විසින්. ගෞරවනීය පිංවත, දැන් ඔබ පාර අසා දැන ගන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්මරත්නයෙන්මයි. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් නිවීමේ මාර්ගයට ඔබට ජවය ලබා දෙන සැබෑම කල්‍යාණ මිත්‍රයායි.

නිවීමේ මාර්ගය නිවැරදිව ඔබට කියාදෙන ලෞකික ප්‍රඥාව නමැති කල්‍යාණ මිත්‍රයා, පිංවත් ඔබව යොමු කරන්නේ ශීලයේ ශක්තියෙන් පෝෂණය වූ ඉන්ද්‍රීය සංවරය දිශාවටයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෝ පිංවත් ඔබගේ සළායතනයන් සංවර කරනවා. සීමාවක් ගැන සිහියෙන් සළායතනයන් පරිහරණය කරනවා. පංච නීවරණ ධර්මයන් වැඩෙන සීමාවට නොව, සප්ත බොජ්ඣ`ඕඟයන් මෝදුකොට ගැනීමට අවශ්‍ය සීමාවට ආහාර ගන්නවා. අනවශ්‍ය නින්ද ධර්මයෙන් වඳ බැහැපු ජීවිතයක ලක්ෂණයක් බව දකිනවා. ඔහු ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පහසු කොටගන්න ශීලය උපකාරක ධර්මයක් බවට පත්කොට ගන්නවා. ශීලය ඔහුට ආභරණයක් නොවේ. ශීලය ඔහුට මාර්ගයක්ම වෙනවා.

සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයන්ගෙන් අර්ථවත් වෙන ලෞකික ප්‍රඥාවෙන් නිවීමේ මාර්ගය නිවැරදිව පෝෂණය නොකරගත් පිංවතුන්ලා නිරතුරුවම ශීලය ආභරණයක් කොට ගන්නවා. තම ශීලය සමාජයට පෙන්වනවා. තම ඇසෙන්, කනෙන්, නාසයෙන්, ශරීරයෙන් ශීලයේ සංවරභාවය වැගිරෙනවා. එවිට ඔහු කෘතිම මනුෂ්‍යයෙක් වෙනවා. එම පිංවතා තුළ දෝරෙ ගලන්නේ ශිලය කෙරෙහි සක්කාය දිට්ඨිය බව තේරුම් යන්නේ නැහැ.

නිවීමේ මාර්ගය වඩන පිංවත් ඔබ, සමාජය තුළ ජීවත්වෙන ලේ, මස් වලින් සැදුන ස්වභාවික මනුෂ්‍යයෙක් වෙන්න. ශීලය ජීවිතයට බරක් නොව, සැහැල්ලූවක් කොට ගන්න. ශීලයේ සංස්කාරයෝ අනිත්‍ය බව දකිමින් ශීලය තුළ ස්ථාවර වෙන්න. සිල්වත්භාවය තිබෙන්නේ ලෝකයට විවෘතකොට පෙන්වන්නට නොවේ. ඒ ආශ්වාදජනක සිත, සංවර කොටගන්න බව හොඳින් තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය සතු ශීලයට අදාළ මාර්ග අංග තුන තුළ, පිංවත් ඔබව ශක්තිමත්ව ස්ථානගත කරන්නේ, ලෞකික ප්‍රඥාව නමැති කල්‍යාණ මිත්‍රයා විසින්මය. දැන් පිංවත් ඔබ ශීලය තුළ නිවැරදිව ස්ථානගත වී හමාරය. පිංවත් ඔබට දැන් මාර්ගයේ ඉදිරි දුර තරණය කිරීමට, කල්‍යාණ මිත්‍රයින් දෙදෙනෙක් උපකාර කරනු ඇත. ඒ දෙදෙනා ලෞකික ප්‍රඥාව සහ ශීලය නමැති කල්‍යාණ මිත්‍රයින් දෙදෙනායි. පිංවත් ඔබ නිවීමේ මාර්ගය තුළ දැන් උත්සාහ ගන්නේ, තමා අර්ථවත්ව ශක්තිමත් කොටගත් ශීල විශුද්ධිය තුළින් චිත්ත විශුද්ධිය ඇතිකොට ගැනීමය.

පිංවත් ඔබට උපකාර කරන කල්‍යාණ මිත්‍රයින් දෙදෙනා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි උදෙසා ඔබව යොමු කරන්නේ හෙට දවසේ මම සෝවාන් ඵලයට පත්වෙනවාය කියන අධිවේගයෙන් නොවේ. හෙට දවසේ මම රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සකස්කොට ගන්නවාය කියන අධිවේගයකින් ද නොවේ. පිංවත් ඔබ හොඳින් මතක තබා ගන්න, දැන් ඔබට පාර කියා දෙන්නේ, ලෞකික ප්‍රඥාව සහ ඉන්ද්‍රීය සංවරශීලය නමැති කල්‍යාණ මිත්‍රයින් දෙදෙනායි. ඇලීම් සහ ගැටීම් ඉදිරියේ, සැප සහ දුක් වේදනා ඉදිරියේ අසංවර නොවන, නමුත් තෘෂ්ණාවේම ගිණුමට අයිති උපේක්ෂාව තුළයි, ඔහුගේ සළායතනයන් ඵස්සය තුළ ක්‍රියාත්මක වෙන්නේ.

ඇලීම් සහ ගැටීම් අවම කළ සිතක, මාර්ගය කෙරෙහි හදිස්සියක්, ඉක්මනක්, හිස ගිනි ගැනීමක්, තරඟකාරීත්වයක් ඇතිවීමේ ඉඩකඩක් නැහැ. ලෞකික ප්‍රඥාව නමැති කල්‍යාණ මිත්‍රයා ඔහුගේ ඵස්සයට, ඇඟිල්ලෙන් ඇන කියා දෙනවා, සම්මා දිට්ඨියේ අර්ථයක් වෙන කර්මය කර්මඵල විශ්වාසය ගැන. අතීත සංස්කාරයන් හේතුවෙන් යන ගමනක් අපි මේ යන්නේ. අතීතයේ අංගුලිමාල කළ දෙය, බාහියදාරුවිරිය කළ දෙය, අතීතයේ පුංචි සංකිච්ච පොඩි හාමුදුරුවෝ කළ දෙය අපිට කරන්න බැහැ. අපි සියල්ලෝම සංස්කාරයන්ගේ එකිනෙකට වෙනස් ධර්මතාවයන් තුළයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි ඉක්මන් වියයුතු නැහැ. ප්‍රමාද වියයුතුත් නැහැ. අපි මාර්ගය තුළ අප්‍රමාදීවීම පමණක්මයි කළ යුත්තේ.

මෙය සටහන් තබන භික්ෂුව අධිගමයන් කෙරෙහි, ධ්‍යාන සම්පත් කෙරෙහි ඉක්මන්කාරීව, හදිස්සියෙන්, හිස ගිනි ගැනීමෙන් කටයුතු කළ භික්ෂුවක් නොවේ. ලෞකික ප්‍රඥාව සහ ශීලය නමැති කල්‍යාණ මිත්‍රයන් දෙදෙනාගේ නිවැරදි යොමු කිරීම මත, මාර්ගය තුළ අප්‍රමාදී වූ භික්ෂුවක්. ධර්ම මාර්ගයේ කොතනකටවත් භික්ෂුව යොමු වුණේ නැහැ. හේතුඵල ධර්මයන් විසින්ම භික්ෂුව යොමු කළා. පිංවත් ඔබ මාර්ගය තුළ අප්‍රමාදීව කටයුතු කරන්න. ආර්ය මාර්ගයේ අර්ථයන් තුළින්, ඔබ තුළ වැඩෙන සප්ත බොජ්ඣ`ඕඟයන් පිංවත් ඔබව ගමනාත්නය දක්වා මෙහෙයවාවි.

අපි කලබල වෙන්නේ, ඉක්මන් මිච්ඡා අධිගමයන් පසුපස දුවන්නේ, මිච්ඡා ධර්මයන් පසුපස දුවන්නේ අපි තුළ සප්ත බොජ්ඣඕඟයන් නොවැඩෙන නිසාමයි. සප්ත බොජ්ඣඕඟයන් අපි තුළ නොවැඩෙන්නේ, ලෞකික ප්‍රඥාවේ සහ ශීලයේ කල්‍යාණමිත්‍ර භාවයන්, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගැනීමට ප්‍රමාදවීම නිසාමයි. පිංවත් ඔබ තුළ දැන් වැඩෙන්නේ කෘතිම මාර්ගයක්, මිච්ඡා මාර්ගයක්. ඒ නිසාම අපි මිච්ඡා අධිගමයන්ගේ ගොදුරු බවට පත් වෙනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පිංවත් ඔබ නිවැරදිව ගමන් කරද්දී, භික්ෂුව නැවතත් ලෞකික ප්‍රඥාව සහ ශීලය නමැති කල්‍යාණ මිත්‍රයින් දෙදෙනාගේ අත්‍යාවශ්‍යභාවය පිංවත් ඔබට සිහිපත්කොට දෙනවා. පිංවත් ඔබට සමාධියට අදාළව අභියෝගාත්මක ඉලක්කයක් ඉදිරියේදී තිබෙනවා සපුරා ගන්න. ඒ තීරණාත්මක ඉලක්කය තමයි, ලෞකික මාර්ගයෙන්, පිංවත් ඔබව ලෝකෝත්තර මාර්ගයට යොමු කරන සම්මා සමාධිමත් සිත. පිංවත් ඔබ සම්මා සමාධිමත් සිතක්, පංච නීවරණ පහව ගිය සිතක්, ධ්‍යානගත සිතක් සකස්කොට ගත්තාය කියන්නේ, මාරයාගේ දෑස් අන්ධ කළාය කියන කාරණයයි. පංච උපාදානස්කන්ධ මාරයා පරාජය කිරීමට නම්, මේ තෘෂ්ණාවෙන් ජවසම්පන්න මාර ධර්මයන් ඔබ යම් පමණකට හෝ අඩපණ කරන්න ඕනේ. උතුම් සම්මා සමාධිය ඊට සුන්දර අවස්ථාවක් ඔබට ලබා දෙනවා. තාවකාලිකව මාරයාගේ දෑස් අන්ධකොට දමනවා. ඒ කියන්නේ මාරයාගේ දෑස් වසා දමනවා. මාරයාගේ දෑස් අන්ධ කරනවාය කියන කාරණයේ අර්ථය වෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ච, විචිකිච්චා යන නිවනට විපක්ෂ ධර්මතාවයන් තාවකාලිකව යටපත්කොට, නිවනට පක්ෂ වූ සප්ත බොජ්ඣ`ඕඟන් තුළින් පිංවත් ඔබේ ප්‍රඥාවේ දෑස් මතුකොට ගැනීමේ මාර්ගයට අවතීර්ණ වීමට සුදුසු අවස්ථාව එළඹුනාය කියන කාරණයයි.

සම්මා සමාධියේ සැබෑම අර්ථය වෙන්නේ, මාරයාගේ දෑස් අන්ධකොට, පින්වත් ඔබේ ප්‍රඥාවේ දෑස් මතුකොට ගැනීමට සුදුසු පරිසරය තමා තුළින් සකස්කොට ගත්තාය කියන කාරණයයි. තවම පිංවත් ඔබ ලෞකික මාර්ගය තුළයි ස්ථානගත වී සිටින්නේ. එය අමතක කරන්න එපා. කලබල වෙන්නත් එපා. කලබල වුණොත් ආයෙමත් ඔබ මාරයාට ඇස් දුන්නා වෙනවා. මාරයාගේ කෙලෙස් වැගිරෙන, දකින දකින සිත් වශී කරන, නෙතු අගින් බලත්දී රාගයම මතුවෙන විරාගී, සරාගී මාර දෑස් සම්මා සමාධිමත් සිතෙන්, ධ්‍යානගත සිතෙන් අන්ධකොට දමන ඔහු, මුලින්ම විදර්ශනාවෙන් අභියෝග කරන්නේ අවිද්‍යාවටයි. අවිද්‍යාවේ මූල බීජය වන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවටයි.

පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ විධායක බලය හිමි අවිද්‍යාවට, ඔහු විදර්ශනාවෙන් අභියෝග කරද්දී අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් සතු තුනෙන් දෙකේ බලයත් අභියෝගයට ලක් වෙනවා. සංස්කාරයෝ අභියෝගයට ලක්වෙත්දී, සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය විදර්ශනාවේ අණසකට යටත්කොට ගැනීමට පසුවෙන්නේ, අවිද්‍යාවෙන් තවදුරටත් තෘෂ්ණාවේ සැපයුම් ශක්තිමත්ව ඵස්සයට නොලැබෙන නිසාමයි.